IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සම්මුතිය ඇතුළේ නයි - මුගටි හටන්

දහසය දෙනා එළියට ගියේ ඇයි? ජාත්‍යන්තර බලවේගයක වුවමනාවක් ඉටු කළා ද? එජාපය සමග ගැටුමට හේතුව මොකද්ද? ජනාධිපතිවරයාට ගැටුම පාලනයට නොහැකි වුණාද? පක්ෂ ප්‍රතිසංවිධානය සහ දහසය දෙනා දේශපාලනිකව අනාථ වේද? යනාදී කරුණු සම්බන්ධයෙන් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- ශ්‍රීලනිපයට මේ වෙන්නේ මොකද්ද?

පිළිතුර:- මොකුත් වෙන්නේ නැහැ. එහෙත් ශ්‍රීලනිපය පටන් ගත්දා පටන් මේ දක්වා පැමිණි ගමන්මගේ සමහර අවස්ථාවල දුෂ්කර තැන් තිබුණා. ඉතිහාසයේ සමහර අවස්ථාවල වුණා වගේ මේ දවස්වලත් ටිකක් පක්ෂය පැත්තෙන් දුෂ්කර වාතාවරණයක් මැද්දේ ගමන් කරනවා. පක්ෂයට මොකුත්ම වෙන්නෙත් නැහැ. ඉතිහාසය ඔප්පු කර තිබෙනවා වගේ මේ පක්ෂයට මොකුත් කරන්නත් බැහැ. නායකතුමා මරලා පක්ෂය මරන්න හැදුවා. බැරි වුණා. පසුව මැතිනිය දේශපාලන වශයෙන් මරලා පක්ෂය මරන්න හැදුවා. බැරි වුණා. චන්ද්‍රිකා මැතිනියට බෝම්බ ගහලා එතුමිය මරා දාලා මේක කරන්න හැදුවා. ඒත් බැරි වුණා. මහින්ද මැතිතුමාටත් නොයෙක් දේ කර පක්ෂය මරන්න හැදුවා. මෛත්‍රී මැතිතුමා පක්ෂ ලේකම් කරල පස් වතාවක් එතුමා ඝාතනය කරන්න හැදුවා. ඒකත් බැරිවුණා. මේ එකකින්වත් ශ්‍රීලනිප මරන්න බැරිවුණා. හැබැයි පක්ෂය දුෂ්කර කාලසීමාවක ගමන් කරන බව පිළිගන්නවා.

ප්‍රශ්නය:- පක්ෂය මරන්න බැහැ කියා ඔබ කිව්වට දැන් පක්ෂය මැරිල වගේ නේද?

පිළිතුර:- ඒ ඉතිං පේන හැටි. ශ්‍රීලනිපය මැරෙන්න ඕන කියා සිතාගෙන පක්ෂය දිහා බැලුවොත් මැරිල වගේ තමයි පේන්නේ. පක්ෂය මැරිල නැහැ කියා මම කියන්නේ ඇයි? ශ්‍රීලනිප මන්ත්‍රීවරු 86 දෙනෙක් තවදුරටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අය අසුන්ගෙන ඉන්නේ විවිධ තැන්වල. ඒ හැම තැනම ශ්‍රීලනිපය තිබෙනවා. පක්ෂයේ ජීවගුණය ඒ අය තමයි. කරන්න ඕන මේ පිරිස එකට එකතු කර ගැනීමයි. ශ්‍රීලනිපයේ නිදහස් කණ්ඩායම හැටියට කටයුතු කරන අපේ කණ්ඩායම කරන්නේ එම කටයුත්තයි. ශ්‍රීලනිප මැරිල වගේ පේන අයට තේරේවි ඇත්තටම මැරිල තිබෙන්නේ ශ්‍රීලනිප නෙමෙයි ඒ අය කියලා.

ප්‍රශ්නය:- හැබැයි පක්ෂය සීසීකඩ කැඩීගොස් ඇති නිසා අර්බුදයක් නිර්මාණය වෙලා නේද?

