සුප‍්‍රකට දූවිලි ඇල්ල බඹරකන්ද ඇල්ල, දියමිනි හා පියංගිරි වැනි දිය ඇලි නිර්මාණය කරමින් කිලෝමීටර් 138ක් දුර ගෙවා ගොස් අම්බලන්තොටින් මුහුදට වැටෙන ලංකාවේ සත්වැනි දිගම ගඟ වනුයේ වලවේ ගඟයි. හෝර්ටන් තැන්න නම් ජල පෝෂක මුලාශ‍්‍රය මහවැලි, කැලණිසේම වලවේ ගඟටත් ආරම්භක දියවර සපයන තෝතැන්නයි. එසේම බගවන්තලාව ඔය, අග‍්‍රා ඔය, කිරිකැටි ඔය හා බෙලිහුල් ඔය වැනි ගංඟාවලත් මූලාශ‍්‍රය හෝර්ටන් තැන්නයි. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට වලවේ ගෙඟ් ආරම්භක උපත සොයා යෑම අද අපේ ක‍්‍රියාදාමයයි. ඒ සඳහා වනජීවි ප‍්‍රධාන කාර්යාලයෙන් විශේෂ ලිඛිත අවසරයක් ලබා ගත්තේ සම්මත සංචරණ මාර්ගයෙන් බැහැරව (off-route) කිසිවකු පය නොතැබූ වන දුර්ගයක ගමන් කළ යුතු හෙයිනි. |
පෙර දිනයේ කි.මී. 14ක් ගෙවා කිරිගල්පොත්ත තරණය කොට රාත‍්‍රි තැන්නේ රැය පහන් කොට අද දවසේත් නොදන්නා ඉසව්වක කි.මී. 10ක පමණ නොදන්නා දුරක් පාගමනින් මාර්ගය සාදාගෙනම යාමට තරම් අපේ සිත ශක්තිමත්ය. උදෑසන 7 වන විට බොහෝ දෙස් විදෙස් සංචාරකයන් පිරිස් හෝර්ටන් තැන්නට ළඟා වී සිටියත් දැන් උදෑසන 10 වනතුරුත් අධික මීදුමක් මුළු තැන්න වසාගෙන තිබුණි. කිරිගල්පොත්තේ වළාකුළු වනාන්තර වල තිබූ අධික පින්න තැන්නේ දක්නට නොලැබුණි. අප සොයා ගත් හා දැනගත් තොරතුරුවලට අනුව මෙහි කාර්යාලයෙන් අවසරය ලබාගෙන ඔහිය පාරේ යන විටම තිබෙන කළු පාලම යටින් ගලන්නේ මුල් වලවේ ගංදිය බව දැනගන්නට ලැබුණි. එමනිසා අප එම ස්ථානයේ සිට නොදන්නා ගමනක් යෑමට සූදානම් වූයේ ජලය හා කැමරාව පමණක් අතැතිවයි.
සැබවින්ම මෙය අතිශය අවදානම් සහිත ක‍්‍රියාදාම චාරිකාවකි. මන්ද අප මේ යන ප‍්‍රදේශයට සාමාන්‍යයෙනින් කිසිදු කෙනකු නොයන බැවිනි. අපද දන්නේ කළු පාලම යටින් යන්නේ වලවේ ගඟ කියා පමණි. එය පටන් ගන්නේ කොතනින්ද, ඒ සඳහා කොපමණ දුරක් යා යුතුද, කුමනාකාරයේ ශාක හා සත්ව ව්‍යප්තියක් එහි තිබේද කියා අපි නොදනිමු. නමුත් මේ අභියෝගය ජය ගැනීමට අප තුළ ඇත්තේ කුතුහලය හා නොඉවසිලිමත් භාවය පමණි. අප සිතුවාට වඩා මෙම ප‍්‍රදේශයේ පවතින ගෙඟ් ස්වභාවය වෙනස්ය. ගඟ මැද හෝ ඉවුරක කිසිදු ගලක් හෝ පර්වතයක් නොමැති අතර ගෙඟ් ගලායෑමේ වේගය අතිශය මන්දගාමීය. හොඳින්ම බැලූවොතින් පමණක් ගඟ ගලන බව දැකිය හැක. විශාල තැනිතලාවේ ඈතින් ඈතට දඟර ගැසී යන ගංඟාව හඳුනාගත හැකි ක‍්‍රමයක් අප සොයා ගත්තෙමු. එනම් ගඟ දෙපස වැවෙන කුරු උණ නම් පඳුරු විශේෂයයි. එය වැවෙනුයේ ගඟ දෙපස හා තෙත් බිමේ පමණි. එම පඳුර මීටර් 2ක් පමණ උස නිසා ලෙහෙසියෙන් හඳුනාගත හැක. ගමන ආරම්භයේ පටන් ගඟට සමාන්තරව දණටත් උස වෑවර මාන හා මහ තුත්තිරි පඳුරු මැදින් මග සාදාගෙනම ඉදිරියට ඇදුණි. මීටර් 200ක් පමණ ගිය පසු ඉඩ සහිත භූමියේ ද පඳුරු මතින් යන විට සමහර ස්ථාන වලදී විශාල මඩ වළවල් ද මුණ ගැසුණි. එවිට ඒවා මග හරිමින් වෙනත් මාර්ග සාදාගෙන පඳුරු උඩින් අප ගමන් කළෙඹු. ඈතින් ඈතට කඳු වැටි කොපමණ තිබුණත් නිම්නය මැදින් ගලන ගඟ හඳුනාගත්තේ කුරු උණ ව්‍යාප්තිය මගිනි. සිතියමට අනුව ගඟ තොටපළකන්ද ප‍්‍රදේශයට යන නමුත් පරිසර පද්ධතිය ගැන හඳුනාගත නොහැකි විටෙක අපේ උසටත් වැඩි පඳුරු මැදින් මීටර් 300x400 ගමන් කළේ ඉදිරිය නොපෙනෙන ඉසව්වකටයි.
ආරම්භයේ සිටම ගඟ වම්පසට වංගු ගැසී ඇදුනත් ප‍්‍රථම කඳු වැටි දෙක පසු කර නිම්නය දිගේ ගලන්නකි. දැන් අපට රථ ගාල හෝ කිසිදු පාරක් පෙනෙන්නේ නැත. මන්ද අප කඳු වැටි පසු කරමින් ආ හෙයිනි. එක්තරා ප‍්‍රදේශයක කුරු උණ පඳුරු රාශියක් වැවී තිබුණු තරමක විශාල භූමියක් විය. එහි පොළව කලූ පාට මඩින් තෙත් වී තිබුණි. විස කටු, උල්කටු, උරගයින් හෝ වෙනත් සතුන් මෙම පරිසරයේ නැති නිසා විටෙක අපි පඳුරු ඈත් මෑත් නොකරම එක එල්ලේ ගමන් කළෙමු. සැබැවින්ම මෙය අපූරු අත්දැකීමකි. මෙපමණ කල් ගිය කැලෑ ගමන් වලට වඩා මෙම පතනේ ගමන වෙනස්ය. මුළු පතන පුරාම ඇත්තේ දණ පමණට වැවුනු පඳුරුය. දුරට බලන විට ඒවා තණකොල වැනිය. මෙසේ ගමන් කිරීමට වඩා ගං දියට බැස ගමන් කිරීම උචිත යැයි සිතූ අප ගංදියට බැසීමට තීරණය කළෙමු.
