IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 70ක් වතුරේ

“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ”‍ යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක් ආරම්භ වූයේ අප හෙළි කළ කරුණු පදනම් කරගෙනය. ඒ ස්වාධීන විමර්ශන නිලධාරි නීල් ද අල්විස්ගේ මූලිකත්වයෙනි. එම විමර්ශනය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එච්.ඒ. නිසංසලා මා වෙත බාර දෙමින් ‘අප ඇමතූ ඔබේ අංක TB/AD/AD/DIS/2024/In viii හා 2024-11-18 දිනැති ලිපිය හා බැඳේ’ යනුවෙන් නීල් ද අල්විස් සිය විමර්ශනයේ සඳහන් කොට ඇත.

එම විමර්ශනයට පසුබිම් වී ඇත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අභ්‍යන්තර විගණකගේ 2024 ජුලි 23 දින හා අංක 2024/2024/ IAR/05 ඇති Audit for Short Term Ceylon Tea PR Camping Globally වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කිරීමටය. අපි 2024 අගෝස්තු 15 දින එම විගණන වාර්තා පදනම් කරගනිමින් ලිපියක් රට හමුවේ හෙළි කළෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස මූලික විමර්ශනයක් කිරීමට තීන්දු වී තිබේ.

ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමට මහජන සබඳතා කටයුතු මෙහෙය වීමට මහජන සම්බන්ධතා ඒජන්සියක් පිහිටුවීමට තීරණය වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගිනි. එම මහජන සබඳතා පැවැත්වීමට සුදුසු ආයතනයක් තෝරා ගැනීම සඳහා Technical Evaluation Committee (TEC) පිහිටුවන්නේ ඒ අනුවය. එහි සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) සභාපති ලෙස ද, සහකාර අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සාමාජිකයන් ලෙස ද පත් කළහ.

මෙම අලෙවි ප්‍රචාරණය සඳහා මුදල් සපයා ගැනීමට අරමුදලක් ගොඩනැගීම ඊළග අරමුණ විය. එහිදී තේ අපනයනකරුවන්ගේද කැමැත්‍ත ඇතිව අපනයනය කරන සෑම තේ කිලෝවකින්ම රුපියල් 3.50ක බදු මුදලක් අය කරගැනීමට නියම විය. එම අරමුදල වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා තේ මණ්ඩලයේ ක්‍රමවේදය තුළ වූයේ යෝජනාවක් ඉදිරිපත් වූ විට එය මුලින්ම ප්‍රවර්ධන අලෙවි කමිටුවට (Promotional Marketing Committee - PMC) වෙත ඉදිරිපත් කර අදහස ලබා ගැනීමය.

එහි අනුමැතිය ලබා ගෙන පසුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සහතික කිරීම ලබා ගෙන TEC වෙත ඉදිරිපත් කිරීමය. ඒ බවට 2011 අමාත්‍ය මණ්ඩල සන්දේශයේ ඇමැතිවරයාගේ නිර්දේශවල “අරමුදල් නිසි පරිදි ඉටු කරවාගැනීම සඳහා විනිවිදභාවයෙන්, වගකීමෙන් හා කාර්යක්ෂම ලෙස යෙදවීමට මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවර්ධන හා අලෙවි කමිටුව බලාගත යුතුය”‍ යනුවෙන් සඳහන් කර ඇත. එහෙත්, ඉදිරිපත් වන සෑම යෝජනාවක්ම PMC යා යුතු බවත්, PMC වෙත නොගොස් TEC වෙත ඉදිරිපත් කිරීමක් නොකරන බවත්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රවර්ධන අංශයේ ප්‍රධානියා ද සහතික කර තිබේ. එහෙත්, මහජන සබඳතා ඒජන්සිය සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමේදී PMC වෙත ඉදිරිපත් නොකර TEC වෙත ඍජුවම ඉදිරිපත් කර ඇත. එය පවතින ක්‍රමවේදය ඉක්මවා කටයුතු කිරීමක් බව මූලික විමර්ශනයේදී පෙන්වා දී ඇත.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩල සන්දේශයේ සඳහන් පරිදි ඕනෑම යෝජනාවක් සුදුසු බව යෝජනා කිරීම PMC වෙත පැවරෙන වගකිමකි. එහෙත්, එය මගහැර TEC වෙත ඉදිරිපත් කිරීම මගින් අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) අමාත්‍ය මණ්ඩල සන්දේශයේ උපදෙස් උල්ලංඝනය කර ඇති බවට මූලික පරීක්ෂණ වාර්තාවේ පෙන්වා දී ඇත. තව ද, අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) අලු‍ත් යෝජනා සහ පවතින යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම දරන ප්‍රධාන නිලධාරියාය. එම නිලධාරියාම PMC වෙත යෝජනා නොයවා TEC මගින් ඍජුවම යෝජනා ලබා දීම වැරැදි පූර්වාදර්ශයකි. 2020-12-30 දිනැති ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන්ව ඇත්තේ තේ මණ්ඩලයේ ප්‍රචාරණය වෙනුවෙන් ඩිජිටල් මාධ්‍යයට යොමු විය යුතු බව කියාය. එහිදී පවතින ක්‍රමයේ අඩුපාඩු ඇත්නම් ඒවා මගහැර අලෙවි උප්‍රක්‍රම සහ රටට ගැළපෙන අලෙවි උපක්‍රම අවශ්‍ය බවත් කියාය. ඒ සඳහා සුදුසු ආයතන සම්බන්ධ කරගත යුතු බවය.

