දැනට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය දිනෙන් දින උත්සන්න වීමත් එය ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපෑමෙන් විවිධ තැන්වලදී විවිධාකාරයෙන් ජනතාව තම කෝපය පළ කරන්නට පටන් ගැනීමත් නිසා ආණ්ඩුවේ නායකයන්ද කර කියා ගත නොහැකිව තේරුම් ගත නොහැකි දෑ කරමින් සිටින බව පෙනේ. එම කටයුතු ඇතැම් විට විසුළු කාරීය.
පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නොහැකි තැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 7 වැනිදා එම කටයුත්ත සඳහා 11 දෙනකුගෙන් යුත් ආර්ථික සභාවක් පත් කළේය. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ඇතැම් ඇමැතිවරුද මහ බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ ඇතැම් නිලධාරීහු ඊට ඇතුළත් වූහ.
එම සභාවට පත් කරනු ලැබූ ඇතැම් දේශපාලනඥයන්ගේ විෂය දැනුම පිළිබඳ ඇතැමුන් ප්‍රශ්න කරන අතරවාරයේ එම සභාවට උපදෙස් දීම සඳහා රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක්ද ඇතුළත් 14 දෙනකුගෙන් සමන්විත උපදේශක කමිටුවක්ද ජනාධිපතිවරයා විසින් මාර්තු 15 වැනිදා පත් කෙරිණි. එම කමිටුව පසුගිය 21 වැනිදා රැස්වී රටේ ප්‍රශ්න සාකච්ඡා කළ අතර ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබාගැනීම සඳහා වූ යෝජනා ඇතුළත් වැඩ පිළිවෙළක් සකස් කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කළ යුතු යැයි නිර්දේශ කොට තිබිණි. එම කමිටුව මහ බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් සමන්විත විය යුතු යැයිද එම නිර්දේශයෙන් කියවිණි.
මීට අමතරව මූල්‍ය හා නීති නිලධාරියකු පත් කිරීමටද මුදල් ඇමැතිවරයාට සහය දීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත්කළ යුතු යැයිද උපදේශක කමිටුව යෝජනා කොට තිබිණි.
මෙම ක්‍රියාවලියට පිටස්තරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වැනිදා ජනාධිපති මන්දිරයේදී සර්ව පාක්ෂික සමුළුවක්ද කැඳවනු ලැබ තිබිණි. එහි අරමුණද වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමය. මෙම සමුළුව හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවක් අනුව කැඳවනු ලැබ තිබිණි.
කෙසේ වෙතත් ආර්ථික සභාව, එහි උපදේශක කමිටුව හා එම උපදේශක කමිටුවෙන් නිර්දේශිත තාක්ෂණික කමිටුව හා විශේෂඥයන්ගේ කණ්ඩායම ආදිය ඇතුළත් ක්‍රියාවලිය හා මෙම සර්ව පාක්ෂික සමුළුවේ කටයුතු එකම අරමුණකින් කෙරෙන නිසා ඒවා අතර සබඳතාවක් ඇති කෙරෙන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.
මෙම සර්ව පාක්ෂික සමුළුව එනමින් හැඳින්විය හැකිද යන්න ගැටලුවකි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය හා රටේ දේශපාලන මතයට විශාල බලපෑමක් කරන ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ ගණනාවක්ද එම සමුළුව වර්ජනය කොට තිබේ. එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගි වුවද එම පක්ෂයට මේ වනවිට රටේ ඇති ජන පදනම පැහැදිලි නැත. ඊට පාර්ලිමේන්තුවේ ඇත්තේද එක් ආසනයකි.
කෙසේ වෙතත් ප්‍රධාන දෙමළ දේශපාලන සන්ධානය ලෙස සැලකෙන දෙමළ ජාතික සන්ධානය මෙම සමුළුවට සහභාගි වීමේ වෙනත් වැදගත්කමක් ඇත. ඒ එම පක්ෂය ජනවාර්ගික ප්‍රශ්නය හැර රටේ ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වීමට නිතරම මැලිකමක් දක්වන හෙයිනි. සර්ව පාක්ෂික සමුළුවේ වැදගත් කමක් තිබේද? එය කොතෙක් දුරට වත්මන් අර්බුදය විසඳීමට දායක වනු ඇත්ද යන ප්‍රශ්න පසෙක තිබියදී දෙමළ ජාතික සන්ධානය ජනවාර්ගික ප්‍රශ්නය නොවන ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනෙකුත් පක්ෂ සමග හවුල් වීම නම් වැදගත් තත්ත්වයකි.