පිළිතුර:- සීසීකඩ කැඩී නොගිහින් තිබෙන එක පක්ෂයක් මට කියන්න. යූ.එන්.පිය සීසීකඩ. ඒකාබද්ධ විපක්ෂය තුළ තිබෙන පක්ෂ, පක්ෂ හැටියටත් සීසීකඩ. කණ්ඩායමක් හැටියටත් සීසීකඩ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අද දෙමළ සන්ධානයේ නායකත්වයට අභියෝග කරනවා. දෙමළ සන්ධානය සීසීකඩ. ජවිපෙ සීසීකඩ. මෙහෙම බැලුවාම ලංකාවේ සියලු දේශපාලන පක්ෂ සීසීකඩ. අපි හඳුනාගන්න ඕන මේක තමයි. මේ රටට ඇඟිලි ගහන්න බලාගෙන ඉන්න විදේශ බලවේග ඒවා සමග කටයුතු කරන රහස් ඔත්තු සේවා. ඒ ඒ බලවේග සමග කටයුතු කරන සමහර මාධ්‍ය ආයතන මේ රටේ තිබෙන පක්ෂ අස්ථාවර කර ඒවා සීසීකඩ කර ඒ අයට අවශ්‍ය ආකාරයට දුරස්ථ පාලකයකින් මේ රට පාලනය කරන්න විවිධ උපක්‍රම යොදනවා.

ජනාධිපතිවරණය කියන්නේ මේ රටේ නායකයා තෝරන මැතිවරණයයි. ඒ ප්‍රධාන මැතිවරණ දෙකකට මේ රටේ ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. අන්තිමට තිබූ ජනාධිපතිවරණ දෙකට එජාප අපේක්ෂකයෙක් නැහැ. අපේක්ෂකයෙක් දාන්න බැරි තරමට මේ බලවේග එජාපය අස්ථාවර කළා. මේ බලවේගවල මීළඟ ඉලක්කය ඉදිරි ජනාධිපතිවරණයෙදී එජාපයටත්, ශ්‍රීලනිපයටත් අපේක්ෂකයකු දාන්න බැරි තරමට මේ රට අස්ථාවර කිරීමයි. හැබැයි එජාපය අස්ථාවර කර දෙවරක් අපේක්ෂකයකු දමන්න ඒ අයට බැරි වුණාට අන්තිම ජනාධිපතිවරණය ඉල්ලුවේ ශ්‍රීලනිප දෙදෙනකු බව අමතක වෙලා. මේ නිසා ඊළඟ ජනාධිපතිවරණයේදීත් ශ්‍රීලනිප ප්‍රමුඛව එකට එකතු වූ සන්ධානයකින් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා. ඒක නවත්වන්න බටහිර රටවලටවත් අල්ලපු ඉන්දියාවටවත් ඒවායේ රහස් ඔත්තු සේවාවලටවත් ඔවුන්ට කඬේ යන මාධ්‍ය ආයතනවලටවත් බැහැ.

ප්‍රශ්නය:- මේ රටේ පක්ෂ කඩන්නේ ජාත්‍යන්තර බලවේග නම් ඔබලා දහසය දෙනා ආණ්ඩුවෙන් කැඩුවෙත් එම බලවේග ද?

පිළිතුර:- අපි දහසය දෙනා කැමැති හෝ අකැමැති පිළිගන්න ඕන කාරණයක් තිබෙනවා. අන්තිම මහ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි වුණේ කිසිම පක්ෂයකට තනි ආණ්ඩුවක් හදන්න බැරි විදියටයි. එහෙම තත්ත්වයක් නිර්මාණය වුණේ ඇයි? ඒ ඊට පෙර පැවැති ජනාධිපතිවරණයේ තත්ත්වයත් ඒකයි. ඒ තත්ත්වය නිර්මාණය වුණේ ජාත්‍යන්තර බලවේගවල අත පෙවීමෙන්. ඉතිහාසය පුරා ඇනකොටා ගත් පක්ෂ දෙක වාර දෙකකට එකතු වී ආණ්ඩුව හැදීම ස්වර්ණමය අවස්ථාවක් ලෙස ජනාධිපතිතුමා දුටුවා. මේ එකතු වූ කණ්ඩායම තුළ අපි දහසය දෙනත් ඉන්නවා. හැබැයි ඒ සම්මුතිවාදී පරීක්ෂණය අසාර්ථකයි. මේ පරීක්ෂණ ලංකාවේ ක්‍රියාත්මක කරන්න බැහැ.

