ස්ත්‍රී, පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය යනු මාතෘකා දෙකකි. දරුවකු ස්ත්‍රියක හෝ පුරුෂයකු ලෙස හඳුනාගන්නේ ලිංගික අවයව පදනම් කරගෙනය. අවයව අනුව ස්ත්‍රියක ලෙස සමාජය හඳුනාගත් පුද්ගලයාට පුරුෂ සමාජ භාවයක් තිබිය හැකි අතර පුරුෂයෙකුට ස්ත්‍රී සමාජභාවයක් තිබිය හැකිය. එවැනි අය හඳුනාගත හැකිවන්නේ ඔවුනොවුන් සතුවන සමාජ චර්යාවන්ට අනුවය. මෙවැනි පුද්ගලයෝ සංක්‍රාන්ති සමාජභාවයක් ඇති අය ලෙස හඳුන්වති.
මෙවැන්නෝ පුරුෂයන් ලෙස ඉපදී සිටියත් ස්ත්‍රියක් ලෙස ජීවත් වීමට කැමැත්තක් දක්වති. ස්ත්‍රීන්ද එසේමය. වර්තමානය වනවිට වෛද්‍ය විද්‍යාව දියුණු තත්ත්වයකට පත්වී ඇත. ඒ නිසාම ගැහැනියක පිරිමියෙකු කිරීමටත් පිරිමියෙකු ගැහැනියක කිරීමටත් හැකියාව ලැබී ඇත.
හෝමෝන ප්‍රතිකාර හා ශල්‍යකර්ම මගින් එවැනි පරිවර්තනයන්ට ලක්වූ පුද්ගලයෝ බොහෝය. ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයට අනුව එවන්නන් ඵඞ යන නාමයෙන් හැදින්වේ. ලංකාවට නවක වුවද ලෝකයේ සංක්‍රාන්ති ලිංගිකයෝ සංක්‍රාන්ති ලිංගිකභාවය මෙය පිළිගත් රටවල වැදගත් වෘත්තීන්හි නිරතවෙති.
උදාහරණ ලෙස වෙනුසියුලාවේ දේශපාලන ක්‍රියාකාරිනියක වන තමාරා ඒඩි්‍රයන්, ජපානයේ දේශපාලන ක්‍රියාකාරිනියක වන ආයා කමිකාවා, ඉන්දියාවේ පොලිස් නිලධාරිනියක වන ප්‍රීතිකා යශිනි වැන්නන් පෙන්වා දිය හැකිය. මෙම පිරිසත් සමාජයේම ජීවත්වන එක් කොටසක් බැවින් ඔවුනගේ මානව අයිතීන් ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීම වේ. ඉන්දියාව නේපාලය වැනි රටවල් ඒ පිළිබඳව මානවවාදීව කටයුතු කරයි.
ලංකාවේද එවැනි පිරිස් ජීවත්වන අතර ලාංකීය ප්‍රජාව ඔවුන් අමුතු ජනකොටසක් ලෙස පිළිකුල් කරයි. එම නිසා ඒ පිරිසට සමාජමය වශයෙන් බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. පිරිමියෙකු ලෙස උපත ලබා ගැහැනියක සේ ජීවත්වන සකුණි මායාදුන්නට පසුගිය දිනක අපහසුතා රැසකට මුහුණපාන්නට සිදුවී ඇත. හැඳුනුම්පත් භාවිතය, පොදු වැසිකිළි භාවිතය, රැකියා කටයුතු සහ නීතිය ක්‍රියාත්මක කිරීම් ආදී බොහෝ අවස්ථාවල විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවී ඇතිබව ඇය පවසයි.
-“සිරකරුවෝද මනුෂ්‍යයෝ” ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සටහන්කර ඇත. සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස්වූවක් සංක්‍රාන්ති ලිංගිකයෝද මනුෂ්‍යයෝය. ඔවුන් හටද සමාජයේ ජීවත්වීමට නිදහසක් තිබිය යුතුය. මේ නිසාම සංක්‍රාන්ති ලිංගිකයන්ට ඇති ගැටලු හා සමාජ ප්‍රශ්න පිළිබඳ ඔවුන් හමුවී සාකච්ඡා කළෙමු.
ජූඩි ප්‍රනෑන්ඩෝ
විධායක අධ්‍යක්ෂ හාට්ටුහාට්
මෙය හාට්ටුහාට් ඕගනයිස්හේෂන් ආයතනය. මෙහි නිර්මාතෘ වරයා ලලිත් ධර්මවර්ධන. අපි වසර 5ක සිට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. එකක් මානව අයිතිවාසිකම් පැත්ත. අනික සෞඛ්‍ය පැත්ත. අද සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට එච්.අයි.වී. බෝකරන පිරිස සංක්‍රාන්ති ලිංගිකයෝ කියලා කෙළින්ම අත දිගු කරනවා ඔවුන් දිහාවට. අධි අවදානම් කණඩායමක් ලෙසයි ඔවුන්ව හඳුන්වන්නේ.
ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සහ ගෝලීය අරමුදල යටතේ කරන වැඩසටහන් වලදී මේ අය දැනුම්වත් කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදෙනවා. ඒ වගේම උපදේශනය ලබාදෙනවා. යම් අයෙකුට එච්.අයි.වී. පරීක්ෂණයක් කර ගැනීමට අවශ්‍ය බව හැඟුණොත් ඔවුන්ව ලිංගාශ්‍රිත රෝග මධ්‍යස්ථානයට යොමු කරනවා. මේ රටේ නීති පද්ධතියේ හැටියට 365 වගන්තිය යටතේ සමලිංගික ආශ්‍රය සාපරාධි අපරාධයක්. ඒ නිසා මේ පිරිස ඉදිරියට එන්නේ නෑ. ඒත් අපේ ආයතනය මගින් ඒ අයව දැනුවත් කරලා ඒ ඒ සෞඛ්‍ය වැඩසටහන්වලට යොමු කරනවා.
මෙය සමාජ සේවාවක්. අපි එහෙම නොකළොතින් එච්.අයි.වී. වගේම වෙනත් සමාජ රෝගක්. නිශ්ශබ්දවම සමාජයේ පැතිරී යන්න පුළුවන්. එය අඩු කිරීමයි අපේ පරමාර්ථය. හේතුව ලෝකය එච්.අයි.වී. අඩු කිරීමට කතා කළත් දවසින් දවස එච්.අයි.වී. වැඩිවීමයි සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්නේ. ඒ නිසා අධි අවදානම් කණ්ඩායමක් ලෙස හඳුන්වාදුන් මේ පිරිස අපි දැනුවත් කරනවා ඒ වගේම රජයේ වෛද්‍යවරයෙක් ගෙන්නලා මාස තුනකට සැරයක් දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. එහිදී මේ අය දන්නැති දේවල් දැන ගන්නවා.
මේ අයගේ මානව අයිතිවාසිකම් පැත්ත ගැනත් අපි කතා කරනවා. විශේෂයෙන්ම හැඳුනුම්පත්වල ගැටලු, සමාජයේදී ඇතිවන ගැටලු පිළිබඳ අපි මානව හිමිකම් සංවිධානත් එක්ක කතාකරලා සහනයක් ලබාදීමට කටයුතු කරනවා.
හේතුව පරණ හැඳුනුම්පත සහ දැන් ඉන්න තත්ත්වය දෙකක්. බැංකුවකට ගිහින් මුදල් ගනුදෙනු කරන්න බෑ. රැකියාවකට යන්න බෑ. ඉන්දියාව වගේ රටවල මේ පිරිස වෙනත් කියන කොටස යටතේ හඳුන්වා දෙනවා. (ගැහැනු / පිරිමි / වෙනත්). මේ අයට දේපළ ලබාදීමේදී වුවද ප්‍රශ්න ඇතිවෙනවා. සමහර විට අවසන් කාලයේ මව්පියන්ට සලකන්නෙත් මේ අයමයි. ඒ නිසා අනිත් දරුවන්ට හා සමානව මේ අයටත් අයිතිවාසිකම් ලබාදිය යුතුයි.
සකුණි මායාදුන්න
මම පොඩිකාලේ ඉඳලම අම්මයි තාත්තයි එක්ක ජීවත් වුණේ. අක්කලා පස්දෙනෙකුයි එක නංගියෙකුයි හිටියා. මම පවුලේ එකම පිරිමි ළමයා විදියටයි පිළිගත්තේ. මගේ ගම කොළඹ. තාත්තා ව්‍යාපාරිකයෙක්. ගෙදර අය ගොඩක් ආදරෙයි.
මම පාසල් ගියේ මිශ්‍ර පාසලකට. අක්කලත් එක්කයි පාසල් ගියේ. ටික කලකින් මට හිතුනා මමත් අක්කලා වගේ වුණොත් හොඳයි කියලා.
අක්කලා වගේ කොණ්ඬේ ගොතන්න, නංගි වගේ ගවුම් අඳින්න ආසා හිතුනා. අම්මට වඩා හොඳට තාත්තා ඒ වෙනස අඳුර ගත්තා. අවුරුදු නවය, දහය වෙද්දි මට තේරෙනවා. මගේ පාසලේ මම වගේම යාළුවෝ දෙන්නෙක් හිටියා. අපි තුන්දෙනාම ගෑනු ළමයි එක්කයි හිටියේ. මම ටිකක් නිහඬ චරිතයක්. පිරිමි ළමයින්ගෙන් හිරිහැර වෙනකොට මගේ අනිත් යාළුවෝ දෙන්නා මාව බේරගත්තා. ගුරුවරුත් මට ගොඩක් ආදරෙයි. මට අවුරුදු එකොළහ දොළහ වෙනකොට මගේ පාසලේම අයියා කෙනෙක් ගැන ආදරයක් ඇති වුණා.
