IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


සංචාරක ව්‍යාපාරයට ‘කොකු’දාන්නෝ

සංචාරක කර්මාන්තය යළි හිස ඔසවන්නට තතනයි. ඒ කොරෝනා වසංගතය විසින් ඇතිකරනු ලැබ තිබෙන උවදුරු රාශියක් මැදය. මෙම ලිපිය සංචාරක කර්මාන්තයට කොරෝනාවට පරිබාහිරව පැන නැග තිබෙන උවදුරු ගැන සාකච්ඡා කෙරෙන්නකි. ඒ පිළිබඳව රටට කරුණු කියන්නේ පුරා අවුරුදු 40ක් තිස්සේ ලංකාවට සංචාරකයන් ගෙන්වන්නු ලෙස කටයුතු කරන නිල්මින් නානායක්කාර මහතාය. සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු ද වන ඒ මහතා එන්-කාර් ට්‍රැවල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වෙයි. මේ ඒ මහතාගේ හඬයි.

අපේ සංචාරක කර්මාන්තයට අවුරුදු ගණනක් තිස්සේ පවතින අපලයක් තිබේ. 1960 සිට 65 දක්වා පැවැති සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් මෙය පටන් ගත්තේ ඉතා සුන්දර කර්මාන්තයක් ලෙසිනි. සංචාරක මණ්ඩලය හා හෝටල් සංස්ථාව පිහිටුවා බෙන්තොට, බේරුවල හා පොළොන්නරුවේ හෝටල් සංකීර්ණ ගොඩ නගා මෙම කර්මාන්තය ආරම්භ කළේ විධිමත් ගමනක් යාමටය. ඉන්පසුව ආනන්ද තිස්ස ද අල්විස් මහතා සංචාරක අමාත්‍යවරයාව සිටි යුගයේ දී සේම සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතා අමාත්‍යවරයාව සිටි යුගයේදී ද ඒ ගමන ගියේ හොඳ මාවතකය.

මෙම කර්මාන්තයට “හෙණ ගැහුවේ” 1983 දී ජාතිවාදී කලබල ඇතිවීමත් සමගය. 1983 සිට 2009 වන තුරුම කර්මාන්තයේ නියුතු අපි නැති භංගවීමට නොදී මේ කර්මාන්තය කරගෙන ආවෙමු. ඒ යුගයේ එනම් 1983 සිට 2009 වන තෙක්ම රජයේ නිලධාරින් හා බලධාරීන් කර්මාන්තයට ඇඟිලි නොගසා පහසුකම් සැලසූහ. රටේ තිබුණේ මකර යුද්ධයකි. ගුවන් තොටුපොළට, මහ බැංකුවට බෝම්බ ගැසු අතර රටේ අගනුවර වන කොළඹ සේම බස් හා මගී දුම්රියවල ද නිතර බෝම්බ පිපිරිණි. දළදා, මාලිගාවට සේම සිරිමා බෝධියට ද ත්‍රස්තයෝ ප්‍රහාර එල්ල කළහ.

මායිම් ගම්මානවලට පැන අසරණ ගැමියන් තොග පිටින් ඝාතනය කළහ. උතුරු නැගෙනහිර ත්‍රස්තවාදියෝත් දකුණේ කැරලිකරුවෝත් රජය සමග යුද්ධ කළහ. එකල පැවැතියේ මකර යුද්ධයක් බව මා සඳහන් කළේ එහෙයිනි.

ඒ යුගයේ සිටි බලධාරිහු අපේ ගමන ශක්තිමත් කිරීමට උදව් කළා විනා මේ ගමනට බාධා වන, කර්මාන්තයට වින කරන කිසිවක් නොකළහ. කර්මාන්තයේ නියුතු අපිම ප්‍රවර්ධන කටයුතු කර ගනිමින් කර්මාන්තය කරගෙන ආවෙමු. 1983 සිට 2009 වනවිට දිනෙන් දින ඉදිරියට ගියා විනා කර්මාන්තය නැතිවුණේ හෝ වැනසුණේ නැත.

බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ සිට 2009 වන තුරුම රජයේ නිලධාරිහු හා බලධාරිහු සංචාරක කර්මාන්තයට ඇඟිලි නොගැසූහ. කර්මාන්තය රැකගත්තේ ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන් හා හෝටල් හිමියන්ම විසිනි. මකර යුද්ධ මැද ප්‍රවර්ධනය කරමින් කර්මාන්තය රැකගත් වීරයෝ ඔවුහුය. එහෙත් බොහෝ දෙනාට දැන් එය මතක නැත. එකල මෙය මහා පරිමාණ ව්‍යාපාරයක් නොවේ. ඒ නිසා බලධාරීන්ගේ අතපෙවීම් සිදුවූයේ නැත. ඒ කාලේ බලධාරීන් කළේ අනුමත කිරීම් හා සහතික කිරීම්, විදේශ වෙළෙඳ ප්‍රදර්ශන සඳහා යාමට උදව් කිරීම්, විදේශ මාධ්‍යවේදීන් ලංකාවට ගෙන්වා ඔවුන් ලවා අපේ රට ගැන ලිවීමට උදව් කිරීම් වැනි කටයුතු පමණකි.

ත්‍රස්තවාදීන් සමග පැවැති යුද්ධය නිමැවුයේ 2009දීය. සංචාරක කර්මාන්තයට හිරු පෑයුවේ ඉන් අනතුරුවය. කර්මාන්තයේ නියුතු අපේ වාසනාවට ශක්තිමත් ඇමැතිවරයකු ද අපට ලැබිණි. එකල අපේ කර්මාන්තය පැවැතියේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේය. අමාත්‍යවරයා වූයේ බැසිල් රාජපක්ෂ මහතාය. කර්මාන්තයේ යහපතට ගතයුතු හොඳ තීන්දු තීරණ දවසෙන් දෙකෙන් ගත් ඒ ඇමැතිවරයා වැඩ කළේ යම් දර්ශනයක් මතය. ඒ අමාත්‍යවරයා නිලධාරීන්ට කියා සිටියේ නිලධාරීන් කර්මාන්තකරුවන්ට උදව් කළ යුතුවා මිස ඇඟිලි නොගැසිය යුතු බවය. ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩියෙන්ම ප්‍රවර්ධනය වූයේ ඒ යුගයේය. එනම් 2009  සිට 2014 කාලයේදීය. 2015 ජනවාරියේ දී ආණ්ඩු වෙනස් විය. 2015 සිට 2019 අවසානය දක්වා යුගයේ සංචාරක කර්මාන්තයට අත් වූ සුගතියක් නැත. එසේ වූයේ එවකට සිටි බලධාරීන් තෝරාගත් ඉහළ පැලැන්තියේ පිරිසකට මේ කර්මාන්තය භාරදීම නිසාය. සංචාරක පනතින් ප්‍රවර්ධනයට බලය තිබුණේ අධ්‍යක්ෂ මණ්ඩලයටය. එහෙත් බලධාරීන් මා ඉහත කී පිරිස පත් කළේ ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉහළිනි. ඒ කමිටුව කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා කිසිවක් කළේ නැත. මා මේවා දකින්නේ කර්මාන්තකරුවකු ලෙස විනා දේශපාලන පක්ෂ පාට මත නොවේ. මට අවශ්‍ය කර්මාන්තය රැක ගැනීමට මිස දේශපාලනය කිරීමට නොවේ. මට දේශපාලනයක් නැත. මට අවශ්‍ය අවුරුදු 40ක් තිස්සේ මා නිරත කර්මාන්තය රැක ගැනීමටය. ලංකාදීපය සමග අද මේ කතා කරන්නේද ඒ අරමුණෙන්මය.

