ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ සත් වසරකට පෙර අප අතරින් වියෝ වූහ. ඔහුගේ කාබනික සිරුර දැන් අප අසල නැත. එහෙත් අජන්තා සැමරුම් පටුවතේ සොඳුරු මතක සිහිවටන බොහෝය.
ඔහුගේ පෑන් තුඩින් ලියැවුණු හැම ගීයක්ම සහෘද රසිකයාට සිහිවටනයකි. අජන්තා නම ඇසූ සැණින් අප මතකයට නැගෙණුයේ ඉන්දියාවේ අජන්තා ලෙන් හා එහි ඇති මනරම් බිතු සිතුවම්ය. ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ නමත් මෙරට සුභාවිත ගීත සාහිත බිතු මත සිත්තම් කළ සදා නොමැකෙන සොඳුරු සිතුවමක් වැනිය.
ගීත රචකයෝ හතු පිපෙන තරමට බිහිවෙති. එහෙත් සුභාවිත ගීතයට පණ පොවන, හුස්ම පිඹින වාග් චාතුර්යයෙන් පොහොණි ගේය කාව්‍ය සිත්තරුවෝ සුදුර්ලභයෝය. මෙනයින් දෙරියන්, සිවුරියන්, නවරියන් පද රචකයන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ දහ අට රියන් ගේය කාව්‍ය සිත්තරුවෙක් වූහ.
ගීතය වඩාත් භාවපූර්ණ වූ සාහිත්‍ය භාෂණයක් බවට පත් කරමින් දශක ගණනාවක් පුරා ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉටු කළ අප්‍රමාණ මෙහෙවර අමරණීය වෙති. අජන්තා රණසිංහ වූ කලී ලාංකේය සුභාවිත ගීතයේ භාෂානන්දයයි.
ඔහු ලියූ බොහෝ ගීත සංස්කෘත සිංහල මිශ්‍ර සුබස රස ගුලාවකි. චිත්ත රූපික ව්‍යාංජන රස ගුණ මංජරියකි. සාම්ප්‍රදායික සිංහල ගීතය සමතික්‍රමණය කරමින් ඊට ඇවැසි උසස් ප්‍රමිතිය ද සොයා පාදා දෙමින් සුභාවිත ගීතය දියුණු තියුණු කිරීමෙහිලා අවංකව මෙහෙසුණු ප්‍රතිභාපූර්ණ ගවේෂණශීලී ගේය පද රචකයකු වූ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ කාව්‍ය චින්තනය සහෘද රසික ප්‍රජාව තුළ මේසා චලනයක් ඇති කිරීමට හේතුභූත වූ කරුණු කාරණා කවරේද? ඔහුගේ ගී සංකල්පනාවල අර්ථ සාරය කුමක්ද?
අජන්තාගේ ගී පෙළහර හැත්තෑව දශකයේ ප්‍රධාන ගීත ධාරාව නියෝජනය කළේය. එකල අජන්තාගේ ගීතයක් නැති චිත්‍රපටයක් නොවීය. මෙනයින් අජන්තාගේ ගී සංකල්පනා රස නොවින්දෝ කලා විහීනයෝය. සිංහල ගීත වංශයේ අවිච්ඡින්නව ගලා යන ප්‍රේම ගීතාවලිය පිළිබඳ කතා කරන විට ආචාර්ය අජන්තා රණසිංහයන් අමතක කළ නොහැකිය.
අජන්තා ගීතාවලිය සැබැවින්ම අනභිභවනීය. විචිත්‍රෝපශෝභිතය. සබුද්ධිකය. ප්‍රේමයේ විරහා වේදනාව මෙන්ම විප්‍රලම්භශෘංගාරය දනවන ගීත ගොන්නක උරුමකරුවෝ ද අජන්තාවෝය. අජන්තා රණසිංහයෝ අසම්මත වචන නිමවූම්කරුවෙක් (The Unsurpassable Wordsmith) ද වෙති. පහත සඳහන් ගී මිණිමුතු තෙරස ඊට නිදසුන් නොවේද?
රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි
ගායනය: නන්දා මාලනී
සංගීතය: සරත් දසනායක
චිත්‍රපටය: දුහුලු මලක්
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉඳහල්ලා
ගායනය: සනත් නන්දසිරි
ලතා වල්පොළ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
ගායනය: පණ්ඩිත අමරදේව
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
අජන්තා රණසිංහයන්ගේ පෑන් තුඩින් ලියැවුණු යටකී ගීත ත්‍රිත්වය ම අතිශය ජනප්‍රියය. රසික තුඩග පිළිරැව් දෙන මේ ගී මිණිමුතු අමරණීය කව්‍යෝක්ති නොවේද? එකිනෙකට වෙනස් අරුත් දෙන මෙබඳු ගී දහසකටත් අධික ප්‍රමාණයක් අජන්තාවෝ ලියුවෝය. අජන්තා රණසිංහයන්ගේ භාෂා ඥානය පුළුල් වූයේ සම්භාව්‍ය සාහිත්‍ය ආනුභාවයෙනි. සිංහල ගීතයේ මතුපිට කලාත්මක භාවය ස්පර්ශ කරමින් ඒ සමඟ අනන්‍යවීමේ ලක්ෂණයක් අජන්තා තුළ නොවීය. විශේෂයෙන්ම ජීවිතය, සමජ හා සාහිත්‍ය ඔහුට වැදගත් වූ බැවින් ගීතය සාහිත්‍යයක් ලෙස දැකීමේ ශක්‍යතාව ඔහුට තිබිණි. අජන්තා රණසිංහයන්ගේ බොහෝ ගීත තුළ ශබ්ද මාධුර්යය අභිභවා අර්ථ මාධුර්යය නැගී සිටියි. ඇතැම් ගීතවලින් ඔහු සුවිශද කළ පරිකල්පන ශක්තිය ද අපූරුය. නිදසුනක් ලෙස ‘‘ආරාධනා’’ චිත්‍රපටයට ඔහු ලියූ ‘‘තිත් තිත් තිත් තිත්මුවන්ට’’ නමැති ළමා ගීතය පහත හකුළා දක්වමි.
තිත් තිත් තිත් තිත්මුවන්ට
තිත් තිබුණේ නැතිලු පුතේ
ඉස්සර කාලේ
ඉස්සර කාලේ
පුතා වගේ හරි හුරතල්
මුව පැටියෙක් දවසක් දා
දාංගලෙන් අම්මාගෙන්
කිරි බොනවාලු
අම්මාගේ කිරි බිඳු බිඳු
ඉහිරි ඉහිරි ඇඟ පුරාම
ඌ ලස්සන මුව පොව්වෙක්
වුණා පුතේ
එදා ඉඳන් සේරම මුව පැටවු එක්වෙලා
අම්මාවරු ළඟට ගිහින්
තුරුල්වෙලා - තුරුල්වෙලා
කිරි පාටින් තිත් තියාන ලස්සන වෙනවා
‘‘මං වගේ නේද අම්මා’’!
ගායනය: ළතා වල්පොළ
මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය: සරත් දසනායක
බැලූ බැල්මට සරල, සුගම පදවැලකි. එහෙත් මේ සුන්දර ළමා ගීයෙන් වුවද අජන්තා රණසිංහයන්ගේ පරිකල්පන ශක්තිය සහ ප්‍රතිභාව මොනවට පැහැදිලි වේ. දරුවාගේ ප්‍රශ්නයට මව දෙන පිළිතුර තාර්කික නොවුණද එහිදී රචකයා පළ කරන පරිකල්පන ශක්තිය ප්‍රබලය. මේ වනාහි ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයකුගේ සුවිශේෂ ලක්ෂණයකි. ධ්වනිතාර්ථපූර්ණ, සාහිත්‍ය රසයෙන් අනූන ගීපද මාලා රාශියක්ම රචනාකොට තිබෙන අජන්තා රණසිංහයන් ඉන් ඔබ්බට ගොස් සංස්කෘතිකමය ලක්ෂණද ගවේෂණය කොට ඇත.
ඔහුගේ ඇතැම් පදමාලා තුළ ස්වදේශයේ ළබැඳි බස් වහර ද (හද බස) සැඟවී තිබේ. පුරාණයේ විසූ මෙරට ස්වදේශිකයන්ගේ පපු කැනති හරහා ගලා ගිය ළසෝ ගීතයක, නෙළුම් කවියක, ගැල් කවියක, පැල් කවියක, පාරු කවියක හෝ දරු නැළවිල්ලක සෙවණැල්ල ඔහුගේ ඇතැම් ගීතවලට වැටී ඇත.
අජන්තා රණසිංහයෝ භාෂා ව්‍යවහාරයෙහි ව්‍යාංගයත්, ධ්වනියත් මැනවින් අවබෝධකර ගත් ශූර, ධීර ගේය කාව්‍යක්කාරයෙක්ද වෙති. ගීතය වූ කලී අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයකි. ගේය පද රචකයකුගේ සංකල්පනාවකට සංගීතයෙන් හා ගායනයෙන් නව අර්ථකථනද සම්පාදනයකොටගත හැකිය. එහෙත් ගීතය තුළින් අර්ථය අතික්‍රමණය කළ පුළුල් ආර්ථික, දේශපාලන හා සමාජ පැතිකඩක් නිරූපණය කිරීමේ ශක්‍යතාව සෑම ගේයපද රචකයකුටම නැත.
