IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


වාහන ආනයන සීමා ලිහිලේ හොඳ නරක

වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාරණයකි. කෙසේ වෙතත් පෙර පැවැති වාහන මිලට වඩා අලු‍තින් ආනයනය කෙරෙන වාහනවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ අනුව ලක්ෂ 35කට පැවැති වැගන්ආර් රථයක් ලක්ෂ 70 දක්වාත්, ලක්ෂ 30කට පවැති ජපන් ඇල්ටෝ කාර් රථයක් ලක්ෂ 50 දක්වාත් ඉහළ යනු ඇත. ටොයෝටා ඇක්වා රථයක මිල පැවැතියේ ලක්ෂ 60ක් ලෙසය. එහි නව ආනයනික මිල එක් කෝටි හැට අට ලක්ෂයක් වනු ඇත. ටොයෝටා හයිලක්ස්, ටොයෝටා ප්‍රයස් සහ නිශාන් එක්ස්ටෙල් වර්ගයේ මෝටර් රථවල නව ආනයනික මිල කෝටි දෙක හමාර ඉක්මවා යනු ඇත. දෙකෝටි හතළිස් පන්ලක්ෂයකට පැවැති බී.එම්.ඩබ්ලිව්. 3 වර්ගයේ මෝටර් රථයක නව මිල කෝටි 5යි ලක්ෂ 63ක් වේ. රේගු බද්දට සියයට 50ක අධිභාරයක්ද සියයට 20ට පැවැති සාමාන්‍ය රේගු බද්ද සියයට 30 දක්වා ඉහළ නැංවීමක් ද ඇතුළු නව කොන්දේසි 9ක් මෙම වාහන ආනයනයේදී පැනවෙනු ඇත.

2019 පාස්කු දා ප්‍රහාරයත් ඉන් පසුව පැමිණි කොරෝනා වසංගතයත් නිසා මෙරට ඇතිවූ ආර්ථිකයේ පසුබෑම හේතුවෙන් විවිධ ආනයන සීමා පනවන්නට සිදුවිය. අකාර්යක්ෂමතාවත්, වංචා හා දූෂණ ආදියත් රටේ ආර්ථික අර්බුදය උග්‍ර වීමට බලපෑ ප්‍රධාන කාරණා දෙකකි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහිද නිරීක්ෂණය විය. මේ ආර්ථික අර්බුදය නිසාම මහජනයාට තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල දින ගණන් රස්තියාදුවන්නට සිදුවිය. වාහන ආනයනය නවතා දමන්නට සිදු වූයේද මෙවන් පසුබිමක් තුළය. ඒ අනුව වාහන ආනයනයට නැවත අපට අවස්ථාව ලැබෙන්නේ වසර පහකට පසුවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාහන ආනයනය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයද සැලකිල්ලට ගැනීම මේ අවස්ථාවේ වැදගත් වනු ඇත. එම අරමුදලේ අදහස වී ඇත්තේ විදේශ සංචිත ආරක්ෂා කරගනිමින් පරෙස්සමින් කළමනාකරණය කරගතහොත් වාහන ආනයනය හොඳ ආදායමක් බවට පත් කර ගත හැකි වන බවය. මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන අදහස අප අවධානයට ගත යුතු වැදගත් එකකි. එසේනම් ආනයනය කරන වාහන මෙරට සාර්ථක ආදායම් මාර්ගයක් බවට පත් කරගන්නේ කෙසේද යන්න පිළිබදව අපගේ අවධානය අවශ්‍ය වේ. පෙබරවාරි පළමුවැනිදා සිට වාහන ආනයනය වෙනුවෙන් ආනයන සංචිත ඉවත් කිරීම සිදුවනු ඇත. එයින් ආණ්ඩුවට ආදායම් මාර්ගයක් සැලසෙන්නේ වාහන අලෙවියේදී ලැබෙන බදු මුදල් මගිනි. මෙවර එම බදු අය කිරීම් ආකාර කීපයකින් ඇතුළත් කර ඇති බව පෙනේ.

