මෙම සිද්ධිය පුරාණ පුස්කොළවල සටහන්ව ඇත්තේ මෙසේය. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් තුන්සිය දෙසැට වැන්නෙහි සන්දනංගම සිද්ධාර්ථ උන්නාන්සේ වන මා විසින් ඉංගලන්තේ පරදේශක්කාරයෝ කන්දේ නුවර වටලා යුද්ධ කර රාජසිංහ රජ්ජුරුවෝ අල්ලා ගත්තා කියා පුවක්ගොල්ලේ දහතැන් ගෙදර මොහොට්ටාලගේ අතේ ගුරුන්නාන්සේගේ බාල සහෝදරයාගෙන් (අනෝමදස්සි) ආරංචි උනාය.
රජ්ජුරුවෝ අපේ විහාරයට සමීප පාරෙන් කොලොම්තොටට ගෙනියනවා බලන්ඩ අපේ ගුරුන් වහන්සේ ද මා ද අපේ ගුරුන්නාන්සේගේ බාල සහෝදරයා වන මැණික්රාල මෙහොට්ටාල ද ශ්‍රී වික්රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මාතෘ බිසෝ සාමි වූ සිරියම්මාල් දේවින් වහන්සේගේ හිසේ රුජාවට වෙදකම් කොට වෛද්‍යරත්න යන නාමය පටබැඳගත් පුංචිරාල මොහොට්ටාල ද මැණික්රාල මොහොට්ටාලගේ පහිනිපත් කාරයා වන නවගන්තර රාල ද (කාරියසේකර) කිරියා කියන කින්නර දුරයාද ගියාය.
රජතුමා, බිසෝවරුන් ඇතුළු රාජකීයයන් ගමන් ගෙන ඇත්තේ දෝලාවලිනි. මොහොට්ටාලාගේ ගෙදර ආරක්ෂාවට සඟවා තැබූ රජතුමා සතුවූ කවිච්චි රන් රිදී වාරාගන් කස්ථාන ආදී වටිනා බඩු වර්ග ද ඉංග‍්‍රීසින් විසින් පැහැරගත් බව දහනැක්ගෙදර මොහොට්ටාල කීවේය. රජ්ජුරුවෝ දෝලාව නවත්වා එහි සිටි පිරිස සමග කථා කර ඇත. රජ්ජුරුවන්ගෙ මවුබිසවුන් දෙන්නාත් කුඩා බිසවුන් දෙන්නාත් ගමන් කළ දෝලා කීපයක්ම ඒ අතර වී නමුත් කිසිවෙකු ජෝන් ඩොයිලි එම පිරිස අතර සිටි බවක් දැක නැත.
රජතුමාට දෝලාවෙන් පිටතට බැසගන්ට බැරිවන අයුරු ඉංග‍්‍රීසි සොල්දාදුවෝ එක් පසෙක ද අනික් පසින් ඉංග‍්‍රීසින් කුළියට ගත් සිංහල හේවායෝද මුරකරමින් ගමන් කර ඇත. රජතුමා අත් දෙකද පය ද එළියට දැමු පසු මැණික්රාල මොහොට්ටාල හා පුංචිරාල මොහොට්ටාල ද රජතුමාගේ අත පය සිඹ ඇඬුවා පමණක් නොව ‘‘දෙයියෝ අපෙන් වරදක් වුනානම් සමාවෙන්ට හොඳයි’’ කියා ඇත. මෙහිදී රජතුමා පැවසූ වදන් වලින් සිංහලයම කම්පාවනු නොඅනුමානය.
‘‘අයියේ උඹේ වැඩිමහල් සහෝදරයා පුවක්ගොල්ලේ දහනැක්ගෙදර කළිඟුරාළ සට්ටබිරාළ මට විශ්වාසවන්තකම් පා සිට පිළිමතලව්වෙන්, රත්වත්තෙත් එක්ක එකතුව මට ඌරුපා කඩවතදී හදිකළ නිසාවට හිස ගසා දැම්මාය. උඹලා මට එක්නැලිගොඩ වගේ හදි කළේ නැත. උඹලා යහතින් ජීවත් වෙයල්ලා. මම ආපසු එන්නේ නැත. මින් පස්සේ සිංහලේ රජකෙනෙක් නැත.’’
රජතුමාට සහෝදරයෙකුට මෙන් විශ්වාසවන්තව සිටි කීප දෙනෙකුගේ නම් මෙහිදී සිහිපත් කර ඔවුන් දිවිහිමියෙන් අමතක නොකරන බව කීවේය. ඔවුන් නම්, ගනන්ගොමුවේ මොහොට්ටාල, මොරගනේ මොහොට්ටාලය. එමෙන්ම රජතුමාට විරුද්ධව ඉංග‍්‍රීසින්ට උපකාර කළ රජතුමා නෑදෑයින්ට මෙන් සැලකූ පිිරිසගේ නම්ද රජතුමා මේ අවස්ථාවෙහි දී සිහිපත් කළේය. ඔවුන් වූයේ කවුඩුමුන්නේ මොහොට්ටාල, කන්දෙගෙදර මොහොට්ටාල, හුරුග්ගමුවේ, යක්කාවිට, උඩුමුල්ලේ, හංවැල්ලේ, මූනමලේ, මිරිහාන්පිටියේ, පතඟිවත්තේ හා කලූන්දෑවේ ගම්වල සිටි සමහරුන්ය. රජතුමා දෝලාවෙන් පිටත්වීමට පෙර එතැන රැුස්වී සිටි පිරිසට වැඳ ආචාර කොට අනෝමදස්සි හිමියන් ලියා දුන් ධම්ම පදය එතුමා ළඟ තිබී මොණරවිලට දුන් බවත් උන්වහන්සේගේ අකුරු මුතු ඇට මෙන් ලස්සන බවද කීවේය. මෙම ධම්ම පදය ද කැප්පෙටිපොල හිස ගසා දමන අවස්ථාවේ බදුල්ලේ දිසාපති සෝවස්ට දුන්නේ?
