මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා යනු දේශීය නාට්‍ය කලාව, සාහිත්‍ය නිර්මාණ රචනය, විචාර කලාව ඇතුළු ක්ෂේත්‍ර බොහෝමයක තීරණාත්මක සංධිස්ථානයකි. එතුමන්ගේ 24 වැනි අනුස්මරණය මෙම මස 16 වැනිදා ට යෙදී තිබේ.
මහාචාර්ය කේ.එන්.ඒ. ධර්මදාස මහතා සමඟ මේ සංවාදය පැවැත්වෙන්නේ එය නිමිත්තක් කොට ගෙනය. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියද එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියද ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද ලැබූ කේ.එන්.ඒ ධර්මදාස මහතා දිගු කලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ඔහු රචනා කළ කෘති ද බොහෝමයකි. සරච්චන්ද්‍රයන්ගේ පර්යේෂණ භූමිකාව, කවීත්වය හා විචාර කලාව ආදිය මෙම සංවාදයේ දී සැකැවින් විමසා බැලේ.
ප්‍රශ්නය:–මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට කලා නිර්මාණ පිටුපස ඉතා රසවත් ගැඹුරු පර්යේෂණ ව්‍යායාමයක් දැකිය හැකියි. පසුව එන නිර්මාණකරුවන්ට ආදර්ශයට ගත හැකි මෙම ලක්ෂණය ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?
පිළිතුර:– 1950 දශකය වන විට සරච්චන්ද්‍රයන් සිංහල ගැමි නාට්‍ය සම්ප්‍රදාය ගැන ඉතා විචක්ෂණ අධ්‍යයනයක් කර තිබුණා පමණක් නොවෙයි එය භාරතයේත් ඈත පෙරදිග චීනයේ හා ජපානයේත් පැතිරී ඇති මහා සම්ප්‍රදායක අවශිෂ්ටයන් බවත් පසක් කර ගෙන සිටියා. මා දන්නා තරමින් එබඳු පුළුල් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සමස්ත දකුණු ආසියාවේම පළමු වරට සිදු කළේ සරච්චන්ද්‍රයි. ඉන්දියාවේ ගුජරාත ප්‍රාන්තයේ ‘‘මීනා ගුර්ජරී’’ නම් අත්හදා බැලීමක් 1955 වන විට කර තිබුණු බව සරච්චන්ද්‍ර සිය සමරු සටහන්වල කියනවා. එහෙත් 1956 මනමේ රංගගත කොට දේශීය ගැමි නාටක විධි පදනම් කරගෙන සාර්ථක නූතන නාට්‍යයක් නිර්මාණය කළ හැකි බව ඔප්පු කොට පෙන් වූ පළමු දකුණු ආසියාතික නාට්‍යකරුවා සරච්චන්ද්‍රයි. මේ ගැන විස්තර මවිසින් මනමේ අටුවාව පොතේ දක්වා තිබෙනවා. 1956 දී සරච්චන්ද්‍ර මනමේ නාට්‍යයේ ප්‍රථම රංගපත්‍රිකාවේ එය හඳුන්වන්නේ ‘‘අත්හදා බැලීමක්’’ ලෙසටයි. එහෙත් එය දීර්ඝ කාලීන ප්‍රතිඵල ලබාදුන්න අතිශය සාර්ථක අත්හදා බැලීමක් වූ බව අපි දන්නවා. ඉන්දියාවේ මේ ආකාරයේ මූලභූත නාට්‍ය කලාවක් බිහි වුණෙත් 1960 ට පසුවයි.
කේරළයේ විද්වතෙකු වන මහාචාර්ය අයියප්පා පනික්කර් සරච්චන්ද්‍ර උපහාර සංග්‍රහයකට ලියූ ලිපියක මෙය පිළිගෙන තියෙනවා. ඇත්තෙන්ම සරච්චන්ද්‍ර ගැමි නාට්‍යයේ ආභාසය නූතන කරළියට ගෙන ඒම ඇරඹුවේ 1954 නිපද වූ ‘‘රත්තරං’’ මගින්. ඒත් එය හුදු ප්‍රහසනයක්. මනමේ වඩා බැරෑරුම් අත්දැකීමක් රසිකයන්ට ලබාදුන් වඩා සර්ව සම්පූර්ණ නාට්‍යමය අත්දැකීමක්.
