|
මල්වතී බිසවට හැදු බව කියන දෙවොල |
පීතෘ ඝාතක රජවරුන් දෙදෙනෙකු ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වෙයි. සීගිරි කාශ්‍යප හා සීතාවක රාජසිංහ යනු ඔවූහුය. කොතරම් දරුණු කුරිරු වුවන් වුවද මේ දෙදෙනාම දැඩි සංවේදී සිතැත්තෝය. කාශ්‍යප රජු ඉදිකළ සීගිරිය කොතරම් සොඳුරු මනරම් ස්ථානයක් දැයි එය නැරඹූවෝ දනිති. එහෙත් සීතාවක රාජසිංහයන් එවැන්නක් ඉදිකළ බවක් ප‍්‍රචලිත නොවූවද ඔහුද සිය ප‍්‍රියම්බිකාව වෙනුවෙන් දෙවොලක් ඉදිකර පත්තිනි දේවියට කැප කර ඇත්තේය. එය ෂාජහන් රජු විසින් මුම්ටාස් මහල් නම් සිය ප‍්‍රියම්බිකාවගේ අකල් වියෝව දරාගත නොහී ඇය වෙනුවෙන් ටජ්මහල ඉදිකළා වැනිය.
සීතාවක රාජසිංහයන් විසින් සිය අගමෙහෙසිය වූ මල්වතී බිසව වෙනුවෙන් ඉදිකරනලද දෙවොල ටජ්මහල හා සසඳන කළ මහා නිර්මාණයක් නොවුනද අරමුණු විෂයෙහි ලංකාවේ මේ දෙකම එක හා සමානය. ගැටලූව වන්නේ සීතාවක රාජසිංහයන් එබඳු නිර්මාණයක් කළ බව බොහෝ දෙනා නොදන්නා රහසක් ලෙසින් පැවතීමයි. එක් අතකින් සිය ප‍්‍රතිවාදීන් පමණක් නොව තමන්ගේ අදහස් අනුමත නොකළ එවකට සිටි භික්ෂූන් තොග ගණනේ විවිධ මාර්ග ඔස්සේ මරා දැමූ මේ නරපතියා එබන්දක් කර ඇතැයි යන්නද පුදුම සහගතය.
ජන ශ‍්‍රැතියට අනුව සීතාවක රාජසිංහ රජු මල්වතී නම් රූමත් යෞවනීය දකින්නේ අහඹුවෙනි. මල්වතී යනු එවකට සිටි සුප‍්‍රසිද්ධ නැකැත්කරුවකු වූ දොඩම්පෙ ගණිතයාගේ දියණියයි. ඔවුන්ගේ වාසභූමිය වූයේ රුවන්වැල්ලට නොදුරු ගෝනගල ගම්මානයයි. මේ ගම පිහිටා ඇත්තේ එවකට පහතරට රාජධානියේ සිට උඩරට රාජධානිය දක්වා දිවෙන මහා මාර්ගය අසලය. සීතාවක රාජසිංහ රජුගේ පෙතංගොඩ උයන පිහිටියේද මේ ගමන් මාර්ගය අසලමය. සීතාවක අමිතිරිගල ගෝනගල හක්මත්ත පෙතංගොඩ මත්තමගොඩ අම්පෙ අරන්දර වැනි ගම් ඔස්සේ උඩරට ගමන් මාර්ගය තිබූ බැව් පැවසේ.
සීතාවක රාජසිංහ රජු වරක් පෙතංගොඩ පිහිටි සිය රාජකීය උයනට ගොස් ආපසු එමින් සිටියදී දියනාමින් සිටි රූබර යෞවනියක ගෝනගල ග‍්‍රාමයේදී දුටුවේය. දුටු මතින්ම ඇය කෙරෙහි ලොබබැඳි රජු එවේලේම ඇයව සිය රජවාසලට කැඳවාගෙන අග බිසෝ තනතුරෙහි තබා ගත්තේය. මේ කාලය වන විට රජුගේ වයස අවුරුදු හැටද ඉක්මවා තිබූ බවද කියවෙයි.