ආණ්ඩුවට මේ බදු ආදායම ලැබුණත් වාහන ආනයනයේදී ආනයන වියදම අපේක්ෂ්ත බදු මුදලට වඩා වැඩිවනු ඇත. කොහොමත් ලංකාවේ අපනයන වියදමට වඩා ආනයන වියදම වැඩි ය. ගෙවීම් ශේෂය වැඩිවීමෙන් රුපියල අවප්‍රමාණ වීමට මේ තත්වය හේතු වේ. පෙර වසර කිහිපයේදී වාහන ආනයනය ක්‍රමානුකූලව අත හරින්නට අපට සිදුවූයේ ඒ නිසාය. එහෙත් එම තත්වයෙන් ඉදිරියට පැමිණ මේ වන විට වාහන ආනයනය කිරීමට අවස්ථාව ලැබීම යහපත් ප්‍රවණතාවකි. ප්‍රවාහන ක්ෂේත්‍රය රටක දියුණුවට බලපාන ප්‍රධාන සාධකයකි. එබැවින් එවැනි අංශ දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත. ප්‍රවාහන දියුණුවත් සමග රටේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ මට්ටමකට ගෙන යාමෙන් යම් සාධනීය තත්වයක් අපේක්ෂා කළ හැකිය.

එහෙත් මෙහි තිබෙන ගැටලු‍වවන්නේ වාහනවල මිල ගණන් සලකා බලන විට මෙරට මධ්‍යම පාන්තිකයන්ගේ සිහින බොද වී තිබීමය. උදාහරණයක් ලෙස මාසික වැටුප් ලබන රජයේ සේවකයන් ඇතුළු බොහෝ මධ්‍යම පාන්තිකයෝ වැගන්ආර් මෝටර් රථයක් පිළිබදව හෝ ඇක්වා මෝටර් රථයක් පිළිබදව සිහින මැවූහ. වාහන ආනයනය නැවත ආරම්භ වීමත් සමග ඉන් යම් සහනයක් ලැබෙතැයි ඔවුහු අපේක්ෂා කළහ. එහෙත් නව ආනයන මිල ගණන් අනුව රාජ්‍ය සේවකයන් ඇතුළු මාසික වැටුප් ලබන්නන්ට දරා ගැනීමට අසීරු තත්වයක පවතින බව පෙනේ. ලක්ෂ 40කට හම්බන්තොට වරායට එන ඇක්වා රථයක් වෙළෙදපොළට එනවිට එක්කෝටි හැට ලක්ෂයක් පමණ වේ. එය පෙර පැවැති මිල ගණන් අනුව සියයට 160ක වැඩි වීමකි. වර්තමානයේ දැකිය හැකි ඉහළ ජීවන වියදම තුළ එබදු මුදලක් සාමාන්‍ය ජනතාවට ඔරොත්තු දෙන්නේදැයි ගැටලු‍වක් පවතී. එයට විකල්පයක් වශයෙන් කෙටිකලක් ගතවීමෙන් පසුව හෝ රේගු බද්ද වශයෙන් පනවා ඇති සියයට 50ක අධිභාරය සංශෝධනය කළ හැකිදැයි සොයා බැලීම වටී. එන්ජින් ධාරිතාව මත බදු අය කිරීම පිළිබදව නැවත සිතා බැලීමට හැකිනම් එයින් මෙරට මධ්‍යම පාන්තිකයන්ට යම් සහනයක් අත්වනු ඇත.

මහජනතාවගේ පැත්තෙන් ගත්තොත් මෙරට සමාජය තුළ දැකිය හැකි ප්‍රබල ගැටලු‍වක් වන්නේ මූල්‍ය කළමනාකරණයක් සහ මූල්‍ය සාක්ෂරතාවක් නොමැතිවීමය. සාමාන්‍ය ආර්ථික මට්ටමක් පවත්වාගෙන යන ත්‍රිරෝද රථයක් හිමි කෙනෙක් ලීසිං මගින් වැගන්ආර් මෝටර් රථයක් මිලට ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔහුට එය තම ආර්ථික තත්වය මත සැලසුම් කරගැනීමට සිදු වේ. මේ මිලදී ගැනීම තුළ රුපියල් 80,000ක මාසික වාරිකයක් ගෙවීමට සිදුවන්නේ නම් ඔහුට සෙවීමට සිදුවන දෛනික මුදල රුපියල් 2660කි. එය සුළු මුදලක් යැයි බැලූ බැල්මට කෙනකුට පෙනෙන්නට පුළුවන. එහෙත් දැනට පවත්නා ජීවන වියදම් මට්ටම තුළ එබදු මුදලක් දෛනිකව ඒ සඳහා යෙදවීම මාසික වැටුප් ලබන සමාන්‍ය පුද්ගලයකුට ප්‍රායෝගික නොවන්නකි.

