IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


සෑම දෙනාටම සරසවි වරම් ලැබීමේ මග

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දු වලින් එකක් වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය උදෙසා සුදුසුකම් ලැබූ සියල්ලන්ටම තෘතීය අධ්‍යාපනය ලබාදීමය. මෙම පොරොන්දුව දෙන ලද්දේ අපේ රට ඊළඟ මට්ටම කරා ගෙනයාමට අනාගත තරුණ පරපුර සූදානම් කිරීම උදෙසාය. මෙය මැතිවරණ වේදිකාවේ සුපුරුදු පොරොන්දුවක් වුවද මෙය රටේ යථාර්ථය හා මැනවින් ගැළපෙන්නකි. ජනගහනයට අදාළ සියලු සාධක සැලකිල්ලට ගත්විට ජනතාවගේ අධ්‍යාපන මට්ටම යන්නෙහි ඇත්තේ වැඩි අගයකි. අධ්‍යාපනය ලැබූ ජනතාවක් සිටීම රටට අගනා සම්පතකි. රටක සංවර්ධනයේදී එරටේ ආර්ථිකයටත්, සමාජයටත් උගත් මානව ප්‍රාග්ධනය දක්වන දායකත්වය අති වැදගත්වේ. අධ්‍යාපන මට්ටම ප්‍රාථමික, ද්විතීය, තෘතීය හා උසස් අධ්‍යාපනය යනුවෙන් වර්ග කෙරේ.

හොඳින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබූ ජනතාවක් රටක සිටීමෙන් එරට අධ්‍යාපන මට්ටමේ උසස් බව පිළිබිඹු වෙයි. බොහෝ සංවර්ධිත රටවල් හා දියුණු වෙමින් පවතින රටවල් මෙම කඩ ඉමට පැමිණ තිබේ. රටේ අධ්‍යාපන මට්ටම පහත නම් එයද එරට සංවර්ධනයට අහිතකර ලෙස බලපානු ඇත. ශ්‍රී ලංකාව තුළ තෘතීය අධ්‍යාපනය හැදෑරූ අය සිටින්නේ ජනගහනයේ ඉතා සුළු කොටසකි. මෙසේ වීමට වැඩිපුරම හේතුවී ඇත්තේ රට තුළ බහුතරයකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබීමයි. මේ වනවිට දරුවන් 160,000 කට සමීප සංඛ්‍යාවකගෙන් තෘතීය අධ්‍යාපනය ලැබීම සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ 30,000 ක් පමණි. මෙය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 0.067% ක් පමණි. කලාපීය මට්ටම වූ 3% - 5% සැලකූවිට මෙය ඉතා අඩු ප්‍රතිශතයකි. සමස්ත දරුවන්ගෙන් 20% ක් පමණක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බව මින් පෙනී යයි. එබැවින් වාර්ෂිකව 130,000 කට වැඩි පිරිසකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීම යෝධ කර්තව්‍යයක් වනු ඇත.
 
දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති මෙරට විශ්වවිද්‍යාල 18 කි. එම නිසා සිසුන් 130,000 ක් ඇතුළත් කර ගැනීමට නම් අවම වශයෙන් අලුත් විශ්වවිද්‍යාල 25 ක් වත් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ යුතුවේ. දැනට පවතින ගෝලීය ආර්ථික අවපාතය හමුවේ අලුත් විශ්වවිද්‍යාල ගොඩනැගීම උදෙසා රජයේ ප්‍රතිපාදන යොදා ආයෝජනය කිරීම ප්‍රායෝගික නොවේ. එම නිසා අවම විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් ගොඩ නැගීමට දැනට පවතින සම්පත් උපරිම අයුරින් රජය භාවිතා කළ යුතුවේ. එසේම දේශීය හා අන්තර්ජාතික විදේශීය ආයෝජකයන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කෙරේ දිරිමත් කිරීමද රජය විසින් කළ යුතුය.

