පසුගිය වසරේ අප්‍රේල් 29 වැනිදා වනවිට, එනම් හරියටම වසරකට පෙර රටේ පැවතුණේ අතිශයින්ම අවුල් සහගත තත්ත්වයකි. ඒ වනවිට පසුව අරගලය නමින් ප්‍රකට විශාල උද්ඝෝෂණයක් කොළඹ ගාලු මුවදොර පිටියේත් රටේ විවිධ ස්ථානවලත් පැවතීම ඊට හේතුවයි.
එම අරගලය දැඩි මර්දනයකින් අවසන් වුවද ඊට පෙර එම අරගලය නිසා මෙරට ඉතිහාසයේ රාජ්‍ය නායකයකුට රට අත්හැර පලා යන්නට සිදුවිය. ඉතිහාසය පුරා ජනතාවගේ සතුරන් යැයි එකිනෙකාට දොස් පවරා ගත් පක්ෂ දෙකක් එක්වී පාලන බලය රැක ගැනීමට සිදුවිය.
දැන් එම අරගලයට හේතු වූ දේශපාලන පක්ෂවල නායකයෝ ඊට විවිධාකාරයෙන් දෝෂාරෝපණය කරති. ඊට සහභාගිවූවන්ට දඬුවම් කරන්නට යෝජනා කරති.
ඉදිරියේදී සාමාන්‍ය ඉල්ලීම් හෝ ඉදිරිපත් කොට සාමකාමි උද්ඝෝෂණයක් හෝ කළ නොහැකි වන අයුරින් නීති සම්පාදනය කරන්නට උත්සාහ කරති. රටේ ප්‍රශ්නවලට හේතුව එම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යැයි කියන්නට උත්සාහ කරති.
ඔවුන් මෙසේ කරන්නේ අවංකවම නම් එය අනාගතය පිළිබඳ නරක පෙර නිමිත්තකි. මන්දයත් ඔවුන් එදා පැවැති එම නොසන්සුන්කාරී තත්ත්වයේ මූලික හේතුව අවබෝධ කරගෙන නැති බව ඉන් පෙනී යාමයි. එම නොසන්සුන්කාරී තත්ත්වයට බලපෑ ප්‍රශ්න විසඳී ඇතැයි ඔවුන් සිතීමය. එමඟින් එවැනිම හෝ ඊට වඩා නරක තත්ත්වයක් ඇතිවීමේ අනතුරක් ඇතිවීමේ අනතුරක් තිබීමයි.
අරගලකරුවන් යනු රස්තියාදුකාරයන් පිරිසකැයි ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙක් පැවසීය. අරගලය තුළ ක්‍රියාතමක වූයේ ෆැසිස්ට්වාදය යැයි තවත් නායකයෙක් කීවේය. ආණ්ඩුවේ කටයුතුවලට විරෝධය පා ආණ්ඩුවෙන් ඉවත්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දැන් අරගලය ‘විදේශ කුමන්ත්‍රණයක්’ ලෙස හඳුන්වමින් ඒ පිළිබඳව පොතක්ද එළිදක්වා තිබේ. අරගලයේ විශේෂ සිදුවීම් සිදුවූයේ පසුගිය වසරේ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි යන මාසවල 9 වැනිදා දිනවල හෙයින් ඔහු ඉතා නිර්මාණාත්මකව එම පොත ‘නවය’ යනුවෙන් නම් කොට ඇත. මේ අතර ගෝඨාභය පාලනය පෙරළීම පිටුපස කොටි සංවිධානය පරාජයවීම නිසා ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් ඇතැයි නාමල් රාජපක්ෂ මහතා පවසා තිබිණි.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ 9 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියේ, ජනාධිපති කාර්යාලයේ දොරටුව අවුරාගෙන ආරම්භ වී මාස තුනක් පැවැති එම මහා උද්ඝෝෂණයේ ස්වභාවය නිසාම එය හිස් අවකාශයේ අතරමං වන අරගලයක් වීමේ අනතුරක් ඇතැයි අපි හරියටම වසරකට පෙර එනම් පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා මෙවැනිම ලිපියකින් කියා සිටියෙමු. එහෙත් එය අහේතුකව, කිසියම් දාමරිකයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් මිනිසුන් දක්කාගෙන විත් කරනු ලැබූ ව්‍යාජ උද්ඝෝෂණයකැයි ඉන් අදහස් නොවේ. එම නොසන්සුන්තාවට සාධාරණ හේතු තිබිණි.
