(ජුනි මස 3 වැනි දාට යෙදෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 110 ජන්ම සංවත්සරය වෙනුවෙනි)
විසිවැනි සියවසේ සිංහල සාහිත්‍යය, විචාර කලාව හා නාට්‍ය කලාව යන ක්ෂේත්‍රවල අභිවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් හා බුද්ධිමය සම්ප්‍රදානයක් ලබා දුන් කීර්තිමත් ශාස්ත්‍රාලයීය විද්වතකු ලෙස සම්භාවනාවට පාත්‍ර වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 - 1996) තම ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ජීවිතය විශ්වවිද්‍යාල දේශනවලට පමණක් සීමා නොකළේය.
සිය ශාස්ත්‍ර කලා ජීවිතයේ දී පුවත්පත, ගුවන් විදුලිය වැනි ජනමාධ්‍ය මෙන්ම නාට්‍යය වැනි කලා මාධ්‍ය භාවිත කරමින් පාඨක, ශ්‍රාවක හා ප්‍රේක්ෂක ජනයා අතර උසස් රසඥතාවක් ඇති කිරීම සඳහා අඩසියවසක පමණ කාලයක් මුළුල්ලේ එදිරිවීර සරච්චන්ද්‍රයන් ඉටු කළ සන්නිවේදන භූමිකාව විද්‍යාර්ථීයකුගේ අවධානයට ලක් විය යුතු මාතෘකාවකි. ඒ මෙහෙවර ලුහුඬින් විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
1930 දශකයේ දී කොළඹ පිහිටි ලංකා යුනිවර්සිටි කොලීජියේ දී ශාස්ත්‍ර හදාරා ඉන් පසුව ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් ද ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ද ශාස්ත්‍රීය ශික්ෂණයක් ලැබ ලංකා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස 1940 දශකයේ සිට විශ්වවිද්‍යාල ප්‍රජාව සමග කටයුතු කළ එදිරිවීර සරච්චන්ද්‍ර නූතන සිංහල නාට්‍ය කලාවේ පුනරුදයක් ඇති කිරීමටත් සිංහල විචාර කලාවෙහි මංපෙත් හෙළි පෙහෙළි කරන්නටත් පුරෝගාමී මෙහෙවරක් සිදු කළේය.සිය දිවියේ තුරුණු වියේ සිටම සරසවි වරම් ලබා ගැනීම සඳහා සරච්චන්ද්‍ර තුළ පැවැති නොතිත් ආශාව ඔහුගේ ජීවන චාරිකාව විමසන විට පැහැදිලි වන්නකි. ඒ පිළිබඳ බොහෝ තොරතුරු ඔහු විසින් 1985 දී රචනා කරන ලද පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ ඇතුළත් වේ. භාරතීය සංස්කෘතිය ඇතුළු පෙරදිග භාෂා සාහිත්‍යය පිළිබඳව මහත් ලෙස ආකර්ෂණය වී සිරි සරච්චන්ද්‍ර 1933 දී යුනිවර්සිටි කොලීජියට ඇතුළු වූ පසු තම අධ්‍යයන විෂයයන් ලෙස තෝරා ගත්තේ සංස්කෘත, පාලි හා සිංහල යන ඉන්දු-ආර්ය විෂය ක්ෂේත්‍රය යි. එසේම සංගීත විෂයයෙහි පැවති මහත් ආසාව නිසා මේලා හා ගාන්ධර්ව සභා ආදියේ කටයුතුවලටත් සම්බන්ධ වී ඇත. එකල යුනිවර්සිටි කොලීජියේ පෙරදිග භාෂා ඉගැන් වූ පූජ්‍ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් ජන ගී හා වන්නම් ගායනයේ දක්ෂයකු වූ අතර ගුවන් විදුලියට ජන ගී හඳුන්වා දෙමින් පාරම්පරික සිංහල ජන ගී තැටිගත කිරීමට ද උපකාර කර ඇත.
1936 දී බී.ඒ. උපාධිය ලැබීමෙන් පසුව බම්බලපිටියේ සාන්ත පීතර විදුහලේ සේවය කොට පසුව ලේක්හවුස් ආයතනයේ රැකියාවකට යොමු වූ කාලයේ දී තම මුල් නම වූ ඉයූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා යන්න වෙනස් කොට එදිරිවීර සරච්චන්ද්‍ර නමින් ප්‍රකට වන්නට විය. මේ කාලයේ දීම සරච්ච්න්ද්‍ර සිංහලයන්ගේ බටහිරකරණ සිරිත් විරිත් හා ආකල්ප පිළිබඳ ලිපි පෙළක් ‘ප්‍රබුද්ධ ලංකා’ නමින් Daily News පුවත්පතට සපයා ඇත. එකල ලේක්හවුසියේ සේවය කළ අවදියේ දී දිනමිණ කර්තෘ පදවිය දැරූ මාර්ටින් වික්‍රමසිංහ දැන හැඳින ගැනීමේ අවස්ථාව ද සරච්ච්න්ද්‍රට ලැබෙයි. වික්‍රමසිංහ තමා හමුවන්ට ආවේ Daily News පුවත්පතට සැපයූ ලිපි කියවා මා ප්‍රකාශ කළ අදහස්වලට කැමති වූ” නිසා බව සඳහන් වේ.
