• ඔබේ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘එතෙර කවි’ කෘතියට පාදක වූ ඇතැම් අත්දැකීම් ලාංකිකයන්ට ඇතැම් විට ආගන්තුකයි. ඔබේ මේ එතෙර අත්දැකීම් සහ ඒවාට බලපෑ ප්‍රකම්පනීය අවස්ථා හා සිද්ධි කවි බවට පත්වුණේ කොහොම ද?
“එතෙර කවි කෘතියට ඇතුළත් වන්නේ පිලිපීනය, තායිලන්තය, ඉන්දියාව, බෙල්ජියම, නෙදර්ලන්තය, මියන්මාරය, සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයක සංචාර තුළින් ලබාගත් අත්දැකීම් හා වින්දනයන් මත නිර්මිත නිර්මාණ. මේ නිර්මාණවල සාධනීය නිශේධනීය තැන් ගැන කතා කිරීම පාඨකයන්ට සහ විචාරකයන්ට අයිති කාරියක්. කෙසේ වෙතත් ‘එතෙර කවි’ කාව්‍ය සංග්‍රහයට මහාචාර්ය විමල් දිසානායක මහතා ලියූ පසුවදනක ඔහු සඳහනක් කරන්නේ විදෙස් රටවල සංචාරය කිරීමෙන් ලබාගත් අත්දැකීම් හා වින්දන මෙම සංග්‍රහයට නඟා ඇති බැවින් නිම් වළලු දෙකක් යා වෙන අයුරු දැකගත හැකි බවයි.
විදෙස් රටවල් කිහිපයක දී අප අත්විඳින ඇස ගැටෙන දේ අපට බොහෝවිට නුහුරුයි, නුපුරුදුයි. විදෙස් රටවල භෞතික හා සංස්කෘතික පරිසරවල වෙනස්කම් ඇතත් සමස්ත ලෝකය පුරා ඇත්තේ පොදු මානව උරුමයක් බවයි මා සිතන්නේ. ඒ නිසා විවිධ රටවල සමාජ ආර්ථික සංස්කෘතික සන්දර්භයන් තුළ අප අත්විඳින නවමු අත්දැකීම්වල අපූර්වත්වය කවි බවට පෙරැළෙන්නේ ප්‍රබල ප්‍රකම්පනයක් ඇති කරවමින්. එම අත්දැකීම් සුචනය කිරීම තුළින් බිහිවන කවිය තුළ ඇත්තේ නව අනුභූතියක් සමඟ කිසියම් හෘදයාංගම බවක් කියලයි මට සිතෙන්නේ.”
• ඔබ කාව්‍යකරණයට යොමුවන්නේ හැත්තෑව දශකයේ වුවත් සක්‍රීය කවියකු ලෙස ඔබ කැපී පෙනෙන්නේ මෑත කාලය තුළයි. හැත්තෑව දශකයේ කවි කලාව සහ නූතන කවිය අතර ඔබ දකින සාධනීය නිශේධනීය ලක්ෂණ මොනවා ද?
“1974 වසරේදී ලියා පළ කළ සොල්දාදුවා සහ විජිතය කාව්‍ය සංග්‍රහයෙන් මා කාව්‍ය රචනයට පිවිසියත් මගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය පළවන්නේ ඉන් බොහෝ කලකට පසුවයි. හැත්තෑව දශකය සිංහල කවියේ පමණක් නොව සාහිත්‍යයේ විවිධ ක්‍ෂේත්‍රවල වසන්ත සමයක් බව පෙනෙනවා. පරාක්‍රම කොඩිතුවක්කු, බුද්ධාදාස ගලප්පත්ති, මොනිකා රුවන්පතිරණ වැනි කවි කිවිඳියන්ගේ පැමිණීමත් සමඟ සිංහල කවියේ නිම් වළලු පුළුල් වුණා. මෙතෙක් සිංහල කවිය තුළ ඇස නොගැසුණු විවිධ වස්තු විෂයයන් ඔවුන්ගේ කවිවලට බඳුන් වුණා. ඒ තුළින් සිංහල කවියේ වපසරිය පුළුල් වූවා පමණක් නොව කවියට අලුත් රසික පිරිසක් ද එකතු වුණා.
නූතන කවි පරපුර හැත්තෑව දශකයේ කවි පරම්පරාවේම එක්තරා දිගුවක් හැටියට සලකන්න පුළුවන්. වර්තමානයේ බොහෝ කවියන් අද පවතින සමාජ ආර්ථික ප්‍රපංචයන් තුළ අත්විඳින අත්දැකීම් විවිධයි. ඒ නිසාම නූතනයේ ඇතැම් කවියන්ගේ රැඩිකල් බවක් පෙනෙන්නට තිබෙනවා. සමහරවිට ඒ රැඩිකල් බවේ සීමා මායිම් ඉක්මවා ගිහින් කවියේ හැඩරුව හා භාවිත ගුණය වෙනස් වෙලා තේරුමක් නැති හුදු වාගාලාප බවට පත්ව තිබෙනවා.