එදා මට තේරුණා මේක මගේ ලෝකය නෙමෙයි කියලා. මම නිසා ගෙදර ප්‍රශ්න ඇති වුණා. අම්මගේ පවුලේ අය යම් යම් බලපෑම් කළා. අම්මා කෑ ගහද්දි තාත්තා මගේ ඇත්ත තත්ත්වය තේරුම් කරලා දුන්නා. කාලයත් එක්ක මගේ තාත්තා නැතිවුණා. මගේ අක්කලත් විවාහවෙන වයසට ආවා. මම හිමීට ගෙදර පරිසරයෙන් ඈත්වෙලා සැලුන් එකක වැඩට ගියා. මම මල් හදන්න උදව් කළා. ඒ වෙද්දි මම පොඩියි. පිරිමි එක එක්කෙනා අතට යන්න වුණා. මම එතනින් අයින් වුණා. පස්සේ මට ජූඞ් අයියව හම්බවුණා. මගේ නියම තත්ත්වය මම වටහාගත්තා. මම තේ ෆැක්ටරියක සේවයට බැඳුණා. ඊට පස්සේ මං පී. එඩුයුකේටර් කෙනෙක් විදියට සේවය කළා. කෙටි කාලයකින්ම ෆීල්ඞ් සුපර්වයිසර්කම ලැබුණා.
මම මෙතනට එනකොට සත්‍යා භාෂී මුණ ගැහුණා. එයා ලස්සන ගෑනු ළමයෙක්. එයා දැක්කම ආසා හිතුණා. එයා ට්‍රාන්ස්ජේන්ඩර් ඕගනයිසේෂන් එකක් පටන්ගත්තා. සත්‍යාට වැඩ වැඩි නිසා එන බොහෝ දෙනෙක් වෛද්‍යවරුන්ව මුණ ගැස්සවීම මට භාරකළා. මම මුලින්ම පිරිමි සිරුරක් තියාගෙන ගෑනු කෙනෙක් විදියටයි ජීවත් වුණේ. ඒත් මට ඕනෑවුණේ ගෑනියෙක් වෙන්න. මම හෝමෝන ප්‍රතිකාර අරගෙන ඒ තත්ත්වයට පත්වුණා. අද මට ගෑණු ළමයෙක් විදියට ජීවත්වෙන්න පුළුවන්. ඒත් ඉන් මට සමාජ ප්‍රශ්න ගොඩක් ආවා. පොලිසියෙන් විවිධ බලපෑම් කළා. ඒ නිසා බෝඩිම් මාරුකරන්න සිද්ධවුණා.
එහෙම ඉද්දි තමයි දවසක් මාව කඬේ යද්දි පොලිසියෙන් ඇල්ලුවේ. උදේ අල්ලලා හවස් වෙනකම්ම පොලිසියේ තියා ගත්තා.
රෑ දහයෙන් පස්සේ තමයි පැමිණිල්ල ලිව්වේ. මාව දැම්මේ පිරිමි මැදිරියකට. මම වැඳලා කිව්වා මාව පිරිමි හිර මැදිරියකට දාන්න එපා. එක්කෝ ගෑනු හිරමැදිරියකට දාන්න, නැතිනම් වෙනම තියන්න කියලා. ඒත් ඒ අය ඇහුවේ නෑ. මම ගෑනු කෙනෙක් වගේ. පිරිමි හිර මැදිරියට දැම්මම ගොඩක් ගැටලු ඇතිවුණා. එතන එච්.අයි.වී. තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. නැත්නම් මට එච්.අයි.වී. තියෙන්න පුළුවන්. තරුණ අය බැඳපු අය ගොඩක් හිටියා. එයාලට මාව අමුතුයි. ඒ දහදෙනාම මාත් එක්ක සෙක්ස් කළොත් ඒ හැමෝටම එච්.අයි.වී. බෝවෙනවා. එච්.අයි.වී. විතරක් නෙවෙයි වෙනත් සමාජ රෝග වුණත් බෝවෙන්න පුළුවන්. මම වැඳලා කිව්වා මට කරදර කරන්න එපා කියලා.
ඊට පහුවෙනිදා මම අනාචාරයේ හැසුරුණා කියලා ලියලා උසාවි දැම්මා. එහෙදිත් මාව පිරිමි ගොඩක් ඉන්න කූඩුවකට දැම්මේ. මම ඒක කරන්න එපා කියලා වැඳලා කිව්වා. ඒත් ඇහුවේ නෑ. එතනදි මට ගොඩක් හිරිහැර වුණා. මම කතා කරපුවාම කොල්ලෝ කෑ ගහන්න ගත්තා. ටික වෙලාවකින් මාව එතනින් එළියට ගත්තා.
අවසානයට මම නොකරපු වැරැද්දකට වැරැදි කාරයා කියලා වැරැද්ද බාර අරගෙන නිදහස් වුණා. දැන් මම ඒ ගමේම ජීවත් වෙනවා. පොලිසියේ බලපෑම් අඩුයි. මම හැමතැනදිම කියන්නේ සංක්‍රාන්ති අවධියේ ඉන්න අය හරි අහිංසකයි. ඒ වගේම අසරණයි. මම අද මෙතන කතා කළාට ඒ වගේ අය ඉදිරියට එන්න බයයි. එයාලා එයාලගේ අනන්‍යතාව හෙළි කළොත් ගෙවල්වලින් එළියට දායි.
