අල්විස් මහතා සමඟ එදින සවස්වරුවේ නිල චාරිකාවට ගොස් සිටි උද්‍යාන භාරකරු ඩිල්වර්ස් ජයවර්ධන මහතාද එහි සිටියේය. ඒ වනවිට මා උද්‍යානයේ නියෝජ්‍ය උද්‍යාන භාරකරුය.
මා දුටු අල්විල් මහතා ‘‘විල්සන් ඔය තිබෙන ජීප් රථයකින් ඉක්මනට මේනට් (Meynert) වැව ඉහැත්තාවට ගිහින් හොඳින් පරීක්‍ෂා කර බලලා එන්න........ ඔයා කවරදාවත් දැකල නැති අපූරු දෙයක් දැකගන්න පුළුවන් වෙයි.....’’ වන සතුන් පිළිබඳව හසල දැනුමක් ඇති අල්විස් මහතා ඒ වනවිට දෙහිවල සත්වෝද්‍යානයේ අධක්‍ෂ ධූරයද හෙබවීය.
වේලාව රාත‍්‍රී අට පසුවී විනාඩි 15 ක් පමණ විය. මම පෙරළා කිසි විමසීමකින් තොරව රියැදුරකු සමඟ රථයකින් නික්ම මේනට් වැව ඉහත්තෑවට ළඟාවීමි. 1944 සමයේ යාල වනෝද්‍යානයේ භාරකරු හැටියට සේවය කළ ‘බර්ගර්’ ජාතික ‘ට‍්‍රැපිස් මේනට්’ නමින් නම් කළ එකී වැව ‘බූතව පිටිය’ සමීපයේ පිහිටා තිබේ. බූතව පිටිය අලි රංචුවලට තෝතැන්නකි.
තිත් මුවකු ගිලින පිඹුරා
මා එහි ළඟාවත්ම අපගේ කණ වැටුණු කොටි දෙතුන් දෙනෙකුගේ (Leopard) ගෙරවිලි හඬ නිසා දසුන පහසුවෙන් සොයාගැනීමට හැකිවිය.
‘‘ලා හිරින් (මියගොස්)....... අල්විස් මහත්තයා කියන්න ඇත්තේ..... ඔය කොටින්ගෙ මොනවා හරි දැකලා වෙන්න ඇති..... වාහනය සෙමින් ඒ පැත්තට පදවන්න.....’’
මම රියැදුරුට උපදෙස් දුනිමි. ඉදිරියට ධාවනය වන ජීප් රථයේ ආලෝකයෙන් ඉදිරිය මට මනාව දර්ශනය වෙයි. ‘‘සර්.... අප්පේ උහුලන්න බැරි කුණුගඳක් එනවා....’’ ‘‘ලාහිරින්’’ ඉතින් කෑගහන්නේ නැතිව යමුකෝ....’’ මා කියන විට රථයේ ආලෝකයෙන් අපට දකින්නට ලැබුණේ දැවැන්ත අලි මළ සිරුරකි. මළ සිරුර ඉදිමී තැන තැන පැලී ශ‍්‍රාවය ගලා කොටි හතර (4) දෙනෙක් දුගඳ හමන මළ සිරුර බුදිති. උන් එකිනෙකාට ගොරවති.
‘‘ලාහිරීන් එන්ජිම නතර නොකොට ලයිට් එළිය හොඳහැටි කොටින්ට අල්ලන්න.....’’ දැන් පෙරටත් වඩා මනාව උන් දර්ශණය වෙයි.’’ රථයේ එන්ජිමේ ශබ්දය ගැන කොටින් තැකීමක් නොකළත් මොහොතකින් දර්ශණය වූයේ අලි මළ සිරුරේ බඩ පැත්තේ විවරයකින් එළියට පැනගත් වල් ඌරු රංචුවක් (Wildboar) බියවී ඉවතට දිවයන ආකාරයයි. අලි ශරීර කූඩුව තුළින් වෑස්සුණු ඕජසයෙන් ඌරන් නැහැවී ඇතිබව මට පෙනේ. මා දෙස බැලූ රියැදුරු ලාහිරීන් - ‘‘සර්.... මගේ අවුරුදු (16) දහසයක සේවා කාලයේදී මෙවැනි දෙයක් දැක්කෙ අද තමයි...’’ කීය. එතැනින් නික්ම ආපසු මහසීලව බංගලාවට ළඟාවන විට රාත‍්‍රී (10) දහය පමණ විය.