මේ කියන මල්වතිය එවකට අටලොස් වියැති යෞවනියකි. ඇයගේ පියා වූයේ රජවාසල පවා ප‍්‍රසිද්ධියට පත්ව සිටි දොඩම්පේ ගණිතයාය. මල්වතිය විවාහ කරගැනීමේ අපේක්‍ෂාවෙන් ඇය හා පේ‍්‍රමයෙන් බැඳී සිටියේ රාජසූරිය නම් කුමරෙකි. ඥාතීත්වයෙන් ඔහු රාජසිංහ රජුගේ මුණුබුරෙකි. ඒනිසා මල්වතිය රජවාසලට රුගෙන යාම නැතිනම් පැහැරගෙන යාම හේතුවෙන් දොඩම්පේ ගණිතයාත් රාජසූරිය කුමාරයාත් රජු කෙරෙහි දැඩිලෙස වෛර බැන්දෝය.
රාජසිංහ රජු මල්වතිය අඟ බිසෝ තනතුරෙහි තබා ඇය කෙරෙහි බලවත් පේ‍්‍රමයෙන් යුතුව කල් ගෙවීය. එහෙත් ඉතා කෙටිකලකින්ම අනපේක්ෂිතව අවාසනාවන්ත ලෙසින් මල්වතිය රෝගාතුර වූවාය. කොතෙක් වෙද හෙදකම් කළද ඇයගේ රෝගය සුවකර ගන්නට නොහැකි විය. නොබෝ කලකින් ඕ පරලෝක ප‍්‍රාප්ත වූවාය. ඇයගේ මරණය ඉවසා දරාගත නොහී රාජසිංහ රජු දැඩිසේ කම්පාවට පත් වූවේය. ඇය පිළිබඳව සෙනෙහස මතකය රජුගෙන් කිසිදා ගිලිහී නොගියේ සංවේගය සමනය කරනුවස් ඇය සිහිපත් කරනුවස් ඇය වෙනුවෙන් දෙවොලක් ඉදිකර එය පත්තිනි දේවිය වෙනුවෙන් කැප කළේය. ඒ දෙවොල වන්නේ සීතාවක රාජධානියට නුදුරින් පිහිටි මැදගොඩ දෙවොලයි.
කිස්තු වර්ෂ 1592දී පමණ ඉදිකර ඇතැයි සලකන මැදගොඩ දේවාලයට අවිස්සාවේල්ල සිට තල්දුව බැස අමිතිරිගල මාර්ගයේ ගොස් පල්ලේකණුගල මාර්ගයේ කිලෝමීරයක දුරක් ඇත්තේය.
ඉහතින් සඳහන් කළ ජනශ‍්‍රැතිය තහවුරු කෙරෙන තොරතුරු රිසිමන් අමරසිංහ නම් මහාචාර්යවරයා විසින් රචිත ඓතිහාසික සීතාවක ග‍්‍රන්ථයේද සඳහන්ය. මේ සම්බන්ධ වැඩිමනක් තොරතුරු ඇතුළත් පුස්කොළ පොත් මානියම්ගම රජමහ විහාර පොත්ගුලෙහි ඇති බවද එම ග‍්‍රන්ථයේම සඳහන්ය.
මැදගොඩ දේවාලය ඉදිකිරීම සම්බන්ධව තවත් ජනප‍්‍රවාදයක්ද තිබේ. එයට අනුව කැලණි ගඟ ඔස්සේ පෙතන්ගොඩ උයනට අගුලකින් රාජසිංහ රජු ගමන් කළ අවස්ථාවක දේවාලයට නුුදුරේදී අගුල ගඟ මැද නැවැතුණී. අගුල පැදවූ මාල මීගොල්ල නැමැත්තා අගුලෙන් බැස දිය යට කිමිදී අගුල නතරවීමට හේතුව සෙවීය. එහෙත් අගුල නතරවීමට කිසිදු හේතුවක් ඔහුට සොයාගත නොහැකි වූ තැන රජු උපදෙස් දී ඇත්තේ වට පිටාව පරීක්‍ෂා කරන ලෙසටය. ඒ අනුව මාල මීගොල්ල අවට සෝදිසි කරත්්දී ගඟ අසබඩ උස් බිමක පහන් දල්වා තිබෙනු දිටීය. වහා ඔහු මේ බව රජුට දැනුම් දුන් විට රාජසිංහ අ`ගුලෙන් බැසවුත් එම ස්ථානයට පැමිණ පහන්දල්වා කරදර බාධාවකින් තොරව තමන්ට අ`ගුල ගෙනයාමට ඉඩ දෙන්නේ නම් මෙම ස්ථානයේ පත්තිනි දේවිය උදෙසා දෙවොලක් තනා දෙන බවට භාරයක් වී අ`ගුලට ගොඩ විය.