ගඟ දෙපස වැවී තිබුණේ පඳුරු පමණයි. තැනින් තැන මහ රත්මල් ගසේ අතු ගඟට බර වී තිබුණි. නමුත් ඒවා ඇල්ලූ සැනින් කැඩෙන ඉතා දුර්වල ශාක විය. ගංදිය මත අඟල් 4ක් පමණ උඩට ඉස්සුන සුදු පැහැති දිග ශාක වර්ගයක් විය. නිසොල්මන් ගෙඟ් මන්දගාමී සෙලවීමෙන් පෙනෙන්නේ ඒ පණුවන් වාගේය. ගං පතුලේ බොහෝ ස්ථාන වල පාසි වැවී තිබුණි. ගෙඟ් පළල අඩි 10කටත් අඩු විය. විලූඹේ සිට අඟල් 7ක් පමණ දියේ බැස අප මීටර් 200කට වැඩි දුරක් ගමන් කළේ ඉතා සීතලේය. අවට පරිසරය එකම සුදු රෙද්දක් මෙනි. සීතලේ ගමන සුළඟ ගත වැදෙන කල දෙපයත් ඒ සීතල වතුරේ දමාගෙන ඇවිදින විට කෙතරම් සීතලක් දැනේ දැයි ඔබට සිතා ගත නොහැක. අප අඩි තබන තැන දිය කැලතුන නමුත් මීටර් ගණනක් දුරට ජලය විනිවිද දැකිය හැකිය. ක‍්‍රමයෙන් දණට පොඞ්ඩක් පහළට ගිලෙන ප‍්‍රමාණයට ජල පරිමාව ගැඹුරු ප‍්‍රදේශයකට අප ආ බව දැනුණි.
ඒ මන්දයත් ගං පතුලේ දැඩි ලෙස මඩ තිබුණු නිසා අපගේ කකුල් එහි බොහෝ එරුණු බැවිනි. කොතෙක් එරුණේද යත් දණ හිස පමණටම ජලයේ තිබුණි. ඉදිරියෙන් ගිය චතුර ඉණ දක්වා එරී තිබුණු නිසා එම ප‍්‍රදේශයෙන් ඉදිරියට යෑම අනතුරුදායක යැයි අපිට සිතුණි. මන්ද, මඩ නැතුව වැලි පොළව වූවා නම් කරවටක් වූව ගෙඟ් ගිලූනාට කම් නැත. නමුත් විලූඹේ සිට අඟල් 10ක් පමණ තනිකරම මඬේ එරීම බොහෝ අනතුරුදායක යැයි අපට දැකගැනීමට ලැබුණි. මේ වන විට අකිල ගෙඟ් මැද සිටි අතර ඔහු බොහෝ යටට එරී සිටියේය. කකුල් දෙකම සෙලවීමට නොහැකිය. මාගේ කකුල් දෙකම එරී තිබුණි. අප දඟලන විට අපව තවත් එරෙන බව අප දුටුවෙමු. මා කෙසේ හෝ වැඩි බරක් නොදී අකිලව අල්ලා මාගේ එක් පාදයක් ගෙන ඉවුර දෙසින් තැබුවෙමි. එවිටත් එරුණ නමුත් මා අසල තිබූ තණ වැනි දුබල පඳුරු රංචුවක්ම අල්ලා බොහෝ උත්සාහයක් ගෙන දණ ළඟට එරුණු අනෙක් පාදයත් ගොඩ ගෙන ඉවුරට පැන්නෙමි. පසුව කුරු උණ පඳුරු පොදියක් නව ඉවුරට බරව තවත් තිදෙනකු එලෙස ගොඩට ගත්තෙමි. එකෙකුගේ පාවහන් මඬේ එරී තිබුණි. සුළු වේලාවක් නිසොල්මනේ සිටි පසු ගංදිය පැහැදිලි වූ පසු යන්තමින් දුටු පාවහන් ගොඩගෙන අකිලව මුදා ගැනීමේ මෙහෙයුමට විසඳුම් සෙවීය. ඉදිරියෙන් ගිය චතුර කෙසේ හෝ ඉවුරට ළං වනු අප දුටු නමුත් ඔහු පපුව පමණ තෙක් ගිලී සහ එරී සිටියේය. දෙදෙනකු ඉවුරේ සිට පඳුරු අල්ලා මට අත දී මා ගඟට බැස අකිලට අත දුන් පසු ඔහු ඉතා අමාරුවෙන් ගොඩට ආවේය. නොසිතූ වෙලාවක අප වැටුණු අකරතැබ්බය නිසා ගෙඟ් බැස යාම නවතා ගඟට සමාන්තර පැත්තෙන් ගමන් කිරීමට තීරණය කළෙමු. මඩෙහි එරුණ නිසා රෝස පැහැති කුඩා පණුවන් අපගේ කකුල් වල සිටි අතර උන්ව ඉවත් කෙර නැවත කුරු උණ ප‍්‍රදේශයෙන් ඔබ්බට ගමන් කළෙමු.