‘‘සර්ට බොහොම ස්තූතියි..... මම සිද්ධිය හොඳට දැකගත්තා.....’’ ලීන්ද අල්විස් මහතාට මම කෘතගුණ දැක්වූයෙමි. ‘‘විල්සන්..... හරී.... දැන් කෑම කන්න....’’
වනාන්තරයේ වෙසෙන දිවියන් සාමාන්‍යයෙන් තම කුසගින්න නිවාගැනීමට කුණුවූ දුගඳ හමන සත්ව මළ සිරුරු සොයා නොයති. එහෙත් වෙහෙසවී මරා ගන්නා දැවැන්ත ගෝනකු හෝ මුවකු (Deer) ගේ් හෝ මස්වලින් තම පෙම්වතිය සහ පැටවුන් සමඟ බඩ පුරවා ගත් පසු වනාන්තරයේ ඔබ-මොබ සැරිසරන හිවලූන් (නරියන්) ගෙන් (Ceylon black backed Jackal) ඉතිරි කොටස ආරක්‍ෂා කරගැනීම සඳහා එය කටින් ඩැහැගෙන සහ උර තබාගෙන ගසක් උඩට නැග ගස් දෙබලක රඳවා තබයි. දින කිහිපයකට පසුව ගස උඩට නගින කොටියා හෝ දිවිදෙන හෝ දුඟද හමන ඉතිරි මස් කොටස ගිල දමන්නේය.
වනයේ දුවපැන යන, තිත්මුව රංචුවලින් එකෙකු ආහාරයට ගැනීමට පිඹුරෝ ඉතා උපක‍්‍රමශීලීව ක‍්‍රියා කරති. වන සතුන් වනාන්තරයේ ඇවිද යන මාර්ග ‘මන්නිල’ යනුවෙන් හඳුන්වනු ලැබේ. සතුන් කටු අකුල් බිඳගෙන යන්නේ බියවී පලා යන විටදීය. කුළු හරකුන්, අලින් තණබිම් කරා යන්නේ උන් පුරුදුව සිටින ‘මන්නිල’ අඩි පාරවල් දිගේ ඇවිද යමිනි.
මේ බව දන්නා පිඹුරෝ ‘මන්නිල’ වෙත පැමිණ තම වලිගය අසල ගසක වෙලා පටලවා ගෙන මුඛය මන්නිල හරහා තබාගෙන සිටිත්. පිඹුරාගේ වර්ණය සහ හමේ පුල්ලි හේතුවෙන් වනයේ සැරිසරන සතුනට උන් මනාව නොපෙනේ. (Camouflaged) මෙසේ සිටින පිඹුරා එම මන්නිලයේ නිසොල්මනේ ඇවිද යන මුවන් සහ ගෝන පැටවුන්ගේ පාදයන් (කකුල්) තම කටින් හපා වැරෙන් අල්ලා ගනී. පිඹුරාගේ මුඛයේ පවතින තියුණු උල් සහිතවූ දත් මුඛයේ උගුර දෙසට නැමී ඇති බැවින්, අල්ලා ගනු ලබන ගොදුරට ගැලවිල්ලක් නම් නැත. මුවා හෝ ගෝනා හෝ පලායන්නට තැත් කළත් පිඹුරාගේ වලිගය ගසක වෙලාගෙන සිටින බැවින් මරණයේ සේයාව ඌ කරා පැමිණේ. ගැලවී යාමට දඟලන මුවා හෝ ගෝනා දැඩි වෙහෙසට පත්වූ පසු බිම ඇද වැටෙයි. ඒ සැනින් පිඹුරා වලිගය ලිහා බිම ඇද වැටී සිටින ගොදුර වෙළාගෙන උගේ ශක්තිමත් මාංශ පේශීන් මගින් තම ගොදුර (මුවා හෝ ගෝනාගේ) ඉල ඇට කුඩු පට්ටම් කරමින් වෙලාගනී. ඉක්බිතිව එය ගිල දමයි. පිඹුරන්ගේ මුඛයේ උඩ සහ යට හකු (Jawa) දෙක, වෙනත් සතුන්ගේ මෙන් එකට සම්බන්ධ වී නොමැති අතර ශරීරයේ ඉල ඇටද (ribs) පපු ප‍්‍රදේශයේදී සම්බන්ධ වී නැත. එනම් ගොදුර ගිලීමට සුදුසුසේ සැකසී (adaptation) තිබේ. ඒ අනුව අපහසුවකින් තොරව ගිලින ගොදුර මාංශපේශී ක‍්‍රියාකාරිත්වයෙන් ආහාර මාර්ගය දිගේ පහළට යන්නේය.
