IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වතුකරයේ තොණ්ඩමාන් භූමිකාව

(*** එම්.එස්.එම්. අයුබ්)

නිදහසින් පසු මෙරට දේශපාලනයට වැඩිම කාලයක් යම් තරමක් හෝ බලපෑම් කළ නම වන්නේ තොණ්ඩමාන්ය. නිදහසට පෙර සිටම ආරම්භ වූ එම බලපෑම පසුගිය අඟහරුවාදා (26) ආරුමුගන් තොණ්ඩමාන් මහතා මිය යන තෙක්ම පැවැතියේය. ඉදිරියටත් එය එසේම වේදැයි දැන්ම කිව නොහැකිය.

ආරුමුගන් තොණ්ඩමාන් මහතා මියයන විට ඔහුට වයස අවුරුදු 56 කි. ඔහුගේ පුත්‍රයකු වන ජීවන්ද මේ වන විටත් දේශපාලනයට අවතීර්ණ වී සිටී. තොණ්ඩමාන්වරුන් 1945 සිට නායකත්වය දුන් ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංගමයට ඔහු නායකත්වය දරයි.

ආරුමුගන් තොණ්ඩමාන් මහතා දේශපාලනයේදී බැබළුණේ නම් ඒ ප්‍රධාන සාධක දෙකක් නිසාය. 1999 සිට මියයන තෙක්ම ඔහු නායකයාව සිටි ලංකා කම්කරු කොංග්‍රසය නම් වූ වෘත්තිය සමිතිය හා එනමින්ම ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂය ඉන් එකකි. දෙවැන්න ඊට වඩා ප්‍රබල සාධකයකි. ඒ 1945 සිට 1999 දක්වා ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන් ඔහුගේ සීයා (පියාගේ පියා) වන සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතාය.

ඇත්ත වශයෙන්ම සෞම්‍යමූර්ති තොණ්ඩමාන් සහ ලංකා කම්කරු කොංග්‍රසය දෙකක් නොව එකක් යැයි පවසන තරමට ඔහු එම වෘත්තීය සමිතියට හා දේශපාලන පක්ෂයට ඒකාත්මිකව සිටියේය. දේශපාලන පක්ෂයක හා වෘත්තීය සමිතියක නායකයා වශයෙන් තම ජීවිත කාලය තුළ එම සංවිධාන දෙකෙහි ඇතුළතින් හෝ පිටතින් කිසිදු අභියෝගයක් නැතිව තම ජන කොට්ඨාසය මෙහෙයවීමට හැකියාව තිබූ එකම නායකයා සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතාය.

ලංකා කම්කරු කොංග්‍රසය 1940 ගණන්වල මුලසිටම ක්‍රියාත්මක වුවද පසුව විශේෂයෙන්ම හැටේ දශකයෙන් පසු වතුකරයේ වෙනත් බොහෝ වෘත්තීය සමිති බිහිවී තිබේ. ඇතැම් ඒවා රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ඒවාය. එහෙත් ඒ සියල්ලටම වඩා ලංකා කම්කරු කොංග්‍රසය පිරිස් බලයෙන් ශක්තිමත්ය. මුදල් බලයෙන්ද ශක්තිමත්ය. දේශපාලන බලපෑම අතින්ද මෑතක් වන තෙක් ඉදිරියෙන්ම සිටියේ එම පක්ෂයයි. එහෙයින් ආරුමුගන් තොණ්ඩමාන් මහතා 1999 දී එම පක්ෂය හා වෘත්තීය සමිතිය භාරගන්නා විට ඔහු ඉදිරියේ වූයේ සුමට මාවතකි.

මුල් කාලයේදී මෙන් නොව වතුකරයේ ජනතාව යනුවෙන් හැඳින්වෙන ඉන්දීය සම්භවයෙන් පැවැත එන දෙමළ ජනතාව දැන් වතුකරයටම සීමා වී නැත. අද බොහෝ දෙනකු වෙනත් ප්‍රදේශවලට ගොස් ජීවත් වෙති. කොළඹ, වත්තල, කළුතර, පානදුර ආදී ප්‍රදේශවල පමණක් නොව අනුරාධපුර වැනි ප්‍රදේශවල ද අද ඔවුහු ජීවත්වෙති.

