යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැන් මහා ආන්දෝලනයෙකි. දේශපාලනඥයෝ දෙපිල බෙදී වාදයක පැටැලී ඇත්තාහ. එහෙත් ඒ යෝජනා ගැන නොවේ.
යෝජනා එන්නටත් පෙර සිටම ඔවුහු පොර පිටියට වන්හ. අනතුරුව මහා සංඝයා වහන්සේලා ද සබයට වැඩැම කැරැ ඇත්තාහ. වාදය තවමත් සාකච්ඡුා මට්ටමෙහි පවත්නා හෝ කිසිසේත් නොපවත්නා යෝජනා අරබයාය. සාකච්ඡාවක දී නොයෙකුත් යෝජනා ඉදිරිපත් වීම සිදුවෙයි.
ඒවායින් කවර යෝජනාවක් පිළිගන්නේ දැයි තීරණය වන්නේ සාකච්ඡුාව අවසානයෙහිය. එහෙත් වැදැගත් දෙය ඒ හැම අදහසක්ම ඉදිරිපත් කැරීමට ඉඩ දීමම තමා. නොඑසේ නම් සාකච්ඡා කුමට ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙත එයයි. සාකච්ඡා සඳහා විවිධ යෝජනා ඉදිරිපත් වූ පමණින් ඒ සියල්ල තෝරා ගැනෙන්නේ නැත.
භික්ෂූන් ඇතුළු ඇතැම් පිරිස්වල හැසිරීමෙන් පෙනෙන්නේ ඒ වග ඔවුන්ට නොවැටැහෙන බවෙකි. නැතහොත් වෙනත් අභිමතාර්ථ හේතුවෙන් හිතා මතාම නොදන්නා සේ හැසිරෙන බවෙකි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු කුමක් ද? එය තමා රටක මූලික නීතිය. අන් සියලූ නීති එයට යටත්ය. එහෙත් රටෙහි ජනතාව එහි ඇතුළත් මෙන්ම ඇතුළත් නැති සිය අයිතිවාසිකම් පිළිබඳ දැනුමෙන් තොර නම් ව්‍යවස්ථාව නිකම් කඩදාසි කැබැල්ලක් පමණකි.
සාමාන්‍යයෙන් ජනයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන එතරම් සැලැකිල්ලක් දක්වන්නේ නැත. ඔවුන් ජීවත් වීමට නැතිවම බැරි වාතය ගැනවත් සැලැකිල්ලක් දක්වන්නේ එය අපිරිසුදු වුවහොත් පමණකි.
ජීවදායී ජලයෙහි වැදැගත්කම ඔවුනට පසක් වන්නේ ජල හිඟයක දී හෝ නියඟයක දීය. ව්‍යවස්ථාව ගැනත් එසේ මැයි. ඇතැම් දේශපාලකයන්ට සහ භික්ෂූන්ට ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ගැන අනිසි බියක් ඇති කැරීමටත් වැරැදි අවබෝධයක් ඇති කැරීමටත් හැකිව ඇත්තේ ජනතාව තුළ ඇති නොදැනුවත්කම නිසා යැයි කිව හැකිය.
ඔවුන් ඉදිරිපත් කරන කාරණා ගැන යමක් කියන්නට පෙර එක් වැදැගත් සත්‍යයක් දෙස අපේ සැලැකිල්ල යොමු කළ යුතුය. එනම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යනු දේවභාෂිතයක් හෝ ශුද්ධ ලේඛනයක් හෝ බඳු සදා නොවෙනස් වන්නක් නොවන බවය.
ඒවා ද මානව සමාජය සමඟ නිරන්තරයෙන් විකාශනයව සංවර්ධනය වෙයි. එහෙයින් මෙම 21 වැනි සියවස තුළ යළි රාජාණ්ඩු වෙත යාමට යමෙකු යෝජනා කරන්නේ නම් හෝ දේවධර්මය අනුව රාජ්‍ය පාලනය කළ යුතු යැයි පවසන්නේ නම් එය කාලානුරූපී නොවන්නකි.
