මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනුවෙනි. එම ලිපියට අනුව ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවෙන් දුගීභාවයට අයත් වන පිරිස හතරෙන් එකකට වඩා වැඩිය.
රට පාස්කු, කෝවිඩ් හරහා බංකොළොත්වීම දක්වා වූ ක්‍රියාදාමයේ වර්තමාන ප්‍රතිඵලය වී ඇත්තේ ජනසංඛ්‍යාවෙන් විශාල පිරිසක් තම ජීවිත පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවයි. ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම, තෙල් සහ ගෑස් පෝලිම් ඇති වීම සහ විදුලි කප්පාදුව ආදිය හේතුවෙන් විදේශ රටවල සමහර පුද්ගලයන් සහ මාධ්‍ය ශ්‍රී ලංකාව අන්ත අසරණ තත්වයකට පත්ව සිටින බව වාර්තා කිරීමට විශාල කැමැත්තක් දැක්වූ බව පෙනේ.
ශ්‍රී ලංකාවේ සිට ප්‍රචාරය කරන බීබිසී සිංහල සේවයේ එක් වාර්තාවකින් කියවුණේ ශ්‍රී ලංකාවේ මවුවරුන් දරුවන් පාසල් යැවීම සම්බන්ධයෙන් බොහෝ දුෂ්කරතාවලට පත්ව සිටින බවයි. එනිසා දරුවන් කිහිප දෙනකු ඇති පවුල්වලින් ඔවුන් පාසල් යවන්නේ එක් දවසකට එක දරුවකු බැගින් යැයි ප්‍රකාශ කර තිබුණි. මේවා ශ්‍රී ලංකාවේ ඇති නොවූ සිදුවීම් වුවත් ශ්‍රී ලාංකේය ජනතාව ඉතා අසීරු ජීවිතයක් ගත කරන බව ලොවට පෙන්වීම සඳහා එවැනි තොරතුරු නිර්මාණය කර පතුරුවා හැරීමට ඇතැම් මාධ්‍ය විසින් කටයුතු කර තිබුණි. ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය සහ වැඩිහිටි මන්දපෝෂණය පිළිබඳව ද විවිධ සංඛ්‍යාලේඛන ඇතුළත් වාර්තා රැසක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒවගේම විවිධ ආයතන තමන්ගේම ක්‍රමවලට සංඛ්‍යා දත්ත ඇතුළත් කර වාර්තා ඉදිරිපත් කර ඇති බව පෙනේ.
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය පිළිබඳව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව කරුණු ඉදිරිපත් කර ඇති අවස්ථාවලදී එම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන විද්වතුන් ඒවාට එරෙහිව මත පළ කළ අවස්ථාද විය. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර මන්දපෝෂණය වැඩි වන බවට ඇතැම් සංවිධාන විසින්ද තොරතුරු ඉදිරිපත් කර තිබුණි. එසේ වුවද එම අවස්ථාවේ දී වෛද්‍යවරුන් පිරිසක් ප්‍රකාශ කර සිටියේ එම තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව බවයි.
මහජනතාව අතර පැතිර යන දරිද්‍රතාව, මන්දපෝෂණය වැනි ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි ක්ෂණික වැඩපිළිවෙළකට රජය අවධානය යොමු කළ යුතු අවස්ථාවක් දැන් එළඹ තිබේ. කෝවිඩ් අවස්ථාවේ සිට රටේ බඩු මිල විශාල ලෙස ඉහළ ගියේය. වාර්තාගත අන්දමින් රුපියල බාල්දු වී ඩොලරයේ අගය ඉහළ යෑම නිසාද බඩු මිළ ඉහළ ගියේය. ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ අංශවල ආර්ථික පසුබෑමක් ඇතිව තිබේ. ඒ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිව තිබේ. එසේම පසුගිය කාලය තුළ ස්වයං රැකියාවල යෙදුණු විශාල පිරිසකට තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ දරිද්‍රතාවෙන් පෙළෙන සංඛ්‍යාව වර්ධනය වී තිබේ. එවැනි තත්වයක් තුළ රජයට ගත හැකි වඩාත් ඉක්මන් පියවරක් වන්නේ පීඩාවට ලක්ව සිටින පිරිස්වලට ඍජුවම ආධාර ලබා දීමයි.
රජය විසින් අස්වැසුම යෝජනා ක්‍රමයෙහි වෙනස්කම් ඇති කිරීමෙන්ද දුගී, ආබාධිත සහ රෝගී පිරිස්වලට ලබාදෙන දීමනාව වැඩි කිරීමෙන් ද එම පිරිස්වල ආර්ථික ශක්තිය වැඩි කිරීමට කටයුතු කර තිබේ. ඒ අතරම පාසල් සිසුන් විශාල පිරිසකට දිවා ආහාර ලබාදීමෙන් ළදරු මන්දපෝෂණය සම්බන්ධ තත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා කටයුතු කර තිබේ. අස්වැසුම යටතේ රුපියල් 15,000 දක්වා දීමනා ලබාදීමට කටයුතු කර ඇත. කෙසේවුවද මේ දක්වා රට තුළ දුගීභාවය වැඩි වී ඇතැයි ද මන්දපෝෂණය ඉහළ ගොස් ඇතැයි ද අපේම සමහර පුරවැසියන් නොකා නොබී ජීවත්වන බවට ද චෝදනා කළ පිරිස් දරිද්‍රතාව පිටුදැකීම සහ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා රජය ක්‍රියාත්මක කරන මෙවැනි සෑම වැඩපිළිවෙළකටම එරෙහි වන බවක් ද පෙනේ.
