ඉන්දීය ප්‍රකට නළුවකු වූ දිලිප් කුමාර්ගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි.
ඉන්දියානු සිනමාවේ පුරාවෘත්තයක් වූ ශ්‍රේෂ්ඨ තරුවක් වූ දිලිප් කුමාර් පසුගිය දා මුම්බායි හි Hinduja Hospital හිදී මියගියේ සිය අනූඅට වැනි විය පසුකරමින් සිටියදීය. ඔහු ෆිල්ම්ෆෙයාර් සම්මාන 8ක් දිනාගෙන ඇති අතර, භාරතීය පද්ම විභූෂණ සම්මානය, දදාසහේබ් පාල්කේ යන උසස් සම්මානවලින් පුද ලබා ඇත. ඊට අමතරව ඔහු ෆිල්ම්ෆෙයාර් ජීවිත කාලයේ එක්වරක් පිරිනැමෙන රාජ් කපූර් සම්මානය ද නිශාන් ඒ. ඉම්තියාස් සම්මානය, ඇන්.ටී. රාම රාඕ සම්මානය, රාම්නාත් ගොඑන්කා සම්මානය, ලක්ස් සී සිනෙ සම්මානය ද රජීව් ගාන්ධි සද්භාව්නා සම්මානවලින් පුද ලැබීය.
1922 දෙසැම්බර් 11 වැනිදා පේෂාවර්හි උපත ලැබූ මොහොමඩ් යූසුෆ් ඛාන්, පලතුරු වෙළෙන්දකු මොහොමඩ් සර්වර් ඛාන්ට අයෙෂා බේගම්ට දාව උපන්නේය. ඔහුගේ ආගම ඉස්ලාම්ය. ඔහු කුඩා කල සිටම ස්වාධීනව තම උත්සාහයෙන් ජීවිතය ගොඩනගාගත් හිතුවක්කාරයෙක් විය. හැම කටුක අත්දැකීමකටම මුහුණ දුන් ඔහු මුලින්ම රඟපෑවේ අමීය චක්‍රවර්ති අධ්‍යක්‍ෂණය කළ “ජ්වාර් භාටා” චිත්‍රපටයේය. “දිලිප් කුමාර්” නමින් භාරතීය සිනමාවේ ආකර්ෂණය දිනූ ඔහු මුලින්ම දුටු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ බෙහෙබුබ් ඛාන් ගේ කැමරා ශිල්පී ඉරාණි කීවේ, “කවුද මේ වඳුරා? මෙයාව සිනමාවට සුදුසු නෑ” කියාය.
දිලිප් කුමාර්ගේ ආරම්භය එසේ වුව ද ඔහු රඟපෑ ලංකාවේ තිරගත වූ මේලා, අන්ද්‍රාස්, බාබුල්, දීදාර්, හල්චල් කරානා, අාන්, දාග්, අමර්, උරන් ඛටෝලා, දේව්දාස් නැරැඹූ අපේ රටේ ප්‍රේක්ෂකයෝ ඒවා වැඩි වාර ගණනක් බැලූ බවට සාක්ෂි තිබේ. Tragedy King (ශෝකාන්ත නළුවා) නමින් ප්‍රකටව සිටි ඔහුගේ චිත්‍රපට අතුරින් “දේව්දාස්” තරුණ පරපුර අතර ජනප්‍රිය වූ බව බනී රූබන් නම් විශිෂ්‍ට සිනමා ලේඛකයා හා Cine Blitz සිනමා සඟරාවේ ආරම්භක කතුවරයා විසින් ලියන ලද Dilip Kumar: Star Legend of Indian Cinema the Definitive Biography කෘතිය සිංහලට පරිවර්තනය කළ ප්‍රවීණ චිත්‍රපට නළු ටෝනි රණසිංහගේ කෘතියේ පළ වී තිබුණි. මුල් යුගයේ ඔහුගේ චිත්‍රපටවල පෙම්වතියන් වූයේ නූර්ජෙහාන්, නර්ගීස්, කාමිණී කෞශල්, මධුබලා, නිම්මි, ඌෂාකිරන්, මීනා කුමාරි, බිනාරායි, වෛජයන්ති මාලා, සුචිත්‍රා සෙන් ආදීන්ය. එදා දිලිප්ගේ හඬට සමීපව භාවාතිශය දේශ ශෝක ගීත වැඩියෙන් ගයා ඇත්තේ තාලාත් මෙහෙමුද් ය.