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී තුනෙන් දෙක තිබූ අවස්ථාවේ විය යුතුව තිබුණේ මොකද්ද? ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න හැකියාව තිබුණා. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න බැරි වුණා. 19 වැනි සංශෝධනයෙන් විධායක ජනපති බලතල අඩු කළාට ඒ වෙනුවට නිර්මාණය කරගෙන තිබෙන්නේ විධායක අගමැතිවරයෙක්. ඒ අගමැති ජනාධිපතිටවත් අයින් කරන්න බැහැ. මේ ව්‍යවස්ථාව අනුව කැමැත්තෙන් අයින් වෙනවා මිස අයින් කරන්න බැහැ. අගමැතිට මොන රෝගය හැදුනත් ඔහු අයින් කරන්න බැහැ. මේවා අපි පිළිගන්න ඕන. ජනවාරි අට ඇතිවූ දේශපාලන අරගලය මැයි 8 වැනිදා තවත් දේශපාලන අරගලයක් බවට පත්වෙමින් තමයි අපි දහසය දෙනා ආණ්ඩුවෙන් එළියට ආවේ. ඒ එන්නෙම අස්ථාවර දේශපාලන තත්ත්වය තුළ නිර්මාණය වූ කරුණු නිසයි. ඒක පිළිගන්න ඕන.

ප්‍රශ්නය:- එහෙමද නැති නම් එජාපය සමග හදාගත් ගැටුමක ප්‍රතිඵලයක්ද?

පිළිතුර:- එහෙම ගැටුමක් ඇති වෙන්නේ ඇයි? හදල තියෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක් කියා එජාප නායකයා ඇතුළු කණ්ඩායමට තේරෙන්නේ නැහැ. තනි එජාප ආණ්ඩුවක් තිබෙන ආකාරයට ඒ අය හැසිරෙන්න පටන් ගත්තා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් එක රැස්වුණාට ඒක ඇතුළෙ අටවාගත් ආර්ථික කමිටුවේ පාස්කරලිංගම්, රත්වත්ත මහත්තය සහ රනිල් මහත්තයා එක්වී රට පාලනය කළා. කැබිනට් මණ්ඩලය රූකඩයක් ගානට පත්වුණා. පුංචි කමිටුවක් රට පාලනය කරන්න ගත්තා. ඕනම රටක මහ බැංකුව තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයට. හැබැයි මේ අය ඒක එළියට ගත්තා. විශාල කොල්ලයක් එතැන වුණා. මේ කොල්ලය කළ පට්ට හොරා වෙනුවෙන් එජාප නායකයන් පාර්ලිමේන්තුවේ පෙනී සිටියා. මේ කොල්ලයට “වහෙන් ඔරෝ ඔහෙන් වරෝ” අගමැතිට ඇඟිලි දිගු වුණා. මේවා සමග එජාප සම්මුතිවාදී ආණ්ඩුව තුළ හැසිරී තිබෙන්නේ ඒ අය තනියෙන් ආණ්ඩු කරනවා වගේ. සම්මුතිවාදය තේරුම් අරගෙන නැහැ. එහෙම තේරුම් ගත්තා නම් උතුරේ ප්‍රශ්න වගේම දකුණේ ප්‍රශ්නවලටත් විසඳුම් ලැබිලා. එජාපය හැසිරෙන්නෙම ලිච්චවි ක්‍රමයට නෙමෙයි. ඒ නිසා සම්මුතිවාදී ආණ්ඩුවේ තිබෙන්නේ සම්මුතිවාදයක් කියා එජාපයට අමතක වුණා. මේ සම්මුතිවාදය තුළ නයයි මුගටියයි එකතු වී ආණ්ඩු කරනවා වගේ මේ රටේ මාධ්‍යයට, ජනතාවට පෙනුණා. ඒ නයි - මුගටි හටන තියාගෙන ඉදිරියට යන්න බැහැ. මේ නිසා ලංකාවේ සම්මුතිවාදී ආණ්ඩු ක්‍රමවේදය පේල්.