රජය විසින් පාසල් දිවා ආහාරය ආරම්භ කරනු ලැබූ විට එය මැතිවරණය අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන්නක් යැයි චෝදනා නැගුණි. දැන් රජය ක්‍රියාත්මක කර ඇති මසකට සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද එවැනිම චෝදනා ඉදිරිපත් කරන බව පෙනේ. සමහරෙක් ප්‍රකාශ කරන්නේ පීඩනයට පත්ව ඇති මහජනතාවට ඍජුවම පරිභෝජන අවශ්‍යතා සැපයීමට වඩා ඔවුන්ට දීර්ඝකාලීනව ආදායම් උත්පාදනය සඳහා වන ව්‍යාපෘති ආරම්භ කළ යුතු බවයි. ආර්ථිකය සෑම අංශයකින්ම බිඳවැටී තිබෙන මොහොතක රජයකට දුගීභාවයෙන් පෙළෙන පිරිස්වල ආදායම් මට්ටම වැඩි කෙරෙන ව්‍යාපෘති ඉදිරිපත් කළ හැකියැයි ප්‍රකාශ කරන්නේ නම් එය ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු දැක්මක් නොමැති අය කරන ප්‍රකාශ බව පෙන්වා දිය යුතු වේ. මෙම අවස්ථාවේ දී මහජනතාවගේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අර්බුදයකට මුහුණ දෙන බොහෝ රටවල් අනුගමනය කරන පිළිවෙත වන්නේ ශ්‍රී ලංකා රජය දැන් අනුගමනය කරමින් සිටින වැඩපිළිවෙළට සමාන ඍජු ප්‍රතිපාදන ලබාදීමේ ක්‍රමයයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම අනුව දැන් රජයේ වියදම් පිළිබඳව හොඳ විනයක් පවත්වාගෙන යමින් සිටී. එවැනි තත්වයක් තුළ මැතිවරණය අරමුණු කරගෙන මහජනතාවට තාවකාලිකව හෝ සහන සැලසීමේ හැකියාවක් නැත. කෙසේ වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතන දරිද්‍රතාවෙන් පෙළෙන පිරිස්වලට සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස්වලට සහන සැලසිය යුතු බව දැන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබේ. සුදුසු පිරිස් විධිමත් ලෙස තෝරාගෙන ඔවුන්ට පමණක් සීමා වන ආකාරයට සහන සැලසිය යුතු බව එම ආයතන විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. ඒ සඳහා විවිධ ජාත්‍යන්තර ආයතන ඔස්සේ පරිත්‍යාග ලෙස සමහර භාණ්ඩ ලබාදීමට ද කටයුතු කර තිබේ. රජය විසින් අස්වැසුම සහ පාසල් දිවා ආහාර හා සහල් ලබාදීම ආදියෙන් ඉටු කරනු ලබන්නේ පීඩනයට පත්ව සිටින පිරිස්වලට ආධාර ලබාදීම පිළිබඳ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. ක්‍රමයෙන් ආර්ථිකය යථා තත්වයට පත්වී මහජනතාවගේ ආදායම් මට්ටම ඉහළයන විට එවැනි සහන ක්‍රමයෙන් අඩු කිරීමට හැකි වනු ඇත.
රටක මැතිවරණ විවිධ අවස්ථාවලදී පැවැත්විය හැකිය. එසේ වුවද මැතිවරණ පැවැත්වීම හේතුවෙන් මහජනතාවගේ පීඩනය ඉවත් වන්නේ නැත. එබැවින් තවත් කෙටි කලකින් මැතිවරණ පැවැත්වෙනවා යැයි ප්‍රකාශ කරමින් සහන සේවා නවතා දැමීමට ද හැකියාවක් නැත. මැතිවරණයක් තිබුණත් නැතත් එවැනි සහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම රජයේ වගකීමක් වේ.
ආර්ථික අර්බුදය මහජනතාවගේ ජීවන පැවැත්ම කෙරෙහි දැඩි බලපෑම් කරන තත්වයකට පත් වූ විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපති ධුරය අත්හැර දමා විදේශගතවීමට සිදුවිය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එවක සභාපතිවරයා වූයේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. මෙම 22 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ රජය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාර්ථකත්වයක් ලබා නැති බවයි., අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ලාභ ලබන ආයතන විකුණා දැමීම ආදියෙන් රටට අවාසියක් සිදුවන බව,පවසන ඔහු පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ සියලුම වැරදිකරුවන් නීතිය හමුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කළ යුතු බව ද කියා සිටී.
ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර, එම කාල පරිච්ඡේදයේ දී වගේ වගක් නැති ලෙස කටයුතු කර දැන් මහජනතාව ඉදිරියේ එවැනි ප්‍රකාශ කිරීමට තරම් හැකියාවක් ඇත්තේ දේශපාලන වශයෙන් හැමදාම දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන පිරිස්වලට පමණක් බව සඳහන් කළ යුතුව ඇත.
රජය බංකොළොත් බව ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති සියලු ණය මේ දක්වා අඛණ්ඩව ගෙවා තිබේ. ඒ සඳහා 2022 අප්‍රේල් 12 සිට මේ දක්වා ගෙවා ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකට වඩා වැඩිය. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් වී ඇත. විවිධ රටවලින් සහ විවිධ විදේශීය මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ එම පාර්ශ්ව සමඟ එකඟතා ඇති කරගෙන තිබේ. දැනට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගෙන ඇති ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ එකඟතා ඇති කර ගැනීම පමණි. එසේ තිබියදී ප්‍රතිව්‍යුහගතරකණය අසාර්ථක බව පෙන්වා දීමට මහාචාර්ය පීරිස් උත්සාහ කරන බව පෙනේ.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සත්‍යය නොදකින අභාග්‍යය