කුස ඇලි රාජාලියා
මා පොළොන්නරුව වනජීවි සහකාර අධ්‍යක්‍ෂ හැටියට ස්ථාන මාරුවී පැමිණ දින කිහිපයකින්, මින්නේරිය ජාතික උද්‍යානයට යාබද ස්ථානයක හබරණ මහා මාර්ගය පසෙක දෙනෝ දහසක් දෙනාට පෙනි පෙනී නීතිවිරෝධී ලෙස වන සතුන් විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බව මට පෙනී ගියෙන් ඊට හරස් වීමට පියවර ගතිමි. වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යමින් පැවති එම ස්ථානයට ගොස් නිවස සහ සතුන් පරීක්‍ෂා කර බැලීමට අවශ්‍ය බව නිවැසියන්ට දැන්වූයෙමි. ඒ වනවිට මාර්ගය පසෙක උකුස්සන් දෙදෙනෙකු දම්වැල් දමා බැඳ තිබුණි. මහ මගයන දේශීය සහ විදේශීය සංචාරකයන් උකුස්සන් නැරඹීමෙන් පසු නිවැසියන්ට මුදලක් දීමට අමතක කළේ නැත. ඒ අවස්ථාවේදී සංචාරකයන් ඔවුන්ගේ නිවසට කැඳවා ගොස් කූඩු කොට සිටින පිඹුරන් පක්‍ෂීන් පෙන්වා අවශ්‍ය අයට විකිණීම සිදුකළේ ඇතැම් වනජීවි නිලධාරීන්ගේ අනුදැනුමද ඇතිවය.
මේ අතර මා සමඟ සිටි වනජීවි සේවකයන් ඔවුන්ගේ නිවස දෙසට ගමන් කරනා විට එම කාන්තාවන් අපට පරුෂ වචනයෙන් බැණ වැදුණේ ඔවුන්ගේ අයිතිවාසිකමකට අප හරස්වූ බව කියමිනි. මේ වනවිට 100 පමණ සෙනඟ එතැනට රොක්වී සිටියහ. අප අත තිබූ ගිනි අවි එල්ලකොට නීතිය ක‍්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණත් මා අවස්ථානුකූලව ක‍්‍රියා කළයුතුවූ බැවින්, එදින අප එතැනින් ඉවත්ව ගියෙමු.
එහෙත් පසුදිනම සිද්ධිය පිළිබඳව පොළොන්නරුව මහෙස්ත‍්‍රාත් තුමාට වාර්තා කොට පොලීසිය සමඟ ගොස් ඔවුන් සන්තකයේ සිටි සියලූම සතුන් අපගේ භාරයට ගතිමු. ඒ අතර උකුස්සන් - 05 ක් පිඹුරෝ - 03 විවිධ කොකුන් වර්ග - 05, ගිරව් සහ මයිනෝ - 03 ක් වූහ. සැකරුවන් අත්අඩංගුවට ගැනීම පසුවට කල් තැබුවේ විශාල කලබගෑනියක් සිදුවීමට ඉඩ තිබූ බැවිනි. විවෘත උසාවියේ නඩුව කැදවන තුරු සතුන් මගේ භාරයේ තැබීමට මගේ එකඟත්වය ඇතිව මහේස්ත‍්‍රාත් තුමා පියවර ගති. සතුන් සියලූ දෙනා ආහාර දෙමින් රැුකබලා ගැනීමට නිලධාරියකු වෙත පැවරිණි. එදින සවස ඔහු මට කතාකරමින් ‘‘සර්... මයිනො ගිරව් හැරෙන්න අනික් සතුන් වතුර පොදක් බොන්නෙත් නැහැ..... කිසිම දෙයක් කන්නෙක් නැහැ..... මොකද කරන්නෙ....’’ මගෙන් උපදෙස් පැතීය.
‘‘හා.... ඒකත් එහෙමද.... මගේ යාළුවෙක් ඉන්නවා මනම්පිටියේ ‘ටායා’ කියලා.... එයා හම්බවෙලා එන්නම්...’’ මා අපේක්‍ෂා කළ පරිදි අවශ්‍ය උපදෙස ඔහුගෙන් ලැබුණි.
