රාවණා රජතුමා පිළිබඳ දැඩි මතවාදයක්, මතුව තිබෙන මොහොතකි. රාවණා යුගයක් හෝ රාවණා රජෙක් නොසිටියැයි යන මතයක එක්තරා පිරිසක් එල්බ සිටිති. තවත් පිරිසක් රාවණා යුගය දැඩි සේ විශ්වාස කරති. මේ අතරේ සමහරුන්ට රාවණා යුගයක් පිළිබඳ කිසිම අදහසක් නැත.
අප දිගින් දිගටම ප‍්‍රශ්න කළේ ඉතිහාසය විසින් අතුගා දැමුණු කතාවක් යළි ගොඩනැගීමේ අදහසිනි. විජයගෙන් පටන් ගන්නා වංශකතාවල පෙරදී ලාංකීය ඉතිහාසයක් පැවති බව රහසක් නොවේ. කුවේණිය කපු කටිමින් සිටියා නම් විවිධ කර්මාන්ත දත් දියුණු සමාජ ක‍්‍රමයක් රටේ පවතින්නට ඇත. අප ඒ ගැන නිහඬ ඇයි...? රාවණා රජතුමා නොසිටි බව සමහර උගතුන් කියනවා නම් බුදුන් වහන්සේ ලංකාවට වැඩි බවට පවතින සාක්ෂි මොනවාද? එක්තරා මහානායක හිමිනමක් මගෙන් ප‍්‍රශ්න කළහ.

රාවණා රජ යුගය අප කතා කරන්නේ පුරාණ පුස්කොළ පොත් අනුව යමිනි. ගැඹුරින් විමසා බැලූවොත් විජයගෙන් එහා පවතින කිසිම ඉතිහාසයකට ගැඹුරු සාධක නැත. එම නිසා ඒවා බොරු යැයි කීමද බරපතළ වැරැුද්දකි. එම ඉතිහාසය ප‍්‍රලාප ‘‘පිට’’ පැටවීමද නොගැළපෙන්නකි. ඒ සඳහා පර්යේෂණ නොකර කිසිවක් කීම හරි නැත. තනතුරු නාම වලින් ඔබ්බට ගොස් පත පොත කියැවීමෙන්, ගවේෂණයෙන් හා පර්යේෂණයෙන් මෙකී රාවණා යුගය ගැන සෙවිය යුතුය.
තනතුරට සීමා නොවී පර්යේෂණ, ගවේෂණ අතරේ සිටින විශිෂ්ටතම පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් සමග රාවණා කතාව අද ලියමු. ශතක ගණනාවක් තිස්සේ අපේ මහපොළොවේ හැංගුණු ඉතිහාසය ගොඩගන්නා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා රාවණා පූර්විකාවක් දක්වයි. එතුමා මහින්දාගමනයට පෙර නොව, විජයට පෙරත් ලාංකීය ඉතිහාසයේ පුරාවිද්‍යා ගවේෂකයෙකි. බොහෝ දෑ සොයාගෙන මත ගොඩනැගු කෙනෙකි. එවැනි කෙනෙක් රාවණා ගැන කියන මතය අන් සියලූ මතයන්ට සාපේක්ෂව වෙනස් වේ. එය ඔබටද කිරා මැන බැලීමට පුළුවන.
රාවණා යුගයේ පවතින සිද්ධි වල සත්‍ය අසත්‍යතාව හෝ ගත් කටටම මිථ්‍යාවක් ප‍්‍රලාපයක් හෝ කියන ස්ථාවරයේ මා නෑ. මා පුරාවිද්‍යා ගවේෂකයෙක් හැටියට විද්වතෙක් හැටියට මේ කාරණය දිහාව බලනවා. රාවණා පිළිබඳ ඉතිහාසය සමාජයේ මට්ටම් දෙකක් තියනවා.
මහාචාර්යවරයා කතාව පටන් ගත්තේ එසේය. ඔහු කියන පරිදි මට්ටම් දෙක කුමක්ද?
එකක් ඉන්දියාවේ රාමායනය ආශ‍්‍රයෙන් රාම රාවණ කතා ප‍්‍රවෘත්ති සිද්ධි ඇසුරින් රාවණාගේ ඓතිහාසිකත්වය කතා කරන මට්ටමයි.