දශක ගණනාවක් තිස්සේ පැවැති ආණ්ඩු වාර්ෂික අයවැය හිඟය පියවා ගත්තේ රට තුළින් හා විදේශවලින් ණය ගැනීමෙනි. ණය ගැනීම සම්බන්ධයෙන් ඒ ඒ කාලයේ පැවැති ආණ්ඩු පක්ෂ හා විරුද්ධ පක්ෂ එකිනෙකාට දොස් පවරා ගත්තද සැබෑ තත්ත්වය නම් බලයේ සිටි සියලු පක්ෂ වසරින් වසර එසේ ණය ගෙන රට ණයකාරයකු කිරීමය.
මෙසේ තිබියදී 2019 ජනාධිපති ධූරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම වසරේදීම මහා පරිමාණයෙන් බදු කප්පාදුවක් කොට ආණ්ඩුවේ ආදායම විශාල වශයෙන් අඩු කර ගත්තේය. එය වාර්ෂිකව රුපියල් කෝටි 65,000කට අධික පාඩුවකැයි කියවේ. ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින ආර්ථික විශේෂඥයන් යැයි කියා ගන්නා සියලු දෙනාම තම තමන්ගේ තනතුරු ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව සාධාරණීකරණය කළහ.
ජනාධිපතිවරයා මෙම බදු කප්පාදුව කළේ ඊට මාස කිහිපයකට පසුව පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණයේදී වාසි ලබා ගැනීමටය. එහෙත් එමඟින් ජනතාවට ලැබුණු සෙතක් නොවීය. ව්‍යාපාරිකයෝ එම කෝටි ගණනක බදු සහනය තමන්ගේ සාක්කුවේ දමා ගත්හ.
ඊළඟ වසර ආරම්භයේදී එනම් 2020 මාර්තු මාසයේදී මෙරටින් කොවිඩි රෝගීන් වාර්තා වන්නට විය. එහි පළමු රැල්ල ආණ්ඩුව දැඩි නිරෝධායන සීමා පනවා සාර්ථකව පාලනය කළද නිරෝධායන පාලන සීමා නිසා ආර්ථිකය අඩාල වේ යැයි සිතා ඉන්පසු එවැනි දැඩි සීමා පනවන්නට ආණ්ඩුව මැළිවිය. එහි ප්‍රතිඵලය වූයේ ඊටත් වඩා වැඩි කාලයක් සීමා පැනවීමට සිදුවී කොවිඩ් වසංගතයේ දෙවැනි හා තුන්වැනි රැල්ල පැවැති කාලයේ දැඩි ආර්ථික අවාසියකට මුහුණදීමට සිදුවීමය.
මේ නිසා ආණ්ඩුව විදේශ විනිමය අර්බුදයකට මුහුණපෑවේය. රුපියල වේගයෙන් අවප්‍රමාණය විය. එවිට ආණ්ඩුව ඩොලරයට නිශ්චිත විනිමය අනුපාතයක් නියම කළේය. මේ සඳහා මහ බැංකුවේ තිබූ ඩොලර් බිලියන පහකට වැඩි ප්‍රමාණයක් මුදාහැරීමට සිදුවූ බව පසුව කෝප් කමිටුවේදී හෙළිවිය. ඩොලර් බිලියන 5ක් යනු මෙරටට මාස දහයකට ඉන්ධන ආනයනය කළ හැකි මුදලකි. මේ සිද්ධිය නිසාත් විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර විය.
