ප්‍රවීණ නවකතාකරුවකු කෙටිකතාකරුවකු මෙන්ම දක්ෂ පරිවර්තකයකුද වන ටෙනිසන් පෙරේරා මහතා සම්මානලාභී නිර්මාණ රචකයෙකි. නිර්මාණ රචනය සම්බන්ධව දශක කිහිපයක අත්දැකීම් ඇති මෙම ලේඛකයා අතින් ලියැවුණු කෘති බොහොමයකි. අසිරිමත් වැඩබිම, නිදහසේ දරුවාගේ උමතුතාව, භවාන්තරය, මහගෙදර නිධානය, ඔව් නගරයෙන් නෑ නගරයට, එකොළොස් ගිනි ඉන්ද්‍රජාල කතන්දර, වෛවර්ණ ආදි කෘති ඒ අතර වෙයි. ‘කොරෝනා කාලේ අභිරහස් ජීවිත’ ඔහුගේ නවතම නවකතාවයි. මේ සංවාදය ඒ වෙනුවෙනි.
• ඔබේ නවතම කෘතියට පසුබිම් වන්නේ මෙරට කොරෝනා ව්‍යසනය හා බැඳුණු අත්දැකීම්. සාමාන්‍යයෙන් යම් අත්දැකීමක් ලියන්නට ලේඛකයෙකුට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එහෙත් ඔබ මේ තරම් ඉක්මනට කොහොමද ඒ අත්දැකීම් ලියන්නේ?
ලේඛකයාට නවකතාවක් හෝ වෙනත් ප්‍රබන්ධමය නිර්මාණයක් සඳහා අත්දැකීම් තිබිය යුතුය යන්න අප තුළ මුල් බැසගත් අදහසක්. මෙයට තවත් කරුණක් එක් කරමින් ලේඛකයාගේ අත්දැකීම් පරණවීම ඔහුගේ ව්‍යායාමය වඩාත් සාර්ථකවීමට බලපාන බව කියවෙනවා. නවකතාවක් ලියන්නට අත්දැකීම් අවශ්‍ය බව ඇත්ත. එහෙත් නවකතාවක නිර්මාණාත්මකභාවය සම්පූර්ණවීමට අත්දැකීම් පමණක් හේතු වන බව කීම අසම්පූර්ණ නිගමනයක්. එමෙන්ම අත්දැකීම් පරණවූ පමණින් නවකතාවක අන්තර්ගතය හරවත් වේය යන අදහසද තාර්කික මතයක් වේයයි සිතන්න බැහැ.
ලොව පහළවූ ඇතැම් උසස් සම්භාවනීය නවකතා හුදෙක්ම අත්දැකීම් පාදකකර ලියවී නැති බව පෙනෙනවා. මෙයට උදාහරණයක් වශයෙන් සුප්‍රකට නවකතාකරුවෙකුවූ ප්‍රාන්ස් කෆ්කාගේ නවකතා දක්වන්නට හැකියි. යුදෙව් නවකතාකරුවෙකුවූ කෆ්කාගේ කතා කුමන සමාජ පදනමක් විවරණය සඳහා ලියන ලදැයි කිව නොහැකි බව විචාරක මතයයි. එක්තරා විචාරකයෙක් කෆ්කා යුදෙව්වෙකු වුවත් ඔහුගේ ප්‍රබන්ධවල යුදෙව් චරිත නොමැති බවත් ඔවුන්ගේ චරිත රටාවන් නැති බවත් පවසනවා. මේ නිසා අත්දැකීම් තිබීමම හොඳ නවකතාවක් බිහිවීමට හේතු වන්නේ නැහැ. මේ අනුව නවකතාකරුවෙකුට ලිවීමට අත්දැකීම් තිබීම හෝ ඒවා පරණවීම මූලික සාධකයක් වන්නේ නැහැ.
මගේ “කොරෝනා කාලේ අබිරහස් ජීවිත” නම් නවකතාව ලිවීමට මට සම්පූර්ණයෙන් මාස දෙකක් ගතවෙන්න ඇති. ඒ වන විට කොරෝනා රෝගය සමාජගතවී මාස හතරක් පමණ වෙනවා. ප්‍රශ්නය වී ඇත්තේ මේසා කෙටි කාලීන අත්දැකීම් ප්‍රබන්ධයට නැගුවේ කෙසේද යන්නයි. මෙහිදී මා භාවිතාවට ගත්තේ කතාකරුවෙකු වශයෙන් මා අත්කරගත් නිර්මාණ අභ්‍යාසයන් හා කොරෝනාව නම් අසිරිමත් සංසිද්ධියේ විචිත්‍රතාවයි. අපගේ ජීවිත කාලය තුළ ඉන්ද්‍රියන් විසින් විඳගත්, අත්විඳි විස්මිතය තමයි මා නවකාවේ තේමාව ලෙස ගත්තේ. මේ සුළු සිද්ධිය සමාජය තුළ ඇති කළ විපරීතය තවත් පසෙකින් මගේ පරිකල්පනයන් අවදි කිරීමට හේතුවූ බව කිව යුතුයි. අපගේ ජීවිත කාලය තුළ ලැබූ අදහාගත නොහැකි අද්භූත අත්දැකීම බලපාන්නට ඇති.