දෙවැන්න රාමායනය වැනි සාහිත්‍ය කෘතියක ආශ‍්‍රය නොලැබ මේ රටේ රාවණා නමින් රජකෙනෙක් සිටියා යැයි විශ්වාස කරන සාමාන්‍ය පන්තියේ ජනතා මට්ටමයි.
මම වැඩිපුර උනන්දු වෙලා ඉන්නෙ ඉන්දීය රාමායනයේ රාම රාවණා කතාව දැනගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අයගේ රාවණා ගැන නෙවෙයි. මම වැඩිපුර කුතුහලාත්මකව ඉන්නෙ, මේ රටේ ඈත ගම් දනව්වල නියාමානුකූල ලෙස අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ජනතාව විශ්වාස කරන අපේ රටේ සිටියා යැයි කියන ප‍්‍රතාපවත් රාවණා චරිතය ගැනයි.
මහාචාර්යතුමාගේ පුරාවිද්‍යා දෘෂ්ටි කෝණය මෙසේය. සාමාන්‍යයෙන් පුරාවිද්‍යාවේ කටයුතු කරන්නේ අතට අල්ලල බලලා, ද්‍රව්‍ය සොයා ගෙනයි. නමුත් පසුගිය අවුරුදු සියය ඇතුළත මේ රටේ කිසිම පුරාවිද්‍යාඥයෙක් රාවණ වෘත්තාන්තය පිළිබඳව යම් බරක් යෙදවිය හැකි සොයා ගැනීමක් සිද්ධ කළාද? එක්කෝ එසේ කළේ නෑ. නැත්නම් කළා වූ පර්යේෂණයන් එවැනි දෘෂ්ටි කෝණයකින් බැලූවේ නෑ. ඕනෑම ඓතිහාසික සිද්ධියක් පුරාවිද්‍යාවට ගෝචරයි. එය සොයා ගත හැකියි. රාවණ ගැන ඉතිහාසය සොයා ගැනීමට පුරාවිද්‍යාවට හැකියාව තියනවා. රාවණ කතාවේ හැටියට මීට අවුරුදු 5000 කට ඉහත කාලයක තමයි රාවණ රජතුමා මේ රටේ වාසය කරල තියෙන්නෙ.
පුරා විද්‍යාඥයන් මීට අවුරුදු 30,000 - 40000ට එහා හිටපු මිනිසුන්ගේ පැවැත්මත් සොයාගෙන තියනවා. අවුරුදු තිස් හතළිස් දාහක ඒවා සොයා ගත්තාට අවුරුදු 5000 කට එහා රාවණ ගැන තොරතුරු සෙව්වෙ නැති නිසා එය අසත්‍යයි. කියලා පුරාවිද්‍යාඥයකුට කියන්න බෑ.
එම මතයට අනුව රාවණා රජකු මෙරට නොවිසූ බව පුරා විද්‍යාඥයකු හෝ පුරාවිද්‍යාවේ තනතුරක් හොබවන්නකු එක හෙළා පවසන්නේ කෙසේද?
හුදෙක් එවැන්නක් කිය හැක්කේම පර්යේෂණ මත පිහිටීමෙනි. පර්යේෂණ වලට නොපැමිණ රාවණ රජකු සිටියේ නැතැයි කීම සදාචාරාත්මකද? එය ඉතිහාසයේ තවත් වැළලීමක් නොවන්නේද? සාමාන්‍ය ජනතාව හැටියට ඔබට කිරාමැන බැලිය හැකිය. රාජ් සෝමදේව මහතා තම පර්යේෂණ අනුව තව දුරටත් මෙසේ පවසයි.
ලංකාවේ හල්දුම්මුල්ල, හපුතලේ වගේ කඳුකර ප‍්‍රදේශවල මා විශාල සොයාගැනීම් ප‍්‍රමාණයක් කළා. මීට අවුරුදු 4000කට එහා කාලයේ එම ප‍්‍රදේශයේ ජීවත්වු මිනිස්සු පිළිබඳ සාක්ෂි ලැබුණා. ඔවුන්ගේ සංස්කෘතිය ගත්තොත්, ඔවුන් ක‍්‍රමානුකූලව සුසාන භූමි හදලා මළවුන් ආදාහනය කරලා, සකපෝරුවෙ වළං හදලා, යකඩ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය අත්දැකපු අයයි. මේක යම්කිසි දියුණු ශිෂ්ටාචාරයක අවස්ථාවක් හැටියට විශ්වාස කරන්න පුළුවන්. නමුත් එම ප‍්‍රතිඵලය තවම ළපටියි. තව වසර තුන හතරක දී එය තවත් පුළුල් කළ යුතුයි.
අප දැන් එම පර්යේෂණ ආරම්භ කරල තියෙනවා. එහෙම පර්යේෂණ කළාම දැන් තියන තොරතුරුත් සමග අපට ඉතිහාසයක් සාරාංශ කළහැකියි. මා කලින් පැවසූ රාවණ පිළිබඳ මත දරන මට්ටම් දෙකෙන් සාමාන්‍ය ජනයා අතර පවතින මතය කේන්ද්‍ර ගතව තිබෙන්නේ කඳුකර ප‍්‍රදේශය මුල්කර ගෙනයි. ඒ අනුව කඳුකරයේ පැරැුණි සංස්කෘතිය හා රාවණ පිළිබඳ අදහස අතර සෑහෙන දුරට යම් සමානුපාතයක් තියෙනවා පුරාවිද්‍යාඥයන් කරුණු සොයන්නේ රාවණ පිළිබඳ කතාව සනාථ කිරීමට නෙවෙයි. එහෙත් දීර්ඝ කාලයක සිට ජන සමාජයේ පවතින රාවණ ප‍්‍රවෘත්තිය පර්යේෂණ හරහා ප‍්‍රායෝගිකව සත්‍ය වෙමින් තිබෙනවා. මහාචාර්යවරයා කියයි.
පසුගිය ලිපි වලින් දීර්ඝ වශයෙන් රාවණ සිද්ධි පෙළ ගැළපී ගියේ ලංකාවේ කඳුකර ප‍්‍රදේශ වලට යාවෙමිනි. ලකේගල, හල්දුම්මුල්ල, බෑන සමනලය, දිඹුලාගල, ආදී ප‍්‍රදේශ වල පර්යේෂණ හමාර වන විට, බොහෝ විට අවුරුදු 4000කට එහා රාවණ ඉතිහාසය ගොඩට එනු ඇත. මහාචාර්ය රාජ් සෝමදේව මහතා දැනට පර්යේෂණ කරන හපුතලේ හල්දුම්මුල්ල, රංචමඩම ප‍්‍රදේශය රාවණ ඉතිහාසයට පැහැදිලි සාක්ෂි ලබා දෙමින් තිබෙයි. යක්ෂයන් නිපදවූවායි කී යකඩ කර්මාන්තය, ආදී දියුණු කර්මාන්ත පුරාවිද්‍යා පර්යේෂණ හරහා මතුවී තිබේ. ඒවා අවුරුදු 4000කට එහා නම් මේ රාවණ යුගය නොවන්නේද? රාවණ කතා වලට අනුව ගුවන් යානා, මුහුදු යාත‍්‍රා නිෂ්පාදනය කර ඇත්තේ යකඩ වලිනි. මේ මතුවෙමින් පවතින්නේ එහි සුල මුල නොවේද?
පෞරාණික යුගයේ ලංකාවේ ජීවත් වූ ඉතා විශිෂ්ට රජ කෙනෙක් පිළිබඳව හා එම යුගය පිළිබඳ මතකය දිගින් දිගටම සාමාන්‍ය ලක් වැසියන් රැුගෙන ආවේ ඇයි? මේක විද්‍යාත්මක පසුතලයක සිට විග‍්‍රහ කරන්නයි පුරාවිද්‍යාඥයන් හැටියට අප උත්සාහ කරන්නෙ.
එවැනි යුගයක් මතින් බිහි කරන ද්‍රව්‍යාත්මක දේවල් තිබිය යුතුයි. කාල නිර්ණය කර ගැනීමට පහසුකම් තිබෙනවා. රාවණා යුගයක් නෑ කියලා ජන සමාජයේ අදහස් අනාථ කිරීම පුරාවිද්‍යාවට ගැළපෙන්නේ නෑ. දීර්ඝ කාලීන ජන මතකය පදනම් වන්නේ කුමන යථාර්ථවාදී සිදුවීම් මාලාවකටද යන්න තහවුරු කර ගත යුතුය. මා රාවණ යුගය ගැන සුබවාදීව දකිනවා.