හොඳට ඉගෙන ගත්ත පිරිස් ඉන්නවා එයාලට රැකියාවක් නෑ. රැකියාවකට අයදුම්පත් දැම්මාම සහතිකවල තියෙන්නේ එක නමක් දැන් ඉන්න තත්ත්වය තව එකක්. ඉතින් අයදුම්පත බලලා, මූණ බලලා දන්වන්නම් කියනවා. එච්චර තමයි. මම ශ්‍රී ලංකා පවුල් සංවිධාන ආයතනයට ස්තූති කරනවා. මම ඒ ආයතනය මගින් ලංකාව පුරාම ගියා. දැනුම ලබා ගත්තා. හාට් ටු හාට් ආයතනයෙන් තමයි මාව එතනට යොමු කළේ. මම හාට් ටු හාට් ආයතනයේත්, සවිය ආයතනයේත් ෆීල්ට් සුපර්වයිසර් කෙනෙක් විදියට වැඩ කරනවා. අපිට හැඳුනුම්පත් ගැනීමේ ගැටලුවක් තිබුණා. දැන් එයත් හොඳ තත්ත්වයට හැරිලා තියෙනවා. ලිංගික සංක්‍රාන්තිකයොත් මිනිස්සු. එයාලගේ ඡන්දයත් ඔබලා භාවිත කරනවා. පොලිසියෙන් වගේම සමාජයෙනුත් ඉල්ලනවා ඒ අයට හිරිහැර කරන්න එපා කියලා.
භූමි හරේන්ද්‍රන් (කුමුදු දර්ශන කුමාර)
මම පවුලේ එකම දරුවා. දන්න කාලේ ඉඳලම මම අනිත් අයට වඩා වෙනස් කියලා දැනුණා. උසස්පෙළ දක්වාම අධ්‍යාපනය හැදෑරුවා.
පාසල් කාලය තුළ ගැටලු නොතිබුණාම කියලා කියන්න බෑ. හේතුව ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවිට අනිත් අයට වඩා වෙනස් කියලා තේරෙනවා. මම පිරිමි ළමයි විතරක් ඉන්න පාසලක ඉගෙන ගත් නිසා ඒ අයත් එක්ක මාව සන්සන්දනය කරද්දි වෙනස් කියලා දැනුණා. හිතන පතන විදිය, ඇවිදින විදිය, හැසිරෙන විදිය හැමදේම වෙනස්. එතනදී ප්‍රශ්නයක් ඇති වුණා. එතනදී අභ්‍යන්තර ගැටලු ඇතිවුණා. කණ්ඩායම් ක්‍රියාවලදී කලකිරීමට පත්වුණ අවස්ථා තිබුණා.
මම මගේ පෞද්ගලික ජීවිතයට වඩා පොදුවේ කතා කරනවා. සංක්‍රාන්ති ලිංගික අවධියේ ඉන්න අය අපයෝජනයට ලක්වන අවස්ථා වැඩියි.
පාසල් කාලයේ තියෙන ලොකුම ගැටලුව සම වයස් හෝ වැඩිමල් සොයුරන් අතින් අපයෝජනය වීම. ඒ වගේම ගුරුවරුන්ගෙන් වාචික හිංසනයට ලක්වීමේ අවස්ථාත් තිබෙනවා. ඒ වගේම ළමයාගේ බාහිර ලක්ෂණ නිසා සමාජයේ කොන් වීමකටද ලක්වෙනවා. ඒ නිසා මෙවැනි අයගේ අධ්‍යාපනය කඩා වැටෙනවා. මම වගේ කටින් බේරිලා වැඩකළොත් උසස් පෙළ දක්වා යයි. නැත්නම් සාමාන්‍යපෙළදීම ඔවුන්ව හැලෙනවා. හේතුව ළමයා පාසලට යන්නේ මානසික ගැටලු රාශියක් මධ්‍යයේ.
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ නිවස ගත්තොත්, එතනදීත් ඇතිවන්නෙත් ප්‍රශ්න. මට ඇතිවුණ ප්‍රශ්නය තමයි පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවකට යාම. අනිත් අය රැකියාවලට යනකොට මමත් ඒ හා හරි සමාන රැකියාවකට යන්න ඕනෑ. ඒ අයට පෙම්වතියක් ඉන්නවානම් මටත් පෙම්වතියක් ඉන්න ඕනෑ. පවුල් අතරත් පිරිමි ළමියින්ගේ පෞරුෂත්වය සන්සන්දනය කරලා බලනවා. එතනදී පවුල තුළිනුත් එවැනි තත්ත්වයකදී කොන්වීමකට ලක්වෙනවා.
