අශෝක කෝවිලගේ ලියා, රෝහණ වීරසිංහ තනුවක් නිමවා, සුනිල් එදිරිසිංහ ලවා ගායනා කරවන ඒ මනරම් මධුර ගීතය සම්පූර්ණයෙන්ම අත්ත-මුත්ත කාලේ ජවනිකාවකි.
සෙලෙස්තිනාලාගේ කාලයේ ගම්පහ පැත්තේ සිට කොළඹ පැමිණි වියෝලිස් ආතා ගැන ආරංචිය ලැබෙත්ම මසිතෙහි පිළිසිඳුණේ අත්ත-මුත්ත කාලේ වගවිත්ති දැන කියාගැනීමේ නොතිත් ආසාවකි. ඒ නොතිත් ආසාව කිසිවකුටවත් නොපෙනෙන්ට පැසක ලාගෙන එක් සති අන්ත ශනිදාවක මා ඒ වියෝලිස් ආතා හමුවීමට යකඩ අසු පිට නැඟුණේ ගම්පහ කිරිඳිවිටට ගොස් උදේ වරුවක්ම ඊට වෙන් කරන්නට සිතාගෙනය.
එය එසේම සිදු වූ නමුත් කරදරයකට තිබුණේ වියෝලිස් ආතාගේ කන් ඇසීම සියයට අනූවකින් පමණ නරක අතට හැරී තිබීමය. මගේ උගුර ලේ රහ වනතුරු ආතා හමුවේ යටි ගිරියෙන් හා උස් හඬකින් ‘සාමීචියේ යෙදීමට’ සිදුවීමය. අවුරුදු අනූවට ඉතා ආසන්න වීමේ වයස නිසා වියෝලිස් ආතලාට එසේ කාලය තරවටු කරන මුත් හැම ආතා කෙනකුටම එසේ නොවන බව නොදන්නා කිසිවකු නැත.
මේ මා සොයා ගත් වියෝලිස් ආතාය. හැඳ සිටියේ රතුපැහැති කමිසයකි. නොකපා තිබූ සුදු රැවුල සිත් සේ දිගුවෙමින් තිබුණේ අපිළිවෙළකටය.
“විවාහය කියන්නෙ තනිකර අපාය. තනිකඩව ඉන්නවාය කියන්නෙ දිවියලෝකෙ.”
වියෝලිස් ආතා තනිකඩයෙකි. තමන්ට දකින්න අහන්න ලැබුණු නොයෙකුත් විනැම්බෑසි කන්දරාව නිසා එසේ නිගමන දෙනවාද, තමන්ට වූ අහිමි වීම් සියල්ල නිසා එසේ කියනවා දැයි මා දන්නේ නැත.
“මොකෝ පවුලක් පන්සලක් වුණෙ නැත්තෙ?”
හේතුව නිශ්චිතව දැනගත යුතුය.
මේ ඊට පිළිතරු දෙන ආතාය.
“මායි අම්මයි මල්ලියි විතරයි අපේ පවුලෙ හිටියෙ. මල්ලි බැන්දා. අම්මට මළ පෙරේතයෙක් වැහුණා. ඒකට මං තොවිල් පවිල් කළා. හොඳ කරගන්න බැරි වුණා. මල්ලිගෙ ළමයින්ගෙයි, අම්මලගෙයි වැඩ කළා, කාලෙ ඉගිලුණා. තාත්තෙක් හිටියෙ නෑ.”
අර මළ පෙරේතයා වැහීම මට මහ අමුත්තකි. හාරා ඇවිස්සිය යුතු තරමේ.
පිටකොටුව එදා
“මේකනේ මහත්තයා. මම අවුරුදු පනහක් හැටක් තිස්සේම කරන්නෙ යක්කු බැඳගෙන වැඩගත්තු එකනෙ. මම අණවිණ, කොඩිවිණ කපන්න නොගිය පළාතක් නෑ. මමයි ජානිසුයි, චාර්ලිසුයි එක්කාසු වෙලා කට්ටඬියෝ හතර දෙනෙකුයි, බෙරකාරයො දෙන්නකුයි අඬගසාගෙන පිදේනි තටු හදාගෙන කරත්තෙන් වගේම පයිනුත් ගියේ බිලිපඬුරු තුනකුත් අරං.”
“බිලි පඬුරු?”
මම ඇසුවේ ඒවා පරණම විය හැකි නිසාය.
