IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


විදුලි අර්බුදයේ වරද කොතැනද ?

එළඹෙන වසරේ (2020) අප්‍රේල් - මැයි මාස වන විට රට දැවැන්ත විදුලි අර්බුදයකට ගොදුරු විය හැකි අතර එය විදුලි කප්පාදුවක් දක්වා දුරදිග යා හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දෙසැම්බර් 06 වැනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඒ නිවේදනයට හේතු වී ඇත්තේ ඊට පෙර දින (05) ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ සාකච්ඡාවකි. නිවේදනයට අනුව ඒ සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ 2019 හා 2020 අවුරුදුවල දී ජාතික විදුලිබල පද්ධතියට එකතු විය යුතු මෙගාවොට් 100ක පමණ විදුලි ධාරිතාවක් එක් නොවීමය. එසේ අමතර ධාරිතාවක් එක් කළ හැකි සූර්යබල ශක්ති හා සුළං බල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය හා අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඒ නිවේදනයේ සඳහන් වෙයි. පසුගිය වසර පහේ දී සූර්ය බල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අකර්මණ්‍ය කර තිබෙන බව ඒ සාකච්ඡාවේ දී අනාවරණය වූ බව ද ඒ නිවේදනයේ සඳහන් වෙයි.

 විදුලිබල අමාත්‍යාංශය මගින්ම නිකුත් කළ ඒ අපූරු නිවේදනය යහපාලන ආණ්ඩුවේ ශේෂ පත්‍රය රටට හෙළි කරන්නකි. එනම් සුළං හා සූර්ය බල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඒ යුගයේ දී විදුලිබල අමාත්‍යාංශයත් විදුලිබල මණ්ඩලයත් කිසිදු පියවරක් ගෙන නොමැති බවය. කර තිබෙන්නේ ඒ ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීමය. එය විදුලිබල මණ්ඩලයටත් අදාළ අමාත්‍යාංශයටත් කදිම සහතිකයකි. විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතියට කිසිවක් නොකළත් ඒ අමාත්‍යාංශයේ හා මණ්ඩලයේ ලොකු කුඩා සේවකයන් හා නිලධාරීහු පඩි නඩි ඇතුළු සියලු වරප්‍රසාද ලබා ගත්හ. රට සවාරි ගියහ. ඔවුන් ඒ සියල්ලට වැය කළේ බැරි බර උසුලන  රටේ ජනතාවගේ මුදල්ය. අමාත්‍යාංශයේ හා මණ්ඩලයේ අදටත් ඒ නිලධරයන් සිටිනවා නිසැකය. එසේම නව ජනපතිගේ නායකත්වයෙන් යුතු පොහොට්ටු ආණ්ඩුවේ ද ඒ යහපාලන ආණ්ඩුවේ සිටි ඇමැතිවරු ද සිටිති. ඔවුහු එදත් ඇමැතිවරුය. අදත් ඇමැතිවරුය. ඒ නිසාම මේ ආණ්ඩු සමයේදීත් විදුලිබල ක්ෂේත්‍රයේ කිසිවක් නොවනු ඇතැයි යමෙකුට සැකයක් මතුවිය හැකිය. එහෙත් ජනතාව යහපත් වෙනසක් අපේක්ෂා කරති.