ඒත් ඒ අතර ඇතැම් තරුණ කවියන් උසස් ගණයේ කාව්‍ය නිර්මාණ බිහි කිරීම සතුට දනවන කරුණක්. සිංහල කවිය නොනැසී පවත්වා ගැනීම සඳහා නේකවිධ බාධා මැද කවි පොත් පළ කිරීමත් ඉතා අසීරු අවධියක් වන මේ සමයෙහි පවා කවිය අත්නොහැර මනරම් කවිකම්වල යෙදීමත් අගය කළ යුතුයි.”
• කවිය මේ යැයි පැහැදිලි නිර්වචනයක් දිය නොහැකි වුවත් රසිකයකුට කවිය හඳුනා ගැනීමට ඔබ යෝජනා කරන පහසුම හා නිරවුල්ම පැහැදිලි කිරීම කුමක් ද?
“කවිය පිළිබඳව පළ වී ඇති පෙර’පර දෙදිග කාව්‍ය විචාරකයන්ගේ නිර්වචන රාශිය සලකා බැලීමේදී ඒ හැම එකක් තුළින්ම විශද වන්නේ ‘කවිය වූ කලී අපූර්ව වූත් හෘදයාංගම වූත් කේන්ද්‍රීය සාහිත්‍යාංගය’ බවයි. ‘අපාරේ කාව්‍ය සංසාරේ කවිරේව ප්‍රජාපත’ (නිමක් නොමැති කාව්‍ය සංසාරයේ කවියා මහ බඹුය) කියලා කියන්නේ ඒකයි. කවියා අපූර්ව වස්තු නිර්මාතෘවරයකු ලෙස හඳුන්වා තිබෙනවා. ඒ නිසා කවිය හඳුනා ගැනීමට පහසුම ආකාරය වන්නේ වස්තුබීජයක් කවි සිතකට ඇතුළු වූ පසු ගැබක් තුළ කළලයක් කෙමෙන් මෝරා වැඩෙන්නා සේ කවිය ද ඊට අනුරූපව හැඩරුව ගනිමින් හැදී වැඩී අපූර්ව ලෙස නිර්මාණය වන්නක් හැටියටයි. එවන් අපූර්ව නිර්මාණයකින් අප හදවත්වල සියුම් වින්දනයක් ජනිත කරන්නේ හෘදයාංගම ලෙසින්.”
• මෑත කාලීන කවියේ විවිධ ප්‍රවණතා මතු වී ආවා. හයිකු සම්ප්‍රදායේ සංක්‍ෂිප්ත කවිය ඉන් එකක්. මෙය තරුණ පරපුරේ කවියන් අතර ජනප්‍රිය වුණත් ඔබේ පරම්පරාවේ ඔබ ඇතුළු බොහෝ දෙනකුගේ නිර්මාණ අතර මේ කෙටි කවිය දැකිය හැක්කේ අඩුවෙන්. මේ ප්‍රවණතාවල විශේෂත්වය ඔබ දකින්නේ කොහොම ද?
“සිංහලයෙන් ලියැවෙන සංක්‍ෂිප්ත කවිවල හයිකු කවියේ ආභාසයක් දකින්න පුළුවන්. හයිකු කාව්‍ය සම්ප්‍රදාය වන්නේ පහ-හත-පහ දිගින් යුතුව පාද දහයකින් කවි ලිවීමයි. පාද සහ මාත්‍රා පිළිබඳ සම්මුති සහ රීතිවලට අනුව යමින් ඒවා රචනා කළ යුතුයි. මේ සම්ප්‍රදාය අනුගමනය කිරීම සරල සහ සුගම කාර්යයක් නොවෙයි. එම නිසා හයිකු කවියේ ව්‍යුහය අනුගමනය කිරීමට අපේ කවියන් අනුගත වෙනවා.
සාහිත්‍යයේ ප්‍රගමනය සඳහා විවිධ ව්‍යුහයන්, රීති, සම්ප්‍රදායන් අනුගමනය කිරීම තුළින් විවිධ අත්දැකීම් විදාරණය කිරීමට හැකි වෙනවා. එබැවින් හයිකු කවියේ ආභාසයෙන් භාව ප්‍රකාශනයේදී විවිධ කාව්‍යෝපක්‍රම භාවිත කිරීම සාධනීය පියවරක්.”
• ඔබ කාව්‍ය නිර්මාණ රචනයේ මෙන්ම සාහිත්‍ය විචාරයේත් යෙදෙන කෙනෙක්. කාව්‍ය නිර්මාණ රචනය තරමට නූතන කාව්‍ය විචාරය දියුණු වී නැති බව බොහෝ දෙනාගේ මතයයි. මේ සම්බන්ධව ඔබේ අදහස දැනගන්න කැමැතියි?
