IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විගණනයේ තටු සින්ඳ දේශපාලනය

ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගතව තිබෙන දේශපාලන අර්බුදය සහ අස්ථාවරත්වය රාජ්‍ය විගණනයට ඍජුව අදාළ නොවන සහ මැදිහත් වී විසඳිය නොහැකි විෂයයක් හෙයින් ඒ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් රාජ්‍ය විගණනයෙන් සිදු නොකෙරිණි.

එහෙත්, රටෙහි පවතින ආර්ථික තත්ත්වය, රාජ්‍යය ණයකරණයේ දිශානතිය සහ උපයෝජනය ආදිය පිළිබඳව වර්ෂ ගණනාවක සිට රාජ්‍යය විගණනය විසින් අනාවරණ කරන ලද බව කිව යුතුය. ඒවා වටහා ගත හැකි මට්ටමක බුද්ධියක් සහිත ඕනෑම අයකුට වත්මන් ආර්ථික අර්බුදයේ පෙරනිමිති වර්ෂ ගණනාවක සිට දැකිය හැකිව තිබුණි.

එම පෙර නිමිති සබුද්ධිකව ග්‍රහණය කර ගෙන විනිමය අර්බුදය කේන්ද්‍රකොට ගෙන පැන නැග ඇති  වත්මන් අසහනකාරි තත්ත්වය වළක්වා ගැනීමට පූර්ව පියවර නොගත් සියලු‍ බලධාරින්ට මෙම වගකීමෙන් බැහැර  විය නොහැකි ය.

කඩිනම් සහ සැලසුම්සහගත විසඳුම් ප්‍රතිකර්ම සකස් කර ඉදිරිපත් කළ යුතු අධිකාරි බලය සහිත පාර්ශව තම වෘත්තිමය අධිකාරි බලය නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීමත් දේශපාලන අධිකාරිය හමුවේ සුවචව නිර්වින්දන තත්ත්වයකින් පසුවීමත් මෙම අර්බුදය තීව්‍ර වීමට හේතු විණි.

රාජ්‍ය විගණනය විසින් විවිධ පැතිකඩ ආවරණය වන පරිදි විගණන සිදු කරනු ලබයි. ඒවා අතර මූල්‍ය, කාර්ය සාධන, විමර්ශන, පරිසර, විශේෂ වාර්ෂික වාර්තා යනාදිය ප්‍රධාන ය. එසේම පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වෙත විමර්ශන සහාය සඳහා ද විගණන වාර්තා නිකුත් කරනු ලැබේ. ව්‍යවස්ථාදායකය‍ වෙත ඉදිරිපත් කරන විගණකාධිපති වාර්තාවල අන්තර්ගත නිරීක්ෂණ සහ නිර්දේශවල ගැඹුර වටහාගෙන ඒවායෙන් පෙන්වා දෙන ඌනතා, අකාර්යක්ෂමතා, වංචා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක නොවීම ගැටලු‍වකි. එවැනි සන්දර්භයක මහජන නියෝජිතයන් ද මේ වන විට රාජ්‍ය විගණනයේ වැදගත්කම පිළිබඳව ප්‍රකාශ කිරීම දෛවයේ සරදමක් බඳු ය.

සාම්ප්‍රදායික අනුගාමි මානසිකත්වයෙන් බැහැර වූ තරුණ ප්‍රජාව මෙම අර්බුදය කඩිනමින් විසඳීමේ  අවශ්‍යතාව අවධාරණය කරමින් ඉදිරිපත් කරන ඉල්ලීම් ඇතැම් විටෙක පවත්නා ව්‍යවස්ථාපිත තත්ත්ව ඉක්මවා යාමක් ලෙස අර්ථකථනය කළ හැකිය. එහෙත්, එම ප්‍රජාව ප්‍රමුඛ කරගත් පුරවැසියන්ගේ පණිවුඩයේ යථාර්ථය සියලු‍ පාර්ශව වටහා ගත යුතුය. එලෙසම විසඳුම් සෙවීමට තරම් ගැටලු‍වක් නොමැති යැයි සිතා නිද්‍රාගතව සිටි පාර්ශ්වවලට විසඳිය යුතු සැබෑ අර්බුදයක් පවතින බවට ඒත්තු ගැන්වීමේ ගෞරවය එම තරුණ ප්‍රජාවට හිමි විය යුතු ය.

