IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වැයබර වැඩිකළ පුංචි ආණ්ඩු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය මාස කිහිපයක සිටම කටයුතු සම්පාදනය කරමින් සිටියේය. අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරුන් බහුතරයක් පූර්ණ සහාය ලබාදෙන බවට දේශපාලන කතාවලින් කියැවිණ. එහෙත් මුලදී ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එතරම් කැමැත්තක්හෝ  අනුග්‍රහයක් දක්වා තිබුණේ නැත. 

එම නිසා මුලදී ශ්‍රීලනිප ඇමැතිවරු විශ්වාසභංගයට තරමක් අදිමදි කළෝය. එහෙත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් දෙපිළකට බෙදීම නිසා ශ්‍රීලනිප සමහර ඇමැතිවරු ප්‍රසිද්ධියේත් තවත් පිරිසක් අප්‍රසිද්ධියේත් අගමැතිවරයාට එරෙහි වූහ. එම නිසා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ වැඩි අස්සන් ප්‍රමාණයකින් යුතුව විශ්වාසභංගය කතානායකවරයාට බාර දෙනු ඇත කියාය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත.

ඇතැම් ශ්‍රීලනිප ඇමැතිවරුන් පවසා ඇත්තේ අවශ්‍ය නම් ඡන්ද විමසීමකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවය. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් බදාදා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කතානායක කාර්යාලයේදී කතානායකවරයාට එම විශ්වාසභංග
යෝජනාව භාරදුන්හ.

එහි විශේෂත්වය වන්නේ හිටපු ජනාධිපතිවරයා එම විශ්වාසභංග යෝජනාව භාරදීමට සහභාගිවූවද ඔහු ඊට අස්සන් නොයොදා තිබීමය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මීට ඉහතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ ආණ්ඩුවට එරෙහි යෝජනාවලදී මෙන්ම අය-වැය යෝජනාවලියට එරෙහිව පැවැති ඡන්ද විමසීම්වලදීද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවටද චෝදනා තිබේ. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කළේ මෙවර අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව ඡන්ද විමසීමකට ලක් කළහොත් රහස් ඡන්දයක් ඉල්ලා සිටීමට මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවය. තවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඡන්දය විමසීමට සූදානම්වන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය නමින් ඡන්දය විමසන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනු ඇති බවය.

මේ අතර ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිධුර දරමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අස්සන් කර ඇති හතර දෙනාට එරෙහිව යම් විනය පියවරක් ගත යුතු බව මන්ත්‍රීවරුන් පිරිසකගේ අදහස වී තිබේ. ටී. බී. ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචි නිලමේ සහ කාදර් මස්ථාන් එම ඇමැතිවරුන් වන අතර ඔවුන් සම්බන්ධයෙන් ආණ්ඩුව කුමන තීන්දු තීරණයක් ගනු ඇත්දැයි තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය.

පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුව අග්‍රාමාත්‍යවරයාට හෝ වෙනත් ඇමැතිවරයකුට හෝ එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ විට හැකිතාක් ඉක්මනින් එය විවාදයට ගැනීමට කතානායකවරයා කටයුතු කළ යුතුවේ. කෙසේ වෙතත් පක්ෂ නායකයන් රැස්වී ඒ සම්බන්ධයෙන් දිනයක් තීරණය කරන අතර ඉන්පසුව කතානායකවරයා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම් සහ අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසකගේ අදහස වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය පුස් වෙඩිල්ලක් පමණක් වන බවය. එය අනිවාර්යයෙන්ම පරාජය වන බවද ඔවුන්ගේ අදහස වී ඇත.

ළාත් පාලන මැතිවරණය පවත්වා මසකටත් අධික කාලයක් ගත වූ පසුව පළාත් පාලන ආයතන පිහිටුවීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඇතැම් පළාත් පාලන ආයතනවල අද රැස්වීම් පැවැත්වෙන අතර තවත් පළාත් පාලන ආයතනවල ලබන සඳුදා සහ එම සතියේ ඉදිරි දිනවල මංගල රැස්වීම් පැවැත්වීමට නියමිතය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව ප්‍රතිඵල නිකුත් කිරීම මෙන්ම පළාත් පාලන ආයතන පිහිටුවීමද අවුල් ජාලාවක් වී තිබෙන බවය. පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව හාර දහසේ සිට අට දහස ඉක්මවා තිබීම නිසා සභා රැස්වීම් පැවැත්වීම පවා විශාල ගැටලුවක්වී  තිබෙන බවය.

