IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සිංහරාජ සංහාරය

ආණ්ඩු මාරුවත් සමග පසුගිය ආණ්ඩු කාලයේ සිදුවීයැයි කියන ඇතැම් දූෂණ වංචා ගැන විමර්ශන ආරම්භ කර තිබේ. එහෙත් පාරිසරික අපරාධ ගැන තවමත් කිසිම විමර්ශනයක් ආරම්භ වී නැත. නකල්ස් ඉඩම් බදු දීමට පිඹුරුපත් සැකසීම, පාරිසරික බලපෑම් ඇගයීමක් සිදු නොකර මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීම ආදී සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් එම කාලවකවානුවේ ‘සත්‍ය  ගවේෂණ’ විශේෂාංගයෙන් කරුණු අනාවරණය කෙරිණි.

මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ ද ගිය ආණ්ඩුව සමයේ පිඹුරුපත් සකසා තවමත් කරගෙන එන එවැනිම පාරිසරික අපරාධයක් ගැනයි.

ලෝකයේ වැසි වනාන්තර ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි. ලෝකයට වර්ෂාව ඇති කිරීමට බෙහෙවින්ම දායක වන්නේ වැසි වනාන්තරයි. පසුගිය වර්ෂයේ ගිනි ගැනීම් සහ වන විනාශය නිසා ලෝකයේ 40%ක් වැසි වනාන්තර විනාශයට පත් වූ බව අන්තර්ජාතික වාර්තාවල සඳහන් වෙයි.  

ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානම වැසි වනාන්තරය සිංහරාජ ලෝක උරුමයයි. ආයතන කිහිපයක වුවමනාවට ලෝක උරුම සිංහරාජය දෙබෑ කරගෙන මාර්ගයක් කැපීමෙන් ඇතිවිය හැකි මහා පාරිසරික හානිය ගැන ඇතැම් පරිසරවේදීන් හඬ නඟද්දී පැවැති රජය සහ බලධාරීහු එය ප්‍රතික්ෂේප කළහ. ඒ සම්බන්ධයෙන් වසරක් තිස්සේ තොරතුරු පනතින් තොරතුරු එක්රැස් කිරීමෙන් පසු පෙනී ගියේ පසුගිය රජයේ සහ බලධාරීන්ගේ ඒ කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය  බවයි. මෙවර සත්‍ය ගවේෂණය ඒ ගැනයි.

ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ප්‍රාථමික වනාන්තරය ලෙස සැලකෙන සිංහරාජයේ මහාපරිමාණයෙන් ගස් කැපීම සිදුවූයේ 1971-1972 වකවානුවේය. එය සිදුවූයේ නිල ආකාරයටය. ඒ තුනී ලෑලි සංස්ථාවට අවශ්‍ය දැව ලබා ගැනීම සඳහාය. මහ වනය මැද බිම හෙලන ගස් කඳන් රැගෙන යාම සඳහා මාර්ගයක්ද ඉදි කෙරිණි. එය තාර හෝ කොන්ක්‍රීට් හෝ ඇතිරූ මාර්ගයක් නොවේ.

කෙසේ වෙතත් 1978 වසරේදී සිංහරාජය ජෛවගෝල රක්ෂිතයක් ලෙස යුනෙස්කෝවෙන් ප්‍රකාශයට පත් කළ අතර පසුව එවකට පැවැති මායිම් මත පදනම්ව 1989 වසරේදී සිංහරාජය ලෝක උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඊට හෙක්ටයාර 8864ක් අයත් විය. ඊට අමතරව ජාතික උරුම භූමි පනත යටතේ හෙක්ටයාර 11 187ක් සහිතව සිංහරාජය ජාතික උරුම වන භූමියක් ලෙස ද 1989 වසරේ දී ප්‍රකාශයට පත් කැරිණි.

