IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


විරසකයට උඩගෙඩි දුන් වසර 74ක දේශපාලනය

ශ්‍රී ලංකාව සිය 74 වැනි ජාතික නිදහස් දිනය ඊයේ සැමරුවේ ඇත්ත වශයෙන්ම ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ද? රටක් ආර්ථික වශයෙන් දියුණු වී විදේශ බලපෑම්වලට යට නොවී පවත්වා ගෙන යාමට කොතරම් කාලයක් අවශ්‍ය ද? එය කොහෙත්ම ශත වර්ෂ ගණනාවක් නම් නොවේ.

වසර 74කට පසු ශ්‍රී ලංකාව අද අසාර්ථක රාජ්‍යයක් නොවුව ද ඊට ආසන්නයටම ගොස් තිබේ. එදිනෙදා කුමක් හෝ කුලී වැඩක් සොයාගෙන ජීවත්වන මිනිසුන් ඊළඟ දිනයේ තම  ආහාරය සොයා ගන්නේ කෙසේදැයි සිතන්නාසේ ඊළඟ සති කිහිපයේ නැත්නම් ඊළඟ මාස කිහිපයේ රට පවත්වාගෙන යන්නේ කෙසේදැයි පාලකයන් සිතන තත්ත්වයක් උදා වී තිබේ. තවත් දින කිහිපයකට තෙල් ඇත. විදුලිය දිය හැකිය. ආදි වශයෙන් ඇමැතිවරුන් කරන ප්‍රකාශවලින් පෙනෙන්නේ එයයි.

රට පෙර කිසිදා මුහුණ නොදුන් විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටී. ඒ සහල්, සීනි, ඉන්ධන ආදි සෑම අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් මෙන්ම දේශීය කර්මාන්ත සඳහා  වූ යෙදවුම් ද ආනයනය කරන්නට සිදුව ඇති තත්ත්වයකය. එසේම අති විශාල මුදලක් විදේශ ණය වාරික හා පොලී වශයෙන් ගෙවන්නට සිදුව ඇති තත්ත්වයකය.

නිදහස් දිනය  යනුවෙන් අප සමරන්නේ බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස් වීමය. ඒ පිළිබඳ විවිධ මත තිබුණ ද පොදුවේ සැලකෙන්නේ ඒ සමඟම අප විදේශ බලපෑම්වලින් නිදහස් ස්වාධීනව ජාතියක්ය යන්නයි. එහෙත් වසර 74ක දේශීය නායකයන්ගේ පාලනය යටතේ අවසානයේ දී සිදුව ඇත්තේ කලාපයේ බලය සඳහා පොර වැදී සිටින ප්‍රබල ජාතීන් මෙරට සම්පත් තම පාලනය යටතට ගැනීම සඳහා මෙරට තුළම  තරග වැදී සිටීමය. ඔවුහු වරාය, ගුවන් තොටුපොළ ආදි ආර්ථික මර්මස්ථාන තම පාලනයට ගැනීමට විවිධ උපක්‍රම  යොදමින් සිටිති. එහි දී අපගේ තත්ත්වය කෙබඳු ද යත් ආර්ථික හා දේශපාලන  ආදීනව ගැන සිතා අපට ඔවුන් සනසන්නට සිදුව තිබේ.

නිදහස සැමරීමේ දී මෙරට නායකයෝ මෙරට සෑම ජන කොට්ඨාසයකම නායකයන් නිදහස ලබා ගැනීමට දායක වූ බව පවසති. එය අගය කරති. එහෙත් වසර 74කට පසු අප ආපසු හැරී බැලීමේ දී පෙනෙන්නට තිබෙන්නේ වරින් වර බලයට පත් වූ ආණ්ඩුවලත් වාර්ගික පදනමින් බෙදී  ක්‍රියාකරන දේශපාලන පක්ෂවලත් කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප්‍රධාන ජන කොටස් තුන අතර ඇති වී තිබෙන ඉතා ගැඹුරු ධ්‍රැවීකරණයකි.  බෙදීමකි.

