බුදු දහමින් නිරතුරුවම තම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට උපදෙස් දෙනුයේ සසරින් එතෙරවීම සඳහාය. මෙම එතෙර වීම සාංසාරික විමුක්තිය මතු නොව පරම නිෂ්ටාව ලෙසද හැඳින්වේ. සිදුහත් මහ බෝසතාණන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් මුළුල්ලේ පෙරුමන් පූරණය කරන්නේ මතු නොව ගවේෂණය කර සොයාගත්තේ එම පාරගාමී ක්‍රියා පිළිවෙතයි.
පන්සාළිස් වසරක් පුරා තථාගතයන් වහන්සේ සිදුකරන ලද්දේ පුද්ගලයන් සසරින් එතෙර කරවීම සඳහා අනුශාසනා කරමින් මග පෙන්වා දීමය. බුදුවරයන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය වන්නේ ඒ සඳහා මග පෙන්වීම වන අතර අනුත්සාහි වූවන් බලයෙන් එතෙර කරවීම නොවේ. එසේ පරතෙරට යාම සඳහා හේතු සම්පත් ඇති පුද්ගලයන් මහා කරුණා සමාපත්ති ඥානයෙන් මහා කරුණා ජාලයට දිනපතා හසුකරගන්නා භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සොයා භාරතය පුරා පාගමනින් සැරිසරන ලද ආකාරය ත්‍රිපිටකය මගින් මැනවින් අනාවරණය කරනු ලැබේ. ඇතැම්විට එබඳු පුද්ගලයන් සොයා ගමන් කොට ඇත්තේ එක්වරක් දෙවරක් නොවේ. පාරගාමී බව සඳහා සසර පුරා සපුරා ගෙන ඇති හේතු සම්පත් අනුව එතෙර වීමේ මාර්ගය පෙන්වා දෙන ලද්දේ විවිධ බාධක හා අපහාස උපහාස මතු නොව අනේකවිධ තර්ජන හා ගර්ජනා නොසලකමිනි. එබඳු එක් අවස්ථාවක් ලෙස ආලවක යක්ෂයා පිළිබඳව සිදුවීම සඳහන් කළ හැකිය. එය බුදුවරයන් වහන්සේ නමකගේ ඇති අකම්ප්‍ය බව පමණක් නොව ඉවසීමේ ගුණයත් අභීත බවත් අවස්ථානුකුලව දැක්විය යුතු නම්‍යශීලිභාවයත් ප්‍රකට වන අවස්ථාවකි.
මෙම සිදුවීම බොහෝ දෙනා දන්නා කරුණකි. එම තොරතුරු සඳහන් වන්නේ මහ පිරිත් පොතටද ඇතුළත්ව ඇති ආලවක සූත්‍රයේය. පරතෙරට යාහැකිවීම මතු නොව පාරගාමි වීමේ හැකියාව හෙවත් සෝවාන් වීමේ වාසනා ගුණය පිළිබඳ මහා කරුණා ඥානයෙන් දුටු භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කරන ලද්දේ මහත් අනුකම්පාවෙනි. ආලවක යක්ෂයා විසූ නගරයද හඳුන්වා ඇත්තේ අලව් නුවර යන නමිනි. ආලවක යකු සිය විමානයෙන් බැහැරව සිටියේ නමුදු, බුදුරදුන් ඔහුගේ සේවකයකුගෙන් එහි රැඳී සිටීම සඳහා අවසර ඉල්ලා සිටියේ වුවද එසේ අවසර දීමටද එම යක්ෂ සේවකයා බියවූ අයුරු සඳහන් වේ. එසේ වුවද භාග්‍යවතුන් වහන්සේ සිය අභිලාසය සපුරාගනුවස් යක්ෂ භවනට අනවසරයෙන්ම ඇතුළත්ව භවනයෙහි හුන් යක්ෂ භාර්යාවන්ට දම් දෙසීම ඇරඹූහ.