තුනී ලැලි සංස්ථාවට දැව හෙළීම මෙන්ම ඒ දැව රැගෙන යෑමට මාර්ගයක් සැකසීම ද සිදු වූයේ සිංහරාජය ලෝක උරුමයක් පමණක් නොව ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙරය. ඉන් අනතුරුව කාලයත් සමඟ අදාළ මාර්ගයේ ගස් වැඩෙමින් වැසී යමින් තිබුණු පසුබිමක 2004 වසරේ දී මීටර හතරක් පළලට පාලමක් සහ බෝක්කු සහිතව මාර්ගයක් සකස් කරනු ලැබීය. බලධාරීන් කීවේ එසේ ඉදි කරනුයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා  බවයි. දෙස් විදෙස් සංචාරකයන්ට ලංකාවේ නැරඹීමට බොහෝ තැන් තිබිය දී ලෝක උරුමයක් වූ සහ ලංකාවේ විශාලතම වැසි වනාන්තරයක් වූ සිංහරාජය සංචාරක පාරාදීසයක් කිරීමෙන් ඇතිවන තත්ත්වය ගැන බලධාරීහු අවධානය යොමු නොකළහ.

සිංහරාජයට ප්‍රවේශ වීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ රටට ආවේනික මෙන්ම සිංහරාජයටම විශේෂ වූ ඇතැම් ශාඛ හා සත්ව ජාන වෙනත් රටවලට හොරෙන් රැගෙන යෑමේ ජාවාරමට ද පාර කැපිණි. එනම් අන්තර්ජාතික වශයෙන් කරන ජාන කොල්ලයේ එක් කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමය. සිංහරාජයෙන් කොල්ලකෑ ඇතැම් ජාන සංවර්ධනය කර මිල අධික නිෂ්පාදන සකස් කර ඒවායේ පේටන්ට් අයිතිය ඇතැම් විදේශීය රටවල් හිමි කර ගනිද්දී අපේ රටේ බලධාරීහු සුපුරුදු පරිදි මුණිවත රැකගෙන සිටියහ.

අවස්ථා කිහිපයක දී සිංහරාජයේ මායිම් පුළුල් කරද්දී එවකට පැවැති පිවිසුම් මාර්ගය ද ලෝක උරුම සිංහරාජයට සහ එහි පරිවාර වනාන්තරවලට අයත් විය.

එසේ තිබිය දී යළිත් වරක් ප්‍රශ්නය මතුවූයේ 2018 වසරේ දී ය. ඒ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මගින් සිංහරාජය උදෙසා රුපියල් කෝටි 6.4ක පමණ ප්‍රතිපාදන වෙන් කිරීමත් සමගය. සිංහරාජය විනාශ කරමින් මාර්ගයක් ඉදි කිරීමට යන බව කියමින් ඇතැම් පරිසර සංවිධාන විරෝධය දක්වද්දී පසුගිය රජයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් කීවේ එම මුදලින් සිංහරාජයේ කලින් පැවැති පිවිසුම් මාර්ගය පිළිසකර කිරීම පමණක් සිදු කරන බවයි. එය සාධාරණීකරණය කිරීමට වන සංරක්ෂක දෙපාර්තමේන්තුව යොමු කළ ලිපියක මෙසේ සඳහන් වෙයි.