නැවත මගේ කාර්යාලයට පැමිණ සේවකයන් අමතමින් ‘‘ඔයාලා එක්කෙනෙක් ගිහින් දිග ලීයක් කපාගෙන එන්න... අනික් අය ඔය ගෙනැත් තිබෙන මස් මාළු සිහින් කෑලිවලට කපන්න....’’
දිවි ජෝඩුව විල්පත්තුව
ලීය ගෙනා පසු මම එක් කෙළවරක් පිහියකින් කපා ගෝලාකාර කළෙමි.
‘‘හරි.... දන් පිඹුරෙක් ගෙනැවිත් උගේ කට ඇරලා වහගන්න බැරි වෙන්න හරහට පොඩි ලී කෑල්ලක් තියලා ඌ ඇඟට හිර කරලා අල්ල ගන්න....’’ මම සේවකයකුට උපදෙස් දුනිමි. ඉන් පසු සිහිනියට කැපූ මස් කැබලි පිඹුරාගේ මුඛය තුළට රිංගවා සකස් කරගත් ලීයේ ගෝලාකාර කෙළවර උගුර හරහා ආමාශය දෙසට තල්ලූ කළෙමි. මස් කිලෝවක් පමණ එසේ කවා ප්ලාස්ටික් බෝතලයක් මගින් ජලයද කටතුළට දමා පහළට යැවීමි. උකුස්සන්ටද ඒ අයුරින්ම ආමාශයට මාළු මස් ඇතුළුකොට ජලයද රිංගවූයෙමි. උසාවි නියෝගයෙන් සතුන් සියල්ල දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාරදුන් දිනය දක්වාම මා භාරයේ සිටි සතුන් රැුකබලා ගත්තේ ඒ අයුරිනි.
මෙය ලියමින් සිටින විට මා පොළොන්නරුව වනජීවි සහකාර අධ්‍යක්‍ෂ හැටියට රාජකාරි කළ සමයේ වූ සිද්ධියක් සිහියට නැගේ. හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ නිවසක නීති විරෝධි ලෙස සුදු මුවකු ඇති දැඩිකරන බවට පුවතක් මගේ කණ වැටිණ. මම වහා කාර්ය මණ්ඩලය කැඳවා එම නිවසට ගොස් මුවා භාරයට ගෙන මුවා අයිතිකරු අත්අඩංගුවට ගෙන මාවෙත ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දුනිමි. ඒ අනුව ජීප් රථයකින් එම නිවසට ගිය මගේ සේවක පිරිස ආපසු පැමිණියේ හිස් අතිනි.
‘‘සර් ඒ මනුස්සයා දේශපාලන බල පුළුවන්කාරකම් කියමින් අපට අවනත වුණේ නැහැ.’’ ‘‘එහෙමද? එහෙනම් මම නීතියෙන්ම වැඬේ කරන්නම්.... ඔයාලා ටිකක් ඉවසාගෙන ඉන්න....’’ වහාම මම සිද්ධිය පිළිබඳව වාර්තාවක් සකසා පොළොන්නරුව මහේස්ත‍්‍රාත්තුමා වෙත ඉදිරිපත් කරමින් පොලීසියේ සහය ඉල්ලා සිටියෙමි. ඉක්බිතිව පොලිස් නිලධාරින් දෙදෙනකු සමග මගේ සේවකයන් අදාළ සැකකරුගේ නිවසට යැවුවෙමි. එවර ඔවුන් ආපසු පැමිණියේ සුදු මුවා සහ සැකකරු සමගය. වේලාව සවස 3.00 පමණ විය. බැලූ බැල්මට සැකකරු වැදගත් පෙනුමකින් යුත් අයකු විය.
‘‘ඔයාට කොහෙන්ද මේ සුදුමුවා ලැබුණෙ.....’’ මම විමසුවෙමි. ‘‘සර් අපේ කැලෑ ඉඩම්වල ඉඳලා මම අල්ලගත්තා.... ආදරෙන් ඇති දැඩි කළා....’’ සැකකරුගේ පිළිතුර විය.