බොහෝ පළාත් පාලන ආයතනවලට රැස්වීම් ශාලා සොයා ගැනීම පවා ගැටලුවක් වී තිබෙන අතර ඇතැම් පළාත් පාලන ආයතන ලේකම්වරුන් ශාලා කුලී පදනම මත ලබා ගැනීමට පවා සූදානමින් සිටින බවද ඉකුත්දා වාර්තාවී තිබිණ. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීධුර සංඛ්‍යාව සියය ඉක්මවා තිබෙන අතර එම නගර සභාවට ඉඩකඩ ඇති සභා ශාලාවක් අලුතින් ඉදි කෙරෙමින් තිබේ.

ඉකුත්දා වාර්තා වූයේ යම් හෙයකින් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිමකර ගැනීමට නොහැකි වුවහොත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම සහ තවත් රැස්වීම් වාර කිහිපයක් පවත්වන බවය. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමටද කොළඹ මහ නගර සභාවට සිදුවනු ඇත. 

අනෙකුත්  නගර සභා සහ ප්‍රාදේශීය සභාවලද රැස්වීම් පැවැත්වීමේ වියදම දෙගුණ තෙගුණ වී ඇතැයිද පැවසේ. මේ අතර පළාත් පාලන ආයතනවලට පත්ව සිටින නවක සභිකයන් වැඩි පිරිසකට පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් මූලික හෝ අවබෝධයක් නැතැයිද වාර්තාවන අතර පළාත් පාලන ආයතනවල කටයුතු බොහෝ විට එම නිසාම අවුල් සහගත තත්ත්වයකට පත්විය හැකි බවටද ඇතැම් පාර්ශ්ව චෝදනා කරති. 

විශේෂයෙන් කාන්තා සභිකයන් පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වුවද මෙවර පළමු වරට පත්ව සිටින කාන්තා සභිකයින් බොහෝ දෙනකු දේශපාලනයේ හය හතරවත් නොදැන සිටීම බරපතල තත්ත්වයකැයිද සඳහන්වේ.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් යම් තරමක නොරිස්සුම් ස්වාභාවයකට පත්ව සිටීම හා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නයි-මුගටි තත්ත්වයකට පත්වෙමින් තිබීම ගැන සමහර මන්ත්‍රීවරු කලකිරීමකට පත්ව සිටිති. 

“අපි බොහෝ කැප කිරීම් කරලා මේ ආණ්ඩුව පත්කළා. අපට යහපාලන අරමුණු තිබෙනවා. මේක අපේ ජීවිත පමණක් නොව පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත පවා පරදුවට තියලා ආපු ගමනක්. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක්ව ආණ්ඩුව රැකගන්න ඕනේ. ආණ්ඩුව විනාශ කරන අයට ඉඩක් දෙන්න බැහැ. ජනාධිපතිතුමත් අගමැතිවරයාත් නිශ්ශබ්දව හිටියොත් අපි එළියට බහිනවා. අපට තනතුරු අවශ්‍ය නැහැ. අපි වෙනම දේශපාලන ගමනක් යනවා”

යැයි ඇමැති රාජිත සේනාරත්න සඳහන් කරයි. ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදීද රාජිත ඇමැතිවරයා ඒ බව සඳහන් කර තිබේ. රාජිත ඇමැතිවරයාට එසේ කියන්නට අවස්ථාවක් සැලසුණේ ඇමැති පාඨලී චම්පික රණවක නිසාය.

චම්පික රණවක ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට එදින විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණ. යෝජනා හතළිස් පහක් සහිත එම පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ ආණ්ඩුව ගමන් කළ යුතු දිශානතිය ගැනය. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් ඇමැතිවරයා එදින කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කිරීමක්ද කර තිබිණ. එම කරුණු පැහැදිලි කිරීමෙන් පසුව ඊට සහාය දක්වමින් රාජිත සේනාරත්නද කරුණු දැක්වූයේය. කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය තීන්දුකර ඇත්තේ එම පත්‍රිකාව අධ්‍යයනය කිරීමට ඇමැතිවරුන්ට සතියක කාලයක් ලබාදීමටය.

