විදුලිය අර්බුදය, දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කෙරෙන මාතෘකාවකි. මෙම ලිපිය ඊට හේතු හා ඒ පිළිබඳ වෙනත් තොරතුරු ගැන බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයකි.
අගෝස්තු 18 වැනිදා පැය අටක් රටම අඳුරේ තිබීමට හේතුවූ විදුලි අධිකාරිවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් ඇති වූ අත්වැරැද්දක් බව දැන් රටට අනාවරණය වී තිබේ. එහෙත් එතැනින් එහාට පද්ධතිය ක්‍රියාත්මක නොවුණේ දැයිද යන්න පැහැදිලි කරන වාර්තාවක් තවමත් ප්‍රසිද්ධ වී නැත. මගේ අවබෝධයේ හැටියට මේ එළිදැක තිබෙන්නේ අන්තර් කාලීන වාර්තාවකි. සම්පූර්ණ වාර්තාව තවත් මාස දෙකකින් පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මගේ අවබෝධයේ හා දැනුමේ හැටියට මෙය පර් යේෂණ කණ්ඩායමකට සතියකින් කළහැකි විශ්ලේෂණයක් නොවේ. මා එසේ කියන්නේ අත්දැකීමෙනි. 2009 දී ද මෙවැනි තත්ත්වයක් ඇතිවිය. එදා මුළු රටම පැය නවයහමාරක් අඳුරේ තිබිණි. ඒ ගැන පර් යේෂණය කළ කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ මා ය. එදා අපට අපේ අවසාන වාර්තාව දීමට මාස හතරක් පමණ ගතවිය. ලංකාවේ විදුලිය පද්ධතිය ඉතා විශාල ය. ඒ නිසා මෙහෙයුම් ක්‍රියාදාමයේ දී ඒ ඒ ස්ථානවල විදුලියේ ගුණාංග නැතහොත් වෝල්ටීයතාව, සංඛ්‍යාතය, ධාරාව වෙනස් වූයේ කොයි ආකාරයට ද කියා පද්ධතියේ ප්‍රධාන උපපොළවල වාර්තා තිබේ. නියම පර් යේෂණයකට ඒ වාර්තා සියල්ල අධ්‍යයනය කළ යුතුය.
ඊට අමතරව මේ මුළු සිද්ධිදාමයටම එනම් විදුලිය නැතිවීම සහ ඒ ඒ බලාගාරවල ඇති වූ ප්‍රශ්න සේම නැවත විදුලිය සම්බන්ධ කිරීමේදී ඇති වූ ප්‍රශ්නවලට මුහුණ දුන් අයුරු ගැන සම්මුඛ සාකච්ඡා කළ යුතුය. ඒ සඳහා විශාල කාලයක් ගතවෙයි. ඒ නිසා 2020 අගෝස්තු 18 වැනිදා ඇති වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව දැනට දී තිබෙන්නේ අන්තර්කාලීන වාර්තාවක් බව මගේ වැටහීමයි. ප්‍රධාන වාර්තාව තව සති කීපයකින් හෝ මාස දෙක තුනකින් ලැබෙනු ඇතැයි මම අපේක්ෂා කරමි.
කවුරු කෙසේ කුමක් කීවත් විදුලිය බිඳවැටීම සාධාරණීකරණය කළ නොහැකිය. විදුලිය බිඳවැටීම් සිදුවන්නේ ලංකාවේ පමණද? නැත. දියුණුය කියන රටවලත්, නොදියුණුය කියන රටවලත් විදුලිය බිඳ වැටී තිබේ. එහෙත් ලංකාවේ අපට මතක තිබෙන කාලයේ 2020 අගෝස්තු 18 වැනිදා විදුලිය බිඳ වැටුණේ පස්වැනි වරටය. 2009 දීත් 2015 දීත් 2017 දී අවස්ථා දෙකකදීත් මීට පෙර විදුලිය බිඳ වැටී තිබේ. 2009 පෙරද විදුලිය බිඳ වැටී තිබේ. අපි ඒවා ගණනය නොකර සිටිමු. අනෙකුත් රටවලට වඩා අපේ රටේ විදුලිය බිඳවැටීම වැඩි ය. ඇමෙරිකාවේ මෑතභාගයේ විදුලිය බිඳ වැටුණේ 2003 අගෝස්තු 14 වැනිදාය. නිව් යෝර්ක් නුවර සිට ඊට උතුරු කොටසේ එනම් කැනඩාව දක්වාම විදුලිය බිඳ වැටීමේදී මිලියන 30 කට පමණ විදුලිය නැතිවිය. ඒ අවස්ථාවේ පාරිභෝගිකයාට නැවත විදුලිය ලබාදීමට දින දෙකක් ගතවිය.