‘‘මහත්මයා කරලා තිබෙන්නෙ නීති විරෝධි වැඩක්... ? බෝවෙන්න එන නිසා... දැන් ඔයා ගෙදර ඇරලනවා... හෙට හෝ අනිද්දා හෝ මේ කාර්යාලයට එන්න කියා ඔයාට අවවාද කරනවා.... මුවා අපේ භාරයට ගත්තා....’’ ඔහු මගේ නිල රථයෙන් පිටත්කොට හැරියෙමි. මගේ භාරයේ සිටින සුදු මුවා දිගින් දිගටම වතුර බීම සහ ආහාර ගැනීම නොකළ බැවින් මම අනපේක්ෂිත ගැටලූවක පැටලූනෙමි. යම් හෙයකින් අප භාරයේ සිටියදී ඌ මිය ගියහොත් එය මට ප‍්‍රශ්නයක් වනු ඇත. පසුදින දහවල් වනතුරුත් සුදුමුවා වතුර පොදක් වත් නොබී නිරාහාරව සිටි බැවින් නොපමාව ජීප් රථයක්, මුවා ඇතිදැඩි කළ අයගේ නිවසට යවා ඔහුව ගෙන්වා ගති.
‘‘මහත්මයා වාඩිවෙන්න.... මේ මුවා වතුර බොන්නෙත් නැහැ..... ආහාරයක් ගන්නෙත් නැහැ...... මොනවද මෙයාට කන්න දුන්නෙ.....?’’ මම විවසුවෙමි. මේ අතරවාරයේදී සුදුමුවා ඉව අල්ලාගෙන වුත් වාඩිවී සිටි උගේ හාම් පුතාගේ ඔඩොක්කුවට පැන ඔහුගේ මුහුණ ඇඟපත සිඹින්නටත් ලෙව කන්නටත් විය. ඔහු මට කතා කරමින් ‘‘මට ගෙන්නලා දෙන්න දුම්කොළ දෙකක් (02) සහ යහමින් බුලත්කොළ බෑගයක්’’ ක්‍ෂණිකව මම එය ඉටුකළෙමි. ඔහු දුම්කොළයක් මුවාගේ මුඛය දෙසට ඇල්ලීය. එකෙනෙහිම මුවා දුම්කොළය සපා කෑමට පටන් ගත්පසු ඉන් බාගයක් අවසන් කළ වහාම බෑගයේ තිබූ බුලත්කොළ බිම හැලීය. වැඩිවේලාවක් ගතවීමට මත්තෙන් මුවා බුලත් කොළ සියල්ල ගිල දැමීය. ‘‘දැන් යහමින් වතුරත් කෝප්පයකට දාලා.... බිමින් තියන්න.’’ ඌ වතුර බීගෙන බීගෙන යනවිට, මගේ මිත‍්‍රයා කෝප්පය ඉවතට ගනිමින් ‘‘මේ ඔක්කොම වතුර එකපාරටම බොන්න දෙන්න හොඳ නැහැ...’’ කියමින් මා දැනුම්වත් කළත් හේතුව විස්තරය ඊට පෙර මම දැන සිටියෙමි. එතැන් පටන් සුදු මුවා උසාවි නියෝගයක් මත දෙහිවල සත්වෝද්‍යානයට භාරදෙන තුරුම, ආහාරය හැටියට දුන්නේ බුලත් සහ දුම්කොළ පමණකි.
මාස (2) දෙකකට පසුව වනජීවි අධ්‍යක්‍ෂ ලීන්ද අල්විස් මහතා හමුවීම සඳහා සත්වෝද්‍යානයට ගියදිනක සුදු මුවාගේ සුවදුක් විමසීමට එහි සේවය කරන මගේ මිත‍්‍ර අංශභාර මොල්ලිගොඩ (මියගොසිනි) මහතා හමුවීමට ගියෙමි. එහිදී මට දකින්නට ලැබුණේ සුදු මුවා ඉතාමත් හීලෑ ලෙසින් කාර්යාලයේ මේස පුටු අතරින් ඇවිද යන ආකාරයයි. මේ අතර මගේ මිත‍්‍රයාගේ උපදෙස් පරිදි සේවක මහතකු බීම බෝතලයක් සහ සිගරට් දෙකක් ගෙනැවිත් මා අසල තිබූ මේසයක් මත තැබීය. ක්‍ෂණයකින් සුදු මුවා ඉව අල්ලමින් මේසය මතට පැන සිගරට් දෙක ගිල දැමීය.
වනයේ වෙසෙන වලසුන්ගේ ආහාර රටාව වසරේ කාලගුණ තත්ත්වය අනුව වෙනස් වෙයි. ස්වභාවික විල් 25 කින් සමන්විත විල්පත්තු ජාතික වනෝද්‍යානය (වපසරිය හෙක්ටයාර් 131693) වලසුන් ගහන ප‍්‍රදේශයකි. වැසිසමයේ මහ පොළව තෙත බරිත දිනවලදී වලසුන් තම ඉදිරිපාද වල නියපොතුවලින් පොළොව බිඳ අල වර්ග ආහාරයට ගන්නා අතර වේ හුඹස් බිද හුඹස් පත්ලේ වේයන්ගේ කූඩු බිඳ වේ පිළවු (Larvae) උරා බොති.
