IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංග කුරුමාණමේ ඉරණම

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ළංවෙත්ම එහි උණුසුමද ඉහළ නගිමින් තිබේ. එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් උපරිම උත්සාහයක නිරතව සිටින්නේ තම තමන්ගේ කරුණු කාරණා ජයග්‍රහණය කරවීමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමටය.

එහෙත් එජාපය සඳහන් කරනුයේ අගමැතිවරයා පිළිබඳව තිබෙන විශ්වාසය එම යෝජනාව පරාජය වීමත් සමඟ තව තවත් තහවුරු වන බවය. දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අගමැතිවරයා පිළිබඳවත් ආණ්ඩුව පිළිබඳවත් මෙමගින් විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ අදහසය. කෙසේ වෙතත් මේ කඳවුරු දෙකම රහසිගතවත් ප්‍රසිද්ධියේත් සිය බලය තහවුරු කර ගැනීමේ උපරිම උත්සාහයක නිරතව සිටින බවද පැවසේ.

එක්සත් ජාතික පක්‍ෂය මුලදී කටයුතු කළේ විශ්වාසභංග යෝජනාවට පහසුවෙන් මුහුණ දිය හැකි බවක් සිතාගෙනය. එහෙත් රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාරගේ දැඩි ප්‍රකාශයක් සමඟම එජාපය තරමක් අසීරුතාවයකට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. සැබවින්ම පාලිත රංගෙ බණ්ඩාරගේ  ප්‍රකාශය සනාථ වනු ඇත්දැයි කිව නොහැක්කේ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 27 ක් ඔහු වටා සිටින බව විශ්වාස කළ නොහැකි නිසා යැයි එම පක්‍ෂයට හිතවත් අය සඳහන් කරති.

එහෙත් පාලිත රංගෙ බණ්ඩාර සමඟ එජාප මැති ඇමැතිවරුන් දහයකට වැඩි පිරිසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් හෝ දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියහොත් අගමැතිවරයාට අපහසුතාවකට පත්වීමට සිදුවනු ඇතැයිද තවත් පිරිසකගේ මතය වී තිබේ. කෙසේ වෙතත් තවත් ආරංචි මාර්ගයක් සඳහන් කළේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිප හා එක්සත් ජාතික පෙරමුණට අයත් ඇමැතිවරුන් කිහිප දෙනෙකු හෝ එජාපයට සහාය දෙමින් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවය.

කෙසේ වෙතත් දේශපාලන කරලිය දිනෙන් දින වෙනස් වන හෙයින් අවසන් මොහොතේ කුමකින් කුමක් සිදුවනු ඇත්දැයි කීමට නොහැකිය. ඒ තරමටම දේශපාලන තීන්දු තීරණ මොහොතින් මොහොත ඒ මේ අත දෝලනය වෙමින් තිබෙන බැවිනි.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණ යටතේ තිබෙන හවුල්කාර පක්‍ෂවල නායකයින් අඟහරුවාදා රැස්වී අගමැතිවරයා සම්බන්ධයෙන් විශේෂ කරුණු කාරණා සාකච්ඡා කළ බවය. ඔවුන් ඔවුන්ගේ තීන්දු තීරණ ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  වෙත ද දැනුම් දීමට නියමිතව තිබිණි.

අග්‍රාමාත්‍යවරයා හා එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්‍ෂ නායකයන් අතර එම සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනාවට අමතරව, ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති, ඉදිරි ගමන් මග මෙන්ම හවුල්කාර දේශපාලන පක්‍ෂවලට තිබෙන කණස්සල්ල ආදී කරුණු ද සාකච්ඡාවට බඳුන් වූ බව කියැවෙයි.