එංගලන්තයේ 1987 අගෝස්තු 28 වැනිදා පද්ධතියේ වැඩි ප්‍රමාණයක විදුලිය නැතිවිය. එහෙත් එය පැය භාගයකින් යථා තත්ත්වයට පත් කෙරිණි. ලෝකයේ දෙවැනි විශාලතම ජල විදුලි බලාගාරය තිබෙන්නේ බ්‍රසීලයේය. එය ඉටයිපු නමින් හැඳින්වෙයි. 2009 නොවැම්බර් මාසයේදී ඒ බලාගාරයේ කටයුතු නතරවීම නිසා මිලියන 140 කට විදුලිය නැතිවිය. දැන් අපි ළඟ තිබෙන ඉන්දියාවට හැරෙමු. 2012 ජුලි 30 වැනි දා වූ විදුලිය බිඳවැටීමකින් ඉන්දියාවේ මිලියන 600 කට විදුලිය නැතිවිය. එය ආසන්න වශයෙන් ඉන්දියාවේ ජනගහනයෙන් භාගයකි. අවසාන පාරිභෝගිකයාට විදුලිය ලබාදීමට ගත වූ කාලය දවස් 10 කි. එයට හේතු වූයේ පද්ධතියට සිදු වූ බරපතළ හානියයි.
2020 අගෝස්තු 18 වැනිදා අපේ රටේ එසේ සිදු නොවිණි. එදා අපේ ආරක්ෂණ පද්ධතිය ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක විය. එසේ නොවී කෙරවලපිටිය බලාගාරයේ විදුලි කම්බි උණු වී වැක්කෙරුණා නම්, එසේම ඊට සම්බන්ධ කොටුගොඩ බලාගාරයත් උණු වී දිය වී ගියේ නම්, නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක නොවී බොයිලේරුව පුපුරා ගියේ නම් ඒ බලාගාර යළි පණ ගන්වන්න අවුරුදු ගණන් ගතවෙයි. අපේ රටේ එසේ නොවුණේ අඩු පාඩු මැද වුවද ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වීම නිසාය. මෙරට ආසන්නතම සිද්ධියේදී සිද්ධිය වූ තැන හැර වෙනත් කිසිම තැනක අලුත්වැඩියාවක් සිදු වූයේ නැත.
1987 අගෝස්තු 28වැනිදා එංගලන්තයේ වූ විදුලිය බිඳවැටීම පැය භාගයකින් යථා තත්ත්වයට පත් වුවත් 2003 දී එරට සිදු වූ විදුලිය බිඳ වැටීමේ ප්‍රතිඵල ඉතා බරපතළ ය. එදා රෑ වෙනතුරු එය යථා තත්ත්වයට පත් නොවිණි. එරට ක්‍රියාත්මක වන්නේ විදුලි දුම්රිය නිසා රාජකාරි සඳහා නගරවලට පැමිණි ජනතාවට නිවාසවලට යාමට නොහැකිව ඔවුහු මහ පාරේ නිදාගත්හ. බංග්ලාදේශය තවත් උදාහරණයකි.
2014 නොවැම්බර් 01 වැනිදා එරට ජනතාවගෙන් මිලියන 100 කට විදුලිය නැතිවිය. එදා එරට පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමටද පැය 10 ක් ගත වී තිබේ. එලෙස උදාහරණ දිය හැකි රටවල් ලැයිස්තුව ඉතා දිග ය. එහෙත් එසේ කියා අපේ රටේ විදුලිය බිඳවැටීම් සාමාන්‍යකරණය කිරීමට හෝ සාධාරණීකරණය කිරීමට නොහැකිය. අපේ රටේ විදුලිය බිඳ වැටෙන වාර ගණන වැඩිය.
විශේෂයකට තිබෙන කාරණය වන්නේ අපේ රටේ සියල්ල සැඟවීමය. කිසිම කාරණයක් ප්‍රසිද්ධ කරන්නේ නැත. එහෙත් ලොව බොහෝ රටවල් මේවා සඟවන්නේ නැත. සියල්ල ප්‍රසිද්ධ කරන්නේය. 2003 දී ඇමෙරිකාවේ වූ සිද්ධියට අදාළ වාර්තාව අන්තර්ජාලයට ගොස් මේ දැන්ද බැලිය හැකිය. ඒ වාර්තාවේ කොහේවත් එදා එරට විදුලිය බිඳ වැටුණේ අහවල් නිලධාරියාගේ වරදින්ය කියා වැරැද්ද පුද්ගලයකු හෝ පිරිසක් මත පටවන්නේ නැත. ඔවුන් සඳහන් කරන්නේ තාක්ෂණික කරුණු ගැනය. බිඳ වැටීමට හේතු වූ තාක්ෂණික කරුණු ගැන ඔවුහු කතා කරති. ලංකාවේද විය යුත්තේ එසේය. සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශන හා පරීක්ෂණ අවසානයේ කළ යුත්තේ වැරැද්ද පුද්ගලයකුට හෝ කණ්ඩායමකට පැවරීම නොව පාඩම් ඉගෙන ගැනීමය. වැරැදි නිවැරැදි කර ගැනීමය.
උදාහරණයකට ජපානයේ ෆුකුසිමා න්‍යෂ්ටික බලාගාරය ගනිමු. එය පුපුරා විනාශ විය. ඒ වෙලාවේ මා සිතුවේද ජපානය න්‍යෂ්ටික බලාගාර වසාදමා විදුලිය නිෂ්පාදනය වෙනත් පැත්තකට හැරේවි කියාය. එදා එරට න්‍යෂ්ටික බලාගාර සියල්ල වසා දැමූ බව සත්‍යයකි. ඔවුහු ඒ ගැන පර් යේෂණ කර ආරක්ෂණ පද්ධති වඩාත් දියුණු කර අදටත් න්‍යෂ්ටික බලාගාර පවත්වාගෙන යති. වසා දැම්මේ පිපිරුණු බලාගාරය පමණකි. ඔවුහු එය තම අවබෝධය හා අධ්‍යාපනය වැඩි දියුණු කර ගැනීමට භාවිත කළහ. ඉදිරියට යාමට හා දියුණුවීමට නම් අපට ද ඒවා අත්දැකීම් කරගත හැකි ය. එහෙත් නොවන්නේ ද එය ම ය.
2009 වූ විදුලිය බිඳවැටීම ගැන පර් යේෂණ කමිටුවේ සභාපති ලෙස මා කටයුතු කළ බව මුලදී සඳහන් කළෙමි. ඒ කමිටුවේ සිටි සාමාජිකයෝ ඉල්ලීම් හතරක් කළහ. පළමු ඉල්ලීම වූයේ ඒ කටයුතු වෙනුවෙන් තමන්ට මුදල් නොගෙවන ලෙසයි. අප වැඩ කළේ නොමිලේය. මා ඇතුළු අප දන්නා මහාචාර්යවරුන් රජයට කරදෙන සියල්ල කරන්නේ නොමිලේය. දෙවැනි ඉල්ලීම වූයේ අපේ වාර්තාව රටවැසි සියල්ලන්ගේ දැන ගැනීම් සඳහා ප්‍රසිද්ධ කළයුතු බවය. අපට ලැබෙන පළමු අස්වැසිල්ල, සැනසිල්ල එය බව එදා අපි කීවෙමු. අපේ තෙවැනි ඉල්ලීම වූයේ ඒ වාර්තාව සම්බන්ධයෙන් විද්වත් කතිකාවක් පැවැත් විය යුතු බවය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා විදුලිබල මණ්ඩල වැනි ආයතන එක්ව ඒ වාර්තාවේ තිබෙන නිර්දේශ සාකච්ඡා කළ යුතු බව අපි කීවෙමු. අපේ හතරවැනි ඉල්ලීම වූයේ අප කළ නිර්දේශ ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න දැනගන්නට කැමැති බව ය.