සිංහල ප්‍රේක්‍ෂකයෝ දිලිප් රඟපෑ මධුමතී, දේව්දාස්, ආන් වැඩි වැඩියෙන් නැරැඹූ අතර, තරුණයෝ දිලිප්ගේ අකීකරු කෙහෙරැල්ල විදිහට තම හිසකෙස් සකසාගෙන තිබුණි. එදා ඒ ආකාරයට අකීකරු කෙහෙරැලිවලින් යුත් තරුණයන් අතර පසුව පුවත්පත් කලාවේදීන් වූ සිනමා පිටු සකස් කරගත් තරුණයෝ ද වූහ. එස්. සුබසිංහ (පසුව දිනමිණ, සිළුමිණ, ලංකාදීප කර්තෘ), ජෝර්ජ් ලෙස්ලි රණසිංහ (පසුව ලංකාදීප කර්තෘ), එල්මෝ ගුණරත්න (පසුව ලංකාදීප කර්තෘ), කරුණාසේන ජයලත් (පසුව සිරිලක කර්තෘ), ආතර් යූ. අමරසේන (පසුව විසිතුර කර්තෘ) යන තරුණ පත්‍ර කලාවේදීන් දිලිප්ගේ රසිකයෝ වූහ. චිත්‍රපට නළුවෝ ද ඒ අතර විය. ටෝනි රණසිංහ හා විජේරත්න වරකාගොඩ මේ අතර සුවිශේෂය.
“ලංකාදීප” පත්‍රයට බැඳුණු කරුණාසේන ජයලත් දිලිප්ගේ කොතරම් රසිකයකු වීද යත්, පත්‍ර කලාව පසෙකලා චිත්‍රපට නළුවකු වීමට සිතා එය “ලංකාදීප” කර්තෘ ඩී.බී. ධනපාල මහතාට ද කියා තිබුණේ එකල ඉරිදා ලංකාදීපය භාරව සිටි ධර්මසිරි ජයකොඩි, ලංකාදීපයේ විශේෂාංග භාරව සිටි පියල් වික්‍රමසිංහ විසිනි. ජයලත් ඉන්දියාවට යාමට සිතා ඉල්ලා අස්වීමේ ලිපිය ද භාර දී තිබුණි. දින කිහිපයකට පසු ජයලත් කර්තෘගේ කාමරයට ගියේය.
“නළුවාගේ අදහස මොකක් ද” ධනපාල මහතා ඇසීය.
“නළුවා ඒ අදහස අත් ඇරලා”’ ජයලත් කීය.
“අයිසේ ජයලත්, තමුසෙගේ හිතේ දිලිප් කුමාර් කියලා. තමුසේ ගිහින් බලනවා කණ්ණාඩියකින්. තමුසෙගේ ඔය මුහුණෙන් දිලිප් වගේ රඟපාන්න පුළුවන් ද” පැවැසූ ධනපාල මහතා අස්වීමේ ලිපිය ජයලත්ට භාර දී ඇත.
ජයලත් මේ කතාව අපට කීවේ “සිනමාවයි මමයි” නම් විශේෂාංග මාලාව ‘සරසවිය’ පුවත්පතට ලියන කාලයේ තමාගේ නොපැහැදිලි කැත අකුරු නිසා කියවන විට ලිවීම පැවැරුණ මොහොතකය.
“1954 දී විතර මගේ ප්‍රියතම නළුවා දිලිප්, රාජ් කපූර් හා නර්ගීස් සමඟ ලංකාවට ආවා. පුවත්පත් නියෝජිතයන් වශයෙන් අපි රත්මලාන එයාර්පෝට් එකට ගියත් එය ඉටු නොවුණේ කඩිමුඩියේ මේ පිරිස ගාලු මුවදොර හෝටලයට ගිය නිසා. ධනපාල මහතාට මගේ සුන් වූ බලාපොරොත්තුව දැන මටත්, ධර්මසිරි ජයකොඩිටත් කතා කරලා මෙහෙම කිව්වා.