යහපාලන ආණ්ඩුවට තිබූ එක් චෝදනාවක්  වූයේ විද්‍යාත්මක  නොවන  ආකාරයෙන් අමාත්‍යාංශවල විෂයන් බෙදා තිබෙන බවටය. විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා හා ඔහුට හිතවත් කැබිනට් අමාත්‍යවරුන්ට යම් යම් විෂයන් බෙදා දී තිබෙන බවටද විපක්ෂයෙන් හා විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා පිට චෝදනා එල්ල වන්නට විය. උසස් අධ්‍යාපනය මහා මාර්ග අමාත්‍යංශයකට නොගැළපෙන බවත් මහ බැංකුව හා රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමත් පිළිබඳව විශේෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ලවන්නට විය.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර කීවේ “විද්‍යාත්මක ක්‍රමයකට විෂයන් බෙදන්න ඕනේ. ඒ පිළිබඳව ජනාධිපතිවරයාත් උනන්දුවක් දක්වනවා. මෙවර කැබිනට් සංශෝධනයෙන් පස්සේ විෂයන් ගැසට් කරනකොට වරද නිවැරැදි වේවි” යැයි යනුවෙනි. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලවත් මැදිහත්වීම මත ශ්‍රී ලංකා මහ බැංකුව නැවත මුදල් අමාත්‍යාංශය යටතට පැවරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කැමති වී තිබිණි.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සතියක පමණ කාලයක සිට එම විෂයන් වෙනස් කිරීම පිළිබඳව මහන්සි වූයේය. ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය  බදාදා නිවේදනය නිකුත් කෙරුණේ ඒ අනුවය. වරද නිවැරදි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවත් විනිමය සුරැකුම්පත් කොමිසන් සභාවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පැවරිණ.

විශ්වාසභංග යෝජනාවට මුහුණ දීම සම්බන්ධයෙන් තවත් විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වෙමින් සිටින බවටද ඉඟි පළ වී තිබේ. අග්‍රාමාත්‍යවරයාට හිතවත් ඇමැතිවරයකු වන වජිර අබේවර්ධන සඳහන් කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව කිසිසේත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි බවය.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් කළ යුත්තේ ආණ්ඩුවටම බව යැයිද වජිර අබේවර්ධන කියයි. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒ තත්ත්වය ලබන හතරවැනිදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට දැනුම් දෙන බවය. ඒ අනුව කතානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකතනය කර ගැනීමට සිදුවනු ඇති බවද ඔහුගේ අදහස වී තිබේ. ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ ඝෝෂා හා තර්ක විතර්ක මත සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා අගවිනිසුරුවරයා හෝ නීතිපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවීමට එහිදී කතානායකවරයාට සිදුවනු ඇත.

පක්‍ෂනායක රැස්වීමක් කැඳවා කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ කථනය කර ගැනීමෙන් ද පසුව නිශ්චිත තීන්දුවක් ගැනීමට කතානායකවරයාට සිදුවනු ඇත. එක්සත් ජාතික පක්‍ෂය යම් ආකාරයකින් දේශපාලන තුරුම්පුවක් යොදා විශ්වාසභංගයෙන් පළායාමට ප්‍රයන්තයක් දරනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පිරිසක් මත පළකරති.

මෛත්‍රී ගුණරත්නගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ අගමැතිවරයාට එරෙහිව හා විශ්වාස භංගයට සහාය දෙමින් පාගමනක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. “ජනබල අරගලය” නමින් එම පාගමන මහනුවර සිට කොළඹ දක්වා දින 5ක් ඔස්සේ ගමන් කිරීමට නියමිත බව මෛත්‍රී ගුණරත්න සඳහන් කරයි.

“ඒකාධිපති ගජමිතුරු වියරුව පරදවන දේශය අවධිකරවන ජනබල අරගලය නමින් මෙම පාගමන අපි සංවිධානය කරනවා. මේ ආණ්ඩුව බලයට පත්කළ ජනතාව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ විශාල වශයෙන් බලාපොරොත්තු වුණා. අද වන තෙක් ඒ කිසිදු බලාපොරොත්තුවක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වුණේ නැහැ. ඒ නිසා තමන් පත්කරපු ආණ්ඩුවට විරුද්ධව ජනතාවට පාරට බහින්න සිද්ධවෙලා තියෙනවා” යැයි මෛත්‍රී ගුණරත්න සඳහන් කරයි.

මෛත්‍රී ගුණරත්නගේ පක්‍ෂය සංවිධානය කරන මෙම පාගමන මේ මස 31 වැනි දින මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කිරීමට නියමිතය. එදින උදේ 8 ට පාගමන ආරම්භ කරන අතර මාවනැල්ල දක්වා ගමන් කිරීමට නියමිතය. දෙවැනි දිනයේදී මාවනැල්ලෙන්ද තෙවැනි දිනයේදී නෙළුම්දෙනියෙන්ද ඊට පසුදින නිට්ටඹුවෙන්ද එම පාගමන ආරම්භ කෙරෙන අතර විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අප්‍රේල් මස 4 වැනිදින කිරිබත්ගොඩින් ආරම්භ කෙරෙන පාගමන පාර්ලිමේන්තු වට රවුම දක්වා ගමන් කිරීමට එක්සත් ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා තිබේ. එම පක්‍ෂය සමඟ තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් ඒකාබද්ධ වන බවද මෙවරත් සාර්ථක පාගමනක් පවත්වන බවද මෛත්‍රී ගුණරත්න සඳහන් කරයි.