එසේම මේ වන විට එම ජනතාවගෙන් බොහෝ පිරිසක් වතුකරයේ ජීවත්වුවද ඉන් පිටත ජීවත්වුවද වෙනත් බොහෝ රැකියාවල නිරත වී සිටිති. තානාපතිවරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුද ඒ අතර වෙති.

ලංකා කම්කරු කොංග්‍රසය හා සෞම්‍යමූර්ති තොණ්ඩමාන් යන නම් ඔවුන් වෙත කරන්නේ අතිශයින්ම ප්‍රබල බලපෑමකි. එසේම දශක කිහිපයකට පෙර දක්වා සංවිධානාත්මක වූ එකම වාර්ගික ජන කොට්ඨාසය වූයේද ඉන්දීය සම්භවයෙන් පැවැත එන දෙමළ ජනයාය. ඒ වෘත්තීය සමිති වශයෙනි. ඒවායින්ද එම සංවිධානාත්මක බවේ ප්‍රකාශනය ලෙස සැලකෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයයි.

මෙම ජනතාවට මෙරට දේශපාලනයට බලපෑම් කරන්නට හැකිවීමේ ප්‍රධාන සාධකය මෙම සංවිධානාත්මක බවයි. එය ඔවුන්ට වාසිදායක වූවා සේම අවාසිදායක වූ අවස්ථාද තිබේ. 1978 දක්වා මෙරට ප්‍රධාන ආදායම් මාර්ග වූ තේ, පොල් හා රබර් වතුවල පාලකයන් සමඟ කේවල් කිරීමට ඔවුනට එම සංවිධානාත්මක බව බෙහෙවින්ම උපකාරී විය.

1947 පැවැති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ලංකා සම සමාජ පක්ෂය ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට හැකිවූයේ ඔවුනට වතුකරයේ ජනතාවගේ සහාය ලැබීම නිසාය. එහි ප්‍රතිඵලය වූයේ එම මැතිවරණයේ ජයගත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව 1948 ලංකා පුරවැසි පනත හා 1949 පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත උපයෝගී කරගෙන ඉන්දීය සම්භවයෙන් පැවැත එන ජනතාවගෙන් අති බහුතරයකගේ පුරවැසි බවත් ඡන්ද බලයත් අහෝසි කිරීමයි. මේ ඔවුන්ගේ සංවිධානාත්මක බව ඔවුනටම අවාසි සහගත වූ ආකාරයයි.

ඔවුන්ගෙන් පිරිසක් 1964 සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ හා 1974 සිරිමා ඉන්දිරා ගිවිසුම යටතේත් ඉන්දීය පුරවැසි බව ලැබූහ. එම ගිවිසුම් යටතේ තවත් පිරිසක් ශ්‍රී ලංකා පුරවැසි බව ලැබූහ. ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී ඇතිවූ ප්‍රශ්න නිසා තවත් ලක්ෂ එකහමාරක් පමණ පිරිසක් නොරටුන් ලෙස සිටි අතර 1988 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේදී ඔවුනටද ශ්‍රී ලංකා පුරවැසිකම හා ඡන්ද අයිතිය ලැබිණි.

ඉන් පසුද මෙම ජනතාව ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය යටතේ තම සංවිධාන ශක්තිය පෙන්වා ඇත. 1989 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය තරග කළේ එක්සත් ජාතික පක්ෂය යටතේය. එහිදී එම පක්ෂය වතුකරයේ තමන්ගේ ඡන්ද නිශ්චිත අපේක්ෂකයන් දෙතුන් දෙනකුට ලැබීම වැළැක්වීම සඳහා තම පක්ෂයේ අපේක්ෂකයන් අට දෙනාගේ මනාප අංක නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුවලට බෙදාදී එම වතුවල ජනතාවට තමන්ට නියමිත අංකවලට පමණක් ඡන්දය දෙන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව එම මැතිවරණයේදී එම දිස්ත්‍රික්කයේ ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයෝ අට දෙනාම තේරී පත්වූහ.

එක් අතකින් සලකා බලන විට ලංකා කම්කරු කොංග්‍රසය යනු 1929 සිට 1939 දක්වා ලොව පුරා පැවැති ආර්ථික අවපාතයේ ප්‍රතිඵලයකයි කිව හැකිය. එම අවපාතය දෙවැනි ලෝක යුද්ධයට පවා ප්‍රධාන හේතුවක් වූ අතර, එය දේශීය වශයෙන් අවම බලපෑමක් ඇති කළේ වතුකරයටය. මේ නිසා වතුකරයේ ජනතාවට එරෙහි ව්‍යාපාරයක් පැතිර ගිය අතර ඊට ජාතිවාදයද එක්විය.