එවර අ`ගුල කිසිවකුගේ මෙහෙයවීමෙන් තොරව උඩුගං බලා ඉබේම පැදවුණු බවත් කියති. ඉන් පසු රජු මෙහි දෙවොලක් තනා දෙවොලේ පැවැත්ම උදෙසා ගම්වරද දී ඇත.
|
කැටයම් වලින් යුත් ගල් කණු |
මල්වතිය පැහැරගෙන යාම නිසා වෛර බැඳගත් රාජසූරිය කුමරු හා දොඩම්පේ ගණිතයා රාජසිංහ රජුගෙන් පලිගත් බවද ඓතිහාසික සීතාවක ග‍්‍රන්ථයේ සඳහන් වෙයි. එයට අනුව උඩරට රාජ්‍ය අල්ලා ගැනීමට ගොස් පහරදී තම සේනාවද විනාශ කරගත් රාජසිංහ රජු පෙරලා සීතාවකට එන ගමනේදී හත්මත්ත නම් ග‍්‍රාමයේදී රාජසිංහ රජුගේ පාදයකට රාජසූරිය කුමාරයා මුගුරකින් පහර දුන්නේය.
දොඩම්පේ ගණිතයා විසින් පහරදිම නිසා ඇති වූ තුවාලයේ විෂ බැන්ද බවද පැවසේ. එසේ කීමෙන් අනතුරුව දොඩම්පේ ගණිතයා පැනගොස් වත්මන් යටියන්තොට ට නුදුරු කන්දක තිබූ දැවැන්ත කොස් ගසක තිබූ විශාල බෙනයක සැඟවී සිටි බවත් රජුගේ මරණයෙන් පසුව ඔහු නැවත සිය ගම් ප‍්‍රදේශයට පැමිණි බවත් තවත් ජනප‍්‍රවාදයකින් කියැවෙයි. කෙසේ වුවද අදටත් යටියන්තොට නගරයට නුදුරින් ගණිතකන්ද නමින් ගමක් ඇත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයට ස්තූතියි. මෙම ප්‍රවෘත්තිය හරිම වැදගත්.(අ)
අපි කවුරුවත් ටජ්මහල් යන්නේ වඳින්න පුදන්න නෙමෙයිනේ. ටජ්මහල කියන්නේ සොහොන් කොත් ස්මාරකයක් නේද? (නි)
මේ කතා කටින් කට ඇවිත් පැවතෙන නිසා පොඩි පොඩි වෙනස්කම් වීම ස්වාභාවිකයි. ඒ ඒ පලාත්වල අය අහල තියෙන ජනප්‍රවාදත් මේ අදහස් තීරයෙන් හරි පළවෙන එකත් හරි වටිනව. ඉතිහාසඥයන්ට පුළුවන් සාධක එක්ක ගලපල මේ කියන කරුණුත් ඉතිහාසයට එක් කරන්න.(හේ)
මෙය ඉතා වටිනා වස්තුවකි. එය රැකගැනීම සිංහල බෞද්ධ අප සතු වගකීමකි.තවත් පැරණි දේවල් අපිට දන්වන්න. ඔබට මාගේ අවංක ස්තූතිය! (නි)
ශ්රී ලාංකිකයන් වන අපට ඇත්තේ ආඩම්බරයෙන් කතා කළ හැකි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්. එවන් අතීතයක අප නොදන්නා මිහිරියාව අවදි කරන රසවත් ලිපියකි මේ. (නි)
ඉතා වටිනා රසවත් ලිපියක්.(දිල්)