දැනට වලංගු 1978 ව්‍යවස්ථාවට පෙර ශ‍්‍රී ලංකාවෙහි ව්‍යවස්ථා දෙකක් පැවැතියේය. ඒ සෝල්බරි ව්‍යවස්ථාව සහ 1972 ජනරජ ව්‍යවස්ථාවයි. දැනට පවත්නා ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනයට ලක් වූවකි.
එහි වයස අවුරුදු 40කට ආසන්නය. මෙම ව්‍යවස්ථාවට ජනතා විරෝධය ආවේ තිඹිරි ගෙයි සිට මැයි. අද එය රැක ගන්නට, පණ දෙන්නට තැත් කරන්නවුන් ද එදා සිටියේ එයට එරෙහිවය.
අනෙක් අතට එදා එය ජාතක කළ එක්සත් ජාතික පක්ෂය අද එය අහෝසි කැරැු නව ව්‍යවස්ථාවක් සම්මත කැරැ ගන්නට සැදී පැහැදී පසු වෙයි. වසර 2000 නව ව්‍යවස්ථා කෙටුම්පතක් සැකැසීමෙහිදී පුරෝගාමී කාර්යයක් ඉටු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිඳුන් ද අද පෙනී සිටින්නේ 2000 කෙටුම්පතෙහි යෝජනාවන්ගේ දිවුට දුන් හතුරකු සේය. මෙරට දේශපාලනයේ බඩ පිණුම් කරණම් ඒ සැටිම තමා. එහි අරුමයක් නැත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් නායකත්වය සපයන ඊනියා ඒකාබද්ධ විපක්ෂය නව ව්‍යවස්ථාවකට විරෝධය පාන්නට කරළියට පිවිසියේ එබන්දක දළ සේයාවක්වත් පහළ වන්නට පෙරමය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද එය කලින් දැරූ ස්ථාවරය වෙනස් කරමින් පවත්නා ව්‍යවස්ථාවෙහි ආමූලික වෙනසකට එරෙහිව හඬ තලන්නට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම ඔවුන්ට වුවමනා විධායක ජනාධිපති ක‍්‍රමය රැක ගන්නටය.
නව ව්‍යවස්ථාවකට එරෙහි වන්නන්ගේ ප‍්‍රධාන යෝජනාව 1972 දී සම්මත ව්‍යවස්ථාවෙහි සිට පැවැත එන රටෙහි ඒකීය භාවය වෙනස් නොකළ යුතු බව සහ බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය පවත්වා ගත යුතු බවය.
මෙම ලියුම්කරු වෙනස් මතයක් දැරුව ද ඒ කාරණා දෙකම නොවෙනස්ව තබා ගන්නා බවට ජනාධිපතිතුමන් සහ අගමැති තුමන් ප‍්‍රසිද්ධියේ සහතිකව ඇති හෙයින් ඔවුන්ගේ එම විරෝධය පදනම් විරහිත බව කිව යුතුය. මහා සංඝයා වහන්සේලා පිරිසක් ද එම ප‍්‍රශ්නය මතු කරමින් ආවේගශීලීව හඬ නඟන්නේ ඇතැම්විට ඔවුනට සපයන ලද වැරැුදි තොරතුරු පදනම්ව යැයි අනුමාන කළ හැකිය. මන් ද යත්් නොදැනුවත්කමින් වැරැදි චිත‍්‍ර මැවෙන හෙයිනි.
එසේ නම් මෙම පිරිස් නව ව්‍යවස්ථාවකට එරෙහි වන්නේ කුමක් අරබයා ද? ව්‍යවස්ථා සභාවෙහි අනුකමිටු වාර්තා දැන් මහජනයාට විවෘත බැවින් යෝජිත ව්‍යවස්ථාවෙහි හැඩරුව ගැන යම් ඡුායාමාත‍්‍ර දැනුමක් ලබාගත හැකිය. එම නිසා නව ව්‍යවස්ථා විරෝධීන් වෙත ප‍්‍රශ්න කිහිපයක් යොමු කැරීමට කාලය සුදුසු යැයි හඟිමි.