පුරවැසියන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ මෙම පිබිදීම හමුවේ වංචා හා දූෂණයෙන් තොර දේශයක් බිහිකිරීමෙහි ලා රාජ්‍ය විගණනයේ වැදගත්කම මේ වන විට නන් දෙසින් ඉස්මතු වෙමින් පවතී. නුදුරු අතීතයේ  ජනප්‍රිය කියමනක් වූ පළමුවත් දෙවනුවත් සහ තෙවනුවත් මව්බිම ය යන ප්‍රකාශය සිහිගන්වමින් පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් විගණනය යන වැකිය සහිත පුවරු සමාජයේ බොහෝ තැන්වල ප්‍රදර්ශනය වන්නේ එබැවිනි.

කෙසේ වෙතත්, පවත්නා නෛතික අධිකාරි රාමුව අැතුළත විෂයපථයෙන් බැහැර කර ඇති ක්ෂේත්‍ර වෙත පිවිසීමට විගණකාධිපතිට බලයක් නොමැති බව බොහෝ පුරවැසියන් නොදන්නවා විය හැකිය. එම පසුබිමේ මහජන නියෝජිතයන් උපයා ඇති වත්කම් පිළිබඳව පරීක්ෂා කර අයථා ලෙස උපයා ඇති වත්කම් රාජසන්තක කිරීමේ කාර්යය ද ඇතැම් පාර්ශව විගණකාධිපති වෙතින් අපේක්ෂා කරන බව පෙනේ. එවැනි පුද්ගල බද්ධ විමර්ශන කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ 2018 අංක 19 දරන ජාතික විගණන පනතෙන් හෝ වෙනයම් ලිඛිත නීතියක් මඟින් හෝ විගණකාධිපති වෙත පැවරී නොමැත. එහෙයින් තමන්ද විගණනයට භාජන කරන ලෙස ඇතැම් මහජන නියෝජිතයන් ප්‍රසිද්ධියේ සහ ලිඛිතව කරන ප්‍රකාශ සත්භාවයෙන් කරන ඒවා විය හැකි වුවද, පවත්නා නෛතික තත්ත්ව යටතේ එවැනි ඉල්ලීම් මාධ්‍ය සංදර්ශනයකින් ඔබ්බට යන වටිනාකමක් ඇති ඒවා නොවන බව කිව යුතු ය.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයට ඉවහල් වූවා යැයි නන් අයුරින් ප්‍රකාශිත වංචනික චෝදනා සහිත ගනුදෙනු හා සිද්ධීන් විගණනයට අදාළව රාජ්‍ය විගණනයේ මැදිහත්වීම ප්‍රමාණාත්මක නොවූයේද සහ එසේ නම් ඒ කවර හේතු මතද යන්න ජනතාව වටහාගත  යුතුව ඇත.

ඉහතදී සඳහන් කළ පරිදි මහජන නියෝජිතයන්ට පමණක් නොව නිලධාරින්ට අදාළව ද අයථා ලෙස වත්කම් උපයා ගැනීම පිළිබඳව විමර්ශනය කිරීමේ බලයක් විගණකාධිපතිට නැත. එසේවුවත්, 2018 අංක 19 දරන ජාතික විගණන පනත ප්‍රකාරව විගණනයට යටත් ආයතනයක ලිඛිත නීතියකට පටහැනිව සිදු කර ඇති ගනුදෙනුවක් මඟින් ඊට සම්බන්ධ තැනැත්තන්ගේ වංචා, නොසැලකිල්ලක්, සාවද්‍ය පරිහරණය හෝ දූෂණයක් හේතුකොට ගෙන යම් ඌනතාවක් හෝ පාඩුවක් හෝ සිදු වී ඇති විට එම වටිනාකම දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව අධිභාර කිරීමේ හැකියාව ලබා දී ඇත.