සංචාරක කර්මාන්තයට අපලයක් තිබෙන බව මා කියන්නේ අවුරුදු 40ක් තිස්සේ ලද අත්දැකීම් හා උගත් පාඩම් මතය. ප්‍රබල හා ප්‍රමුඛම අපලය දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ ඇඟිලිගැසීම්ය. අත පෙවීම්ය.
සංචාරක කර්මාන්තයට පාත් වු අනෙක් හෙණ ගෙඩිය 2019 අප්‍රේල් 21 වැනිදා එනම් පාස්කු ඉරිදා දවසේ එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවයි. ඒ ප්‍රහාර එල්ල වුණේ ආරක්ෂාව පැත්තෙන් රට ඉතා හොඳ තත්ත්වයක පැවැතියදීය. 2019 අප්‍රේල් මාසයේ සිට දෙසැම්බර් වන තෙක්ම සංචාරක කර්මාන්තය පැවැතියේ යළිත් හෙණ වැදුණු තත්ත්වයකය. ඒ කාලයේ රජයෙන් කළ හොඳ වැඩක් වන්නේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු අංශවලට අඩු පොලියකට ණය දීමය. ඒ ණය දුන්නේ වැටී සිටි අර්බුදයෙන් ගොඩ ඒමටය. එය එවකට පැවැති රජයෙන් ඒ වෙලාවේ කළ ඉතා හොඳ කටයුත්තකි. ඒ ණය පහසුකම මට ද ලැබිණි. ඒ ණය වැටුණු වළෙන් ගොඩ ඒමට අතදීමකි. 2019 නොවැම්බර් මාසයේ දී යළිත් ආණ්ඩු මාරුවිය. 2020 මාර්තුවේ දී රට වසා දැමීමට රජයට සිදුවූයේ කොරෝනා වසංගතය පැතිරීමත් සමගය. මේ වසංගතය සංචාරක කර්මාන්තයට පාත් වූ තවත් හෙණයකි. ඇද වැටුණු කර්මාන්තය පවත්වාගෙන යාමට නොව ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමට අවශ්‍ය වැටුප්, බදු, කුලී හා බිල් ගෙවීමට ණය දීමට වත්මන් රජයටද සිදුවිය. අඩු පොලියකට මෙසේ ණයදීමට සිදුවීම රජයට සේම බැංකුවලට ද ප්‍රශ්න සහගතය. එහෙත් වැටුණු කර්මාන්තය පවත්වාගෙන යාමට එසේ නොකර ද බැරිය.

ජනවාරි 21 වැනිදා ගුවන් තොටුපොළවල් ඇරීම රජය  ගත් හොඳ තීරණයකි. අද අපේ රටම මුහුණ දී සිටින්නේ විදේශ විනිමය අර්බුදයකටය. රජය ද ඊට ගොදුරු වී සිටියි. ඒ නිසා විදේශ විනිමය ඉපයීමට නම් ගුවන් තොටුපොළවල් ඇරීම ද අත්‍යවශ්‍යය. හැමදාම රට වසාගෙන ආර්ථිකය දියුණු කළ නොහැකිය. ආර්ථිකය දියුණු කිරීමටත් රට පවත්වාගෙන යාමටත් රජයටත් මුදල් අවශ්‍යය. ව්‍යාපාරික ස්ථාන හා ගුවන් තොටුපොළවල් වසාගෙන මුදල් හම්බ කළ නොහැකිය. විදේශ රැකියා කළ අයගෙන් හා ඇඟලුම් අපනයනයෙන් ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය දැන් බරපතළ ලෙස අඩුවී තිබේ. රටේ ණය හා ණය පොලිය ගෙවීමටත් රටට අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමටත් විදේශ විනිමය අත්‍යවශ්‍යය. ගුවන් තොටුපොළවල් වහගෙන විදේශ විනිමය ඉපයිය නොහැකිය. තායිලන්තය, ඩුබායි, මාලදිවයින, කෙන්යා, ඊජිප්තුව, ටැන්සානියා හා සැන්සිබා වැනි රටවල් ද ගුවන් තොටුපොළවල් විවෘත කර සංචාරක කර්මාන්තයට රට විවර කර තිබේ. මේ වනවිට ලෝකයේ රටවල් 130ක් පමණ සංචාරක කර්මාන්තයට සිය රටවල් විවෘත කර තිබේ. ඒ සෑම රටක්ම එසේ කරන්නේ තමන්ගේ ආර්ථිකය රැක ගැනීමටය.