“හදිසියේවත් ආතුරයා බිල්ලක් ඉල්ලුවොත් දෙන්නෙ කුකුළෙක් නැත්නම් එළුවෙක්. ඒත් නැත්නං මොනරෙක්. කවදාවත් ආතුරයා වෙන බිලි නම් ඉල්ලන්නෙ නෑ. කොඩිවිණයක් කපන්න මං පාසිකුඩාත් ගිහින් තියෙනවා ඒ කාලේ.”
හතේ කැලෑසියට පමණක් අස්ගිරිය ඉස්කොලෙ ගිය වියෝලිස් ආතාට ඉන් එහා යන්නට බැරි වුණාය කියන්නේ තම අම්මාට මළ පෙරේකයකු වැසීමය. තොවිල් පවිල්, අණ-විණ, කොඩිවිණ පසෙකින් තබා අපේ සාමීචිය දැන් ආතා කොළඹ ආපු හැටි දෙසට යොමු කළ යුතු යැයි මම සිතුවෙමි.
කරත්තෙන් කොඩිවිණ කපන්න කොළඹත් ගියාද ආතා.
ඒ මගේ හැරවුමයි.
“මට සන්තකේට කරත්තයක් තිබුණෙ නෑ. කුලියටයි කරත්තෙ ගත්තෙ. මායි ජානිසුයි, චාර්ලිසුයි එක්කහු වෙලා කරත්තෙ බඩු පටවාගෙන කොළඹ ගියා, ඒවා විකුණං එන්න.”
මොන බඩුද?
“පොල්, කෙසෙල්, කොස්, දෙල්, වගේම කොස්ගස් හන්දියෙ ලී මඩුවකට පොල් පරාල.”
ඒ ආතා ගැටවර විය පහුවේගෙන එද්දීය. ගොනු බැඳි කරත්තයේ පඩංගුවේ කෑම්බීම් හා වතුරය. සතාට තණකොළ ඇති තරම්මය. උදේ පටන්ගන්න ගමන බිංකළුවර වැටෙන තුරුම ඉවර අහවර වෙන්නේ නැත. කරත්තය දෙපැත්තේ පැද්දි පැද්දී එල්ලෙන ලැන්තෑරුම් දෙකකි. ගමනේ දහවල් වෙද්දී සතා නෑවිය යුතුය. ඊට කැලණියේ පට්ටිය හන්දිය තිබේ.
පරණ කොළඹ ට්‍රෑම් කාර්
“පට්ටිය හන්දියට ඒ නම ලැබුණේ ගොනුන් ලෙහුවෙ ඒ හන්දියේම නිසා. අපේ ජානිසුයි, චාර්ලිසුයි දෙන්නා නං කඳානෙ තිබුණු අරක්කු රේන්ද පොළකින් සප්පායනුත් වුණා. මම නං කටේවත් තිබ්බෙ නෑ. මං බීම සදහටම නැවැත්තුවේ එකදාස් නවසිය පනස් දෙකේදී. බීම නතර කළා කළාමයි.
නමුත් අතරමගදී සතේට ගිරවා ලකුණෙ බීඩි දෙකක් අරන් ඉණේ ගහගන්නවා පස්සෙ බොන්න. බුලත් විටත් සෑහෙන්න කෑවා. බත්පතක් කෑවෙ සත දෙකට. ජාඇලෙන්.
අපි කිරිඳිවැටට ගිහින් ජාඇල කඳාන පැත්තෙන් වගේම නුවර පාරෙනුත් කොළඹ ගිහින් තියෙනවා. කොළඹ ගිහිං නිකං කරත්තේ ආවේ නෑ. ගමේ මුදලාලිලාගෙන් ගත්ත ඕඩරුත් පටවාගෙනයි ආවේ. ඒ වගේම අපේ පංසලට විදුලි මෝටරේකුත් ගෙනාවෙ අපි.”
හොර හතුරො එහෙමත් ඉන්න ඇති. කරත්තවලට පනින.
“ඔව් මහත්තයො. හොරු හිටියා මඟ රැකලා. අපි උන්ට කොටන්න කඩුවකුත් හංගාගෙන අරං තමයි ගියේ ආරස්සාවට. ඒ වුණාට කාටවත් අපි කෙටුවෙහෙම නෑ. දවසක් හොරු පැන්නා නුවර පාරෙන් යන අපේ කරත්තෙට සුද්ද කරන්න බලාගෙන.