‘ජයකොඩි කොහොම හරි ජයලත්ව බොල්ගොඩ දූපතට යවන්න ඕනේ. මම රතීට (බිරිඳට) කියලා තියෙන්නේ. එයත් එනවා. දිලිප් එක්ක කතා කරන්න විනාඩි පහක් එයා අරං දේවි. නැත්නම් මේ මිනිහා ටයිම්ස් බිල්ඩිමේ තුන්වැනි තට්ටුවෙන් බිමට පනීවි.’
මම බොල්ගොඩට ගියා. මට දිලිප් හමුවීමට තනිවම අවස්ථාව ලැබුණා.”
“මිස්ටර් දිලිප් ඔබේ හොඳම චිත්‍රපටය කුමක් ද?”
“තවම ඒ චිත්‍රපටය නිපදවා නැහැ.” ඔහු කිව්වා.
සිගරැට්ටුව දල්වා ගැනීමට දිලිප්ට ගිනි පෙට්ටියක් වුවමනා වුණා. මගේ ගිනි පෙට්ටියේ තිබුණේ එකම ගිනිකූරයි. මා ඒ බව කියා එය දිලිප්ට දුන්නා.
“එක ගිනිකූරක් ලෝකය ගිනි තියන්න සෑහෙනවා” කියමින් දිලිප් දුම්වැටිය දල්වා ගත්තා. හිස් ගිනි පෙට්ටිය ආපසු ඉල්වාගත් මම එය සිහිවටනයක් ලෙස ගෙදර ගෙන ගියා. නොයෙක් ලට්ට ලොට්ට තැන්පත් කර ඇති පරණ ට්‍රන්ක් පෙට්ටියේ තවම ඇති.”
ජයලත් මෙසේ පැවැසුවේ 1975 දී පමණය. ආතර් යූ. අමරසේන 1960 දී පමණ ‘චිත්‍රවාහිනි’ නමින් චිත්‍රපට සඟරාවක් සංස්කරණය කළ කාලේ චිත්‍රපට බෙදාහරින්නකු හා පසුව නිෂ්පාදකවරයකු වූ කේ.කේ. ජග්තියානි ඔහු අපූරු ආරංචියක් කීවේය.
“අමරේ හෙට හවස අපේ ගෙදර දිලිප් කුමාර් එනවා. කාටවත් කියන්න එපා. ඔයාට පත්තරේ පින්තූර ටිකක් ගන්නත් පුළුවන්.”
ඉබ්බා දියේ දැම්මා වගේ ආතර් පසු දා කැමරා ශිල්පි රැලෙක්ස් රණසිංහ හා ලේඛකයකු වූ ඔගස්ටස් විනායගරත්නම් සමග දිලිප් හමු වූහ.
“ඔබ කැමැති විදිහකට පින්තූර ගන්න.” දිලිප් නිහතමානීව රැලෙක්ස්ට කීය.
“පින්තූර ගන්න ගමන් අපි ටිකක් කතා කරමු ද” ඔගස්ටස් ඇසීය.
“අපි කොහොම ද ඔබට අමතන්නේ? මිස්ටර් දිලිප් කුමාර් කියන්න ද? එහෙම නැත්නම් මිස්ටර් කුමාර් කියන්න ද?” ආතර් ඇසීය.
දිලිප් කට කොණකින් සිනාසී ආතර්ගේ පිටට තට්ටු කොට, “සමාජයේ ඉහළ පන්තියේ ඉන්න කෙනකුට, වැඩිහිටි කෙනෙකුට මිස්ටර්, මිසිස් කියලා ඇමතුවාට වරදක් නෑ. මම පුංචි මිනිහෙක්. මට දිලිප් කියන්න.”
