IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සන්ධාන දේශපාලන විජ්ජාව

මැතිවරණයක් ළඟ පාතකවත් ඇති බවක් පෙනෙන්නට නොතිබුණ ද, එසේම සැබෑ ජන මතය වත්මන් පාර්ලිමේන්තුව වෙතින් ප්‍රකාශ නොවන නිසා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ කරන ඉල්ලීම ආණ්ඩුව අනුමත නොකරන තත්ත්වයක් තිබුණ ද ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මැතිවරණ ඉලක්ක කරගෙන යම් යම් පෙළ ගැසීම් කරගෙන යති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හා එම පෙරමුණේ භාණ්ඩාගාරික හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු එම පෙරමුණේ මන්ත්‍රීවරු 13 දෙනෙක් මෑතක දී තමන් ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව නිවේදනය කළහ. එම පිරිස අගෝස්තු 31 වැනිදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසනවලින් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත්හ.

එම පිරිස දැන් අලුත් පක්ෂයක් පිහිටුවාගෙන සිටිති. ඉකුත් සැප්තැම්බර් 2 වැනිදා එම පිරිස නාවල කොස්වත්තේ තම ප්‍රධාන කාර්යාලය විවෘත කොට නව පක්ෂය එහි සිට ප්‍රකාශයට පත් කරමින් තම ප්‍රථම ජනමාධ්‍ය හමුව ද එහි පැවැත්වූහ.‘‘නිදහස් ජනතා සභාව’’ යනු නව පක්ෂයේ  නමයි.

එම පක්ෂය ප්‍රකාශයට පත් කළ දිනයත් එහි නමත් එක්තරා විශේෂත්වයක් පෙන්වයි. ඒ එම පක්ෂයේ බහුතරයක් තුළ හෝ බලපෑමක් කළ හැකි නායකයන් තුළ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි ඇති මානසික බැඳීමයි. සැප්තැම්බර්  2 වැනිදා යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපන් දිනයයි. අභාවප්‍රාප්ත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප ආරම්භ කරන ලද්දේ 1951 සැප්තැම්බර් 2 වැනිදාය. එසේම නව පක්ෂය ද ‘‘නිදහස්’’ පක්ෂයකි. ඩලස් අලහප්පෙරුම මහතා මැතිවරණ දේශපාලන බිමට පිවිසියේ ශ්‍රීලනිප ඔස්සේය.

පක්ෂ  කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව අලහප්පෙරුම මහතාත්, මහාචාර්ය පීරිස් මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාත් වෙනත් ඇතැම් අයත් කළ කතාවලින් පෙනී ගියේ පොදුජන පෙරමුණේ නායකයන් ඔවුන් කොන් කිරීම නිසා ඔවුන් මෙසේ වෙනම දේශපාලන ගමනක් තෝරා ගෙන ඇති බවය. නම සඳහන් නොකළ ද ඔවුන් මෙහිදී තමන් කොන් කිරීම සම්බන්ධයෙන් ව්‍යංගව චෝදනා කළේ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටය. 

එහිදී කතා කළ අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ කටයුතුවලදී තමන්ට එල්ල වන බාධා විස්තර කරමින් ව්‍යවස්ථාදායකය එක්තරා නොපෙනෙන බලවේගයක ග්‍රහණයට හසුවී ඇතැයි පැවසීය.  ඒ සම්බන්ධයෙන්ද ව්‍යංගයෙන් චෝදනා කළේ බැසිල් රාජපක්ෂ මහතාටය. 

එදිනම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රීලනිපද  සිය 71 වැනි සංවත්සරය සැමරීය. ඒ මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදීය. එදිනම ශ්‍රීලනිපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර එහිදී පක්ෂ විනය උල්ලංඝනය කරන පක්ෂ සාමාජිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කරන්නට පක්ෂ නායකයාට බලය පැවරෙන අයුරින් පක්ෂයේ ව්‍යවස්ථාව ද සංශෝධනය කෙරිණි.

එම රැස්වීමට පක්ෂයේ තීරණය නොතකා ආණ්ඩුවට එක්වී ඇමැති ධූර දරමින් සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන මහත්වරුන් හා ආණ්ඩුවට සහය  දෙන ඌව පළාතේ හිටපු ප්‍රධාන ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද සහභාගි වූහ. එහෙත් පක්ෂ විනය උල්ලංඝනය කරන වුන් පක්ෂයෙන් නෙරපීමට පක්ෂ නායකයාට බලය පවරන යෝජනාවට එරෙහිව ඔවුන් ඡන්දය ප්‍රකාශ කළේ නැත.