විදුලිබල ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කිරීමට එහි තිබෙන ප්‍රශ්න නිවැරැදිව හඳුනාගත යුතුය. මෙහිදී ප්‍රධාන වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයයි. ඒ මණ්ඩලය දැන් ප්‍රශ්න තුනකට මුහුණ දී සිටියි. බලශක්ති ඌණතාව, පද්ධති ඌණතාව හා මූල්‍යමය ඌණතාව ලෙස ඒ මණ්ඩලයේ සිටින දෑ හිතකාමී ඉංජිනේරුවෝ ඒ ප්‍රශ්න හඳුනාගෙන සිටිති. මහා පරිමාණ ජල විදුලි බලාගාර, පුනර්ජනනීය (කුඩා ජල, සුළං, සූර්ය හා දැව) හා තාප බලාගාර ලෙස වර්ග කීපයක බලාගාර දැන් රටේ පවතී. ඩීසල්, දැවි තෙල් හා ගල් අඟුරු තාප බලාගාර ලෙස පවතී. දැනට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් ජලයෙන් නිපදවන්නේ සියයට 30ක් තරම් සුළු ප්‍රමාණයකි. ඉතිරි සියයට 70න් සියයට 60කටත් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ ගල් අඟුරු, ඩීසල් හා දැවි තෙල්වලිනි. ජල විදුලි නිෂ්පාදනය වැසි සමයේ ඉහළ ගොස් නියං කාලයේ පහළ යයි. එවිට විදුලි හිඟයක් ඇති වෙයි. හිඟය පියවීමට හදිසියේ විදුලිය මිල දී ගනී. හදිසියේ විදුලිය මිලදී ගැනීම ආරම්භ වූයේ 1994 පැවැති මැතිවරණවලින් බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩු සමයේ 1996 දීය. එදා මෙදා බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම හදිසි විදුලිය මිලදී ගත්තේය. 1996 සිට ගතවී තිබෙන කාලය අවුරුදු 23 කි. 2010දී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ රජය සමයේ ගල් අඟුරු බලාගාර සංකීර්ණයක් වූ නොරොච්චෝලේ ආරම්භ වුවද, අදටත් ඉල්ලුමට සැපයිය නොහැකිය. යහපාලන ආණ්ඩු සමයේ 2019දී විදුලිය කැපීම ද නැවත ඇරඹිණි.

ඉහත කී නිවේදනයෙන් අනතුරු අඟවන්නේ ද 2020 අප්‍රේල්, මැයි මාසවල දී යළි විදුලි කප්පාදුවක් ඇති විය හැකි බවටය. කප්පාදුව වළක්වා ගැනීමට හදිසියේ විදුලිය මිලදී ගන්නවා හැර වෙනත් විකල්පයක් නැති බව සත්‍යයකි. ඒ අර්ථයෙන් ඉහත කී නිවේදනය හදිසියේ විදුලිය මිලදී ගැනීම සඳහා පිට පොට ගැසීමක් ලෙස ද කෙනකුට අර්ථ දැක්විය හැකිය. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ හදිසි විදුලිය මිල දී ගැනීම සඳහා පෞද්ගලික සමාගම් සමග ඇති කර ගන්නා ගිවිසුම්වල දී ගිවිසුම් ගත සමස්ත කාලය සඳහාම මුදල් ගෙවීමට එකඟ වීමය. දවසේ පැය 24න් ඉල්ලුම ඉහළ යන්නේ පැය 17 කදී පමණි. හදිසි විදුලිය අවශ්‍ය වන්නේ ඒ පැය 17 දීය. එසේ නම් ගිවිසුම්වලට එළඹිය යුත්තේ ඒ පැය 17දී පමණක් මුදල් ගෙවීමට ය. එහෙත් ලංවිම හා අමාත්‍යාංශ නිලධාරීන් සේම මහජන උපයෝගිතා කොමිසම ද ඒ ගැන මෙතෙක් සිතා නැත. එසේ සිතන්නට හෝ කටයුතු කරන්නට සැරසෙන බවක් ද නොපෙනෙයි.

විදුලිය මිල දී ගත යුත්තේ අවශ්‍යතාවක් තිබේ නම් පමණකි. අවශ්‍ය වේලාවට පමණකි. එහෙත්  විදුලිය නොගන්නා වේලාවන් සඳහාත් මුදල් ගෙවයි. එහි අනෙක් කාරණය වන්නේ බලාගාර පවත්වාගෙන යන සමාගම්වලින් පමණක් විදුලිය මිල දී ගැනීමය. ඒ සමාගම්වලින් විදුලිය මිලදී ගනිද්දී ඔවුනට මිලදී ගන්නා විදුලියට ගෙවනවාට අමතරව ඔවුන් බලාගාර පවත්වාගෙන යනවාට ද ගෙවීමට එකඟ වෙයි. ඒ සමාගම් තම බලාගාර පවත්වාගෙන යන්නේ ද ඩීසල් ජනක යන්ත්‍ර සංචිතයකින් මිස තනි ජනක යන්ත්‍රයකින් නොවේ. දැන් රට පුරා කිලෝ වොට් 500 කට වැඩියෙන් නිපදවිය හැකි විදුලිය ජනන යන්ත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් පවතී. විදුලි බල මණ්ඩලයේ සැලසුම් අංශයේ  නිලධාරීන් සැලසුම් කළ යුත්තේ රට පුරා තිබෙන ඒ ජනන යන්ත්‍රවලින් විදුලිය මිලදී ගැනීමය. එය කල්තබා සැලසුම් කළ හැකිය. 2020 අප්‍රේල් මාසය එළඹීමට තවත් මාස තුනකට වැඩි කාලයක් තිබේ. කරනවා නම් ඒ කාලය හොඳටම ප්‍රමාණවත්ය. රට පුරා තිබෙන ඒ විදුලිය ජනන යන්ත්‍ර හිමියන්ගෙන් විදුලිය මිලදී ගතහොත් ගෙවන්නට සිදුවන්නේ මිලදී ගන්නා විදුලියට පමණකි. ඒ ජනන යන්ත්‍ර හිමියන්ට සමාගම්වලට ගෙවනවා සේ ජනක යන්ත්‍ර පවත්වාගෙන යනවාට ගෙවිය යුතු නොවේ.

එසේ කළහොත් හදිසි විදුලිය මිල දී ගැනීම සඳහා දැනට වැය වන මුදල මහා පරිමාණයකින් අවම කර ගත හැකිය. මණ්ඩලයේ සිටින දෑහිතකාමී ඉංජිනේරුවන් කියන්නේ මෙගාවොට් 2000ක් නිෂ්පාදනය කළ හැකි විදුලිය ජනන යන්ත්‍ර රට පුරා විසිරී පැතිරී තිබෙන බවය. එසේ නම් ලංවිම වෘත්තිකයන් දැන් කළ යුත්තේ ඒ දෙසට හැරීම නොවේද? පෞද්ගලික සමාගම්වලින්ම විදුලිය මිලදී ගත යුතුය කියා නීතියක් නම් නැත. සමාගම්වලින් විදුලිය මිලදී ගැනීමේදී සිදුවන අකටයුතු ද රැසකි. හොරණ ප්‍රදේශයේ තිබෙන එක් පෞද්ගලික බලාගාරයක් ගිවිසුම්ගත නියම කාලයේ දී ඉදිවූයේ නැත. ඉදිවූ පසුව ජනතා විරෝධය නිසා ඒ බලාගාරය වසා දැමීමට සිදුවිය. දැන් එහි විදුලිය නිපදවන්නේ නැත. ඒ නිසා මිල දී ගැනීමක් ද සිදු නොවෙයි. එහෙත් ඒ බලාගාරය පවත්වාගෙන යනවාට මණ්ඩලය ධාරිතා ගාස්තු ගෙවයි. ඒ කටයුතු එලෙස වන්නේ සැලසුම්වල වැරැදි නිසාය. ඒ වරද මණ්ඩලය සේම උපයෝගිතා කොමිසම මත ද පැටවෙයි. එහෙත් එහි වන්දිය ගෙවීමට සිදුවී තිබෙන්නේ ජනතාවටය. ඛේදවාදකය වන්නේ විදුලිය නැති ප්‍රදේශවල ජනතාවට ද ඒ වන්දියට උරදීමට සිදුවීමය.

