ලබන 21 වැනිදාට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධවූවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ නම් මෙරට කතෝලික ජනතාව වීදියට බැස අරගල කරනු ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කර තිබේ. එය ඉටු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දුෂ්කරතාවකට පත්වී සිටින බවද පෙනේ.
ඒ ආණ්ඩුව එවැන්නකට එකඟ නොවන නිසා හෝ එවැන්නකට සූදානම් නැති නිසා නොව දැනටමත් රජය එම කටයුත්ත එක්තරා දුරකට කරගෙන ගොස් ඇති නිසාත් අලුතින් යමක් කළ නොහැකි නිසාත්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් මස බලයට පත්වීමෙන් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් මුලදී කාදිනල්තුමා තම ප්‍රසාදය පළ කොට තිබිණි. එහෙත් පසුව එම පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් එතුමා අප්‍රසාදය පළ කළා පමණක් නොව ආණ්ඩුව ගැන සැක පළ කරන තත්ත්වයටද පත්විය.
පසුගිය වසරේ අප්‍රේල් 14 වැනිදා මෙම මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයට සෘජුව සම්බන්ධවූවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් පොලිසිය හිටපු ඇමැති රිෂාද් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාද් බදියුදීන් අත්අඩංගුවට ගත්තේය. මාස පහක් රහස් පොලිසිය භාරයේ රඳවා තබාගනු ලැබ සිටි ඔහු ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නැතැයි යන පදනමින් නිදහස් කෙරිණි.
මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ කාදිනල්තුමා ආණ්ඩුවේ ඇතැම් කටයුතු ‘ඩීල් එකක්’ අනුව කෙරෙන්නේ දැයි සැක සිතෙන බව ප්‍රකාශ කොට තිබිණි. ඒ දිනවලම මන්නාරම දිස්ත්‍රික්කයේ පැවැති උත්සවයකදී රිෂාද් බදියුදීන් මහතා හා වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා හමුවී අතට අත දෙන ඡායාරූපයක් ජනමාධ්‍යවල පළවීම ඇතැම් විට කාදිනල්තුමා මෙවැනි ප්‍රකාශයක් කරන්නට හේතුවූවා විය හැකිය.
මෙහිදී ‘ඩීල් එක’ කවුරුන් අතරේදැයි කාදිනල්තුමා ප්‍රකාශ නොකළද එම ප්‍රකාශය ගැන නොපවසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට තම ෆේස්බුක් පිටුවේ පිළිතුරක් පළකොට තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා සමග ආණ්ඩුව කිසිදු ‘ඩීල් එකක්’ ඇති කොට ගෙන නැතැයි එමගින් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබිණි.
කෙසේ වෙතත් පරීක්ෂණ නිසියාකාරව සිදු නොවන බවට කාදිනල්තුමා දරන මතය වෙනස් වූ බවක් නොපෙනුණි. 270 දෙනකුට පමණ දිවි අහිමි කළ පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධවූවන් නීතිය හමුවට ගෙන එන ලෙස බල කරමින් මාර්තු 7 වැනිදා කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් මාර්තු 3 වැනිදා කාදිනල්තුමා ප්‍රකාශයක් කළේය. එහිදී ද අපරාධකරුවන් හට නිසි දඬුවම් දීම ඉක්මන් නොවේ නම් තමන්ට පාරට බසින්නට සිදුවන බවට එතුමා අනතුරු ඇඟවූයේය.
මේ වසරේ පාස්කු ඉරිදා යෙදී තිබුණේ අප්‍රේල් 4 වැනිදාය. එදිනද තම අනතුරු ඇඟවීම යළිත් කළ කාදිනල්තුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේත් මැතිවරණවලට තරග කරන්නේ ‘රෙදි ඇඳගෙනදැයි’ එතුමා එහිදී ප්‍රශ්නකොට තිබිණි. දැන දැනම මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට ඉඩ දුන් බවට එතුමා හිටපු ජනාධිපතිවරයාට චෝදනා කළේය. ඒ අතර මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළිදරව් කළ යුතු යැයිද එතුමා දිගටම අවධාරණය කරමින් සිටී.