එහෙත් අපේ පළමු ඉල්ලීම හැර අනෙක් ඉල්ලීම් තුනම ඉටුකළේ නැත. ලංකාව හා ඇමෙරිකාව අතර තිබෙන වෙනස ඒක ය. ඇමෙරිකාවේ 2003 වාර්තාව අදටත් අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. එහෙත් ලංකාවේ 2009 වාර්තාව අදටත් පෙට්ටගමේ ය. වෙන හැම සිද්ධියක්ම භාවිත කළ යුත්තේ අවබෝධය හා අධ්‍යාපනය වැඩි දියුණු කරගැනීමට ය. ‘‘වාර්තා ප්‍රසිද්ධ කළොත් මිනිස්සු එක එක ප්‍රශ්න අහයි. ඒ හින්දා මේවා හංගාගමු’’ කියන ස්ථාවරයෙන්ම දිගටම කටයුතු සිදුවන්නේ නම් මේ විදුලිය බිඳ වැටීම් යළි යළිත් නිතර නිතර සිදුවිය හැකිය. විදුලි පද්ධතියේ අයිතිය ආණ්ඩුවට හෝ විදුලි බල මණ්ඩලයට නැත. එය අයිති රටේ මහ ජනතාවටය. ඒ නිසා ඒ මහජනයා අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට ආණ්ඩුවලට සේම විදුලිබල මණ්ඩලයටද හැකිවිය යුතු ය. ඇමෙරිකාවේ විදුලි පද්ධතිය සියයට සියයක් අයිති පෞද්ගලික අංශයට ය. එරට විදුලිය නිෂ්පාදනය කරන්නේත් සම්ප්‍රේෂණය කරන්නේත් බෙදා හරින්නේත් පෞද්ගලික අංශයෙනි. එහෙත් එරටට තදබල නියාමන පද්ධතියක් තිබේ. බිඳවැටීම් ගැන කරන අධ්‍යයන මෙහෙයවන්නේ ඒ නියාමන ආයතනයයි.
විදුලිය නිෂ්පාදනයටත් සම්ප්‍රේෂණයටත් බෙදාහැරීමටත් බලපත්‍ර ලබාගෙන තිබෙන්නේ ඔබ ය. ඔබ ඒ වගකීම නිසි ලෙස ඉටු නොකළේ ඇයි දැයි නිදහසට කරුණු කියන්නැයි ඇමෙරිකාවේ නියාමන ආයතනය තදින් ක්‍රියාත්මක වෙයි. එරට නියාමන ආයතනයට අධිකරණයක බලය පවතී. අපේ රටේද නියාමන ආයතනයක් තිබේ. එයට සාපේක්ෂ බලයක්ද තිබේ. එහෙත් තිබෙන ඒ බලය ද ක්‍රියාත්මක නොවේ.
