ඒ.ඩී. රංජිත් කුමාරගේ ගම කොඩි ගහ යට ග්‍රෑන්ඩ් පාස් කොළඹ 14 ලොයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ හි කොස් ගස් හන්දියයි. එය අමු නගරයකි. වෙල් යායක්, කමතක් තබා හෙවණක් දෙන ගහක් කොළක්වත් නැත. කොටින්ම ගිනි ගහන ගෙන්දගම් පොළොවකි.
මේ ගිනි ගහන නගරයේ රංජිත් කුමාර වැනි ගුණසම්පන්න විනීත, කලා ළැදි නිර්ව්‍යාජ පුද්ගලයකු බිහිවීම විස්මයකි.
ඔහු කුඩා කල සිටම හැදී වැඩෙන්නේ අච්චු කන්තෝරුවකය. අකුරු, කඩදාසි, තීන්ත සුවඳට වශී වූ ඔහු මියයන තුරුම හිටියේ අච්චු කන්තෝරුවලය. කුඩා කල පියා හමුවීමට පී.බී. අල්විස් පෙරේරා, පියදාස පලන්සූරිය, විල්සන් හෑගොඩ, කපිල සෙනෙවිරත්න වගේම ඇස්. මහින්ද ටිබැට් හාමුදුරුවෝ ඔහුට ආගන්තුක නොවූහ. ජේ.ආර්. ජයවර්ධන ආර් ප්‍රේමදාස , වින්සන් පෙරේරා, චද්දී ගුණරත්න මාමා හමුවීමට ඇන්.ඇම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, විවියන් ගුණවර්ධන ද ආවා ගියහ.
තාත්තා ඒ.ඩී. එඩ්මන්ඩ්ගේ ගම සන්තබස්තියමය. ඉගෙන ගත්තේ කොළඹ ආනන්දේ. රංජිත් කුමාර ද කේරි විද්‍යාලයෙන් ආනන්දයට ගියේය. කලාකාමී සිසු කැළ අතර සිටි කුලරත්න ආරියවංශ ඔහුගේ ගමන් සගයා විය. ආනන්ද වාර්ෂික සඟරාවේ පිට කවරය ඇන්දේ රංජිත්ය. ලියන්නට ඇලුම් කළ ඔහු කුලේත් ගාමිණි විජයතුංගගේ සමග එක්ව සෙවණ නමින් පත්තරයක් කළේය. දයාවංශ ජයකොඩිගේ හෙළබිමට ලිව්වේය. කුලේ ද කවි ලිව්වේය. රංජිත් කුමාර දෛවයෙන්ම නම නියම කරගෙන ආ සිනමා පත්තරයකට ලිවීමේ අවස්ථාව දුන්නේ විසිතුර පත්තරේ ආතර් යූ. අමරසේනය. දෙවැනියට සිනමාස් සමාගමේ කලා පත්තරේ ආරියසේන කහවිටය. තෙවැනියට දූතයා සංස්කාරක අර්නස්ට් පෝරුතොට පියනමය. අවසානයේ ඔහු නැවතුණේ ලේක් හවුස් ආයතනයේ සිනමා පත්තරේ සරසවියේය.
එවක සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා නියෝජ්‍ය කර්තෘවරුන් වූයේ ලක්ෂ්මන් වික්‍රමසිංහ සහ සෝමවීර සේනානායකය. ලේක් හවුසිය තුළ එකල ඇවිදින පුස්තකාල ගණනාවක් විය. එඩ්වින් ආරියදාස, බෙනඩික් දොඩම්පෙගම, ජයවීලාල් විලේගොඩ, පර්සි ජයමහ ඉන් කිහිප දෙනෙකි. කියවීමටත් ලියවීමට අභිරුචියක් දැක් වූ රංජිත් කුමාර ඉබ්බා දියේ දැමුවාක් මෙන් විය. සිනමාව ඔහුගේ පළමු මනාපය වූ අතර සාහිත්‍යයය ඔහුගේ දෙවැනි මනාපය විය. සිනමා පත්තරයේ සිනමාව ගැනම ලියමින් සිටි රංජිත්ට සාහිත්‍ය උල්පත පාදා දුන්නේ නව යුගය භාර ගත් එඩ්වින් ආරියදාසයෝය. චරිත හමුව විශේෂාංග යටතේ මෙරට පරම්පරා දෙකක විද්වතුන් පිළිබඳ රසාලිප්ත වූ ද සාරගර්භ වූ ද ලිපි 300කට ආසන්න සංඛ්‍යාවක් ඔහු ලිව්වේය.