මොනයම් හේතුවක් නිසා දරුවා පවුලට විවෘත වෙලා කිව්වොත් මම සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් කියලා පවුලෙනුත් දරුවා නෙරපා හරිනවා. එය දකුණු ආසියාවට පොදු ලක්ෂණයක්. එහෙම අයට පාසල් අධ්‍යාපනයක් නැති වෙනවා වගේම පවුලේ රැකවරණයත් නැති වෙනවා. ලංකාව වගේ රටක බලය තියෙනවා නම් බාහිර පෙනුම හොඳයි නම් ඕනෑතරම් රැකියා තිබෙනවා. එහිදී තිබෙන සුදුසුකම් නෙවෙයි ප්‍රධාන වෙන්නේ.
සංක්‍රාන්ති ලිංගික අය තමන්ගේ හිතට දැනෙන ආකාරයටයි ජීවත්වෙන්නේ. ඒ නිසා ඒ අය සමාජයේදී කැපී පෙනෙනවා. එහෙම කෙනෙකුට කොතරම් සුදුසුකම් තිබුණත් රැකියාවක් කිරීමේ ඉඩ ප්‍රස්තා නැතිවෙනවා. මමත් එන්.ජී.ඕ. වලින් හැර සම්මුඛ පරීක්ෂණ ගණනාවකින් අසමත් වුණා මේ හේතුව නිසා.
ඒ වගේම සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තිබෙන චෝදනාවක් තමයි ලිංගික කටයුතු සඳහාම ඉපදිලා ඉන්න කොට්ඨාසයක් කියන එක. ඒ අය ලිංගික කටයුතුවල නිරතවෙනවා. ඒක නෑ කියන්නේ නෑ. ඒත් ඒ අය එතනට වැටෙන තැන කොතැනද කියන එක ගැන කවුරුවත් කතා කරන්නේ නෑ.
ඒ අයට කන්න බොන්න ඕනෑ. ඇඳුමක් පැළඳුමක් ගන්න ඕනෑ. කුලී කාමරවල ඉන්න අය කුලී ගෙවන්න ඕනෑ. ඒ හැමදේටම සල්ලි ඕනෑ. ඉගෙන ගත්තට රැකියා නැත්නම් සමාජය ඒ අයව ප්‍රතික්ෂේප කරනවා නම් අන්තිමට ඉතිරිවන්නේ මහපාර විතරයි. අපි අවංකව කතාකරලා ඒ අයගෙන් ඇහුවොත් ගණිකා වෘත්තියේ නිරත වෙන්නේ කැමැත්තෙන්මද කියලා සීයට අනූවකට වැඩි පිරිසක් කියයි නෑ කියලා. ඒක තමයි ඇත්ත.
මේ සමාජය ගැහැනිය සහ පිරිමියා පිළිබඳ යම් යම් රාමු හදලා තිබෙනවා. සංක්‍රාන්ති ලිංගික කාන්තාව මේ රාමු දෙක මධ්‍යයේ ඉන්නේ. ඔවුන්ට උපතින් ලැබුණු ශරීරයට හාත්පසින්ම වෙනස් මානසික ශරීරයක් තියෙන්නේ.
හැම තිස්සෙම ඒ ගොල්ලන් මනසට ගැළපෙන ආකාරයටයි හැසිරෙන්නේ. එතනදී සමාජය සම්මතයි කියලා පිළිගත්ත දේට පිටින් යනවා. ඇහැට දකින දේ හරි කියලා සිතීම සමාජය කියලා හිතන්නයි මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ. මිනිස්සු බාහිර ස්වරූපය දිහා බලලා විවේචනය කරනවා. එය රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවාව ලබාගැනීමට යාමේ සිටම සිදුවෙනවා. ඒ හැම අවස්ථාවකදීම ද්විත්ව ලිංගික කාන්තාවෝ හිංසනයට ලක්වෙනවා.
සමාජය පිළිගන්න විදියට කාන්තාවක් වෙලා ඉපදෙන්න පව්කරන්න ඕන. එහෙම නම් සංක්‍රාන්ති අවධියේ අය ගොඩක් පව්කරලා තියෙනවා. පිරිමියෙක් වෙලා ඉපදිලා ලැබිච්ච ශරීරය තියාගන්නේ නැතිව ගෑනියෙක් වෙනවා. කවුරුවත් කැමැත්තෙන් එහෙම වෙන්නේ නෑ. ඒත් කවුරුත් කැමති නෑ සමාජ අපවාදයට. ඒ නිසා තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජීවත්වීමට කැමති ආකාරයට වෙනස්වෙනවා.
කිසිම තැනක මේ පිළිබඳව විද්‍යාත්මක පදනම කතාකරන්නේ නෑ. ලෝක මනෝ විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමය මේක මානසික රෝගයක් නෙමෙයි කියලා පිළි අරගෙන තියෙනවා. අපි ඉපදෙන කොට අපිට ශරීර දෙකක් ලැබෙනවා. එකක් කායික ශරීරය. අනික මානසික ශරීරය. බහුතරයකට කායික ශරීරයට ගැළපෙන මානසික ශරීරයක් ලැබෙනවා. ඒත් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට කායික ශරීරයට ගැළපෙන මානසික ශරීරයක් පිහිටන්නේ නෑ. මෙවැන්නන්ගෙන් බහුතරයක් තමන්ගේ මනසට ගැළපෙන ආකාරයට ජීවත්වෙනවා. තවත් කොටසක් සමාජයෙන් කොන්වෙන්නට කැමති නැති නිසා එය වසන් කරගෙන ජීවත් වෙනවා. මේ පිළිබඳව සංස්කෘතියට අභියෝගයක් කියලා කතා කරන්නේ නෑ. අපිට ගෑනියෙක් බලෙන් මිනිහෙක් කරන්න බෑ.