ප්‍රශ්නය:- රටේ ප්‍රධානියා වගේ ආණ්ඩුවේ ප්‍රධානියාත් වන ජනාධිපතිවරයාට ඕවා පාලනය කරගන්න බැරි වුණේ ඇයි?

පිළිතුර:- 19 වැනි සංශෝධනය හරහා එතුමා දේශපාලන වශයෙන් සෝවාන් වුණා. ඉහත කී කාරණා පාලනය කිරීමට තිබූ බලතල එතුමා අතහැරියා. මේ බලතල පාර්ලිමේන්තුවට යාවි කියා සිතා එතුමා සද්භාවයෙන් අත්හැරියත් ඒව ගිහින් වැටුණේ අගමැතිතුමාගේ සාක්කුවට. අගමැති ඉවත් කරන්න බැරි තත්ත්වය නිර්මාණය වුණේ මේ බලතල සමගයි. ජනාධිපතිතුමා ජනපති වෙන්නේ බහුතර එජාප ඡන්දවලින් නේ. ඒ නිසා එතුමා ඕනවට වඩා කෙළෙහිගුණ දක්වන්න යනවා. හැබැයි මෛත්‍රී ජනපති නැත්නම් රනිල් අගමැති වෙන්නේ නැහැ. ඒක එතුමට අමතකයි. ජනාධිපතිතුමාගේ කරුණාවන්තභාවය එජාපය දකින්නේ දුර්වලකමක් හැටියටයි. එහෙම දකිමින් එජාප තනි ආණ්ඩුවක් ඇති ආකාරයට කටයුතු කරන්න ගත්තා. අර්බුදයට මුල ඒකයි. සම්මුතිවාදී පරීක්ෂණ අසමත්වීමේ මුල ඔය කාරණයයි.

ප්‍රශ්නය:- ඔබලාට ආණ්ඩුවෙන් යන්න වෙන්නේ කොහේදෝ යන විශ්වාසභංගයකට කර ගහන්න ගිය නිසා නේද?

පිළිතුර:- මේක කොහෙන්දෝ යන විශ්වාසභංගයක් නෙමෙයි. මේක ශ්‍රීලනිපයම ආරම්භ කරපු මාතෘකාවක විශ්වාසභංගයක්. මේක එජාපයට සහ තවත් සමහර මාධ්‍යවලට කොහෙන්දෝ යන එකක් තමයි. මේ විශ්වාසභංගය ගෙනාවේ බැඳුම්කර මගඩිය මුල් කරගෙන. බැඳුම්කරය ගැන මුලින්ම විරෝධය පෑවේ, රටට කිව්වේ, අවශ්‍ය තැන්වලට පැමිණිලි කළේ ශ්‍රීලනිපයේ අපියි. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් බැඳුම්කරය ගැන ඇත්ත කතාව ජනතාවට කිව්වේ ශ්‍රීලනිපයේ සහ සන්ධානයේ මන්ත්‍රීවරු බව ඕනෑම කෙනෙක් දන්නවා. බැඳුම්කර මගඩිය සම්බන්ධව කළ යුත්තේ කුමක්ද යන්න ගැන ශ්‍රීලනිප පත් කළ කමිටුවේ නිර්දේශ පහළොවෙන් දහතුනක්ම විශ්වාසභංග යෝජනාවේ තිබුණා. ඉතිං මේක කොහේදෝ යන එකක් නෙමෙයි. මේ වගේ යෝජනාවක් ආවාම ශ්‍රීලනිප කාටවත් රෙදි ඇඳගෙන ඒකට විරුද්ධ වෙන්න පුළුවන්ද? ලැජ්ජාවක් තිබෙන හෘදය සාක්ෂියක් තිබෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේක කොහේදෝ යන එකක් කියන්න බැහැ. ශ්‍රීලනිප අපි දහසය දෙනා හෘද සාක්ෂියේ දේශපාලනය දන්න උදවිය හැටියට ජනතාව අපට දුන්නු ඡන්දයට වටිනාකමක් දෙමින් කටයුතු කළා. ඡන්දය දවසේ මොනවහරි හේතුවක් කියා ගෙදරට වෙලා හිටිය නම් තව අවුරුදු දෙකක් අපිටත් ඇමැතිකම් කරන්න තිබුණා. එදා හවස වන විට විශ්වාසභංගය පරදිනව කියල දැන දැනත් අපේ හෘදය සාක්ෂිය උකසට නොතබා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අනුමත කළ යෝජනා 13ක් සහිත විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දී විරුද්ධ පක්ෂයට ගියා. මේක අපේ පාක්ෂිකයා හිස් මුදුනින් පිළිගන්නා තීන්දුවක්.