මේ වන විට අප කිලෝමීටර් 2.4ක් පමණ පැමිණ සිටි අතර පැය 3කට ආසන්න කාලයක් ගත වී තිබුණි. පරිසරයේ අලංකාරය පිළිබඳ ලිවීමට වචන නැති තරම්ය. සතර අතින්ම කඳු වැටි හා ඈතට පතනත් චිරි චිරියේ ගලායන වලවේ කොමලියත් සමග උඩුගුවනේ මීදුම සුළඟ සමග පොරබදින අයුරු පැහැදිලිව දැකිය හැක. එක් කන්දක් යම් විශේෂ විදිහකට සෑදි තිබුණු අතර ඈතින් අපට කැලයක් දක්නට ලැබුණි. අප සිතියමක් රැුගෙන නිවසක තිබෙන සෝෆාවකටත් වඩා සුව පහසු පඳුරු තොගයක් උඩ වාඩිවුනෙමු. ඉදිරියෙන් ගඟ බෙදෙන අතර ඉන් තොටුපලකන්ද දෙසින් ගලන ගඟ දිගේ අප යායුතුය. මෙතැනට මීටර 500 කට එහා දුරක් දැකිය හැකි අතර දඟර ගැසී යන ගංඟාව පැහැදිලිව හඳුනාගත හැකිය. එම නිසා අප එම ප‍්‍රදේශයෙන් කන්දේ අඩකට නැග ගඟට වඩා මීටර 70 ක් පමණ ඈතින් ගඟ ගලන දිසාවට ගමන් කළෙමු. මෙහිදී සතුන් ගිය කුඩා අඩි පාරවල්ද විවිධ සතුන්ගේ වසුරුද ඊට අමතරව මඩ සහිත ස්ථාන වල තිබුණු අඩි සළකුණුද දැකගත හැකි විය. ස්ථාන දෙකකදී පමණක් තරමක් ඈතින් ගෝනුන් දුටු නමුදු වෙනත් කිසිදු සත්වයෙක් දක්නට නොලැබුණි. මෙවැනි ගමනකදී වසුරු වල ස්වභාවය හා පැතිරීමත්, අඩි සලකුණු, ශාක හා පඳුරුවල වෙනස්කම්, අතු පෑගීම් කැඞී තිබීම් ගැනත් ජලයේ ඇතිවන අනවශ්‍ය සෙලවීම් පිළිබඳව අප බොහෝ අවධානයෙන් ගමන් කළෙමු. ගඟට සමාන්තරව ගමන් කරමින් කඳු වැටි 2 ත් පතන සහිත භූමියකුත් පසු කර කැලයකට අප අවතීර්ණ වීමු. පසුව අප නැවතත් පතනට බට ගඟ ගලන දිසාව සොයා බොහෝදුර ගමන් කළෙමු.