සිංහබාහු නිෂ්පාදනයේදී සරච්චන්ද්‍ර තවත් දුර ගියා. උදාහරණයක් තමයි නාට්‍යයේ උච්චතම අවස්ථාව වන සිංහයා මැරීමේ ජවනිකාවේදී ගායක පිරිස නැගිට සිට රංගපාත්‍රයන් බවට පත්වීම. එමගින් අවස්ථාවේ ඇති උද්වේගය තීව්‍ර කෙරෙනවා. තවත් උදාහරණයක් නම් පෙමතො ජායතී සොකො නාට්‍යයේ ගායක පිරිස වන උද්දාලයන්ගේ මිත්‍ර බබුණන් සිව් දෙනා. ඔවුන් හුදෙක් පැත්තකට වී සිටින ගායක කණ්ඩායමක් නොකොට අවශ්‍ය විට උද්දාලයන් සමග සංවාදයේ යෙදෙමින් උද්දාලයන්ගේ සිතැඟි ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙන එනවා. මේ රංගෝපක්‍රම දේශීය ගැමි නාටකය මෙන්ම විශ්ව නාට්‍ය සම්ප්‍රදායයන් අධ්‍යයනයෙන් ලැබූ පරිචයෙන් එක් කළ ඒවායි. මෙතැනදී සඳහන් කළ යුතුයි සරච්චන්ද්‍රයන් මෙන්ම දයානන්ද ගුණවර්ධනයනුත් ස්වකීය නිර්මාණ සඳහා ශාස්ත්‍රීය පර්යේෂණවල යෙදුණු බව.
ප්‍රශ්නය:- සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල සාර්ථකත්වයට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඔහු සතුව තිබුණු අසහාය කවි ශක්තිය නේද?
පිළිතුර:- සරච්චන්ද්‍රයන් සමරන මෙවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම ඔහු සතුව තිබුණු ඒ අපූර්ව ප්‍රතිභාව ගැන කිව යුතුමයි. ඔහු අපේ චිරන්තන කාව්‍ය සම්ප්‍රදාය අතැඹුලක් සේ දැන සිටි කවියෙක්. කවිසමයෙන් ගත් යෙදුම් උචිත ස්ථානවල නවමු රසයක් ගෙනදෙන ලෙස යෙදීම තමයි ඔහු සතුව තිබුණු කුසලතාව. ඒ නිසා කවිසමයෙන් ලබාගත් නමුත් ගතානුගතික රස හීන යෙදුම් නොවී අපූර්ව චමත්කාරයක් ජනිත කිරීමට හැකිවුණා. අප කවුරුත් දන්නා ‘ප්‍රේමයෙන් මන රංජිත වේ...’ ගීතයේ උරුට්ටුවේ එන ‘පිපි තඹරන නද බමරන...’ කොටස කාව්‍යශේඛරයට ණය ගැති වුණත් එතැන සිදුවන්නේ ‘කවි සොරකමක්’ නොව නව්‍ය වූ රස උත්පාදනයක්. කවියාගේ කාර්යය කවිසමය මත පදනම් වුවත් තම වදන් පෙළ ගැස්වීම අපූර්වව සිදුකිරීමක්. මනමේ නාට්‍යයේ එන ‘ලත් හිරුරැස් ලෙස පද්ම විකසිත, සිත් මාගෙ පත්වේය තෘප්ත විලසට’ යන්න එබඳු තැනක්. සිංහබාහු නාට්‍යයේ ‘මෙන් කමලේ දෙන රැව් මිහිෙලාල්’ ගීතය එසේ පැරණි කවි සමයෙහි එන සංකල්ප අවස්තාවෝචිතව ගේහසික ප්‍රේමයේ මුදුමොළොක් ගුණය ධ්වනිත කරන පද මාලාවකින් සමන්විතයි. අප අමතක නොකළ යුතු කරුණක් නම් සරච්චන්ද්‍ර දාර්ශනික කවියෙකු බවයි. පෙමතො ජායතී සොකො අවසාන ජවනිකාවේ උද්දාල බමුණා මුවට නංවා ඇති ‘එසේ වේ නම් ස්වර්ණතිලකා මැරුම් කෑවේ මා අතින් මයි. මගේ පණ මෙන් ළැදිව ඉන්නා සිසුන්ගෙන් නම් මැරුම් කෑවේ...’ යන වදන් වැළෙන් කියැවෙන ගැඹුරු අර්ථය දාර්ශනික කවියෙකු අතින් පමණක් බිහිවිය හැක්කක්. එයින් ගුරු භූමිකාවේ වගකීම අවධාරණය කෙරෙනවා. මෙබඳු අවස්ථාවක උද්දාලයන් වැනි අසාමාන්‍ය විද්වත් පුරුෂයෙකු තුළින් පමණක් බිහිවිය හැකි අදහසක් එය. ඔහු සිය සෙනෙහෙබර පතිනිය දැවෙන චිතකයට පනින්නේ ඇගෙන් සමාව ලබාගැන්මටයි. මේ ආකාරයෙන් සරච්චන්ද්‍රයන්ගේ සෑම නාට්‍යයකම ඔහු සතුව තිබූ අසාමාන්‍ය නිර්මාණශීලීත්වයත් භාෂා නෛපුණ්‍යයත් දැක්ක හැකියි.
ප්‍රශ්නය:- බොහෝදෙනා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හඳුනන්නේ නාට්‍ය කලාව, ප්‍රබන්ධ කථා කලාව, කාව්‍යය ආදී ක්ෂේත්‍රවල විශිෂ්ටතා දැක්වූ කලාකරුවෙකු ලෙසටයි. නාට්‍ය කලාවේ වගේම සාහිත්‍ය කලාවේ ඔහු ගොඩනැගූ විචාරක භූමිකාව දෙස ඔබ බලන්නේ කොහොමද?
පිළිතුර:- මහාචාර්ය සරච්චන්ද්‍රයන් සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ සිංහල ප්‍රබන්ධ කථා පිළිබඳ මුල්ම විචාරකයා ලෙස සිය 29 වැනි වියේදී ලියූ Modern Sinhalese Fiction කෘතියෙන්. එය 1950 සිංහල නවකතා ඉතිහාසය හා විචාරය ලෙස පළවුණා. මෙම කෘති නිසා සිංහල ප්‍රබන්ධ කථා කලාව සම්පූර්ණයෙන්ම විපර්යාසයකට භාජන වූ බව ඉතිහාස ගත කරුණු සාක්ෂි දරනවා.
එපමණක් නොවෙයි සිංහල නාට්‍ය කලාවේත් ප්‍රථම විචාරකයා සරච්චන්ද්‍රයි. ‘කපුවා කපෝති’ නාට්‍යයේ පෙළ 1945 දී මුද්‍රණයෙන් පළ කළ විට ඊට ප්‍රස්තාවනාවක් ලෙස (ඉංග්‍රීසියෙන් හා සිංහලෙන්) දිගු විමර්ශනයක් කරමින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ නාට්‍ය කලාවක් නොමැතිවීම ගැනත් අපේ දේශීය නාට්‍යයේ මුල ගැමි නාට්‍ය හා ශාන්ති කර්මවල දැකිය යුතු බවත් පෙන්වා දුන්නා. පසුව එම අධ්‍යයනයට නගරබදව ජනප්‍රිය වී තිබුණු නූර්ති නාට්‍යත් ජයමාන්‍න නාට්‍යත් ගැන විචාරාත්මක අධ්‍යයන එකතු කළා. The Folk Drama Of Ceylon නම් මෙම කෘතිය ශ්‍රී ලාංකේය කලා විද්වතෙකු ජාත්‍යන්තර පිළිගැන්මකට පාත්‍ර කළ ප්‍රථම කෘතිය ලෙස ඉතිහාසගත වනවා. ලන්ඩනයේ පැසසුමට ලක්වූ එම පොත කියැවූ ඇමෙරිකාවේ රොකෆෙලර් ආයතනයේ බලධාරීන් විශ්ව නාට්‍ය කලාව හැදෑරීම සඳහා සරච්චන්ද්‍රට මුල්‍ය ප්‍රදානයක් කළා. එහි ප්‍රතිඵල වශයෙන් තමයි සරච්චන්ද්‍ර ජපානයට ගොස් කබුකි නාට්‍ය කලාව දැක මනමේ නාට්‍යයට පදනම සකසා ගත්තේ.
