IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වරදාන දේශපාලනයට තිතක්

මැතිවරණයෙන් ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය සෑම කෙනකුගේම කතාබහට ලක්වන්නකි. මේ ජයග්‍රහණය පිටුපස හේතු සාධක ගණනාවක් තිබේ. අද මේ රටේ පවතින්නේ 1978 සම්මත කළ ව්‍යවස්ථාව මත පදනම් වූ මැතිවරණ ක්‍රමයකි. එහි ඇත්තේ මනාප ක්‍රමයයි. මනාප ක්‍රමය මත පදනම් වූ මෙම මැතිවරණ ක්‍රමය හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් මුළු රටත් පාර්ලිමේන්තුවත් දූෂිත තත්ත්වයට පත්වුණි. මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයෝ ද දූෂිත දේශපාලනයේ ගොදුරු බවට පත්වූහ. දූෂිත ව්‍යාපාරිකයන්ගේ ගොදුරු බවට පත්වූහ. මෙහි ප්‍රතිඵලය වූයේ සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයේම බරපතළ අර්බුදයක් පැන නැගීමය.

දැනුම මත පදනම් වූ වියත් දේශපාලනය බිඳ වැටෙමින් මජර දේශපාලනය රජකරන පසුබිමක් රටේ නිර්මාණය වූයේ පවත්නා මනාප මැතිවරණ ක්‍රමයෙනි. මුදලින් දේශපාලනය කිරීම සමාජ විනාශයට පාර කැපූ බව පැහැදිලිය. 1977 දක්වා මන්ත්‍රීවරුත් තැබෑරුමුත් පැවතියේ වෙන් වෙන්වය. එහෙත් ජයවර්ධන ජනාධිපති යුගයේදී මන්ත්‍රීවරුන්ට මුදල් උපයා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් තැබෑරුම් බලපත්‍ර ලබාදීම ආරම්භ කළේය. එය ක්‍රමයෙන් වර්ධනය වී රටම විනාශ වන තත්ත්වයක් දක්වා ඇදී ගියේය. අපේම ව්‍යවස්ථාවක් වෙනුවෙන් යෝජනාවලියක් ‘යුතුකම’ සංවිධානය ඉදිරිපත් කළේ මෙවන් පසුබිමකය. ගමට වග කියන ආසනයට වග කියන මන්ත්‍රීවරයකු පත්වීමේ අවශ්‍යතාව එම යෝජනාවලියෙන් පෙන්නා දුන්නේය. ඒ පවත්නා දූෂිත ක්‍රමය තුරන් කිරීම අරමුණු කරගෙනය.

ඒ වගේම රටට එක නීතියක් අවශ්‍ය බව ජනතා ඉල්ලීම බවට පත්ව තිබුණේය. මෙයට සමගාමීව 19 වැනි සංශෝධනයේ ඇති රටට නොගැළපෙන කාරණා සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනතාව නිරන්තරයෙන්ම අවධාරණය කළ සාධක වශයෙන් පෙන්වා දිය හැකිය. අලුත් ජනාධිපතිවරයකු පත්වනවිට අලුත් ආණ්ඩුවක් අවශ්‍යය. එහෙත් 19 වැනි සංශෝධනය නිසා එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. පසුගිය මාස අටක පමණ කාලයක් මේ අත්දැකීම ලබන්නට අපට සිදුවුණි. රටට නොගැළපෙන මෙවන් කාරණා රාශියක් වෙනස් කිරීමේ වුවමනාව අපි ජනතාවට පෙන්වා දුන්නෙමු. ජනතාව එම කාරණා නිවැරැදිව වටහාගත් බව තුනෙන් දෙකක ජනවරමක් ලබාදීමෙන් පැහැදිලිය.