ඒවායේ සිටින අය ගැනද වැඩි පැහැදීමක් නැත. කොමසාරිස්වරු ඔහේ සිටිති. ගැමි වහරට අනුව නම් ඔවුන් ඉන්නේ ඉන්නවාට ඉන්නා පිළිවෙතේය. එහෙත් ඇමෙරිකාවේ හා යුරෝපයේ හැම රටකමත් තිබෙන්නේ ලංකාවේ වැනි නියාමන ආයතන නොවේ. එසේම ලංකාවේ වැනි පුද්ගලයන්ද නොවේ. ඒ රටවල මිනිස්සු තමන් භාරගත් වගකීම් නිසිලෙස ඉටුකරති. වගකීම ඉටු නොකළොත් ලැබෙන ඵල විපාක ගැනත් ඔවුහු හොඳින් දනිති. අපේ රටෙත් මහජන උපයෝගිතා කොමිසම නමින් නියාමන ආයතනයක් තිබේ. එහෙත් එහි සිටින පුද්ගලයන්ගේ කටයුතු පවතින්නේ නොමේරු තත්ත්වයකය. ළදරු මට්ටමක ය. එහි කටයුතු සිදු වන්නේ ද්වේෂයෙනි. විදුලිබල මණ්ඩලයේ හා ලංකා විදුලි සමාගම සම්බන්ධයෙන් නියාමන ආයතනයේ සිටින පුද්ගලයන් කටයුතු කරන්නේ ද්වේෂයෙනි. තමන් ස්වාධීන සහ සාධාරණ බව ඔවුන් පෙන්නුම් කළ යුතු ම ය. ප්‍රදර්ශනය කළ යුතු ම ය. විදුලි පරිභෝගිකයා ද විදුලි පද්ධතියේ හවුල්කාරයෙකි. හවුල්කාර සියල්ලන්ට සම තත්ත්වයකින් සැලකීම නියාමන කොමිසමේ වගකීම විය යුතු ම ය. එසේම විදුලිබල මණ්ඩලයත් නියාමන ක්‍රියාවලියට අවතීර්ණය විය යුතු ය. නියාමන කොමිසමට වඩා මණ්ඩලය අවුරුදු 50 ක් පරණය කීම අතාර්කික කතාවකි. මණ්ඩලය ද නියාමන ක්‍රියාවලියට අනුගත විය යුතුමය.
ලංකාවේ තිබෙන අනෙක් කාරණය දිගුකාලීන බලාගාර සැලැස්ම ක්‍රියාත්මක නොවීම ය. ඒ සැලැස්ම ක්‍රියාත්මක වූයේ නම් සාම්පූර් ගල් අඟුරු බලාගාරය අද වන විට ක්‍රියාත්මක ය. කෙරවලපිටියේ ද්‍රව ඉන්ධන (L.N.G) බලාගාරය ද ක්‍රියාත්මක ය. එහෙත් ඒ බලාගාර දෙකම අදටත් නැත. ඒ බලාගාර ක්‍රියාත්මකවීම අත්හිටවූවෝ දේශපාලකයෝ ය. ඒ සාමාන්‍ය මැති ඇමැතිවරුන් නොව රටේ ජනාධිපති ය. සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට දින දෙකකට පෙර ඒ බලාගාරයේ ඉදිකිරීම් අත්හිටවූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ය. එවැනි විශාල බලාගාරයක් හදිසියේ හැදිය නොහැකි ය. අවම වශයෙන් අවුරුදු අටක් ගතවෙයි. අවුරුදු හතරකට ආසන්න කාලයක් තිස්සේ අඛණ්ඩව ගලාගිය ක්‍රියාදාමය ජනාධිපතිගේ තනි තීරණයකින් අහෝසිකර දැමීම නිසා රටට සිදු වූ හානිය සුවිශාල ය. විනාශ වූ මුදල් ප්‍රමාණය ද විශාල ය. මා මේ සඳහන් කළේ එක් උදාහරණයක් පමණකි. ඉන් පෙර ද එවැනි උදාහරණ තිබෙන අතර අනාගතයේ දී අපට එවැනි උදාහරණ ලැබෙන්නට ඉඩකඩ තිබෙන බව විශ්වාස ය. අප ඒ විශ්වාසයේ සිටින්නේ අතීත අත්දැකීම් හා උදාහරණ මත ය.