• කොරෝනා ව්‍යසනය හේතුවෙන් විවිධ අංශවල යම් අර්බුදයක් මතු විය හැකි බව විද්වත් මතයයි. මේ අතරින් සාහිත්‍ය කලාවන්ට ඇති අවදානම හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතු ආකාරය ලේඛකයකු ලෙස හඳුනාගන්නේ කොහොමද?
වෙනත් ක්ෂේත්‍රවලට එමෙන්ම මෙය සාහිත්‍ය කලාවන්ටද ඍජුව බලපෑ බව පෙනෙනවා. පොත් හල් වසා දැමීම නිසා පොත් අලෙවිය මහත් සේ පහතට වැටුණා. නව ප්‍රකාශන පළවීම පවා සිදුවූයේ නැහැ. පොත් සඳහා ආයෝජනයද අනෙක් ව්‍යාපාරවල මෙන් අවිනිශ්චිත තත්වයට පත් වුණා. නාට්‍ය හා චිත්‍රපට ප්‍රදර්ශනය අත්හිටුවීම නිසා කලා ශිල්පීන්ගේ වෘත්තීය ක්‍රියාකාරකම් නැවත පණ ගැන්වීම අසීරු තත්වයට පත්ව තිබෙනවා. පුස්තකාල පවත්වාගෙන යාම අඩපණ වීම නිසා කියවීමේ රුචිය වර්ධනයට එය දිගු කාලීනව බලපාන හේතුවක් වී තිබෙනවා. කොරෝනා වසංගතය තවමත් අවසානයක් නොපෙන්වන ව්‍යසනයක් හෙයින් සංස්කෘතික ක්ෂේත්‍රයේ ඇතිවී ඇති අහිතකර තත්වය ගැන විද්වත් කතාබහක් ඇති විය යුතුයි.
ලේඛකයන්, නාට්‍යකරුවන්, සිනමා ශිල්පීන් ආදීන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් රජයේ අනුග්‍රහය හා වෙනත් සංවිධානවල මැදිහත්වීමෙන් සිදු වීම වැදගත්. නාට්‍ය වැනි විෂයන් පාසල් විෂය මාලාවේ ඇති හෙයින් ප්‍රමිතියක් ඇති නාට්‍ය රජයේ අනුග්‍රහයෙන් පාසල්වල පෙන්වීමෙන් ශිෂ්‍යයන් තුළ කලා රසිකභාවය වර්ධනය කළ හැකි එක මගක් වෙනවා. එමෙන්ම නාට්‍ය ශිල්පීන් යම් පමණකින් දිරිමත් කිරීමක් වෙනවා. ඔවුන්ගේ ශිල්පයේ අභිමානයද වර්ධනය වෙනවා. තවද පොතපත කියවීමේ රුචිය ඇතිකිරීම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශයන්ගේද සහය ඇතිව ළමා වැඩමුළු පැවැත්වීම් ආදිය කිරීමෙන් පොත් සඳහා ප්‍රචාරයක්ද ඇතිවෙනවා.
• ලංකාවේ ලේඛකයාගේ අයිතිවාසිකම්, වෘත්තීයභාවය, ගරුත්වය, ආර්ථිකය, නිර්මාණ ප්‍රකාශනය වැනි ගැටලු රාශියක් ගැන එදා සිටම අපි තවමත් කතා කරනවා. විවිධ ලේඛක සංවිධාන ද අපේ රටේ පිහිටුවාගෙන තිබෙනවා. ඒත් මේ රටේ ලේඛකයාට ලැබී ඇති තැන ගැන සතුටු වෙන්න පුළුවන්ද?
මෙය අප කලෙක සිට කතා කරන කරුණක්. මෙය කිහිප දෙසකින් කතා කළ යුතු මැයක් ලෙස සැලකිය හැකියි. මේවා පසුවට තබා ක්ෂණිකව මතුවූ කරුණක් අවධානයට ලක්කරන්නට කැමතියි. අද ලේඛකයන්ගේ අයිතිවාසිකම් කෙසේ වෙතත් “ලේඛකයා” කියන නාමය පවා අභියෝගයට ලක්වෙමින් පවතින බව සංවේගයෙන් පැවැසිය යුතුයි. මෙරට සංස්කෘතික නිලධාරීන් මෙන්ම මැති ඇමති ආදීන් පවා “ලේඛකයා” යනු කවරෙක්ද යන්න හඳුනන්නේ නැති බව නොයෙක් අවස්ථාවලදී පෙනී ගොස් තිබෙනවා. ඔවුන් හැම දෙනෙක්ම නළුවන්, නාට්‍ය ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, රංගන ශිල්පීන්, පුවත්පත් කලාවේදීන් ආදරණීය ලෙස දන්නා මුත් මේ ලැයිස්තුවේ “ලේඛක” නමින් හඳුන්වන වෘත්තීය පිරිසක් සිටින බව දන්නේ නෑ.
