IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


වෘත්තිකයින් රට හැරයාමේ ඛේදවාචකය

මේ දිනවල රටපුරා පාස්පෝට් කන්තෝරුවල මහ පාන්දර ‘‘රැකෙම්වා මියෙම්වා” න්‍යායෙන් රටින් පැන ගන්නට පොර බදන තරුණ පිරිස දකින විට රටේ ජනතාවට ඇතිවන්නේ කම්පනයකි. ජීවිතයේ කිසිදු දිනක එකම රාත්‍රියක් වත් නිවසින් බැහැර නොවූ හිරිමල් තරුණ තරුණියන් රට රාජ්‍යයවලට පැන ගන්නට උත්සාහ කරන්නේ නිසි පරිදි රැකියාවක් හෝ ආරක්‍ෂාවක් පිළිබඳව කිසිදු සහතිකයක් නොමැතිවය.

පසුගිය කාල සීමාවේදී මේ රටේ අඩුම තරමින් දංකුඩයක් හෝ ඉතිරි වී ඇතැයි යන අපේක්‍ෂාවෙන් අහස් යානා පිටින් වෙන් කරවා ගෙන ලහි ලහියේ පොර කකා පැමිණි පිරිස පාර දෙපස බිත්තිවල ගෑ තීන්ත වේළීමටත් පෙර හැරෙන තැපෑලෙන්ම පස්ස නොබලා පැන ගත්තේ ‘‘ඉන්න හිතෙන රටක්’’ කෙසේ වෙතත් අඩුම තරමින් තිබුණ රැකියාවත් බේරා ගැනීමටය.

“මේ රටේ ඉඳලා වැඩක් නෑ” යන මතය තරුණ පරම්පරාව තුළ තහවුරු වී තිබේ. එහි ඛේදවාචකය නම් එයින් ගම්‍ය වූ පණිවිඩය නිසා ඉන් පසු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් රටින් පැන ගැනීමට උත්සාහ දැරීමය. එය වංකනාථ රජු සමයේ ද්‍රවිඩ ආක්‍රමණ නිසා මෙරටින් ගෙනගිය දොළොස් දාහක් සෙනඟට හිලව් වශයෙන් එතුමාගේ පුත් ගජබා රජු එම දොළොස් දාහකට අමතරව එම රටෙන්ද තවත් දොළොස් දහසක් ගෙන ඒමට සමානය. රටවටා මුහුදක් නොතිබෙන්නට මොවුන් හට්ටි මුට්ටි කරගහගෙන සරණාගතයන් මෙන් නීති විරෝධී දේශසීමා ආක්‍රමණය කරනු ඇත.

මේ රට හැර යාමේ උන්මාදය මීට පෙර නොතිබිණි. කන්නන්ගර අධ්‍යාපනට පින්සිදු වන්නට රාජකාරි අවශ්‍යතාවලට අනිවාර්ය වූ පරිසරයක් එවක පැවතිණ. එහෙත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. රට යෑම දෙවිදියකට අර්ථ දැක්විය හැකිය. එකක් නම් යමක් කමක් හරි හම්බ කරගෙන මෙරටට පැමිණීමය. අනෙක් කොටස නැවත නොඑන සේ රටින් පිටට යාමය. උගත් නූගත් සියලු දෙනාම මේ ක්‍රම දෙකම භාවිත කරන නමුත් අතිබහුතරයක් උගතුන් වෘත්තිකයන් රට හැර යන්නේ ආපසු නොඑන්නටය. මෙය සුළුකොට තැකිය නොහැකිය. හේතුව ඔවුන් උගතුන් වෘත්තිකයන් කරන්නට ජනතා බදු මුදල් අප්‍රමාණව වියදම් කර ඇති නිසාය. මේ නිසා අපගේ වෘත්තිකයන් වෙනත් රටවල් සංවර්ධනය කරද්දී ලංකාවට එකම තැන පල්වීමට සිදුවී ඇත. එහෙත් අවාසනාවකට මේ ඛේදවාචකය නිවැරැදිව අර්ථකථනය නොකොට බුද්ධිමතුන් ප්‍රතිපත්ති සම්පාදකයන් රට හැර යන්නන්ගේ ලැබෙන ප්‍රේෂණවලට කෙළ හලන්නේ ‘‘ලෙඩා මළත් බඩ සුද්දයි’’ යන ගැමි කතාව සිහි ගන්වමිනි. මේ ගණන් බලන්නන් දැන ගත යුතු කරුණ නම් රට හැර යන වෘත්තිකයන්ගෙන් තඹයක්වත් අපට නොලැබෙන බවය. අවසානයේදී ලැබෙන ආදායමක්ද නැති අතර, වෘත්තිකයන්ද අහිමි කරගෙන ඇත. එවිට ඉතිරි වන සුන්බුන්වලට කළ හැක්කක්ද නොමැත. මේ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන්ට දිගුකාලීන දර්ශනයක් අවශ්‍යය.