තමන් වෙනත් පක්ෂ සමග එක්වී ඊළඟ ආණ්ඩු පිහිටුවන බව ද ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දී ජනමාධ්‍යවේදීන්ට පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දී මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ  කුඩා පක්ෂ 11ක් දැන් ආණ්ඩුවෙන් ඈත් වී සිටියි. පසුගිය මාර්තු 3 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පක්ෂවලින් දෙකක් වන ජාතික නිදහස් පෙරමුණේත් පිවිතුරු හෙළ උරුමයේ නායකයන් වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඔවුන් දැරූ ඇමැති ධුරවලින් ඉවත්  කළේය. පොදුජන පෙරමුණෙන් කොන් කරනු ලැබූ මෙම පක්ෂ  11 ඉන්පසු වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කළහ.

ඉකුත් සැප්තැම්බර් 4 වැනිදා මෙම කණ්ඩායම නිල වශයෙන් අලුත් සන්ධානයක් පිහිටුවා ගත්හ.‘‘උත්තර ලංකා සභාගය’’ යනුවෙන් නම් කරනු ලැබ ඇති මෙම සන්ධානයේ සමාරම්භක රැස්වීම මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර ඊට චීනය ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරු ද සහභාගි වූහ.

නව සන්ධානය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට අදහස් දැක්වූ එම සන්ධානයේ සභාපති විමල් වීරවංශ මහතා රට මුහුණ දී ඇති ගැටලුවලට උත්තර සෙවීම උත්තර  ලංකා සභාගයේ අරමුණ බව ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ මෙම කණ්ඩායම්  තුනට අමතරව තවත් මන්ත්‍රීවරු හය දෙනෙක්ද එම පෙරමුණෙන් ඈත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිති. හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු මෙම පිරිස තවමත් වෙනම දේශපාලන පක්ෂයක් වශයෙන් සංවිධානය වී හෝ වෙනත් පක්ෂයකට එක්වී හෝ නැත.

මේ අතර පසුගිය මහ මැතිවරණයට පෙර ශ්‍රීලනිපයේ ක්‍රියාකාරිකයකුව සිට පසුගිය මැතිවරණයේ දී සමඟි ජන බලවේගයේ අපේක්ෂකයකු වශයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම මහතා ද සැප්තැම්බර් 5 වැනිදා  තම දේශපාලන ගමනේ තවත් පියවරක් තබමින් තම දේශපාලන පක්ෂය වන නව ලංකා නිදහස් පක්ෂයේ නව මූලස්ථානය බත්තරමුල්ලේ දී විවෘත කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අතින් එය සාම්ප්‍රදායිකව විවෘත කෙරිණි.

නව ලංකා නිදහස් පක්ෂය අලුත් පක්ෂයක් නොවේ. එය 2020 මාර්තු 6 වැනිදා පිහිටුවනු ලැබූ අතර ඒ සඳහා වූ උත්සවය පිටකෝට්ටේ දී පැවැත්විණි. 2021 දී එම පක්ෂය ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පතක් ඉදිරිපත් කෙරිණි. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ දී එය ලියාපදිංචි පක්ෂයක් වශයෙන් ජාතික මැතිවරණ කොමිෂන්  සභාව විසින් ප්‍රකාශයට පත් කෙරිණි. දැන් වෙල්ගම මහතා වෙනම පක්ෂ කාර්යාලයක් ද විවෘත කොට ඇත. එහෙත් ඔහුට  පාර්ලිමේන්තුවට තේරී පත්වන්ට  අවස්ථාව දුන් සමඟි ජන බලවේගය හා ඔහු අතර ගැටුමක් අති බවක් ද පෙනෙන්නට නැත. ඒ අතර  ඔහු ප්‍රසිද්ධියේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරයි.

මේවා අපූරු දේශපාලන හැසිරීම්ය. ඔහු තේරී පත්වූයේ සමඟි ජන බලවේගයෙනි. ඔහුගේ කාර්යාලය විවෘත කරන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරයි.