එය පුද්ගලයන්ගේ ඇතුළාන්තයෙන් ඇතිවෙන දෙයක්. පුද්ගයෙකුගේ අනන්‍යතාව මත සංස්කෘතියට හානි වෙන්නේ නෑ. ඔහු කරන පහත් ක්‍රියාකාරකම් වලිනුයි සංස්කෘතියට හානි සිදුවන්නේ. මේ පුද්ගලයන්ට හරියාකාරව සිය අනන්‍යතාව ඔප්පු කරන්න අවශ්‍ය ලියකියවිලි හදලා දුන්නානම්, සිය පවුල එක්ක එකට ජීවත්වෙන්න අවස්ථාව ලබලා දුන්නා නම්, සුදුසුකම්වලට රැකියා අවස්ථා ලබලා දුන්නානම්, නීතියෙන් සමානාත්මතා ලැබෙනවා නම්, අනිත් සාමාන්‍යයි කියන පුද්ගලයන්ට වගේම ආදරය, රැකවරණය ලැබෙනවා නම් මේ සමාජය මීට වැඩිය ලස්සන වෙයි.
රොෂාන් විජේකුමාරණ - යාපනයේ ගුරු නගර්
-මගේ පවුලේ අම්මයි අක්කයි තාත්තයි හිටියේ. අක්කට ගෙදර අය ගොඩක් ආදරෙයි. මටත් ඒ වගේ ආදරය ලබාගන්න ආශාවක් ඇති වුණා. මා ළඟ ගෑනු ලක්ෂණ ඇතිබව දැනගත්තම පවුලේ අය මාව අතෑරලා දැම්මා. මම ඉගෙන ගත්තේ පිරිමි පාසලක. ජීවත් වුණේ යාපනයේ ගුරු නගර්වල.
දවසක් පූජා කියලා යාළුවෙක් මුණ ගැහුණා. එයා මට ගොඩක් උදව් කළා. මම ගැන ඩොක්ට් නිකීරන් දැනගත්තා. එයා මට හාට් ටු හාට් ආයතනය ගැන කිව්වා. මම එතනට යොමු වුණා. මට අවශ්‍ය වුණේ කාන්තාවක් වෙන්න. මම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන කාන්තාවක් බවට පත්වුණා.
මීට පෙර මට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. පොලිසියෙන් ගැටලු ආවා. ගෙදරින් තමයි ගොඩක්ම ප්‍රශ්න ආවේ. දැන් අවුරුදු දහයක ඉඳලා ගෙදරත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මට සහකරුවෙක් ඉන්නවා. ඔහුත් එක්ක මන්නාරමේ ජීවත් වෙනවා. අපිට නිදහසේ ජීවත්වෙන්න ඉඩ දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ.
ප්‍රජනන සෞඛ්‍ය හා ලිංගික කටයුතු සම්බන්ධ වෛද්‍ය දයානාත් රණතුංග
සමස්ත සමාජය කාන්තාවන් සහ පුරුෂයන් දෙස බලන්නේ සමාජය ගොඩනගාගෙන තියෙන කෝණයෙන්. ඉතිහාසය දිහා බැලුවොත් බුදු දහමේ පවා ස්ත්‍රී, පුරුෂ සහ ස්ත්‍රී පුරුෂ නොවන වෙනත් කොටසක් ලෙස හඳුනාගෙන තිබුණා. ඒ ඉතිහාසයේ සිටම බැලුවොත් හඳුනා නොගත් පිරිස යටතට සංක්‍රාන්ති ලිංගිකයෝ වැටෙන බව පේනවා.
මෙහිදී සංක්‍රාන්ති ලිංගිකයෝ ලෙස හඳුන්වා දෙන්නේ කාන්තාවක් හෝ පුරුෂයෙක් විදියට ඉපදිලා උපතේදී ලද ස්ත්‍රී, පුරුෂ භාවය වෙනස් කර ගැනීමට උත්සාහ දරන පිරිසයි. වෛද්‍ය විද්‍යාත්මක පැත්ත පිළිබඳ කතා කළොත් 1990 දී පමණ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම ලිංගිකත්වය කියන මාතෘකාව පිළිගත්තා. ඒ නිසා ලෝකයේ අවධානය ඊට යොමුවුණා. ඇමෙරිකන් කොලිජි සයිකැටිටි්‍රක් කියන ආයතනයක් මෙය මානසික ව්‍යාධියක් නොවන බව හඳුනාගත්තා.