එවෙලේ කවුදෝ මහත්තයෙක් එක පාරටම එතෙන්ට කඩාපාත් වෙලා අර හොරුන්ට හොඳට නෙළුවා. තඩිබෑවා. මහහොරාට පයින් දමලා ගැහුවා. හොරු හිස්ලූලූ අත දුවන්න ගත්තා. අපි බැලුවා කවුද මේ චණ්ඩියා කියලා. පස්සෙයි දැනගත්තේ ඒ අපේ අගමැතිතුමා, කියලා. ඒ, ඩී.ඇස්. සේනානායක මැතිතුමා වෙස් මාරුකරගෙන ඇවිත්.”
ආතා විස්තර කළේ තම පිරිස මුහුණ දුන් ඇඟ සලිතකරන තරමේ අත්දැකීමකි.
එතකොට ආතෙ කරත්තෙන්ම කොළඹට සේන්දු වුණා.
“ඔව්. අපි ආවෙ කැලණි ගංතොටේ පාලම්පාරුව ගාවට. බෝට්ටු කිහිපයක් එකට පෙළගහලා ඒවා දම්වැල්වලින් එකට බැඳලයි තිබුණේ. ඒ නිසා ඒකට බෝට්ටු පාලම කියලත් කිව්වා. කරත්තෙ පිටිම්ම ඒකට නැග්ගුවේ සත පහට. අපි නගිනකොට තවත් කරත්ත දෙකතුනකුත් නග්ගලා තිබුණා. ඒක අපූරු හැන්දෑවක්. ගෑස්පහට එනකොට බිංකළුවරත් වැටිලා ටිකක් වෙලා ගතවෙලා.
පාලම් පාරුවෙන් එගං වෙලා අහකලා, යන්න වුණේ කයිමන් දොරකඩට. ඒතැන තමයි ඇතුල්වීමේ දොරටුව. ආපු හැමෝම එතැන තිබුණු ඝණ්ඨාර කුලුන නාද කරන්න ඕන.”
ඇයි එතැන්ට කයිමන් දොරටුව කීවෙ.
එතැන තිබුණේ ශාත්ත ජෝන් ඇළ. ඒකෙ කිඹුල්ලු හිටියා. ලන්දේසි බාසාවෙන් කිඹුලන්ට කීවේ කයිමන් කියලා. ඒ නිසයි එතැන කයිමන් දොරටුව වුණේ. අදත් පිටකොටුවේ ග්‍රෑන්පාස් පැත්තට ගියාම අර කයිමන් දොරටුවෙ ඝණ්ඨාරේ හයිකරපු කුලුණ දකින්න පුළුවන්. වීදියක් ශාන්ත ජෝන් නමින් තිබෙන බවත් දකින්න පුළුවනි. ඉස්සර ශාන්ත ජෝන් ඇළත්, බේරෙ වැවත්, වරායත් ඇළමාර්ගවලින් එකට සම්බන්ධ වෙලා තමයි තිබිලා තියෙන්නෙ. අර කයිමන් දොරකඩෙන් තමයි කොටුවත් පිටකොටුවත් වෙන් වෙලා තිබුණෙ. ඒ ඇළ මාර්ග සුදු මහත්තුරුන්ගෙ කාලෙ වහලා තමයි පාරවල් හැදුවේ.
දැන් ඔය පිටකොටුව දිහා තියෙන හරස් පාරවල් සේරම ඒ කාලේ තිබිච්ච ඇළ මාර්ග.”
ආතාගේ වචන ප්‍රවාහයට තිරිංග නැති සෙයක් පෙනෙයි.
“ලන්දේසි කාලෙ වෙච්ච දෙයක් මං කියන්නං. මං අර ගෑස්පහ හන්දිය ගැන කිව්වානෙ. ඒ ගෑස්පහ හන්දියේ තමයි මුළු කොළඹටම ගෑස් දුන්න කොම්පැණිය තිබුණෙ. ගෙවල් එළිය වුණෙත් වීදි එළිය වුණෙත් ගෑස් ලාම්පුවලින්.
මේ එහෙම ගෑස් නැති කාලෙ කතාවක්.