මේ වන විට විදේශ විනිමය අර්බුදය උග්‍ර අතට පත්ව තිබේ. ඒ සඳහා ද ඉක්මන් පිළියමක් අවශ්‍යමය. වරද කාගේ වුවද රටම බංකොලොත් බව ලෝකයම පිළිගෙන ඇත. එබැවින් තිත්ත බෙහෙත් පමණක් නොව ශල්‍යකර්මවලට මුහුණ දීමටද සිදුවනු ඇත. මේ මතුපිට පෙනෙන ආර්ථික අර්බුදයයි. මේ අර්බුදයට දිගු කාලීන සැලැස්මක් අවශ්‍ය වී ඇත. පහෙන් පහට මාරු වන එදාවේල් සැලසුම්වලින් කිසිදු ඵලක් සිදුවී නොමැති බව මේ වනවිට මොනවට පසක් වී ඇත. තේ, රබර්, පොල් මත තිබූ බලාපොරොත්තු සුන් වී බොහෝ කල්ය. ඒ කෝටාව වෙන රටවල් යහමින් අත්පත් කරගන ඇත. සංචාරක, විදේශ ප්‍රේෂණ, දිගු කාලීන අත්දැකීම්වලින් පැහැදිලි වන්නේ එම ආදායම් ලැබෙන්නේද ‘‘වැසි වැස්සොත් ගඟ පිරේ’’ යන න්‍යාය පදනම් කරගනිමිනි.

ඒවා එතරම්ම විචලනය වීමට ඇති සම්භාවිතාවය වැඩිය. සාමාන්‍යයෙන් කලාපයේ අනිකුත් රටවල වාර්ෂික සංචාරකයන් සංඛ්‍යාව මිලියන 20 පසුකරද්දී අපගේ උපරිමය 1.9 කි. එයිනුත් වියදම් කළ හැකි සංචාරකයන් පිරිස අඩුය. ඉන්ධන විදුලිය නැති රටක හවස 6 ට නින්දට යෑමට එන සංචාරකයෙක් නැත. සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට ආකර්ෂණීය වැඩ පිළිවෙළක්ද අවශ්‍යය. සංචාරක ස්ථානවල අප කුඩා අවදියේ අත් දුටු දුෂ්කරතාවයන් තවමත් එලෙසමය. ඒවා දියුණු කිරීමට උත්සාහ කරද්දී විරෝධතාද එමටය. කංසා වගාව කෙසේ වෙතත් නොනිදන නගර නොමැතිව සංචාරක ක්‍ෂේත්‍රය දියුණු කළ නොහැකිය. දඹුල්ලටත් තිබුණේ විරෝධතාමය. අද එයින් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්ය. ඇඟළුම් ක්‍ෂේත්‍රයද අද වන විට ප්‍රශ්නකාරිය. කම්කරු නීති රිති, වෘත්තිය, සටන්, ක්‍රියාමාර්ග, අධික බදු හමුවේ බැට කමින් දන්සල් දීමට ආයෝජකයන් පැමිණෙන්නේ නැත. දැනටමත් ඔවුහු වෙනත් ආසියානු රටවල ස්ථානගත වී සිටිති. අපනයන වෙළෙඳපොළද ටිකෙන් ටික සංකෝචනය වී ඇත. ඊට අමතරව ඇමරිකානු ජනාධිපතිවරයාගේ බදු ඉහළ දැමීමේ අනතුරක්ද අත ළඟම ඇත. එදා මෙදා තෙක් ලංකාව අත්සන් කරන ලද ද්වීපාර්ෂික වෙළෙඳ ගිවිසුම් ගණන සත්‍යයක් වූවා නම් මෙලහකටත් ලංකාව ලෝකෙයෙන්ම ඉහළින්ම සංවර්ධනය වී හමාරය. ඒවා හුදු හෝටල් බිල් සහ මාධ්‍ය සංදර්ශන පමණක් බව වැටහෙන විට ණයකරුවන් හතර වටින් ගේ වටකොට හමාරය. එබැවින් දැනටමත් නිශ්චිත වැඩපිළිවළකට අවතීර්ණ වුවහොත් කෙටිකාලීන දුෂ්කර වුවත් දිගු කාලීන සහනයක් වනු ඇත.