පුරා වසරක කාලයක් ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ සිට ලක්දිවට දෙවසරකට පසුව එනම් එදා 1942 දී යාපනයේ පළ වූ Kesari නම් සඟරාවට සරච්චන්ද්‍ර සැපයූ ලිපි පෙළින් පැහැදිලි වන්නේ පුවත්පත් සඟරාදි මාධ්‍ය මගින් තම අදහස් පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට සරච්ච්න්ද්‍ර තුළ පැවැති අභිප්‍රාය යි. Through Santiniketan Eyes (ශාන්ති නිකේතනයේ ඇසින්) නමින් ඉංග්‍රීසියෙන් ලියැවුණු එම ලිපි මගින් තම ඉන්දියානු අත්දැකීම්වල ස්වභාවය මෙරට ජනයා සමග බෙදාහදා ගැනීමට සරච්චන්ද්‍ර උත්සාහ දරා ඇත.
ශාන්ති නිකේතනයේ සිට පැමිණී පසු කලක් ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේත් ඉන්පසුව සිංහල ශබ්ද කෝෂයේත් සේවය කළ සරච්චන්ද්‍ර කොළඹ ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසුව 1944 දී එහි පාලි අංශයේ කථිකාචාර්‍යවරකු ලෙස තම සරසවි ඇදුරු දිවිය ආරම්භ කළේය. සරච්චන්ද්‍ර එම අවදියේ සිට ම වඩාත් උනන්දුවක් දක්වා ඇත්තේ නාට්‍ය නිෂ්පාදනය හා ලේඛන කලාව කෙරේය. උසස් රසඥතාවකින් යුක්ත ජන කොට්ඨාසයක් බිහි කර ගැනීම සඳහා පුවත්පත් ගුවන් විදුලිය වැනි මාධ්‍ය භාවිත කිරීමට සරච්චන්ද්‍ර තුළ පැවති උනන්දුව ඔහුගේ විශ්වවිද්‍යාල වෘත්තියේ දක්නට ලැබුණු වැදගත් ලක්ෂණයකි.
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දී පශ්චාත් උපාධි අධ්‍යාපනය අවසන් කොට 1949 දී පමණ පෙරළා ලක්දිව පැමිණි සරච්චන්ද්‍ර ගුවන් විදුලි නාට්‍ය කෙරේ අවධානය යොමු කර ඇත. ඔහුගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියේ එක් කොටසක් වෙන් කර ඇත්තේ ‘රේඩියෝ වැඩ හා නාට්‍ය අභ්‍යාස’ යනුවෙනි. පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ගත කළ කාලයේ දී බීබීසී වැනි ආයතනයක ගුවන් විදුලි ආකෘතිය හොඳින් අවබෝධ කර ගැනීමට සරච්චන්ද්‍රට අවස්ථාව ලැබී ඇත. එසේම බීබීසී ආයතනයෙන් විකාශය කළ රේඩියෝ නාට්‍යවලට සවන් දීමෙන් ලැබූ අවබෝධය මත “ සිංහල රේඩියෝ නාට්‍ය” දියුණු කළ හැකි ආකාරය ගැන සිලෝන් ඔබ්සර්වර් පුවත්පතට ලිපි සම්පාදනය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලියේ ‘යෞවන සමාජය’ නමින් අලුත් වැඩසටහනක් ආරම්භ කිරීමට සරච්චන්ද්‍රට ආරාධනාවක් ලැබිණි.
සරච්චන්ද්‍ර ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ එම සේවාව ‘රෙඩියෝ සිලෝන්’ නමින් හැඳින්වුණු 1950 දශකය ආරම්භයේ දී ය. ගුවන් විදුලිය එකල තිබුණු එකම විද්‍යුත් සන්නිවේදන මාධ්‍යය විය. 1949 දී ජෝන් ලැම්ප්සන් ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත් වූ අතර සරච්චන්ද්‍ර සමග යුනිවර්සිටි කොලීජියේ දී අධ්‍යාපනය ලැබූ එම්.ජේ. පෙරේරා 1952 දී අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීම මෙරට ගුවන් විදුලි සන්නිවේදනයේ වැදගත් සන්ධිස්ථානයකි.