මෙහෙම කියන්නේ කට කහනවට නොවෙයි. අත්දැකීම් හා සිදුවීම් ගණනාවක් පාදක කරගෙනයි. මෑතකදී කලාකරුවන් සඳහා ලබාදීමට අදහස් කළ පොලී රහිත ණය ආධාර ලැයිස්තුවේ ලේඛකයන් ඇතුළත්වී නොතිබීම නිසා ජ්‍යෙෂ්ඨ ලේඛකයන්ට පවා එම වරප්‍රසාදය ලබාගැනීමට නොහැකි වන තත්වයක් ඇති වුණා. තවද නිවාස යෝජනා ක්‍රම, වෙනත් සුබසාධක වැඩසටහන් ආදියට පවා කලාකරුවන් ඇතුළත් වුවත් ලේඛකයන් නොසලකා හැර තිබෙනු දක්නට ලැබෙනවා. මෙහිදී අප වෙසසින්ම දේශපාලන බලධාරීන්ට මෙවන් කුඩම්මාගේ සැලකිලි ලේඛකයන් උදෙසා නොකරන ලෙස තරයේ ඉල්ලා සිටි යුතු වෙනවා. මේ අරබයා පිළිගත් ලේඛක සංවිධාන රජයට කිහිප වරක් දන්වා ඇති බව පැවසිය යුතුයි. සාහිත්‍යයට හැමදාම තිබුණේ කුඩම්මාගේ සැලකිලි
• සම්මාන උත්සව බහුලවීමත් සමග බොහෝ දෙනා සාහිත්‍යයේ දියුණුවක් අපේක්ෂා කළා. එහෙත් ඇතැම් පොත් තෝරා ගැනීමේදී විනිශ්චය මණ්ඩලවල තීන්දු තීරණ ගැන ඇතැම් අය අප්‍රසාදය පළ කළා. මේ පාඨක විචාරක අප්‍රසාදය දිගටම පැවතුණොත් එය සාහිත්‍යයට කොහොම බලපායිද?
සම්මාන උත්සවවල කෘති තේරීමේ අක්‍රමිකතා ගැන රසිකයින් නිරතුරුව විවේචන ඉදිරිපත් කළත් උත්සව සංවිධායක මණ්ඩලවල ඒ ගැන සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක්වී තිබෙනවා. මෙයට හේතුවී ඇත්තේ සම්මාන කෘති තේරීම සඳහා වඩාත් සුදුස්සන් සොයා ගැනීමේ දුෂ්කරතාව නිසා යයි බොහෝ විට නිගමනය කළ හැකියි. සුදුස්සන් සෙවීම අපහසු නම් සිටින කවුරු හරි යෙදීමේ පහසු ප්‍රතිපත්තිය බැහැර කළ යුතුයි. මහත් වෑයමින් සුදුස්සන් සොයා ගත යුතුයි. අපගේ අදහස වන්නේ කෘති තේරීමේදී ප්‍රථම වටය සඳහා මැදිහත්ව සිතන, අදාළ විෂය ගැන දැනීමක් ඇති, රසිකයින් සිටිය යුතු බව අප බොහෝ විට යෝජනාකර තිබෙනවා.
ප්‍රථම වටයෙන් කෘතියක් හැලීම වගකිව යුතු, පරෙස්සමෙන් කළ යුතු කාර්යයක්. බව තේරීම් මණ්ඩලවල සාමාජිකයන් මෙන්ම, උත්සව සංවිධායකයන්ද වටහාගත යුතු කරුණක් ප්‍රථම වටයෙන් යම් කෘතියක් අත්හැරීමෙන් වන ප්‍රමාද දෝෂ ආදිය මෙයින් අවම කරගත හැකිවේය යනු අපේ හැඟීමයි. මෑතක සිට සම්මාන සඳහා කෘති උඩදැමීමේ හීන් නූලෙන් කරන ක්‍රියාදාමයන් වසර මුල සිට සිදුවෙන බවක් පෙනෙන්නට තිබෙනවා. සම්මාන මණ්ඩලවලට බලපාන ආකාරයට හිතමිතුරන්, ශාස්ත්‍රාල මිතුරන් යොදා ගනිමින් කරන මේ පොත් උඩදැමීමේ කූට ප්‍රයත්න සම්මාන උලෙළවල සංවිධායකයන්ගේ මෙන්ම විනිසුරුවන්ගේද අවධානයට යොමුවීම වැදගත්. එය සාධාරණත්වයට ගරු කිරීමක් වන්නාසේම සම්මාන කාක්කන්ගෙන් සාහිත්‍ය උලෙළවල් රැකීමක්ද වෙනවා.
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාහිත්‍යයට හැමදාම කුඩම්මාගේ සැලකිල්ල