ජනතාවගේ මූලික නිදහස සහ හිමිකම් ප‍්‍රවර්ධනය සඳහා වැදැගත් යෝජනා අනුකමිටු වාර්තාවෙහි ඇතුළත්ය. නිදසුනක් ගතහොත් 1978 ව්‍යවස්ථාවෙහි නැති ජීවිතයට ඇති හිමිකම යෝජිත ව්‍යවස්ථාවෙන් සහතික කැරෙයි. අත්අඩංගුවට ගන්නා ලද, රඳවා ගන්නා ලද සහ චූදිත පුද්ගලයන්ගේ හිමිකම් සවිමත් කැරීම, බලහත්කාරයෙන් පැහැර ගැනීමට ලක් නොවීමෙහි හිමිකම, තොරතුරු දැනගැනීමට ඇති හිමිකම, ළමුන්ගේ සහ වයස්ගත පුද්ගලයන්ගේ හිමිකම්, ආබාධිත වූවන්ගේ හිමිකම් ආදී නව අංග රැසක්ම නව ව්‍යවස්ථාවෙහි ඇතුළත් කරන්නට යෝජිතය. ව්‍යවස්ථා විරෝධීන් මේවාට විරුද්ධ ද? මේවාත් සමග නව ව්‍යවස්ථාව සහමුලින්ම බැහැර කරන්නට ඔවුන් යෝජනා කරන්නේ ඒ නිසා ද?
නව ව්‍යවස්ථාවෙහි ජනතාවගේ ආර්ථික, සාංස්කෘතික, පාරිසරික හිමිකම් අලූතෙන් ඇතුළත් කැරීමට යෝජිතය. නව ව්‍යවස්ථාවකට විරුද්ධ වූවන් මෙම හිමිකම් සහතික කැරීමට විරුද්ධ ද?
යෝජිත වෙනස්කම් සලකා බැලීමටත් පෙර සමස්තයක් වශයෙන් නව ව්‍යවස්ථාවකට විරුද්ධ වන්නේ ඇයි?
නව ව්‍යවස්ථාවෙන් අධිකරණයෙහි ස්වාධීනත්වය ශක්තිමත් කළ යුතු ද? නැතහොත් දැනට පවත්නා තත්ත්්වයම පවත්වා ගත යුතු ද? එසේත් නැත්නම් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් උල්ලංඝනය වූ අධිකරණයෙහි ස්වාධීනත්වය වෙත ආපසු යා යුතු ද?
මෙම අවස්ථාවෙහි රාජ්‍ය සේවා ප‍්‍රතිසංස්කරණ ව්‍යවස්ථාගත නොකළ යුතු ද? එසේ නම් ඒ මන් ද?
ඔබේ අදහසට අනුව රටෙහි නීතිය සහ සංවරය පිළිබඳ තත්ත්වය ව්‍යවස්ථාව තුළින් වැඩිදියුණු කළ යුතු නැත් ද?
අල්ලස, දුෂණය සහ වංචාව නැති කැරීමට මෙන්ම මහජන සේවකයන්ගේ වගවීම සහතික කැරීමට ව්‍යවස්ථා ප‍්‍රතිපාදන අලූතෙන් ඇති කළ යුතු බව ඔබ පිළිගන්නේ නැත් ද?
නව ව්‍යවස්ථා යෝජනා ගෙඩිය පිටින්ම ඉවත ලෑම වෙනුවට ඒවායෙහි ගුණ දොස් දක්වන්නට ජනතාවට අවස්ථාවක් ලබාදීම වඩා සුදුසු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව ඔබ පිළිගන්නේ ද?