 එහිදී 2022-02-21 දින PMC හිදි තීරණය කර ඇත්තේ, ජාත්‍යන්තර තේ දිනය වන මැයි 21 දිනට සමගාමීව මෙම ප්‍රවර්ධන කටයුතු ආරම්භ කළ යුතු බවය. ඒ සඳහා මහජන සබඳතා නියෝජිත ආයතනයක් තෝරා ගැනීමට ලංසු කැඳවීමට 2022-3-18 දින ලබා දී ඇති TEC නිර්දේශවලට අනුව 2022-4-18 දිනDepartment Procurement Committee - DPC අනුමැතිය ලබා දී ඇති බවය. මහජන සබඳතා වැඩසටහන මාස පහක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇ.ඩො. 200,000ක මුදලක් වෙන් කර ඇත. ඒ, ප්‍රසම්පාදන දැන්වීම් සඳහාය. ඒ සඳහා වලංගු කාලය 2022-5-8 දින සිට 2022-5-30 දක්වාය. ඒ අනුව ප්‍රසම්පාදන ලංසු කැඳවීම 2022-5-20 දින තේ මණ්ඩලයේදී පවත්වා ඇත. ඒ සඳහා මහජන සබඳතා නියෝජිත ආයතන පහක් ඉදිරිපත් වී තිබුණි. පසුව ලංසු ඉදිරිපත් කිරීමේ කාලය 2022-6-29 දක්වා දීර්ඝ කර ඇත.

එහිදී ආයතන දෙකක් ලංසු තබා තිබුණි. එම ලංසු තාක්ෂණික ඇගැයීම් කමිටුව වෙත 2022-6-29 දින ඉදිරිපත් කර තිබුණි. ලංසු ඉදිරිපත් කළ මහජන සම්බන්ධතා නියෝජිත ආයතන දෙක සඳහා ලකුණු දීමේ ක්‍රමයක් අනුගමනය කරන අතර, ඉන් ඉහළම ලකුණු ලැබූ ආයතනයට ඇ.ඩො. 198,200ක් ප්‍රදානය කිරීමට ද සැලැසුම් සකස් වී ඇත. එම ආයතනය සමඟ සාකච්ජා කොට අදාළ රටවල් සඳහා ප්‍රචාරණ මුද්‍රිත මාධ්‍ය මිල ගණන් දක්වා නැත. ඒ වෙනුවට එම ආයතන මගින් ඒජන්සි ගාස්තු නොමැතිව මාධ්‍ය ඒකක මිල ගණන් නිර්දේශ කර ඇත. ඊට 2022-9-9 දින DPC අනුමැතිය ද හිමිව ඇත.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දැන්වීමට අනුව ඒ සඳහා වෙන් කළ මුදල ඇ.ඩො 200,000ක් යැයි සඳහන්ව ඇත. එහෙත් ප්‍රසම්පාන ක්‍රියාවලිය සඳහා ඇ.ඩො. 260,100ක් ගෙවීම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය උල්ලංඝනය කිරීමකි. තවද, TEC මගින් ඇගැයීම් කර ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය උල්ලංඝනය කිරීමකි. ආයතන දෙකක් ලංසු කර ඇති පසුබිමක එක් ආයතනයක් පමණක් ඉල්ලා ඇති විස්තර අනෙක් ආයතනය ඉල්ලා නොමැති විට ඊට අදහස් දැක්වීම ද වැරැදි සහගත ක්‍රියාවක් බව මූලික විමර්ශනයෙන් පෙන්වා දී ඇත.