මේ වන විටත් මෙරට වතුකරයේ ප්‍රජා නායකයන්හට ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායකයන් සමඟ යම් යම් සබඳතා ගොඩනැඟී තිබිණි. ඒ ඔවුන් ඒ වනවිටත් තමන් ඉන්දියානුවන් සේ සලකා කටයුතු කිරීම නිසාය. වතුකරයේ ඉතා වයස්ගත පුද්ගලයන් සිටින නිවෙස්වල තවමත් මහත්මා ගාන්ධිගේ හා ජවහර්ලාල් නේරුගේ ඡායාරූප එල්ලා තිබෙනු දැකගත හැකිය.

මේ සබඳතා පාවිච්චි කරමින් වතුකරයේ නායකයෝ තම ප්‍රජාවට එරෙහිව එල්ල වී ඇති තර්ජන ගැන ඉන්දීය ජාතික සංගමයට දැනුම් දුන්හ. 1939 දී මෙරට සංචාරයක නිරත වූ ජවහර්ලාල් නේරු මේ අනුව ඉන්දීය සම්භවයෙන් පැවැත එන ජනතාවගේ නායකයන් හමුවිය. පවතින තත්ත්වයට පිළියම වන්නේ මෙම ජනතාව සංවිධානය වීම යැයි නේරු එහිදී උපදෙස් දී තිබිණි.
ඒ අනුව ඒ වසරේම ලංකා ඉන්දියානු කොංග්‍රසය පිහිටුවනු ලැබීය. ලංකා කම්කරු කොංග්‍රසය එහි වෘත්තීය සමිතිය විය. ලංකා ඉන්දියානු කොංග්‍රසයේ ආරම්භක නායකයන්ගෙන් කෙනකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතා 1945 දී එම වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ධූරයට පත්විය. ඉන්පසු ඔහු වසර 54ක්ම ඊට නායකත්වය දුන්නේය.

ලංකා කම්කරු කොංග්‍රසය මුල් කාලයේදී මෙරට බ්‍රිතාන්‍ය පාලකයන්ට විශාල හිසරදයක් විය. ඒ වැවිලි කර්මාන්තය එම පාලකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වීම නිසාය. වතු කම්කරුවන් අතර තවමත් ඉතාමත් ප්‍රකට උරුලවල්ලි සටන නමින් ප්‍රකට අරගලය මෙසේ බ්‍රිතාන්‍ය පාලකයන් මුහුණ දුන් දුෂ්කර ගැටලුවක් වූ අතර එය අවසන් වූයේ බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලය හමුවේ පැවැති නඩු විභාගයකින් මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අවමානකාරී ලෙස පරාජය වීමෙනි.

බුලත්කොහුපිටිය ප්‍රදේශයේ උරුලවල්ලි වතුයායේ කම්කරුවෝ වතුයාය අසල පිහිටි කැලෑ ඉඩම් අක්කර 400 ක් අල්ලාගෙන වගා කළහ.  මෙය වරදක් ලෙස තීරණය කළ මෙරට ඉංග්‍රීසි ආණ්ඩුව එම කම්කරුවන් හට රුපියල් 1000 ක් බැගින් දඩ නියම කළේය. හාල් සේරුව (කිලෝව) ශත දෙකක් පමණ වූ ඒ කාලයේ මෙම රුපියල් දහසේ දඩය කොතරම් බැරෑරුම් දඬුවමක්දැයි කෙනකුට සිතා ගැනීමට පුළුවන.

මෙම දඬුවම එකල බ්‍රිතාන්‍යයේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ පවා කතාබහට ලක්වී තිබිණි. ඒ අතර හැටන්, මස්කෙළිය ආදී ප්‍රදේශද ඇතුළු වතුකරය පුරා කම්කරුවෝ එක්ලක්ෂ විසි එක් දහසක් මෙම තීරණයට එරෙහිව වැඩ වර්ජනයක නිරත වූහ.