මේ දක්වා ආ මුළු දුරම අප ගමන් කළේ අප විසින්ම මාර්ගයක් පාදාගෙනය. නමුත් විටෙක හැරී ආපසු බැලූ විට එලෙස මගක් දක්නට නම් නොලැබුණි. මන්ද අපි ශාක ඈත් මෑත් කර ආ අතර එම උස ශාක නිසා ඒවා අප ගිය පසු නැවත ළං වන බැවින් අපට මාර්ගයක් හෝ අඩි පාරක්වත් ආපසු දක්නට නොලැබේ. සැබවින්ම අප අතරමං වූ පිරිසක් වැනිය. හදිසියේ හෝ වර්ෂාවක් හෝ යම් අනතුරක් වූවා නම් අප ආරම්භක ස්ථානයට යාමට අවම ලෙස පැය 4 ක් වත් ගතවනු නොඅනුමානය. තැනින් තැන නැවතී ඡුායාරූප ගෙන වතුර බී ගිමන් හැර අපගේ ගමන ගිය අතර පරිසරයේ සුන්දරත්වය බොහෝ විට දක්නට ලැබුණේ සුළු වෙලාවකි. ඒ අධික මීදුම නිසාවෙනි.
කෙසේ හෝ මේ වන විට අප ටිකක් වෙනස් විදිහකින් වලවේ ගලායන ප‍්‍රදේශයකට ආ බව දුටුවෙමු. ඒ මන්දයත් ගංගාව අඩි 5 ක්වත් පමණ කුඩා වී තිබුණි. එසේම ගලායන ශබ්දය හා වේගයද වැඩි වී ඇත. කෙසේ හෝ ඈතින් නැගී සිටින කන්ද තොටුපළ යැයි අනුමාන කළ හැකිය. කන්ද මැදින් මීදුම් සළු ඇදී තිබුණු අතර අප නිවැරදි ස්ථානයට ආ බව දක්නට ලැබුණි. මෙහි විශාල තඩාගයක් බඳු ප‍්‍රදේශයක් වූ අතර කුරු උණ යම් රටාවකට අනුව වටවී තිබුණි. වලවේ ගං කොමලියගේ කි.මි. 138 ක් දුර ගමනක උපත නම් මෙතැනය. ලහි ලහියේ ගමන් විඩාව නිවාගනු වස් අප කුළුඳුල් සහ නොඉඳුල් වලවේ ගං උල්පතේ නාගත්තෙමු. මෙම ස්ථානය කඳු වැටියක් මුදුනතක් නොවේ. එසේම කඳු පාමුලක් අසල පැතිරුණු භූමියකි. කුරු උණ විශාල වශයෙන් පැතිරුණ මෙහි දියට බැසීමට අපූරු මාර්ග සැදී තිබේ.
බුර බුරා නැගෙන ජලය ඉහළට එසවී චිරි චිරි ගගා ගලකින් පැන ගලයි. ඉන්පසු එය රැුලි කිහිපයක් නංවමින් මීටර 50 දුරට එක ලෙස ගලාගොස් එය පළලින් යුතුව වංගු ගැසී ඉදිරියට යයි. වලවේ ගං කොමලිය හෝර්ටන් තැන්නේ පාළු හුදෙකලා ඉසව්වක තනිවී තම ගමන අරඹා ගල් මතින් පැන යමින් විවිධ ඔයවල් ද කඳු මතින් නැගී පතිතව දිය ඇලිද මවමින් අවට කෙත්වතු සරුසාර කරමින්ද අම්බලන්තොටින් මහ මුහුදට එකතුවේ. පුරා පැය 5 කට අධික කාලයක් බොහෝ දුෂ්කර ලෙස පඳුරු අතරින් රිංගා, ලිස්සා විටෙක මඬේ එරී අප ආ ගමනේ අවසානය බොහෝ සුන්දරය. අප මේ වනවිටත් ආපසු යාමට නිශ්චිත මගක් රහිතව අතරමංවූ පිරිසක් බවට පත්වී ඇත. කෙසේ නමුත් ආ පරිදිම තවත් අලූත් මාර්ගයක් සාදාගෙන අපට ආපසු යෑමට සිදුවේ.