ගුවන් තොටුපොළවල් විවෘත කර සංචාරක කර්මාන්තයට රට යළි අරින්නේ ඇයි දැයි ජනතාව දැනුවත් කිරීම සංචාරක මණ්ඩලයේ වගකීමකි. සංචාරකයන්ට රට විවෘත කළාට එය සිදුවන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මතය. එන සංචාරකයන් සාමාන්‍ය ජනතාව සමග ගැටෙන්නේ නැත. රටට පැමිණෙන සංචාරකයන් පළමු දින 14 ඇතුළත සංචාරය කළ යුත්තේ සීමාකම්වලට යටත්වය. සාමාන්‍ය ජනතාව සමග ගැටීම තහනම්ය. අනතුරුව කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු ඔවුන් කොරෝනා වාහකයන් නොවන බව තහවුරු වුවහොත් ඔවුනට නිදහසේ සංචාරය කළ හැකිය. ඒ සංචාරකයන් සමග කටයුතු කරන, යන එන දේශීය නියෝජිතයන් ඒ සංචාරකයන් රටින් පිටවූ පසුව දින 14ක් නිරෝධායනය විය යුතුය. සංචාරකයන්ට රට යළි විවෘත කර තිබෙන්නේ ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ මතය. ගෙන තිබෙන මේ පියවර ගැන ජනතාව දැනුවත් කිරීම සංචාරක මණ්ඩලයේ වගකීමකි. මෙය කරන්නේ රටට නැතුවම බැරි විදේශ විනිමය උපයා ගැනීම සඳහා බව සංචාරක මණ්ඩලය රටට කිව යුතුය.

ප්‍රශ්නයක් තිබෙන වෙලාවක ඒ ප්‍රශ්නය කළමනාකරණය කළ යුත්තේ ප්‍රශ්නය ඇතුළේම සිටිමිනි. සංචාරකයන් ගෙන්වන්නන් හා හෝටල් හිමියන් දැන් කටයුතු කරන්නේ ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ මතය. එසේ කරගෙන යද්දී දැන් වෙනත් ප්‍රශ්න රැසක් නිර්මාණය කර තිබෙන බව ද නොවලහා පැවසිය යුතුය. ඒ ප්‍රශ්න නිර්මාණය කර තිබෙන්නේ සංචාරක මණ්ඩලය විසිනි. සංචාරකයන් ගෙන්වන්නේ අපි නම් අප එය හරියට ඒ කියන්නේ රජයේ නීති රීති හා සෞඛ්‍ය  මාර්ගෝපදේශ මත නොකරන්නේ නම් පමණක් මැදිහත්වීමේ වගකීමක් සංචාරක මණ්ඩලයට තිබෙන බව අපි පිළිගනිමු. සංචාරකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ගාස්තු හා සංචාරකයන් රක්ෂණය කිරීමේ ගාස්තු ඩොලර්වලින් ගෙවන්නැයි සංචාරක මණ්ඩලය අපට කියයි. ඉතිහාසයේ කිසි දවසක සංචාරක මණ්ඩලය මෙවැනි නියෝග පනවා නැත. මෙය අනවශ්‍ය අතපෙවීමකි.

මැදිහත්වීමකි. ඇතැම් හෝටල්වලට හා සංචාරකයන් ගෙන්වන සමාගම්වලට මුදල් ලැබෙන්නේ රුපියල්වලිනි. ඉතින් එවැනි අය ඩොලර්වලින් සල්ලි ගෙවීමට නම් තමන්ට ලැබෙනවාට වඩා වැඩි රුපියල් ගණනක් වැයකර ඩොලර් මිලදී ගත යුතුය. එහිදී අපේ වෙනත් පරිපාලන වියදම් ද තිබේ. ඉතින් සංචාරක මණ්ඩලයේ මේ අතාර්කික ප්‍රායෝගික නොවන අතපෙවීම්වලින් සිදුවන්නේ කර්මාන්තයේ නියුතු අය අධෛර්යමත් කිරීම සහ කර්මාන්තය යළි ප්‍රාණවත්වීම කල්යාමය.