 ඒ අනුව ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී පාඨලීගේ අලුත් යෝජනා සහිත කැබිනට් පත්‍රිකාව විවාදයට ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

මෛත්‍රී ගුණරත්නගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ ගෙවී ගිය සතිය පුරාම විශේෂ වැඩ සටහනක නිරතව සිටියේය. එම පක්ෂය තමන්ට හිමිව ඇති තීරක බලය පිළිබඳව විවිධ නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීය. එම පක්ෂයට පළාත් පාලන මන්ත්‍රීවරුන් 22ක් හිමිව තිබෙන අතර එම මන්ත්‍රීවරුන් සහාය ලබාදෙමින් බලය උරගා බැලීමට පක්ෂ නායකත්වය තීරණය කර තිබේ. විශේෂයෙන්ම මීගමුව ගාල්ල මහ නගර සභා දෙකේම සහ තවත් ප්‍රාදේශීය සභා කිහිපයක තීරක බලය මෛත්‍රී ගුණරත්නගේ පක්ෂයට හිමිව ඇතැයිද පැවසේ. 

මීගමුව නගර සභාවේ කේවල්  කිරීමේ බලය හිමිකරගෙන ඇති එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමඟ තීරණාත්මක දේශපාලන සාකච්ඡා ගණනාවක්ද පැවැත්වූ බව මෛත්‍රී ගුණරත්න කියයි. එම සාකච්ඡා සාර්ථක වූ බවද ඔහුගේ අදහසය. එහෙත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි අමරසිරි ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සාකච්ඡා කළද තීරණාත්මක තීන්දුවකට එළැඹී නැති බවය.

ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවීමේ වැඩි වාසිය මෙවරත් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන අතර එම නගර සභාවට මෛත්‍රී ගුණරත්නගේ පක්ෂයෙන් පත්ව සිටින මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය එජාපයට ලබා ගැනීමට වජිර අබේවර්ධන ඇමැතිවරයා කටයුතු කරන බවද පැවසේ. වජිර අබේවර්ධන ඇමැතිවරයා මෛත්‍රී ගුණරත්න සමග ඒ සම්බන්ධයෙන් ඉකුත්දා දුරකථනයෙන් සාකච්ඡා කර ඇතැයිද දැන ගන්නට තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපන් දිනය හෙටට යෙදී තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු එදින ආරම්භ කිරීමට නියමිත බවය. විශේෂයෙන් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ යෝජනා එදින සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ
කිරීමට නියමිතව ඇතැයි ද දැනගන්නට තිබේ. රුවන්වි ජයවර්ධන, හරීන් පෙරේරා ඇතුළු තරුණ මැති ඇමැති පිරිසකගෙන් යුත් එම කමිටුව යෝජනා කිහිපයක්ම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබිණ.

 එහි ප්‍රධාන යෝජනාව වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ නායකයාගෙන් පසුව එජාපයට අනුප්‍රාප්තිකයකු පත්කළ යුතු බවය. තවත් යෝජනාවක් වී තිබුණේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට වැඩි බලතල ලබා දිය යුතු බවය. මීට අමතරව තවත් යෝජනා කිහිපයක්ම එම කමිටුව විසින් ඉදිරිපත් කර තිබිණ. එජාප නායකයා එම යෝජනා පිළිබඳව මේ වනතෙක් ප්‍රතිචාරයක් දක්වා නොතිබුණු අතර පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ ඇතැම් විට උපන් දිනයට සමගාමීව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු ඇති බවය.

මීට අමතරව පක්ෂයේ ධුරාවලියේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකිරීමටද නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන බව ද දැනගන්නට තිබේ.

ඒ අනුව දැනට නියෝජ්‍ය මහලේකම් ධුරය හොබවන ඇමැති අකිල විරාජ් කාරියවසම්ට එජාප මහලේකම් ධුරය හිමි වීමේ ඉඩකඩක් තිබෙන බව ද දැනගන්නට තිබේ.

රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් එරට ජනාධිපතිවරණයෙන් අති බහුතර බලයක් ලබා ගනිමින් නැවත ජයග්‍රහණය කිරීම පිළිබඳව බටහිර කඳවුරේ මෙන්ම සමාජවාදි කඳවුරේ රටවල්හි නායකයෝ ඉකුත් දින කිහිපය පුරාම සුබපැතුම් යැවූහ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් අගමැති රනිල් වික්‍රමසිංහත් ඉකුත් දා රුසියානු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එලෙස සුබපැතුම් යවා තිබිණ. දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ පුටින්ගේ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට වාසිදායක දේශපාලන වාතාවරණයක් උදාකරනු ඇති බවය. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර වසර කිහිපයක සිට වඩාත්හොඳ සබඳතාවයක් ඇති වෙමින් තිබෙන බව ද දේශපාලන විචාරකයින්ගේ අදහස්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පළාත් පාලන ආයතනවලට පත්ව සිටින නියෝජිතයෝ ඉකුත් දා හිටපු ජනාධිපතිවරයා ඉදිරියේදී දිව්රුම් දුන්හ. පළාත් පාලන ආයතන නියෝජතයන්ගේ දිව්රුම් දීමේ උත්සවය පැවැතියේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙහිදීය. දිව්රුම් දීමේ කටයුතු මෙන්ම අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ කටයුතු ආදිය හේතුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිටියේ තරමක අවිවේකයෙනි. එහෙත් සුපුරුදු දේශපාලන කතාබහද ඒ අතරතුර අඩුවක් නොවීය. “මගේ දේශපාලන දැනීමේ හැටියට යූ.එන්.පීයටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි අනාගතයක් නැතිවෙනවා. රට නරකම තැනකට ගෙනාපු චෝදනාවට මිනිස්සුන්ගෙන් කවදාවත්ම සමාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අද අංක එකේ දේශපාලන බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.” ගාමිණී ලොකුගේ කීවේය.  

ලොකුගේගේ කතාවට මහාචාර්ය ජී.එල්. පීරිස් ද හවුල් වූයේය. “ආණ්ඩුව හොඳටම අතරමං වෙලා ජනතාවගේ විශ්වාසයක් නැති වුණාට පසුව ඒ පක්ෂයත් එක්ක රටේ ජනතාව ඉන්නේ නැහැ” ජී.එල්. පීරිස් කීවේය. “මේ ඡන්දයේදී මිනිස්සුන්ගේ කතාබහේ තිබුණෙ අපේක්ෂකයො ගැන නොවෙයි. අපි ඉතින් මහින්ද මහත්තයාගේ පොහොට්ටුවටනේ ඡන්දය දෙන්නේ.” කියලයි ජනතාව කිය කියා හිටියේ යැයි ජනක බණ්ඩාර කීවේය. ජනක බණ්ඩාරගේ කතාවෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද කතා කළේය. “ඡන්ද පරාජය මේ ආණ්ඩුවට දරාගන්න බැහැ. එහෙම වුණත් තවමත් රට ගැන, ජනතාව ගැන හිතන්නෙම නැහැ. අපට වෛර කර කර ඉන්නවා එච්චරයි” හිටපු ජනාධිපතිවරයා කී විට හිටපු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ද කතා කළේය. “මේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප ඇමැතිවරුන්ට තමයි දේශපාලන අනාගතයක් නැති වෙන්නේ. ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම ඒ ගැන අපිත් එක්ක කිව්වා. සර් කියපු එක අහලා ඡන්දයට කලින් ආණ්ඩුවෙන් ඉවත් වුණා නම් හොඳයි කියලා ඒ අය කියනවා. තවත් පිරිසක් කියලා තිබෙන්නේ අපි හැමෝම එකට තීන්දුවක් ගනිමු කියලයි. ඒකෙන් හැමෝම අමාරුවේ වැටුණා. ඕකට කියන්නේ “තණ්හාය ජායතී සෝකෝ” කියලා යැයි හෙට්ටිගේ කී විට හිටපු ජනාධිපතිවරයා ද සිනාසෙන්නට විය.



අදහස් (0)

වැයබර වැඩිකළ පුංචි ආණ්ඩු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 272 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 21 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 154 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 188 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 135 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 194 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38765 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 995 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site