විදුලි බල පද්ධතියේ තිබෙන ප්‍රශ්න නිසා හදිසි විදුලිය මිලදීගැනීම් මහා පරිමාණයෙන් කළ නොහැකිය. රට පුරා පිහිටි ජනක යන්ත්‍රවලින් කුඩා පරිමාණයෙන් විදුලිය මිලදී ගැනීමෙන් පද්ධතියට ප්‍රශ්නයක් නොවේ. රට පුරා තිබෙන ඒ බොහෝ විදුලිය ජනන යන්ත්‍ර අලුත්වැඩියාවට යා යුත්තේ පැය 20,000ක ධාවනයෙන් පසුය. ඒ පැය 20,000 දුවන්න අවුරුදු 30ක් වත් වැය වන බව ඒ පිළිබඳ විශේෂඥවරුන්ගේ මතයයි. එහෙත් අවුරුදු 30කට පසුව ඒ ජනන යන්ත්‍ර වැනසෙයි. ඒ ජනක යන්ත්‍රවලින් නිසි ප්‍රයෝජන නොගැනීම විදේශ විනිමය අපයෝජනය කිරීමකි. මක්නිසාද යත් මුදල් කන්දරාවක් පිටරට පටවා, ගෙන්වා ගත් ඒ යන්ත්‍රවලින් නිසි ප්‍රයෝජනයක් නොගැනීම අපරාධයක් වන හෙයිනි. ඒ ජනන යන්ත්‍රවලින් දැනට උපරිම ප්‍රයෝජනයක් නොගනී. නිසි ක්‍රියාකාරිත්වයකින් තොරව පැවැති විට ඒ යන්ත්‍ර ද විනාශ වෙයි. ඒ ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරවන තරමට ඒවායේ හිමිකරුවන්ට වාසිය. ඒ පිළිබඳ විදුලිය ජනන යන්ත්‍ර හිමිකරුවන් දැනුවත් කර ඒවා රටටම ප්‍රයෝජනයක් ගත හැකි වන ලෙස භාවිත කිරීම ලංවිම වගකීමකි. එහෙත් මණ්ඩලයෙන් ඒ වගකීම් කිසිවක් ඉටු නොවෙයි. උපයෝගිතා කොමිසම ද නිහඬව සිටියි. හිරු එළියෙන් විදුලිය නිපදවන සෝලා ෆැනලය ද නිසි ලෙස භාවිත නොවන බව ඒ පිළිබඳ විශේෂඥයන්නේ අදහසයි. ඔවුන් කියන හැටියට සෝලා ෆැනලයකින් උපරිම ප්‍රයෝජන ගැනීමට එය නිශ්චිත තැනක සුදුසු ආනතියකින් සවි කළ යුතුය. එහෙත් ඒ  සම්බන්ධයෙන් ද ලංවිම නිසි පියවර ගෙන නැති  බවට චෝදනා එල්ල වෙයි.