මීට පිළිතුරක් වශයෙන්දෝ මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පසුගිය මාසයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේදී මෙතෙක් ඒ සම්බන්ධයෙන් ගනු ලැබ ඇති පියවරයන් විස්තර කළේය. පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් 676 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් 202 දෙනකු බන්ධනාගාරවලත් තවත් 66 දෙනකු වෙනත් ස්ථානවලත් රඳවනු ලැබ සිටින බවත් පැවසූ ඔහු 408 දෙනකු ඇප මත නිදහස් කරනු ලැබ සිටින බවත් සඳහන් කළේය. එම 408 දෙනා සම්බන්ධයෙන්ද පරීක්ෂණ තවදුරටත් සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට සම්බන්ධව විදේශවලදී 54 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඉන් 50 දෙනකු ඒ රටවල බුද්ධි අංශවල සම්බන්ධිකරණයෙන් මෙරට බුද්ධි අංශ විසින් මෙරටට ගෙන්වාගෙන ඇති බව කී ඇමැතිවරයා අදාළ රටවල පරීක්ෂණ අවසන් වූ පසු ඉතිරි සිව් දෙනාද මෙරටට ගෙන්වා ගන්නා බව සඳහන් කළේය.
මේ වසරේ පාස්කු ඉරු දිනයේදී කාදිනල්තුමා තමන්ගේ අනතුරු ඇඟවීම යළිත් කළේ ඇතැම් විට මෙම තොරතුරුවලින් එතුමාත් කතෝලික සභාවත් සෑහීමකට පත් නොවන නිසා විය යුතුය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් දැනටමත් අත්අඩංගුවේ සිටින නවුෆර් මව්ලවි හඳුනාගෙන ඇතැයි අප්‍රේල් 6 වැනිදා ඇමැතිවරයා නිවේදනය කළේ මේ තත්ත්වය යටතේය.
එසේම පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 13 වැනිදා) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් සංවිධාන 11ක් මෙරට තුළ තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් පළ කරනු ලැබීය. එම සංවිධානවලින් දෙකක් නම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන ලෙස සැලකෙන අයි. එස්. අයි. එස් හා අල්කයිදා යන සංවිධාන දෙකයි.
මීට පෙර 2019 මැයි 13 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරයට කෙළින්ම සම්බන්ධ වූ ජාතික තවුහීද් ජමාඅත් සංවිධානය ඇතුළු සංවිධාන තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබීය.
කෙසේ වෙතත් ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් නවුෆර් මවුලවි නම් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂවලට ඇත්තේ සැකයකි. මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කළ ඇතැම් දේශපාලනඥයන් ප්‍රශ්න කළේ හදිසියේම මෙම පුද්ගලයා මහ මොළකරු ලෙස සොයා ගත්තේ කෙසේද යන්නයි. එසේම මෙම පුද්ගලයා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කොමිෂන් සභාව හමුවට හෝ ඉදිරිපත් නොකළේ මන්දැයි ප්‍රශ්නකොට තිබිණි.
ඔවුන් මෙසේ මෙම කාරණය සම්බන්ධයෙන් එකඟතාව පළ නොකරන්නේ කොමිෂන් සභා වාර්තාවේ මෙන්ම වෙනත් ඇතැම් ප්‍රකාශවල ද ඇතැම් විදේශීය පුද්ගලයන්ගේ නම් ද මෙම ප්‍රහාරය හා සමග ඈඳී පළවී තිබීම නිසා විය යුතුය. කෙසේ වෙතත් කොමිෂන් සභා වාර්තාවේ ද සඳහන් වන්නේ ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයේ නායකයවූ සහරාන් හාෂිම් මෙම ප්‍රහාරයේ නායකයා බවය. ඒ තත්ත්වය යටතේ ආණ්ඩුව හදිසියේම නවුෆර් මව්ලවි ප්‍රහාරයේ මහ මොළකරු යැයි පවසන්නේ එවැන්නකු පිළිබඳ සාක්ෂි නැති තත්ත්වය යටතේ කාදිනල්තුමාගෙන් එල්ලවන පීඩනය නිසා යැයි ඇතැම් දේශපාලනඥයෝ පැවසූහ.
මෙම ප්‍රහාරය පිටුපස සිටියේ කවුරුන්ද මේ සඳහා මුදල් සැපයුවේ කවුරුන්ද ආදී වශයෙන් මෙතෙක් ප්‍රශ්න මතු කරමින් සිටි කාදිනල්තුමා මහ මොළකරු පිළිබඳ ආණ්ඩුවේ මෙම නිවේදනයට දක්වන ප්‍රතිචාරය තවමත් පැහැදිලි නැත. ඇත්ත වශයෙන් මෙම සිද්ධිය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අපේක්ෂා කරන්නේ කාදිනල්තුමා පමණක් හෝ ප්‍රහාරයේ ඉලක්කය බවට පත්වූ ක්‍රිස්තියානි ජනතාව පමණක් හෝ නොවේ. එය මුළු ලෝකයම අපේක්ෂා කරන්නකි. එය දැනගත යුතුවන්නේ සිදුවූ දේ දැන ගැනීම සඳහා පමණක් නොව අනාගත ආරක්ෂාව සඳහා ද එය අවශ්‍ය වන හෙයිනි. එසේම විපතට පත් ප්‍රජාවට සාධාරණය ඉටු කිරීම සඳහා ද එය අවශ්‍ය වේ.