ජවිපෙ මෙම සමුළුව වර්ජනය කළේ දැන් මෙවැනි සමුළුවලින් වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය නොහැකිය යන පදනමිනි. වසරකට පෙර තමන් මෙවැනි සමුළුවක අවශ්‍යතාව පෙන්වා දුන්නද ආණ්ඩුවේ නායකයන් එය නොසලකා හැරිය බවද ප්‍රශ්න බොහෝ සෙයින් උග්‍ර වී ඇති තත්ත්වය යටතේ දැන් මෙවැනි සමුළුවකින් ප්‍රයෝජනයක් නැති බවද එම පක්ෂය පවසයි.
සමුළුවට ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු සහභාගි වී සිටියහ. මන්ත්‍රීවරු කැඳවනු ලැබුවේ කුමන පදනමින්ද යන ප්‍රශ්නය මෙමඟින් මතුවේ. මෙය විශේෂිත අර්බුදකාරී තත්ත්වයක් පිළිබඳ සංවාදයක් වූ හෙයින් එම විෂයය පිළිබඳව ඒ දේශපාලන පක්ෂවල විශේෂඥ දැනුම ඇති මන්ත්‍රීවරුන් ගෙන්වා බුද්ධිමය සංවාදයක් පැවැත්වීම වෙනුවට මෙසේ එවැනි පදනමකින් තොරව මන්ත්‍රීවරුන් ගෙන්වා ප්‍රශ්නය සාකච්ඡා කොට විසඳුම් සෙවිය හැකියැයි සිතිය නොහැකිය. එසේ කළ හැකි නම් පාර්ලිමේන්තුවේදීම මෙම සාකච්ඡාව කළ හැකි විය යුතුය.
සමුළුව ආරම්භයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. එහිදී වත්මන් අර්බුදයට වගකිවයුත්තේ පසුගිය ආණ්ඩුව යැයි කියැවෙන අයුරින් ඔහු කරුණු දැක්වීම නිසා ආරම්භයේදීම තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එහිදී හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජාතික අර්බුදයකට සාමූහිකව විසඳුම් සෙවීමට දරන උත්සාහයකදී එවැනි චෝදනාත්මක ප්‍රකාශයක් කිරීම නොගැළපෙන්නකැයි කීය.
සුපුරුදු උපහාසයෙන් ඒ ගැන කතා කළ වික්‍රමසිංහ මහතා මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයට තමන් පිළිතුරු දී ඉන්පසු තමන්ගේ ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයෙන් යළිත් පිළිතුරු දීමට ගියහොත් නතර වන්නට සිදුවන්නේ විජය රජු මෙරටට පැමිණීමේ යෝග්‍යතාව ප්‍රශ්න කිරීමෙනැයි පැවසීය. කෙසේ වෙතත් එම සංවාදය වැඩි ඈතට යන්නට ඉඩ නොදෙමින් ජනාධිපතිවරයා සිත් රිදීමක් වූයේ නම් සමාවන ලෙස වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
මෙය මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නයක් පමණක් නොව මෙරට දේශපාලනයේ ස්වභාවයයි. ඕනෑම සංවාදයක් ඉතා ඉක්මනින් දේශපාලනීකරණය වී සාමූහිකත්වය පිළිබඳ අරමුණු බිඳවැටීම මෙරට දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවයයි.