අනෙක් අතට මේ අර්බුදයේ නොපෙනෙන පැත්ත නම් අපගේ අධ්‍යාපන ක්‍රමයේ පවතින ජානමය දුබලතාය. වාර්ෂිකව විවිධ මට්ටම්වලින් රජයේ සහ ජාත්‍යන්තර ආයතනවලින් සහතිකධාරීන් බිහි වුවද නිර්මාණශීලී අවංක යහපත් ආකල්ප පිරි කාර්යක්ෂමතාවයෙන් පිරිපුන් පරපුරක් එයින් නිර්මාණය වීමට ඇති ඉඩකඩ අල්පය. රාජ්‍ය සේවය පිළිබඳ ජනතාවගේ පවතින අතෘප්තිකරභාවය ඊට හොඳම නිදසුනකි. මෙය පුද්ගලයන්ගේ දුර්වලතාවක් නොව අධ්‍යාපනයෙන් උරුම කරදුන් දේවල්ය. ඊට උගත් නූගත් බේදයක්ද නැත. උසාවි වැඩි වේ. බන්ධනාගාර වැඩි වේ. පොලිසි වැඩිවේ. රිය අනතුරු මිනීමැරුම් දිනෙන් දින වැඩිවේ. මේ සියල්ල පිටුපස ඇත්තේ ඉවසීමක් නැති ජනතාවක් අධ්‍යාපනයෙන් නිර්මාණය වීමය.

ඉතාම කුඩා ප්‍රාථමික මට්ටමේදී හැකියාවන් හඳුනාගෙන, ඒ අනුව හැකියාවන් දියුණු කිරීමේ මාවතක් මෙරට අධ්‍යාපනයෙහි නැත. එබැවින් රටෙහි ජනතාව රටේ ආර්ථිකයට උරා ගැනීමට නොහැකිවීමෙන් රටට දෛනිකව අහිමි වන මිනිස් පැය ගණන අප්‍රමාණය. රාජකාරි වේලාවල් තුළ නිකරුණේ කාලය ගත කරන ජනතාව ඊට හොඳම නිදසුනකි. ආර්ථිකයට දායක වන සුළු පිරිසකට බහුතරයක් නඩත්තු කිරීමට සිදුවී ඇති බව පෙනේ. සියලුම ජනතාව ආර්ථිකයට උරාගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපනයක් වත්මනේදී අවශ්‍යව ඇත. මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම අධ්‍යාපනඥයන් දාර්ශනිකයන් මෙන් විය යුතු බවට වසර සිය ගණනකට පෙර ප්ලේටෝගේ අර්ථ නිරූපණය අප රටට අතිශයින්ම වලංගුය. නිර්මාණශීලී දාර්ශනිකයන් බිහිකිරීම සඳහා අධ්‍යාපනය අවශ්‍යව ඇත. ප්‍රතිපත්ති සම්පාදකයන් දාර්ශනිකයන් නොවී නිවැරැදි අධ්‍යාපනික ක්‍රමයක් නිර්මාණය වන්නේ නැත. ඒ තර්කය මත අධ්‍යාපනයෙන් එවිට දාර්ශනිකයන් බිහිවන්නේද නැත.