සරච්චන්ද්‍රගේ ගුවන් විදුලි සන්නිවේදන මෙහෙවර ආරම්භ වන්නේ 1950 දී ඇරඹුණු ‘යෞවන සමාජය’ වැඩ සටහන් මාලාවෙනි. මේ වැඩසටහන නිසා තරුණ කලාකරුවන් හා කලාකාරයන් කිහිප දෙනෙකු සොයා ගැනීමටත් පසුව ඔවුන් සමග එක්ව ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කිරීමටත් සරච්චන්ද්‍රයන්ට අවස්ථාවක් ලැබිණි. “ශ්‍රාවකයන්ගේ රුචිකත්වය උසස් මට්ටමකට නැංවීමට” සරච්චන්ද්‍රයන්ට තිබූ බලවත් වුවමනාව නිසා පී. වැලිකල වැනි ශිල්පීන් සමග එක්ව ගුවන් විදුලි නාට්‍ය දියුණු තත්වයකට පත් කිරීමට කටයුතු කර ඇත. මේ අවදියේ දී සිංහල නාට්‍ය කලාවේ දේශීය රීතියක් සොයා පාදා ගැනීමට පර් යේෂණයේ යෙදුණ සරච්චන්ද්‍ර, සිංහල නාඩගම් සංගීතයේ මිහිරි බව ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේගේ සින්දු හොඳ කටහඬ ඇති පිරිසකට පුහුණු කොට ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමට ද පියවර ගෙන ඇත. එසේම 1953 දී එම්.ජේ. පෙරේරා ආරම්භ කළ තරංගණි’ නම් මාසික ගුවන් විදුලි සඟරාවට දේශීය කලා ශිල්ප හා සංස්කෘතික අංග පිළිබඳව මහාචාර්ය සරච්චන්ද්‍ර ලිපි සපයා ඇති අතර එම සඟරාව උගතුන් හා උසස් අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.
1950 - 60 දශකවල දී ගුවන් විදුලිය වෙනුවෙන් තම නිර්මාණ දායකත්වය ලබා දුන් වෙනත් වැඩසටහන් අතර ද්විතීය සංග්‍රහය, ශාස්ත්‍රීය සංග්‍රහය, ගුවන් විදුලි රඟමඬල හා විශ්ව සාහිත්‍යය යන වැඩසටහන් කැප වී ඇත්තේ දේශීය සංගීතය, නාට්‍ය හා බුද්ධිමතුන්ගේ අදහස් සාකච්ඡා කිරීම සඳහා ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා වෙනත් උගතුන්ගේ සහාය ඇතිව සම්පාදනය කරනු ලැබූ ශාස්ත්‍රීය සංග්‍රහයට ඇතුළත් වූයේ වඩාත් ශාස්ත්‍රීය වූත් සංස්කෘතික හා අධ්‍යාපනික වටිනාකමින් යුත් වැඩ සටහන් ය. එමෙන්ම ඇතැම් විෂයන්හි පර්යේෂණාත්මක තොරතුරු ශාස්ත්‍රීය සංග්‍රහය’ වැඩසටහන සඳහා යොදා ගත්තේය. එකල උසස් අධ්‍යාපනයේ යෙදී සිටී විද්‍යාර්ථීන්ගේ ආකර්ෂණය දිනාගත් මේ වැඩසටහන් නිසා ගුවන් විදුලියට ඉහළ මට්ටමක ශ්‍රාවක ප්‍රතිචාර ලැබිණි. සරච්චන්ද්‍රගේ උපදෙස් සහිතව ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ සැලසුම් කොට නිෂ්පාදනය කිරීමේ වගකීම පැවරී තිබුණේ ප්‍රකට ගුවන් විදුලි සන්නිවේදකයකු වූ එච්. එම්. ගුණසේකරට ය.
සරච්චන්ද්‍ර මුලින්ම නාට්‍ය ලියා ඇත්තේ ද ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ය. ඒවා පසුව රංග භූමිය සඳහා සකස් කොට නිෂ්පාදනය කර ඇත. ‘රත්තරන්’, වළ ඉහගෙන කෑම, තරුණ ලේඛකයා, සත්ව කරුණාව, එලොව ගිහින් මෙලොව ආවා, පේමතෝ ජායතී සෝකෝ එවැනි නාට්‍ය අතර වෙයි. ගුවන් විදුලියට නිර්මාණය කරන ලද බොහෝ නාට්‍ය කෘති ඒකාංගික නාට්‍ය වශයෙන් පසුව රංග භූමියට ගැනීම සන්නිවේදන සම්ප්‍රදායක් වූ අතර ගුවන් විදුලි මාධ්‍ය මගින් අපූරු රංග කාව්‍යයන් කළ හැකි වූ බවත් විධිමත් ලෙස පෙන්වා දෙන ලද්දේ සරච්චන්ද්‍ර විසිනි.