ඒ වගේම සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කර ශක්තිමත් ආණ්ඩුවක් ශක්තිමක් රාජ්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය බව ද ජනතාව තීන්දු කර තිබේ. දුර්වල ආණ්ඩුවකින් රටක් ගොඩනැගිය නොහැක. රටක් ගොඩනැගෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක් පවතින විටය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එදා සම්මත කරගත් ව්‍යවස්ථාවට අනුව ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීම සිහිනයක්ව තිබුණි. එකී සිහිනය සැබෑකරමින් ඉතිහාසයේ පළමුවරට මනාප ක්‍රමය යටතේ තුනෙන් දෙකක බලයක් මෙවර ආණ්ඩුවට ලබා දී තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය ද මෙයින් තහවුරු වන්නකි.

වියත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අපි උත්සාහ කළෙමු. ඒ සම්බන්ධව ජනතාවට ඉල්ලීම් කළෙමු. එහි ප්‍රතිඵල සැලකිය යුතු තරමට ලැබී තිබේ. ජනතාව ද තම මනාපය ප්‍රකාශ කිරීමේදී පෙරට වඩා සිතා බලා ඡන්දය ප්‍රකාශ කර ඇති ආකාරයක් දැකගත හැකිය. සෑම දිස්ත්‍රික්කයක් දෙසම විමසිල්ලෙන් බැලුවොත් වියතුන්ගේ දේශපාලන පිවිසුම පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන. මෙය රටේ අනාගතය සම්බන්ධයෙන් යහපත් ප්‍රවණතාවකි. එය තව තවත් වර්ධනය කරගැනීම ද ජනතාව සතු වගකීමකි.

දිගින් දිගටම අප දුටුවේ වරදාන, වරප්‍රසාද ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාවිත කිරීමය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට මුවා වී නොයෙක් අකටයුතුකම් කළ ආකාරය මේ සමාජයට රහසක් නොවේ. කෙනකුට මෙය ධනය රැස්කිරීමේ මාර්ගයකි. එවන් පසුබිමක වරදාන, වරප්‍රසාද වෙනුවෙන් පාර්ලිමේන්තු පැමිණෙන ක්‍රමයට තිත තැබිය යුතුය. වත්මන් ආණ්ඩුව ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බව මේ වනවිටත් ඔප්පු වෙමින් තිබේ. ඇමැති මණ්ඩලය පත්කිරීම වෙනදාට වඩා වෙනස්ය. එය සීමා කර තිබේ. රාජ්‍ය ඇමැතිවරුන්ට පවා වැඩ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබේ. සෑම කෙනකුටම යම් ඉලක්කවලට වැඩ කිරීමට සිදුව තිබීම රටක් වශයෙන් ගත්විට සුබ පෙරනිමිත්තකි. වරදාන, වරප්‍රසාද ලබා ගන්නවා වෙනුවට වැඩ කරන පාර්ලිමේන්තුවක් බවට වත්මන් පාර්ලිමේන්තුව පත් කිරීමේ ක්‍රියාන්විතය ආරම්භ වී තිබේ. අනවශ්‍ය ආකාරයට හිතුමතේ නාස්තිකාරීව කටයුතු කිරීමට ඉඩක් ඇතැයි සිතිය නොහැක.

ඇතැම් අය පාර්ලිමේන්තු ඒමට දතකන්නේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීමටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වාහනයක් තිබිය යුතුය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. රජයෙන් ඔහුට වාහනයක් ලබාදිය හැකිය. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට, හිමිකම් කියන නිලධාරීන්ට ලැබෙන්නේ රජයේ වාහනය. ඔවුන් යම් දිනෙක විශ්‍රාම ගන්නා විට එම වාහන අදාළ ආයතනයට බාර දිය යුතුය. එම ක්‍රමවේදයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ද ක්‍රියාත්මක කළ හැකිය. එවන් ක්‍රමයකින් රටට ද අත්වන්නේ වාසියකි. තීරුබදු රහිත වාහන බලපත්‍ර ආදිය සම්බන්ධ කාරණා රාජ්‍ය සේවාවේ පවත්නා ක්‍රමය ක්‍රියාත්මක කරනවිට මතුවන්නේ නැත.

