IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විහින්ම වළ කපාගත් ප්‍රභාකරන්

වසර ගණනාවක් තිස්සේ  එකපිට එක ආ ආණ්ඩු යටතේ,  ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර සාම සාකච්ඡා නොකඩවා පවත්වාගෙන යන්නට නෝර්වේජියානුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් තිදෙනකු යටතේ රජය හා එල්.ටී.ටී.ඊ.ය අතර පැවැති සාකච්ඡාවලදී නෝර්වේජියානු සාම දූත එරික් සෝල්හයිම් මැදිහත්කරුවකු ලෙස කටයුතු කළද, අවසානයේ සාමය තහවුරු කරන්නට ඔහු සහ අනෙක් අය දැරූ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වූයේය.

ඩේලි මිරර් පුවත්පත අන්තර්ජාලය ඔස්සේ සෝල්හයිම් සමඟ පැවැත්වූ අතිවිශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ.ය අතර පැවැති සාකච්ඡා පිළිබඳව මෙන්ම එහිදී අන්තර්ජාතික ප්‍රජාව ඉටුකළ කාර්යභාරය ගැනද තොරතුරු හෙළි කළේය.
එම සම්මුඛ සාකච්ඡාවේ දී අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

ප්‍රශ්නය- සාම දූතයකු ලෙස ශ්‍රී ලංකාව තුළ ඔබ ඉතා තීරණාත්මක හා බැරෑරුම් කාර්ය භාරයක් ඉටුකළා. සාම සාකච්ඡාවේ මැදහත්කරුවකු ලෙස විශේෂයෙන් එම සාකච්ඡාවල පසු භාගයේදී ඔබට මුහුණ දෙන්නට සිදුවූ විවේචන හා චෝදනා සම්බන්ධයෙන් ඔබ තුළ යම් පසුතැවිල්ලක් තිබේද?

මේ බලන්න, මෙය මෑත කාලයේ සිදුවූ බොහෝ සෙයින් ලේ වැගිරුණු ගැටුම්වලින් එකක්. මිනිසුන් දහස් ගණනින් එහිදී මරුමුවට පත්වුණා. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාට තමන්ගේ ආදරණීය හිත මිතුරු ඥාතීන් එහිදී අහිමිවුණා. ඔවුන් දකුණේ ගම්වලින් පැමිණි සොල්දාදුවන් වේවා, උතුරේ දෙමළ පුරවැසියන් වේවා මියගියේ ජනතාවයි. අතුරුදන්වුණේ ජනතාවයි. අපට සාර්ථක වන්නට නොහැකිවීම ගැන මට කනගාටුව දැනෙන්නේ ඒ නිසයි. එහෙත් අප උත්සාහයක යෙදුනා. දෙපැත්තේම අන්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ලවීම ගැන මගේ කනස්සල්ලක් නෑ. සිංහල ජාතිවාදීන් කියා සිටියේ මා පමණට වඩා එල්.ටී.ටී.ඊ යට සමීප බවයි. දෙමළ අන්තවාදීන් කියා සිටියේ එල්.ටී.ටී.ඊ යේ පරාජයට මා පෞද්ගලිකව වගකිව යුතු බවයි. නැතහොත් යුද්ධයේ අවසාන අවධියේදී දෙමළ පුරවැසියන් මරා දැමීම ගැන දොස් නැගිය යුත්තේ නෝර්වේජියානුවන්ට බව ඔවුන් කීවා. සමස්තයක් ලෙස මා සිතන්නේ ඔබ දොස් නැගීමට පටන් ගත යුත්තේ යුදවාදීන්ට මිස සාමය සදාලන්නට උත්සාහ කළවුන්ට නොවේය කියා ය. දෙවියන්ට අපෙන් ඕනෑ වූයේ සාමයයි. බහුතර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ඕනෑ වූයේ සාමයයි.