අන්තිමේ 1997 දී කොස් ගස් හන්දිය ස්වයං චරිතාපදානය ද 2020දී කොස්ගස් හන්දියේ කොලු ගැටයා සමකාලීන තොරතුරු හා චරිත පිළිබඳ සටහන් මාලාව ද සකස් කිරීමේ ආර ප්‍රගුණ කළේ චරිත හමුව තුළිනි. මායා රංජන්, රෙජී රණසිංහ, ලීල් ගුණසේකර, මහාචාර්ය ආරිය රාජකරුණා, අනුරාධ සෙනෙවිරත්න, අමරදාස වීරසිංහ, ගණනාථ ඔබේසේකර, පුංචි බණ්ඩාර සන්නස්ගල ප්‍රමුඛ …තත් පඬි පරපුර වත්මන් පරපුරට හඳුන්වා දීමේ ගෞරවය රංජිත්ට හිමිවෙයි.
මේ ලිපි මාලාව කියවන විට ඒ.ඩී. රංජිත් කුමාර සිනමා පත්තරයක නොවී ජාතික පත්තරකාරයකු වී නම් සිදුකළ හැකිව තිබූ සේවාව වඩාත් උදාර වෙතැයි මට සිතේ. ඔහු විද්වත් සද්ජන ආශ්‍රය බෙහෙවින් ප්‍රිය කළේය. ඔවුන්ගෙන් ඔහු ලත් අනුප්‍රාණය විශිෂ්ටය සැබැවින්ම ඔහු ශාස්ත්‍රමාමකයෙකි.
රංජිත් කුමාර ස්වකීය තිස් වසරකට අධික මාධ්‍ය ජීවිතය තුළ කිසිවකුට හානිදායක වචනයකුදු ලියා නැත. කිසි කලෙක කිසිවකුට දොස් නගා නැත. වනේ වන හතුරකුටවත් පීඩාවක් කර නැත. කලක් නයි වෛයිරයෙන් සිටි ගාමිණී ෆොන්සේකාත් ජෝ අබේවික්‍රමත් යළි මිතුරන් වූයේ රංජිත්ගේ ලියවිලි නිසාය. කලක් විරසකව සිටි මහාචාර්ය සනත් නන්දසිරි, වික්ටර් රත්නායක යළි මිතුරු වූයේ ද රංජිත්ගේ ලියවිලි නිසාය. අන්ත අසරණව කුකුළු කොටුවක වාසය කළ සුනිල් සාන්තට ඉන්න හිටින්නට නිවෙසක් ලැබුණේ රංජිත්ගේ ලියවිල්ලක් නිසාය. පත්තර විකුණා ගැනීමට නළු නිළියන් - කලාකරුවන් භේද හින්න කිරීම පිළිබඳ බිඳීමේ පත්තර කලාව රංජිත් කුමාර ළඟ නොතිබුණේය.
1986 ගාමිණී ෆොන්සේකා සිංහල සිනමාවේ සක්විති ලෙස අභිෂේක කළේ රංජිත් කුමාරය. ඒ ගාමිණීගේ 50 වැනි ජන්ම දිනයේදීය.
රංජිත් චිත්‍ර ශිල්පියකු වූයේ ගුණරත්න මාමා නිසාය. එවක වන්නියේ පත්‍ර ශිල්පියකු ලෙස ප්‍රකටව සිටි ගුණරත්න මාමා, මහගමසේකරට කලා ලොවට වරම් දුන් අබිලිං මාමා මෙන් රංජිත්ට අනුග්‍රහය ලබා දුන්නේය. 15 හැවිරිදි රංජිත් කුමාරට හා පුරා කියා පිට කවරයක් නිර්මාණය කිරීමට ඇරියුම් කළේ කරුණාරත්න සපුතන්ත්‍රි තමන්ගේ ‘පව් පඳුරු’ නවකතාවටය. 1975 දී කොළඹ සමුද්‍ර කලාගාරයේ දී පිටකවර චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන විට ඔහු මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානයක, කේ. ජයතිලක, මාහාචාර්ය සරච්චන්ද්‍ර, ලීල් ගුණසේකර ඇතුළු මෙරට ප්‍රබුද්ධ සාහිත්‍යධරයන් සියල්ලන්ගේම කෘති සරසා සිටියේය. රංජිත් දිවමන් තොරතුරු ගබඩාවකි. චිත්‍රපට පිළිබඳව නළු නිළි වතගොත පිළිබඳව අන්‍යතර ශිල්පීන් පිළිබඳ තොරතුරු පිළිබඳ මතක ගබඩාවක් බව ගුවන් විදුලි රූපවාහිනි වැඩ සටහන්වල දී ඔහු සනාථ කළේය.