ශ්‍රී ලංකාව ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක සිටින නිසා ණය ගන්නටද තැනක් නැති වෙමින් තිබිණි. මේ තත්ත්වය කල් තබා දුටු මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් 2020 දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතන්නට යෝජනා කළද වෙනත් ඇතැම් උපදේශකයන්ගේ උපදෙස් නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට එකඟ නොවීය. වත්මන් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත් වත්මන් විදේශ ඇමැති අලි සබ්රි මහතාත් 2020 දීම තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු යැයි කී බව දැන් පවසති. සමඟි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 2021 මැද සිටම එසේ කළ යුතු යැයි ප්‍රසිද්ධියේ කියමින් සිටියේය.
මෙසේ විනිමය ප්‍රශ්නය උග්‍ර වෙද්දී ආණ්ඩුව විදේශ මුදල් ඉතිරි කර ගැනීම සඳහා 2021 දී රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයද තහනම් කළේය. එමඟින් රට පුරා කෘෂිකර්මාන්තයට විශාල අහිතකර බලපෑමක් එල්ලවූ අතර විදේශ විනිමය උපයන තේ වැනි වැවිලි කර්මාන්තයද විශාල වශයෙන් පාඩු ලැබීය. එහි විශේෂත්වය නම් දැන් සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිස මත තබා තමන් නිර්දෝෂි වන්නට උත්සාහ කරන පොදුජන පෙරමුණේ ආර්ථික විශේෂඥයන් ඇතුළු සියලු දේශපාලනඥයන් රාජපක්ෂ මහතාගේ මේ සියලු කටයුතු එදා අනුමත කිරීමය. ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට සේවයක් කරන බව හරියටම වසරකට පෙර උද්ඝෝෂණ මැද්දේම එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා 2022 අප්‍රේල් 27 වැනිදා පළවූ ඩේලි මිරර් පුවත්පතට පවසා තිබිණි.
විදේශ විනිමය ප්‍රශ්නය උග්‍රවීමත් සමඟ තෙල් හිඟයක් ඇති විය. තෙල් හිඟය ප්‍රවාහන කටයුතුවලට විශාල වශයෙන් බලපෑවේය. ආණ්ඩුව ආනයන සීමාවක්ද ක්‍රියාත්මක කළේය. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ බඩු මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමත් ඉන්ධන හා ගෑස් සඳහා දින ගණන් හා සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමයි. 2022 ආරම්භයේදී දිනකට පැය 13ක් තරම් දීර්ඝ කාලයක විදුලි කප්පාදුවක්ද ක්‍රියාත්මක කෙරිණි.
කොවිඩ් කාලයේදීම බොහෝ ආයතනවල විශාල ප්‍රමාණයේ රැකියා කප්පාදුවක් හා වැටුප් කප්පාදුවක් ක්‍රියාත්මක විය. උද්ධමනය නිසා කප්පාදු වී ලැබුණු වැටුපේද මුර්ත වටිනාකම විශාල වශයෙන් අඩු විය. දරුවන්ගේ ප්‍රශ්නය අතිශයින්ම බරපතළ විය. විදුලි කප්පාදුව නිසා ඔවුනට අධ්‍යාපනික කටයුතු හෝ නිදා ගැනීම හෝ කළ නොහැකි විය. දරුවන් හුරුව සිටි ආහාර වේල ලබාදීම බොහෝ පවුල්වලට ආදායම අඩුවීම හා බඩුමිල ඉහළ යාම නිසා කළ නොහැකි විය.