ප්‍රශ්නය- ඔබ සාම සාකච්ඡා මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ කාලය තුළ, දැඩි විවේචන හේතුකොට ගෙන දැන් මෙය හොඳටම ප්‍රමාණවත් යයි ඔබට සිතුණ අවස්ථා තිබුණේද?
කොහෙත්ම එසේ සිතුණේ නෑ. අප ගණන් ගත්තේ අපව විවේචනය කළ පුද්ගලයින් ගැන නොවෙයි. එය සාමාන්‍ය දෙයක්. සාම ක්‍රියාමාර්ගය පුරාම අප සැළකිළිමත් වූයේ දෙපාර්ශ්වයම අප වෙත තැබූ විශ්වාසය පිළිබඳවයි. සාමය සදාලන්නට අවශ්‍ය වූයේ ඒ අයටයි. ප්‍රභාකරන් ගැන, බාලසිංහම් ගැන හා එල්.ටී.ටී.ඊ නායකයින් ගැන විශ්වාසයක් අපට තිබුණා. එසේම චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ යන රජය පැත්තේ සියලු නායකයින් පිළිබඳව විශ්වාසයක් අපට තිබුණා. ඉතින් ඔවුන් තුළ අප ගැන විශ්වාසයක් පවතින තුරු තැනින් තැන සිටි විවේචකයන් ගැන අප කරදර වුණේ නෑ.

ප්‍රශ්නය- එල්.ටී.ටී.ඊ ය සමග අභ්‍යන්තරව ඔබ පැවැත්වූ සාකච්ඡා පදනම් කොට ගෙන එල්.ටී.ටී.ඊ යට සාමය ඇති කරන්නට සැබෑ වුවමනාවක් තිබුණේ යයි ඔබ සිතුවේද?
සත්තකින්ම දකුණේ යම් වරදවා තේරුම් ගැනීමක් තිබුණා. කරුණාකර එල්.ටී.ටී.ඊ ය බලය අතින් උපරිමව සිටි අවස්ථාවේ සාම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පෙළඹුණු හැටි මතක් කරගන්න. 2000-2001 කාලයේ වෙන කිසිම කාලයකටත් වඩා එල්.ටී.ටී.ඊ ය ශක්තිමත්ව සිටියා. එය අලිමංකඩ යටත් කරගෙන සිටියා. මුළු යාපන අර්ධද්වීපයම යටත් කර ගැනීමට ලංව සිටියා. පකිස්ථානය, ශ්‍රී ලංකා රජයට උපකාර කළ නිසා අවසාන මොහොතේ එය පැරදුණා. ඔවුන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට එල්ල කළ ප්‍රහාරයත් සමග ශ්‍රී ලාංකික ආර්ථිකය විනාශ කර දැමුවා. එම නිසා එල්.ටී.ටී.ඊ සාම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පෙළඹුණේ ශක්තිය අතින් උපරිම අවස්ථාවේ ඉන්නා විටයි. එයින් පෙනී යන්නේ එල්.ටී.ටී.ඊ යට සැබෑ අවශ්‍යතාවක් සාමය උදෙසා පැවති බවයි. කෙසේ වුවද ඔවුන් හැම අතින්ම ෆෙඩරල් විසඳුමකට සූදානම්ව සිටියා දැයි ඔබ අසාවි. මා සිතන්නේ ප්‍රභාකරන් හට සාමය ඕනෑ වුණා. ඔහු සාමය සඳහා සූදානම්ව සිටියා. එහෙත් බොහෝ දේ සම්බන්ධයෙන් එකඟතාවන් ඇතිකරගත යුතුව තිබුණා.

ප්‍රශ්නය- එල්.ටී.ටී.ඊ ය තම හමුදාමය බලය නැවත ශක්තිමත් කර ගැනීමට හා නැවත සමූහගතවීමට සාම ක්‍රියාමාර්ගය උපයෝගී කරගත් බවට චෝදනා තිබුණා. එල්.ටී.ටී.ඊ යට ආයුධ සපයා ගන්නට උපකාර කරමින් ඊට සහයෝගය දුන් බවට නෝර්වේ රාජ්‍යයට ද චෝදනා කරනු ලැබුවා. මෙම කියමන්වල යම් සත්‍යතාවයක් තිබේද?
කිසිම සත්‍යතාවක් නෑ. අප කිසිම පාර්ශ්වයකට තෑගි දීම හෝ කිසිම පාර්ශ්වයකින් තෑගි ගැනීම හෝ කරන්නේ නෑ. එහෙත් මෙයද දකුණේ පැවැති තවත් වරදවා තේරුම් ගැනීමක්. ශ්‍රී ලංකා හමුදා සාම ක්‍රියාමාර්ග පැවැති කාලය තුළ එල්.ටී.ටී.ඊ යට වඩා ශක්තිමත් වුණා. යුද්ධයේ අවසාන අදියරට ආ විට, 2007 සහ 2009 දී මෙය අප හොඳින් දුටුවා. ලෝකයේ සෑම ආණ්ඩුවකම පාහේ සහයෝගය ශ්‍රී ලංකාවට ලැබුණා. ඉන්දියාවෙන් ඇ. එක්සත් ජනපදයෙන්, චීනයෙන් හෝ යුරෝපා බලවතුන්ගෙන් වේවා ඒ හැම දෙනාටම අවශ්‍ය වූයේ සාමයයි. එහෙත් ඔවුන්ට එල්.ටී.ටී.ඊ  හෝ ශ්‍රී ලංකා රජය යන දෙකෙන් එකක් තෝරා ගන්නට සිදුවුණා. ඉතින් ඒ සියලු දෙනා ගත්තේ රජයේ පැත්තයි. ඉතින් තමන් සිටි ස්ථාවරය වඩා ශක්තිමත් කර ගත්තේ ශ්‍රී ලංකා රජය විනා එල්.ටී.ටී.ඊ ය නොවෙයි.