මෙය දේශපාලනය දෙස බැලුව ද ජනමාධ්‍ය දෙස බැලුව ද ඉතා පැහැදිලිව පෙනෙන්නකි. යුද්ධය පැවති කාලයේ දී මෙය ඉතාමත් අහිතකර ආකාරයට සමාජයට බලපෑවේ සිංහල හා දෙමළ ජනමාධ්‍යවලින්  වෙනස්ම ආකාරයේ යුද පිටි දෙකක් නිර්මාණය කොට සිංහල හා දෙමළ ජනයාට ඉදිරිපත් කෙරුණු හෙයිනි. පළමු නිදහස් සමරු උළෙලේ දී ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් ගායනා කරනු ලැබ ඇත. එය අද මෙන් මතභේදයට තුඩු දුන් කාරණයක් නොවීය. එහෙත් අද එය ජන කොට්ඨාස තව තවත් ඈත් කරන තරමේ ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. පිරිසක් ජාතික ගීය තිබිය යුත්තේ එක් භාෂාවකින් පමණකැයි කියති. අනෙක් පිරිස තමන්ට නොතේරෙන භාෂාවකින් ජාතිය ගීය ගැයීමෙන් ජාතික හැඟීමක් ඇති නොවේ යැයි තර්ක කරති.

වසර 74කට පෙර සිංහල ජනතාව  සමඟ එක්ව විදේශ පාලනයෙන් නිදහස ලබා වසර කිහිපයක් යන තෙක් එක්ව එය සැමරූ දෙමළ ජනතාවගෙන් අති බහුතරය එය තමන්ගේ නොවන දෙයක් සේ සලකන තත්ත්වයට පත්වී සිටිති. එය තමන්ගේ ද නිදහස් දිනය ලෙස සලකන්නේ  ඉතා සුළු පිරිසකි. තවත් පිරිසක් ආණ්ඩු පක්ෂය සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාව නිසාත් ප්‍රධාන ජන කොට්ඨාසය තුළ අප්‍රසාදයක් ගොඩනැංවීමට අකැමැති නිසාත් ජාතික දින සැමරුම්වලට එක්වෙති.

මේ වනවිට උතුරු පළාත් ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් ජාතික ධජය එසවීමට ඉදිරිපත් වුවහොත් එහි අනෙක් දේශපාලන පක්ෂ හා දෙමළ ජනමාධ්‍ය එය  සලකන්නේ තම වර්ගයාට කළ අපහාසයක් ලෙස හෝ පාවාදීමක්  ලෙසය. මේ කාරණය අදාළ නොවන්නේ ඩග්ලස් දේවානන්දා මහතා නායකත්වය දරන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පමණි. එම පක්ෂය  1990 සිටම මෙරට ජාතික දේශපාලනය සමග බද්ධ වීමට උත්සාහ දරමින් සිටී. එම පක්ෂයට ඒ නිසාම මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක පිහිටුවන ආණ්ඩු සමඟ එක්ව කටයුතු කිරීමට ප්‍රශ්නයක් නොවේ.

ඇතැම් දෙමළ නායකයන්ට නිදහස් දිනය නුරුස්නා දෙයකි. ඒ නිසාම එවැනි පිරිස් එම දිනයේ දී ඊට එරෙහිව විරෝධතා දැක්වීමට ද පෙළඹෙති. මෙය රට තුළ පවතින විශාල මානසික බෙදීමකි. එමෙන්ම නිදහස් දිනයේ හරය ද ප්‍රශ්න කරන්නකි.