එම නිසා අප කතිකාකරගත් පරිදි අසලම තිබෙන කඳුමුදුනට ගොස් ඉන්පසු එක එල්ලේ කඳු මතින් යෑමට තීරණය කළෙමු. අප එන විටත් මෙවැනි සෘජු මගක් ඔස්සේ එක එල්ලේ කඳු පාමුලින් ආවේ දස වතාවක් පමණ ගඟ තරණය කරමිනි. එසේ ගඟ තරණය කළේ නොගැඹුරු ස්ථාන මගිනි. එම නිසා අප කන්ද නැග ගත් පසු ඉදිරි ගමන නිශ්චය කළේ සිතියම ආධාරයෙනි. කඳු මුදුනට නැගගත් පසු ගඟ ගලා යන ආකාරය හා දිශාව සුපැහැදිලිව දැකගත හැකිය. වෑවර මාන හා මහ තුත්තිරි පඳුරු කන්ද වසා නැගී තිබෙන අතර අතරින් පතර මහ රත්මල් ගස් තිබුණි. ඉදිරියේ කඳු පිහිටීම යම්තාක් දුරකට දක්නට ලැබුණ නමුත් කාර්යාල ප‍්‍රදේශය නම් දක්නට නැත. ගඟ යන දිශාව අනුව අපි සෘජු රේඛාවක් සේ කඳු නැග ගඟ හමුවන විටදි එය තරණය කර ඉදිරියට යෑමට තීරණය කළේ කාලය බොහෝ නොමැති හෙයිනි.
මෙසේ පස් වතාවක් ගඟ තරණය කළ අප එක්තරා සුවිශේෂී කන්දකට ආවෙමු. මේ වන විට ආපසු බලා යන ගමනේ දෙහෝරාවක් පමණ ගතවී තිබුණි. මෙම කඳු මුදුනද සානුවක් වැනිය. කොටින්ම කියතොත් සානුවක් උඩ පිහිටි සානුවකි. මෙහිදී අපට පුදුම වූ දසුනක් දැකගත හැකි වූයේ මීදුම පහව ගිය පසුය. එනම් අප මේ සිටින ස්ථානයට දකුණු පසින් මීටර 500 කට පමණ බොහෝ ඈතින් විශාල තනි එක කෙලින් පිහිටි තැනිතලාවකි. රූලක් බඳුවූ එය පට්ටිපොළ සිට තැන්නට එන මාර්ගය බව දැනගත්තේ එහි ගිය වාහන නිසාවෙනි. එලෙසම වම් පසත් ඊට වඩා ඈතින් කැලයන් දැක අවසන් මායිම් අතර පොඩි තැනිතලාවක් වූ අතර එහිද වාහනයක් ගිය පසු දක්නට ලැබුනේ එය ඔහිය සිට තැන්නට එන මාර්ගය බවයි. සැබවින්ම මෙම ස්ථානයට දෙපසින්ම අපට ඔහිය සහ පට්ටිපොළ මාර්ග දැකගත හැකිය. මෙවැනි ස්ථානයක් පිළිබඳව වනජීවී කාර්යාලයේ පිරිසවත් දන්නවාදැයි අප නොදනිමු. මන්ද මෙම ස්ථානයේ සිට දකුණු පසින් මඳක් උතුරට වන්නට පිහිටි නිම්නය ඔස්සේ ඈතින් ඉතා පුංචියට ප‍්‍රධාන කාර්යාලය අවට ඇති රථ ගාල දක්නට ලැබුණි. එම නිසා අප මෙම ස්ථානයේ සිට දැක්කේ ඔහිය සහ පට්ටිපොළ මාර්ග දෙක බවට අපට සහතික විය. දෙපසින්ම කි.මි. 2 කට වඩා දුර ඇති බව සිතුණි. මෙම ස්ථානයේ අප බොහෝ ඡුායාරූපගෙන පල්ලම් බැස නැවතත් ගඟ තරණය කොට කන්දක් මැදින් ගමන් කළෙමු.