ප්‍රශ්නය- එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා කිරීම හෝ කටයුතු කිරීම අපහසු වූයේද?
මහින්ද බලයට ආවේ 2005 දී. සාම ක්‍රියා මාර්ගය කෙසේ පවත්වා ගන්නේද යන්න ගැන ඔහුට පැහැදිලි සැලසුමක් තිබුණු බව මා සිතන්නේ නෑ. ඔහු අපේ උපදෙස්වලට කන් දුන්නා. එහෙත් සාධාරණ ලෙස කියන්නේ නම් ඔහු අමාරු අඩියකට වැටුණා. මොකද ප්‍රභාකරන් මේ වනවිට ඔහු අසීරුවට පත් කළා. එල්.ටී.ටී.ඊ ය උතුරේ පාරවල් අද්දර බෝම්බ තබා සොල්දාදුවන් මරුමුවට පත්කළා. ඔවුන් බලයේ සිටි කාලය තුළ ප්‍රභාකරන් සහ මහින්ද ජිනීවා හිදී සාකච්ඡා වට දෙකක් පැවැත්වුවා.

ප්‍රභාකරන් සමඟ ඔහු සාකච්ඡා සමුළුවකට මුළුමනින්ම විවෘත බව ඒ කාලයේ මහින්ද මට කීවා. ඒ වනවිට මහින්දට අවශ්‍ය නොවූයේ දිගින් දිගට ඇදි ඇදී යන සාම ක්‍රියා මාර්ගයක්. 2006 පැවැති තත්ත්වය අද අප දකින තත්ත්වයට හාත්පසින් වෙනස්. මා සිතන්නේ සාමය සඳහා තිබූ අවසන් අවස්ථාව අපට මඟහැරී ගියේ ඒ අවස්ථාවේදීයි.

ප්‍රශ්නය- එයින් පෙනී ගියේ ප්‍රභාකරන් සමග සැබෑ සන්නිවේදනයක යෙදෙමින් සාකච්ඡා පැවැත්වීමට මහින්ද රාජපක්ෂ තුළ තිබූ උනන්දුවක්ද? ඔහුගේ ප්‍රතිචාර කෙසේ වීද?
අනිවාර්යයෙන්ම මේ කිසිවක් අප ඒ කාලයේ ප්‍රසිද්ධ කළේ නෑ. එහෙත් දැන් අපට ඒ ගැන විවෘතව කතා කළ හැකියි. සාම ක්‍රියා මාර්ගයට එකිනෙකට වෙනස් ප්‍රවේශයන් දෙකක් තිබුණා. එල්.ටී.ටී.ඊ යට අවශ්‍ය වුණේ පියවරෙන් පියවර යන ප්‍රවේශයක්. එකිනෙකාගේ විශ්වාසය දිනා ගනිමින් දෙපාර්ශ්වයේ ක්‍රියාමාර්ග ගනිමින්, සාමය කරා යා හැකි ගමනක්. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වුණේ ඉක්මණින් ඉදිරියට යමින් සාකච්ඡා නිමාවට පත් කරන ශ්‍රී ලාංකීය තනි රාජ්‍යයක් තුළ ද්‍රවිඩ ජාතීන්ට ස්වයං පාලනය, ස්වයං ආණ්ඩුකරණය, හෝ ස්වයං තීරණ බලය හිමිවන විසඳුමක් දීමටයි. වෙනම රාජ්‍යයක් යන්න න්‍යාය පත්‍රය තුළ තිබුණේම නැහැ. සාම සාකච්ඡාවල ප්‍රතිඵලය එසේ විය හැකිව තිබුණේ නෑ. එකඟතාවට ආ යුතුව තිබුණේ ෆෙඩරල්කරණය වැනි ඒ අතරමැද ඇති විසඳුමක්.