එම අවස්ථාවේ තම භවනට පැමිණි අලව් යකු විසින් භාග්‍යවතුන් වහන්සේට විවිධ චෝදනා හා තර්ජන ගර්ජන සහිත පීඩාකාරී ක්‍රියා සිදුකරන ලද්දේ මතු නොව තථාගතන් වහන්සේ එහිදී ඉතා නම්‍යශීලීව ක්‍රියා කර ඇති ආකාරය බුද්ධ චරිතයෙන් ගතහැකි මහඟු ආදර්ශයකි. තවද අවශ්‍ය අවස්ථාවල දැඩි තීරණයක එල්බ සිටීමේ නිවැරදි ක්‍රියා පිළිවෙතක්ද මෙම සිදුවීමෙන් ප්‍රකට කෙරේ. යක්ෂයාගේ සියලු නොහික්මුණු ක්‍රියාකාරකම් අසාර්ථක වූ අවස්ථාවේ විවාදාපන්නව පෙර අසා තිබූ විවිධ ප්‍රශ්න අසමින් බුදුරදුන්ට පීඩා කිරීමට පෙළඹුණ යක් සෙනෙවියාට අපරාජිතව එම පැන විසඳීමෙන් තමන් වහන්සේ එහි වැඩමවීමේ අභිමතාර්ථය සාධනය කරගත් අයුරු අසිරිමත්වූ සිත් රූ රටා මැවෙන අවස්ථාවකි. යක්ෂයාගේ මූලිකතම ප්‍රශ්නය වූයේද “කථංසුතරතීඕඝං”යනුවෙන් ඕඝ තරණය හෙවත් සසරින් එතෙරවීම පිළිබඳ ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකි. එම පැනය වඩාත් පුළුල්ව විමසා ලූ අලව් යකුගේ දෙවෙනි ප්‍රශ්නය වූයේ “කථංසුතරතීඅන්නවං”යන්නයි. භාග්‍යවතුන් වහන්සේ එක හෙළාම එහිදී අලව් යකු කේන්ද්‍ර කොට ගෙන ප්‍රථම පැනය සඳහා “සද්ධායතරතිඕඝං” සසර සැඩපහර තරණය කිරීම සඳහා ශ්‍රද්ධාව තිබිය යුතු බවත් සසර සයුරින් පුද්ගලයා එතෙර කරවීම සඳහා අප්‍රමාදීව ක්‍රියා කළ යුතු බවත් දේශනා කළහ. මෙසේ ජීවමාන බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන් සසරින් එතෙර කරවීම සඳහා විවිධ අවස්ථාවල දී විවිධ පුද්ගලයන් සඳහා විවිධ ආකාරයෙන් දේශනා පැවැත්වූයේ නමුදු සියල්ලන්ම එම මග පෙන්වීමට අවතීර්ණ වූ බවක් නොපෙනේ. එබඳු අවස්ථා සංඛ්‍යාත්මකව දැක්විය නොහැකි තරම්ය. ඒවා ධර්ම සාහිත්‍යයෙහි විවිධ අයුරින් සඳහන්ව ඇති අතර අලව් යකු පිළිබඳ පුවත ඉන් එක් සිදුවීමක් පමණි.තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේ ධරමානව වැඩසිටිමින් සත්ව ප්‍රජාව සංසාරික සාගරයෙන් එතෙර කරවීම සඳහා ප්‍රකාශිත උතුම් සත්‍ය මාර්ගයෙහි ගමන් ගන්නා පුද්ගල සංඛ්‍යාව පිළිබඳ උපේක්‍ෂා සහගතව සලකා බැලීමක් ධම්මපද පාලියෙහි පණ්ඩිත වග්ගයෙහි පහත ගාථා ධර්මය තුළින් දැක ගත හැකිව තිබේ.
අප්පකාතේමනුස්සේසු
යේ ජනා පාර ගාමිනෝ
අථායං ඉතරා පජා
තීර මේධානු ධාවතී
මේ ගාථා ධර්මයට අනුව මිනිසුන් අතුරින් පරතෙරට යන්නෝ ටික දෙනෙකු බවත්, සෙසු සත්වයන් මෙතෙරම රැඳෙන බවත් අර්ථ ගන්වා ඇත. මෙහි ”පාර ගාමිනෝ” යනුවෙන් ප්‍රකාශ වනුයේ පරතෙරට යන්නන්ය. පරතෙර යනුවෙන් සඳහන් වන්නේ සසර ගමන අවසන්වූ තැනයි. එනම් ඉපදීමක් නැති ජරා මරණ සංසිඳුණ ස්ථානය හෙවත් නිවනය. එම නිවන් මගට පැමිණෙන පිරිස ඉතා සුළුතරයක් බව ප්‍රකාශ වන්නේ ”අප්පකා” යන වචනයෙනි. එය තථාගතයන් වහන්සේගේම උදාහරණයක්වූ නියපිටට ගත් වැලි ප්‍රමාණය ඉතා ස්වල්පයක්ව මහ පොළවෙහිවූ වැලි ප්‍රමාණය අසීමිත බවකින් යුක්තවීම වැනි වේ. එසේ සසර රැඳෙන බහුතර පිරිස මැරෙමින් උපදිමින් දිරීම් පෙළීම් ආදියට ගොදුරු වෙමින් දුකින් පෙළීම ”තිරං ඒව” යන පාලි වචනයෙන් විස්තර කොට තිබේ.