ප්‍රශ්නය:- එතකොට ආණ්ඩුවේ ඉන්න විසි තුන්දෙනාගේ ස්ථාවරය මොකද්ද?

පිළිතුර:- ශ්‍රීලනිපය පටන් ගත් වැඩක් නිසා විරුද්ධ වෙන්න බැහැ. මේක දිනන්න බැරි නිසා ගෙදරට වෙලා හිටිය කියල නේ ඒ අය කිව්වේ. ඒ අය මේකට විරුද්ධ වුණේ නැහැ. ඒ අය මේකට පක්ෂ වුණේ ගෙදරට වෙලා විරුද්ධ නොවී සිටීමෙන්. අපි පක්ෂ වෙන්නේ කොන්ද කෙළින් තියාගෙන පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දය දීමෙන්. ඇමැතිකම් ගහල ගියත් කමක් නැහැ කියා අපි වැඩ කළා. ඒ අය ගෙදර ඉඳන් කළ දේ සාධාරණීකරණය කර ගැනීම ඒ අයම කළ යුතුයි. ඒක මම කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි එකක් කියන්න පුළුවන්. විශ්වාසභංග යෝජනාව එන විට පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක නෙමෙයි නම් අද එළියට ඇවිත් ඉන්නේ අපි දහසය දෙනා පමණක් නෙමෙයි. මුළු සන්ධානයම එළියට එනවා. රටට හරියන්න අගමැතිතුමා ගෙදර යන්න ඕන වගේම ශ්‍රීලනිපයට හරියන්න දුමින්ද දිසානායක පක්ෂ ලේකම්කමින් යන්න ඕන කියා මම කිව්වා. ඒක එහෙම වුණේ නැහැ. පක්ෂයේ මහ ලේකම් වැඩ කළේ මහා කේළාම් හැටියට. පක්ෂයේ ක්‍රියාවලියත් රටේ අනාගතයට බලපාන විශ්වාසභංග ජයත් සියල්ල පාවාදීමේ වගකීම එතුමා ගන්න ඕන.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ ඉන්න ඉතිරි ශ්‍රීලනිප අයත් එළියට එන බව කියැවෙනවා. ඒක ඇත්තද?