මා සිතන පරිදි ශ්‍රී ලාංකිකයන් ෆෙඩරල්කරණය ගැන මීට වඩා ඉහිල්ව සිතිය යුතුව තිබුණා. ඔබට මුහුදෙන් එහා පැත්ත බැලුවහොත් මෙය වැටහේවි. ෆෙඩරල්කරණය ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දිල්ලි රජයේ මැදිහත්වීමකින් තොරව ප්‍රාන්ත රාජ්‍යයන්ට තමන්ගේ කටයුතු පවත්වාගෙන යා හැකියි. ඒ අතරම එක්සත් ඉන්දියාවේ කොටසක් ලෙස ඉන්නටද ප්‍රාන්ත රාජ්‍යයන්ට පුළුවනි.

ප්‍රශ්නය- ඒ වනවිට ඉන්දියාවට මීට වඩා කාර්ය භාරයක් ඉටුකළ හැකිව තිබුණාද?
මුළු සාම ක්‍රියාමාර්ගය පුරාම ඉන්දියාවේ දැඩි සහයෝගය දුන්නා. සාකච්ඡාමය විසඳුමක් හැර, මෙම ගැටුමට වෙනත් විසඳුමක් නොමැති බව ඉන්දියාව නිතරම කියා සිටියා. 2008 දී ඉන්දියාව තම අදහස වෙනස් කරමින් යුදමය විසඳුමක් තිබිය යුතු බව කියා සිටියා. එහි තේරුම ශ්‍රී ලංකා රජය මෙම යුද්ධයෙන් ජය ගත යුතුය යන්නයි. එහෙත් ඒ අවස්ථාව දක්වා විසඳුමක් ලැබිය යුත්තේ සාකච්ඡා තුළින් බව ඉන්දියාව තදින් විශ්වාස කළා. ඉන්දියාව යුදමය හා අනෙකුත් දේ සම්පාදනය කරමින් ශ්‍රී ලංකා රජයට යුද්ධය අවසන් අදියරේදී සහයෝගය දුන් බව සත්‍යයක්.

ප්‍රශ්නය- සාම සාකච්ඡා මැදිහත්කරුවකු ලෙස නෝර්වේ රාජ්‍යයට කළ හැකිව තිබූ දේ දෙස ආපසු හැරී බැලූ විට, මීට වඩා වෙනස් අයුරකින්, ජීවිත බේරා ගෙන යුද්ධය සාමයෙන් කෙළවර කළ හැකිව තිබූ බව තහවුරු කොට කියා සිටිය හැකිද?
එම කාරණය ගැන කල්පනා කරමින් මා බොහෝ කාලය ගත කළා. මාර්ක් සෝල්ටර්ගේ 'To end a civil war' නම් පොතේ ඒ බව හොඳින් පැහැදිලිකර තිබෙනවා. සාමය සඳහා ප්‍රධාන බාධාවන් දෙකක් තිබූ බව මා විශ්වාස කරනවා.
එකක් නම් කොළඹ (රජය) තිබූ ඒකාබද්ධභාවයේ අඩු කමයි. ඒ කාලය වනවිට ප්‍රධාන පක්ෂ දෙකක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සෑම කාරණයක් සම්බන්ධයෙන්ම ඔවුන් සටන් කළා. යමකට චන්ද්‍රිකා එකඟවන විට රනිල් ගේ සහයෝගයක් නැහැ. රනිල් එකඟ වනවිට එහි අනෙක් පැත්ත. මේ දෙදෙනා අතර ගැටුම නිසා එල්.ටී.ටී.ඊ යට නිසි පරිදි යමක් යෝජනා කිරීම අසීරු වුණා. එසේම එල්.ටී.ටී.ඊ  යටද ෆෙඩරල්කරණය හෝ ලැබෙන යම් විසඳුමක් කෙරේ විශ්වාසය තැබීමට අසීරු වුණා. කොළඹ ප්‍රධාන පක්ෂ දෙකටම එකඟතාවකින් සාකච්ඡා ඉදිරියට ගෙන යන්නට නොහැකි වුණා. කොළඹ ප්‍රධාන පක්ෂ දෙක අතර ගැටලු නිරාකරණය කරගන්නට අපට හැකිවුණේ නෑ. එහෙත් අපට ඉන්දියාව හෝ වෙනත් අය සමඟ සමීපව වැඩ කිරීමේ හැකියාව තිබුණා.