‘2004 සිට මේ දක්වා ගත වූ කාලය පුරා අධික වැසි සහිත කාලයන්හිදී නිරන්තර සෝදා පාළුවට හා නායයෑම්වලට ලක්වූ මෙම පිවිසුම් මාර්ගය භාවිතයට ඉතා අසීරු තත්ත්වයට පත් විය. මෙම තත්ත්වය මත සිංහහරාජ ලෝක උරුම වන භූමිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්, පාසල් සිසුන් ඇතුළු සියලු පිරිස් විසින් ඉතා අසීරු හා අවදානම් තත්ත්ව යටතේ මෙම පිවිසුම් මාර්ගය භාවිත කරන ලදී. මෙම අසීරුතා, අවදානම් තත්ත්ව, නිරන්තර සෝදාපාළුවට හා නායයෑම් නිසා සිදුවන පරිසර හානි සියල්ල වැළැක්වීමේ අරමුණින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත. මෙහිදී පවත්නා මාර්ගයේ පළල වැඩි කිරීමක් සිදු නොකරන අතර නැවත පිළිසකර කර ගල් අතුරා (ඉන්ටර් ලොක්) නායයෑම් සිදුවිය හැකි ස්ථානවල එය වැළැක්වීම සඳහා ගල් බැමි යෙදීම සිදු කරනු ලබයි. ඒ අනුව මෙම මාර්ගය පිළිසකර කිරීමේ දී සිදු කරනුයේ අඩි 10ට වැඩි පළලකින් පැවැති මාර්ගය නැවත පිළිසකර කිරීම පමණි. මෙහිදී කිසිසේත්ම මාර්ගයේ පැවැති පළල වැඩි කිරීමක් සිදු නොකෙරේ. මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී පරිසර ආරක්ෂිත ක්‍රමෝපායන් ඇතුළු මාර්ගෝපදේශ අනුගමනය කරන අතර මේ සඳහා ගත යුතු අවම යන්ත්‍ර සූත්‍ර පමණක් යොදා ගැනෙන අතර කිසිදු අමතර ගස් හෙලීමක් ද සිදු කරනු නොලබයි. ඒ අනුව පරිසර සංවිධාන විසින් සිදු කරන ලබන අඩි පාරක් විශාල මාර්ගයක් බවට පුළුල් කිරීම යන චෝදනාව සාවද්‍ය චෝදනාවක් බව සනාථ වේ’

ඉහත ඡේදය උපුටා ගත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂක ජනරාල් වෙනුවට පරිසර සංරක්ෂණ හා කළමනාකරණ අංශයේ වන රක්ෂක මහින්ද සෙනෙවිරත්න මහතා 2019 ජනවාරි මස 4 වැනි දා ත්‍ෘරැෑක්‍)ඵරැෑිජ්පචරැඵෂීක්‍ අංකයෙන් මහවැලි සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමු කළ ලිපියකිනි. එම ලිපිය යොමු කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වූයේ සිංහරාජ වනාන්තරයේ පිවිසුම් මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය යුනෙස්කෝ සංවිධානයට සහ ලෝක බැංකුවට යොමු කළ පැමිණිල්ලක් අනුවය.

සිංහරාජය මාර්ගගේ වැඩ ආරම්භවීමත් සමග පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා 2018 දෙසැම්බර් මස 26 වැනි දා යුනෙස්කෝවට ලිපියක් යවමින් පැමිණිලි කරන්නේ ලෝක උරුමය වනසමින් නීත්‍යනුකූල නොවන මාර්ගයක් ඉදි කරන බවයි. මෙම නීති විරෝධී මාර්ගයට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ලෝක උරුමය ආරක්ෂා කර දෙන ලෙස සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය එමගින් ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ප්‍රේමලාල් රත්නවීර මහතා 2018 දෙසැම්බර් 28 වැනි දා එම පැමිණිල්ල මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාට යොමු කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දුන්නේය. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයට අමතරව ඇක්ට් ඉන් ශ්‍රී ලංකා සංවිධානය, ජාතික පාරිසරික පදනම,  සිංහරාජ සුමිතුරෝ සංවිධානය සහ සිංහරාජය උදෙසා ජන පවුර සංවිධානය ඇතුළු පාරිසරික සංවිධාන රැසක් මෙම නීති විරෝධී මාර්ගය ඉදි නොකරන ලෙස ඉල්ලා සිටියේය.