තුන්වැනිව කාව්‍යය රසවින්දනය හා විචාරය පිළිබඳ මූලධර්ම සපයන පළමු සිංහල ග්‍රන්ථය වූ සාහිත්‍ය විද්‍යාව ඔහු 1949 දී බිහිකළා. මෙම කරුණු අනුව අපට නොවලහා කිව හැකියි නූතන සිංහල සාහිත්‍ය විචාරයේ පීතෘවරයා මහාචාර්ය සරච්චන්ද්‍රය කියා. මීට තවත් දෙයක් එකතු කරන්නට කැමතියි. 1954 වර්ෂයේදී සංස්කෘති සඟරාවේ ඔහු පළ කළ ‘සිංහල චිත්‍රපටය ජාතියට අගෞරවයකි’ යන ලිපිය ප්‍රබුද්ධ සිනමා විචාර කලාවේ ආරම්භක පියවරක්. හැබැයි ඔහු එම ක්ෂේත්‍රය ගැන පසුව වැඩි අවධානයක් යෙදුවේ නැහැ.
ප්‍රශ්නය:-එහෙත් අද ඇතැමුන් ඉදිරිපත් කරන අදහසක් නම් සරච්චන්ද්‍රයන් නියෝජනය කළ විචාර ක්‍රමය සහ කලා සම්ප්‍රදාය දැනට කල් ඉකුත්ව ගොස් ඇති බවයි. මීට ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
පිළිතුර:- ඔය ප්‍රශ්නයේ අර්ථ දෙකක් තියෙන්නට පුළුවන්. එක අර්ථයක් නම් සරච්චන්ද්‍ර එදා භාවිත කළ විචාර ක්‍රමය වැරැදියි කියල. කෙළින්ම කියනවා නම් එදා පියදාස සිරිසේන, ඩබ්ලිව්.ඒ. සිල්වා ආදීන්ගේ නවකතාත් නූර්ති හා මිනර්වා නාට්‍යත් ප්‍රතික්ෂේප කිරීම වැරැදියි කියන අදහස. එවැනි අදහසක් කිසිවෙකු තුළ තියෙනවා නම් කළ යුත්තේ ඒ පැරැණි විදියට නවකතා නාට්‍ය ආදිය යළිත් ලියන්නටයි. එහෙත් එදා සරච්චන්ද්‍ර කළේ එම යුගයේ තිබුණු අවශ්‍යතාවක් වූ සිංහල ප්‍රබන්ධ කලාව නාට්‍යය ආදී කලා ස්වරූප නව යුගයට ප්‍රවිෂ්ට වීමට මඟ සලසාලීමයි. ඒ නිසා එය සාර්ථක වූ ව්‍යායාමයක්. පේරාදෙණි සාහිත්‍ය දර්ශනයේ ජයග්‍රහණය කියා මා එය හඳුන්වනවා.