1945 න් ඇරඹි අවුරුදු 75 ක් තිස්සේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය ගැන සමාලෝචනය කිරීමකින් තොරව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ගැන සාකච්ඡා කළ නොහැකිය. නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරුන්, ද්විතීය අධ්‍යාපනයෙන් තෘතීය අධ්‍යාපනය වෙත මේ සා විශාල සිසුන් ප්‍රමාණයක් පැමිණෙතැයි සමහරවිට අපේක්‍ෂා නොකරන්නට ඇත. තෘතීය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සිසු සංඛ්‍යාව වැඩි වෙද්දී ඊට ස්ථිරසාර විසඳුමක් දීම ගැනද ඔවුන් සිතා නැත. මෙහි ප්‍රතිඵලය වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් 80% කගේ අධ්‍යාපනය අතරමග ඇණ හිටීමයි.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්ථා මඳවීම හේතුවෙන් අහිතකර සමාජ බලපෑම්ද නිර්මාණය වී තිබේ. මේ නිසා සිසුන් අතරත්, මවුපියන් අතරත්, පාසල් අතරත් තරගයක් හටගෙන ඇත. මවුපියෝ නොසෑහෙන මුදලක් තම දරුවන්ට ප්‍රයිවට් ටියුෂන් දීම සඳහා වැය කරති. මේ නිසා දරුවන්ගේ මනසේ අනවශ්‍ය මානසික ආතතියක් හටගෙන ඇත. ඔවුන්ගේ ළමා කාලයේ නිර්මාණශීලී බව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අරගලයේදී යටපත් වෙයි. සුදුසුකම් ලබන දරුවන්ගෙන් 80% කට විශ්වවිද්‍යාල වරම් අහිමිවන නිසා මේ සියල්ල සම්පත් නාස්තියක් බවට පත් වෙයි.

අද නිදහස් අධ්‍යාපන ක්‍රමයද 100% ක්‍රියාත්මක නොවන බව සමීපව කරුණු පරීක්‍ෂා කිරීමේදී පෙනී යයි. පාසල්වලට ඇතුළත් වීමේ ගාස්තුද ඉහළය. ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලබා දීමේදී මවුපියෝ සියලු විෂයයන් උදෙසා ටියුෂන් ගාස්තු වැය කරති.


අවස්ථා හා සීමාකරණ
විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීමේ ගැටලුවට පිළිතුරු ලබාදීම පහසු කටයුත්තක් නොවේ. අරමුදල් සීමා සහිත වීම, උපාධිධාරීන්ට රැකියා අවස්ථා සලසා දීම, විවිධ පක්‍ෂ අතර දේශපාලන ගැටුම් ආදිය මෙම ගැටලුව හා බද්ධ වී තිබේ. මේ සියලු බාධක මැද වරින් වර පැමිණි  ආණ්ඩු විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීමට විවිධ ක්‍රමෝපායන් යොදා තිබේ. පෞද්ගලික (වෛද්‍ය) විද්‍යාල ස්ථාපිත කිරීම, විවෘත විශ්වවිද්‍යාල, ප්‍රාදේශීය විශ්වවිද්‍යාල, බාහිර උපාධි ප්‍රදානය කිරීමේ වැඩසටහන්, ඔන්ලයින් උපාධි වැඩසටහන්ද ආරම්භ කොට ඇත්තේ ඒ අනුවය. රාගම සහ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාක්ස්වාදී දේශපාලන පක්‍ෂවල උද්ඝෝෂණත්, ඇතැම් වෛද්‍ය අංශවල අන්තරාවර්ථික ක්‍රියා නිසාත් වසා දැමීමට සිදුවිය.
බොහෝ ශ්‍රී ලාංකිකයනට අසාධාරණයකි

ශ්‍රී ලංකාවේ බහුතර මවුපියෝ බදු ගෙවන්නෝය. ඔවුන්ගෙන් බොහෝ දෙනකුගේ දරුවනට නිදහස් උසස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ නොලැබේ. ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් ද්විතීය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සඳහා වැය කරන බැවින් මේ නිසා සමස්ත ශ්‍රී ලාංකික ජනයාගෙන් වැඩි කොටසකට සිදුවන්නේ අසාධාරණයකි.