දිගුකාලීන සැලැස්මක විවිධ බලාගාර තිබේ. ජල, සුළං, හිරුඑළිය, ද්‍රව ඉන්ධන, ගල් අඟුරු වැනි විවිධ බලාගාර ගැන ඒ සැලැස්මේ අන්තර්ගත ය. ඒ කොයි බලාගාරයක් හෝ ඉදිකිරීමට තීරණය දුන් පසු ඒ තීරණය වෙනස් නොකළ යුතු ය. අවුරුදු 20 කට අධික කාලයක් ලංකාවේ බලශක්ති අර්බුදයක් තිබෙන්නේ දිගුකාලීන සැලැස්ම නිසිලෙස ක්‍රියාත්මක නොකළ නිසා ය. හදිසි අවශ්‍යතාවක දී ක්‍රියාවට නැගීමට අවශ්‍ය බලාගාර අද ලංකාවේ නැත. ඊට හේතුව ඉදිකිරීමට සැලසුම් කළ බලාගාර සියල්ල අහෝසි කිරීම ය. ඒ නිසා විදුලිය නිෂ්පාදනය පැත්තෙන් ලංකාව යන්නේ රිම් එකේ මිස ටයරයේ නොවේ. ඒ තත්ත්වය උදාවූයේ 2017 න් පසුව ය.
අද පද්ධතියේ ක්‍රියාත්මක බලාගාරවලින් සියයට 30 ක් ම තෙල් බලාගාර ය. ඒවා තිබුණේ විශ්‍රාමගන්වා ය. ඒවායේ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 22 ද ඉක්මවා තිබේ. එහෙත් පාරිභෝගිකයාගෙන් අය කරන්නේ රුපියල් 17 ට අඩු ගණනකි. ඉතින් මේ ව්‍යාපාරයෙන් ලාබ ලබන්නේ කෙසේද? පවතින අර්බුදවලට පිළියම් යොදන්නේ කෙසේද? විදුලිය කියන්නේ දිගුකාලීන සැලසුම් මත එක එල්ලේ කළයුතු දෙයක් මිස මොහොතින් මොහොත තීරණ වෙනස් කරමින් කළ හැකි දෙයක් නොවන බව පාලකයන් අවබෝධ කරගන්නා තුරු මේ ප්‍රශ්න පවතිනු නිසැක ය.
(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්රී ලංකාව රිම් එකේ යන රටක්
jaya Thursday, 03 September 2020 11:33 AM
අනේ මහත්තයෝ, 1kW පැනල් එක ගානේ ගෙවල් මිලියනයක ගැහුවොත් ඔය ප්‍රශ්නේ ඉවරයි නේද? ඒකට යන්නේ බිලියන 100යි. ඒකත් අවුරුදු 20 වගේ ණයක් විදිහට මිනිස්සුන්ට දුන්නොත් රජයට කීයක්වත් යන්නේ නැහැ.
wikumFriday, 04 September 2020 03:18 AM
පුළුවන්, නමුත් ඔබ සිතන ආකාරයට හරි නැත!
jayaFriday, 04 September 2020 06:27 AM
විකුම් මම කෙටියෙන් කිව්වේ. අඩුපාඩු තිබෙනවා වෙන්න පුළුවන්.
Wikum Friday, 04 September 2020 03:15 AM
ඔහුගේ පැහැදිලි කිරීම මගින් ඔහුගේ ප්‍රතිභානය ඉතා බලවත් වන අතර එය ඉතා නිවැරදිව ආමන්ත්‍රණය කර ඇති අතර වගකිවයුතු ආයතනවල සැබෑ ලක්‍ෂණ හඳුනාගෙන ඇත. රටට සේවය කිරීමට සුදානම් වන මෙම සැබෑ බුද්ධිමතුන්ගෙන් පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකාව කෙතරම් අවාසනාවන්තද?
chandima Sunday, 06 September 2020 01:56 PM
විදුලි බල මණ්ඩලේට ලාබ වැඩි කරගන්න නම් වැඩි වැඩියෙන් විදුලිය නිපදවන්න වෙනවා. ඒකට වැඩි වැඩියෙන් බලාගාර හදන්න වෙනවා. ඒකට වැඩි වැඩියෙන් මුදල් ඕන වෙනවා.