 කෙසේ වෙතත් ඔහුට දේශපාලන කරළියේ කිසිදු බලපෑමක් කළ හැකි බවක් පෙනෙන්නේ නැත. එහෙත් පොදුජන පෙරමුණෙන් ඈත් වූ හා ඉවත් වූ පක්ෂ එක්වුවහොත් ඇති වන්නේ වෙනස් තත්ත්වයකි.  විමල් වීරවංශ මහතා නායකත්වය  දරන උත්තර ලංකා  සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් සිටිති. පෙරේදා වනතෙක් ශ්‍රීලනිපයේ 11 දෙනකු සිටියද ඉන් හය දෙනෙක් පෙරේදා ඇමැතිධුර ලබා ගත්හ. ඉතිරිය පහකි. ඩලස් අලහප්පෙරුම මහතා නායකත්වය දරන නිදහස් ජනතා සභාවේ සිටින මන්ත්‍රීවරුන් ගණන 13කි. මීට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු මන්ත්‍රීවරු හය දෙනෙක්ද ස්වාධීනව සිටිති.

ඒ අනුව 2020 අගෝස්තු 5 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් පොදුජන පෙරමුණ යටතේ  තේරී පත්වූ මන්ත්‍රීවරුන් 145 දෙනාගෙන් මේ වනවිට 39 දෙනෙක් ඉන් ඉවත්වී හා ඈත් වී ස්වාධීනව සිටිති. ඒ අනුව පොදුජන පෙරමුණට ඉතිරිවී ඇත්තේ මන්ත්‍රීවරු 106 දෙනකු පමණි. කලින්ම ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර හා චාමර සම්පත් දසනායක යන තිදෙනාත් පෙරේදා ඇමැතිධුර ලබාගත් හය දෙනාත් සමග නම් එම ගණන 109 කි. මෙය මන්ත්‍රීවරුන් 225දෙනකු සිටින පාර්ලිමේන්තුවේ අඩකට  වඩා අඩු සංඛ්‍යාවකි. එනම් පොදුජන  පෙරමුණට දැන් පාර්ලිමේන්තු බහුතරය අහිමිවී ඇත.

එහෙත් ඉදිරි මැතිවරණයක දී මෙම කණ්ඩායම්වලට සමස්ත ප්‍රතිඵලය කෙරෙහි කළ හැකි බලපෑම තවමත් පැහැදිලි නැත.  සියලු කණ්ඩායම් එක්ව තරග කළහොත් පමණක් යම් බලපෑමක් කළ හැකිවනු ඇත. එසේම ප්‍රධාන තරගකරුවන් දෙදෙනා අතර පරතරය ඉතා සුළු නම් ද අවසාන මැතිවරණ ප්‍රතිඵලයට යම් බලපෑමක් කරන්නට ඔවුනට  හැකිවනු ඇත. එසේ නොවේ නම් ඔවුන් කොහේ හෝ දිස්ත්‍රික්කයකින් දෙකකින් ආසනයක් දෙකක් දිනා ගනු ඇත.

ඔවුන් ඉදිරියේ ප්‍රධාන බාධා තුනක් ඇත. ඉන් එකක් වන්නේ පවතින සමාජ ආර්ථික අර්බුදයට ඔවුන් වෙත විකල්ප වියදම් නොතිබීමයි. ඔවුන් ද කරන්නේ අනෙක් විරුද්ධ පක්ෂ මෙන්ම ආණ්ඩුවේ අසාර්ථක වීම් හා දුබලතා මත රැඳී සිටීමය.

දෙවැනුව ඔවුන් වෙත  විසඳුම් තිබුණ ද එයින් පමණක් මැතිවරණයක දී ජනතාව  දිනාගත නොහැකිය. පක්ෂයක ප්‍රතිපත්ති හා අවංක බවට ජනතාව වෙතින් නිතරම  වැදගත්කමක් ලැබෙන්නේ නැත. සමාජයේ බහුතරයක් දෙනා උත්සාහ කරන්නේ ජය ගන්නා පැත්තේ සිට ගන්නටය. එවැන්නක් ජනතාවට පෙනී යන්නේ මැතිවරණ කාලවල දී ඇතිවන ‘‘රැල්ල’’ මඟිනි. රැල්ල බොහෝ විට ජනමාධ්‍ය විසින් ගොඩනඟන්නකි.