සරල, නොගැඹුරු හරසුන් විවරණ වෙනුවට නවීන අර්ථ විවරණ සපයන, හුදු ප්‍රකාශන වාගාලාප පසෙකළා සියුම් රස ජනනයට මුල පුරන සාහිත්‍ය රසයෙන් අනූන ගේය කාව්‍ය රචකයෝ අද විරල වෙති. එහෙත් අජන්තා රණසිංහයෝ මෙකී සියලු අභියෝග ජය ගත්හ. ඔහු ලියූ කිසිදු ගීතයක සක්ක පද නැත. සියලු යෙදුම් ඖචිත්‍යය. ඔහු ලියූ ගීත අතරින් ජනප්‍රිය තලයේ රැඳුණු ගීත බොහෝය.
විකසිත පෙම්, හන්තානේ කඳු මුදුන සිසාරා, රෑ දුරුරට මේ, බෝලවී අහුරු, තරු අරුන්දති, පාළොස්වක සඳ (පණ්ඩිත් අමරදේව) රන් කෙන්දෙන් බැඳ, (විශාරද නන්දා මාලනී) පොකුරු පොකුරු මල් සැණකෙළි (ලතා වල්පොළ) දුරස්වන්නට මේ ලෙසින්, කිරිකවඩි සිනා (දයාරත්න රණතුංග) පෙම් රජ දහනේ අහස් මාලිගා (රුක්මණි දේවි - මිල්ටන් මල්ලවාරච්චි) මේ මැයි ගහයට (මිල්ටන් මල්ලවාරච්චි) නින්දනේන රාත්‍රියේ, පාළු සුසානේ, රත්තරං පෙම් පුරාණේ (එච්.ආර්. ජෝතිපාල), පෙමාතුර හැඟුම්, ආදර සැමරුම් කැටිවුණු, නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් (සනත් නන්දසිරි) බෝධියේ විහාරයේ, දරුවෝ නැති අම්මාලා (නීලා වික්‍රමසිංහ), සිරිමා බෝමැඩ, මල් පොකුරු පොකුරු, බණින්නෙපා පොඩි දෝණිට (වික්ටර් රත්නායක), සුවඳ දැනී දැනී දැනෙනවා, ඉඳුනිල් ගඟුලැල්, උකුලට නාවත් එදා වගේ, මිදුලේ අතන නංගෝ (රූකාන්ත ගුණතිලක) මේ අයුරින් අපි සංසරයේ (ටි.එම් ජයරත්න) යනාදී ගීත අජන්තා ගීතාවලියේ අනගි ගී මිණිරුවන් නොවේද?
අජන්තා රණසිංහයෝ පෙදෙහි රසහව් සොයා ගිය අපූරු සෞන්දර්යවාදියෙක් ද වෙති. ඔහු සුභාවිත ගීතය ඔස්සේ විවිධ ඉසව් සංස්පර්ශය කළේය. ඔහු එඩ්වඩ් ජයකොඩිට ලියූ ‘‘මුව මුක්තා ලතා’’ නමැති මහඟු ගීමිණද එබඳු විශිෂ්ට ගීතයකි.
ගීතයකින් සිදුවිය යුත්තේ භාව ප්‍රකෝප කිරීම නොව භාව විකසිත කිරීමය. එහෙත් අද ඇසෙන බොහෝ ගීතවලින් සිදුවන්නේ ජුගුප්සිත හැඟීම් ඇතිකොට භාව භංග කිරීමය. එසේත් නැත්නම් හඩු භාෂා හරඹය. ගේය පද රචකයන් මොන තරම් ආකෘතික, වචන හරඹ කළද මිනිස් හැඟීම් නමැති ක්ෂේත්‍රය මගහැර නොයා යුතුය.
ගීතයක ජීවිතය නැතිනම් එය කඩදාසි ගෙයක් බඳුය. මානව හැඟීම් යනු ආලය, රාගය, වෛරය, ක්‍රෝධය, සතුට, සන්තාපය, ජුගුප්සාව යනාදියයි. කලාවේ සාරය වන යට කී ලක්ෂණ නොවේ නම් එය ගීතයක් නොවන්නේය. ඕනෑම කලා කෘතියක කර්තව්‍ය නම් එය සමඟ සම්පර්කයට සම්ප්‍රාප්ත වන රසිකයා තුළ මානව හැඟීම් හෝ හැඟීමක් පෝෂණය ද ශික්ෂණයද කිරීමය.