අනෙක් අතට මේ වන විට මතුපිටින් නොපෙනෙන අර්බුදයක් වන්නේ ඉවක් බවක් නොමැතිව රට හැර යාමය. මෙය දෙවිදියකින් නැවත වටයකින් ප්‍රශ්න රාශියකට මග පෑදීමක් වේ. පළමු තර්කය නම් උගත් පිරිස් රට හැර යාමය. නිදහස් අධ්‍යාපනයෙන් උගතුන් වී රට හැර යාමෙන් ඇතිවන ආර්ථික අලාභය මෙන්ම රටට සේවය කිරීමට වෘත්තිකයන් අහිමිවීමෙන් ඇතිවන අලාභය ගණන් බැලිය නොහැකිය. විශේෂඥ වෛද්‍යවරුන් දැනටමත් ඇත්තේ 2800 කි. එයද කිසිසේත් ප්‍රමාණවත් නොවන බව රජයේ රෝහල් හා පෞද්ගලික රෝහල්වල පොරකන ජනතාවගෙන් මොනවට පැහැදිලි වේ. එසේ තිබියදී මේ වන විට වෛද්‍යවරුන් 800 ක් රටහැර ගොස් ඇති බව මාධ්‍ය මගින් කියැවේ. අනෙක් ක්‍ෂේත්‍රවල තත්වයද මීට සමානය. මොවුන්ගෙන් රටම බලාපොරොත්තු වූ සේවාව අහිමි වූවා පමණක් නොව ඔවුන්ගේ ලැබෙන විදේශ ප්‍රේෂණයක්ද නැත. අනික් අතට මේ තත්වය තුළ රටේ ඉතිරිවන්නේ සුන්බුන් පමණය. සුන්බුන්වලින් ගොඩයන රටක් නැත. යමක් කමක් ඇති උගත් අය නගරයට පිවිසීම නිසා ගම අසරණ වූ පරිදිම ඉදිරියේදී රටත් අසරණ වීම නොවැළැක්විය හැකිය.

එමෙන්ම දෙවැනි තර්කය පිළිබඳ අප තවමත් අවධානය යොමුකර නැත. බොහෝ දරුවන් විදේශ ගත වීම දෙමාපියන් බහුතරයක් ස්මරණය කරන්නේ මහත් වූ ආඩම්බරයක් මුසුවූ ලලාසාවකිනි. එයද එක්තරා සීමාවක් දක්වා පමණක් බව ඔවුන්ට අමතක වීම පුදුමයකි. එහෙත් තමුන්ගේ වැඩ තමුන්ටම කරකියා ගත නොහැකි වූ විට ඔවුන් රැකබලා ගැනීමට දරුවන්ට සිදුවන්නේ දුරස්ථ පාලකයන් මගින් පමණි. එතරම්ම වැඩිහිටියන් ඉදිරියේදී අසරණ වීම නොවැළැක්විය හැකිය. විශේෂයෙන් ලංකාවේ ඉදිරි දශකවල වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවන බව සංඛ්‍යා ලේඛන මගින් කියැවේ. මේ වැඩිහිටි ජනයා නඩත්තු කිරීමට සුව පහසු ඇති වැඩිහිටි නිවාස හෝ වැඩිහිටි රක්‍ෂණ ක්‍රමයක් නොමැත. දරුවන් ළඟපාත නැති දෙමාපියන්ට ජීවිතයේ අවසාන කාලයේදී සැනසිලිදායක මරණයකටවත් ඉඩක් නැත. දරුවන් සිටියදිත් පින්පඩි සොච්චම ලබා ගැනීමට වයෝවෘද්ධ වැඩිහිටියන් හුදකලාව කාර්යාල අසල අසරණව දරණ වෙහෙස අපමණය. දුප්පත් පොහොසත් උගත් නූගත් භේදයක් නොමැතිව මේ වැඩිහිටි ප්‍රශ්නයද විසඳීමට අපහසු ප්‍රශ්නයක් වනු ඇත.