දිනක් විල්පත්තු මූලස්ථානයේ ගොඩගසා තිබූ පැරණි බුරුත කොට තොගයක් අසල වලසුන් දෙදෙනෙකු සිටිනවා දැක ඔවුන් කුමක් කරන්නේදැයි විමසිල්ලෙන් බලා සිටියෙමි. බුරුත කොටවල දිරාපත්වූ උඩපොත්ත ගලවා කුරුමිණි (Beetle යන් සහ පිළවු (Larvae) බුදින ආකාර මට දැකගත හැකිවිය.
නියං සමයේ ඒ අන්දමින් ආහාර ලබාගත නොහැකි බැවින් වනමල්, ගෙඩි වර්ග ආහාරයට ගනී. වසරේ ජූනි මාසය එළඹෙත්ම පලූගස්වල ගෙඩි පැසෙයි. බොහෝ ගස්වැල්වල මල් හටගන්නා බැවින්, මී මැස්සන්ටද කාර්ය බහුල වකවානුවකි. වලසුන් දැවැන්ත පලූගස් උඩට නැග සිහින් අතු අග ඇති පලූ ගෙඩි වලින් කුසගින්න නිවා ගනිති.
ඌහු ඇතැම් විට පලූ ගස්වලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල වෙති. යාල උද්‍යානයේ ඒ අන්දමින් පලූගසකට නැගගත් වලසකුට අන්තරාදායක තත්ත්වයකට මුහුණ දුන් පුවතක් මට අසන්නට ලැබුණි. වලසා ගස් උඩට නැග ගත් පසු දකින්නට ලැබුණේ, විවේක සුවයෙන් සිටින දැවැන්ත කොටියෙකි. (Leopard) ගස උඩදී දෙදෙනා ද්වන්ද සටනකට එළැඹ, ගසින් බිමට වැටීමෙන් පසුවද පොරකන්නට විය. තවද ගස් බෙණවල බැඳ ඇති මීවද කඩා මීපැණි උරා බීමටද වලසා සමතෙකි. පලූ ගෙඩිවලට අමතරව, නියං සමයේදී මොර, කෝන්, වීර, තිඹිරි, දඹ ගෙඩිද ආහාරයට ගනී. මීගස්වල මල් හටගන්නා විට ඒ සමඟ සුළඟට එක්වන මීමල්වල සුවඳ අනුව එම මල් සොයා ගොස් ආහාරයට ගන්නා බව ගැමියන් මා සමඟ පවසා තිබේ. මේ හැරෙන්නට මියගිය සතුන්ගේ කොටස් ගිල දමනාකාරය වනජීවි නිලධාරීන් දැක තිබේ.
වියළි සමයේදී වනාන්තරයේ ගහකොළ වියළී ගියපසු ශාක භක්‍ෂ මුවන් ගෝනුන් ආදී සතුන් උග‍්‍ර ආහාර අහේනියකට ලක්වෙති. ඒ වනවිට ඔවුන් ගංගාධාරවල වැවෙන ගස් වැල් ආහාරයට ගනිති. වන සතුන් අතර පවතින සංහිඳියාව මා දැක ඇත්තේ විල්පත්තු සහ යාල වනෝද්‍යාන තුළදීය. දැවැන්ත පලූගස් මත වෙසෙන වඳුරන් (Grey Langur) කුඩා පලූ අතු කඩා බිමට දැමූ පසු මුව රංචු ඒවා බුදින ආකාරය මා දැක තිබේ. වනාන්තරවල වෙසෙන වල් ඌරන්ට, :ීමි ිජරදේ* නම් කිසිම දිනක ආහාර අහේනියක් නැත. කාලගුණය කුමක් වුවත් සතුටින් කාලය ගෙවති. නියංසමයේදී මියයන වනසතුන්ගේ මළ සිරුරු කුණු වූ පසු ඒවා ගිලදමන වල් ඌරන්, විසකුරු නයි පොළඟුන් පසුපස හඹාගොස් උන් ගිල දමති. වනයේ ඔබ මොබ සැරිසරන ඌරන් මහ පොළවේ පඳුරු මත තිබෙන කිරලූන් ගොමරිත්තන් (Bush Lark) ආදී පක්‍ෂීන්ගේ බිත්තර (Lap wing) කාදමන ආකාරය මා දැක තිබේ. මඩවගුරු ආශ‍්‍රිතව පොළවේ හටගන්නා අල වර්ග කෑමට ප‍්‍රිය කරයි. රබර් වතු ආශ‍්‍රිතව වෙසෙන වල් ඌරන් රාත‍්‍රී කාලයේ රබර් වතුවලට ඇතුළ්වී බිම වැටී ඇති රබර් ඇට හපා කන බව වතු කම්කරුවෝ පවසති.