ලංකාවේ බොහෝ දෙනකුට මූල්‍ය සාක්ෂරතාවක් නොමැති නිසා තම ආර්ථික මට්ටමට නොගැළපෙන වාහනයක් මිලදී ගෙන ලීසිං ගෙවාගත නොහැකිව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවේ.

ඒ අනුව මේ මිල ගණන් මත වාහනයක් මිලට ගැනීමට තීරණය කරන්නේ නම් මූල්‍ය සාක්ෂරතාව පිළිබද සැලකිල්ලක් දක්වා සැලසුම් සහගතවීම ඉතාම අවශ්‍ය වේ. තමන්ගේ ආදායම් මට්ටම, ජීවන වියදම, ඉදිරියේදී රටේ ඇතිවෙතැයි අපේක්ෂා කළ හැකි ආර්ථික වෙනස්වීම් සහ මේ මිලදී ගැනීමෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභ ආදිය කෙරෙහි මේ අවස්ථාවේ සැලසුම් සහගතව සිතා බැලිය යුතු වේ.

වාහන සඳහා බදු මුදල් අයකෙරෙන වෙනත් බොහෝ රටවල් උදාහරණයට ගත්තොත් ඔවුන් සලකා බලන ප්‍රධානම කාරණය වනුයේ එම වාහන මගින් දිගුකාලීනව සිදුවන පාරිසරික බලපෑමේ ස්වභාවයයි. ලෝකයේ දියුණු රටවල විශේෂ අවධානයක් මේ කෙරෙහි යොමු වී ඇති බව පෙනේ. ඒ අනුව රටක බදු ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ තිරසාර සංවර්ධන ඉලක්ක පදනම් කරගෙනය. දෙවැන්න රටක බදු ප්‍රතිපත්තිය සාධාරණ විය යුතුය. එය මල් නොතළා රොන් ගැනීමක් වැනිය. එහෙත් ලංකාවේ පවත්නා බදු ප්‍රතිපත්තිය තුළ එබදු තත්වක් දැකීම අසීරුය.

වාහන ආනයනයට ගත් තීරණය සුබවාදී එකකි. එයින් මෙරට ප්‍රවාහනය ශක්තිමත් කිරීමද විය යුත්තකි. මාගේ යෝජනාවනම් අප වඩාත් හොඳින් දියුණු කළ යුත්තේ මේ රටේ පොදු ප්‍රවාහන සේවාව බවය. දියුණු රටවල පවා ඔවුන් වඩාත් විශ්වාසය තබන්නේ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙනි. උදාහරණයකට සිංගප්පූරුවේ පෞද්ගලික මෝටර් රථ භාවිතය අවමය. එහෙත් පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් ය. ස්විස්ටර්ලන්තය, ජපානය, ප්‍රංශය, හොංකොං, දකුණු කොරියාව ආදි මේ සෑම රටකම ඉතා දියුණුවට පත්ව ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවය. ඒ කෙරෙහි ජනතාව තබන විශ්වාසයද ඉතා ඉහළ මට්ටමක පවතී. එයින් අප වැනි රටවලට ලබා දෙන පණිවිඩය නම් අපේ රටේ ප්‍රවාහනය තුළ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට මූලික තැන ලබා දිය යුතු බවය. මෙරට පොදු ප්‍රවාහනය දියුණු නම් ඒ ගැන ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී ඇත්නම් සාමාන්‍ය ජනයා මේ තරමට පෞද්ගලික වාහන සිහිනයක අතරමං වන්නේ නැත. එහෙත් අවාසනාවකට පොදු ප්‍රවාහනය පිළිබදව ජනතාවගේ විශ්වාසය තවමත් තහවුරු වී ඇති බවක් නොපෙනේ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වඩාත් හොඳින් සිතා බැලිය යුත්තේ මේ නිසාය.

රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් නම් කාර්යක්ෂමතාව වැඩි වේ. විශ්වාසනීයත්වය තහවුරු වේ. මාර්ග තදබදය අවම වේ. පරිසර හිතකාමී වටපිටාවක් සැකසේ. ජනතාවට දැරිය හැකි මිලක් තීරණය වේ. ඉන්දියාව පවා මේ වන විට පොදු ප්‍රවාහන සේවාව වඩාත් දියුණු කරමින් ඒ කෙරෙහි විශ්වාසය තබන බව පෙනෙන්නට ඇත. ආණ්ඩුව මේ මොහොතේ වාහන ආනයනය ට අවසරදීම යහපත් කාරණයක් වුවත් පොදු ප්‍රවාහනය කෙරෙහි මීට වඩා අවධානය යොමු කිරීම අවශ්‍ය බව පෙන්වාදීමට කැමැත්තෙමි. ඒ සම්බන්ධ ප්‍රබල සමාජ කථිකාවක් ද මේ වෙලාවේ ඇති විය යුතුව තිබේ. එසේ නොමැතිව ජනතාවට අනවශ්‍ය බලාපොරොත්තු අපේක්ෂා ඇතිකර ඒවා අවසානයේ ඉටු නොවන සිහින දක්වා ගෙන යාමෙන් රටක හිතකර පරිසරයක් ගොඩනැගීමට නොහැකිවනු ඇත.