කෙසේ වෙතත් නිදහසින් පසු දශක දෙකක් පමණ  ගත වන තෙක් ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු ජාතික දේශපාලන පක්ෂ ලෙස උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන කටයුතුවල නිරත විය. එම පක්ෂවලට ඉතා හොඳ  සහයෝගයක් දෙමළ ජනතාවගෙන් ලැබිණි. ජනවාර්ගික ප්‍රශ්නය උග්‍රවී  දෙමළ තරුණයන් ආයුධ අතට ගන්නට පෙළඹෙන විට පවා දෙමළ ජනතාවගේ දේශපාලන කේන්ද්‍රස්ථානය වූ යාපනයේ නගරාධිපති වූයේ එවකට මෙරට ආණ්ඩු පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය නියෝජනය කළ ඇල්ෆ්‍රඩ් දුරයිඅප්පා මහතාය.

එහෙත් ඉන්පසු තත්ත්වය වෙනස් වූයේ අසාමාන්‍ය වේගයකිනි. 1975 දී දුරයිඅප්පා මහතා  ඝාතනය කෙරිණි. 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බිහි වූයේ සුප්‍රකට වට්ටුක්කෝට්ටයි  යෝජනාව මගින් වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වූ  ඉල්ලීම ද ඉදිරිපත් කරමිනි. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන සටන් පාඨය වුයේ ද ‘‘තමිල් ඊළාම්’’ නම් වූ වෙනම දෙමළ රාජ්‍යය දිනා ගැනීමයි. එම මැතිවරණයේ දී එම පක්ෂයට උතුරු හා නැගෙනහිර  පළාත්වලින් ආසන විශාල සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිවිය.

වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වූ  ඉල්ලීම එදා සිට අද දක්වාම පවතින භූ දේශපාලන යථාර්ථයට පටහැනි වූ මුග්ධ ඉල්ලීමක්  වුවද  එය ඉතිහාසයෙන් බැහැරව ඕපපාතිකව ඇති වුවක් නොවේ. එය එතෙක් පටු දේශපාලන අවශ්‍යතා සඳහා සිංහල හා දෙමළ දේශපාලනඥයන් වාර්ගික හැඟීම්වලට ආමන්ත්‍රණය කරමින් කරගෙන ආ දේශපාලනයේ දිගුවකි. මෙය එම දේශපාලනඥයන් වගකීමෙන් යුතුව කටයුතු කළේ නම් වළකා ගත හැකිව තිබූ තත්ත්වයකි. එසේ නොවීමේ අනිවාර්ය ප්‍රතිඵලය වූයේ දශක තුනක් දිග්ගැස්සුණු යුද්ධයයි.

ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර වූ යුද්ධය දෙමළ ජනතාව මුළුමනින්ම පාහේ ජාතික දේශපාලනයෙන් ඈත් කොට දැමීය. යුද්ධය අවසාන වනවිට දකුණ පදනම් කොට  ගත් කිසිදු දේශපාලන පක්ෂයකට උතුරේ කොහෙත්ම ඉඩක් නොවීය. එය යුද්ධය ආරම්භ වූ කාලයේ සිට පැවැති සෑම මැතිවරණයකදීම පෙනෙන්නට තිබිණි. සිංහල නායකත්වයක් ඇති පක්ෂවලට පමණක් නොව එම පක්ෂ සමඟ එක්ව කටයුතු කළ ඊ.පී.ඩී.පී. වැනි පක්ෂවලට ද එම පළාත් දෙකේ ඉතිරි වූයේ ඉතා සුළු ඉඩකි.

 අනෙක් අතට යුද්ධ නිසා අනියමින් බලපෑමට ලක්වීම නිසාත් 1978 දී හඳුන්වා දෙනු ලැබූ සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය නිසාත් මෙම වාර්ගික දේශපාලන බෙදීම මුස්ලිම් ජනතාව වෙතින් ද දක්නට ලැබිණි. මුස්ලිම් දේශපාලන පක්ෂ ද බිහිවිය. එම ධ්‍රැවීකරණය මුස්ලිම් හා සිංහල ජනතාව අතරින් අන්තවාදී කණ්ඩායම් බිහිවීම හා එම ප්‍රවීණතාව දිගුවක් ලෙස 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදණු පාස්කු ඉරිදා දිනයේ ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කරගෙන එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රතිඵල විසින් තවත් උත්සන්න කෙරිණි.