මෙසේ සසර සැරිසරන සත්වයන් සසරින් එතෙර කිරීමේ මාර්ගය භාග්‍යවතුන් වහන්සේ මනාලෙස දේශනා කොට ඇත්තාහ. එම පිළිවෙත් පිරීමට යමෙක් සමත්වන්නේ නම් අතිශය දුක් සහිත සසරින් එතෙරවීමේ හැකියාව පිළිබඳව ”සම්ම දක්ඛාතේ ධම්මේ” යනුවෙන් සඳහන් වේ. එබඳු ධර්මය සංඛ්‍යාත්මකව සුවාසු දහසක් ලෙස ගණනය කර ඇත. එය දෙවි මිනිසුන්ගේ සැක දුරුකරවීම සඳහාත් මෝහාන්ධකාරය දුරුකරවීම සඳහාත් හේතු වූවක් බව සඳහන් කෙරේ. එපමණක් නොව, සගමොක්සුව සාධනය සඳහාත් සිවුසස්දහම් අවබෝධයෙන් මාර්ගඵල ප්‍රතිලාභය සඳහාත් මනාකොට දෙසූ ධර්මය අර්ථවත් වීමට හේතුවේ. පාරගාමිත්වය සඳහා උපයෝගී වනුයේ ධර්මයට අනුව ක්‍රියාකාරීවීමය. එසේවීම සඳහා හැදෑරීම මෙන්ම අසා දැනගැනීමත් ඉන් ඇතිකරගන්නා බුද්ධියත් අවශ්‍යය. එබඳු පුද්ගලයන් දෙලොව සැපතට පත්වන අයුරු දහමින් විස්තර කොට තිබේ. එහි අවසන් අදියර වශයෙන් විස්තර කෙරෙනුයේ බව සයුර තරණයකොට පරතෙර හෙවත් සසර සයුරේ ඉම නම්වූ උතුම් නිවනට පැමිණීමේ ඇති හැකියාව පිළිබඳ විස්තර සපයාලීමකි.
තථාගතයන් වහන්සේ විසින් මෙම දේශනාව පැවැත්වීමට විෂය වූ සිදුවීම එදා මෙන්ම අදටත් ඉතා මැනවින් ගැලපෙන ධර්මශ්‍රවණය කිරීමේ ආනිසංස පිළිබඳ එකකි. සැවත් නුවර යැයි කී පමණින්ම බොදුනු සිත්සතන්හි සටහන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් වැඩවිසූ දෙව්රම්වෙහෙරය. එසේම උන්වහන්සේ එහි වැඩවාසය කරන සමයෙහි සිදුවූ සංසිද්ධියක්ය. විවිධවූ ධනවතුන්ගෙන් සමන්විත මෙම නගරය සුවිසල් ව්‍යාපාරික ස්ථානවලින් ශෝභාමත් අගනගරයක් වශයෙන්ද පැවති අතර නගරවාසී එම ප්‍රභූ ජනයාගේ එකඟතාව මත එක් දිනක් ප්‍රධාන වෙළඳ වීදියක මහා පින්කමක් සිදුකිරීමට තීරණය කෙරිණි. මෙම පුණ්‍යකර්මය රාත්‍රියෙහි සිදුකෙරෙන ධර්ම දේශනයකින්ද දහවල බුදුපාමොක් මහ සඟනට මහදන් පිළිගැන්වීමකින්ද සංවිධානය කෙරුණු බව සඳහන්ය. දහවල් කාලයෙහි මැනවින් දන් පිළිගැන්වීම සිදු කෙරිණ. රාත්‍රියෙහි විචිත්‍රව සංවිධානය කොට තිබූ ධර්මදේශනාව පැවැත්වීමට සියල්ල සූදානම් කරන ලද අතර, ධර්මශාලාව හා අවට ප්‍රදේශ ධර්ම ශ්‍රාවකයන්ගෙන් පිරී පැවතිණි. නියමිත අයුරින් ධර්මදේශකයන් වහන්සේ ධර්මදේශනය අරඹන ලදින් අසන්නන් බොහෝ දෙනෙක් නිදිමතින් බරිතව කිසිදු හඬක් නොනගාම නිවෙස් බලා ගමන් කළහ.