කුඩා පක්ෂවලට මෙය තරමක් අසීරු කටයුත්තකි.  ඔවුනට එහෙයින් විශ්වසනීයත්වය වැදගත් වේ. අලුත් දේශපාලන පෙළ ගැසීම් විශ්වසනීයත්වය පිළිබඳ කාරණයේ දී අසාර්ථක වීමට ඇති ඉඩකඩ බොහෝය. පොදුජන පෙරමුණෙන් ඈත් වූ හා ඉවත් වූ පිරිස් ලී කුවාන් යූ හා මහතීර් මොහමඩ් පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරන්නටත් පොදුජන පෙරමුණ දිනවන්නටත් දැක්වූ දායකත්වය මෙතැන දී ඔවුනට හරස් වනු ඇත. පොදුජන පෙරමුණ ආර්ථිකයට කළ විනාශය වෙනුවෙන් දැන් ඈත් වී සිටින පිරිස් ද වගකිව යුතු බව මේ වන විටත් බොහෝ දෙනා පවසති.

පොදුජන පෙරමුණ තුළ පිපිරීම් ඇති වූයේ ප්‍රතිපත්තිමය පදනමකින් නොවේ. සිදු වූයේ පොදුජන පෙරමුණේ නායකයන් අහංකාර ලෙස සුළු පක්ෂ කොන් කිරීම නිසා එම පක්ෂ එම පෙරමුණෙන් ඈත් වීමයි. පසුගිය ජනාධිපතිවරණ තුනක දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු මෙහෙය වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ දේශපාලන අනාගතයට රාජපක්ෂ සහෝදරවරුන්ගේ ඥාති පුත්‍රයකු මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනයට යොමු කිරීමෙන් තර්ජනයක් එල්ල විය. එසේම ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමට හා වීරවංශ මහතාගේ කණ්ඩායමට  බැසිල් රාජපක්ෂ මහතා සමඟ ප්‍රබල පෞද්ගලික මතභේද ඇති බවද පෙනේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරයේ අවසාන කාලයේදී ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් හෝ රාජ්‍ය ඇමැතිකම් ලැබි වෙනත් කෙනෙහිලිකම්  නොවී තිබුණේ නම් මේ කිසිවෙක් ‘‘ස්වාධීන’’ වනු ඇතැයි සිතිය නොහැකිය. එසේ වූයේ නම් පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න හෝ ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය මර්දනය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විසම්මුතීන් මර්දනය කිරීම සඳහා යොදා ගැනීම ආදිය පිළිබඳ ප්‍රශ්න හෝ මතුවන්නේ ද නැත. දැන් වුවද ඇමැතිකම් ලැබේනම් ඔවුන් ආණ්ඩුවට යනු ඇත. පෙරේදා සිදුවූයේ එයයි.

මේ පිරිස අතරින්  බොහෝ දෙනකු 17 වැනි, 18 වැනි,19 වැනි හා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සියල්ලට සහාය පළ කළ අයයි. ඇතැමෙක් 1990 සිට පැවැති සියලු ආණ්ඩුවලට පක්ෂ භේද  නොතකා එක් වූ අයයි. තවත් සමහරු කොටි සංවිධානය බලවත්ව සිටිය දී උතුරු නැගෙනහිරට දස වසරක අන්තර්කාලීන පරිපාලන සභාවක් යෝජනා කළ 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට සහය පළ කොට මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී  ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්තියකට සහාය පළ කළ අයයි. මේ අතර 2000 ව්‍යවස්ථා කෙටුම්පතට පමණක් නොව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හා කොටි සංවිධානය ඇති කර ගත්  ෆෙඩරල්  එකඟතාවට ද සහාය පළ කොට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක් වූ අයද සිටිති.

මේ අතීතය මෙම කණ්ඩායම්වලට ඉදිරියට යාමේ දී හමුවන ප්‍රබල අභියෝගයකි. එය විශ්වසනීයත්වය පිළිබඳ අර්බුදයකි. එහෙත් සුපිරිසුදු දේශපාලනඥයන් හා පක්ෂ නැති හෙයින්  තමන්ට එරෙහිව එසවෙන යගදාවම අනෙකාට එරෙහිව ද ඔසවන්නට මේ පිරිසට ද බොහෝ විට හැකිවනු ඇත. එමගින් ඔවුන්ගේ හෝ අනෙක් අයගේ දේශපාලනයේ අවංක බව හෝ සුජාත බව ජනතාව හමුවේ ඔප්පු වන්නේ නම් නැත.

එම්.එස්.එම්.අයුබ්

(***)



අදහස් (0)

සන්ධාන දේශපාලන විජ්ජාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1488 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 9384 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 488 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 864 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 905 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 467 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site