එහෙත් මෙරට දේශපාලන සංස්කෘතිය අනුව මෙය දැනගත හැකිවේද යන්න සැක සහිතය. මන්දයත් මෙරට දේශපාලනඥයන් සෑම දෙයක්ම දේශපාලනීකරණය කිරීම නිසාය. ඕනෑම දෙයකින් දේශපාලන වාසි ලබා ගැනීමට ඔවුන් උත්සාහ කිරීම නිසාය. රටක් වශයෙන් එක්වී විසඳුම් සෙවිය යුතු ව්‍යසනයක් වුවද පක්ෂ දේශපාලන ඇසින් විනා අන් කිසි ආකාරයකට බලන්නට මෙරට දේශපාලනඥයන් සූදානම් නැති නිසාය.
ඕනෑම අපරාධයක් දූෂණයක් හෝ ව්‍යසනයක් සම්බන්ධයෙන් සැබෑ වැරැදිකරුවන් සෙවීම පසෙක තබා තමන් නුරුස්නා දේශපාලනඥයන්ට ඒවා සම්බන්ධයෙන් චෝදනා කරන්නට ඔවුනට ඇත්තේ පුදුමාකාර වුවමනාවක් හා උනන්දුවකි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිවත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිවත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිවත් තම තමන්ට අවශ්‍ය පරිදි විවිධ පුද්ගලයන් චෝදනා එල්ල කරන්නේ මේ නිසාය.
මෙසේ චෝදනා කරන්නට ඔවුන් සාක්ෂි පෙළගස්වන්නේ ඉතා දක්ෂ ලෙසිනි. ඒ අනුව ඔවුන් ජනාධිපතිවරයාට එරෙහිව තර්ක කරන්නේ දඩයම ගෙන යන්නා අනුව දඩයම්කරු තීරණය කළ හැකිය යනුවෙනි. එනම් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ප්‍රයෝජන ලැබූවන් දෙස බැලූ විට ඒ පිටුපස සිටියවුන් සිතා ගත හැකිය යන්නයි.
මෙම තර්කය මීට පෙරද මෙරට දේශපාලනයේ වැදගත් අවස්ථාවලදී ඉදිරිපත් වී තිබේ. 1991 දී ලලිත් ඇතුළත්මුදලි මහතා ඝාතනය කෙරුණු විට එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාද පැවසුවේ එම ඝාතනයෙන් වාසිය අත්වූයේ කාටදැයි සොයන ලෙසටය. ඉන් අදහස් කෙරුණේ එම ඝාතනය පිටුපස ගාමිණී දිසානායක මහතා සිටි බවය. එහෙත් සත්‍යය එය නොවීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වාසිය අත්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව සැබෑය. එපමණක් නොව ඔවුන් එම සිද්ධියෙන් උපරිම පල නෙළා ගත් බවද සැබෑය. සිද්ධිය සිදුවී දින පහකට පසු තමන් මේ රටේ ආරක්ෂාව සහතික කරන්නට සූදානම් යැයි රාජපක්ෂ මහතා පවසා තිබිණි. 2017 සිටම ඔහු ජනාධිපතිවරණය සඳහා වියත්මග, එළිය වැනි සංවිධාන මගින් සූදානම් වෙමින් සිටියද ඉදිරි ජනාධිපතිවරණට තමන් ඉදිරිපත් වන බවට කෙළින්ම ප්‍රකාශ කළේ මෙහිදීය.
මෙම ප්‍රහාරයෙන් පසු විශාල මුස්ලිම් විරෝධයක් රට තුළ ඇති විය. එම ප්‍රචාරයේ පෙරමුණේ සිටියේ පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් හා එම පක්ෂයට සහාය දෙන ජනමාධ්‍යයි. එමගින් මෙම සිද්ධිය බහුතර සිංහල ජනතාවට ආමන්ත්‍රණය කරන්නට එම පක්ෂය යොදා ගත්තේය. එය ඉතාමත් සාර්ථක විය. ඒ තත්ත්වය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහාය ලැබූ එජාපයට අවාසිදායක විය.