2019 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව 2017 දී ලංවිම ලැබූ පාඩුව (අලාභය) රුපියල් කෝටි 4,923කි. 2018දී එය රුපියල් කෝටි 3,045කි. 2018දී මණ්ඩලය සතු බැංකු ණය ප්‍රමාණය රුපියල් කෝටි 5,436කි. 2019 දී එය රුපියල් කෝටි 8,021ක් දක්වා ඉහළ නැඟ තිබේ. 1996 තෙක් ලාබ ලැබූ ලංවිම අද රටේ ආර්ථිකයේ රාක්ෂයකු වී සිටින්නේ හදිසි විදුලිය මිල දී ගැනීමේ නාමයෙන් යහමින් කළ දූෂණවල මහිමයෙනි. දකුණු පළාතේ පිහිටි පෞද්ගලික ඩීසල් බලාගාරයක් රුපියල් කෝටි 48කට මිලදී ගන්නැයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබිය දී එසේ නොකර අවුරුද්දකට රුපියල් කෝටි 60කට වැඩියෙන් ධාරිතා ගාස්තු ගෙවමින් තවත් අවුරුදු තුනක් ඒ  බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට ගිවිසුම දීර්ඝ කර තිබේ. බලාගාරය මිලදී  ගන්නැයි කීවේ රුපියල් කෝටි 48 කටය. එහෙත් එසේ නොකර ගිවිසුම් දීර්ඝ කළේ රටේ හා ජනතාවගේ යහපතට ද? කෝටි 60 අවුරුද්දක ධාරිතා ගාස්තුව පමණකි. මිලදී ගන්නා විදුලිය සඳහා වෙනම ගෙවිය යුතුය. ලංවිම ණය බර හා පාඩු ඉහළ යන්නේ මේ දූෂණ ක්‍රියා නිසා නොවේද? ගිවිසුම් කාලය නිම වූ පෞද්ගලික  බලාගාරයකට ජනන බලපත්‍රයක් නිකුත් කිරීම නීතියට පටහැනිය. එවැනි බලාගාරයකට ජනන බලපත්‍රයක් නිකුත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමට නීතියෙන් කිසිම බලයක් නැත. ජනන බලපත්‍රයක් නැති බලාගාරයකින් විදුලිය මිල දී ගන්නට ගිවිසුම් අත්සන් කිරීමට ලංවිමට ද නීතියෙන් අවසරයක් නැත. එසේ කිරීම නීතිය උල්ලංඝනය කිරීමකි. ජනන බලපත්‍රයක් නැති බලාගාරයකින් විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කළ හැකි දැයි නීති නිලධාරිනිය නීතිපතිගෙන් උපදෙස් පැතූ විට ඇයට බලපෑම් කර නීතිපතිගෙන් කළ ඒ ඉල්ලීම ඉවත් කරවාගෙන තිබේ. අවසානයේ නීතියට අනුව රාජකාරි කරන්නට ගිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිගේ වැඩ තහනම් කර නීතියට පිටින් ගිවිසුම් අත්සන් කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ හා අමාත්‍යාංශයේ කටයුතු සිදුවී ඇත්තේ එලෙසිනි.

විදුලිය මිලදී ගැනීම සඳහා ලංවිම ඇති කර ගෙන තිබෙන බොහෝ ගිවිසුම් අනීතිකය. ලෝක සම්මතයට පටහැනිය. එක් සමාගමක් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව ඒ සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට ගිවිසගෙන තිබෙන කාලය අවුරුදු 25කි. ඒ ගිවිසුමට අනුව ධාරිතා ගාස්තුව ක්‍රමයෙන් වැඩිවෙයි. විදුලිය යුනිට් එකක් සඳහා පළමු අවුරුද්දේ ගෙවිය යුතු ධාරිතා ගාස්තුව සත 13කි. එය ක්‍රමයෙන් යුනිට් එකක් සඳහා රුපියල් 13ක් දක්වා ඉහළ යයි. එය ගණනය කර ඇත්තේ සියයට 20කට වැඩි පොලී අනුපාතයක් මතය. මහා ණය බරක හා සුවිශාල අලාබයක ගිලී සිටින විදුලි බල මණ්ඩලයට මෙය දරගත නෙහැකිය.

තවත් එක් සමාගමකින් ලංවිම විදුලිය ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 35කටය. අඩු වියදමකින් විදුලිය නිෂ්පාදනය කළ හැකි ක්‍රම ගැන සේම අඩු මිලකට විදුලිය මිල දී ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම හා විධි ගැන මනා දැනුමක් අවබෝධයක් හා පළපුරුද්දක් ඇති ලයිට් බාස්ලා නොවන විදුලි ඉංජිනේරුවන් මෙසේ කටයුතු කිරීමේ රහස් මොනවා දැයි සෙවීමේ වගකීම භාර දිය යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයටය. එසේ භාර දුන්නොත් රජයට අයත්ව තිබූ විදුලියට අදාළ එක් සමාගමක් පෞද්ගලික අයිතියට ගියේ කෙසේ දැයි ද සොයාගත හැකි වනු නියතය. ඒ ජාවාරම් හා දූෂණ කර තිබෙන්නේ රටේ නීතියට පිටිනි. එසේ කළ ඇතැම් අය අදටත් ඉහළ තැන්වල යෙහෙන් වැජඹෙති. ඒ බොහෝ අය අදටත් සිටින්නේ බලපෑම් කළ හැකි ඉහළ තැන්වලය. ඛේදවාචකය වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ නියාමනය භාර වී සිටින මහජන උපයෝගිතා කොමිසම මර නින්දක සිටීමය. දැකලා ඇහැරෙව්වත් ඇහැරෙන්නේ නැතිකමය.

