හෙන්රි වෝර්ඩ් යනු ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙකි. 1856 වාරිමාර්ග සහ කෘෂිකර්ම පනත සම්මතකොට ගම් සභා ක්‍රමය නැවත ස්ථාපිත වීමට හේතු වූ වාරිමාර්ග කමිටු පිහිටුවා වියළි කලාපයේ වී ගොවිතැන යළි ව්‍යාප්ත කිරීමට පියවර ගත් පළමු වැන්නා ඔහුය. ඒ ඉංග්‍රීසින් ශ්‍රී ලංකාව මුළුමනින් ම යටත්කොට ගෙන වසර හතළිස් එකකට පසුය. මැක්ඩොනල්ඩ් හමුදා ප්‍රධානියාගේ “දුර්භික්ෂය, අසිපත සහ ගිනිදැල්ල” යන තේමාව යටතේ ඉංග්‍රීසින් විසින් ඌව වෙල්ලස්සේ වගා බිම් බවභෝග ඇළ වේලි වැව් අමුණු මෙන් ම ගොවිතැන සහ ගොවි දන විනාශ කොට, එනම් 1818 විමුක්ති සටනට වසර තිස් නවයකට පසුව ය. මෙරට නූතන ආණ්ඩුක්‍රමයට පදනම දැමූ 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ වලට වසර විසි තුනකට පසුවය. 1848 උඩරට විමුක්ති සටන පරාජය කොට වසර අටකට පසුව ය. ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශය පිහිටුවන්නේ දැනට වසර අනූවකට පෙර, එනම් 1931 දී ය. අවුරුදු අනූවක් වයසැති ඒ අමාත්‍යංශය මේ දිනවල වී ගොවීන් ට සිදුකරන තර්ජනය සහ බිය වැද්දවීම මෙවර ‘‘කිවි දා දැක්ම’’ සඳහා ආසන්නතම හේතුව ය. එකම හේතුව නොවේ ය.
ගොවීන් වී විකුණුවේ නැත්නම් පිට රටින් සහල් ආනයනය කරනවා යනු ඒ තර්ජනය සහ බිය වැද්දීම ය.
මගේ අවබෝධයේ හැටියට කෘෂිකර්ම අමාත්‍යංශය තිබෙන්නේ සහල් හෝ වෙනත් කෘෂි භෝග ආනයනය කිරීම සඳහා නොවේය. එය පිහිටුවා ඇත්තේ වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මය ජාතික නිෂ්පාදිතයේ වැඩි දායකත්වය ලබාදෙන අංශයක් බවට පත් කිරීම සහ රට අහරින් ස්වයංපෝෂිත කිරීමටත් ඒ සඳහා ගොවිතැන සහ ගොවි ජනයාගේ ජීවිත දියුණු තියුණු කිරීමට අවශ්‍ය සහය, යටිතළ පහසුකම්, දැනුම, තාක්ෂණය, සහ වෙළඳපොළ අවස්ථා සලසා දීමටත්ය. එහෙත් ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් බොහෝ විට ක්‍රියාකොට ඇත්තේ විදේශීය බීජ කොම්පැනිවලට, පොහොර, කෘෂි රසායන, සහ පලිබෝද නාශක කොම්පැනිවලට, කෘෂි තාක්ෂණ සහ උපකරණ කොම්පැනිවලට පහසුකම් සපයන මෙරට ඒජන්තයන් ලෙස බව බොහෝ ගොවීන් කියන කතාවක් ය. එනම් ඒ කොම්පැනිවල දේශීය ඒජන්තයන් ලෙස ක්‍රියා කරන බව ය. තමන්ගේ රටේ තිබුණු රටේ දේශගුණයට ඔරොත්තු දුන් රසින් ගුණෙන් ප්‍රශස්ත ස්වදේශික පොළොවට ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබුණු බීජ දැන් අපට නැත.
හැම ඇටයක්ම මැලේසියාවෙන්, ඕස්ට්‍රේලියාවෙන්, ජර්මනියෙන් හෝ අමෙරිකාවෙන් ඉහළ මිල ගණන්වලට ආනයනය කළ ඒවා ය. ඒවාට අවශ්‍ය සැලසුම් සකස් කරන විශේෂඥයන් වනාහි මෙරට ගොවි සහ අනෙකුත් පීඩිතයන්ගේ මුදලින් දැනුම ගත් අයය. සම්ප්‍රදායික බීජ විනාශ කිරීමට පමණක් නොව සම්ප්‍රදායික බීජ තාක්ෂණය විනාශ කිරීමටද අමාත්‍යංශයත් දෙපාර්තමේන්තුවත් ප්‍රබල දායකත්වයක් දැක්වූ බවට ද සමාජ මතයක් ඇත. ඒ මත සත්‍යය යැයි සිතෙන්නේ වී ගොවියා අන්ත අසරණ තත්ත්වයකට ඇද දමා ඔවුන්ට චන්ඩි පාට් දමන අමාත්‍යංශයක් බවට කෘෂිකර්ම අමාත්‍යංශය පත් වී ඇති බව තහවුරු වන ප්‍රකාශ ඇහෙන පෙනෙන විටය.
ගොවිතැන ප්‍රවර්ධනය කළ යුත්තේ මෙරට ගොවි ජීවිත කෙතෙන් කමතෙන් ඈත් කොට ගොවීන් මහමගට ඇද දමා වෙනත් රටවල ගොවීන් ගේ නිෂ්පාදනවලට මේ රට වෙළඳපොළක් කිරීමෙන් නොවේ ය. අමාත්‍යංශය තිබිය යුත්තේ ගොවීන් සහ ගොවිතැන සඳහා මිසක දහස් ගණනින් වන කාර්ය මණ්ඩල නඩත්තු කිරීමටත් නොවේ. එහෙත් ලංකාවේ සිදුවන්නේ ඒ නොවිය යුතු දේ ය. මීට තවත් ගැළපෙනම උදාහරණයක් ලෙස විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කරන එහෙත් රටේ දිළිඳුකම පිටු දැකීම සඳහා කරපු මෙහෙයක් පෙනෙන්නට නැති සමෘද්ධි ව්‍යාපාරය දැක්විය හැකිය. රාජ්‍යය සහ රාජ්‍ය ආයතන තිබිය යුත්තේ වැඩි දෙනකුගේ වැඩිම සතුට සහ යහපත සඳහා මිස වැඩි දෙනකුගේ වැඩිම අසරණභාවය ඇති කිරීම සඳහා නොවේය. එසේම ඒ අසරණ භාවය උඩ පිනුම් ගසන බලවතුන් සහ නිලධාරීන් ටික දෙනකුගේ වැඩිම සතුට සහ යහපත සඳහා නොවේය. එහෙත් ලංකාවේ හැම රාජ්‍ය ආයතනයකම සිදුවන්නේ වැඩි දෙනකුගේ වැඩිම යහපත නොව ටික දෙනකුගේ වැඩිම සතුට සැලසීමය. රටේ අර්බුදයේ මුල ඔන්න ඔතැන ය.
මේ ටික දෙනා ලෝකයේ දියුණු රටවල මහජන නියෝජිතයන් සහ නිලධාරීන් මෙන් කඩපොළේ දී හෝ බස් පොළේ දී හෝ කෝච්චියේ දී හෝ ගොවි බිමේ දී හෝ අඩුම තරමේ මෙරට පොදු ජනයා පිහිටක් සොයා යන පන්සලක දී හෝ පල්ලියක දී හෝ කෝවිලක දී හෝ අපට මුණ ගැසෙන්නේ නැත. ඒ ඔවුන් දෙවියන් වී ඇති නිසා නොව අප මුහුණ දෙන ප්‍රශ්න සහ අර්බුද ඔවුන්ගේ ජීවිතවල සතුට මිස වෙනත් කිසිම අර්බුදයක් ඇතිකොට නොමැති නිසා ය. ඒ ජීවිතයි අපේ ජීවිතයි ඇත්තේ දෙතැනකය. මේ රටේ දේශපාලන අර්බුදයේත් මුල ඔන්න ඔතැනය.
වී ගොවිතැනේ, වී ගොවියාගේ, සහ බත් කන්නාගේ අර්බුදය යනු එක පැත්තකින් රාජ්‍යය අර්බුදයක්ය. ඇත්ත වශයෙන්ම එය රාජ්‍යය ගොඩනගා ගැනීමේ දී සිටගත යුතු සැබෑ පදනම තේරුම් නොගැනීම නිසා ඇති වූ අර්බුදයක්ය. ඉංග්‍රීසින්ගෙන් නිදහස් වූ මෙරට පාලකයන් ඉංග්‍රීසින් ගේ ආර්ථිකයේ ප්‍රධාන වෘක්ෂ ත්‍රිත්වය වන්දනා කරා මිස, එනම් තේ, පෝල්, රබර් ගස් තුනට පුද පූජා පැවැත් වූවා මිස මෙරට ආර්ථිකයේ අත්තිවාරම ගොඩ නැගිය යුත්තේ ස්වදේශීය කෘෂිකර්මය මත බව වටහා ගත්තේ නැත. එයිනුත් වී ගොවිතැන යනු ආර්ථිකයක් මෙන්ම සංස්කෘතික ආර්ථිකයක් බව මෙරට පාලකයන් සහ නිලධාරීන් වටහා ගත්තේ නැත. එක්කෝ ඊට වුවමනාවක් තිබුණේ නැත.
එය දැනුදු එසේමය. 1970 සමගි පෙරමුණු ආණ්ඩුව එය වටහා ගෙන ඇතිකළ ප්‍රතිපත්තිමය සහ ප්‍රයෝගික සැලැස්ම පරාජය වූයේ මෙරට බොහෝ පාලකයන්, ජාවාරම්කාරයන්, සහ නිලධාරීන් ඒ සැලැස්ම කෙරෙහි දැක්වූ නින්දා සහගත ප්‍රතිචාර නිසාය. ඊට එරෙහිව පරිභෝජන සමාජය උසි ගැන්වූ නිසාය. මේ සියලු දේ දකිමින් කෘෂිකර්ම අමාත්‍යංශය දශක ගණනාවක් තිස්සේ කළේ ජාතික නිෂ්පාදනය තුළ කෘෂිකර්මයේ දායකත්ව ප්‍රතිශතය වැඩි කිරීම නොව විදේශීය කෘෂිකර්මයට දේශීය වෙළඳපොළ සකස් කිරීම ය. විකිණුවේ නැත්නම් පිට රටින් සහල් ආනයනය කරනවා යනු එහි වර්තමාන ප්‍රකාශනය ය.
ලංකාවේ කෘෂිකාර්මික අර්බුදයේ ප්‍රමුඛතම ප්‍රකාශනය වී ඇති වී ගොවි අර්බුදය විසඳීමට අවශ්‍ය වන්නේ පාලකයන්ගේ හිතුවක්කාරකම් නොව අර්බුදය නිසි ලෙස තේරුම් ගෙන සකසා ගත් කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ය. අර්බුදය පැති කීපයකින් ගොඩනැගී ඇති එකක් ය.
වී වගාවට යන පිරිවැය සහ අදායම අතර පරතරය පුළුල් වී ඇත්තේ පිරිවැයට වඩා ආදායම අඩු වෙමිනි. එසේනම් වී වගා කරන්නේ මොකටද? කියා මා මිත්‍ර චරිත හේරත් වැනි වෙළඳාම කේන්ද්‍රීය උග්‍ර දක්ෂිණාංශිකයන් ප්‍රශ්න කරනු ඇත. අපි අඩු පිරිවැයකින් පිටරටින් හාල් ගෙනෙමු කියා විසඳුමක් ද ඉදිරිපත් කරනු ඇත. මෙරට ඇත්තේ කෙත මුල්කරගත් වෙළඳපොළක් නොව කෙත කමත බැත බත මුල් කරගත් සංස්කෘතික ආර්ථිකයක් බව ඊට පිළිතුරක් ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ගොවීන් වී වගා කරන්නේ නොකර බැරි නිසාම නොව එය සංස්කෘතික සහ ජීවන පුරුද්දක් නිසා ය. පාලකයන් කියන්නේ මේ සංස්කෘතික සහ ජීවන පුරුද්දෙන් ගොවියාට ඉල්ලා අස්වෙන්න කියාද? පාලක සහ නිලධාරී සංස්කෘතියක් ආවේශ කරගත් අය කෙළින් නොකීවාට ඔවුන්ගේ යෝජනාව සහ උපක්‍රමය ඒකය.