මේ කතාව ඇත්ත උනත් බොරු උනත් මේකෙන් හොඳ සංවාදයක් මතුවෙනවා. එතකොට උනකටුව ඇනිලා මැරුණ කතාවත් බොරු එහෙනම් (නදී)
ටජ්මහල් කියන එක වැරදි නේද ලංකාවේ ඉතිහාසයට ඉන්දියාව අවශ්‍ය නැනේ (අ)
කලාකාමී හදවත් ඇති අය පීතෘ ඝාතකයන් වෙන්න බැහැ කොහෙත්ම. (නි)
ලෝකේ හැම රටකටම වැඩිය හොද සාහිත්‍ය ඉතිහාසයක් ලංකාවට තියනවා අපේ දේ අගේ කරන්නන්ට සුබපැතුම් (දී)
සීතාවක රාජසිංහ කියන්නේ අපේ රටෙහි හිටි වීරයෙක්. පෘතුගීසින්ට පන්න පන්නා ගහපු උත්තමයෙක්. එතුමා වගේ යුගපුරුෂයින් ගැන අපි ලෝකෙට කියන්න ඕනෑ මේ වගේ (නි)
ඉතා වටිනා ලිපියක්. (නි)
රසවත් ලිපියක් (නි)
අනේ මමත් හරි ආදරෙයි රාජසිංහ රජුට.(නදී)
ඇත්තටම හොඳ ලිපියක්. මම අගය කරනවා. මේ වගේ ලිපි පල කිරීම සම්බන්දයෙන්. ඇත්තටම මේ තරම් විස්තරයක් අසා තිබුනේ නැහැ (නදී)
රාජසිංහ රජු පිතෘ ඝාතකයෙක් නෙමෙයි (නදී)
රාජසිංහ රජු මැරුනේ උනකටුවක් ඇනීමෙන් නොවේ නාගයෙක් දෂ්ටකිරීමෙන්. නාගයෙක් දාෂ්ටකර රජෙක් මැරුනොත් එ්ක රජාට අගෞරවක් ලෙස එකල සදහන් උනා. ඒ නිසයි මේ උන කටුවේ කතාව ගොතල තියෙන්නේ. මම සීතාවක කෙනෙක් අපි මුළු කතාවම දන්නවා. (නදී)
රුදුරු පෙතන්ගොඩ උයනට අනේ ළං වුණා... නපුරු උණ කටුව පතුලේ ඇනී වන වුණා... එක්ව සිටි සැවොම මතුරා විෂද වැඩිවුණා... රාජසිංහ දෙවි නාමෙත් ගියා නැතිවුණා.... (නි)
අපි දන්න විධියට නම් රාජසිංහ රජු පීතෘ ඝාතක රජ කෙනෙක් නෙවෙයි. මායාදුන්නෙ රජු මැරුනෙ වයසට ගිහින්. ඒ බව රාජසිංහ රජ්ජුරුවො දැනගත්තෙත් සටන් බිමක ඉන්න කොට.රාජසිංහ රජ්ජුරැවො මැරුනෙ පෙතන්ගොඩ උයනෙදි කකුලෙ ඇණුන උණ කටුවට විෂ බැඳල කියන එක කවුරුත් වගේ දන්න කනාවක්.මට හිතෙන හැටියට නම් අපේ ඉතිහාසය විකෘති කරල උදාර සිංහල රජ වරුන්ට අපහාස කරනව.(ස)
අපේ දේ සිහිකිරිම ඉතා අගෙන්ය. ඔබට පින්. (ස)
ඉතා හොඳ ලිපියක්. (ස)
ගොඩක් ලස්සනයි
මෙය ඉතා හොඳ කතාවක්. මම හරි කැමතියි. (ස)
ලංකා ඉතිහාසයට මමත් හරි ආදරෙයි.එය මමඅගේ කරනවා (අ)
ලංකා ඉතිහාසය පරයා යන්න ඉතිහාසයක් ලෝකෙවත් නැහැ (දී)