ඔබේ පිළිතුරු දැනගන්නට ජනතාවට අයිතියක් තිබේ.
ආණ්ඩුව විසින් රඳවා ගන්නා බවට සහතිකව ඇති ව්‍යවස්ථා ප‍්‍රතිපාදන ගැන වේදිකාවක් වේදිකාවක් පාසා උස් හඬින් බෙරිහන් දෙමින් බලය බෙදීම හැර ජනතාවගේ ජීවිතයට බලපාන සෙසු ප‍්‍රශ්න සමුදායම පිළිබඳව ව්‍යවස්ථා විරෝධීන් ගොළුවත රැකීම හාස්‍යජනක නොවන්නේ ද? ඇත්තටම ඔවුන් තම බලය ගැන මිස ජනතා ප‍්‍රශ්න ගැන සංවේදී නැත.
එහෙත් වඩාත් ඛේදනීය වන්නේ විරුද්ධවාදීන්ගේ අසංවේදී බව නොව ආණ්ඩුවෙහිම ඇතැම් පිරිස්වල අදිමදි කැරීම් සහ ඇතැම් තන්හි විරුද්ධවාදීන් සමග සන්ධානගත වීමය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින ඇතැම්හු මහින්ද රාජපක්ෂ න්‍යාය පත‍්‍රයකට අනුව රඟපාන බව අනුමාන කළ හැකිය. එයට අමතරව කැබිනට් මණ්ඩලයෙහි ආරවුල් එළියට ඒම ජනතාව කලකිරවන තවත් සාධකයකි.
තව ද ජාතීන්ගේ ප‍්‍රශ්නයට ප‍්‍රජාතාන්ත‍්‍රික විසඳුමක් සහතික නොකැරෙන්නේ නම් එමඟින් සියලූ ජාතීන් අතර සමගිය, සහෝදරත්වය හා සමානත්වය සහතික නොකැරෙන්නේ නම් නව ව්‍යවස්ථාවක් අරුත් සුන් වනු ඇත.
වෙසෙසින්ම එක් ජාතියක් හෝ එක් ආගමක් හෝ වෙනත් ජාතීන් හෝ වෙනත් ආගම් මත ආධිපත්‍යය දරන හෝ ඔවුනට වඩා වරප‍්‍රසාද ලබන තත්ත්වයක් ඇති වුවහොත් එයින් ජාතික සමගිය පළුදුව ආරාවුල් ඇතිව එතෙර අප රටෙහි කීර්තිනාමය මැකී රටෙහි සංවර්ධනය ද අඩාල වනු ඇත.
ජාතීන්ගේ ප‍්‍රශ්නය මතුවට තබන්නට මෙම අවස්ථාවෙහිත් කටයුතු කළ හොත් එයම මතු විනාශයකට මුල වන්නට පිළිවනි. ඉහත එයට විසඳුම් ඉදිරිපත් කළ හැම අවස්ථාවකම එය කඩාකප්පල් කළ ප‍්‍රතිගාමී බලවේග යළිත් එයම කරන්නට වෙහෙසෙන බවට ජනතාවට අනතුරු හැඟැවිය යුතුය.
ජනවාරි 8 වැනි දින ජනතාවට දුන් පොරොන්දු ඉටු කැරීමට රජය අසමත් වීම සහ එහි ලා තවමත් දක්වනු ලබන උදාසීනත්වය හා පසුබැසීම් නිසාම මූලික වශයෙන් පැනැ නැඟි උණුසුම් වාතාවරණය තුළ එදා පරාජය වූ මුත් විනාශයට පත් නොවූ බලවේග ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවමින් ඇවිළෙන ගින්නට පිදුරු දමමින් සිටිති. ඔවුන්ගේ අලූත් තුරුම්පුව ව්‍යවස්ථා විරෝධයයි.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යවස්ථාව ප්‍රශ්න පත්‍රයක්