යුනෙස්කෝවේ ලිපිය අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවූ අතර පෙර සඳහන් කළ ඡේදය ද සහිත වාර්තාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට යොමු කළේය. ඒ අනුව 2019 ජනවාරි 21 වැනි දා එම අමාත්‍යාංශය ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් වෙත ලිපියක් යවමින් මාර්ගය පුළුල් නොකරන බව දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැමිණිලි ගලා එන්නට පටන් ගත් අතර පරිසර සංවිධාන වලින් දිගින් දිගටම චෝදනා එල්ල විය. පැමිණිලි විභාග කරනවා වෙනුවට බලධාරීන් සිදු කළේ තවත් මුදල් නාස්ති කරමින් ජනමාධ්‍යවේදීන් පිරිසක් සිංහරාජ කුඩව කඳවුරු භූමියට කැඳවාගෙන ගොස් ඔවුන්ගේ පැත්තෙන් දැනුම්වත් කිරීම පමණි. මෙම අවස්ථාවට එවකට පරිසර රාජ්‍ය ඇමැතිවරයා ද සහභාගී වූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිලේඛන පරීක්ෂා කරද්දී පෙනී යයි. මීට අමතරව පරිසර සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් කැඳවා 2019 මැයි 13 වැනි දා සාකච්ඡාවක් පැවැත්වීය.

බලධාරීන්ගේ නිරුවත එළියට ආවේ මෙම ක්‍රියාදාමය ආශ්‍රිත ලිපි ලේඛන තොරතුරු පනත යටතේ ලබා ගැනීමෙන් පසුවය.

පරිසර සංවිධාන මෙම මාර්ගය ගැන චෝදනා නගන්නට පටන් ගත්තේ 2018 ඔක්තෝබර සිටය. එසේ තිබිය දී මාර්ගයේ වැඩ කටයුතු සඳහා 2018 නොවැම්බර් 23 වැනි දා අත්තිකාරම් මුදලක් ලබා දීමට වන සංරක්ණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. අත්තිකාරම් මුදල රුපියල් එක් කෝටි අට ලක්ෂ හැත්තෑ හතර දහස් පන්සිය අනූ පහකි. (රුපියල් 10,874,595.00) විජේසේකර කන්ස්ට්‍රෂන් නම් සමාගමකට මෙම මුදල ගෙවීමට ලියැවිලි සකස් කර ඇත්තේ 2018 නොවැම්බර් 12 වැනි දා වන අතර චෙක්පතින් ගෙවීම අනුමත කර ඇත්තේ 2018 නොවැම්බර් 23 වැනි දා ය. අත්තිකාරම මුළු මුදලින් සියයට 30කි. කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට සැලසුම් කර ඇති මුළු මුදල රුපියල් තුන් කෝටි හැට දෙලක්ෂ හතළිස් අට දහස් හයසිය පනහකි. (36,248,650.00) (අත්තිකාරම් මුදල ගෙවූ 53/11 වවුචරයේ පිටපත මෙහි ඇත.)

මුදල් ගෙවීමට පෙර මෙම ව්‍යාපෘතියේ වියදම් ඇස්තමේන්තුව අනුමත කර තිබේ. සබරගමුව පළාත් සභාවේ නියෝජ්‍ය  ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) විසින් මෙම වියදම් ඇස්තමේන්තුව අනුමත කර ඇත්තේ 2018 මාර්තු හත් වැනි දා ය. කිලෝමීටර 1.45ක් දිගින් යුතුව සිංහරාජ වනාන්තරයේ පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම සහ පිවිසුම් මඟක් අලුත් වැඩියා කිරීම යන හිසින් එම වියදම් ඇස්තමේන්තුව සකස් කර තිබේ. මාර්ගයේ අවශ්‍ය  ඉදිකිරීම් සහ ප්‍රවේශමාර්ගවල පිළිසකර කිරීම් මෙන්ම අනිකුත් වියදම් ද සමග ඇස්තමේන්තුව පන් කෝටි විසි එක් ලක්ෂ අනූ නව දහසකි.  (52,199,000.00)

දැනට ඇති ගස් කොළන් නොකපා තියන ආකාරයටම මාර්ගය අලුත්වැඩියා කිරීම පමණක් සිදු කරන බවට වූ බලධාරීන්ගේ ප්‍රකාශවල සළුපට ගැලවී යනුයේ ව්‍යාපෘතියේ ‘ප්‍රමාණ බිල්පත් (බිල් ඔෆ් කොන්ටිටි)’ ලේඛන පරීක්ෂා කරද්දීය. සිංහරාජ වනාන්තර පිවිසුමේ සේවා මාර්ගය ඉදි කිරීමේ වියදම් ඇස්තමේන්තුවේ දෙවැනි අයිතමයේ පළමු උපඅයිතමයේ වියදම විස්තර කර ඇත්තේ මෙසේය.