එහෙත් එම අධිභාරය අයකර ගැනීමේ කාර්යය මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශය දක්වා දිවෙන දීර්ඝ ක්‍රියාවලියකින් යුක්තය.

එසේම එය පවරා ඇත්තේද අදාළ විගණිත ආයතනය භාර ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වන අමාත්‍යාංශ ලේකම්වරයාට ම ය.

මෙපරිදි වැටකඩොළු බාධක රාශියකින් හෙබි අධිභාර ක්‍රියාවලියක් පනත මගින් හඳුන්වා දුන්නද එකදු අධිභාරයක් හෝ බලාත්මක කිරීමට ප්‍රථම විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජාතික විගණන කොමිසම අහෝසි කෙරිණි. එබැවින් විගණන සේවා කොමිෂන් සභාවට ලබා දී තිබූ අධිභාර බලතල ස්වාභාවික මරණයකට ලක්ව ඇත. ඇතැම් ආයතන ප්‍රධානීන් රාජ්‍ය මුදල් මිලියන ගණනින් වැය කරමින් විගණකාධිපතිට එරෙහිව තහනම් නියෝග ලබාගැනීම වැනි කරුණුද රාජ්‍ය විගණනයේ මැදිහත්වීම අඩපණවීමට හේතු වී ඇත.

විගණකාධිපති විසින් අනාවරණය කරගනු ලබන ඌනතා හෝ පාඩු හෝ නැවත අය කර ගැනීමේ අධිභාර බලතල විගණකාධිපති වෙතම පැවරීම මගින් අධිභාර ක්‍රියාවලියේ තුලන හා සංවරණය (Check and Balance) නැති වී යා හැකි බවට වූ තර්කමත එය විගණකාධිපතිගේ විෂය පථයෙන් බැහැරට ගෙන ගියේය. ඒ අනුව එම බලතල විගණකාධිපති ප්‍රධානත්වය දරන වත්මන් ජාතික විගණන කාර්යාලයෙන් (පෙරදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ලෙස හඳුන්වන ලද) ඉවත් කෙරිණි. ඒවා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කරන ලද ජාතික විගණන කොමිෂන් සභාව මඟින් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කිරීම සඳහා ජාතික විගණන පනත මගින් ප්‍රතිපාදන අනුව හඳුන්වා දී තිබිණි. මෙහිදී තවදුරටත් පැහැදිලි කළ යුතු අමතර කරුණක් තිබේ. එනම්, විගණකාධිපතිවරයා ආයතන ප්‍රධානි වන ජාතික විගණන කාර්යාලය සහ විගණන සේවා කොමිෂන් සභාව යනු ආයතන දෙකක් බවය. සමහරු ඒවා එක් ආයතනයක් ලෙස සිතා සිටිති. ජාතික විගණන සේවා කොමිෂන් සභාවෙහි සභාපති ධුරයට නිල බලයෙන්ම පත් වන්නේද විගණකාධිපතිවරයාය. එසේම රාජ්‍ය විගණනය, විගණන සේවා කොමිෂන් සභාව විසින් කරනු ලබන කාර්යයක් නොවේ. විගණන සේවා කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත්තේ ජාතික විගණන කාර්යාලයේ මුල්‍ය හා පරිපාලන ස්වාධීනත්වය තහවුරු කර විගණකාධිපතිගේ කාර්යය මණ්ඩලයට සහ ජාතික විගණන කාර්යාලයට අවශ්‍ය සේවා සැපයීම සඳහාය.