එසේම රටේ ප්‍රකට සිංහල ලේඛකයන්ගේ නිර්මාණ රාශියක් ගුවන් විදුලියට සුදුසු පරිදි සකස් කොට ප්‍රචාරය කිරීම ද 1950 දශකයේ දී දක්නට ලැබුණකි. මාර්ටින් වික්‍රමසිංහගේ රෝහිණී, ගම්පෙරළිය වැනි නවකතා ද ගුවන් විදුලි නාට්‍ය ලෙස කොටස් වශයෙන් ප්‍රචාරය වී ඇත. ගුවන් විදුලි නාට්‍යවල තත්වය දියුණු කිරීම සඳහා පිහිටුවන ලද නාට්‍ය අත්පිටපත් උපදේශක කමිටුවේ ද නාට්‍ය නිෂ්පාදන උපදේශක කමිටුවේ සරච්ච්න්ද්‍ර සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. මේ අනුව එකල රේඩියෝ සිලෝන් (Radio Ceylon) නමින් හැඳින්වුණු මෙරට ගුවන් විදුලි සේවාවේ ‘ස්වදේශික මුද්‍රාව’ තැබීමට දායක වූ විද්වතකු ලෙස සරච්චන්ද්‍ර සිදු කළ මෙහෙවර විදවතුන්ගේ ඇගයීමට ලක් වී ඇත.
එදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍ය නිෂ්පාදන කටයුතුවලට පුවත්පත් හා ගුවන් විදුලි මාධ්‍ය මගින් ලැබුණු විවේචන හා ප්‍රතිචාර ගැන ද මෙහි දී අවධානය යොමු කළ යුතු ය. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාමය වඩාත් ප්‍රකට වන්නට වූයේ 1950 - 60 දශකවල දී මනමේ, සිංහබාහු වැනි නාට්‍ය නිෂ්පාදනය කිරීම නිසා ය. එම නිර්මාණ පිළිබඳ බොහෝ තොරතුරු හා විචාර එකල පුවත්පත්වල පළ වී ඇත. මනමේ නරඹා චන්ද්‍රරත්න මානවසිංහ ලංකාදීප පුවත් පතට ලියූ ‘වගතුග’ තීරු ලිපිය එවැන්නකි. ගුවන් විදුලි ශිල්පීන් පමණක් නොව එකල සිටි සිංහල - ඉංග්‍රීසි පුවත්පත් කලාවේදීන් ද ළඟින් ඇසුරු කළ සරච්චන්ද්‍ර තම නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය දායකත්වය ඔවුන් සමග බෙදා හදා ගත්තේය.
1950 දශකයේ පමණ සිට සිංහල පුවත්පත් සඟරා සඳහා ලිපි සම්පාදනය කළ ලේඛකයන් අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට ලැබෙන්නේ ඉහළ තැනකි. ආරම්භයේ දී Daily News, Observer වැනි ඉංග්‍රීසි පුවත්පත්වලට මෙන්ම වෙනත් විදේශීය සඟරාවලට පවා ලිපි සපයමින් දේශීය භාෂා සාහිත්‍යය පිළිබඳ තොරතුරු ඉංග්‍රීසි උගත් සිංහල පාඨකයන් වෙත සන්නිවේදනය කිරීමට සරච්චන්ද්‍ර කටයුතු කර ඇත. පියවර, සංස්කෘති, වීමංසා වැනි විශ්වවිද්‍යාල මට්ටමින් පළ වූ සඟරා සඳහා පමණක් නොව දිනපතා හා සතිපතා සිංහල පුවත්පත්වලට සරච්චන්ද්‍ර විසින් සපයන ලද ලිපි හා සාකච්ඡා නිසා නූතන සිංහල සාහිත්‍යය, නාට්‍ය කලාව හා සංස්කෘතිය පිළිබඳ බොහෝ අදහස් සිංහල පාඨක - විචාරක ප්‍රජාව වෙත සන්නිවේදනය විය. එකල සිංහල පුවත්පත් සඟරා සඳහා මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් ලිපියක් ලබා ගැනීමට එම සඟරාවේ ඉහළ තත්වය රැක ගැනීමට හේතුවක් ලෙස සංස්කාරකවරු සිතූහ. දශක හතරකට වැඩි කාලයක් මුළුල්ලේ පුවත්පත් සඟරාදියට සරච්චන්ද්‍ර විසින් සපයන ලද ලිපි ලේඛන එකතු කොට සාර සංග්‍රහයක් ලෙස පළ කරන්නේ නම් එය උසස් ශාස්ත්‍රීය සේවාවක් වනු ඇත.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරච්චන්ද්‍ර මුලින්ම නාට්‍ය ලිව්වේ ගුවන් විදුලියට