දෙවැනි කාරණය, මෙම ගැටලුවට විසඳුම ෆෙඩරල් කරණය බව ප්‍රභාකරන් හට ඒත්තු ගන්වන්නට අපට නොහැකි වූවා. අපට ප්‍රභාකරන් සමඟ තව බොහෝ දුරට කතා කරන්න ඉඩ දිය යුතුව තිබුණා. නිතරම ප්‍රභාකරන් හමුවූ අය අතුරෙන් ලෝකයේ දෙමළ නොවන එකම තැනැත්තා මා වෙන්නට ඇති. ප්‍රභාකරන් හමුවූයේ විදේශිකයන් ස්වල්ප දෙනකු පමණයි. එම නිසා ලෝකය ගැන ඔහුට දුන්නේ වැරැදි දර්ශනයක්. ඔහු බාහිර ලෝකය තේරුම් ගත්තේ නෑ. විදේශිකයන් වැඩි ගණනකට ඔහු  මුණ ගැසෙන්නට අවස්ථාව සැලසුණේ නම් වඩා පහසුවෙන් ඔහුව එකඟතාවකට කැමැති කරගන්නට ඉඩ තිබුණා. ඔහුටද එම එකඟතාව අවශ්‍යව තිබුණා.
සාමකාමී විසඳුමක් අවශ්‍ය නම් දෙපාර්ශ්වයම එකඟතාවකට ආ යුතුයි.

ප්‍රශ්නය- ඔබ බොහෝ වර මුණ ගැසී ඇති නිසා ප්‍රභාකරන් නමැති පුද්ගලයා ගැන අපට කියනවා. ඔහු ඇත්තටම අවධානය යොමු කළේ සටන් කිරීමට පමණක්ද? නැතහොත් ඔහු ලෝකයේ අනෙක් අය අත් විඳින දේ ගැන උනන්දු වීද?
යුද්ධයේ අවසන් අදියර වනතුරු ඔහු අතිදක්ෂ යුද නායකයකු ලෙස දීර්ඝ කාලයක් සටනේ නියැලුණා.

තමන්ගේම නාවික හා ගුවන් හමුදාවක් පිහිටුවා ගත් රාජ්‍යයක් නොවන ලෝකයේ එකම ආයතනය එල්.ටී.ටී.ඊයයි.
අවාසනාවකට ඔහුගේ දේශපාලන අවබෝධය ඊට වඩා බොහෝ අඩුයි. දකුණ ගැන ඉන්දියාව ගැන සහ බාහිර ලෝකය ගැන ඔහුට තිබුණේ ඉතා අඩු අවබෝධයක්. ඩයස්පෝරාවේ බොහෝ ද්‍රවිඩයින් ඔහුට දුන්නේ වැරදි උපදෙස්. ඔවුන් ඔහුට කීවේ ගැටුමෙන් ගොඩ ඒමට වඩා එකඟතාවට නොපැමිණ දැඩිව ඉන්නා ලෙසයි.

ඔහු සියලු පොරොන්දු හරියටම ඉටුකළා. යුදමය ක්‍රියාමාර්ග නවත්වන්නට ඔහු පොරොන්දු වූ හැම අවස්ථාවකම ඔහු ඒවා නැවැත්වුවා. තමන්ගේ හමුදා සම්පූර්ණයෙන් පාලනයට නතුකොට තබා ගැනීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහු විශ්වාසය තැබූ ඔහුගේ ප්‍රධාන උපදේශකවරයා බාලසිංහම්. ඔහු බාලසිංහම්ට කන්දුන් තාක්ම හැමදේම නිවැරදිව සිදුවුණා. ඔහු බාලසිංහම් කී දේට කන් නුදුන් විට ඔහුට වැරදී ගියා .

පුද්ගලයකු හැටියට ගත් විට ඔහු හොඳ කෝකියෙක්. අප එක්වී හොඳින් ආහාරගෙන තිබෙනවා. එහෙත් ඔහු මුරකරනු ලැබූ පුද්ගලයෙක්. එම නිසා ඔහුට සමීපවීම ලේසි වුණේ නෑ.