දෙවන අරුත නම් අද බටහිර සාහිත්‍යයේ ආභාසයෙන් පැමිණ තිබෙන පශ්චාත් නව්‍යවාදය විසංයෝජනය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය වැනි සංකල්ප භාවිතයට ගන්නා විට සරච්චන්ද්‍ර හුවා දැක්වූ යථාර්ථවාදය විශ්වසනීයත්වය වැනි සංකල්ප තවත් දුරට වලංගු නැත යන අදහසයි. මට පෙනෙන හැටියට නම් එම නව විචාර මාර්ගවල බොහෝ විට ඇත්තේ වචන හරඹ නැතිනම් වාග් සන්දර්ශන පමණයි. හරය අතින් ඇති දුබලතාව විසිතුරු වචන සැරසිලිවලින් වසා ගැනීම පමණකි. අප සරච්චන්ද්‍රයන්ගේ විචාර මාර්ගය ගැන සඳහන් කරනවා නම් කිව යුත්තේ ඔහු තමා ඉදිරිපත් කළ අදහස් යාවත්කාලීන කිරීමට නිතර වෙහෙසුණු විද්වතෙකු බවයි. ඔහු 1949 පළ කළ සාහිත්‍ය විද්‍යාව 1952 දී නව සංස්කරණයකින් ඉදිරිපත් කළා. යළිත් 1955 දී තවත් වෙනස්කම් සහිතව ඉදිරිපත් කළා. දැනට තියෙන 1965 තුන්වන සංස්කරණය පොතේ බොහෝ කොටස් අලුතෙන්ම ලියූ සංස්කරණයක්. සරච්චන්ද්‍රයන් අද සිටියා නම් ඔහු ඔය කියන නව්‍යවාදී විචාර ක්‍රම ගැන කුමක් කියන්නට ඉඩ තිබුණාද කියා අප දන්නේ නෑ. එහෙත් ‘කලාවේ ප්‍රයෝජනය’ ගැන ඔහු දැරූ අදහස එහි මූලික හරය වශයෙන් ඔහු ජීවත්ව සිටි තාක් කල් ඔහු ඇදහූ බවයි පෙනෙන්නේ. වර්ෂ 1949 දී සාහිත්‍ය විද්‍යාව පොතේ ඇතුළත් මෙම ඡේදය මා උපුටා දක්වන්නේ එය අද පාඨකයන්ට දකින්නට නොලැබෙන නිසයි. පැරැණි ප්‍රකාශන විධි අනුව කියන නමුත් මේ කියමනේ හරය මානව හිතවාදී දර්ශනයක්.
‘කලාවේ ප්‍රයෝජනය උපදේශ ලබාදීම නොව මනුෂ්‍යයන්ගේ සංවේදනය ගැඹුරු කිරීමය. වැඩිහිටියන්ගෙන් ලබාගත හැකි තාක් ගතානුගතික සුලබ උපදෙස් වනාහි එක කලා කෘතියක් එක වේගවත් කාව්‍යයක් පමණ මිනිස් සිත කෙරෙහි බල නොපායි. පහත් කලාවෙන් හැඟීම් ප්‍රකෝප වේ. එහෙත් උසස් කලාවෙන් මනුෂ්‍යයාගේ චෛතසිකයෝ සංවිධානය වෙත්. ඔහුගේ ආත්ම සංයමය තහවුරු වේ. කලා රසිකයා මිනිස් සිත හොඳින් හඳුනා ගනියි. මනුෂ්‍ය චිත්තය වනාහි විදහන ලද පොතක් සේ ඔහුට කියවා තේරුම් ගත හැකිය. එසේ වූ විට ඔහු මනුෂ්‍ය චේෂ්ටාවන්ගේ මූලික හේතු අවබෝධ කර ගනියි. නා නා විධ බාහිර අභ්‍යන්තර හේතුවලින් පොළඹවනු ලැබ මේලොවෙහි දුක් පීඩා විඳින්නා වූ අසරණ සත්වයන් කෙරෙහි ඔහු සානුකම්පා දෘෂ්ටියෙන් බලයි. සියලු දේ තේරුම් ගන්නා ඔහු සියලු දේටම සමාවෙයි. කලාවෙන් ලබත හැකි අත්‍යුත්කෘෂ්ට ප්‍රයෝජනය මෙයයි.’
කලාවේ ප්‍රයෝජනය පිළිබඳ මෙම අදහසෙහි හරය සරච්චන්ද්‍රයන් දිගටම දැරූ බව පෙනෙනවා. ඔවුන් 1958 දී පළකොට ජීවමාන අවධියෙහිදීම කීප වරක් යළි මුද්‍රණය වූ කල්පනා ලෝකය කෘතියෙහි එන ‘කාව්‍යය කාන්තාවක මෙන් උපදෙස් කියයි’ යන සංස්කෘත අලංකාරවාදීන්ගෙන් ගත් අදහස මාතෘකා කරගත් පරිච්ඡේදය බලන්න. සාහිත්‍ය විද්‍යාවේ 1949 මුල් මුද්‍රණයෙන් අප උපුටා දැක්වූ අදහස කල්පනා ලෝකයෙහි දී වඩා සුශික්ෂිත වාංමාලාවකින් පැවැසී තිබෙනවා. කලාකෘතියක ස්වභාවය ගැන යුරෝපයෙන් අලුත් මතවාද එන්නට පුළුවන්. ඒත් සරච්චන්ද්‍ර කලාවේ ප්‍රයෝජනය ගැන දැරූ අදහස අපට වඩා ගැළපෙන බවයි කිව යුත්තේ.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරච්චන්ද්‍ර හිටියානම් අද මොනවා කියයිද?