විශ්වවිද්‍යාලයීය උසස් අධ්‍යාපනය සපයනු ලබන්නේ රජය පමණක් බැවින් ඒ තුළ ස්වයං අධීක්‍ෂණයක් හෝ තරගකාරී බවක් හෝ තත්ත්වයෙන් වර්ධනය වීමේ තාක්‍ෂණයක් නොමැත. පසුගිය අවුරුදු 30ට ම සිසුන් වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කරගන්නා විශ්වවිද්‍යාලයක් අලුතෙන් ස්ථාපිත කර නැත. 1980 ගණන්වල රුහුණ විශ්වවිද්‍යාලය ඇරඹීමෙන් අනතුරුව එවැනි විශ්වවිද්‍යාලයක් ස්ථාපනය වූයේ නැත.


1. ගතානුගතික නොවූ යෝජනා
මෙම අසම්මත යෝජනා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කවයන්ට අලුතෙන් හඳුන්වාදෙන ඒවාය. සාමාන්‍ය ජනතාව එකහෙළා ඒවා අනුමත නොකරන්නටද පිළිවන. පවතින සම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගනිමින් රජය මත පැටවෙන ප්‍රාග්ධන වියදම්වල බර අවම කිරීමේ අරමුණෙන් මෙම යෝජනා ඉදිරිපත් කෙරේ. එකී අසම්මත (ගතානුගතික නොවූ) යෝජනා පහත දැක්වේ.

එකම පාඨමාලාව උදෙසා උදය වරුවේ එක් කණ්ඩායමකටත් සවස් වරුවේ තවත් කණ්ඩායමකටත් පන්ති පැවැත්වීම
රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නට ප්‍රධාන හේතුව විශ්වවිද්‍යාල 18 තුළ පවතින ඉඩකඩ මදි වීමය. දේශන ශාලා සීමාවීම, කථිකාචාර්යවරුන් හිඟවීම හැරුණුකොට ප්‍රායෝගික විෂය සඳහාත්, පුස්තකාල සඳහා ඉඩකඩද සීමා වී තිබේ. එකම අධ්‍යාපන වසරේ සිසු කණ්ඩායම් දෙකකට මෙසේ උදේ/ සවස දේශන පැවැත්වීම මගින් ඉඩකඩ මදිවීමේ දුෂ්කරතාව ජයගත හැකිය. මෙහිදී රජයේ අයවැයෙන් අමතර ප්‍රාග්ධන වියදම් වැය කළ යුතු නැත. මේ මගින් දේශකවරුන් සහ වෙනත් කාර්ය මණ්ඩල සේවයේ යොදවා ගැනීමද වැඩි කළ හැකිවේ. පවතින යටිතල පහසුකම් වැඩි නොකොට මේ මගින් බඳවා ගන්නා සිසු සංඛ්‍යාව ඉහළ දැමිය හැකිය.

මෙම ක්‍රමය වැඩිදියුණු කොට රැකියාවල නිරත වූවන් සඳහා රාත්‍රී දේශන පැවැත්වීමද ආරම්භ කළ හැකිය. එම රාත්‍රී පාඨමාලා මුදල් අය කොට පවත්වා ගැනීමද අසාධාරණ නොවේ.


විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත පාඨමාලා පැවැත්වීම
දැනට විශ්වවිද්‍යාල සඳහා වෙන්වෙන ප්‍රතිපාදනවලින් 78% ක් වැය වන්නේ එදිනෙදා (පවත්වා ගැනීමේ) වියදම් උදෙසාය. පවතින පහසුකම් පුළුල් කිරීම සඳහා වැය කිරීමට ඉතිරි වන්නේ සුළු මුදලකි. මෙම ප්‍රාග්ධන වියදම්වලින් පවා ඉදිකිරීම්වලට වෙන් වන්නේ 53.42% ක මුදලකි. මේ හේතුව නිසා විශ්වවිද්‍යාල 18 ම ඉඩකඩ පුළුල් කිරීම උදෙසා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොවේ.