අවුරුදු 4000කට එහා දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ, සාධක මතුවෙලා තියනවා. මතු කරගනිමින් තියෙනවා. තව වසර දෙකක් යද්දි පැහැදිලි අදහස පුරාවිද්‍යාඥයකු හැටියට මට කියන්න පුළුවන්. මේ සඳහා අප පර්යේෂණ කරන්නෙ ඉතාම දුෂ්කර ස්ථාන වල. අප මේ වෑයම කරන්නේ රටේ ජනතාව ඉතා ආදරයෙන් වැළඳගත් යථාර්ථවාදී යුගයක් කිරා මැන බලා පැහැදිලි කිරීමටයි. රටේ පුරවැසියන්ට තමන්ගේ රටේ මහේශාඛ්‍ය භාවය තබා ගැනීමේ නිදහස තියෙනවා. රාවණ යුගය තිබුණු බව සාමාන්‍ය ජනයා කියනවා නම්, පුරාවිද්‍යාඥයන්ට වගකීමක් තියෙනවා ඉතිහාසය පිළිබඳව මහජනයා දරණ මතවාදයේ විද්‍යාත්මක භාවය, ශාස්ත‍්‍රීය පසුබිම පර්යේෂණ ඔස්සේ අනාවරණය කරදීම. රාවණ රජතුමා හෝ ඒ සිද්ධි දාමය පිළිබඳ මගේ කිසි විවේචනයක් නෑ.
පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් කියන පරිදි පුරාවිද්‍යාවේ වටපිටාව මත රාවණ යුගයේ සාධක මතුවෙමින් තිබේ. දියුණු ශිෂ්ටාචාර ලක්‍ෂණ ගොඩ ගනිමින් තිබේ. රාවණ යනු ලාංකීය ශිෂ්ටාචාරයේ මතුවෙමින් පවතින අලූත් රජතුමාය. ඔහු හින්දු භක්තිකයකු හෝ විජාතිකයකු නොවේ. ලංකාවේ රජකෙනෙකි.
මහා රාජකීයයෙකි... එවැනි යුගයක් ‘බොරු’ යැයි කියන්නට පුරාවිද්‍යාවේ මහත්වරු කිසියම් උත්සාහයක් දරනවා නම් ඉහත කතාවට අනුව ඈත පිටිසර ගම්වල ජනතාවට වුවද ඒ ඒ අයගේ වගකීම් හැකියාවන් හා කාර්යභාරයන් පිළිබඳ ගැටලූ මතුවීම අසාධාරණ නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසංක ආටිගල මේකෙ ලියල තියෙන්නේ එයාගේ අදහසයි. මහාචාර්ය තුමා කියපු යම් අදහස් මැදට දාල තියෙනවා එයට ඕන විදියට. විචාරශීලිව කියවන්නේ නැති පාටකයෝ හිතන්න පුළුවන් මේ ලිපියේ තියෙන ඔක්කොම මහාචාර්ය තුමා කියපු ඒවා තමයි, එතුමත් දැන් රාවනා අදහස් පිලිගන්නවා කියල. මම නම් හිතන්නේ මහාචාර්ය තුමා මේ ලිපියට කැමති වෙන එකක් නෑ. (අ)
රාවණා රජු පිළිබඳව රාජ් සෝමදේවයන් ගේ විග්‍රහය ඉතාම පුළුල් එකක්! මට පොඩි ආඩම්බරයකුත් තියෙනවා මෙතුමාගේ පාසල වන කලුතර විද්‍යාලයේදීම මටත් ඉගන ගන්න ලැබුණු එක ගැන. රාවණා රජු දැඩි ලෙස පිළිගන්නා කෙනෙක් හැටියට මේ ලිපිය ඉතාම විශිෂ්ට එකක්! (හේ)