ඉහතදී සඳහන් කළ පරිදි අධිභාර ක්‍රියාවලියේ නිරවද්‍යතාව සහ ස්වාධීන බව ශක්තිමත් කිරීම සඳහා එම ක්‍රියාවලියට අදාළ අතරමැදි කාර්යයක්ද විගණන සේවා කොමිෂන් සභාව වෙත පවරා තිබුණි. තවද විගණන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන විගණකාධිපති ලැබෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වගන්තිය මඟින් බැඳ තබා ඇති බැවින්, විගණන සේවා කොමිෂන් සභාව වෙත එම අධිභාර තොරතුරු සන්නිවේදනය කිරීමේ සීමා පනවා තිබූ බවද කිව යුතු ය.

කෙසේවෙතත්, විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ දී විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කෙරිණි. එහෙත් එම කොමිසම මගින් කළ යුතුව තිබූ අධිභාර ක්‍රියාවලියට අදාළ කාර්යය හා කර්තව්‍යය සඳහා විකල්ප ආයතනයක් හෝ ක්‍රමවේදයක් හෝ හඳුන්වා නොදුනි. එබැවින් විගණන නිරීක්ෂණ මඟින් අධිභාර කිරීමේ ජනතා අපේක්ෂා සුන් වී ඇත.

පුද්ගල බද්ධ විගණන සිදුකර වංචා දූෂණ පිටු දැකීමේ ක්‍රියාවලියක් විගණකාධිපති වෙතින් අපේක්ෂා කිරීම නිරර්ථකය. ඒ,පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ ජාතික විගණන පනතින් හෝ වෙනත් කිසිදු ලිඛිත නීතියකින් හෝ ඊට අදාළ අධිකාරි බලයක් පවරා නොමැති නිසාය. අධිභාර බලතල විගණකාධිපති වෙත පැවරීම අවංක හා බුද්ධිමත් පුරවැසියන් ගේ  සහ ඇතැම් මහජන නියෝජිතයන්ගේ අපේක්ෂාවක් වුවද ජාතික විගණන පනත මගින් ඒ අරබයා විගණකාධිපතිවරයාට ප්‍රමාණවත් තරම් බලයක් ලබා නොදුනි. ඒ පසුපස රාජ්‍ය දේපොළවලට අදාළ විවිධ වංචනික ක්‍රියාවල නියුතු පිරිස් මෙන්ම ඔවුන්ට සහාය දක්වන අය සිටි බව රහසක් නොවේ.

පවත්නා නෛතික රාමුව සංශෝධන කිරීමකින් තොරව ජනතා අපේක්ෂා මුළුමනින්ම ඉටු  නොවේ. විෂය පථය සීමා කිරීම් මධ්‍යයේ වුවද රාජ්‍ය විගණනය විසින් ඉමහත් කැපකිරීම් කරමින් විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එවැනි විගණන වාර්තා පිළිබඳව නිසි අවධානය යොමු වූයේ නම් පුද්ගලබද්ධ විගණනයක අවශ්‍යතාවක් පැන නොනඟිනු ඇත. මාධ්‍ය මඟින්ද ප්‍රචාරය වී ඇති පරිදි, විගණකාධිපති වාර්තා පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභාවල සාකච්ඡාවට භාජන වීමේ දී, ඒවායෙහි ඇතුළත් නිරීක්ෂණ සහචෝදනා දියාරු තත්ත්වයට පත් කිරීමට විවිධ උපක්‍රම යොදා ඇති බව නොරහසකි.

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය වත්කම් බැරකම් සහ රාජ්‍ය ආදායම් හා වියදම් ආදිය පිළිඹිබු වන ජනරජයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති විසින් සිය මතය ප්‍රකාශ කරන ලද ඇතැම් අවස්ථාවලදී විගණකාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවට ඇතැම් මහජන නියෝජිතයන් අදහස් දක්වා තිබුණි. එවැනි චර්යා මගින් පැහැදිලි වන ප්‍රධානතම කරුණක් වන්නේ, ඇතැම් මහජන නියෝජිතයන් සහ ඔවුන්ගේ අනුගාමින් ද රාජ්‍ය විගණනයේ පණිවුඩය වටහා නොගෙන තාවකාලික පැවැත්ම සඳහා කටයුතු කරන බවයි.