පාකිස්තානයේ ජනරජ දින සැමරුම සඳහා සහභාගි වන ලෙස එරට ජනාධිපති මන්සූර් හුසේන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආරාධනා කර තිබිණ. පාකිස්තානයේ පැවති එවැනි සැමරුමකට ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකුට විශේෂ අමුත්තා ලෙස සහභාගී වන ලෙස ඇරයුම් කෙරුණු ප්‍රථම අවස්ථාව එය වීමද විශේෂත්වයකි.

ඉස්ලාමාබාද්නුවරට විශේෂ ආරක්‍ෂාවක් යොදවා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පාකිස්තානය විශේෂ උනන්දුවක් දක්වා තිබිණ. ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉහළ පිළිගැනීමක් පැවැති අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලාංකික දූත පිරිසට ඉස්ලාමාබාද් නුවර පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් සැපයීමටද පාකිස්තානය පියවර ගෙන තිබිණ.

පාකිස්තාන ජනරජ දිනය යෙදී තිබුණේ මාර්තු 23 වැනිදාය. එය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් විණ. විශේෂ ගුවන් සංදර්ශන ද ඊට ඇතුළත්ව තිබිණ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්තාන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විශේෂ යමක් කීවේය. “ඉතාම අලංකාර ලෙස ගුවන් සංදර්ශනය තිබුණා.

මට දරුවන් හා මුණුබුරන් සමඟ ඇවිත් නරඹන්න තිබුණා නම් ඉතා අගෙයි” යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාකිස්තාන ජනාධිපතිවරයාට කීවේය. “ඇත්තටම ඔබතුමාට ඒ අයත් එක්කගෙන එන්න තිබුණා” යැයි පාකිස්තාන ජනාධිපතිවරයා පිළිතුරු බැන්දේය. ජනාධිපතිවරයාත් ඔහු සමඟ ගිය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් මෙන්ම මාධ්‍යවේදීන් කණ්ඩායම ද එකම හෝටලයේ නවාතැන් ගැනීම විශේෂත්වයක් වූ අතර එහිදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ චමුදිත සමරවික්‍රම ජනමාධ්‍යවේදීන්ට ඉස්ලාමාබාද් නුවර හෝටලයේදී කෙටි සාකච්ඡාවක් පැවැත් වීමටත් අවස්ථාවක් සලසා දී තිබිණ.

ජනාධිපතිවරයා නැවත කොළඹ බලා පිටත් වන දිනයේ ජනමාධ්‍යවේදීන් සමඟ දිවා භෝජනයකට එක් වූවේය. ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ම ජනාධිපතිවරයා සමග සෙල්ෆි ඡායාරූප වලටද පෙනී සිටියහ.

බ්‍රහස්පතින්දා ගාල්ල මහා නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරීපත් වූ නියෝජිතයන් 14 දෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තුන්දෙනාත් සහ එක්සත් ජාතික නිදහස් පක්‍ෂයේ සභිකයාත් පැමිණ සිටියහ. ඔවුන් සියලු දෙනාම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණි අතර මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් ද එම අවස්ථාවට පැමිණියහ.

එහිදී වජිර අබේවර්ධන ඇමැතිවරයා ඉදිරියේ එජාප මන්ත්‍රීවරු දිවුරුම් දුන්හ. අනෙක් මන්ත්‍රීවරු සිව්දෙනා ද දිව්රුම් දී පැමිණ තිබිණ. එම හමුවේ විශේෂ අරමුණ වූයේ ගාල්ල මහ නගර සභාවේ මංගල සභාවාරයේදී බලය අල්ලා ගැනීමයි. මැතිවරණය පැවැත් වූ අවස්ථාවේ පටන් ඒ මොහොත දක්වාම පැවැති සාකච්ඡා ගණනාවකින් පසුව එම කණ්ඩායම විශේෂ එකඟතාවයකට පැමිණ තිබුණේ ගාල්ල මහ නගර සභාවේ බලය එජාපයට හිමිකර දීමටය.