මමත් කාලයක් සිට රාවණා රජතුමා ලංකාවේ රාජ්‍ය කළ බව පිළිගන්නවා. මට ඒ බව යම් යම් කාරණා වලින් සවිඥානිකව දැනී තිබෙනවා. ලාංකික අප මංකොල්ලකරුවෙක් වන විජය පරපුරින් පැවත එන්නන් කියලා කොහොමද විශ්වාස කරන්නේ? කුවේණිය කපු කැටීමෙන් දියුණු සංස්කෘතියක ලක්ෂණ පෙන්නුම් කරනවා නොවේද?? දරුවන්ට මේ ඉතිහාසය හෙළි දරවු කරලා දුන්නොත් ඔවුන් ඒවා ඉතා හොඳින් පිළි ගන්නවා. එහී වගකීම අපේ. අපි හැමෝගෙම. රාවණයන් පිළි ගන්නා සියලුදෙනාගේම...(බ)
විස්තර කළ නොහැකි තරම් බලමහිමයෙන් යුත් රජකෙනෙක් ලෙස ප්‍රකට රාවණ රජු, රාමා විසින් පරාජය කරනු ලැබුවේ සලකුණක් වත් ඉතිරි නොවන පරිදි බව පෙනේ. එසේ නම් රාමා කොතරම් බලවත් වන්න ඇත්ද? දකුණු ඇමරිකාව පවා රාවන විසින් පාලනය කළ බව සමහර වියතුන් කියනවා අසා ඇත. ඉතින් ඉස්සර කාපු බීපුවා පවා සොයා ගැනීමට පුරාවිද්‍යාව සමත් නම් ඇයි අරතරම් බලවන්තයකුගේ කිසිවක් ඉතිරිව නොතිබෙන්ටම සුන්නත් ධූලි කර අැත්තේ? ඒ අනුව රාමා නම් මහා බලවතකු බව නේද මින් පෙනෙන්නේ. සාක්කි ලැබෙන තුරු බලමු. එතෙක් ඉවසමු. සෝමදේව ගුරුතුමා කීවේ පුරාවස්තුවලට කතාකරන්ට ඉඩදෙමු. අපේ ඔලුව ඇතුලේ තිබෙන මිථ්‍යාවන් ඒතුලට තල්ලු නොකරන ලෙසයි. (බ)
"ජනතාව රාවන රජු පිලිගන්නවා නම්, පුරා විද්‍යාඥයන්ට වගකීමක් තියෙනවා ශාස්ත්‍රීය පර්යේෂණ මඟින් මේ බව අනාවරණය කර දීමට" මොකක්ද ඒ කතාවේ තේරුම? ඒ කතාව හරියට ජනතාව බාල බඩුවක් ඉල්ලනවා නම් එක නිෂ්පාදනය කර ජනතාවට දිය යුතුයි වගේ කතාවක්. ඉල්ලුමට - සැපයුම දෙන අද පවතින බාල සංගීතය වගේ. පුරා විද්‍යාඥයන් කල යුත්තේ පුරා විද්‍යාත්මක සාධක වල ඇත්ත ඇති සැටියෙන් ජනතාවට පහදා දීම නොවේද? සාමාන්‍යයෙන් මිනිසුන් නොකියවන මහාවංශය ආදී පුරාන ඉතිහාස ග්‍රන්ථ හා පුරා විද්‍යාත්මක සාධක අතර සම්බන්ධය පහදා දීම නොවේද? බොරුවක් සත්‍ය ලෙස සිතට බලෙන් ආරෝපණය කරගත්තාම, හැම දේම ඒ බොරුවට උපකාර කරන, බොරුවම ප්‍රත්‍යක්ෂ කරන ආකාරයෙන් පෙනෙන්න පටන් ගන්නවා. මිත්‍යා දෘෂ්ටි වල පදනම එයයි. (නදී)
රාවනා කියන චරිතය බොරුවක් නොවෙයි (දී)
රාවනා රජු ඉතිහාසගත නියම රජු කෙනෙක්. එවැනි රජෙක් ලංකාවේ රාජාණ්ඩු කරපු එක අප කාගේත් අභිමානයට සලකුණක්. කිසිඳු සාක්ෂියක් නැතිව අපේ ඉතිහාසය අපිම නැති කිරීම දුකට කරුණක්. තවද අපේ අනෙකුත් මිතුරන් කියු පරිදි රාවනා දිය කෙටුම, මහා රාමායනය වැනි සාදක අදටත් අපිට මහත් ශක්තියක්. රාමායනය කියන්නේ අපේ බුද්ද ඉතිහාසයත් අභිබවා ගිය පැරණිතම ග්‍රන්ථයක්. එහි අන්තර්ගත තොරතුරු බොරු යැයි කීමට විදේශ විද්වතුන්ට පවා නොහැකි වී ඇත. එබැවින් රාවනා අපේ ඉතිහාසයේ නොමැකී යන ශ්‍රේෂ්ට රජෙකි (නදී)