මේ සියල්ල සැබෑය. එහෙත් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් පිටුපස පොදුජන පෙරමුණ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ සිටියේ යැයි මෙමගින් ඔප්පු කළ හැකි නොවේ. අනෙක් අතට මෙසේ පොදුජන පෙරමුණට චෝදනා කරන්නන් පවා එම චෝදනාව විශ්වාස කරන බව සිතිය නොහැකිය.
එහෙත් කරුණු එසේ තිබියදී මේ ආකාරයටම පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් ද මෙම ප්‍රහාරයට ජනතා විමුක්ති පෙරමුණ ගැට ගසන්නට උත්සාහ දරති. ප්‍රහාරයට කෙළින්ම සම්බන්ධ වූ ඉන්සාෆ් හා ඉල්හාම් යන මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියාවන දෙමටගොඩ පදිංචි ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඉබ්රාහීම් 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයකු විය. එසේම පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කොටගෙන ජවිපෙ ගොඩනැගු සන්ධානය වන ජාතික ජන බලවේගයේ සාමාජික සංවිධානයක් ලෙස ජමාඅතේ ඉස්ලාම් නම් සංවිධානයද තිබිණි.
ඒ අතර ජවිපෙ නායකයකු වූ බිමල් රත්නායක මහතා පිළිම වන්දනාවට එරෙහිව අදහස් පළ කළ බවටද චෝදනාවක් එල්ල විය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිම වන්දනාවට එරෙහි පිරිසකි. මේ කරුණු පෙළ ගස්වා ජවිපෙට එරෙහි මෙම චෝදනාව එල්ල කෙරේ.
පසුගියදා රූපවාහිනී සංවාදයකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් මේ ගැන ප්‍රශ්න කෙරිණි. ඉබ්රාහීම් නමැත්තා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට තමන් තබා මෙරට ඔත්තු සේවා හෝ නොදැන සිටි බවත් බිමල් රත්නායක මහතා පිළිම වන්දනාවට එරෙහි ප්‍රකාශයක් කොහිවත් කර නැති බවත් ජමාඅතේ ඉස්ලාම් සංවිධානය ජාතික ජන බලවේගයේ සිටියේ ඉතා සුළු කාලයක් බවත් දිසානායක මහතා සඳහන් කළේය.
එසේම අන්තවාදී ආගමික මතවාදයක් පිටුපස ජවිපෙ සිටියේ යැයි එම චෝදනාව නගන්නන්ම වුවද සැබැවින්ම විශ්වාස කළේ යැයි සිතිය නොහැකිය.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එරෙහිව චෝදනා කිරීම සඳහා එජාප මෙම ප්‍රහාරය මෙහෙයවන්නට ඇතැයි පසුගියදා එක්තරා දේශපාලනඥයකු පවසා තිබිණි.
මේ අතර ඉන්දීය ඔත්තු සේවා මෙම ප්‍රහාරය පිටුපස සිටියේ යැයි කියන්නටද ඇතැම් පිරිස් උත්සාහ කොට තිබිණි. එතැනදී මතුවන ප්‍රශ්නය නම් මෙම ප්‍රහාරය පිළිබඳ මෙරට ඔත්තු සේවාවලට ඉන්දීය ඔත්තු සේවාව අනතුරු ඇඟවීම් කර තිබුණේ කෙසේද යන්නය. මෙම ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ මෙය පිටුපස ඊශ්‍රායල් ඔත්තු සේවා සිටියේදැයි සොයා බැලිය යුතු බවය.
මේ සියලු ප්‍රකාශ හා උත්සාහයන් පිටුපස ඇත්තේ ඒ ඒ පක්ෂවල දැක්ම හා අවශ්‍යතාය. ආරක්ෂක අංශ නිදහස් මනසකින් යුතුව මෙම ප්‍රශ්නය නිරවුල්ව තෝරා බේරා පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කළ යුතු යැයි දේශපාලනඥයන් සිතන බවක් නොපෙනේ. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ තම දේශපාලන විරුද්ධවාදියාට මෙයින් දමා ගැසීමටය. ඉන් සිදුවී ඇත්තේ ජාතික විපතක් දේශපාලන පක්ෂවල පාපන්දුවක් බවට පත්වීම ය.
(*** එම්. එස්. එම්. අයුබ්)
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
විපතත් වාසියට හැරවීම
fairoos Thursday, 22 April 2021 08:08 AM
ආණ්ඩුවට පොඩි කඩේ යාමක් වගේ... කවුරු බලයට ආවත් එච්චරයි...