ආණ්ඩුව සතුව මෙම ප්‍රශ්නයට විසඳුම් නොවීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසඳුම් සෙවීම සඳහා 2022 මාර්තු 7 වැනිදා 11 දෙනකුගෙන් යුත් ආර්ථික කවුන්සිලයක් පිහිටුවීය. මාර්තු 15 වැනිදා එම කවුන්සිලයට උපදෙස්දීම සඳහා 14 දෙනකුගෙන් යුත් උපදේශක මණ්ඩලයක් පත් කළේය. එම මණ්ඩලය මාර්තු 21 වැනිදා රැස්වී තාක්ෂණික කමිටුවක් පත් කරන්නට යෝජනා කළේය. එසේම මුදල් ඇමැතිවරයාට උපදෙස්දීම සඳහා විශේෂඥයන්ගේ කමිටුවක් හා මූල්‍ය හා නීති උපදේශකයන් පත් කරන්නටද යෝජනා විය. එසේ තිබියදී එම ප්‍රශ්න විසඳීම සඳහාම ජනාධිපතිවරයා මාර්තු 23 වැනිදා සර්ව පාක්ෂික සමුළුවක්ද කැඳවීය. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අර්බුදය හමුවේ අසරණ වී සිටි ආකාරය මේ සියල්ල මඟින් පෙනේ.
මාර්තු 31 වැනිදා මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසලදී මහජන කෝපය පුපුරා ගියේ ඒ තත්ත්වය යටතේය. ඉන්පසු අප්‍රේල් 3 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ කැඳවනු ලැබූ උද්ඝෝෂණයක්ද අප්‍රේල් 9 වැනිදා අඛණ්ඩ උද්ඝෝෂණයක්ද ගාලු මුවදොර පිටියේ දී ඇතිවිය. මැයි මස 9 වැනිදා පොදුජන පෙරමුණේ පිරිසක් උද්ඝෝෂකයන්ට පහරදීමත් සමග ආණ්ඩු විරෝධී පිරිස්ද ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන්නට වූහ. එම ක්‍රියා අතිශයින් සාහසික විය.
පොදුජන පෙරමුණේ නායකයන් දැන් කතා කරන්නේ මෙම සාහසිකත්වය ගැන පමණකි. එහි පසුබිම් කතාව අමතක කරවන්නට ඔවුහු විශාල වෙහෙසක් දරති.
එම පසුබිම් කතාව අමතක කිරීම හා අමතක කරවීමට දරන උත්සාහය නිසා සිදුවන්නේ තමන්ට වැරදුණේ කොතැනදැයි සොයා බලන්නට ආණ්ඩුවේ නායකයන්හට නොහැකිවීමයි. එමඟින් ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සොයන්නට නොහැකි වීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළෙන් ප්‍රශ්නය නොවිසදේ. එම අරමුදල කරන්නට යන්නේ මෙම ප්‍රශ්නයට විසඳුමක් දීම නොව විසඳුමක් සොයා ගන්නට ආණ්ඩුවට හුස්ම ගැනීමේ ඉඩ කඩක් ලබාදීමයි. එයද පීඩාකාරී හා අහිතකර පියවර ඇතුළත් වූවකි. එහෙයින් ලැබෙන හුස්ම ගැනීමේ අවස්ථාව උපයෝගී කරගෙන ප්‍රශ්නය විසඳන්නට නම් තමන්ට වැරදුණේ කොතනදැයි යන්න ගැනද අවබෝධයක් තිබිය යුතුය.
අරගලය යනු පීඩනය ඉවසා දරාගත නොහැකිව ජනතා කෝපය පුපුරා යාමකි. එහෙත් සමාජ මාධ්‍ය මඟින් එය හසුරවන්නට ඉදිරිපත් වූවන්ට මේ ගමනේ කෙළවර කුමක් විය යුතුදැයි අවබෝධයක් නොතිබිණි. ගෝඨා ගෝ හෝම් කීවද එම සටන් පාඨය ඉටු වූ විට කරන්නේ කුමක්දැයි ඔවුනට වැඩ පිළිවෙළක් නොවීය. විවිධ පුද්ගලයන්ගේ විසිරුණු මෙහෙයවීමක් ඇති අරගලයක එවැනි ඉලක්කයක් ඇති කරගැනීමද කළ නොහැක්කකි. ඒ හේතුව නිසා සාධාරණ හේතු නිසා පැන නැඟුණද අරගලය එහි වත්මන් ඉරණම නළලේ කොටාගෙන උපන්නකි.
(*** එම්.එස්.එම්. අයුබ්)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විසඳුම් සොයා අඳුරේ ගමන