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 11 August 2020 01:41 PM
මෙවැනි හරබර විශේෂාංග ලිපි ඉදිරිපත් කරන ගාමිණි කන්දේපොළ මහතාට හා ලංකාදීපයට ප්‍රථමයෙන්ම ස්තුති කළයුතුව පවතී. මහාචාර්ය සරත්චන්ද්‍ර මහතාගෙන් උගත් ශිෂ්‍යයකු වීමට මා ද පින් කොට ඇති බව සිතෙනා විට හදවතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. එමෙන්ම එතුමාගේ වියෝවීම අප හට මහා දුකක්. මහාචාර්ය කේ එන් ඕ ධර්මදාස මහතා ගැන සිහිවීමේදී සිතට නැගෙන්නේ ද ප්‍රමාණ අප්‍රමාණ ගෞරව ආදරයක්. එතුමා සාහිත්‍ය මණ්ඩලයේ සභාපති තනතුර හොබවන කාලයේ දිවයිනෙන්ම කුසලතාව මත විශ්ව සාහිත්‍ය ලක්ෂණ සහිත කෙටි කතා කතුවරුන් 40ක් තෝරා ඔවුන් කොළඹට ගෙන්වා දින දෙකක් තිස්සේ හරසර දක්වා පුහුණුව හා සහතික ලබාදීමට කටයුතු කළා. එම හතළිස් දෙනාගෙන් කෙනෙකුවීමට මා ද පින් කොට තිබුණා. මා හට එම අවස්ථාව උදාවුණේ මහාචාර්ය ධර්මදාස මහතාගේ තිබූ සියුම් ඥානය හා සැබෑ කුසලතා ඇති නිර්මාණකරුවන් සොයා දැනගැනීමේ ඇති විශේෂ හැකියාව නිසායි...
සමිත Wednesday, 12 August 2020 07:14 AM
මේ යන විදියට නම්., සරච්චන්ද්‍ර මහත්මයා උන්නා නම් ජනාධිපති උපදේශකකමක් දීලා මීඩියාවලට වොයිස්කට් දෙන රූකඩයක් බවට පත් කරලා තියෙයි.
සපුමල්.(Sapumal.)Wednesday, 12 August 2020 11:45 AM
කවුද මේ අනිත් සමිත...? මේ විශේෂාංග පුවතට කිසිසේත්ම දේශපාලනය අවශ්‍ය නැහැ. මොන එහෙකට මේවගේ දේකට දේශපාලනය ගාවා ගන්නවද දන්නේ නැහැ. අදාළ පුවත ගැන ලියන්න තියෙන දැනීම නොමැතිකම හෝ වෙනත් කෙනෙකුට පහර ගහන්න හදපු උත්සාහයක් බව නම් මෙයින් පේනවා.
බද්රානි Monday, 17 August 2020 08:01 PM
සමිත ඔබ හරියටම හරි. දේශපාලකයින්ගේ බත් බැලයෙක් නොවී වර්තමානයේ කොහොමද නියම සරත්චන්ද්‍ර කෙනෙක් වෙන්නේ? මෙතන කෙකර ගාන ටිකිරි මොළ කාරයින්ට ඕවා තේරෙන්න ටිකක් කල් යයි?
Cisco Monday, 17 August 2020 06:56 AM
හොඳ ලිපියක්... අපි ඉගෙන ගන්න කාලේ මහාචාර්ය එදිරිවීරයන් නැහැ. ධර්මදාසයන් නම් හිටියා.. නමුත් මම වෙන පීඨයක ඉගෙනගත් නිසා ඔහුව ළඟින් ඇසුරු කර නැහැ.