සැදැහැ බවක් නොවූ තවත් අය දහමට කිසිදු සැලකිල්ලක් නොදක්වමින් කම් රස රිසියෙන් ඉවත්ව යමින් සිටියෝය. මෙසේ වෙනත් අරමුණු ඇතියවුන් මතු නොව නිද්‍රාසීලිවූවෝද දහමට පිටුපා නැගිට ගිය පසු ශාලාවේ ඉතිරිවූයේ ධර්මකාමී සැබෑ සැදැහැවතුන් පමණි. එම පිරිස ධර්මය පිළිබඳ ගෞරවයක් හා මනා දැනීමක් ඇති බහුශ්‍රැතයෝ වූහ. ඔවුහු ධර්මය මැනවින් ශ්‍රවණය කරමින් ධර්මයට ගරුකරමින් පූජා පවත්වමින් පින් අනුමෝදන්ව ඉතා සතුටින් නික්ම ගියහ. සැදැහැතියන්ගේ ධර්මශ්‍රවණය නැණවතුන්ගේ පැසසුමට බඳුන් විය. බොහෝ දෙනාගේ කතාබහටද ලක්විය. එපමණක් නොව ධර්මදේශකයන් වහන්සේද ධර්මයට ලැදිව බණ ඇසූ පිරිසත් ධර්මය නොසලකා හැර බැහැර ගිය මිනිසත් බවෙහි ප්‍රයෝජනය නොගත් පිරිසක් ලෙස සිදුකරනලද හැඳින්වීමද පාදක කොටගෙන භාග්‍යවතුන් වහන්සේ මිනිසුන් අතර නිවන් දක්නා මිනිසුන් සිටින්නේ ඉතා සුළුතරයක් බව දේශනා කොට වදාළහ. සෙසු බහුතර පිරිස සසරෙහිම රැඳෙන අතර යමෙක් ධර්මය අසා ඒ අනුව හැසිරෙන්නේ නම් හෙතෙම අතිශය දුකින් භව සයුර තරණය කොට නිවන්මග පසක් කරගන්නා බවද දේශනා කළ සේක.
ධර්ම ශ්‍රවණය පිළිබඳ බුදුරදුන් ජීවමාන සමයෙහි වුවද ක්‍රියාකොට ඇති ආකාරය මෙම පුවතින් පැහැදිලි වේ. වර්තමානයෙහිද ධර්මදේශනා කරවීම බොහෝ දෙනා සිරිතක් බවට පත්කරගෙන ඇති අයුරු දක්නට ලැබේ. ඇතැම් විට නිවෙස්වල ධර්මදේශනා පැවැත්වීමේදී නිවෙස් හිමියන් ධර්මය අසන අවස්ථා දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. ඇතැම් අය බණ ගෙදරට ඒම සඳහා බණ අවසන් වනතෙක් කල්මැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඉන් පසුව සහභාගී වන්නේ ධර්ම විරෝධී සාදවලට බව බොහෝ දෙනා දන්නා කරුණකි. සමහර දෙනෙක් ධර්ම දේශනාකරන අවස්ථාවේදී වුවද විවිධ පෞද්ගලික කතාබහින් කල්ගත කරනවා පමණක් නොව මතු නොව විවිධ සූදු ක්‍රීඩාවල පවා නිරතවන තරමට බෞද්ධකම පිරිහී ඇති ආකාරය කනගාටුවට කරුණකි.
මේ අතර ඉතා සුළු පිරිසක් මනා අවබෝධයකින් යුතුව ධර්මය අසමින් ධර්මයෙහි හැසිරෙමින් ක්‍රියාකරන ආකාරයද අගයකළ යුතුව ඇත.
දුරාතීතයේ සිටම බොදුනු කාන්තාවෝ නිරන්තරයෙන්ම සාසනික කටයුතු සඳහා පෙරමුණ ගන්නා ලදහ. බිනර පුර පොහෝ දිනය වූ අද එබඳු කාන්තාවන් පූජනීයත්වයට පත්වූ දිනය ලෙස සැලකේ. මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනිමින් මහණ උපසම්පදාවට පත්ව නොසලකා හැර තිබූ කාන්තාවන්ට මහා අගයක් ලබාදෙමින් සාසනික දායාදය හිමිකරදීම සසුනෙහි සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකි සංසිද්ධියකි. එවන්වූ මහනීය සාසනික ඉතිහාසය සිහිපත් කරමින් ධර්මය අසමින් අසන ධර්මයෙහි හැසිරෙමින් සසර සයුරෙහි පරතෙරට යාම සඳහා උත්සුක විය යුතුව ඇත.
(***)
හැව්ලොක් සිටි සාම විහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද නා හිමි
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සසරින් එතෙර වන්නෝ අල්පයහ
Pinum Wednesday, 02 September 2020 06:02 PM
මට හිතෙන විදිහට නම් සසරින් එතෙරවන්නෝ නැත.