මං කිව්වානෙ අර ඇළමාර්ග ගැන කතාවක්. ඒ ඇළ මාර්ගවලින් තමයි එක එක දිහාවලින් කොළඹට රාජකාරිවලටත් වෙළෙඳාමටත් කට්ටිය ආවෙ. තුන්වෙනි යාමේ පැයට කොළඹ ආවේ පාන්දර කළුවරේ. ඔරු පාරුවලින් තමයි කොළඹ ඇතුළෙ ප්‍රවාහනේ තිබුණෙ. ඔරුවකින් හරි පාරුවකින් හරි යන්න තොටුපළවල් තිබුණා අද තියෙන ඔය බස්නැවතුම් පොළවල් ගාණට. ඔරුවෙ ගිහින් බැස්සාම රේන්දරාළට ගාස්තුවක් ගෙවන්න ඕන. ඒ ගෙවලා ඒ ළඟම තියෙන කඬේට ගිහින් හුළු අත්තක් මිලදී ගන්න වෙනවා. හුළු අත්තක් සත දෙකයි. ඇයි ලැයිට් නෑනෙ. ඒ හුළු අත්ත උස්සගෙන වැඩට ගිහින් නිවා තියාගෙන ආයෙම ඒ හුළු අත්තම ගෙදර අරං යන සිරිතක් තිබුණා. ඇයි ඉතින් හැමදාම සත දෙකේ එව්වා වියපෑදම් කරන්න පුළුවනෑ.”
පාරු කතාවෙන් පසු දැන් කොළඹ නගරේ කතාව පටන්ගනී.
“මං අර කිව්වෙ කොළඹ ලැයිට් නැති කාලෙ ගැන නෙ. මේ කියන්නේ ගෑස් ලාම්පු තියෙන කාලෙ. ඒ කාලෙම තමයි කොළඹ ට්‍රෑම් කාර් දිව්වෙ.”
එය රසවත් කතාවක් බව මට පැහැදිලිය.
උස් හඬින් කතාකර වෙහෙස වී සිටියදී මා කළේ අතැති කොළේක ආතාගෙන් අහන්නට ඕනෑ දේ ලියා පෙන්වීමය. ආතා කියනවා වාගේ හතේ කැලෑසියෙන් ඉස්කෝලෙ ගමන කඩාකප්පල් වී තිබුණාට පිරිත් සියල්ල කටපාඩමින් කිව හැකිවා වගේම ඕනෑම ජාතක කතාවක් වුවත් මතකෙන් කීමට දක්ෂපක්ෂකම් ඇත්තෙකි. ඒ පමණක් නොව ලියා ඇති ඕනෑම දෙයක් කියවිය හැකිය. දිනපතා ලංකාදීපය ආතාට නැතිවම බැරි වී ඇත්තේද ඒ අනුවය. මගේ ලියවිල්ද ආතාට ගැටලුවක් නැති බව මම කලින්ම දැන සිටියෙමි. මේ පිළිතුරු ලැබෙන්නේ ඒ අනුවය.
“බලන්න එපැයි අපේ මහත්තයො ඒ කාලෙ කොළඹ ලස්සන. ට්‍රෑම් කාර් දිව්වේ පීලි දෙකක් උඩ. හැබැයි ඊට උඩින් විදුලි කම්බිය. ඒවැයි ගමන් ගියේ සෙලෙස්තිනාලා වගේ ඇත්තො තමයි. බෝරිච්චි හැට්ට ඇඳලා, පටචීත්ත කම්බා දවටාගෙන, මූණෙ පුයරු දාලාහෙම වළලු පිරිච්ච දෑතින් ඒ හැඩකාර නෝනලා දැක්කාම හිත ඇදිලා යනවා ඉබේම.”
තරුණ අවධියේ කාටත් දැනෙන හැඟීම් වියෝලිස් ආතාට දැනෙන්නට වීම අරුමයක් නොවේ.
“ට්‍රෑම් කාර් තමයි ඉස්සර කොළඹ හතර වටේට දිව්ව ජනප්‍රියම වාහනේ. දකූණු ආසියාවෙම්ම මුල්ම වතාවට ට්‍රෑම්කාර් දිව්වේ අපේ රටේ. ඒකෙ මංගල ගමන ගිහින් තියෙන්නෙ ග්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලේ ළඟ ඉඳලා තොටළඟ දක්වාය. ගමනට ගතවී ඇත්තේ පැය කාලකි. ඔය ට්‍රෑම් කාර් එන්න කලින් කොළඹ තිබුණේ රික්ෂෝ කරත්තයි. ඒවා ඇදගෙන ගියේ දාඩිය මුගුරු පෙරාගෙන මිනිස්සු. කාලයක් යනකොටනෙ ට්‍රෑම් කාර් ආවෙ. අන්න එතකොට අර අයට රික්ෂෝ රස්සා නැති වුණා. ඉතිං ඒ අය නිකං හිටියෙ නෑ. නොයෙකුත් උදඝෝෂණ කළා. පෙළපාළිත් ගියා. ඒ මදිවාට හැංගිලා ඉඳන් ටෑම් කාර්වලට ගල්මුල් ගැහුවා. ඒ සැරේ ට්‍රෑම් කාර්වලින් මිනිස්සු ගමන් බිමන් යෑම නැවැත්තුවා.