මන්ත්‍රී ධුරය ආදායම් මාර්ගයක් බවට හරවා ගන්නට ඉඩක් නැත. එය ජනතාවට සේවය කරන ධුරයක් බවට පත්කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතුය. ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් වැඩසටහනය. එහිදී අනවශ්‍ය වැඩ කිරීමට ඉඩක් නැත. ජනතාව සිටින්නේ නිරන්තර විමසිල්ලෙනි. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ රටට, දිස්ත්‍රික්කයට වැඩ කිරීමටය. ඒ ඉලක්කයක් ඇතිවය. ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, දිස්ත්‍රික් නායකයන්ට ඉලක්ක දී තිබීම අතිශයින් වැදගත් කාරණයකි. මෙය මින් පෙර නොවූ ආකාරයේ වෙනසකි. වෙනස් ගමනක් ආරම්භ වී රට පෙරට ගෙනයන බව ඕනෑම කෙනකුට වැටහෙන කාරණයකි.

මින් පෙර පැවැති ආණ්ඩු ඉලක්කගතව වැඩ කළා යැයි කෙනකු කියන්නට පුළුවන. එසේ වූවානම් රට දියුණු වී තිබිය යුතුය. මෙතෙක් කල් වූයේ පන්සිය ගණනක් වන රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල බොහොමයකට දේශපාලන හෙන්චයියන් පත්කිරීමය. මේ ආයතන පාඩු ලබමින් මහජනතාවට බරක් වීමට එය ඍජුවම බලපෑ කාරණාවකි. එහෙත් ජනතාව ඉල්ලා සිටියේ මේවා වෙනස් කරන ලෙසය. රටක් දියුණු කිරීමට නම් දක්‍ෂයන්ට තැන දිය යුතුය. මෙවර ව්‍යවස්ථාපිත මණ්ඩවලට දක්‍ෂයන් පත්කළේ ඒ ප්‍රතිපත්තිය අනුවය. ඒ වගේම මේ අය පත්කර නිකම් බලා සිටියේ නැත. වසරකදී ඔවුන් සපුරාගත යුතු ඉලක්ක ලබාදී තිබේ. පාඩු ලබන ආයතන ලාබ ලබන ආයතන බවට පත් කළ යුතුය. ඒ වගේම මේ අයට පක්‍ෂ දේශපාලනය තහනම්ය. අයුතු ලෙස සම්පත් භාවිතය තහනම්ය. දූෂණයට, නාස්තියට වැට බැඳිය යුතුය.

 මේ ආකාරයට ආයතන ගමන් කරන්නේ අලුත් ක්‍රමයකටය. සියලු දෙනාම වැඩ කළ යුතුය. ක්‍රමවේදය අලුත් වී තිබේ. සියලු දෙනාම ගමන් කළ යුත්තේ ඒ අලුත් ක්‍රමවේදය ඔස්සේය. වසර හතර හමාරකදී මේ රට දියුණු තලයට ඔසවා තැබීමට අවශ්‍ය කටයුතු සෑම පාර්ශ්වයකින්ම ඉටුවිය යුතුය. ජනතාව සිටින්නේ මේ සියල්ල සම්බන්ධව අවධානයෙනි. රටක් වශයෙන් දියුණු වීමට නම් රාජ්‍ය අංශය පමණක් නොව සමස්තයක් වශයෙන් වෙනසකට ලක්විය යුතුය. දියුණු රාජ්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය නම් තම අයිතිවාසිකම් කතා කරනවා වෙනුවට යුතුකම් ඉටුකළ යුතුය. තම යුතුකම ඉටුකර සමාජයක් බිහිකිරීමට කැපවිය යුතුය. රට වෙනස් වන්නේ එවිටය. එසේ නැතිව මන්ත්‍රීවරුන්, ජනපති, අගමැති වෙනස් වූ පමණින් රටක් වෙනස් වන්නේ නැත. සමස්ත රටේම පුරවැසියන් රට නැගීමේ ඉලක්කය කරා යාමට සූදානම්ව යුතුකම ඉටුකරන සමාජයක් ගොඩනැගිය යුතුය.