ගුණසිංහ හේරත්



අදහස් (8)

විදුලි අර්බුදයේ වරද කොතැනද ?

asela tharanga Wednesday, 18 December 2019 08:27 AM

මෙවැනි සවිස්තරාත්මක ලිපියක් පළකිරීම වෙනුවෙන් ලංකාදීපයට ස්තුතිය පුදකරමි. ගරු ඇමතිතුමනි වහාම ඔබ මේ ගැන අවදානය යොමුකරනු. දැන් ඒසදහා හොද නායකත්වයක් ඇතිනිසා බාධාවකින් තොරව අවශ්‍ය පියවර ගත හැකි නේද.?

:       0       1

mahinda Wednesday, 18 December 2019 11:22 PM

රටේ ප්‍රශ්නවලට විසඳුම්දීමට බිහිවූ දෙපාර්තමේන්තු, මණ්ඩල, කොමිසන් ආදී එකී නොකී මෙකී ආයතන ඔලුවේ කෙස්ගානට ඇත. සේවකයන් ලක්ෂ ගණනට ඇත. එහෙත් ප්‍රශ්න වර්ධනය වීමද, ආයතන වර්ධනය වීමද සිදුවේ. වරද කාගේද?

:       0       1

Perakum Friday, 20 December 2019 04:43 AM

සෑම නිවසකටම සූර්ය පැනලයක් නොමිලේ හෝ සහන මිලකට ලබාදීමෙන් විදුලි අර්බුදයට ක්ෂණික විසඳුමක් දිය හැක. ජනතා බදුමුදල් සූරාකමින් තම සාක්කු පුරවාගන්න පාලකයින් ඉන්න කල් මෙය නිවැරදි කළ නොහැකිය. පළමුව කළයුත්තේ ඔවුන් පන්නා හැර නිසි දඬුවම් දීමයි. සූර්ය හා සුළං විදුලි බලාගාර හැකිතාක් ප්‍රවර්ධනය කළ යුතුයි. කොපමණ කීවත් නොවන්නේද එයමයි...

:       0       24

KumarSunday, 22 December 2019 03:36 PM

සූර්ය පැනලයකින් ලැබෙන ශක්ති ප්‍රමාණය නොදන්නවා වගෙයි මට පෙනෙන්නේ. පසුගිය වසර තිස්පහේම අපේ නිවසේ විදුලිබලය නැතිවී ගිය අවස්ථාවල විදුලි බුබුළු දැල්වූයේ ඔබ කියන ආකාරයටයි. මම ඉන්න රටේ මුලු නිවසටම විදුලිබලය සපයන්න ලොකු පැනෙල් 12ක් පමණ අවශ්‍ය බවකියන්න ඕනේ... එම ආකාරයට ලංකාවේ සාමාන්‍ය නිවසක විදුලිබලය සැපයීමට විදුලි බලය සැපයීමට පැනෙල් 5ක් පමණ අවශ්‍ය බව සිතන්න පුළුවනි. එපමණක් නොවේ විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට අවශ්‍ය උපකරණ ගැනත් සිතන්න. එසේ කිරීමෙන් අතිරික්තය විදුලිබල මණ්ඩලයට අලෙවි කිරීමේ හැකියාවක් ඇතිවෙනවා. එක පැනලයකින් දැල්විය හැක්කේ 12v විදුලි බුබුළු පමණකි. සෑමදෙයම ආණ්ඩුවෙන් නොමිලේ බලාපොරොත්තු වෙන්න එපා...