අපි හැමෝටම උපතින් කායික ශරීරයක් හිමිවෙනවා. එය ඉන්ද්‍රීය පිහිටීම අනුව ස්ත්‍රී පුරුෂ ලෙස වර්ගීකරණය වෙනවා. මීට අමතරව පුද්ගලයන්ට මානසික ශරීරයකුත් තියෙනවා. මානසික ශරීරය හරහා මිනිසුන්ගේ පෞරුෂත්වය, ගති ගුණ, රුචි අරුචිකම් ආදී බොහෝ දේ ගම්‍ය වෙනවා. සීයට අනූපහකටම මේ කායික හා මානසික ශරීරය සමපාත වෙනවා. පුරුෂයෙකුට පුරුෂ මානසික ශරීරයක් ලැබීමත්, ස්ත්‍රියකට ස්ත්‍රී මානසික ශරීරයක් ලැබීම්ත් උදාහරණ. ඒත් අවාසනාවකට සීයකට පහක් වැනි පිරිසකගේ කායික ශරීරය හා මානසික ශරීරය ගැළපෙන්නේ නෑ. උදාහරණ පිරිමි කායික ශරීරයක් තියෙන අයෙකු ගැහැනියක සේ සිතන්න ක්‍රියා කරන්න පුළුවන්.
කාන්තාවටකත් එය පොදුයි. එතනදී මෙවැනි අය වැරැදි ශරීරයකින් අපි ඉපදිලා කියලා හිතනවා. තමන්ට ලැබිලා තිබෙන ශරීරයට වෛරකරන්න පටන් ගන්නවා. මට හම්බවෙලා තියෙන එවැනි බොහෝ දෙනෙක් මානසික අවපීඩනයට පත්වූ අය. හේතුව එයාලගේ හැසිරීම සාමාන්‍ය සමාජයට වඩා වෙනස්වීම. එතනදී ඔවුන් සමාජයෙන් කොන්වෙනවා. සමහරුන්ගේ අධ්‍යාපනය කඩාවැටෙනවා. සමහරුන්ට ගෙවල් වලින් යන්න වෙනවා. තවත් අයෙකුගේ රැකියා අවස්ථා අහිමි වෙනවා. සමහරුන්ට සමාජ ආශ්‍රයක් නැතිවෙනවා. මෙවැනි තත්ත්වයන් නිසා ඔවුන්ට දරුණු මානසික ආතතියක් හටගන්නවා.
ඒක තමයි දැනට සමාජයේ ඇතිවෙලා තිබෙන ගැටලුව. මෙය තේරුම්ගත් වෛද්‍යවරු එයාලට අවශ්‍ය බාහිර ස්වරූපය කෘතිමව හෝ ඇති කරදෙන්න උත්සාහ කරනවා. කෘතිම ශරීරයේ ඇති අපහසුකම් දැනගෙනත් ඔවුන් ඒ තත්ත්වයට පත්වෙන්න කැමති වෙනවා. අවයව වෙනස්කර ඒ තත්ත්වයට පත්වෙනවා කියන එක සංකීර්ණ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රියාවලියක්.
ඒ වගේම මේ සංක්‍රාන්ති ලිංගික අවධියේ පසුවන ඇතැම් පිරිසක් ඔවුනට ඇතිවන අවපීඩන දරා ගැනීමට නොහැකිව සියදිවි හානිකර ගන්නා අවස්ථා තිබෙනවා.
මානව හිමිකම් අගයකරන සමාජයක එවැනි අය පිළිබඳව සාධාරණව බැලිය යුතුයි. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රතිකාරවලින් මෙය සුව කළ හැකිද කියන එක. එය තාවකාලික දෙයක් හැටියටයි මම දකින්නේ. මෙයාලට හිත ඇතුළෙන්ම එන අවශ්‍යතාවක් ඒක. ඒ වගේම එවැනි අය සමග හිටියා කියලා තව කෙනෙක් ඒ තත්ත්යට ඇද වැටෙන්නේ නෑ.
අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ඔබගේ රුචි අරුචිකම් ගැන තව කෙනෙක් බලපෑම් කරනවිට, ප්‍රශ්නකරන විට ඔබ කැමති නෑ. ඒ වගේම තමා මේ අයටත් දැනෙන දේ. සාමාන්‍ය සමාජය ටිකක් පුළුල්ව මේ පිළිබඳව කටයුතු කළ යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමාජයෙන් ගරුත්වය ඉල්ලන සංක්‍රාන්ති ලිංගිකයෝ
අචී අමන්දා Wednesday, 26 October 2016 10:44 PM
මේ ආණ්ඩුවෙන් නැත්නම් ආයෙ කරගන්නවා බොරු. අපි එකතුවෙලා ඇමතිවරුන්ටම කියමු අපේ අයිතිවාසිකම් අපට ලබාදෙන්න කියලා. (නි)
පිටිගල මිලානෝ Tuesday, 25 October 2016 09:30 PM
මෙවැනි සංක්‍රාන්තික ලිංගධාරීන් මිලානෝ නගරයේද බොහෝ සිටිනවා. ඔවුන්ගේ රූප ශෝභාව සත්‍ය ස්ත්‍රීන්ව පරදන නිසාම මේ අයට පිරිමින්ගෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසාම මෙවන් සුරූපින් ඔවුන්ට විශේෂිතවූ සමාජ අසම්මත සේවාවන් වල නිරත වෙනවා. මිලානෝ නගරයේ රාත්‍රී කාලයේ මොවුන්ටම වෙන්වූ ප්‍රදේශ තිබෙනවා. (නි)
දිලිප් වික්‍රමරත්න Tuesday, 25 October 2016 09:52 PM
තව අවුරුදු 100කටවත් ඔය රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැහැ. සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ප්‍රශ්නය පැත්තකින් තියන්න. අාබාධිතයන්ට ඇති තත්වය බලන්න. මේ රටේ තියෙන පාසල්, රජයේ හෝ පෞද්ගලික ගොඩනැගිලි වලින් කීයෙන් කීයටද අාබාධිතයනට ඇතුල්විය හැකි විදියට හදලා තියෙන්නේ? ඔවුන්ට පාවිච්චි කළහැකි ආකාරයේ වැසිකිළි පහසුකම් තියෙන්නේ? රජයක් හැටියට කෝ ප්‍රතිපත්තියක්. (නි)
සුසන්ත Wednesday, 02 November 2016 05:11 PM
හොඳ ලිපියක්
එරංග Wednesday, 26 October 2016 11:25 AM
මේ අයට සහ සමරිසි අයට අයිතිවාසිකම් ලබා ගන්න නම් මේ ආණ්ඩුව තමයි හොඳම. (බ)
ගුණසිරි Wednesday, 02 November 2016 10:54 AM
යමෙක් වැරදි කාම සේවනය බහුල බහුල වශයෙන් කරත්නම් එහි විපාක වාර වශයෙන් පන්සියයක් මතු ජීවිතවල නපුන්සකව ඉපදේ ,ඉන් අනතුරුව අවශේෂ කර්ම වශයෙන් ගැහැණු බවට පත්වේ. මේය අපට කිවේ,සියල්ල දත් සර්වඥ රජෝත්තමයෝයි. (ම)
අචිර Friday, 28 October 2016 04:07 PM
ස්වභාව ධර්මයට විරුද්ධවීම ප්‍රශ්න විශාල ප්‍රමාණයකට අතවැනීමකි. මෙම අයට කළයුත්තේ හීනමානය නැතිකර ඇත්ත ජීවිතයට මුහුණදීමට ධෛර්යය ලබාදීමයි (නි)
සොපි Thursday, 27 October 2016 04:57 AM
හරිම සංවේදී ලිපියක් . අපි මේ අය ගැන මිට වඩා ගරුත්වයෙන් බැලිය යුතු බව පැහැදිලියි .ඒත් අපේ කට්ටිය ආණ්ඩුව ගැන කියල තියෙන කතා බැලුවම හිනාව නවත්තගන්න බැරි වුණා. (බ)
චන්ද්‍රසිරි Saturday, 29 October 2016 09:05 AM
සත්‍ය ගැඹුරින් විග්‍රහ කළ ලිපියක් (අ)
සුනිල් තිලකරත්න Friday, 28 October 2016 08:05 AM
මිනිසුන් ක්‍රියා කරන්නේ එයාලගේ ශරීරයේ හෝමෝන හා රසායනික ක්‍රියාකාරිත්වයට අනුවය. එයාලගේ පෞද්ගලිකත්වයට මැදිහත්වීමට කිසිකෙනෙකුට අයිතිවාසිකමක් නැත. මම ඔබලා සමගය (බ)
නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 26 October 2016 02:34 PM
පිටිගල, ඔයා ඒ පැත්තේද, මේ පැත්තේද නැත්නම් දෙපැත්තේද? (අ)
ගංගී ජයලක්ෂිමා Wednesday, 26 October 2016 02:44 PM
අපිට ඉතින් මේ ආණ්ඩුවෙන් කර ගත්ත දෙයක් තමයි ඉතින්. (අ)
කමනි Friday, 04 November 2016 09:39 AM
අපේ රටේ ජනතාවගේ ආකල්ප හරිම පටුයි. බෞද්ධ රටක් වුනත් බුදුන් වහන්සේගේ ධර්මයේ හරය වූ මැදිහත් බව, මානව හිතවාදී ගුණය බොහෝ අයට ගෑවිලාවත් නැහැ. මේ අයත් ඇතුළුව, සමාජයේ ගැරහීම් නිසා කී දෙනෙක් දිවි තොර කර ගන්නවාද? මේ පටු ආකල්ප නැති කිරීමට රජය මැදිහත් වී කරන දැවැන්ත දැනුවත් කිරීමක් අවශ්‍යයි.(හේ)
ධම්ම Tuesday, 25 October 2016 02:08 PM
මිනිසුන් එකිනෙකා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත විය යුතුයි. ගැහැනු පිරිමි බේදය එතැනට අදාළ නොවේ. (අ)
ශශික Monday, 31 October 2016 04:30 PM
කණගාටු නොවන්න. මේ රජයෙන් ඔය ප්‍රශ්නය හිතනවාටත් වඩා ඉහළින් විසඳෙනු ඇත. (නි)