මේ නිසා දැනට යොදා ගත හැකි හොඳම විකල්පය වන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත පාඨමාලා පැවැත්වීමයි. ප්‍රායෝගික පාඩම්, විද්‍යාගාර පහසුකම් අවශ්‍ය නොවන විෂයන් මේ සඳහා තෝරා ගැනීම සුදුසුය. දැනට බොහෝ රටවල් මෙම ක්‍රමය අනුගමනය කර තිබේ.


2. පොදු ප්‍රවේශය
රාජ්‍ය ආයතන හරහා උපාධි පාඨාමලා ඇරඹීම:-

රාජ්‍ය ආයතනවලට තමන්ටම කියා උපාධිධාරීන් බිහි කළ හැකිය. මේ සඳහා හොඳම උදාහරණය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයයි. ඒ මගින් ආරක්‍ෂක බලකායන්ටත් ශ්‍රී ලාංකීය සමාජයටත් අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සහිත උපාධිධාරීන් බිහි කෙරේ. මෙම යාන්ත්‍රණය රාජ්‍ය අංශයේ අනෙකුත් ආයතනවලටද පෞද්ගලික අංශය සමග සහයෝගයෙන් යොදා ගත හැකිය. ධීවර අමාත්‍යාංශය මැදිහත්වී මුහුදු හා වෙරළාශ්‍රිත කටයුතුවලට අදාළ (සාගර කටයුතු) උපාදි ප්‍රදානය කළ හැකිය. එසේම කම්කරු අමාත්‍යාංශයට, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට, අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මෙම ක්‍රමය යොදාගත හැකිවේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ මෙම පාඨමාලාවල තත්ත්වය පවත්වාගෙන යෑම යෝග්‍යය.


දුරස්ථ අධ්‍යාපන උපාධි පාඨාමාලා අනුබද්ධ විශ්වවිද්‍යාලවල සහායෙන් ඇරඹීම
දුරස්ථ අධ්‍යාපන පාඨමාලාවකදී තනි සිසුවකුට යන වියදම සාමාන්‍ය විශ්වවිද්‍යාල පාඨමාලාවක තනි සිසුවකුට යන වියදමෙන් 10% ක් බව ඇස්තමේන්තු කර තිබේ. මෙම පාඨමාලාවල වාසි දෙකකි. මේවා අර්ධකාලීනව හැදෑරිය හැකිය. එමෙන්ම පෞද්ගලික අපහසුතා ඇති අයට (විවාපත් කාන්තාවන් ආදීන්ට) මේවා හැදෑරීය හැකිය. මේවා රැකියා කරන සිසුන්ටද හැදෑරීම පහසුය.

පහසුකම් අඩු දිස්ත්‍රික්කවල සෑහෙන සිසු සංඛ්‍යාවක් වෙසෙන බැවින් මේ ක්‍රමය මගින් දිස්ත්‍රික් මට්ටම කරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ව්‍යාප්ත කළ හැකිවේ. ප්‍රායෝගික පාඩම් සහ විද්‍යාගාර තුළ අධ්‍යයනයත් අදාළ නොවන පාඨමාලා මේ සඳහා තෝරා ගැනීම යෝග්‍ය වේ.

දැනට බාහිර උපාධි වැඩසටහන් වැඩිපුර පවත්වාගෙන යන්නේ ශ්‍රී ජ’පුර, කැලණිය සහ පේරාදෙණිය සරසවිවල පමණකි. මෙම ප්‍රවණතාව යාපනය සහ රුහුණ විශ්වවිද්‍යාල දක්වා ව්‍යාප්ත කිරීමද වඩාත් ඵලදායී වේ. වැඩි සිසු සංඛ්‍යාවක් ඒ මගින් උපාධි සඳහා ලියාපදිංචි කළ හැකිවේ.

බාහිර උපාධි වැඩසටහන්වලට ඔන්ලයින් උපාධි වැඩසටහන්වල සහාය ලබා ගැනීම මගින් අන්තර්ක්‍රියා ඉගෙනුම් කලින් කලට ඵලදායී වේ. බොහෝ සංවර්ධිත රටවල මේ ක්‍රමය බොහෝ සෙයින් උපයෝගී කර ගැනේ. විශේෂයෙන් කොවිඩ් 19 වසංගතය පවතින මෙම අවධියේ ඔන්ලයින් ඉගෙනුම් ඉතා වැදගත් වූයේය.