ප්‍රශ්නය: වෙනත් බොහෝ දෙනකුට වඩා ඔබ එල්.ටී.ටී.ඊ යේ එවකට සාම සාකච්ඡාකරු වන ඇන්ටන් බාලසිංගම් සිතන ආකාරය දන්නා වග ඔබ මෑතක දී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  කියා සිටියා. එල්.ටී.ටී.ඊ ය දියත් කරන්නට නියමිතව තිබූ ත්‍රස්ත ප්‍රහාර ගැන ඒවා සැබවින් ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු ඔබට කවදා හෝ හෙළිදරව් කර තිබේද?  
කිසිසේත්ම නැත. නිසැක වශයෙන්ම ඊට හේතු වූයේ බාලසිංහම් කිසි විට ත්‍රස්ත ප්‍රහාරයන්ට අදාළ මිලිටරි සැලසුම්වලට මැදිහත් නොවීමයි. බාලසිංහම් ප්‍රභාකරන්ගේ සිවිල් දේශපාලන උපදේශකවරයා ලෙසයි කටයුතු කළේ. දකුණ වටහා ගන්නේ කෙසේද? ගෝලීය කටයුතු කෙසේ අවබෝධ කර ගන්නේද? හා සාමය වෙත කෙසේ ළංවන්නේ ද යන්න ගැන ඔහු කදිම උපදෙස් දුන්නා. සමස්තයක් වශයෙන් අවසානයේ සාම ක්‍රියාමාර්ගයේ සිද්ධාන්තමය හරය වූයේ බාලසිංහම්, සැබැවින්ම ඒවායේ ප්‍රගතිය කරා ඉදිරියට ඇදුනේ ඔහුයි. ප්‍රභාකරන් බාලසිංහම්ට සවන්  දුන්නානම් බොහෝ දේ වෙනස් වන්නට ඉඩ තිබුණා.

එල්.ටී.ටී.ඊය නැගෙනහිරින් පරාජය වන්නට ඉඩ ඇති බව බාලසිංගම් මට කීවා. එල්.ටී.ටී.ඊ උතුරේ පවා පරාජය විය හැකි තත්ත්වයක් උදාවූයේ ප්‍රභාකරන් බාලසිංගම්ගේ උත්සාහයන් ප්‍රතික්ෂේප කළ නිසයි. සාම ක්‍රියාමාර්ග ඉදිරියට යා යුතු බවත් එල්.ටී.ටී.ඊ අලුත් යුදමය ක්‍රමෝපායන්ට අවතීර්ණ නොවිය යුතු බවත් බාලසිංහම් සිතුවා. මෙසේ වූවා නම් හොඳයි කියා හිතෙන අවස්ථා ඉතිහාසය තුළ බොහෝසෙයින් හමුවෙනවා. එල්.ටී.ටී.ඊ ය බාලසිංහම්ගේ උපදෙස් පිළිපැද්දා නම් අද වනවිට ශ්‍රීලාංකීය දෙමළ ජාතිකයින් මීට වඩා හොඳ තැනක ඉන්න බව මට සහතිකයි. ඔවුන්ට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලන අයිතියක සතුට බුක්ති විඳින්නට ඉඩ තිබුණා.

ප්‍රශ්නය: එල්.ටී.ටී.ඊ නායකයින් සමග අවසාන වශයෙන් පැවති ඔබේ සාකච්ඡා කවදා කිනම් තත්ත්වයක් යටතේ පැවතියේද?
අපේ අවසාන සාකච්ඡා පැවතියේ 2009 මැයි 17 වැනිදා. එල්.ටී.ටී.ඊයේ සාම ලේකම්ව සිටි පුලිදේවන් මා සම්බන්ධ කරගෙන  එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට හමුදාවට යටත් වන්නට ඕනෑ නිසා ඒ සඳහා උදව් කරන ලෙස ඉල්ලා සිටියා. යුද බිමේදී උපකාර කරන්නට දැන් ප්‍රමාද වැඩි බව අප ඔහුට කියා සිටියා. එය කිසිවිට කළ හැකි දෙයක් නොවෙයි. එය කළ යුතුව තිබුණේ කලින්. ලොකු සුදු කොඩියක් ඔසවාගෙන ලවුඩ්ස්පීකරයකින් යටත් වන්නට ඔවුන්ගේ තිබෙන අභිප්‍රාය නිවේදනය කරගෙන එන ලෙස අප ඔවුන්ට උපදෙස් දුන්නා. අනතුරුව ඔවුන්ගේ අදහස ගැන ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන බවත් අප කීවා.