මෙරට සුදු පාලකයෝ මෙම වැඩ වර්ජනයෙන් අන්දමන්ද වූහ. කර කියාගත නොහැකි වූ ඔවුහු එක් කොන්දේසියක් මත දඬුවම ඉවත් කර ගැනීමට එකඟ වූහ. අදාළ කම්කරුවන් සමාව ගත යුතුය යන්න එම කොන්දේසියයි. ලංකා කම්කරු කොංග්‍රසය අදාළ කම්කරුවන් 363 දෙනාගෙන් 362 දෙනකුට සමාව ගන්නා ලෙස උපදෙස් දී අනෙක් කම්කරුවාගේ ප්‍රශ්නය අධිකරණයට යොමු කළේය.

ඒ කාලයේ මෙරට විභාග වන නඩුවලට අදාළ අවසාන අභියාචනය විභාග කෙරුණේ එංගලන්තයේ ප්‍රිඩි කවුන්සිලයේදීය. ඒ අනුව මේ නඩුවද එම කවුන්සිලයට ගිය අතර එහි තීන්දුව වූයේ වගා කරන ලද ඉඩමෙන් කම්කරුවන් ඉවත් කළ නොහැකිය යන්නයි. මෙම තීන්දුව පසුව අනෙක් කම්කරුවන් 362 දෙනාටද අදාළ කරගන්නා ලදී. ලංකා කම්කරු කොංග්‍රසය අද දක්වා මෙම ජයග්‍රහණය සිහිපත් කරයි.

කලෙකට ඉහතදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයටද බොහෝ දෙනා කිසිදු පදනමකින් තොරව බෙදුම්වාදී චෝදනාවෙන් දමා ගැසූහ. කම්කරු කොංග්‍රසය මලයනාඩුව නමින් වෙනම රාජ්‍යයක් බෙදා වෙන්කර ගැනීමට කටයුතු කරන බවට ඔවුහු චෝදනා කළහ. වතුකරයේ ජනතාව නිතර තමන් හඳුන්වා ගන්නේ කඳුරට ජනතාව වශයෙනි. දෙමළ භාෂාවෙන් මලයිනාඩු යනු කඳුරටයි. බෙදුම්වාදී චෝදනාව එල්ල කළ පිරිස් මලයනාඩු යන වචනය අල්ලාගන්නට ඇත්තේ එමගින් විය යුතුය.

වරක් සම්මුඛ සාකච්ඡාවකදී ලියුම්කරු මෙම චෝදනාව සම්බන්ධයෙන් සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතාගේ ප්‍රතිචාරය කුමක්දැයි විමසීය. ඔහුගේ පිළිතුර වූයේ මලයිනාඩු (කඳුරට) යන්න අලුත් දෙයක් නොව පෘථිවිය බිහිවූ දා සිට පවතින්නක් බවය.
කෙසේ වෙතත් 1999 ඔක්තෝබර් 30 වැනිදා ඔහු මියගිය විට ශෝක පණිවිඩ නිකුත් කළ බොහෝ සිංහල නායකයන් සඳහන් කොට තිබුණේ උතුරු නැගෙනහිර දෙමළ සන්නද්ධ සංවිධාන ආරම්භ කළ බෙදුම්වාදී අරගලයට වතුකරයේ තරුණයන් සම්බන්ධ වීම වළකාලූයේ ලංකා කම්කරු කෙංග්‍රසය බවයි. වසර 21 කට පසු ආරුමුගන් තොණ්ඩමාන් මහතා මියගිය විට ඇතැම් දැඩි මතධාරීන් පවා ඒ මහතාටද එම චරිත සහතිකයම දෙනු අසන්නට ලැබිණි.

ලංකා කම්කරු කොංග්‍රසය කොටි සංවිධානය සමඟ පවා අදහස් හුවමාරු කරගත්තද කිසිදු බෙදුම්වාදයකට සහාය දුන්නේ නැත. 1972 දී දෙමළ එක්සත් පෙරමුණ ගොඩනඟනු ලැබූ විට ලංකා කම්කරු කොංග්‍රසයද ඊට ඇතුළත් විය. එහෙත් එම පෙරමුණ 1976 දී තම නම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වශයෙන් වෙනස් කරගෙන, වෙනම රාජ්‍යයක් සඳහා වූ වට්ටුක්කෝට්ටයි යෝජනාව සම්මත කළ විට ලංකා කම්කරු කොංග්‍රසය එම සන්ධානයෙන් ඉවත් වූයේ එම යෝජනාව වතුකරයට අදාළ නොවන බව පවසමිනි.