සංචාරක මණ්ඩලය ඇප් එකක් හෙවත් දුරකතන යෙදවුමක් ද සකසා තිබේ. ඒ ඇප් එක හරහා සියල්ල කරන්න පුළුවන්ලු. ඒ ඇප් එකේ වුවමනාව කුමක්ද? ඉන් බලාපොරොත්තු වන්නේ මොනවද කියා සංචාරක මණ්ඩලය අප කැඳවා කියා නැත. කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයන් දැනුවත් නොකර එවැනි ඇප් එකක් හඳුන්වා දීමට හා ඒ අනුව ක්‍රියාත්මක වීමට සංචාරක මණ්ඩලයට සදාචාරාත්මක අයිතියක් තිබේද? යන්න මට නම් බරපතළ ප්‍රශ්නයකි.

2014දී ලංකාව යුරෝපා සංගමය සමග ගිවිසුමක් අත්සන් කර තිබෙන්නේ රටට එන සංචාරකයන්ගේ තොරතුරු අනවශ්‍ය ලෙස රැස් නොකරන බවටය. මේ ඇප් එකෙන් ඒ ගිවිසුමේ කොන්දේසි කඩා වැටෙයි. මේ ඇප් එක හරහා එකතු කරන තොරතුරු එකතු වන්නේ කොහේදැයි අපි නොදනිමු. පෞද්ගලික සමාගමක ද රජයේ ආයතනයකදැයි අපි නොදනිමු. මේ ඇප් එක ක්‍රියාත්මක කිරීමට යන්නේ කිසිම විනිවිදභාවයකින් තොරවය. මගේ දැක්ම නම් මෙය අනවශ්‍ය ක්‍රියාවකි.

ඇතැම් රාජ්‍ය ආයතනවල වැඩ වෙන හැටිද අප නොදන්නවා නොවේ. දැනට වසර ගණනාවකට පෙර සංචාරක මණ්ඩලයෙන් ඔය වගේම වෙබ් අඩවියක් විවෘත කර සංචාරක ඇණවුම් එයට ලබා ගත්තේය. අප සංචාරකයන් ලබාගත යුත්තේ තරගකාරීව ලංසු තැබීමෙනි. එහෙත් එදා ඒ කටයුත්ත ද විනිවිදභාවයකින් සිදු නොවීය. එතැනට ලැබුණු ඇණවුම් ගියේ තෝරාගත් දෙතුන් දෙනකුට පමණක් බව මගේ වැටහීමයි. එසේ කළේ සංචාරක මණ්ඩලයේම පිරිසකි. එදා එහි සිටි ඇතැම් වැදගත් මහත්වරු ද එයට විරුද්ධව කතා කළහ. අතීතයේ එලෙස වුණු තැනක යළිත් ඇප් එකක් මගින් සංචාරකයන්ගේ තොරතුරු එකතු කිරීම ගැන අපට තිබෙන්නේ සාධාරණ සහ සහේතුක බියකි. අපේ උත්සාහය මත අප ගෙන්වා ගන්නා සංචාරකයන් වෙන තැනකට, වෙන සමාගමකට දුන්නොත් අපට වෙන්නේ මොනවාද? අපට අසාධාරණයක් නොවන බවට සහතික විය හැක්කේ කාටද? සහතික දුන්නද ඒවා එලෙසම ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කළ හැක්කේ කාට ද? අවුරුදු 40ක් තිස්සේ මා ගොඩනගාගත් ව්‍යාපාරය මොහොතකින් කඩා වැටීමට ඉඩ තිබේ. ඇප් එක බලෙන් අප මත පටවනවාට අප විරුද්ධය. කර්මාන්තයේ නියුතු අනෙක් අය සිටින්නේ ද මගේ ස්ථාවරයේය. මෙය කිසිදු විනිවිදභාවයකින් කරන කටයුත්තක් නොවේ. විනිවිදභාවයකින් යහපත් දෙයක් කරන්නේ නම් ඒ ඕනෑම දෙයකට අපි අපේ සහාය දෙන්නෙමු.