ඉන්පසු අප ශ්‍රී ලංකා රජයට එය දැනුම් දුන්නා. ඇතැම් ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාල කිහිපයක්ද ඊට මැදිහත් වුණා. මේ ගැන නිසි පරිදි ශ්‍රී ලංකා රජයට දැනුම් දෙනු ලැබුවා. ඊට පසුදින පුලිදේවන් සහ නඩේසන් (එල්.ටී.ටී.ඊ පොලිස් ඒකකයේ ප්‍රධානියා) මරා දමා ඇති පුවත අපට සැලවුණා. කිනම් නිශ්චිත වාතාවරණයක් තුළ කුමක් සිදුවීද යන්න මා හරි හැටි දන්නේ නැහැ. එහෙත් ඔවුන් ශ්‍රී ලාංකීය හමුදාවෙන් අමු අමුවේ මරා නොදැමුවේය යන්න අදහන්නට අමාරු කාරණයක්. එසේ වූයේ නම් එය යුද අපරාධයක්. මිනිසුන්ට යටත් වන්නට අවශ්‍ය වූයේ නම් ඔවුන්ට යටත් වන්නට ඉඩදී උසාවියට ගෙන යා යුතුයි.

ප්‍රශ්නය: ඔබට ලැබුණු තොරතුරු අනුව යම් හෙයකින් ප්‍රභාකරන් ද යටත්වූ වග දැන ගන්නට ලැබුණාද?
ඒ ගැන තොරතුරු මට ලැබුණේ නෑ. සියලු තොරතුරුවලින් හෙළිවුණේ 2009 මැයි 18 වැනිදා ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය මරා දමා ඇති බවයි.

අප ඔවුන්ට යම් අවස්ථාවක් පිරිනමා තිබීම විශේෂ සිද්ධියක්. ඒ වනවිට තිබුණ ගැටලුව ඒ මගින් විසඳාගත හැකිව තිබුණු බව මා විශ්වාස කරනවා. එම අවස්ථාව පිරිනැමීමේ අපේ යෝජනාවට ඇ. එක්සත් ජනපදයත් ඉන්දියාවත් සහයෝගය දුන්නා. එය ඉතා ප්‍රබල අවස්ථා පිරිනැමීමක්.

ඔහු යුද්ධය පරාජය වෙමින් සිටින බව ප්‍රභාකරන්ට කී අප කිසිම අයුරකින් එය ඔහුට දිනාගත නොහැකි බවත් දන්වා සිටියා. සෑම පුරවැසියකු සහ සෑම කණ්ඩායම් සාමාජිකයකුම ලියාපදිංචි විය යුතුවීම ඒ අනුව මුලින්ම කළ යුතු වුණා. සියලු නම් ගම් ලබාගත් පසු සාමාන්‍ය වැසියන් සෑම දෙනා නැවකින් දකුණට හෝ වෙනත් රටකට රැගෙන යා හැකි බව අප දැන්වූවා. ඔවුන් අපට භාර දුන් පසු කිසිවකුට කිසිම හානියක් නොවන්නට වග බලා ගන්නා බවද අප සහතික කොට කීවා. ප්‍රධාන වශයෙන් ඒ සඳහා අපට ඉන්දියාවේ සහ ඇමරිකාවේ සහයෝගය තිබුණා. අප ඔවුන්ට පිරිනැමූ අවස්ථාව එයයි. එය සාර්ථක වන බවට අපේ දැඩි විශ්වාසයක් තිබුණා. එහෙත් 2009 අප්‍රේල් මාසයේ එම සැලසුම ප්‍රභාකරන් ප්‍රතික්ෂේප කළා. අවසානයේ කිසිම ප්‍රධාන එල්.ටී.ටී.ඊ නායකයකු නොමැරී බේරුණේ නෑ. සාමාන්‍ය වැසියන් දහස් ගණනින් මියගියා.

ප්‍රශ්නය: අද වනවිට යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගෙනමින් පවතිනවා. එල්.ටී.ටී.ඊ  ය ඇත්තෙන්ම දෙකෙන් එකකට හෝ අකමැති වූ නිසා ඊට හොඳම විසඳුම හමුදාමය ක්‍රියාමාර්ගය වූයේ යැයි ඔබ සිතනවාද?
සියල්ලන්ටම පෙර අප  සාමය උදාවීම ගෞරවයෙන් සැමරිය යුතුයි. ජනතාවට තම ජීවිත ඒ මගින් නැවත ගොඩනගාගත හැකි වෙනවා. එහෙත් හමුදාමය විසඳුම නිවැරදි විසඳුම වූ බව මා සිතන්නේ නෑ. මේ සඳහා විසඳුමක් සොයාගත හැකිව තිබූ බව මා සිතනවා. ශ්‍රී ලංකාව භේද භින්න වූ ප්‍රධාන දේශපාලන ගැටලුව තවම විසඳී නොමැති බවත් අප මතක් කර ගත යුතුයි. ශ්‍රී ලාංකීය රාජ්‍යය තුළ තමන් දෙවැනි පන්තියේ පුරවැසියන් යයි දෙමළ ජනතාව සිතා සිටිනවා. මෙය සිංහලයන්ට තේරුම් ගැනීමට නිතරම අසීරුයි.

එහෙත් අවම වශයෙන් දැන් සාමය පවතිනවා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණු විය යුතුයි. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අතිශය ධනාත්මක දේ ශ්‍රී ලංකාව සතුයි. සදාචාර සම්පන්න ජීවිතයකට හොඳ සුන්දර ස්ථානයක්.

රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුවේ අතිවිශාල බහුතරයකින් ජයග්‍රහණය කර තිබෙනවා. දැන් ද්‍රවිඩ ජනතාව වෙත ළංවී දිගුකල් පවතින එකඟතාවක් ඇතිකර ගැනීමේ වාරය ඔවුන්ට උදාවී තිබෙනවා.

(***)

 2020 සැප්. 02 Daily Mirror පුවත්පතේ පළවූ
ඊශ්වරන් රත්නම් කළ සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනයකි.

 



අදහස් (6)

විහින්ම වළ කපාගත් ප්‍රභාකරන්

Kumar (gulf) Friday, 04 September 2020 09:58 AM

ලංකාව කන්න හදපු හොරු තමයි...

:       0       163

Bamunuarachchi Friday, 04 September 2020 01:25 PM

සෝල්හයිම් අපි සාමය අවශ්‍යනම් යුද්දෙට සැරසෙනු කියන කියමන ඉගෙන ගත්තේ ඉස්කෝලේ යන කාලේ අන්තිමට ඒ කියමන හරි බව ඔප්පු වුණා.

:       0       80

RaveendraSaturday, 05 September 2020 06:07 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මේ කියන සෝල් ගේ රට ලෝකයේ කිනම් හෝ රටක ගැටලුවකට උදව් කරේ නම් එම රට නන්නත්තාරවී යන එන මං නැතිවී විනාශ මුඛයට පත්වී හමාරයි.. එ් බැව් අන්තර්ජාලය සැරිසරා නොවෙජියානුවන්ගේ ක්‍රියාකලාපයන්, හැසිරීම් රටාවන් පිළිබඳව සොයා බැලීමේදී මනාලෙස තේරුම් ගත හැක..

:       0       78

Bamunuarachchi Saturday, 05 September 2020 04:51 PM

මිනීමරුවන් පාර්ලිමේන්තු එන්න හදන බව දැක්කාම ඔබේ වටිනාකම මට දැන් පේනවා.

:       0       5

Dharshana Sunday, 06 September 2020 08:38 AM

මේ ඔක්කොම කොටි හිතවාදීන්... ඒ හින්දා මේවා නැතිව රටත්, ජාතියත් රැකගන්න උදව් කරන්න.

:       0       3

Dalit Sunday, 06 September 2020 11:00 AM

සෝල්හයිම් යනු නෝර්වේජියානු සමාජවාදියෙකි. බටහිර සමාජවාදීන් බාෙහෝමයක් මෙහෙය වන්නේ ඉන්දියාවෙනි. වෙළඳාම් සහ යුද කටයුතුවලදී සමීප සබඳකම් පැවැත්වූ රටවල් 2ක් ලෙස ඉන්දියාව සහ නෝර්වේ හැඳින්විය හැක. ඔබ බලාපොරොත්තු වන්නේ තව කුමක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 57 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1344 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 626 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4605 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12958 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site