අජන්තා රණසිංහයෝ මෙකී ගුණාංග ප්‍රගුණ කළ ගේය පද රචකයෙක් ද වෙති. අජන්තා රණසිංහයෝ සිය ජීවිතය වටා රොක්තවූ සමාජ හා පුද්ගල අනුභූති ඔහුට රිසි ආකාරයට කපාකොටා මැණික්කරුවකු ස්වකීය මැණික් ඔපමට්ටම් කොට එහි ප්‍රහර්ෂය උත්පේරණය කරන්නා සේ සුභාවිත ගීතය උත්කර්ෂයට නැංවූහ.
මෙනයින් මෙරට අතළොස්සක් තරම් වූ මහා ගේය පද රචකයන් අතර ඔවුහු ඉහළින්ම වැජඹෙති. ඔහු සිය දියණිය සාරංගා වෙනුවෙන්ද අපූරු ගීතයක් ලියුවේය. ඒ වික්ටර් රත්නායක ගයන සිරිමා බෝමැඩ නමැති ගීතයයි. එපමණක් නොව ඔහු මානව දයාවෙන් පිරුණු වැදගත් මහත්මයෙක් ද වූයේය. ක්ෂේත්‍රයේ මිතුරු කලාකරුවන්ට සිදුවන අගතීන්, අසාධාරණයන්ට එරෙහිව අජන්තාවෝ නැගී සිටියහ. කලා ලෝකය යනු වෘත්තිය ඊර්ෂ්‍යාකරුවන්ගෙන් ගහන සතුන්වත්තක් යැයිද ඇතමෙක් කියති. කලා ලෝකයේ කැපිලි, කෙටිලි, කෙනෙහිළිකම් එමටය. මේ වූකලී මාධ්‍ය ක්ෂේත්‍රයට නොදෙවනි පොරපිටියකි.
වරක් සුනිල් ශාන්තයන්ට මෙන්ම ධර්මදාස වල්පොළයන්ට ද සංගීතය එපාවිය. ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ම ගිය ඔවුහු සියල්ල හැරපියා ගෙදර ගොස් කුලියක් මලියක් කරගෙන ජීවත්වීමට සිත හදා ගත්හ. සුනිල් ශාන්ත රේඩියෝ අලුත්වැඩියා කළේය. ධර්මදාස වල්පොළ සිල්ලර කඩයක බඩු වික්කේය. මුදල්, තාන්න මාන්න වෙනුවෙන් ප්‍රතිභාව වෙන්දේසි නොකළ මේ අභීත කශේරුකා සහිත ගායකයෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කලාකරුවෝය. එහෙත් ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ඇරියුමෙන් සහ ඇවටිල්ලෙන් ධර්මදාස වල්පොළයෝ නැවත ගායනයට පිවිසියහ.
අජන්තා රණසිංහයන් ලියූ ‘‘උත්තම මුනිදළදා වඩම්මන’’ නමැති සුවිශිෂ්ට ගීතය වල්පොළයන්ට ගායනා නොකර සිටීමට නොහැකි විය. එතැන් පටන් මියෙනතුරුම වල්පොළයෝ ගීත ගායනා කළහ. 2016 පෙබරවාරි 27 වැනිදා අකල් මරණයට පත්වන කල්හි අජන්තා රණසිංහයෝ ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක ධුරයක් හොබවමින් සිටියෝය. අවසාන වශයෙන් යමක් කිය යුතුය. අජන්තා රණසිංහයන් සතු වූ කෞශල්‍ය ඔවුනට පිනට ලැබූණූ දෙයක් නොව එය නෛසර්ගික ප්‍රතිභාව හේතුකොටගෙන ලද දායාදයකි. මේ පිළිබඳ සංස්කෘත කාව්‍ය විචාරකයකු වූ දණ්ඩීන් ආචාර්යවරයා මෙසේ කීය.
නෛසර්ගිකී ච ප්‍රතිභා
ශ්‍රැතං ච බහු නිර්මලං
අමන්දශ්චානුයෝගං ස්‍යා
දේතත් කව්‍යස්‍ය සම්පදම්
(නෛසර්ගික ප්‍රතිභාව ද නිර්මල වූ බොහෝ උගැන්මද නොමද සතතාභ්‍යාසය ද කලාවේ හේතු නම් වන්නේය.) අජන්තාවෝ මේ ත්‍රිවිධ සම්පතක්ම නොමඳව ලදහ.
අජන්තා පෙදෙහි රසහව්
නොවිඳි දනා කවුරුද පවසව්
ශෂී ප්‍රභාත් රණසිංහ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුභාවිත ගීතයේ භාෂානන්දය අජන්තා රණසිංහ
ගාමිණී ජයලත් Wednesday, 01 March 2023 04:49 PM
එතුමා මෙරට බිහිවූ අග්‍රගණ්‍ය ගීපද රචකයෙකි. එතුමාට නිවන්සුව ලැබේවා...!