හිවලූන් හෙවත් නරි (Ceylon black backed Jackal) කුඩා සතුන් පසුපස හඹාගොස් අල්ලාගෙන ආහාරයට ගනිති. නැතහොත් නරක් වී ගිය සත්ව මළ සිරුරු කා දමති. ඇතැම් විට ගස් යට වැටී ඇති පැසුණු කුඩා ගෙඩි (Berries) ද ආහාරයට ගනිති.
මා යාල නියෝජ්‍ය උද්‍යාන භාරකරු හැටියට සේවය කළ සමයේ උද්‍යාන භාරකරු හැටියට සේවය කළ ඩෙස්මන්ඞ් වයිට් මහතා අපූරු සිද්ධියක් විස්තර කළේය. වයිට් මහතා උද්‍යානයේ සංචාරය කළ දිනක සවස් වරුවේ බූතව පැරණි බංගලාවට පැමිණියේ තේ කෝප්පයක් බීමටය. මෙහි සිටිනා විට බංගලාව පිටුපසින් නරියකු මර ලතෝනි දෙනවා ඔහුට ඇසිණ. ඒ ගැන සෝදිසි කළ වයිට් මහතා දුටුවේ දැවැන්ත පිඹුරකු x නරියෙකුගේ එක් පාදයක් හපාගෙන ඉන්නා ආකාරයයි. නරියා නිමක් නැතිව ළතෝනි දෙයි.
‘‘සර්.... පිඹුරාට ලීයකින් ගහලා නරියා බේරලා අරින්නද?’’ සේවකයකු වයිට් මහතාගෙන විමසීය.
‘‘එපා..... උඹේ පාඩුවේ ඉඳපන් වෙනදේ බලාගෙන...’’
තිත් මුව මළ සිරුරක් බුදින හිවලූන්
එය වනාන්තරයේ සිදුවෙමින් පැවති ස්වභාවික සිද්ධියක් බැවින් වයිට් මහතා නිවැරදි තීන්දුවක් ගත්තේය. පිඹුරාට නරියා වෙළා ගැනීමට වේලාවක් ඉඩක් නොලැබුණි. වනය තුළින් හතර වටින් දුව ආ නරි රංචු දෙකක් පිඹුරා අසලට පැමිණ උගේ ශරීරය දිගටම හපන්නට විය. එක් නරියකු ඉවත්වන විටම තවත් එකෙක් ඒ තැන ගනී. ඉන් වේදනාවට පත් පිඹුරා කට හා හකු දිග ඇරීමෙන් මරණය දකිමින් සිටි නරියාද ඉවතට පැන පිඹුරා හපන්නට විය. ඌහු සිත්සේ පිඹුරාගේ දිගැති ශරීරය හපා වනයට පලා ගියහ. පිඹුරා වේදනාවෙන් අසල තිබූ මලිත්තන් ගස (Salvadora Persiea) කඳ දිගේ ඉහළට මඳ දුරක් ගිය නමුත් ඉන් එහා යාමට අපහසු විය. එදින රාත‍්‍රිය බූතව බංගලාවේ නතරවී සිටි වයිට් මහතාට පසු දින උදයේ දක්නට ලැබුණේ මලිත්තන් ගස පාමුල තිබූ පිඹුරු මළ සිරුරයි.