යුද්ධය නිදහසේ හරයට එරෙහිව යමින් මෙරටට වෙනත් ආකාරයක විදේශ බලපෑමක් ද ඇති කළේය. ඒ යුද්ධය පැවති කාලයේ දේශපාලන හා හමුදා නායකයන් විසින්  කරන ලද හා කරන ලදැයි කියන කටයුතු මගින් මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදී නීති උල්ලංඝනය වූ බවට එල්ල වන චෝදනා මගිනි. ඒ අනුව ඇතැම් දේශපාලන හා හමුදා නායකයන් විදේශ අධිකරණවල විනිශ්චයට ලක්වීමේ තත්ත්වයක් උදාවී තිබේ.

මෙම චෝදනා ද සිංහල  හා දෙමළ ජනතාව අතර ඇති වී තිබෙන මානසික ධ්‍රැවීකරණය වසරක් පාසා තව තවත් පුළුල් වීමට හේතු වී තිබේ. 2012 වසරේ සිට සෑම වසරකම මුල් මාස තුනේ දී මෙරට නායකයෝ මෙම මානව හිමිකම් ප්‍රශ්නයට මුහුණ  දීම සඳහා  සූදානම් වෙති. පසුගිය වසරේ ආණ්ඩු එතෙක් මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් විවිධ ආණ්ඩු විසින් පත් කරන ලද කොමිෂන් සභාවල නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා තවත් කොමිෂන් සභාවක් පත් කළේය. මේ වසරේ දී අධිකරණ ඇමැති අලි සබ්රි මහතා උතුරේ ජංගම සේවයක් ක්‍රියාත්මක කළේය. එය මේ මස අවසානයේ දී ආරම්භ වන එ.ජා.මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ඉලක්ක කර ගත්තකැයි සිතිය හැක්කේ ඊට විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද සහභාගිවීම නිසාය.

බටහිර රටවලට එරෙහිව සිටි ඉරානය. ඉරාකය, සිරියාව, ලිබියාව හා කියුබාව ආදියට එරෙහිව එ.ජා. සංවිධානය කටයුතු කළ ආකාරය සමඟ සසඳන කල එ.ජා. මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ඉතා සැහැල්ලු යැයි  සැලකුව ද වසරක් පාසා ගන්නා ලද එම ක්‍රියා මාර්ග එකතු වී ඒවා මේ වනවිට මෙරට ඇතැම් දේශපාලන හා හමුදා නායකයන්ට එරෙහිව දඬුවම් පැමිණවීමට ආසන්න තත්ත්වයක් ගොඩ නගා ඇත. මේවා සමහර විට ඉල්ලා ගත් කරදර යැයි කෙනකු කිව හැකි වුව ද මේවා ද නිදහසට අදාළ විදේශ බලපෑම්ය.

චාරිත්‍රයක් මෙන් මෙරට හා විදේශගත දෙමළ කණ්ඩායම් ද වසරේ මුල් මාස තුන යොදා ගන්නේ එ.ජා. මානව හිමිකම් කවුන්සිලය මඟින් යුද්ධ කාලයේ දී මානව අයිතීන් උල්ලංඝනය කළ පිරිස්වලට දඬුවම් පැමිණ වීම සඳහාය. මේ වසරේ ද දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා ලියවිල්ලක් සකස් කොට මානව හිමිකම් කවුසිලයට යවා තිබේ. එහෙත් දෙමළ සංවිධාන මෙහි දී කොටි සංවිධානය විසින් කරන ලද කටයුතු ඉතා පහසුවෙන් අමතක කොට දමයි.

නිදහස අර්ථවත් කිරීමට නම් ජන කොට්ඨාස අතර සංහිඳියාව අනිවාර්ය අංගයක් වේ. රටවල් දෙකක් මෙන් ජනතාව බෙදී කටයුතු කරන තැන සැබෑ නිදහසක් ඇතැයි කිව නොහැකිය. එහෙත් ඒ සඳහා සැබෑ සංවාදයක් ජන කොට්ඨාස අතර සිදුවිය යුතුය. එවැන්නක් සිදු නොවේ.