රාජ්‍ය විගණනය විසින් ව්‍යවස්ථාපිත විගණනය ලෙස කළ යුතු ව තිබූ විගණනයෙන් ඔබ්බට ගොස් විශේෂ විගණන, කාර්යසාධන විගණන, පරිසර විගණන ලෙස පසුගිය වර්ෂ කිහිපයේදී විශාල ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් වාර්තා නිකුත් කරනු ලැබ තිබුණි. එහෙත් එම වාර්තාවලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මහජන නියෝජිතයන්ගේ සහ ජනතාවගේ අවධානයට යොමු විය. රුපියල් බිලියනවලින් ගණනය කර ඇති ප්‍රශ්නගත කරුණු කිසිදු පාර්ශවයක අවධානයට ලක් නොවී යටපත් වූ අවස්ථා එමටය.

විගණකාධිපති විසින් ඉටු කරනු ලබන කාර්යයන් පිළිබඳව ප්‍රමාණවත් පරිදි ජනතාව දැනුම්වත් නොවීමද ගැටලු‍වකි. වෘත්තිය ආචාර ධර්ම සහ රහස්‍යභාවය පිළිබඳ පවත්නා සීමා කිරීම්වලට අනුගතව පාර්ලිමේන්තුව වෙත සහ අධිකරණමය කාර්යයන් සඳහා තොරතුරු අනාවරණය කිරීම හැර විගණකාධිපතිවරයාට මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස කටයුතු කිරීමේ සීමා පවතියි. එය ද මහජන නොදැනුවත්භාවයට හේතු වී ඇත. මේ අරබයා ප්‍රයෝජනවත් අයුරින් යොදා ගත හැකි විකල්පයක් තිබේ. එනම්, විගණකාධිපති වාර්තා ජාතික විගණන කාර්යාලයේ නිල වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධියට පත්කරන හෙයින් ඒවා පරිශීලනයට ජනමාධ්‍ය සහ සිවිල් පුරවැසියන් හුරු කරවීමයි.

විශේෂයෙන්ම මේ වන විට දේශයේ පවත්නා අර්බුදය වටහා ගෙන මහමඟට පිවිස ඇති තරුණ ප්‍රජාව තමන් සතු ජංගම දුරකථනය උපයෝගි කරගෙන හෝ විගණකාධිපති වාර්තා පරිශීලනයට යොමු වන්නේ නම් ඉතා වැදගත්ය. එවිට ඔවුන්ට රටේ සිදුවන වංචා, දූෂණ ගැන නිවැරදිව දැනුම්වත් විය හැකිය. එමගින් වංචනික නිලධාරින්ටද සිය චර්යාවන් නිවැරදි කර ගැනීමට සිදුවනු නොඅනුමානයි.

උද්ගතව ඇති වත්මන් අර්බුද සහ ඉදිරියේ දී ඇති විය හැකි මෙවැනි අර්බුද විසඳීමට රාජ්‍ය විගණනයේ මැදිහත්වීම අවශ්‍ය බවට විශ්වාස කරන පුරවැසියන්හට පැවරෙන වගකීමක් තිබේ.

එනම්, රාජ්‍ය විගණනයට පවත්නා සීමා බන්ධන ජාත්‍යන්තරයේද පිළිගතහැකි මට්ටමකට ඉවත් කර විගණකාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීම පිණිස හඬක් නැගීමය. ඒ අරබයා මහජන නියෝජිතයන්ට බලපෑම් කළ යුතුය. එසේ වුවහොත්, මහජන නියෝජිතයන් මෙන්ම නිලධාරී තන්ත්‍රයද රජය වැය කරන සෑම රුපියලකටම වගවීමට හා වගකීමට බැඳී සිටින ජනතා අපේක්ෂා ඉටුවන ශක්ති සම්පන්න ශ්‍රී ලංකාවක් බිහිවනු ඇත.

(*** සකස් කළේ - උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

විගණනයේ තටු සින්ඳ දේශපාලනය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2000 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11401 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 521 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 897 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 958 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 484 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38034 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site