එසේ පැය භාගයක් පමණ කන්ද වටේ ගිය පසු ඈතින් අපට කළු පාලම දැකගත හැකිවිය. කළු පාලම දෙසට දිවයන්නට අපට නොහැක. මන්ද මෙම පඳුරු මතින් දිවීමට නොහැක. ඇවිදීමද උස් අඩි තබා කළ යුත්තකි. පැය 7 කට අධික කාලයක් තරමක කුසගින්නේ ගමන් කළ ගමනේ අවසානය දකින විට අප සතුටුවීමු. ගෙඟ් ආරම්භය සොයා අප කි.මි. 5 ක වැඩි දුරක් බොහෝ කාලයක් වැය කරමින් ගියද ආපසු ඒමේදී අප භාවිතා කළ කෙටි ක‍්‍රමය නිසා ගඟ මගහැර අඩු කාලයකින් ගමනාන්තයට ආවෙමු. විලූඹේ හා පාදවල වේදනා බොහෝ දැනුනද මෙවන් අති දුෂ්කර ගමනක් ගොස් අප දැකගත් සෞන්දර්යයේ හා අප විඳි අත්දැකීම් කිසිදා අමතක නොවනු ඇත.
මා සහ අකිල යනු හෝර්ටන්තැන්නේ කෙළවරවල් 4 ටම පා නගා ඇති දෙදෙනෙකි. තොටුපළකන්ද, කිරිගල්පොත්ත, මහා ලෝකාන්තය හා වලවේ ගඟ සොයාගිය ඔහිය හා තොටුපළ කන්ද අතර ප‍්‍රදේශයයි. ප‍්‍රධාන රථ ගාල අසලට එන විට ඊයේ දිනයේ නිරූපණ ශිල්පීන් ලෙස ක‍්‍රියා කළ ගෝනුන් දෙදෙනා අදද කරළියට පැමිණ දෙස් විදෙස් සංචාරකයින්ගේ කාච වලට විවේකයක් දෙන බව නම් අප දුටුවේ නැත. මීදුම් සළු එළාගෙන පැමිණෙන සීතල සුළඟ හෝර්ටන් තැන්නේ අසිරිය තවත් ත‍්‍රීවු කරමින් පියඔයි. ඒ අතර නිරන්තරයෙන් මෙහි එන සංචාරකයින්ගේ වාහන පෝලිම කළු පාලම දක්වා වැඩිවෙමින් පවතියි. පැය 30 ක පමණ කාලයක් සම්පූර්ණයෙන් හෝර්ටන් තැනිතලාවේ පා තබා සිිටි අප චාරිකාවේ අවසානයට පැමිණියෙමු.