සංහිඳියාවට අදාළ පාර්ශ්ව තම තමන්ගේ පැත්තෙන් සිදු වූ වැරැදි පිළිගැනීම ද මෙහිදී   වැදගත්ය. දකුණු අප්‍රිකාව මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් ආදර්ශයක් සපයා ඇත. මේ රටේ දී ඒ සම්බන්ධයෙන් කලාතුරකින් යම් යම් දෑ සිදුව තිබේ.  කළු ජූලියට වසර 21ක් පිරුණු 2004 දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විශේෂ රැස්වීමක් කැඳවා කළු ජූලිය සම්බන්ධයෙන් දෙමළ ජනතාවට කනගාටුව පළ කළාය.

මානව හිමිකම් කවුන්සිලය 2014 දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කොට 2015 දී එහි වාර්තාව ප්‍රකාශයට පත් කළේය. එහිදී ආරක්ෂක හමුදා මෙන්ම කොටි සංවිධානය ද දැඩි දෝෂ දර්ශනයට ලක්කොට තිබිණි. දෙමළ ජනතාවගේ නාමයෙන් ද අපරාධ සිදුවී ඇති බව අප පිළිගත යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එවිට ප්‍රකාශ කොට තිබිණි. කලාතුරකින් කෙරෙන මෙවැනි ප්‍රකාශ ද ඉතා සුළු කලෙකින් අමතක වේ. ඉන්පසු යළිත් සිදුවන්නේ එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමය. ඒ අනුව නිදහසින් වසර 74කට පසුවත් සංහිදියාව  අපෙන් ඈත් වී තිබේ.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

විරසකයට උඩගෙඩි දුන් වසර 74ක දේශපාලනය

NM Saturday, 05 February 2022 08:03 PM

ආණ්ඩුවලත් වාර්ගික පදනමින් බෙදී ක්‍රියාකරන දේශපාලන පක්ෂවලත් කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප්‍රධාන ජන කොටස් තුන අතර ඇති වී තිබෙන ඉතා ගැඹුරු ධ්‍රැවීකරණයකි. ජනවර්ග වශයෙන් පක්ෂ බිහිකර ගැනීම රටේ දියුණුවට අහිතකර ලෙස බලපා තිබේ. ද්‍රවිඩ හෝ මුස්ලිම් ජනතාව දේශපාලකයින් පාර්ලිමේන්තුවට පත්කර බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ජීවන තත්වය නගාසිටුවීමට කටයුතු කිරීම මිස රට බෙදා ගැනීමක් හෝ බලය බෙදා ගැනීමක් සඳහා වූ බලපොරොත්තුවක් නොවේ. නමුත් ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලකයින් පසුගිය දශක 7 තුළදීම ඔවුන්ගේ ජනතව අමතක කොට පාර්ලිමේන්තුව තුළදී ජනතාවගේ අවශ්‍යතා අමතක කොට බලය බෙදා ගැනීම පිළිබඳව කතා කිරීම නිසා මේ වනවිට ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට ඔවුන් නියෝජනය කරන්නා වූ සාම්ප්‍රදායික දේශපාලකයින් අමතක කොට වෙනත් විකල්පයන් වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටියි. එම වෙනස් වීමම ඔවුන්ට පමණක් නොව රටටම සුබවාදී වෙනසක් ලබාදෙනු ඇත. වර්තමාන දේශපාලනය තුළ තරුණ කොටස් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා හඳුනා නොගෙන සාම්ප්‍රදායික දේශපාලන මාවතේ තවදුරටත් ගමන් කිරීම නිසා සියලු ජාතික තරුණ කොටස් දේශපාලනයෙන් පමණක් නොව රටින්ද පිටවෙමින් / දුරස්වෙමින් තිබේ.

:       0       36

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 315 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 937 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1424 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 219 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site