අනාගතයේදී භෞතිකව නැතිමුත් නාමික නොවූ ‘‘අතථ්‍ය විශ්වවිද්‍යාල’’ මගින් රැකියාවල නිරතවන සිසුන් උදෙසා උපාධි පාඨමාලා පිරිනැමීමේ ප්‍රවණතාවක් පෙනේ. සිසුවාට නිවසේ සිටද එම පාඨමාලා ඔන් ලයින් මගින් හැදෑරිය හැකිය. වැඩිවන විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා මේවායින් යම් ආකාරයක විසඳුමක් දිය හැකිය.


3. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ සියලුම සිසුන්ට එම අධ්‍යාපනය ලබාදීමට රජය පසුගිය 71 වසර පුරාම නොහැකි විය. රජයේ ඒකාධිකාරීත්වය යටතේ පවතින විශ්වවිද්‍යාල පද්ධතිය හරිහැටි පාලනය කර ගැනීමටද රජය අසමත් වී තිබේ. මීට පිළියමක් ලෙස රජයේ සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාව ඇතිව විශ්වවිද්‍යාල (PPP) බිහිකිරීමට බොහෝ රටවල් සමත්වී තිබේ. විදේශ ආයෝජන හරහා මෙහිදී පෞද්ගලික අංශය දායක කර ගෙන තිබේ.


පෞද්ගලික විශ්වවිද්‍යාල
රෝහල්, ප්‍රවාහන හා පාසල් පවත්වාගෙන යාමට රජය පෞද්ගලික අංශයට අවසර දුන්නාක් මෙන් පෞද්ගලික අංශයට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටද අවසර දිය යුතුය. කලාපීය රටවල් හා සසඳා බැලූවිට මෙම ප්‍රවණතාව මැනවින් වටහා ගත හැකිය. ඉන්දියාවේ රජයෙන් මෙහෙයවන උසස් අධ්‍යාපන ආයතන මෙන් දස ගුණයක් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇත. ඉන්දියාවේ, රාජ්‍ය (උසස් අධ්‍යාපන ආයතන 337 කට පෞද්ගලික ආයතන 3616 කි). පාකිස්ථානයේ 547 : 957 කි, හෙවත් දෙගුණයකි. බංග්ලාදේශයේ 21 : 199 කි, හෙවත් (දස ගුණයකි). නේපාලය ඇතුළු මෙම රටවල ඒකපුද්ගල ආදායම අපට වඩා අඩු වුවද එම රටවල් සාර්ථකව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන පවත්වා ගැනීමට සමත්වී තිබේ. ඒ ඒ රටවල් අතරද විශ්වවිද්‍යාල සහයෝගීතා හුවමාරු වැඩසටහන් මේවායේ පැවැත්වේ. චීනය බඳවා ගන්නා විදේශ සිසු සංඛ්‍යාව වැඩිකොට තරු පන්තියේ පර්​ෙ‌ය්ෂකයන් හා බුද්ධිමතුන් ආකර්ෂණය කරගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමෙන් පහත සඳහන් වාසි අත්පත් කරගත හැකිය.

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටවූ විට රාජ්‍ය විශ්වවිද්‍යාලද ඒ නිසා ඉහළ මට්ටමේ ප්‍රමිතියක් පවත්වා ගැනීමට පෙළඹේ. මේ මගින් ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යා හැකිය. මෙම පෞද්ගලික හා රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාල අතර ඇතිවන තරගකාරී බව නිසාද උසස් ප්‍රමිතියක් කරා යාමට අංශ දෙකම උනන්දු වේ.