“කාව්‍ය නිර්මාණ රචකයකුට විචාරය යහපත් මඟ පෙන්වීමක්. ඒත් සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රය තුළ කාව්‍ය විචාරය සිදුවන්නේ ඉතා අඩුවෙන්. සැබෑ කාව්‍ය විචාරයක් නොමැති වීම නිසා වත්මන් කවියන්ගේ කාව්‍ය රචනා නිසි ඇගැයීමකට පත්වන්නේ නැහැ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ‘සාහිත්‍ය විද්‍යාව’, ‘කල්පනා ලෝකය’, මහාචාර්ය විමල් දිසානායක මහතාගේ ‘නව කවි සරණිය’, ආරියවංශ රණවීර මහතාගේ ‘කවිය සහ කවියා’ වැනි කාව්‍ය විචාර ග්‍රන්ථ කවිය ගැන අධ්‍යයනය කිරීමට නූතන කවියන්ට වඩාත් වැදගත්.
මෙකල පුවත්පත්වල කාව්‍ය විචාර සඳහා වෙන් වන්නේ සීමිත ඉඩකඩක්. ගැඹුරු විචාර වෙනුවට බොහෝ විට සිදුවන්නේ පොත් හඳුන්වා දීම පමණයි. එබැවින් කාව්‍ය විචාර ග්‍රන්ථ පළ කිරීමත් කාව්‍ය විචාර සඳහා පුවත්පත් සඟරා ආදිය ප්‍රමාණාත්මකව උපයෝගි කරගැනීමත් කාලීන අවශ්‍යතාවක්.”
• කවිය ඇතුළු සාහිත්‍යයේ ගුරුකුල, කල්ලි, කණ්ඩායම් ගැන එදා වගේම අදත් කතා වෙනවා. වර්තමානයේ මේ තත්ත්වය කවියට මෙන්ම කාව්‍ය විචාරයට බලපා තිබෙන්නේ කොහොම ද?
“එදා මෙන්ම අදත් ගුරුකුල, කල්ලි, කණ්ඩායම්වලින් සිදුවන්නේ ප්‍රතිභාවෙන් ධී ශක්තියෙන් යුත් කවියන් අවතක්සේරු කිරීමක්. තමන්ගේ ගුරුකුලයේ, කල්ලියේ, කණ්ඩායමේ කෙබඳු නිර්මාණයක් වුවත් ඉහළින් වර්ණනා කරන හැටි දකින්න පුළුවන්. මේ තත්ත්වයෙන් සාහිත්‍යයට සිදුවන්නේ අනර්ථයක්. කොළඹ කේන්ද්‍රීය කල්ලි කණ්ඩායම් සඳහා සහභාගිවන්නන්ගේ නිර්මාණ අගය කිරීම් නිබඳව සිදුවෙනවා. ඇත්තෙන්ම සිදුවිය යුත්තේ තරගයට කවි පොත් පළ කිරීම වෙනුවට ගුණාත්මක බවින් යුත් කවි පොත් පළ කිරීම සඳහා යහපත් මඟ පෙන්වීමක් සිදු කිරීමයි. ඒත් තවමත් අපේ රටේ සාහිත්‍ය විචාරය කල්ලිවාදයට ගොදුරු වී ඇති බව පෙනෙනවා.”
• වාර්ෂිකව පැවැත්වෙන සාහිත්‍ය සම්මාන උත්සව හේතුවෙන් සාහිත්‍යයේ නව ප්‍රබෝධයක් ඇති වී තිබෙන බව ඇතැමුන්ගේ අදහසයි. තවත් අය කියන්නේ සාහිත්‍ය සම්මානවලින් ලේඛකයන් තැනිය නොහැකි බවයි. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
“මගේ නම් අදහස සාහිත්‍ය සම්මාන සලකා බැලීමට අධික පොත් සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරෙන නිසා අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක් මේ පොත් තේරීම සඳහා තෝරා ගැනීම වැදගත් බවයි. මෙම විනිසුරු සාමාජිකයන් විවිධ ගුරුකුල කණ්ඩායම් නියෝජනය කළොත් ඇතැම් විට ඔවුන්ට ගෝචර නොවන කෘති ඉවත් වී යන්න පුළුවන්.
අනික් පැත්තෙන් සම්මාන බලාගෙනම ඒ වෙනුවෙන්ම පොත්පත් ලියන පිරිසක් බිහි වෙමින් සිටින බවකුත් පේනවා. එහෙම වුණොත් ගුණාත්මක බවින් යුතු පොත් පළවීම අඩුවෙන්න පුළුවන්. කොහොම වුණත් අපක්ෂපාතීව, සර්ව සාධාරණව හොඳ පොත් තෝරා ඒවාට සම්මාන දීම ලේඛකයන් ධෛර්යයට පත් කිරීමක්.”
(*** සංවාද සටහන - ගාමිණි කන්‍දෙපොළ)
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමහරුන්ගේ රැඩිකල් කවි සීමා නැති වාගාලාප
rocky Wednesday, 14 July 2021 06:25 AM
මෙයා කවුද?