ටෝනි රණසිංහ විසින් 2005 වසරේ දිලිප් ගැන චරිතාපදානය ලියා පළ කළ අවස්ථාවේ අප හා ඔහු ගැන මෙසේ කීවේය.
බනී රූබන් ලියූ ඉංග්‍රීසි චරිතාපදානය දිලිප්ගේ ජීවිතයේ මෙහෙම ලියා තිබුණා.
දිලිප් කුමාර් ජීවිතයේ කිසිවකුට කිසිම උදව්වක් කරලා නෑ. ඔහු යම් උපකාරයක් කළා නම් එය ද කර ඇත්තේ තමාට පමණය. එයට හේතුව යුසුෆ් ඛාන් දිලිප් කුමාර් වුණේ දිලිප් කුමාර් කියන පෞරුෂයේ කර පිටින් කිසිවකුට යාමට නොවේ. අපි දන්නවා පුද්ගලයෙක් කොයි තරම් කුඩුකේඩු වංක වුණත් විවාහ වීමට බලාපොරොත්තුවෙන් අවංකව ප්‍රේම කරනවා නම් ඔහු නිර්ව්‍යාජ වෙනවා. නමුත් එවැන්නක් දිලිප් කුමාර් ගැන කියන්න බෑ. ‘නායදෝර්’ චිත්‍රපටය කරන කාලේ දිලිප් මධුබාලා සමඟ විවාහ ගිවිසගෙන හිටියා. මෙයට විරුද්ධ වුණේ මධුබාලාගේ පියා අතාවුල්ලා ඛාන්. මධුබාලා මේ චිත්‍රපටයේ ගිවිසුමට අනුව ඇය විත්‍රපට රූගත කිරීම් සඳහා බොම්බායෙන් පිට යාමට අකැමැති බව සඳහන් කර තිබුණා. චිත්‍රපට නිෂ්පාදක චොප්රා එක් දර්ශනයක් සඳහා බැංගලෝරය තෝරාගත් විට මධුබාලා එයට විරුද්ධ වුණා. චොප්රා මධුබාලාට එරෙහිව දැමූ නඩුවේදී චොප්රාගේ පැත්ත ගත්තේ දිලිප්. මෙය විවාහ ගිවිස සිටි මධුබාලාට බලවත් පහරක් වුණා. මධුබාලා යනු අශෝක් කුමාර් පවා අගය කළ රූප සම්පත්තියෙන්, ආකර්ෂණයෙන් ඉහළ අසාමාන්‍ය දක්‍ෂ නිළියක්. මේ නිළියගේ ජීවිතය යම් ලෙස අභාග්‍ය සම්පන්න වුණා නම් එයට වගකිව යුත්තා දිලිප් බව බනී රූබන් දිලිප්ගේ චරිතාපදානයේ සඳහන් කර ඇති බව ටෝනි රණසිංහගේ කෘතියේ සඳහන් වෙයි.
ටෝනි රණසිංහ ද දිලිප්ගේ රසිකයෙකි. ටෝනි ලියූ මේ ග්‍රන්ථයට පසුවදනක් ලියූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙසේ කියා තිබුණි.
“ඉන්දියානු සිනමාවේ ශ්‍රේෂ්ඨ තරුවක් වන දිලිප් කුමාර්ගේ චරිතාපදානය ටෝනි විසින් සිංහලයට නැගීම පිළිබඳව මම පුදුම නොවෙමි. ඒ බොලිවුඩ් සිනමාවේ භාවාතිශය නාට්‍යකාර රංග විලාසය යටපත් කරමින් සිනමාවෝචිත යථාරූපී රංග ක්‍රමවේදයක් බිහිකිරීමේ සමාරම්භකයා දිලිප් වන බැවිනි.”
භාරතීය සිනමාවේ ‘ශෝඛාන්ත නළුවා’ මිය ගියත් ඔහුගේ රංගනය නම් සදාකාලිකව අප සිත් තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් වෙනු ඇති.
(***)
(ඒ.ඩී. රංජිත් කුමාර)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිනමාවයි පුවත්පතයි යා කළ දිලිප් කුමාර්