එබැවින් මේ වන විට අප රටට අවශ්‍යව ඇත්තේ දිගුකාලීන ක්‍රමවත් වැඩපිළිවෙළකි. එහෙත් ඊට අවශ්‍ය දාර්ශනික ඥානය සෙවීම සුළුවෙන් තැකිය නොහැකිය. ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම අඩුම තරමින් ඉහළ නිලධාරීන් දාර්ශනික මට්ටමේ නොවුවහොත් ඉදිරියේදී ඉතාමත් අසීරු තත්වයකට පත්වීම නොවැළැක්විය හැකිය. දිනපතා මාධ්‍ය සංදර්ශන, විරෝධතාවලින් ඔබ්බට ගොස් සබුද්ධික ජනතාවක් භෞතිස්ම නොකොට මේ ගැටලුවට පිළියම් සෙවීමද අසීරුය. මේ සඳහා ඕනෑතරම් පිරිසක් හඬක් නොමැතිව බලා සිටිති. මොවුන්ගේ සේවයද ලබාගත යුතුය.

මේ මොහොතේ කුමන තර්ක තිබුණද රට හැර යාම පිළිබඳ දෙවරක් සිතා රට සංවර්ධනය කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට වේදිකාවට අවතීර්ණ වීමට කාලය එළඹ ඇත. එමෙන්ම මීළඟ අයවැයවලින් වත් වැඩිහිටි ප්‍රශ්නය බරපතළ සමාජ ප්‍රශ්නයක් සේ සලකා කටයුතු කිරීම වැදගත් වනු ඇත. එමෙන්ම තුන්කල් පෙනෙන සබුද්ධිකයන් පිරිසක් වේදිකාවට යොමු කළ යුතුව ඇත.

(***)



අදහස් (0)

වෘත්තිකයින් රට හැරයාමේ ඛේදවාචකය

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

සිංහල සිනමාවේ ඔටුනු නොපලන් රජු
2025 මාර්තු මස 19 402 0

කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “


ආණ්ඩුව බටලන්දට ගිනිතැබීම
2025 මාර්තු මස 19 569 0

බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත


විචාරකයන්ට අමතකවුණු මහාකවියා - රැයිපියෙල් තෙන්නකෝන්
2025 මාර්තු මස 18 79 0

මෙරට සාහිත්‍ය විචාරකයන් ගේ විග්‍රහය අනුව සිංහල පද්‍යයෙහි නූතන අවධිය කොළඹ කවිය, හෙළ හවුල් කවිය, නිසැඳැස් කවිය ආදී වශයෙන් බෙදේ. මේ ඉතා දළ, රළු බෙදුමක් සේ ප


සිංහල සාහිත්‍යයේ විප්ලවවාදියා
2025 මාර්තු මස 18 77 1

මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින්


වෘත්තිකයින් රට හැරයාමේ ඛේදවාචකය
2025 මාර්තු මස 18 92 0

මේ දිනවල රටපුරා පාස්පෝට් කන්තෝරුවල මහ පාන්දර ‘‘රැකෙම්වා මියෙම්වා” න්‍යායෙන් රටින් පැන ගන්නට පොර බදන තරුණ පිරිස දකින විට රටේ ජනතාවට ඇතිවන්නේ කම්පනයකි


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 105 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 979 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 340 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site