එසේම, 2022-5-28 පුවත්පත් දැන්වීම පළ කළ පසු ප්‍රසම්පාදන කාලසටහන අනුව මැයි 15 වැනිදා වන විට සියලු‍ ප්‍රසම්පාදන කටයුතු නිම කළ යුතුය. එහෙත්, ලංසුකරුවන්ගේ ඉල්ලීම මත දින 10ක් කල් ගෙන ඇත. ප්‍රසම්පාදන අවසාන දිනයද කල් දමන ලෙස එක් ලංසුකරුවකු කළ ඉල්ලීමට ඉඩ දී ඇත. 2022-6-13 ලංසුව විවෘත කර ඇත. ඊට පැහැදිලි හේතුවක් TEC හෝ DPC වාර්තාවේ සඳහන් කොට නැත.

මෙම කර්තව්‍යය සඳහා මාධ්‍ය මිලදීගැනීම සඳහා අවශ්‍ය මුදල් තේ මණ්ඩලය අමතරව ලබා දීමට කැමැති වී ඇත. ඒ අනුව, එක්සත් එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ජර්මනිය, ඇ.එ.ජ., ජපානය, වැනි රටවලින් අදාළ මිල ගණන් ලබා ගෙන එවන ලෙස ටෙන්ඩරය ලබාගත් පෞද්ගලික සමාගම වෙත තේ මණ්ඩලය දැනුම් දී තිබුණි. එවිට අදාළ සමාගම තේ මණ්ඩලය වෙත දැනුම් දී තිබුණේ, අමතර වියදමකින් තොරව තේ මණ්ඩලය වෙන් කරන මුදලට සේවාව සැපයිය හැකි බවය. ඒ වන විටත් එම මාධ්‍යකරණය සඳහා එක්සත් එමීර් රාජ්‍යයට මුදල් වෙන් කර තිබුණි. ඒ අනුව, රටවල් හතරකට ඇ.ඩො. 61,900ක මුදලක් සෙසු රටවල් හතර සදහා වෙන් කෙරුණි. එහෙත්, එම මුදල මැගසින් පහක් ලෙස නම් කොට රටවල් පහක් සඳහා අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය අදාළ කොන්ත්‍රාත්තුව 2022-11-21 දින අදාළ සමාගම වෙත ප්‍රදානය කර ඇත. එම සමාගම 2022-11-23 දින දන්වා ඇත්තේ ගිවිසුමට අත්සන් කිරීමට කැමැති බව කියාය. එසේම, තම පාර්ශ්වයෙන් කළ යුතු දෙයක් ඇත්නම් හා අත්තිකාරම් ගෙවීමේ සුරක්ෂිතතාව කාර්යසාධන ඇපකර ගැන අදාළ සමාගම තොරතුරු විමසා ඇත. ඊට තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2022-11-25 දින පිළිතුරු යවා ඇත්තේ නුදුරු දිනෙක එය ලබා දෙන බව කියමිනි. එහෙත්, තේ මණ්ඩලය අදාළ පැහැදිලි කිරීම් සමඟ ගිවිසුම් පිටපත අදාළ සමාගම වෙත යවා ඇත්තේ 2023-1-2 දිනය. ඒ, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් දින 42කට පසුවය. අදාළ ආයතනයට ඇ.ඩො 198,200ක මුදලේ කොන්ත්‍රාත්තුව TEC විධිමත්ව ප්‍රදානය කළේ නම්, තේ මණ්ඩලයට නියමිත පරිදි ගිවිසුම්ගත වීමට ඉඩ තිබුණි. එහෙත්, ප්‍රමාදයෙන් එම අවස්ථාව අහිමි වී ඇති බව මූලික විමර්ශනයෙන් පෙන්වා දී ඇත.