විශේෂ ස්තුතිය
වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමාට සහ හෝර්ටන්තැන්න වනජීවී කාර්යාලයේ සහාය පරිපාලක සමීර මහතාට
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වලවේ ගඟේ උපත සොයා
රන්ශාන් ප්‍රනාන්දු Saturday, 20 September 2014 03:56 AM
බොහොම ස්තුතියි. තවත් අපේ සංචාරක විස්තර බලන්න එකතු වෙන්න. (නදී)
අමර Tuesday, 09 September 2014 05:08 PM
හොඳ ලිපියක්. (නි)
චතුර සිල්වා Friday, 03 October 2014 05:26 PM
හොද වැඩක්. මාත් ආසම තැනක් හෝර්ටන් තැන්න. (නදී)
සිරිල් මාලදිවයින Sunday, 14 September 2014 06:52 AM
ඉතාමත් සුන්දර චාරිකාවක තතු. 1972 වසරේදී මමත්, චනද්‍රසේනත් අපෙන් වෙන්වූ ඡායාරූප ශිල්පී උපාලි ශාන්තත් ඔහිය දුම්රිය ස්ථානාධිපති මහතාගේ නිවහනේ සිට ලෝකාන්තය දක්වා ගිය දුෂ්කර පා ගමන මතකයට එකතු කළේය. ජනප්‍රවාදයේ එන රාවනා සටනේදී හනුමාගේ වලිගයේ බැඳි ගින්නට දාගිය හෝටන් තැන්නේ කළු පස මත වැවුන මාන ඉලුක් අතර සිහින් දිය පහරක් ලෙස සැදී පසුව මහවැළි, කැළණි, කළු යන මහා නදී සතර අතට බෙදී ගමන් ගන්නේ ඔය සුන්දර ස්ථානයෙනි. අපි කළු පාලම දිගේ දිය පාර ආරම්භය දක්වා එදා ගමන් කළෙමු. ගෝන්නු, මහ රත්මල් ගස්, කුරු ගස්වල බැද තිබූ පිණි බර මකුළු දැල්, ගත වකුටු කළ සීතල, වළාකුළු මැදින් ගිය ගමන ඒ සුන්දර පරිසරය අද කෙසේදැයි අපි නොදන්නෙමු. (නදී)
නිරෝෂණ Tuesday, 17 March 2015 10:06 AM
අපිටත් බැරීද එකතු වෙන්න. (ස)
නිර්මාල් අලහකෝන් Monday, 06 October 2014 03:30 PM
අපිටත් බැරීද එකතු වෙන්න.. සුපිරි ගමනක් මේක නම්. එහෙ සිතල මතක් කරද්දීත් වෙව්ලනවා... (අ)
රමේෂ් Wednesday, 24 September 2014 01:16 AM
පුදුම ශීතල ගමනක් නේද? කියවද්දීත් ආසයි (නි)
නිරාන් සෞදි Thursday, 11 September 2014 06:50 AM
තරුණ තරුණියන්ට හොද විනෝදාශයක්. (නදී)
සියාඩ් Wednesday, 10 September 2014 03:08 PM
කිවයද්දි ආස හිතුනා. ඇත්තටම හොඳ ලිපියක් (අ)
කමල් Tuesday, 23 September 2014 06:30 AM
මේ විස්තරය නියමයි. හැබැයි වෙන කට්ටිය යන්න ගිහින් සතුන්ට ගස් වැල් වලට හානි කරයිද දන්නේ නැහැ.පොලිතීන් වීදුරු කටු ගෑවිලාවත් නැති ලංකාවේ සුන්දරම බිම් කොටස් මේවා. (නි)
සුපුන් Sunday, 21 September 2014 02:31 AM
මමත් වලවේ ගංගාවේ අරම්භක ජලපාර දිගේ ගිහින් තියෙනවා. නමුත් දිගටම යන්න බැහැ හරිම ගැඹුරුයි සමහර තැන් (නි)
සුපුන් Sunday, 21 September 2014 02:45 AM
ඇත්තටම හෝර්ටන් තැන්න හරිම වටිනා තැනක්. ඒත් ඒකේ වටිනාකම මුලින්ම කියලා දෙන්න ඕනෑ ඒක පාලනය කරන කට්ටියට. එයාලගේ කාර්යාල වටේ බෝඩ් ගහලා තියෙනවා ආක්‍රමණකාරී ගස් පැල විනාශ කරන්න කියලා. ඒත් කාර්යාල වටේ ඒවා දහස් ගානක් පැළවෙලා කිසි ගානක් නැතුව ඉන්නවා. ඉතින් කොහෙද ආදර්ශයක් දෙන්නේ. (නි)
Sneha Sunday, 20 December 2020 02:53 PM
ඉතාමත්ම හොඳයි...
වරුණ Tuesday, 16 February 2021 07:41 AM
වලවේ ගඟ ආරම්භ වෙන්නේ සමනල අඩවියෙන් නේද?