අදටත් රාවණ රජු සිටිය බවට ශාක්ෂි තියනවා. ඒ යාපනය ප්‍රදේශයේ පහිටි රාවණ දිය කෙටුම හොඳම නිදසුනයි. (ර)
රාවණා රජතුමා නොහිටියා නම් විබීෂණ දෙවියෝ ඉන්නේ කොහොමද (නදී)
මේ ලිපියේ මාතෘකාවෙන්ම නුවණ ඇති අයට තර්කානුකූලව සිතිය යුතු දෙයක් තියෙනවා. එතකොට "සාධක නැති පලියට" රාවනා රජු හිටිය කියන එක වැරදි නැද්ද? මේ කතන්දර කිහිප දෙනෙක් ප්‍රසිද්ධ වෙන්න, අපේ මහාවංශය, ත්‍රිපිටකය, චුල වංශය, ආදී ඉපැරණි මූලාශ්‍ර නිෂ්ප්‍රභා කරන්න කරන උත්සාහයක් කියලයි මට හිතෙන්නේ. නිකමට වගේ රාවන රජු හිටිය කියමුකෝ. ඉතින් මොකක්ද එ්කෙන් අපට වෙන සෙත? අපි බලෙන් අපේ සිතට මේ මනස්ගාත කවාගෙන, ලෝකේ මිනිස්සුන්ටත් "සාධක නැති උනාට රාවන හිටිය" කිය කිය ඇවිදින්නද ? මේකෙන් වෙන්නේ අපේ බුද්ධි මට්ටම ගැන ලෝකයා වඩා හොඳින් තේරුම් ගන්න එකයි. (නදී)
මේ ලිපියේ මාතෘකාවෙන්ම තවත් දෙයක් සිතන්න ඕනේ. එතකොට සාධක තිබුනේ නැති පලියට රාවන රජු හිටිය හරි ඉන්නවා හරි කියන එකත් වැරදියි නේද? මේවා අපේ මහාවංශය, ත්‍රිපිටකය, ඇත්ත. (ස)
රාම සීතා කතා පුවත අදටත් විශ්වාස කරමින් ඉන්නේ එවකට විසු මහා පරාක්‍රම රාවණා රජුගේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලනය තුළිනි. ලංකාවේ ඒ සඳහා සාක්ෂි නැති බැවින් රාවණා ඉතිහාසයක් නැති බව කිව නොහැක. රාවණා මෙරට සිටිය ශ්‍රේෂ්ඨ රජකෙනෙක් බවට හින්දු ග්‍රන්ථය වන මහා රාමයන ග්‍රන්ථය සාක්ෂි දරයි (නි)
ඇත්තටම රාවන කියලා කෙනෙක් හිටියා. ඒ වගේම ඉඳලත් තියනවා. හින්දු ආගමේ ශිව දෙවියන්ව කවුරු හරි විස්වාශ කරනවා නම් අනිවාර්යෙන්ම රාවන රජුවත් විශ්වාස කරන්න ඕන. රාවන කියන්නේ උග්‍ර ශිව බක්තිකයෙක් වසර දහස් ගානක් තපස් රැකලා ශිව දෙවියන්ගෙන් වරම් ගත්ත කෙනෙක්. රාවනාට ඔලු දහයක් තියනවා කීවේ ඔහුට දහදෙනේක්ගේ බුද්ධිය තිබුන හින්දා. ඔහු ඉතාමත් ධාර්මික රජ කෙනෙක් වුණා. ඔහුගේ නැගණිය රාම කුමරයේගේ මලනුවන් ට ආදරේ කරපු නිසා තමයි රාවන රජුට නරක නාමයක් පට බැඳුනේ. ලංකාවම එක්සේසත් කරලා එක එක පළාත් වලට අමාත්‍යවරුන් පත් කරලා ඉතාම දක්ෂ අන්දමින් රට පාලනය කරපු කෙනෙක්. අද ඉන්දියාවේ හැම අවරුද්දකට පාරක්ම එයාලගේ උත්සවකකට රාවනාගේ රූපයක් හදලා එකට ගිනි තියලා දුෂ්ටයෙකුට වගේ සලකන්නේ. නමුත් ලංකා ඉතිහාසේ හිටපු ධාර්මික රජ කෙනේක්ව අපිට අමතක වෙලා අද එහෙම කෙනෙක් හිටියද කියලා පර්යේෂණ කරනවා. ඉන්දියාවේ රාමා සීතාව අපි විශ්වාශ කරනවා නම් අනිවාර්යෙන්ම රාවන රජුවත් විශ්වාස කරන්න ඕනේ. මොකද රාවන රජු නැති රාම සීත කතා පුවතක් නැති හින්ද. (හේ)