රාජ්‍ය අංශයේ සරසවි වරම් නොලැබූ සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල විකල්ප අධ්‍යාපන අවස්ථා පෑදේ. එතෙර ගොස් උසස් අධ්‍යාපනය ලැබීමට වඩා සිසුන් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල තෝරාගැනීමට පෙළඹේ. පෞද්ගලික අංශයේ ආයෝජන විශ්වවිද්‍යාල කරා ආකර්ෂණය වීම ආර්ථිකයේ ආයෝජන පුළුල් කිරීමක් වේ. රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කිරීමටද රජයට මේ නිසා අවකාශ ඇතිවේ. පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල උදෙසා රැකියා අවස්ථා පෑදීමද තවත් වාසියකි.

බුද්ධිගලනය සීමා කිරීමටද, විදේශ විනිමය ඉපයීම් වැඩිකර ගැනීමටද පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම නිසා අවස්ථාව පෑදේ.


විදේශ විශ්වවිද්‍යාල
විදේශීය විශ්වවිද්‍යාලවලට ශ්‍රී ලංකාව තුළ තම ශාඛා පිහිටුවීමේ අවස්ථාවද (පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අවසර දීම නිසා) මේ මගින් පෑදේ. ඊජිප්තුව, එ. ආරාබි එමීර් රාජ්‍ය, බහරේන්, චීන්‍ය, ඉන්දියාව, මැලේසියාව ආදී රටවල උසස් අධ්‍යාපනය අතින් විප්ලවීය වෙනසක් සිදුවනුයේ ගෝලීය ප්‍රවණතාවක් ලෙසිනි. ලෝකයේ ප්‍රමුඛ ගණයේ විශ්වවිද්‍යාල වූ හාර්වඩ්, ස්ටැන්ෆර්ඩ්, මොනෑෂ්, සෝර්බෝන් ආදී විශ්වවිද්‍යාලවලට ඒ ඒ රටවල ආණ්ඩු තම රටේ ශාඛා ආරම්භ කරන ලෙස ඇරයුම් කර තිබේ.

විදේශ විශ්වවිද්‍යාලවල ශාඛා මෙරට පිහිටුවීම මගින් මෙරට විශ්වවිද්‍යාලවල තත්ත්වයද ඉහළ නංවා ගත හැකිය. ශ්‍රී ලංකාවේ සරසවිවල ශ්‍රේණිගත මට්ටමද ඉහළ යාමට ඒවා නන් අයුරින් හේතුවේ.

මීට අමතරව රාජ්‍ය ආදායම ඉහළ යාම, විදේශ විනිමය ඉපයීම් වැඩිවීම, රැකියා අවස්ථා පෑදීම, බුද්ධි ගලනය අඩුවීම ආදී වාසි රාශියක්ද විදේශ විශ්වවිද්‍යාලවල ශාඛා පිහිටුවීමට අවසර දීම මගින් සිදුවේ.


පෞද්ගලික විද්‍යායතන (පෞද්ගලික කොලීජි)
පූර්ණ පහසුකම් සහිත පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හෝ විදේශීය විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම සඳහා සැලකිය යුතු ප්‍රාග්ධනයක් සම්පත් ප්‍රමාණයක් හා විශේෂඥ දැනුමක් වැයවේ. ඒවා පිහිටුවා ක්‍රියාකාරී මට්ටමට ගෙන එන්නට යම් කාලයක්ද ගතවේ. එම කාල පරතරය පියවීමට යෙදිය හැකි හොඳම පිළියම, විශ්වවිද්‍යාල උපාධි පිරිනමන පෞද්ගලික කොලීජි පිහිටුවීමයි. මෙම කොලීජි දේශීය හෝ අන්තර් ජාතික විශ්වවිද්‍යාවලට අනුබද්ධ කළ හැකිය. වතු කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය, විශ්වවිද්‍යාල හා තාක්ෂණය ආදී විෂය ධාරාවලට විශේෂ වූ පෞද්ගලික කොලීජි මේ අනුව පිහිටුවීම යෝග්‍යය.