මහ නගර සභාවේ නගරාධිපතිධුරය එජාපයටත් නියෝජ්‍ය නගරාධිපතිධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ලබා දීමට එහිදී දෙපාර්ශවය එකඟතාවකට පැමිණ තිබිණි. මෛත්‍රී ගුණරත්නගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභිකයාගේ සහාය එජාපයට ලබාදීමට ද එකඟවී තිබූ නිසා ගාල්ල මහ නගර සභාවේ බහුතර බලය එජාපයට ප්‍රමුඛ කණ්ඩායමට හිමි වීමට තිබිණ.

මේ අතර මැතිවරණ අවසන් වූ මොහොතේ සිටම එක්සත් ජාතික පක්‍ෂයේ නගරාධිපතිවරයා කවුරුන් විය යුතු ද යන්න සම්බන්ධයෙන් ද තරගයක් ඇතිවී තිබිණ. ඇතැම් පිරිසක් කීවේ එජාප කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන ජිලිත් නිශාන්තට නගරාධිපති ධුරය ලබාදිය යුතු බවය. ඊට අමතරව ෆයාස් ලතීෆ්, ෆවුසුල් නියාස් හා රොෂාන් මන්සුන්ද නගරාධිපති ධුරය අපේක්ෂාවෙන් පසුවූහ.

මන්සුන් ෆේස්බුක් හරහා ද නගරාධිපති ධුරය සඳහා කතිකාවතක් ආරම්භ කර තිබිණ. ඝාතනයට ලක් වූ තාජුඩීන්ගේ මවගේ සොහොයුරා වූ ෆයාස් ලතීෆ් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදමා එජාපයට පැමිණි නමුත් තමන්ට එජාපයෙන්ද සාධාරණයක් නොවූ බව කීවේය. මේ ආකාරයට එජාප අපේක්‍ෂිකයෝ කිහිප දෙනෙක්ම ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිධුරය සඳහා දත කට මැදගෙන සිටියහ.

එහෙත් ඇමැති වජිර අබේවර්ධනගේ ස්ථාවරය දැඩිවී තිබිණ. ඔහු කීවේ මෙවර ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරය ජිලිත් නිශාන්තට ලබාදිය යුතු බවය. මෙලෙස තරගයක් තිබියදී  නගරාධිපතිවරයා තෝරා ගැනීමේ දිනය එළඹිණ. සියලු දෙනාම කිරිබත් කා මහ නගර ශාලාව වෙත පැමිණ සිටියහ. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි.

කිසිවෙකුත් බලාපොරොත්තු නොවූවකි. වජිර ඇමැතිවරයාගේ ස්ථාවරය අනුව නගරාධිපති ධුරය සඳහා ජිලිත් නිශාන්තගේ නම යෝජනා කිරීමට පොරොන්දුව සිටි ෆයාස් ලතීෆ් එය කළේ නැත. ජිලිත්ගේ නම යෝජනා නොවන බව දැනගත් ගුණසෝම ගමගේ නැගිට ජිලිත්ගේ නම යෝජනා කළේය. එජාප නවක මන්ත්‍රී ඇමැති වජිරගේ උපදෙස් කඩ කරමින් රහස් ඡන්දයක්ද ඉල්ලා සිටියේය. ඔහුට සහාය පළ කරමින් එජාපයේ නවකයන් වූ කමල් හුසේන් සහ ෆාතිමා රිහානා ද රහස් ඡන්දයක් ඉල්ලුවෝය.

ඡන්දය පැවැත්වෙත්දී ඇමැති වජිර හිටියේ කොළඹය. එහෙත් ගාල්ලේ කුමක්වේදැයි ඔහු දැඩි අවධානයකින් පසුවූයේය එහෙත් වජිර අබේවර්ධනට  කිරීමට කිසිවක් ඉතිරිව තිබුණේ නැත. එජාප අපේක්‍ෂකයා ඡන්ද 11 ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්ධු ඡන්ද 20ක් ලබා ගනිමින් නගරාධිපති බලය අල්ලා ගත්තේය. අවසානයේ එජාපයේ ෆවුසුල් නියාස් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්වූයේය ඔහුගේ නම යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති ප්‍රියන්ත සහබන්ධුවීම ද විශේෂත්වයකි.

 

 

 



අදහස් (0)

විශ්වාසභංග කුරුමාණමේ ඉරණම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 279 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 22 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 154 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 188 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 135 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 195 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site