සෑම අංශයකම වෙනසක් සිදුවිය යුතුය. කාර්යාලයකට ගොස් වැඩ කරන පහළම මට්ටමේ සේවකයාත් අවංකවම සිය සේවාව ඉටුකළ යුතුය. කැපවීම පෙන්නුම් කළ යුතුය. යම් පුරවැසියකු මාර්ගයේ ගමන් කරන්නේ නම් එය විනයානුකූලව සිදුවිය යුතුය. නාස්තිය නැවැත්වීම තම නිවසෙන්ම ආරම්භ කිරීමට පුළුවන. විදුලිය, ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම එයට එක් උදාහරණයකි. මේ ආකාරයට රට ද තමාගේ යන හැඟීමෙන් කටයුතු කරන විට බොහෝ දේ වෙනස් කිරීම අපහසු නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉලක්කය විය යුත්තේ තමන්ට සහ තම වර්ගයාට පමණක් සේවය කිරීම නොවේ. ඔවුන් ආදර්ශවත්ව මුළු සමාජයටම සේවය කිරීම ඉලක්කය බවට පත්කර ගත යුතුය.

තමන්ට පැවරී ඇති කාර්යභාරය කුමක්දැයි නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලය එළැඹ තිබේ. එසේ නැතිව පෞද්ගලිකව තම අයිතිවාසිකම් සම්බන්ධව කතා කිරීම රටට හෝ ජනතාවට වැදගත් නැත. පොදු සංකල්පයක පිහිටා සියලුදෙනා කටයුතු කළ යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනපති, අගමැති යනු එහි එක් කොටසක් පමණි. රාජ්‍ය සේවාව, පෞද්ගලික අංශය, සාමාන්‍ය පුරවැසියන්, ප්‍රාදේශීය සභා, පළාත් සභා යනාදී සියල්ල පොදු සංකල්පයකට අනුගතව වැඩ කළ යුතුය. රාජ්‍යය දියුණු කළ හැක්කේ එවිටය.
තරාතිරම නොබලා සියලු දෙනාම කැපවීමෙන් වැඩ කිරීමට පෙළගැසිය යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. කාලයක් ඇතැම් නිලධාරීහු මහා පරිමාණ ව්‍යාපෘතිවල ගොදුරු බවට පත්ව සිටියහ. ඒ වගේම සියල්ල විදෙස් විශේෂඥයන්ගේ ගොදුරු වීමටද ඉඩ නොතැබිය යුතුය. අපේ තාක්‍ෂණය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිය. අඩු වියදමකින් කළ හැකි දේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුය. දේශීය ඉංජිනේරු ශිල්පය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිනම් එයින් ලැබිය හැකි වාසිය සුළුපටු නොවේ. එසේ නොමැතිව විදෙස්වලින් ලබාදෙන සියලු ව්‍යාපෘති ඔවුන්ගේ තාක්‍ෂණය අනුවම අනුමත කළොත් විනාශකාරී ප්‍රශ්න නිර්මාණය වන්නට පුළුවන. එනිසා අපට, රටට විශ්වාස ක්‍රමයක් ගොඩනැගිය යුතුය.