ආණ්ඩුව වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටීමට ඉදිරිපත් වී ඇති තත්ත්වය යටතේ එම අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්කොට ඇති වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයැයි වික්‍රමසිංහ මහතා පැවසූ විටද තරමක විවාදාත්මක තත්ත්වයක් ඇතිවිය. තමන්ට ලැබී ඇත්තේ වාර්තාවක් නොව දළ කෙටුම්පතකැයි ඊට පිළිතුරු වශයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එවැනි කෙටුම්පතක් හෝ ලැබී ඇති බවක් ආණ්ඩුව මේ මොහොත දක්වා හෙළිකොට නැතැයි කී වික්‍රමසිංහ මහතා එම කෙටුම්පත හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයැයි කියා සිටියේය.
මෙම සමුළුවේ මෙම පළමු සැසියේදී විවිධ දේශපාලනඥයන් හා නිලධාරීන් අදහස් දැක්වීමක් පමණක් සිදු වූයෙන් අර්බුදය කුමක්දැයි තෝරා බේරා ගැනීමේ හා නිශ්චිත ගැටලු හඳුනා ගැනීමේ සාකච්ඡාවක් සිදු නොවීය. එය සමුළුවේ ඉදිරි සැසිවලදී හෝ සිදුවේ දැයි පැහැදිලිද නැත. ප්‍රශ්නයක් විසඳීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුමකින් යුත් අදහස් ඉදිරිපත් නොවීම මෙරට බොහෝ දේශපාලන සංවාදවලදී දක්නට ලැබෙන තත්ත්වයකි.
මීට පෙරද වෙනත් ජනාධිපතිවරුන් විසින් ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් සර්වපාක්ෂික සමුළු කැඳවා තිබේ. ඒවායින් ඇතැම් ඒවා හුදු කතා සාප්පු බවට පත්වී අවසානයේදී මහජන මුදල් නාස්ති කරමින් කාටත් හොරෙන් අහෝසි වී ගොස් ඇත. එහෙයින් මෙම සමුළුව පැවැත්වෙන ආකාරය ඉතා වැදගත්ය. ප්‍රශ්නය ස්වභාවයෙන්ම දේශපාලනික නම් මෙවැනි සමුළුවක් නිසි න්‍යායපත්‍රයක් අනුව පැවැත්වේ නම්, අවශ්‍යතාව හා කැපවීමක්ද ඇත්නම් දේශපාලනඥයන්ට එකට එක්වී ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡාකොට විසඳුමක් සොයා ගත හැකිය. එහෙත් වත්මන් ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා විශේෂඥ දැනුම අත්‍යවශ්‍යවේ. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළු දේශපාලනඥයන් අතුරින් එම විශේෂඥතාව ඇත්තේ ඉතා සුළු පිරිසකටය.
මීට පෙර විවිධ ජනාධිපතිවරුන් විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවල අරමුණ වූයේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීමය. ඊට බොහෝ විට අවශ්‍ය වන්නේ දේශපාලන කැපවීමය.
මුල්වරට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබුවේ හිටපු ජනාධිති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1984 වසරේදීය. ඉන්පසු 1989 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද 2006 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ද සර්ව පාක්ෂික සමුළු කැඳවනු ලැබීය. 1986දීද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් එවැනි සමුළුවක් කැඳවනු ලැබුවද එය හැඳින්වුණේ දේශපාලන පක්ෂ සමුළුව (PPP) යනුවෙනි. මේ සියල්ලේ අරමුණ වූයේ ඒ වනවිට යුද්ධයක් බවට පත්වී තිබූ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීමය.
1983 රටපුරා ව්‍යාප්ත වූ දෙමළ විරෝධී කෝලාහලින් අනතුරුව ඉන්දීය ආණ්ඩුව ඍජුවම මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට අතගැසීය. එවකට මෙරට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ කාලයේ ඉන්දියාවට එරෙහිව සිටි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත්, 1983 කෝලාහලවලින් පසුව ශ්‍රී ලාංකික දෙමළ සරණාගයන් පිරිසක් තමිල්නාඩුවට පලා යෑමත්, තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණ පැන නැඟීමත් ඉන්දියාවේ මෙම ක්‍රියාමාර්ගයට දායක විය.