වතුකරයේ ජනතාවට ශ්‍රී ලංකා පුරවැසිකම ලැබීමෙන් පසුව වුවද ලංකා කම්කරු කොංග්‍රසයට ඉන්දීය රජයෙන් හොඳ පිළිගැනීමක් ලැබී තිබිණි. එම පිළිගැනීම 1989 දී මෙරට හා ඉන්දියාව අතර ඇතිවන්නට ගිය බරපතළ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් විසඳා ගැනීමටද උපකාරී විය.

ජනාධිපති ප්‍රේමදාස මහතා 1989 ජුනි 1 වැනිදා ප්‍රකාශයක් කරමින් එවකට මෙරට සිටි ඉන්දීය හමුදා ජූලි 31 වැනිදාට පෙර රටින් පිට විය යුතුයැයි කීවේය. මෙය ඒක පාර්ශ්වික ප්‍රකාශයක් වූයෙන් ඉන්දීය රජය එය පිළිගත්තේ නැත. ජූලි 31 වැනිදා ළං වන විට රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නොවැළැක්විය හැකි බව පෙනී ගියේය. එවිට සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතා ඉන්දීය මහ කොමසාරිස්ව සිටි ලඛන් ලාල් මෙහ්රොත්රා හමුවී විදේශ ලේකම් බර්නාඩ් තිලකරත්න මහතා සමඟ සාකච්ඡාවක් සූදානම් කොට ප්‍රශ්නය විසඳුවේය.

එහෙත් පසු කාලයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ බලපෑම දිය වී ගිය බවක් පෙනෙන්නට තිබිණි. ඒ අනුව පී. දිගම්බරම් මහතා නායකත්වය  දරන කම්කරු ජාතික සංගමය වැනි වෙනත් වෘත්තීය සමිති වතුකරයේ ශක්තිමත් විය. අද වන විට එම සමිතිය ලංකා කම්කරු කොංග්‍රසය තරම් ශක්තිමත් නොවූවද ඇතැම් ප්‍රදේශවල කොංග්‍රසයට අභියෝගයක් වී ඇත.

ආරුමුගන් තොණ්ඩමාන් මහතා මැයි 26 වැනිදා අභාවප්‍රාප්ත වූයේ ඒ පසුබිම තුළය. කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධානයේ ප්‍රධානියා වන ඔහුගේ පුත් ජීවන් ඔහු වෙනුවට පාර්ලිමේන්තුවට පත්කර යැවීමට කොංග්‍රසය තීරණය කොට ඇතත් පක්ෂයේ හා ඒ නමින්ම ඇති වෘත්තීය සමිතියේ නායකත්වය පිළිබඳ තීරණය මෙතෙක් ගනු ලැබ නැත.

කෙසේ වෙතත් කලෙක දැවැන්ත බලවේගයක් වූ ලංකා කම්කරු කොංග්‍රසය යළිත් ඒ තත්ත්වයට පත් නොවන බව පැහැදිලිය. එහෙත් ආරුමුගන් තොණ්ඩමාන් මහතා යුගයක අවසන් වේද යන්න දැන්ම කිව නොහැකිය.



අදහස් (1)

වතුකරයේ තොණ්ඩමාන් භූමිකාව

kule Sunday, 31 May 2020 10:31 AM

1948 නිදහසින් පසු ශ්‍රී ලාංකික කම්කරු ජනතාවට ලැබූ දෙයක් නැත. වරප්‍රසාද, තාන්න මාන්න සුවපහසු ජීවිත ඔවුන්ගේ දරුවන්ට පිටරටවල උසස් අධ්‍යාපන ...ලංකාවේ කම්කරු නායකයින් අසරණ කම්කරුවාගේ මුට්ටි කාසිවලින් ලබා ගනිද්දී අසරණ කම්කරුවාට ලැබුනේ සොච්චමකි. ඔවුන්ගේ හඬ අදටත්, හයිඩ්පාක් එකටත්, ලිප්ටන් වටරවුමටත් සීමාවී ඇත..

:       1       24

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 68 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1406 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 652 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 205 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4649 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12983 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38531 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 921 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site