මේ අර්බුදය සල්ලි වියදම් කරලා, ට්‍රෑම් කාර් කොම්පැනියත් එක්කත් රික්ෂෝකාරයන් එක්කත් ඉංගිරිසි ආණ්ඩුව සාකච්ඡා කරලා විසඳා ගත්තා. අර හැංගිලා ගල්ගහපු අය අල්ලාගෙන ඒ උදවියට දඬුවමුත් දුන්නා. ඊට පස්සේ ආයෙත් කරදරයක් නැතිව ට්‍රෑම්කාර් දුවන්න ගත්තා. ට්‍රෑම් කාර් කොළඹ දුවන්න පටන් ගත්තා වුණාට ඒ අයට ගෙවන ගෙවීම් මදිය කියලා වර්ජනයක් පටන් ගත්තා එකදාස් නමසිය හතළිස් හතර අවුරුද්දෙ. ඒ අරගලයේ සාර්ථක ප්‍රතිඵල රියැදුරන්ට ලැබුණා. නමුත් ඒ ටික කාලයයි. ට්‍රෑම් කාර් වෙනුවට අලුත් බස් ජාතියක් ආවා. ඒවාට කිවුවේ ට්‍රොලි බස් කියලා. මට හරියටම දිනේ මතක නෑ. නමුත් ඒ එකදාස් නමසිය පනහෙ. ඉස්සර ජනගහනයත් අඩුයිනෙ. ඒ හන්දා ප්‍රශ්නත් අඩුයි. ඒ වගේම වටපිටාවත් ලස්සනයිනෙ. හැබැයි ඇතිවුණු දියුණුවේ තරම ගැන පුදුමත් හිතෙනවා.”
වියෝලිස් ආතාගේ දේශපාලනය ගැනත් ටිකක් කථා කළ යුතුය.
“මම මුල ඉඳම්ම හොඳ සමසමාජකාරයෙක්. මගේ ප්‍රියතම දේශපාලනඥයා ඇන්.ඇම්. පෙරේරා. මං ඒ කාලෙ එක ඡන්ද රැස්වීමක්වත් වරද්දන්නෙ නැතිවා වාගේම ඒ කාලෙ වමේ පෙළපාළිවලටත් නොවරදවාම යනවා.”
සමසමාජකාරයකු යැයි කියන මේ වියෝලිස් ආතා යක්ෂයන් හා පෙරේතයන් සමඟ වැඩ කිරීමද, තොවිල්පවිල් ආදිය කිරීමද යන කාරණා මට ඉතිරි වුණු සංයුක්ත අභූත ප්‍රශ්නයකි. එසේම යමක් සිතාගන්නටද පෑදුණූ මඟකි.
එනම් විද්‍යාත්මක සමාජවාදය යැයි කියන්නේ කුමකටද? යන්නයි. ඔවුහු තොවිල් පවිල් කරත්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙලෙස්තිනාලා බලන්න කොළඹ ආපු හැටි
ෆෙරෝස් Wednesday, 24 August 2016 10:50 AM
ඔය කියන කයිමන් දොරටුව කොටුව 'මේන් ස්ට්‍රීට්' එකේ හතරවෙනි හරස්වීදිය පටන්ගන්න තැන තාම තියනවා. ට්‍රෑම් කාර් ගිය පාරකුත් හතරවෙනි හරස්වීදියේ තියනවා නේද? (නි)
අයිකේඑස් චන්ද්‍රසිරි Friday, 26 August 2016 08:48 AM
හොඳ ලිපියක් (බ)
ඉම්රාන් Friday, 26 August 2016 12:25 AM
ඉතා හොඳ ලිපියක් (නි)
ගයාන් Friday, 26 August 2016 12:25 AM
එක අතකින් සිතාබලනකොට ඒ කාලේ මිනිස්සු ගෙවූ සරල ජීවිතය මොනතරම් සුන්දරද? (නි)
චමිල් Thursday, 25 August 2016 11:01 AM
හොද ලිපියක් (හේ)