වාහන සඳහා වන මේ බදු අය කිරීම් රටේ දැනට පවත්නා ආර්ථික මට්ටම අනුව තීරණය කිරීමට ආණ්ඩුවට සිදුවී ඇති බව පෙනේ. ඩොලරයේ වෙනස්වීමද මේ සඳහා බලපා තිබේ. රජයේ පාර්ශ්වයෙන් බලන විට මෙම පැනවූ බදු එක් වරම සංශෝධනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. එසේ වුවහොත් එය විදේශ සංචිත සම්බන්ධයෙන් දැඩි බලපෑමක් කරන්න පුළුවන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය වී ඇත්තේ ද මෙය විදේශ සංචිත ආරක්ෂා කරගනිමින් පරෙස්සමින් කළමනාකරණය කරගත යුත්තක් බවය. ආණ්ඩුවට මේ කරුණ කෙරෙහි නම්‍යශීලී වීමට මේ අවස්ථාවේදී සිදුවනු ඇත.

අනෙක් අතින් වාහන ආනයනකරුවෝ ව්‍යාපාරික වශයෙන් යම් කඩාවැටීමකට පසුගිය වසර පහ පුරාම මුහුණ දුන්හ. වාහන ආනයනය නැවත් ආරම්භ කිරීමෙන් තම ව්‍යාපාර කෙරෙහි ඔවුන් තුළ නැවත යම් විශ්වාසයක් තහවුරු වෙමින් තිබේ. මේ තීරණයත් සමග ඉදිරි මාස කිහිපය වාහන අලෙවිය පිළිබද සැලකිල්ලෙන් පසුවී ඊ ළඟට ගන්නා තීරණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ආණ්ඩුවට සිදු වනු ඇත. විශේෂයෙන් ම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මිලදී ගන්නා වාහන සම්බන්ධයෙන් ඉදිරි කාලයේ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන්නේ එය රටේ සමස්ත ආර්ථිකයටද බලපෑමක් කරන නිසාය.

සමස්තයක් වශයෙන් සලකා බලන විට වාහන ආනයනය ට අවසර ලැබීම රටට යහපත් කාරණයක් වන අතරම, රටේ ආර්ථිකය හා ප්‍රවාහනය ශක්තිමත් කිරීමට එය සාධනීය ආකාරයෙන් යොදාගත හැක්කේ කෙසේද යන කරුණ කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතුය. එහිදී පුද්ගලයා නොව රටක් වශයෙන් අප ගත යුතු තීන්දු තීරණ කෙරෙහි වැඩි අවධනය යොමු කරන්නට සිදුවනු ඇත. පොදු ප්‍රවාහනය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු වන පරිදි එය තවදුරටත් දියුණු කළ යුත්තේ මේ නිසාය. ජපානය, හොංකොං, දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් මේ සම්බන්ධයෙන් ක්‍රියා කළේ කෙසේදැයි තවදුරටත් සොයා බලා එම ආදර්ශ අපේ රටට ගළපා ගැනීම යහපත් ය.

(***)



අදහස් (0)

වාහන ආනයන සීමා ලිහිලේ හොඳ නරක

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

USAID සහාය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉරණම
2025 පෙබරවාරි මස 06 152 0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age


සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 70ක් වතුරේ
2025 පෙබරවාරි මස 06 62 1

“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ”‍ යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්


වාහන ආනයන සීමා ලිහිලේ හොඳ නරක
2025 පෙබරවාරි මස 06 41 0

වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර


ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 1602 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


කෙන් සැබවින්ම විශිෂ්ඨයෙක්
2025 පෙබරවාරි මස 05 506 0

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී


ආර්ථිකයේ තීරණාත්මක කාලයක්
2025 පෙබරවාරි මස 05 358 0

2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 802 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 753 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site