පිළිතුර:- අනුර යාපා ඇමැතිතුමා යෝජනා කළ එස්.බී. දිසානායක ඇමැතිතුමා ස්ථිර කළ යෝජනාවක් තිබෙනවා. එයට සමාන්තරව පක්ෂයේ ප්‍රතිසංවිධානයට තීන්දු කර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ සියලු නිලධාරීන් ඉවතට ගොස් තාවකාලික නිලධාරි මණ්ඩලයක් ජූනි 3 වැනිදා පත්කර ගන්නවා. මේ සමග පක්ෂය උඩු යටිකුරු කරන විශාල ප්‍රතිසංවිධානයක් පක්ෂය ඇතුළේ කෙරෙනවා. ප්‍රතිසංවිධානය වූ ශ්‍රීලනිපයක් එක්ක අපට ඉතා පහසුවෙන් එජාපය සමග දැනට තිබෙන සම්මුති යැයි කියාගන්නා වූ අසම්මත ප්‍රේමය කඩාගන්න පුළුවන්. දැන් සම්මුතිය තිබෙන්නේ පිරිමියෙක් සහ ගැහැණියෙක් අතර නෙමෙයි.

ප්‍රශ්නය:- මේ කාරණයේදී ඔබලා දහසය දෙනාත් දෙකට බෙදිලා නේද?

පිළිතුර:- එහෙම බෙදිල්ලක් පෙන්නන්න විවිධ මාධ්‍ය උත්සාහ කරනවා. අපි දහසය දෙනාම එළියට යන්නේ නැහැ කියා මාධ්‍ය කිව්වා. හැබැයි දහසය දෙනාම එළියට ආවා. මැයි දිනයේ තීන්දුව අනුව මේ දහසය එකට ඉන්නෙ නැහැ කිව්වා. ඒත් අපි එකට හිටියා.  දහසය දෙනාම මහනායක හිමිවරු හමුවෙන්න ගියා. කාදිනල්තුමා හමුවෙන්න ගියා. දේශපාලනික වශයෙන් විවිධ මත තිබෙන්න පුළුවන්. එහෙත් අපි තීන්දු ගැනීම දහසය දෙනා හැටියට නෙමෙයි ශ්‍රීලනිපයේ හෘදය සාක්ෂියේ නිදහස් කණ්ඩායම හැටියට කරනවා. මේක දහසය දෙනාට ලඝු කරන්න එපා. මේක ශ්‍රීලනිපය ඉතාම ඉක්මනින් ශ්‍රීලනිප පිරිසුදු කරගෙන මේ රටේ සියලු දේශප්‍රේමී ප්‍රගතිශීලී බලවේග මහා විශාල සන්ධානයකට ගෙන එමින් ඉදිරියේදී මහින්ද මැතිතුමාගෙත් මෛත්‍රී මැතිතුමාගේත් ආශිර්වාදය මත මහා ආණ්ඩුවක් ගොඩනැගීමේ ප්‍රධානතම අත්තිවාරම අපේ කණ්ඩායමයි. 

ප්‍රශ්නය:- ඔබලා කියන මහා ප්‍රතිසංස්කරණ එජාප ප්‍රතිසංස්කරණ වගේ වෙයිද?

පිළිතුර:- එජාප ප්‍රතිසංස්කරණ ගැන අපට පාඩම් තිබෙන නිසා ශ්‍රීලනිප ප්‍රතිසංස්කරණ කළ යුතු ආකාරය අපි දන්නවා. අපේ ප්‍රතිසංස්කරණ තුළ මේ රටේ කවුරුත් බලාපොරොත්තු වෙන මහින්ද, මෛත්‍රී සමගියත්, එජාපය එපා වී යන එන මං නැතුව සිටින එජාප ප්‍රගතිශීලී කොටස්වල එකමුතුවක් ඒකාබද්ධයේ ඩීල් දාන්නැති කෙළින් ඉන්නා අයගේ එකමුතුවක් ඇති කෙරෙනවා. ඒ නිසා අපේ ප්‍රතිසංවිධානය ඉක්මනින් මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්න ගෙන යන වැඩපිළිවෙළක්. අපේ ප්‍රතිසංස්කරණය අලුත් මැතිවරණයකට පෙර පුළුවන් නම් පාර්ලිමේන්තුව ඇතුළෙම ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩුවක් හදන වැඩපිළිවෙළක ආරම්භයක් මිස එජාපයේ වගේ පුහු වැඩකට නැති බොරු ප්‍රති ප්‍රතිසංස්කරණයක් වෙන්නේ නැහැ.