 
නිගමනය/ සමාප්තිය
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සියලු සිසුන්ට එකී උසස් අධ්‍යාපනය පිරිනැමීම කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ  මැතිවරණ ප්‍රකාශයේ විශේෂ අවධානයක් යොමුකර තිබිණි. මෙම කාරණයට අදාළ සවිස්තර යෝජනා ලබා ගැනීම කෙරේ ඊට අදාළ අමාත්‍යාංශවලත්, තීරණ ගන්නවුන්ගේත් අවධානය යොමු කිරීම ජනාධිපතිවරයා කළ යුත්තකි. එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාල රාමුවක් ඊට අදාළ අයවැයත්, අවශ්‍යවන සම්පත් ආදිය කෙරේත් ඔවුන් සැලකිල්ලට යොමු කළ යුතුය. යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එම ප්‍රතිපත්ති පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇති කිරීමද වැදගත්ය.


අපේ දරුවනට වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලුවක් නිරාකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බැරූරුම් උත්සාහයක් දරන්නේ නම් ඔහුට පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් මේ සම්බන්ධයෙන් තිබිය යුතුය. මීට එරෙහිව පැන නැගෙන විරෝධතා නොසලකා හැරිය යුතුය. ජාතික ගැටලුවක් බැවින් මේ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් දිය යුතුය.

How to Provide University Education for all Sri Lanka ලිපියේ සංක්‍ෂිප්ත පරිවර්තනයකි.
(*** පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ)



අදහස් (4)

සෑම දෙනාටම සරසවි වරම් ලැබීමේ මග

M.A.G Susantha Thursday, 18 June 2020 07:08 AM

දුප්පත්, පොහොසත් සියලු දෙනාටම රැකියා නැහැ. ඒ නිසා අපි හොඳ අධ්‍යාපනික රටාවක් ගොඩනගන්න ඕනෑ. සයිටම් වෛද්‍ය විද්‍යාලයත් මෙහිදී හොඳ තත්වයකට පිළිසකර කළ යුතුයි.

:       18       6

jagath Thursday, 18 June 2020 08:11 AM

මට හිතෙන්නේ උසස් අධ්‍යාපනය පැත්තෙන් ජය මාවත ජනාධිපතිතුමා විසින් වරද්දාගෙන. ඒකට හේතුව තමයි බන්දුල ඇමතිතුමාගේ හෙන්චයියන් ටික උසස් අධ්‍යාපනය වෙලාගෙන ඉන්නවා. ජ‘පුරේ අවුරුදු 5ක් අඳුරු වලාවක් තිබුණා. එය දැන් මුළු විශ්ව විද්‍යාල පද්ධතියටම පායලා. අැයි ජනාධිපතිතුමාට බැරි තාක්ෂණය දැනුම ඇති උගතුන් පත්කර ගන්න බැරි...? ජේෂ්ඨ මහාචාර්‍ය වුනත් පාඨශාලා ආචාර්‍ය කෙනෙක්ගෙවත් මොලයක් නැති අය වටකරගෙන කරන්නේ නාඩගමක්... ගෝඨාභය ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුත් ඡන්දය දුන් අපේ බලාපොරොත්තුත් බොඳවෙමින් පවතිනවා. විශ්වවිද්‍යාල පද්ධතියට එබිලා බලන්න මේ වෙලාවේ මොනවද සත්‍ය වශයෙන් වෙන්නේ කියලා...

:       0       27

janahitha UAE Sunday, 21 June 2020 09:13 AM

අගය කළ යුතු කාලෝචිත ලිපියක්... නොපමාව සිදුවිය යුත්තේ අනාගතයට සරිලන අධ්‍යාපනය ප්‍රතිපත්තියකි.

:       0       0

Movin Dasanayake Monday, 22 June 2020 05:18 AM

මුලින්ම උපාධිදාරී අයට රැකියා දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න. සරසවි වරම් ඔක්කොටෝම දීලා පාරවල් ගානේ ළමයි උද්ඝෝෂණය කරයි. දෙන්න හදපු රැකියා ටිකත් දුන්නේ නැහැ. තව ඩිග්‍රි දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 217 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 157 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 190 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 512 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 145 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 46 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 235 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 69 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1098 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site