රාවණා රජු එකල සිටියා නම් එහි ශිෂ්ටාචාරය විනාශ වුයේ කෙසේ ද?(හේ)
රාවණ ගැන සොයන්න දැන් කවුරුත් පෙළඹී ඇත . මමද එසේ සොයමි. (ස)
රාමායනය ගැන ඉන්දියාවේ තියෙනජ සාක්ෂි මොනවද (ස)
ඒක කියන්න බෑ.(හේ)
රාජ් සෝමදේව මහාචාර්යතුමාත් මිරැන්ඩෝ ඔබේසේකර ආචාර්යතුමාත් සිදුකරන්නේ ගවේෂණ දෙකක්. එකක් ක්ෂේත්‍ර පරීක්ෂණ වලින්. අනික ජනශ්‍රැති සහ ලේඛන පරීක්ෂණ වලින්. දැනට රේල් පීලි දෙකක් වගේ ගවේෂණ සමාන්තරව ගියාට අපගේ මුතුන් මිත්තන් කළ කී දෑ ගැන තහවුරු වෙනකොට රාවණා රජු කාලයේ රාජ්‍ය පාලනය සහ අර්ථ ශාස්ත්‍රය ගැන වඩා හොඳ තොරතුරු එළියට ඒවි. (නි)
"මැටිපහන" ගේ අදහසට මම එකගයි. රාවනා නමින් රජෙක් සිටි බව මහාචාර්ය තුමා කිසිවිටක කියා නැත. එතුමා කියන්නේ විජයගෙන් එහා ගිය මානව ඉතිහාසයක් ලංකාවේ තිබූ බවයි. සාධක නැති වීම යම් අදහසක් බොරුවක් කියා ඔප්පු නොකරන බව ඇත්ත. ප්‍රශ්නය තිබෙන්නේ අප අන්ධ ලෙස එම සාදක නැති අදහස විශ්වාස කිරීමයි. රාමායනයේ එන ප්‍රබන්ධ වලට තවත් ප්‍රබන්ධ එකතු කර මනෝ විකාර හද ගැනීමයි. (නදී)
රාවනා යුගය ගැන මෙම 'විශේසාංග'පිටුවේ සහ 'අපේ උරුමය' පිටුවේද විවිෙධ විද්වතුන්ගේ මත හෙළිදරව් කරමින් සාදක සහිතව පළවුණු ලිපි අතුරෙන් අපේ ප්‍රාග් ඉතිහාසය ගැන ගවේශනයක නියෙලි මහාචාරය රාජ් සෝමදේව මැතිතුමාගේ මත දක්වමින් පළවූ ඉහත සදහන් ලිපියෙන්ම වීරවිකුම්පෑ රාවනා නිරිදු හෙළයෙක් බව ඔප්පුවේ. (අ)
ඔව් ඒකත් ඇත්ත.(හේ)
උපකල්පනයෙන් ඉතිහාසය හදන්න යන එක භයානක වැඩක්. (නි)
උපකල්පනයෙන් ඉතිහාසය හදන්න යන එක භයානක වැඩක්. (ර)
රාවනා කතා පුවත ගැන කියවූ සාර්ථකම අදහස.(අ)
රාවණා රජු මෙහි සිටි බලවන්ත රජ කෙනෙකි. නෑ කියා කියන්ට බෑ... නෑ කියන්නේ සිංහ හා සීවලි එනම් සහෝදරයයි සහෝදරියයි සංවාසයෙන් පැවත එනවා කියන පොතේ එල්ලිච්ච ගුරාලා තමයි...
රාවණ රජු පිළිබඳ ඉතිහාස කරුණු දැනගන්න ගොඩක් අන්තර්ජාලය පරිශීලනය කලත් ඒවයින් බොහොමයක් මනස්ගාත. දම් පාට, නිල් පාට පෙන්වල මතකය අමතක කරවන බ්ලොග් අඩවි බලල මේ වගේ යථාර්ථවත් ලිපි පළවෙද්දී හිනට පුදුම සතුටක් දැනෙනවා.. මම නම් රාවණ රජුට හරිම ආදරේ... රාවණ අතීතය අප අතරට ඉක්මනින් පැමිණේවායි පතමි...