මෙම ප්‍රසම්පාදනය ලබා දීමේදි DPC හි අනුමැතිය ලබා ගෙන නැත. එසේ වී නම්, කොන්ත්‍රාත්තුව සඳහා ගිවිසුම්ගත වීමේ හැකියාව තිබුණි. රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීමට ගිවිසුම්ගත නොවීමත් ප්‍රසම්පාදනයට ඇතුළත් නොවූ සැපැයුම්කරු ඉදිරිපත් කළ කරුණු TECයට විමසුමට කල්ගත වූ හෙයින්, මුල් ප්‍රසම්පාදනයේ කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව, TECය සහ අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) ප්‍රසම්පාදන සංග්‍රහය උල්ලංඝනය කර ඇත.

ප්‍රවර්ධනය බාරගත් සමාගම 2022 දෙසැම්බර් සිට තේ මණ්ඩලයේ DPC සමග සාකච්ඡා කර ඇත. එහිදී ඩිජිටල් මීඩියා සැලැසුම් නැවත සංශෝධනය කළ යුතු බව පෙන්වා දී ඇත. මන්ද, ප්‍රසම්පාදන ක්‍රියාවලිය වසරකට වඩා පැරැණි හෙයින් නව තාක්ෂණික ක්‍රම අනුගමනය කිරීමටය. ඒ සඳහා අලු‍ත් යෝජනා දෙකක් අදාළ සමාගම ඉදිරිපත් කර ඇත. ඒ අනුව, 2022 තීරණය කළ ප්‍රධාන කාර්යය සාධන දර්ශක (Key Performance Indicators) KPI ගණන නිශ්චිතව ගෙන ඇස්තමේන්තුගත කිරීමක් හෝ ඇස්තමේන්තු කර ඇති මුදලකට නව මිල ගණන් යටතේ KPI ගණනය තීරණය කිරීමටය.

එම යෝජනාවට අනුව 2022 ජුනි මසදී මිල ගණන් අනුව ඇ.ඩො. 120,000ක් සඳහා 2023 මිල ගණන් මිලට ගත හැකි KPI ප්‍රමාණය 69,100,124කි. පැවැති මිලට ගත හැකිව තිබූ KPI ප්‍රමාණය සඳහා ඇ.ඩො. 159,000ක් අවශ්‍ය බව සමාගම පෙන්වා දී ඇත. ඒ අනුව, ඇ.ඩො. 30,000ක මුදලක් අවශ්‍ය බව ද පෙන්වා දී ඇත. මේ අතර, තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) එහි සභාපතිවරයාට දන්වා ඇත්තේ, නැවත පැරැණි TEC එකම පත් කර දෙන ලෙසය. ඒ අනුව, TEC රැස්වීම 2023-5-31 දින පවත්වා ඇත. එහිදී  ඩිජිටල් එක්සියුෂන් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් සකස් වී ඇත. එම වැඩසටහන රටවල් පහේ නොව රටවල් 21ක් සඳහා මාස 3ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත්තේ නව වැඩසටහනක් ලෙසය. ඒ සඳහා ඇ.ඩො. 150,000ක වටිනාකමක් දින 7ක් ඇතුළත ප්‍රසම්පාදනයක් සිදු කිරීමට සැලැසුම් සකස් වී ඇත. එම ප්‍රසම්පාදනය සඳහා පෞද්ගලික ආයතන දෙකක් ඉදිරිපත් වී ඇත. එහෙත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ටෙන්ඩරය ලබා දී ඇත්තේ මුල් ප්‍රසම්පාදනය හිමි වූ සමාගමටය. මෙම ප්‍රසම්පාදනය TEC අනුමත කර ඇත. එම අනුමැතිය මත DPC ද ඊට අනුමැතිය ලබා දී ඇති බව මූලික විමර්ශනයේදී පෙන්වා දෙයි. මෙම ප්‍රසම්පාදනයේදී TEC වැරැදි සහගත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර එය ලබා දී ඇති නිසා DPC තීන්දුව ද වැරැදි බව විමර්ශනයෙන් පෙන්වා දී ඇත.