එවකට ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අවධාරණය කිරීම සඳහා තම විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වූ ගෝපාලස්වාමි පාර්තසාරදී හා රොමේෂ් බණ්ඩාරි යන නිලධාරීන් මෙරටට එව්වාය. සාර්තසාරදී මෙරට නායකයන් සමඟ සාකච්ඡා කොට ශ්‍රී ලංකාවේ බලය බෙදීමේ වැඩ පිළිවෙළක් යෝජනා කළේය.
ජයවර්ධන මහතා 1983 දෙසැම්බර් මාසයේදී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේ මෙම යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. එම සමුළුවේ පළමු සැසිවාරයේදී ජයවර්ධන මහතා පැවැත්වූ කතාවේ ඇමුණුමක් ලෙස පාර්තසාරදී යෝජනාද ඇතුළත් විය. එය හැඳින්වුණේ ‘‘සී ඇමුණුම’’ ලෙසය.
ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා තමන් බලයට පත්වූ පසු වට මේස සාකච්ඡාවක් කැඳවන බව ජයවර්ධන මහතා 1977 මහ මැතිවරණයේදී පොරොන්දුවක් දී තිබිණි. එයද මෙම සමුළුව කැඳවීමට හේතුවිය. කෙසේ වෙතත් 1984 වසරේ රජයේ හමුදා හා දෙමළ සන්නද්ධ සංවිධාන අතර ගැටුම් උග්‍රවීමත් සමඟ මෙම සාර්ව පාක්ෂික සමුළුව වට කිහිපයකින් පසු රටටම අමතක විය.
ඉන්පසු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1989දී තවත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේය. ඊට පෙර එම වසරේදීම ප්‍රේමදාස මහතා ඒ වනවිට අවි අතට ගෙන සිටි කොටි සංවිධානයට මෙන්ම ජවිපෙටද සාකච්ඡා සඳහා ආරාධනා කළේය. කොටි සංවිධානය පමණක් මෙම ආරාධනාව පිළිගත්තේය. එම සංවිධානය සමග යම් එකඟතාවක් ඇතිකර ගතහොත් ඊට අනෙක් පක්ෂ විරුද්ධවීම වැළැක්වීම සඳහා ප්‍රේමදාස මහතා මෙම සර්වපාක්ෂික සමුළුව කැඳවීය.
එහි පළමු සැසිය ප්‍රේමදාස මහතාගේ කතාවකට පමණක් සීමා විය. මීට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමුළුවෙන් ඉවත්විය. කොටි සංවිධානය ආණ්ඩුව අසීරුවට පත් කරමින් බෙදුම්වාදයට එරෙහිව 6 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට වරදරාජ පෙරුමාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරින ලෙස ඉල්ලීය. අනෙක් අතට ඉල්ලීම් 19ක් ඉදිරිපත් කළ පෙරුමාල් මහතා ඒවා ඉටු නොකරන්නේ නම් වසරකින් වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන බව 1990 මාර්තු මස තර්ජනය කළේය.
මෙසේ අවුලක් ඇති කළ කොටි සංවිධානය 1990 ජුනි මාසයේදී යළි යුද්දය ආරම්භ කළ අතර සර්ව පාක්ෂික සමුළුවද අතුරුදන් විය.
වඩාත් ඉදිරියට ගිය සර්ව පාක්ෂික රැස්වීමක් වූයේ ජනාධිති මහින්ද රාජපක්ෂ මහතා 2006 දී පත් කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවයි. මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් වූ එම කමිටුව සැසිවාර 63ක් පවත්වා 2007 අගෝස්තු මාසය වනවිට අතුරු වාර්තාවක්ද සකස් කොට තිබිණි. එහෙත් යුද්ධය උත්සන්නවීමත් සමඟ එම සමුළුවද ආගිය අතක් නැතිවිය.
වත්මන් සමුළුවේ අනාගතයද රැඳී ඇත්තේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ ආණ්ඩුවේ විවිධ කමිටු, සභා හා පාර්ලිමේන්තුව ආදියේ කටයුතු හා මෙම සමුළුවේ කටයුතු අතර මනා සම්බන්ධීකරණයක් ඇතිවේද යන්න මතය.
(*** එම්.එස්.එම්. අයුබ්)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සර්වපාක්ෂික සමුළුවට අතීතයෙන් පාඩමක්