එසේම මෙවැන්නක අවශ්‍යතාවක් ද නැත. සංචාරක මණ්ඩලයේ මෙම අනවශ්‍ය අත පෙවීම කර්මාන්තයේ නියුතු අප පරාජය කිරීමක් හෙවත් චෙක් මේට් (Check Mate)  කිරීමකි. මෙය දැනට සංචාරක අමාත්‍යවරයා සමග අප යන සුහද ගමනට ද බාධාවකි. විලංගුවකි. අමාත්‍යවරයාගේ උපදේශක මණ්ඩලයේ තොරතුරු තාක්ෂණය ගැන මනා අවබෝධයක් හා පරිණත දැනුමක් සහිත පුද්ගලයෝ ද සිටිති. යෝජිත ඇප් එකෙන් අනර්ථයක් විය හැකි බව ඒ විද්වත් වෘත්තිකයන් ද පෙන්වා දී තිබේ. මෙයට තමන් විරුද්ධ බව ඔවුන් ද කියා තිබේ. එසේ තිබිය දී මේ ඇප් එකක් හරහා තොරතුරු එකතුකිරීම ගැන මට බරපතළ සැකයක් තිබේ. මට එවැනි සැකයක් ඇතිවී තිබෙන්නේ ඉතිහාසයේ සිදු වූ දේවල් මතය. අනෙක මේ ඇප් එක ගැන අප සමග විවෘත කතා නොකරන්නේ ඇයි? මගේ සැකයට එය තවත් හේතුවකි. ඒ සැක සංකා දුරු කරන්නේ නැතිනම් අධිකරණයට යාමට වුව ද අප පසුබට වන්නේ නැත. මට තිබෙන්නේ අවුරුදු 40 ක් තිස්සේ දුකසේ ගොඩනගා ගත් ව්‍යාපාරයකි. මගේ සහ අපේ ව්‍යාපාරවලට හානිකිරීමට යමකු සැරසෙන්නේ නම් අපට නිහඬව සිටිය නොහැකිය.

අප සිතන්නේ අපේ කර්මාන්තයේ හා රටේ අනාගතය ගැනය. දශක ගණනාවක් ඉදිරිය ගැනය. එහෙත් තීරණ ගන්නා ඇතැම් අය ඒ තනතුරුවල සිටින්නේ ආණ්ඩුව පවතින තුරු පමණකි. අප කියන්නේ මේ කර්මාන්තය දිගුකලක් පැවැතිය යුතු බවය. අපට හොරෙන් ක්‍රියාත්මක කිරීමට යන ඇප් එකේ භයානක කම ගැන මම පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට කරුණු දක්වමි. එහෙත් ඇතැමුන් නිහඬය. වෙනකකු කා ඉවත ලන මස්කටු ලෙවකන මිනිස්සු කොතැනත් සිටිති. අපේ කර්මාන්තයේ ද එවැන්නන් සිටිය හැකිය. සොයා බැලුවිට මට දැනගන්නට ලැබුණේ ජනාධිපතිතුමා පවා මේ ඇප් එකේ හානිකර තත්ත්වය ගැන නොදන්නා බවය. එහෙයින් අප දැන්වත් ජනාධිපතිතුමා දැනුවත් කළ යුතුය. එතුමා මේ දෙස විවෘත මනසකින් බලන බව මට නිසැකය. එසේම කර්මාන්තයට හානිකර යමක් ක්‍රියාත්මක කිරිමට ඉඩ නොදෙන බවද නිසැකය. එහෙයින් මගේ මේ හඬ ජනාධිපතිතුමාට ඇසේවායි මම ප්‍රාර්ථනා කරමි.


(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)

 



අදහස් (0)

සංචාරක ව්‍යාපාරයට ‘කොකු’දාන්නෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 110 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 106 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 863 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 190 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 465 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1107 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site