මෙහිදී මුල් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පමා වීමෙන් ඇ.ඩො. 30,000ක් ලබා දීමට තීරණය කිරීම මෙන්ම අවශ්‍ය KPI ගණන තීන්දු කිරීමෙහි කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ විනිවිදභාවයක් නැති බව මූලික විමර්ශනයෙන් පෙන්වා දී ඇත. එම ක්‍රියාවලිය හරහා TEC සභාපති සහ කණ්ඩායම විසමාචාරයක් සිදු කර ඇති බව මූලික විමර්ශනයෙන් හෙළි වී තිබේ.

රටවල් 21 සඳහා මීඩියා එක්සියුෂන් ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රසම්පාදනයක් සිදු කර ඇත. එහිදී ප්‍රසම්පාදනයට එක් වූ සමාගමකට රුසියාවේ පහසුකම් නොදෙන බැවින් රුසියාව අත්‍යවශ්‍ය වුවත් එය නොසපයන හෙයින් ඇ.ඩො. 144,320කට ප්‍රසම්පාදනය ලබා දී ඇත. එම ආයතනය ප්‍රසම්පාදනයෙන් ඉවත් කර ඒ වෙනුවට ඇ.ඩො. 150,000ක් ලබා දෙන මුල් ටෙන්ඩරය ලබා දුන් සමගමට ලබා දී ඇති බව මූලික විමර්ශනයෙන් හෙළි වී තිබේ. එහි ඇති අනික් කාරණාව වන්නේ, රටවල් 21ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු වුව ද, ටෙන්ඩරය ලබා ගත් සමාගම ක්‍රියාත්මක වන්නේ රටවල් 18ක පමණි. රුසියාව ක්‍රියාත්මක නොවන පෙර කී සමාගම මෙන්ම ටෙන්ඩරය ලබා ගත් සමාගම ද රුසියාවේ ක්‍රියාත්මක වන්නේ නැත. ටෙන්ඩරය ලබා ගත් සමාගම ප්‍රවර්ධන ක්‍රියාත්මක නොකරන චීනය, රුසියාව, ඉරානය යන රටවලට ඇස්තමේන්තු කළ මුදල අඩු කළ විට එය ඇ.ඩො. 31,000කි. එනම්, ලබා ගත් ප්‍රසම්පාදනයේ ඇ.ඩො. 150,000න් ඇ.ඩො. 31,000ක් අඩු කළ විට ඇ.ඩො 118,000කි. එපමණ මුදලක් ලබා ගෙන රටවල් 18ක ප්‍රගතිය පෙන්වීමට අදාළ සමාගම කටයුතු කළ සත්‍ය වශයෙන්ම සියයට 25 ප්‍රගතියට ළඟා වී ඇත්තේ රටවල් තුනක් පමණක් බව ද මූලික විමර්ශනයෙන් තහවුරු වී ඇත.

සිලෝන් ටී ප්‍රවර්ධනයට ජපානය, ජර්මනිය, එක්සත් එමීර් රාජ්‍යය, ජර්මනිය රටවල පුවත්පත් සහ සඟරා සඳහා කැමැත්ත පළ කර ඇති අතර, ඒ සඳහා අමතර ගාස්තු වශයෙන් ඇ.ඩො. 61,900ක් මුදල් අපේක්ෂිත බව අදාළ සමාගම පෙන්වා දී ඇත. ඒ වෙනුවෙන්ම TEC රැස්වී ඇති බවත්, එහිදී තීරණය වී ඇත්තේ ඇ.ඩො. 198,200 සහ ඇ.ඩො. 61,900 යන දෙකම ලබා දී රටවල් හතරක් සඳහා සඟරා ප්‍රවර්ධනයට කටයුතු කරන බවය. මෙහිදී රටවල් හතරකම දක්වා ඇත්තේ එකම මිල ගණන් බව ද මූලික පරීක්ෂණයෙන් හෙළි වී ඇත.