වී ගොවිතැනේ අනෙක් අර්බුදය විකුණන්නට වී නැති ගොවීන්ගේ ප්‍රශ්නය ය. සුළු පරිමාණ වී ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න වනුයේ ජල හිඟය සහ ජල සම්පාදනයට අදාළ සුළු වාරිමාර්ග නිසි ලෙස ප්‍රතිසංස්කරණය හෝ නඩත්තු නො කිරීම ය. වරක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකු මා සමඟ කීවේ අත්හැර දමන ලද හෝ නොතකා හරින ලද කොලනි/ජනපද ලංකාවේ තිබෙන බවය. මගේ ගම වන බදුළුඔය ජනපදය එවැන්නකට ඔහු ගත් උදාහරණයක් ය. අලෙවි කරන්නට වී ඇති ගොවීන්ගේ ප්‍රශ්නය මිස විකුණන්නට වී නැති එවැනි සුළු පරිමාණ ගොවි ජනපද ගැන කිසිවකුගේ අවධානය යොමු නොවීම වී ගොවි අර්බුදයේ තවත් භයානක පැත්තක් ය.
එවැනි අර්බුද බොහෝ ඇතත් ලිපිය දිගුවන නිසා සමස්ත කෘෂිකාර්මික අර්බුදය ප්‍රකාශයට පත්වන තවත් එක කරුණක් ගැන පමණක් අවධානය යොමු කරමි. ඒ අලෙවි අර්බුදය ය. ඒ අර්බුදය තුළ නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අනතුරේ ය. නිෂ්පාදනය වෙළඳපොළට එන විට ඊට ඉතා අඩු මිලක් හෝ නො මිලක් තීරණය වෙද්දී ගොවීන් තම නිෂ්පාදන වීසි කරද්දී සිල්ලර වෙළඳ පොළේ කිලෝව රුපියල් දෙසීය තුන්සීය ගණන් වලට විකුණන සහ ඒවා අධික මිලට පාරිභෝගිකයාට මිල දී ගැනීමට සිදුවන අර්බුදය මෙනෙහි කරමු. මෙය වනාහි රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අර්බුදයකි. වඩාත් කෙටියෙන් නම් රාජ්‍ය අර්බුදයකි. මේ අර්බුදය විසඳිය නොහැකි දෙයක් නොවේ. ඊට අවශ්‍ය වන්නේ වැඩි දෙනාගේ වැඩිම යහපත සහ සතුට සැලසීමට ඇපවෙන කැපවෙන හෘද සාක්ෂියකින් කටයුතු කරන අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතනය. ජනයා සහ ඔවුන්ගේ ප්‍රශ්න සමඟ ගැවසෙන, ඒ මගින් විසඳුම් සඳහා යොමුවන නියෝජිතයන් සහ නිලධාරීන්ය. දැනට එපමණකි. අනේ අපි කවදාක හිනැහෙමු ද ඒ රටේ.
(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
විසඳුම් නැති කෙතේ බතේ අර්බුදය
Nimali Thursday, 30 September 2021 08:32 AM
කනගාටුවට කාරණය මෙවැනි ලිපි මහින් ඉදිරිපත් කරන වැදගත් අදහස් ලිපියට පමණක්ම සීමා වීමය. මින් එහාට ගෙන යා හැකි මාවතක් ගොඩ නොනගන්නේ මන්ද ? නොහැකියාව නොව අකමැත්තද?