ව්‍යවස්ථා සංශෝධන කථිකාව ද මේ වනවිට පෙරට පැමිණ තිබේ. සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවනවාද නැතිනම් 19 පමණක් සංශෝධනය කෙරෙනවා ද යන්න සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට හැකියාවක් මට නැත. සම්පූර්ණයෙන්ම මේවායේ වෙනසක් අවශ්‍ය නොවන බව මාගේ පෞද්ගලික අදහසය. එහෙත් අනවශ්‍ය කොටස් ඉවත් කළ යුතුය. ඒ වගේම තවත් කාරණා රටට ගැළපෙන ආකාරයට සංශෝධනය කරගැනීම අවශ්‍යය. මේවා සිදුවිය යුත්තේ රටේ යහපත වෙනුවෙනි. විවිධාකාර මත මේ වනවිට මෝදු වී තිබිය හැකිය. ඒවා හුදෙක් යම් යම් අරමුණු වෙනුවෙන් කෙරෙන ඒවාය. ඒවාට යට නොවී රටේ යහපත වෙනුවෙන්ම කටයුතු කිරීම සැමගේ වගකීමය. රටේ අයහපතට යමක් සිදුවන්නේ නම් ඊට එරෙහිව නැගීසිටීමට ද අප සූදානම්ය. එනිසා 19 වැනි සංශෝධනය යළි සංශෝධනය වීම ධනාත්මක විය යුතුය. ස්වාධීන කොමිෂන් සභා ධනාත්මක තත්ත්වයකි. එහෙත් ඒවායේ අඩුපාඩු බොහෝය. ඒවා නිවැරැදි කරගැනීමේ වුවමනාව දැඩිව තිබේ.

මේ සියල්ලේ අවසාන අරමුණ රට සංවර්ධනය කිරීමය. සෞභාග්‍යයේ දැක්මට අනුව රට ඉදිරියට ගෙනයාමේදී දැවැන්ත ව්‍යාපෘතිවලට වඩා දේශීය නිෂ්පාදනය නැංවීමට අවධානය යොමු කළ යුතුය. මෙරට කිරි නිපදවීම සියයට 45කි. සියයට 55ක් ආනයනික කිරිපිටි ය. ඒවා ද විස සහිතය. එනිසා මෙරට ආහාර නිෂ්පාදනය යථාවත් කළ හැකිය. ඒ හරහා රැකියා ජනිත කිරීමට පුළුවන. අපේම වූ ආහාර නිෂ්පාදනයකින් ස්වයංපෝෂිත වූ පසු යටිතල පහසුකම් නැංවීමට වැඩි ප්‍රමුඛතාවක් දිය හැකිය. සෑම පවුලක්ම නගාසිටුවන වැඩපිළිවෙළකට අනුගත වීම ඉදිරි කාලයේදී අවශ්‍යය. ගම ශක්තිමත් කරන, ජනතාව ධනවතුන් බවට පත් කරන ව්‍යවසායක රාජ්‍යයක් ගොඩනැගීම අපේ ප්‍රමුඛ ඉලක්කය වී තිබේ. අපට ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවන්නේ එවන් ව්‍යවසායක රාජ්‍යයක් බිහිකර ගැනීමෙනි. සංවර්ධනය, දියුණුව කරා රට ගමන් කරන්නේ එවිටය.

(*** සටහන - චමින්ද මුණසිංහ)



අදහස් (3)

වරදාන දේශපාලනයට තිතක්

Pusa Friday, 21 August 2020 06:02 AM

දැන් ඉතින් ඕවා ලියලියා ඉඳලා වැඩක් නැහැ. ඔයයි, ගෙවිඳුයි දෙන්නම පාර්ලිමේන්තුවේ නේ... ඒ නිසා කරලා පෙන්නන්න.

:       37       229

Raveendra Friday, 21 August 2020 07:40 AM

ඉතාමත්ම හොඳ විග්‍රහයක්.. එලෙසම මිනිසුන් කොහෙත්ම කැමති නැහැ "කැටයම් මෝස්‌තර කතා දාන අයට" එබැවින් 225 ම කතාව අඩුකර වැඩ වැඩිකර ජනතාවට හොඳ ප්‍රතිඵල පෙන්නුවොත් කාටකාටත් හොඳයි. එසේ නොවුනොත් රනිල්ට ඇඩ්‍රස් විතරයි නැතිවුනේ.. ඔයාලාට ඇඩ්රස් විතරක් නොවේ උන්හිටි තැන්ද නැතිවී යනඑන මං නැතිවෙයි හරියෑ...

:       1       14

Kuma I Friday, 21 August 2020 08:14 PM

අන්තිමේදී කරන්න දුන්නේ නෑ කියයිද දන්නේ නෑ අරයා වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 62 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1363 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 635 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4621 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12961 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site