ප්‍රශ්නය:- දැන් මොනවා කිව්වත් ඔබලා දහසය දෙනා දේශපාලන අනාථයන් බවට පත්වේවි නේද?

පිළිතුර:- අනාථභාවයට පත්වෙන්නේ එහෙම කියන අයනේ. අපි එළියට බැස්සේ ඇමැතිකම් එපා කියලයි. අපි ශ්‍රීලනිපය ශක්තිමත් කරමින් රටේ ජනප්‍රියම නායකයා වන මහින්ද මැතිතුමත්, පක්ෂයේ නිල නායක මෛත්‍රී මැතිතුමත් යන දෙදෙනාම එකතු කරගෙන යන ගමනකුයි මේ යන්න හදන්නේ. එහෙම වැඩ කරන අපිට එක එක ඒව කියනව නම් ඒ අයයි දේශපාලන අනාථයන් වෙන්නේ. දේශපාලන කුණුබක්කියට වැටෙන්නේ ඔවුන්. මේ අය කොතරම් කෑ ගැසුවත් ඇඟ බඩ කොතරම් ලොකු වුවත් වැඩක් නැහැ.

සාකච්ඡා කළේ
චමින්ද මුණසිංහ



අදහස් (10)

සම්මුතිය ඇතුළේ නයි - මුගටි හටන්

Raveendra Monday, 21 May 2018 05:49 AM

ඔහේ කියන්නකෝ බලන්න කට ඇරලා කවද්ද බලය වෙනුවෙන් "ඔහේ ඇතුළු ඔය කියන රැල" නයි, මුගටි සටනක නොයෙදුණේ කියලා? අපි හරිම ආසයි දැනගන්න.. හැබැයි ඇත්ත කියනවා.. තේරුණාද? මොකද තමුසෙලා කට ඇරියොත් කෙප්ප කියන්න ඔස්තාර්ලා. අපි නොදන්නා අවංක දේශපාලකයෝ...

:       3       119

de silva Monday, 21 May 2018 07:31 AM

ඔබතුමා ඔය කියනවිදිහේ අවංක නිතරම පක්ෂයේ උන්නතිය රටේ දියුණුව පෙරට තබල කටයුතු කරන දේශපාලකයෙක් නම් ඇයි ගියපාර මැති තිවරණයේදී පාක්ෂිකයෝ මොකද ඔබතුමාට මනාපේ නොගැහුවේ ? මෛත්‍රී මහත්මය ඔබව පස්ස දොරෙන් ඇතුල් කර ගෙන පින් ඇමති කමක් දුන්නේ නැත්නම් ඔබ ගෙදර , ඔය විදිහට තව දුරටත් බොරු කියමින් ජනතාව නොමග යවන්න හැදුවොත් ලබනපාර මනාප සංඛ්‍යාව අනිවාර්යයෙන් ගිය වරට වැඩිය පහල බහිනවා අනිවාර්යයෙන් , දැන් පොහොට්ටු පිලට යන්නත් ප්‍රමාද වැඩිය මොකද ඔබ ප්‍රදේශයේ පොහොට්ටුවේ අරම්බහක සාමාජිකයෝ එහි මුල්පෙළේ පුටුවල සිටිති

:       1       90

ruvan Monday, 21 May 2018 09:04 AM

පොහොට්ටුවට ජය වේවා!!!!!

:       2       56

sam Monday, 21 May 2018 03:50 PM

රටම ගැන වතුරෙන්, උණ සන්නිපාතෙන් අමාරුවේ වැටිලා ඉඳිද්දී මෙය 16ක්, 20ක් කියවනවා. මෙන්න මේ වගේ මිනිසුන්ට සමාජ අවබෝධයක් නෑ පොඩ්ඩක්වත්...