ජාතික වනෝද්‍යාන තුළ කබැල්ලාවන් කොතෙකුත් සිටියත් ඔවුන් දකින්නට ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. ඊට හේතුව උන් සම්පූර්ණයෙන්ම නිශාචර (noctural) දිවිපෙවෙතකට හැඩගැසී ඇති හෙයිනි. බොහෝ දඩයක්කරුවන් කල්පනා කරන්නේ මෙම සතුන්ගේ ශරීරයේ මතුපිට ගණැති කොරපොතු (Scales) වලින් වැසී ඇති බැවින්, උන්ට වෙඩි නොවදින බවයි. සාමාන්‍යයෙන් ඌහු තනිව වෙසෙති. (Solitary life). මුහුදු මට්ටමේ සිට උස අඩි 3000 න් පහළ පහත් කැලෑ බිම්වල වෙසෙන මෙම සතුන් ආහාරයට ගනු ලබන්නේ විවිධ කෘමි සතුන්, වේයන්, උන්ගේ බිත්තර හා ළපටි සතුන්ය. (Larvae) බිය වූ කල කබැල්ලාවා තම ශරීරය හකුළා ගනී. එක් වනගත සත්‍ය කතාවක් සඳහන් කරමින් මෙම අන්දරය අවසන් කරමි.
වනගත ගම්මානයක දඩයක්කරුවකු මහ දවාලේ කබැල්ලාවකු දක්නට ලැබී පොල්ලකින් තඩිබෑවේය. සිහිසුන් වූ කබැල්ලාවා බිම දිගාවුණි. ඌ මියගියේ යැයි කල්පනා කළ දඩයක්කරු සිහිසුන් සිටි කබැල්ලාවා තම උරහිසේ තබාගෙන නිවස බලා ගමන් කළේය. අතරමගදී පියවි සිහියට එළැඹි කබැල්ලාවා බියට පත්වී ශරීරය හකුලා ගත්තේ දඩයක්කරුගේ බෙල්ල මැදි කරගනිමින් ඔහු මරණයට පත්කරමිනි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වන සතුන්ගේ ආහාර රටාව
ෆර්නෑන්ඩු Saturday, 13 June 2015 06:06 AM
ඉතා හොඳ ලිපියක්. (ස)
බිමල් Saturday, 06 June 2015 06:45 AM
මේ කතා අහන්නත් ආසයි (නි)
චන්න බුවනක Friday, 05 June 2015 04:04 PM
විල්සන් මහතා වනය හා වන ජීවීන් ගැන අත්දැකීම් බහුල අයෙකි. ඔබගේ ලිපි බලන්න ආසයි. ඒ වගේම ඒ පිළිබඳව දැනුමකුත් ලැබෙනවා. ඔබට ස්තුතියි. (කේ)
චන්න බුවනක Sunday, 14 June 2015 02:19 PM
විල්සන් මහත්මයාණෙනි. ඔබේ අත්දැකීම් ඇතුලත් කර ග්‍රන්ථයක් නිර්මාණය කළොත් හොඳයි කියල මම යෝජනා කරනවා. ගොඩක් වැදගත් වෙයි නේද. (බ)
Dr වසන්ත h Friday, 12 June 2015 09:28 AM
මම මාතර රෝහලේ වැඩ කරන විට 1982 මට හමුවුන විල්සන් මහත්මයා . ඊට පසුව මට නිතර යාල බලන්න අවස්ථා ලබාදීපු එකට අවන්කවම ස්තුති කරනවා වගේම මම අනිත් නිලදරින්ට හා නියාමක මහත්වරුන්ට ස්තුති කරනවා.(හේ)
නිරාන් සෞදි Monday, 08 June 2015 08:28 AM
ඔබතුමා නිතරම ඉතාමත් රසවත්, හරවත් , ලිපි පළකර අපට ලබා දෙන දැනුම , රසයට ඉතාම ස්තුතියි. තව තවත් මෙවැනි ලිපි පලකරන්න ශක්තිය දහිරිය ඔබතුමාට නිරතුරු ලබේවා. (නදී)
නුවන් Monday, 08 June 2015 07:03 PM
ඔබතුමාට චිරන් ජයතු! විල්පත්තු වනභූමිය බේරාගන්න හවුල් වෙන්න මහතාණෙනි (නි)
චතුරි Friday, 05 June 2015 12:36 PM
මේ තිරිසන් සතුන්ගේ ජීවිත කතා හරිම ලස්සනයි. කියවන්නත් ආසයි (නි)
පිටබැද්දර ජයා Monday, 08 June 2015 10:28 AM
වනයට වනසතුන්ට ආදරේ කරන අපිට මේ වගේ කතා අහන්න දකින්න ලැබීමද සතුටකි , මතු පරපුර සඳහා මේ ලිපි රක ගැනීම වගකිවයුතු නිලධාරීන්ගේ වගකීමකි (ම)
Dilenya Saturday, 12 February 2022 05:25 PM
වැඩක් නෑ... මොකද මම හොයපු දේ නෙවෙයි තියෙන්නේ..!