මේ සඳහා TEC ලබා දුන් නිර්දේශ DPC එක 2022-11-15 දින අනුමත කර ඇත. ඒ අනුව, ඇ.ඩො. 260,100ක මුදලක් රටවල් පහක සඟරා සඳහා ගෙවීමටත්, රටවල් හතරක මාධ්‍ය ආවරණය සඳහාත් ප්‍රසම්පාදන ලිපිය 2021-11-21 යවා ඇති බව මූලික විමර්ශනයෙන් පෙන්වා දී ඇත. මුදල් ලබා දීම් සහ ගෙවීම් තිබුණත් ප්‍රවර්ධන වැඩේ ප්‍රගතිය ගැන සෑහීමකට පත් විය නොහැකි බව විමර්ශනයෙන් පෙන්වා දී ඇත. අදාළ සමාගම ප්‍රවර්ධන වීඩියෝ තුනෙන් එකක වැඩ සියයට 60ක් නිම කළ බව දන්වා තිබුණ ද, ඒ පිළිබඳ විස්තර නැත. 2024-6-14 දින තේ මණ්ඩලයේ හිටපු සභාපති අදාළ ආයතනයෙන් මෙහි ප්‍රගතිය ගැන විමසීමක් කර ඇත. ඊට අදාළ සමාගම 2024-6-24 පිළිතුර එවා පෙන්වා දී ඇත්තේ, ප්‍රසම්පාදනයේදී එකඟ වූ වැඩවල ප්‍රගතිය පිළිබඳව විධිමත් ඒවා නොමැති බවය. 2024-7-1 දින එහි ප්‍රගතිය ගැන ඊමේල් එවා ඇත. එහෙත්, ඒවායේ බාගත කිරීමක් එවා නැති බව විමර්ශනයෙන් පෙන්වා දී ඇත.

සිලෝන් ටී ප්‍රවර්ධනය බාර ගත් සමාගම 2024-7-16 දිනට රුපියල් මිලියන 2.84ක මුදලක් ඉල්ලා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන් කළ වැඩ සඳහා වටිනාකම වශයෙනි. ඒ සඳහා ඉන්වොයිස් එවා ද නැත. කළ වැඩ ලයිස්තුවක් ද සමඟ ඉන්වොයිස් එකක් 2024-9-11 දින එවා ඇත්තේ ආවරණ ලිපියක් ද සමඟිනි. ඉන් රුපියල් මිලියන 7,315,793.79ක මුදලක් ඉල්ලා ඇත.

මේ ගැන කළ මූලික විමර්ශනයෙන් සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන කිරීමේදී අක්‍රමිකතා සිදු වී ඇති බව පැහැදිලිව පෙන්වා දී ඇත. එම අක්‍රමිකතා සඳහා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) ප්‍රධාන වශයෙන් වගකිව යුතු බව ද පැහැදිලිව පෙන්වා දී ඇත. එසේම, අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) වැඩ තහනමකට භාජන කිරීම සහ අනිවාර්ය නිවාඩු පිට තැබීම කළ යුතු බව ද විමර්ශනයෙන් පෙන්වා දී ඇත. තව ද, අදාළ කමිටුවක සාමාජිකයන් වැරැදි කිරීමට දායක වී ඇති හෙයින්, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසිය යුතු බව ද මූලික විමර්ශනයෙන් පෙන්වා දී ඇත.

සිලෝන් ටී ප්‍රවර්ධනයට වෙන්කළ මුදලින් කෝටි 86ක නාස්තියක් සිදුවූ බවට විගණන වාර්තාවෙන් පෙන්වාදුනි. එහෙත් මූලික විමර්ශනයේදී අනාවරණය වූයේ රුපියල් කෝටි 70ක් නාස්තිවී අැති බවයි. ඒ අනුව රුපියල් කෝටි 16 ක් වියදම් වූ ආකාරය ගැන තේ මණ්ඩලය සතුව කිසිදු ලියවිල්ලක් නොමැති බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

 

(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ

 



අදහස් (1)

සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 70ක් වතුරේ

Sanjeeva Thursday, 06 February 2025 07:14 PM

කියන්න පුළුවන්ම් මේ සමාගම් දෙකේ නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

USAID සහාය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉරණම
2025 පෙබරවාරි මස 06 148 0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age


සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 70ක් වතුරේ
2025 පෙබරවාරි මස 06 62 1

“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ”‍ යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්


වාහන ආනයන සීමා ලිහිලේ හොඳ නරක
2025 පෙබරවාරි මස 06 41 0

වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර


ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 1599 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


කෙන් සැබවින්ම විශිෂ්ඨයෙක්
2025 පෙබරවාරි මස 05 506 0

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී


ආර්ථිකයේ තීරණාත්මක කාලයක්
2025 පෙබරවාරි මස 05 358 0

2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 801 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 753 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site