පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එකම යෝජනාවකට එකඟත්වය පළ කරන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් සිදුවන එකඟත්වයක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී දැකගත හැකි විය. එය මන්ත්‍රීවරුන්ගේ සුබසාධන කටයුත්තක් උදෙසා එළැඹුණු එකඟත්වයක් නොව, රටේ යහපත සඳහා සිදු කෙරුණු එකඟත්වයක් වීම විශේෂත්වයයි. සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක අත්තේ වසන කුරුල්ලන් බවට පත්වන්නේ තමන්ගේ වරප්‍රසාද වඩාත් වැඩි කරගන්නා අවස්ථාවක දී පමණක් වීම ඊට හේතුවයි.
අදාළ යෝජනාව ඉදිරිපත් කෙරුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙනි. එහි සඳහන්ව තිබුණේ අපොස උසස් පෙළ විභාගයේ දී සිසුන් ලබාගන්නා ඉසෙඩ් ලකුණු මත රැකියා පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු බවයි. රැකියා ලබාදීමේ දී දක්ෂ සහ සුදුසුකම් සහිත දරුවන්ට අවස්ථාව හිමිකර දිය යුතු බවත්, සියලු ආයතනවල රැකියා පුරප්පාඩු පිරවීමේ දී මෙය සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් බවත් එම යෝජනාව පිළිබඳ විවාදයේ දී ඩලස් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පිළිතුරු දෙමින් ඉසෙඩ් අගය යොදා ගනිමින් රැකියා ලබාදීමේ යෝජනාව සලකා බැලිය හැකි බව සඳහන් කර තිබුණේ එය ඉතා වැදගත් යෝජනාවක් වශයෙන් හඳුන්වා දෙමිනි. මෙහිදී මතුවන ප්‍රායෝගික ගැටලු ගණනාවක් පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි තත්වයක් තිබුණ ද මේ ක්‍රමය සුදුසු පුරප්පාඩු පිරවීම සඳහා යොදා ගැනීමෙන් රැකියා ලබාදීමේ පාරදෘෂ්‍යභාවය වැඩි වන බව ද ප්‍රකාශ කර තිබිණි.
ඉසෙඩ් ලකුණු මත පදනම් වී රැකියා ලබාදීමේ ක්‍රමයක් ඇති කිරීම මෙරට උගත් තරුණ තරුණියන්ට අසාධාරණයක් සිදු නොවී නියම සුදුස්සාට රැකියා ලබා ගැනීමට අවස්ථාවක් ලබාදීමක් බව අපගේ ද වැටහීමයි. මෙරට රැකියා ලබාදීම ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත්ව තිබෙන බව යථාර්ථයයි. මේ වැරැද්ද සිදු නොකළ එකදු රජයක් හෝ නොමැති බව ඍජුවම ප්‍රකාශ කළ යුතුය. අදාළ යෝජනාව ඉදිරිපත් කළ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාත්, එකී යෝජනාව යහපත් පියවරක් වශයෙන් දුටු සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාත් දෙදෙනාම නියෝජනය කළ සෑම ආණ්ඩුවක්ම ඊට වගකිව යුතුය. අඩුම තරමින් පවතින යථාර්ථය අවබෝධ කර ගනිමින් එයට ප්‍රායෝගික යෝජනාවක් ඉදිරිපත් කිරීමත් එය සලකා බැලීමත් සඳහා ඉදිරිපත්ව සිටින ඒ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනාට උගත් තරුණ පරපුරේ පැසසුම් හිමිවනු ඇත. එසේ වනු ඇත්තේ එය ක්‍රියාවේ යෙදවීම දක්වා මේ යෝජනාව ඇදගෙන යාමෙන් පමණි. එසේ නොවුණුහොත් යළිත් වරක් තමන් රැවටීමකට හසු කළ බවට උගත් තරුණ පරපුර මේ දෙදෙනා ඇතුළු සමස්ත දේශපාලන සංස්කෘතියටම දොස් පවරනු ඇත.
ඉසෙඩ් ලකුණු මට්ටම් මෙරට උගත් තරුණ පෙළේ අනාගතය තීන්දු කරන කඩඉම බවත් පත්ව තිබේ. එහිදී ඉහළම ඉසෙඩ් ලකුණු ලබා ගන්නා සිසු දරුවෝ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේ වරම් ලබති. එසේ වරම් ලබන සිසුන් මෙන් කිහිප ගුණයක පිරිසක් දෙමංතලාවක අතරමං වෙති. තම දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ඔවුන් විදෙස් රටවලට යැවීමට හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළු කරවීමට හෝ ආර්ථික පහසුකම් ඇති මවුපියන්ගේ දරුවන්ට ගැටලුවක් නැත. එම අවස්ථාව ද නොලබන සෙසු උසස් පෙළ සමත් එහෙත් ඉසෙඩ් ලකුණු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සරසවි වරම් නොලබන දරුවන් අතරමං වීමෙන් ගලවා ගත හැකි එක් මාර්ගයක් වන්නේ ඔවුන්ගේ උගත්කමට සරිලන රැකියාවකට ඔවුන් යොමු කරවීමය. ඒ සඳහා ඉහත කී යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව කිව යුතුය.
එහෙත් මේ විසඳුම යථාර්ථයක් වන්නේ දැනට ක්‍රියාත්මක බඩගෝස්තරවාදී දේශපාලනයෙන් මිදීමට සියලු දේශපාලකයන්ට හැකි නම් පමණි. රජයේ රැකියා ලබාදීම දේශපාලන තුරුම්පුවක් කරගන්නා තෙක් ඩලස් මන්ත්‍රීවරයාගේ යෝජනාව තිබෙනු ඇත්තේ හමස් පෙට්ටියේ බව ද කිව යුතුය. මේ රටේ තරුණ නැගිටීම්වල එක් ප්‍රධාන කාරණයක් වූයේ උගත් තරුණ පරපුරට ගැලපෙන රැකියා නොලැබී දේශපාලකයන්ගේ කුක්කන් බවට පත්ව සිටින නූගත් පිරිසකට එම රැකියා බෙදී යාමය. අදාළ යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් එම තත්වයට තිත තැබිය හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු.
(***)
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
විපක්ෂයේ ආණ්‍ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු