IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයිබටද?

අප කුඩා සන්ධියේ මහත් ලාලසාවකින් කියැවූ අපූරු මතකයක් ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ සමස්තය දකින විට නිතැතින්ම සිහිපත් වීම නොවැළැක්විය හැකිය. එනම් නැව අබලන් වීම නිසා දූපතකට සේන්දු වූ යෝධයා වූ ගලිවර් සහ කුඩාම මිනිසුන් සමූහයක් වූ ලිලී පුට්ටන්ගේ කතාවය.

ලිලී පුට්ටන් නිදා සිටි යෝධයා අසීරුවෙන් නැගිටුවා ගත්තේ ඉණිමගට නැග කෑම බීම ලබා දීමෙන්ය. රාජ්‍ය සේවය නැමති මහා යෝධයා ද මේ වන විටත් හතරගාතයෙන් ඇද වැටී බොහෝ කල් වන අතර එය නැගිටුවීම හිතන තරම් සරල කරුණක් නොවන බව නම් සිකුරුය. වත්මන් ජනාධිපතිවරයා ද දැනට දශකයකට පෙර ප්‍රසිද්ධ නාලිකාවක පැවසුවේ රජයේ ආයතනයකින් යමක් කර ගැනීමට නම් එහි දන්නා අඳුනන කිසිවකු සිටීද යන්න සොයා බැලීම ජනතාවගේ සාමාන්‍ය සිරිත බවය. එපමණකින්ම රාජ්‍ය සේවය ජනතාවගේ සතුරකු බවට පත්වී ඇත. රාජ්‍ය සේවයට යොමු කරන ජනතාවගේ ඉල්ලීම් බර්මියුඩා ත්‍රිකෝණයට යැවීම හා සමානය. නව රජයට ඉදිරියේ දී දහසකුත් එකක් අභියෝගවලට මුහණ දීමට සිදුවී ඇති තත්වයක් යටතේ රාජ්‍ය සේවය කාර්යක්‍ෂම නොකර ඒ ගැන සිතීම පවා හාස්‍යජනකය. එනිසා සියල්ලටම පෙර රාජ්‍ය සේවය නැමති යෝධයා වගවිය හැකි කාර්යක්‍ෂම අයකු බවට පත් කිරීම ලහි ලහියේ කළ යුතුව ඇත.

රාජ්‍ය සේවයේ ප්‍රකාශිත අකාර්යක්‍ෂමතාව පිළිබඳ සලකා බැලීමේ දී විවිධ පර්යාය ඔස්සේ විග්‍රහ කළ හැකිය. සේවාලාභියාට කාර්යක්‍ෂම සාධාරණ සේවයක් නොලැබීම, වංචා, දූෂණ, අල්ලස්, වරප්‍රසාද, ඥාති සංග්‍රහ, දේපළ අවභාවිතය, වර්ජන යනාදී දහසකුත් එකක් රෝගවලින් සමස්ත රාජ්‍ය සේවයම බරපතළ ලෙස රෝගාතුර වීම දැකිය හැකිය. සාමාන්‍ය ජනතාව පමණක් නොව රජයේම සේවකයෝ ද වෙනත් රාජ්‍ය ආයතනයකින් සේවයක් ලබා ගැනීමේදී දන්නා හඳුනන අයකු නොමැතිව කිසිවක් කරගත නොහැකි බව දනිති. 60 දශකයේ දී පමණ අප කුඩා සන්ධියේ නිතරම ඇසුණ වචනයක් වූයේ නිලධාරීවාදයයි. එනම් එදා රාජ්‍ය සේවය තනිකරම පැවතියේ නිලධාරීන්ගේ අණසක යටතේය. එහිදී ද සිදු වූයේ ඔවුන්ට අවශ්‍ය දේ පමණි. ඒවා ජනතාවට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් භාර ගැනීමට සිදුවිය. මේ තත්වයෙන් දිගින් දිගටම ජනතාව අසරණවීම නිසා රාජ්‍ය සේවය නිලධාරීන්ගෙන් බේරා ගැනීම සඳහා පසුව දේශපාලනඥයන්ගේ සරණ පැතීමට සිදුවිය. ඉන් පසුව මේ දේශපාලනඥයන්ගේ මැදිහත්වීම කොතරම්ද යත් ජනතාවට පසු කාලයේ දී වැටහී ගියේ එය ඉඟුරු දී මිරිස් ගැනීමකට සමාන බවය. මේ වන විට මෙහි භයානකම නව හයිබ්‍රිඩ් උප ප්‍රභේදය වී ඇත්තේ දේශපාලකයා හා නිලධාරියා එකතු වී ජනතාව පීඩාවට පත් කිරීමය. දශක හත හමාරකට පසුව අද ජනතාව බලවත් ලෙස ආර්ථික වශයෙන් රෝගාතුර වී සිටින්නේ එම හයිබ්‍රිඩ් උප ප්‍රභේදයේ ආනිසංසය පල දීම නිසාය. මෙම ප්‍රභේදයේ ආර්ථික රෝගවලට ප්‍රතිකාර තිබුණ ද සුදුසු වෛද්‍යවරුන් පෙනෙන තෙක් මානයකවත් නොමැත.

යහපත් රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා දැනට දශක දෙක තුනකට පෙර හඳුන්වා දී ඇති සංයුක්ත සැලැස්ම (Corparate Plan) ඉතාම හොඳ ක්‍රමවේදයකි. සේවාලාභියාට ප්‍රශස්ත සේවාවක් ලබාදීම සඳහා ආයතනයක් තුළ කටයුතු කළ යුතු ආකාරය එහි දැක්වෙයි. එය මූලික වශයෙන් දැක්ම (Vision) මෙහෙවර (Mission) යනුවෙන් ආරම්භ වී අරමුණු (objectives) ඒ අරමුණුවලට ගමන් කරන ක්‍රියාකාරී සැලැස්ම ඒ ඒ කාලවල දී සපුරා ගත යුතු ඉලක්ක ඒ සඳහා අධීක්ෂණය කරන නිලධාරීන්, වගකිව යුත්තන්, පසු විපරම් යනාදිය අඩංගු වූ වැඩපිළිවෙළකි. මෙම සැලැස්ම නිසි පරිදි ආයතනයක ක්‍රියාත්මක වේ නම් ආයතනයේ සේවාව උපරිම මට්ටමට ඉබේම පැමිණෙන අතර සේවාලාභියාට උපරිම සේවයක් ලැබෙනු නොඅනුමානය. අද වන විට මෙම සැලසුම් නැති කාර්යාලයක්, අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්, ශාඛාවක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම තරම් අසීරු කරුණකි. ඇතැම් විට ප්‍රධාන පාරටම පෙනෙන සේ එසේත් නැතිනම් සේවාලාභියාට පමණක් පෙනෙන සේ පොල්ගෙඩි අකුරින් මෙම විෂන් මිෂන්, විශාල වියදමක් දරා ප්‍රදර්ශනය කර ඇති බව පෙනේ.

ආයතනවල කාර්යක්ෂමතාව දෙස බැලූවිට ජනතාවට නම් හැඟී යන්නේ එම සංයුක්ත සැලැස්ම ද ජනතාවටම ක්‍රියාත්මක කිරීමට භාර දී ඇති බවය. හේතුව කාර්යක්ෂමතාව කෙසේ වෙතත් අඩුම තරමින් ආයතනවල ඉහළ සිට පහළට සැලැස්ම පිළිබඳව කිසිවකු දන්නා බවක් නම් ජනතාවට පෙනී නොයන හෙයිනි. මෙම සැලසුම් එක්කෝ විශාල වියදමක් දරා ඒ පිළිබඳ ප්‍රගුණ කළ අය මගින් සකස් කර ගැනෙයි. එවිට වියදම මිලියන ගණන්වලිනි. එසේත් නැතිනම් තම ආයතනවලම මාස ගණනක් තිස්සේ විශේෂ සැසිවාර සාකච්ඡා රැස්වීම් මගින් ද සකස් කර ගැනෙයි. ඒ සඳහා ද විශාල වියදමක් දැරීමට සිදු වේ. හේතුව එම රැස්වීම් පවත්වනු ලබන්නේ ධර්ම ශාලාවල, බණ මඩුවල නොව තරු පන්තියේ හෝටල්වල බැවිනි. නිවැරැදි ක්‍රමය නම් සැලසුම ආයතනවල ඉහළ සිට පහළ දක්වා දැනුවත් කර එකිනෙකාගේ කාර්යභාරය බෙදා වෙන් කිරීමයි. කලින් කල ප්‍රගතිය අධීක්‍ෂණය කර සැලසුම් නිශ්චිත කාලසීමාව තුළ අරමුණු ඉටුවී සේවාලාභියාට උපරිමය ඉටු වී ඇත්දැයි සොයා බැලීමය. මේ නිසා ආයතනයේ අරමුණු ක්‍රියාකාරී සැලසුම් දැක්ම මෙහෙවර ගැන ඉතා හොඳ වැටහීමක් සියලුම සේවකයන්ට තිබිය යුතුය.

කළ යුතුව ඇත්තේ සමස්ත රටේම සංවර්ධනයේ උපරිමයට යා හැකි මූලික සංයුක්ත සැලැස්මක් සකස් කිරීමය. තෝරාගත් කාලසීමාවක් සඳහා රට සංවර්ධනය කළ යුත්තේ කෘෂිකාර්මිකව ද? කාර්මිකවද?, තාක්ෂණිකවද? එසේ නැත්නම් මේවායේ සම්මිශ්‍රණයෙන් ද? කවර ප්‍රමාණවල සම්මිශ්‍රණයක්ද? යන්නට බරපතළ සාකච්ඡාවක් අවශ්‍ය වේ. ඒ සඳහා විශේෂඥ මට්ටමේ සහය අවශ්‍යය. ඉන්පසු එම අරමුණු ඉටුකර ගැනීමටම පමණක් එල්ල කරන ලද අත්‍යාවශ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ආයතන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුව ඇත. පසුව ඒ ඒ අමාත්‍යංශවල අරමුණුවලට එල්ල කරන ලද සංයුක්ත සැලසුම් අනෙකුත් ආයතනවලට ලබා දිය යුතුය. එවිට ගම් මට්ටමේ ආයතනයේ, ශාඛාවේ, සැලසුම් සාර්ථක වේ. එයින් දෙපාර්තමේන්තුව හරහා අමාත්‍යාංශයේ අරමුණු ඉටු වේ. අමාත්‍යාංශයේ අරමුණු ඉටුවීම යනු රජයේ අපේක්‍ෂිත අරමුණු ඉටුවීමකි. එනම් රටේ සංවර්ධනය හා ජනතා සේවය උපරිම කරගත හැකි වේ. එමෙන්ම කොවිඩ් වැනි හදිසි අනපේක්‍ෂිත තත්වයක දී මෙම සැලසුම් අඩපණ විය හැකිය. එවැනි විටකදී භාවිතයට ගැනීමට වෙනත් විකල්ප වැඩපිළිවෙළක් ද අවශ්‍යය. කොවිඩ් කාලසීමාවේ දී බොහෝ රටවල් ඉතාම කෙටි කාලයකින් නැවතත් යථා තත්වයට පත් වූයේ මෙම විකල්ප වැඩසටහන් තිබූ බැවිනි. අප බංකොලොත් රටක් බවට පත්වීමට සිදු වූයේ විකල්ප වැඩසටහනක් තබා නිශ්චිත වැඩසටහනක්වත් නොතිබූ බැවින්ය.

එබැවින් නිශ්චිත සංයුක්ත සැලසුම් ඇත්නම් නිලධාරීන් කවුරු වුවද සැලැස්මට අනුව කටයුතු කිරීමට සිදුවේ. මෙය දේශපාලකයාට ද එක සේ පොදුය. එවිට දේශපාලකයන්ට කලින් කල මතුවෙන සිහිනවලට බිලියන ගණන් වැය කිරීමට සිදු නොවනු ඇත. එසේ සැලසුම් නොමැතිව ඉබාගාතේ කටයුතු කිරීම නිසාය අද රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවට ජන මතයක් නිර්මාණය වී ඇත්තේ. රජ්‍ය සේවයේ අති බහුතරයක් කොතරම් සහතිකධාරීන් වුවද බොහෝ දෙනකු නිර්මාණශීලී බවක් නැත.

එක් එක් ආයතනවලට අයත් ව්‍යුහය ද විකාරරූපීය. ඇතැම් තැනක කම්කරුවකු ලබන වැටුප වරප්‍රසාද මහාචාර්යවරයකුට වඩා වැඩිය. ඇතැම් ආයතන බලවත් වී වැටුප් වරප්‍රසාද හිතුමතේ වැඩි කර එහි ආදායම් බදු පවා රජයෙන්ම ගෙවා දැමීමට තරම් සාහසික වී ඇත. විවිධ දූෂණ හේතු කොටගෙන දශක ගණනාවක් තිස්සේ පාඩු ලබමින් ජනතාවට බර දෙමින් වැටුප් වැඩිකර අන්තිමට බෝනස් ද ලබාගන්නා රටකය අප ජීවත් වන්නේ. මේ තත්වය අනුව ජනතාවට මතුවන ගැටලුවක් වී ඇත්තේ මෙවැනි ආයතන පාලනය කරන්නේ කන්නන්ගර නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ ලාංකිකයන් ද නැතහොත් සෝමාලියාවේ මුහුදු මංකොල්ලකාරයන් පිරිසක් ද යන්නය. එතරම්ම ජනතාවට වහකදුරු වී ඇත. මෙවැනි ආයතන ව්‍යුහය වෙනස් කිරීමට රජය සූදානම් වූ විට ඊට එරෙහිව කොතෙකුත් වර්ජන තර්ජන තිබුණද ජනතාවට වගේ වගක් නැත්තේ එබැවිනි. අපගේ ප්‍රතිපත්ති සම්පාදකයන් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට අඩුම තරමින් විධායක මට්ටමේ සියලුම නිලධාරීන්ටවත් සුදු ජාතික දිසාපතිවරයකු වූ ලෙනාඩ් වුල්ෆ්ගේ දිවයිනේ සත් වසක් සහ වුල්ෆ්ගේ දිනපොත යන පොත් දෙක අනිවාර්ය කරන්නේ නම් රාජ්‍ය සේවයේ අති බහුතරයකට රාජ්‍ය සේවය යනු කුමක්දැයි වටහා ගැනීමට හැකිවනු ඇත.

ප්‍රස්තුත කාරණයට යළි පැමිණියහොත් පෙන්ෂන් හෙවත් විශ්‍රාම කලබගෑනිය උත්කර්ෂයට පත්කර ඇත්තේ මෙවැනි නිලධාරීන් නොමැති වුවහොත් හෙට දින රටම කඩා වැටෙන බවක් පෙන්වමිනි. එමෙන්ම රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවට ජනතා මතයක් නිර්මාණය වී ඇත්තේද මේ නිලධාරීන් සිටිද්දීමය. එම නිසා අමුතුවෙන් කඩා වැටීමට තරම් රාජ්‍ය සේවයක් තවත් ඉතිරි වී නොමැත. අනෙක් අතට විශ්‍රාම යාම් පුරප්පාඩු ඇත්නම් ඒවාට කලට වේලාවට බඳවාගෙන නැත්නම් එය ද නිලධාරීන්ගේ අඩුපාඩුවකි. එම නිලධාරීන් ඒ සඳහා වගකිව යුතුය. එහෙත් ලෝකයේම වගවීමක් නැති රාජ්‍ය සේවාවක් ඇත්තේ අපේ රටේ පමණකි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් නම් එදා මෙදා තෙක් තම ජීවිතය දෙවනුවට තබා සේවා රාජ්‍ය සේවය, සේවාලාභියා, ආයතනය, වෙනුවෙන් ඇප කැප කළ නිලධාරීන්ද නැතුවම නොවේ. ඔවුහු වරප්‍රසාද, සමාජ තත්වයන් ආදියට යට නොවුණ අතර සේවාලාභියා සහ ආයතනයේ ප්‍රගතියට කාලය ශ්‍රමය කැප කළ අය වෙති. මේ අය බොහෝ විට භෞතිකව දුප්පතුන් වුවත් මානසිකව පොහොසත්තු වෙති. මෙපමණකින් හෝ රාජ්‍ය සේවය එල්ලී ඇත්තේ ඔවුනට පින් සිදු වන්නටය. එබැවින් ඔවුනට ජාතියේම ගෞරවය හිමිවිය යුතුව ඇත. ඔවුන් තවත් කල්පයක් හෝ රාජ්‍ය සේවයේ තබාගත්ත ද එහි කිසිදු ගැටලුවක් නොමැත. අවාසනාවකට මෙවැනි රාජ්‍ය සේවකයන් හඳුනා ගැනීමට තරම් ප්‍රධානීන් ද නොමැත. ඔවුන් බහුතරයකට ද කොහෙත්ම විෂන් මිෂන් නැතිවීම ඊට හේතුවයි.

එම නිසා විනයගරුක, නිර්මාණශීලී ආකල්ප ඇති, දූෂණයෙන් තොර සේවාලාභියාගේ උපරිම සේවාවට ඇප කැප වන නිලධාරීන් කොන්දේසි විරහිතව තබා ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැත. එහෙත් සැලසුම් මුල්ලකට වීසිකර දමා රාජ්‍ය සේවය අකාර්යක්ෂම කරමින් ජනතා සේවය තුට්ටුවකට මායිම් නොකර තනතුරුවලින් මත් වෙමින් රාජ්‍ය සේවයට මුවාවී සාක්කු පුරවා ගනිමින් ජනතාව පීඩාවට පත් කරන දූෂිත නිලධාරීන් විශ්‍රාම වයස එනතුරු බලා නොසිට ප්‍රගතිය සමාලෝචනය කර විශ්‍රාම යැවීමට ක්‍රමයක් ඇත්නම් එය ජනතාවට කරන සේවයක් වනු ඇත. පසුගිය කාලයේ උත්කර්ෂයට පැමිණි අරගලය දේශපාලන විරෝධයකට ලඝු වුවද ඒ පසුපස ඇත්තේ මේ අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් මුසු වූ රාජ්‍ය සේවය පිළිබඳ විරෝධයක්ද වේ. එම නිසා විෂන් මිෂන් නොමැති අකාර්යක්ෂම සේවකයන්ට පෙන්ෂන් මිසක් වෙනත් විකල්පයක් මුළු තුන් ලෝකෙම නැත.

 

(*** සාකච්ඡා සටහන ගාමිණී කන්දේපොළ)



අදහස් (1)

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයිබටද?

kapila jayavilal herath Wednesday, 06 November 2024 03:46 PM

හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 105 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 155 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 41 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 927 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1083 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 135 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site