:       0       2

B.Withanage Sunday, 22 December 2019 05:29 AM

ප්‍රථමයෙන් මගේ ප්‍රණාමය ලංකාදීපයට කාලීන මාතෘකාවක් සාකච්ඡාවට යොදාගැනීම ගැන. විදුලි අර්බුදයට මුළු වගකීම පැටවෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ කරමත අර විදුලිය බාර ඇමතියා කිරීම ඌ විදුලි බලමණ්ඩලයේ හොරුත් එක්ක එකතු වෙලා උපරිමයෙන් කොමිස් ගැරීම දැන් කළ යුත්තේ කොමිසමක් පත්කර විදුලි මණ්ඩලයේ සියලු ඉංජිනේරුවන්ගේ එදා සහ අද වත්කම් සොයා බැලීම සහ උපයාගත් අන්දම පරීක්ෂා කිරීම...

:       0       0

nimal Monday, 23 December 2019 08:48 AM

ගංගා 223ක් තිබේ.. දියඇලි 200කට වඩා තිබේ. ජල විදුලිය නිපදවන්න බැරි හරක්...

:       0       2

KumarMonday, 23 December 2019 04:36 PM

නිමල් මහත්මයට කියන්න ඕනෙ ඔබ කියන පරිදි සෑම දිය ඇල්ලකින් හෝ ගඟකින් විදුලිබලය නිපදවන්න නොහැකිබව. ලංකාවේ තිබෙන එවැනි ස්ථාන ගැන වසර 4ක අධ්‍යනයක් කිරීමෙන් පසු වාර්තාවක් විදුලිබල මණ්ඩයේ ඇත. එම කාර්යය කල සියලුදෙනාම උගත් අය වග කියන්න ඕනෙ.

:       0       2

Nalinda Wednesday, 25 December 2019 05:29 PM

අප ලංවිම ශක්තිමත් කළ යුතු බව සත්‍යයකි. කෙසේවෙතත්, ලංවිම යනු දූෂිත හා අකාර්යක්ෂම ස්ථානයකි. එබැවින් අප ආයෝජනය කිරීම නතර කළ යුතුයි. අප ලංවිම ප්‍රතිව්‍යුහගත කළ යුතු අතර එහි ආදායමෙන් එය පවත්වා ගැනීමට ඉඩ දිය යුතුයි. තවද, වර්තමාන සන්දර්භය තුළ, ලෝකය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය දෙසට ගමන් කරමින් සිටී. මෙම ගැටලුවට ඇති එකම විසඳුම එයයි. තවද, මෙම ලිපිය ලියූ පුද්ගලයාට ලෝකයේ විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් නොමැති බව මම තේරුම් ගතිමි. ගෝලීය වශයෙන් විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් ධාරිතා ගාස්තු ඇතුළත් වන පරිදි ව්‍යුහගත කර ඇත. මෙගාවොට් එකක් උත්පාදනය කිරීම සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියනය ඉක්මවයි. එබැවින් විදුලිබල උත්පාදනය නතර වුවහොත් ආයෝජකයින්ට අවම ප්‍රතිලාභයක් අවශ්‍ය වේ. එබැවින් ඔවුන්ට ස්ථාවර ගාස්තුවක් අවශ්‍ය වේ. එබැවින් ලිපි ලිවීම විවෘත මනසකින් යුක්ත විය යුතු අතර යථාර්ථවාදී නියමයන් සහ කොන්දේසි තේරුම් ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංචාරක ව්‍යාපාරයේ පෙරැළියක් ඕනෑ
2024 නොවැම්බර් මස 28 5 0

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ


ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 243 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 293 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1448 1

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 236 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 519 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site