ඔහු සැබැවින්ම පොත් ගුල්ලෙකි. ඔහුගේ රත්මලාන කල්දෙමුල්ලේ කුඩා නිවස නිවහනකට වඩා පුස්තකාලයකි. සාලයේ ද කාමරයේ ද හැම තැනම පොත්ය. කිසියම් ලිපියක් ලිවීමට ඇරයුමක් ලැබුණොත් තොරතුරු සොයා ගැනීමට ඔහුට පරිගණයක හෝ පුස්තකාල සුචියක හෝ ආධාරය අවශ්‍ය නොවීය.
රංජිත් 1997 පළ කළ කොස්ගස් හන්දිය කෘතියේ තිබුණේ ඔහුගේ ජීවිත කතාවය. 2022 දී පළකළ කොස් ගස් හන්දියේ කොලු ගැටයා හි පළවුණේ සමකාලීන සමාජ සංසිද්ධීන් හා ඊට මුල් වූ පුද්ගලයන්ය. ඒ අතර මෙරට ඉහළම දේශපාලනඥයන් පරිපාලන නිලධාරීන් විද්වතුන් සිනමා නළු නිළියන් නාට්‍යකරුවන් ඇතුළු සෑම තරාතිරමකම පුද්ගලයෝ සිටිති. ඔවුන් පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් එමගින් සමාජගත වෙයි.
මෙරට සංස්කෘතික ක්ෂේත්‍රයේ පෝෂණයට බලපෑම් කළ විශිෂ්ට කලාකරුවන් හැමදෙනා සමගම සමීප සම්බන්ධතා ගොඩනගා ගත් රංජිත් කුමාර සමාජයේ සෑම ස්ථරයකම පුද්ගලයන් සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීමට දැක් වූ උනන්දුව නොමඳය.
මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන්නේ තමන් කළ උත්පලවණ්ණා, පත්තිනි වැනි දැවැන්ත නිර්මාණ චිත්‍රපටගත කිරීමට මිලිනා සුමතිපාල සම්බන්ධ කර දුන්නෙත් යශෝධරා ක්ෂීර සාගරය කැළඹෙයි සහ විජයබා කොල්ලය වැනි දැවැන්ත නිෂ්පාදන කිරීමට සරසවි ප්‍රකාශන සමාගම එච්.ඩී. ප්‍රේමසිරි සම්බන්ධ කර දුන්නෙත් රංජිත් කුමාර බවයි.
රංජිත් සරසවිය සිනමා පත්තරයෙන් සිනමාවේ ප්‍රගමනයට අතහිත දුන්නාක් මෙන් චිත්‍රපට කර්මාන්තයේ දී ප්‍රගමනයට දායක වී ඇති බවට එම සාක්ෂි ප්‍රමාණවත් යැයි සිතමි. සිංහල සිනමාවේ ආයු කාලයෙන් අඩකට වැඩි කාලයක් ඒ.ඩී. රංජිත් කුමාර මෙරට සිනමාවේ ප්‍රගමනයට ‘සරසවිය’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ලෙසත් ‘සරසි’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ලෙසත් කළ මෙහෙවර විශාලය. නව යුගය, සිළුමිණ ඔස්සේ සාහිත්‍යයේ ප්‍රගමනයට කළ සේවාවද සුළු පටු නැත. සැබවින්ම ඔහු සංස්කෘතික සත්පුරුෂයෙකි.
ඔහු තමන්ගේ සේවාවේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමේ වගකීම තම එකම පුත් ආචාර්ය නුවන් නයනජිත් කුමාරට පවරා ගියේය. ශ්‍රී ලංකාවේ සිනමා පත්තර කලාවේ වාර්තාවක් තබමින් වසර 17 කතුකම කළ සරසවිය පත්‍රයේ කර්තෘ ධූරයට නුවන් පුතු පත්වීම රංජිත්ගේ ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වීමක් බව මගේ විශ්වාසයයි. ඒ.ඩී. රංජිත් කුමාරගේ වියොවින් මෑත භාගයේ කලා පත්තරයක සිටි සංස්කෘතික මිනිසකු රටට අහිමි විය.
සුබ ගමන් රංජිත්
(***) තිලකරත්න කුරුවිට බණ්ඩාර
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංස්කෘතික මිනිසෙකුගේ නික්මීම