:       0       112

de silva Monday, 21 May 2018 06:22 PM

සෑම් මහත්මය ඔබතුමාගේ අදහස හරියටම හරි රටට හෙන ගැහුවත් මේගොල්ල ගේ ඔලුවේ තිබෙන්නේ මෙගොල්ලගේ බලය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ? මේ ඔක්කොට්ටම වගකියන්න ඕනේ මෙගොල්ලගේ ලොක්ක , ජනතාව මේ ගොල්ල ගෙදර යවුවහම ලොක්ක පස්සදොරින් මේගොල්ල පාර්ලිමේන්තුවට ගත්ත , ලබන පාරනම් මේ යත් ගෙදර ,ලොක්කත් ගෙදර

:       0       110

Chanak Los angeles Monday, 21 May 2018 08:46 PM

එතකොට කවදාද දේසපාලකයන්ගේ ප්‍රශ්න කම්මුතු වන්නේ ? කවදාද නිෂ්පාදන අරඹා ආර්ථිකය ශක්තිමත් කර රුපියලේ අගය ඉහල නංවන්නේ ?මේවා කරන්න බැරිනම් දේසපාලකයන් ලෙස ඔය ක්සේෂ්තරයේ රැඳවී ඉන්න අයිතියක් නැහැ .

:       0       108

de silva berlin Tuesday, 22 May 2018 06:28 AM

චානක ලොස් ඇන්ජලිස් මහත්මයාගේ මතය මමද අනුමත කරමි , උදාහරණයක් ගතහොත් ජනාධිපතිවරණයෙන් පැරදුන සදාචාරයට ගරු කරමින් හිලරි ක්ලින්ටන් තම පක්ෂයේ නායකත්වය දෙවන පෙළ නායකයෙකුට පවර ගෙදර ගියේය....... මෙතුමා රාජපක්ෂ රජයේත් කැබිනට ඇමති වරයෙක් , ඊට පස්සේ මැතිවරණයේදී ජනතාව ගෙදර යැවුවත් , පස්සේ දොරින් පාර්ලිමේන්තු මන්ත්‍රී කම අරන් කැබිනට් ඇමති කෙනෙකු වුන , ජනතාව ප්‍රතික්ෂේප කලට පස්සේ මේ ගොල්ලන්ට පාර්ලිමේන්තුවේ ඉඳ ගන්න එක සදාචාරාත්මක් නැත , පසුගිය කාලෙය්ත් පාර්ලිමේන්තුවේ ඉඳන් එක එක යටි උගුල් ඇද ඇද හිටිය එක මිසක් රටේ දියුණුවට වැඩක් කලේ නැහැ , රටේ දින දින පිරිහෙන්නේ කඩා වැටෙන්නේ රටේ ආර්ථිකය නමැති බඩවැලේ එල්ලිලා සාරය උරාබොන මෙවැනි දේශපාලන පනුවන් නිසාය , මුන්ට ඡන්දෙදි ජනතාව පනුබෙහෙත් දී විරේක කලත් නායකයෝ මුන් අසුචි ගොඩෙන් අහුලා නැවත මුකය තුලින් බඩට දමති

:       0       183

කුමාර් (ගල්ෆ්) Tuesday, 22 May 2018 06:37 AM

මේ හොරෙක් තෙපර බානවා, ගොන්වාද කරලා ඉවරවෙලා.

:       0       152

Saththaya Tuesday, 22 May 2018 02:39 PM

මෙච්චර කල් රටට කළ සමාජ සේවයක් කියන්න පුලුවන්ද ? අවුරුදු කීයක් දේශපාලනය කරනවද ? දුෂණයට, භීෂණයට කඩේ ගිය එක විතරයිනේද කලේ ? ඒ නිසා දැන් විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා හිටියොත් ඒක රටට කරන ලොකු සේවයක් වගේම, පක්ෂයටත් විශාල පිබිදීමක්, ඒ වාගේම ඔබට ලොකු පිනක් මොකද, යහපත් සමාජයක් හදන්න උදව් වෙන එකට .

:       0       418

Ranjith Silva Wednesday, 23 May 2018 12:30 AM

දැන් හරි යාවි. මුගටි ටික එලියට ඇවිත් නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 154 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 17 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 185 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site