එසේම රජතුමා උන්වහන්සේට තෑගි දුන් පන්හිඳ රජතුමාගෙන් සිහිවටනයක් ලෙස තබාගන්නා මෙන්ද ඉල්ලීමක් කළේය. මෙම අවස්ථාව වී ඇත්තේ පිරිස කොළඹ බලා ගමන් ගත් මාර්ගයේ පිහිටි නූතන දඹදෙණියේදීය.
රජතුමා ඇතුළු පිරිස නොපෙනී යන තෙක්ම රැුස්ව සිටි පිරිස මහත් ආවේගයෙන් බලා සිට ඇත. මැණික්රාළ මොහොට්ටාල බිම පෙරලි පෙරලී හයියෙන් ඇඬුවේ ‘‘සිංහලේ දෙයියෝ නැති වුනා x අපට රජෙක් නැති වුණා, අපි නැති වුණා’’ යැයි විලාප නගමිනි.
මේ අතර පුංචිරාළ වෙදරාළ හැසිරුණේ වෙනත් ආකාරයකටය. ඔහු මැණික්රාළ මොහොට්ටාලටත් බැණ වදිමින්, ‘‘අපිට වින කරපු, දරුවන් කොටවපු වඩිගයා නැතිවුණා’’ යැයි කියමින් එම ස්ථානයෙන් පිටව ගියේය. අවුරුදු දෙදහස් පන්සිය ගණනකට වඩා අපට හිමිව තිබූ රාජ්‍යත්වයේ අවසානය මෙසේ සනිටුහන් කරමි.
1815 පෙබරවාරි 18 ඉරුදින ඉංග‍්‍රීසින් විසින් අල්ලාගනු ලදුව රජතුමා 1816 ජනවාරි 24 දින කොන්වෝලිස් නොෟකාවෙන් වෙල්ලෝරයට ගෙනයන ලදී. 1832 ජනවාරි 30 දින වෙල්ලෝරයේදී මිය යන විට රජතුමාට අවුරුදු පනස් දෙකක් වූ අතර රජු උස අඩි හයයි අඟල් දෙකක්ව කාලවර්ණ සිත්ගන්නාසුලූ දේහයකින් යුත් මදුරාසියේ සිටි නායර් නම් නායක්කාර වංශිකයෙකි. රජතුමා මියගොස් ඇත්තේ බඬේ අජීර්ණයකිනි.
(පන්නල සුමේධ නාහිමියන්ගේ මීවැව විත්ති පොත හා වෙනත් ලේඛන ආශ‍්‍රයෙනි.)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී වික්රම රාජසිංහ රට පටවා අවුරුදු එකසිය අනුනවයයි
ප්‍රදීප් Saturday, 01 March 2014 05:13 PM
මෙවැනි දෑ අප වෙත තිලිණ කරන ඔබ තුමන්ලාට දීර්ගයුස පතන අතරේ තව තවත් මෙවන් ලිපි අප වෙත දායාද කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (දිල්)
රන්බංඩා Saturday, 01 March 2014 07:26 PM
මෙයාව මම නං සිංහලේ රජා හැටියට පිළිගන්නේ නැහැ.(නදී)
ගුණවර්ධන Thursday, 27 February 2014 07:21 PM
එක හුස්මට කියවන්න බලන්න හිතෙන කතා මේවා හරිම වැදගත් . ලංකාදීප කර්තෘ මණ්ඩලයට ස්තුතියි .ඉතිහාසය පිළිබඳ තවත් කතා අපිට දෙන්න ඔබලාට ජය.(අ)
පුෂ්ප කොතලාවල Friday, 28 February 2014 02:39 PM
සිංහලයේ අපි නොදත් අර්ථවත් කතා කියනවට ලංකාදීපයට තුති පුදනවා (අ)
රංගන Thursday, 27 February 2014 10:22 PM
වෙල්ලෝරය තියෙන්නේ කොහෙද ? (නදී)
අනුරාධ Wednesday, 05 March 2014 07:51 AM
අපේ නොදැක්ක අපේ ඉතිහාසය අපිට කියා දුන්නට ස්තුතියි.(නදී)
අතපත්තු Wednesday, 05 March 2014 09:20 AM
මාධ්‍ය සතු කාර්ය මැනවින් ඉටු කරන ලංකාදීපයට ස්තුතිය.(නදී)
ධම්ම Tuesday, 04 March 2014 11:41 AM
මෙතුමා රාජ්‍යත්වය බලයෙන් පැහැරගත් අයෙක් නොවෙයි. එවකට තිබුන ක්‍රමවේදය අනුව එතැනට පත්වූ කෙනෙක්. රාජ්‍ය නායකයාට එරෙහිවන සියලු බාහිර බලවේගවලට අප ද එරෙහි විය යුතුයි. (අ)