‘විශාල වශයෙන් වැඩුණු ශාඛ මුලින් උගුල්ලමින් හෝ කපා දමා පසුව මුලින් උගුල්ලමින් හෝ මහා කැළය සුද්ධ කිරීම’

එනම් ගස් කොළන් නොකපන බවට බලධාරීන් පුන පුනා සඳහන් කරනුයේ විශාල ගස් කපා මුලින්ම උගුල්ලා දැමීමට පිඹුරුපත් සකස් කර තිබියදීය.

එපමණක් නොව කාණු, පැති බැමි සහ බෝක්කු ඉදි කිරීම මෙන්ම වාහන නවතන ස්ථානයක් අලුත්වැඩියා කිරීම ඇතුළු සියලු අලුත්වැඩියා සහ ඉදිකිරීම් සඳහා අවශ්‍ය ආකාරයට මැෂින් ආධාරයෙන් මාර්ගය කැපීම සහ මට්ටම් කිරීම ද, පිපිරුම් මගින් ගල් ඉවත් කිරීමට ද, කොන්ක්‍රීට් කිරීම ආදී තවත් රැසකට මුදල් වෙන් කර තිබේ.

මේ ආකාරයට සිදුකිරීම මගින් පරිසරයට වෙන හානිය ගැන පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර  කාරියවසම් මහතා පැහැදිලි කළේ මෙසේය.

“සිංහරාජ ලෝක උරුමයට පමණක්ම ආවේනික සත්ව හා ශාඛ  විශේෂ ගණනාවක් තිබෙනවා. ඒ කියන්නේ ඒවා ලෝකයේ විතරක් නෙමෙයි අපේ රටෙත් වෙන කොහෙන්වත් වාර්තා වෙලා නෑ. ඒවා තිබෙන්නේ සිංහරාජයේ පමණයි. මේ වනාන්තරය තියන ස්වරූපයෙන් කෘත්‍රිමව යම් යම් වෙනස් කිරීම්වලට ලක් කරද්දී ඒ කියන්නේ පාරවල් කපද්දි, කොන්ක්‍රීට් කරද්දි, පුපුරවද්දි සත්ව විශේෂ සහ ශාඛ විශේෂ විනාශ වෙනවා. ඒවගේම සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා සිංහරාජයට සංචාරකයන්ට යන්න පහසු වෙන්න ඉදිකරන මේ මාර්ගය අන්තිමට නතර කරන්නේ සිංහරාජයේ අනිත් කෙළවරටම මාර්ග කැපීමෙන්. අද කිලෝමීටර දෙකක් හදයි. වරින් වර මේ දිග එන්න එන්නම වැඩි වෙයි. අන්තිමට සිංහරාජය දෙබෑ කරනවා. සිංහරාජය වගේ වැසි වනාන්තර රැක ගන්නවා වෙනුවට බලධාරීන් එය විනාශ කරන්න පිඹුරුපත් සකසමින් ඉන්නවා. සිංහරාජය ඇතුළට සංචාරකයන් ගෙන්වා ගන්න අවශ්‍ය නෑ. සිංහරාජයට යන සංචාරකයන් නිසා ලංකාවේ ජාන කොල්ලය වර්ධනය වෙලා තියෙනවා. මේ හදන්නේ අපේ සම්පත් අපිට නැති කරන්නයි. මේ සම්බන්ධයෙන් අපි යුනෙස්කෝවට පැමිණිලි කළා. බලධාරීන් යුනෙස්කෝවටත් බොරු කියලා තිබ්බා. අපි ඒ ප්‍රදේශයට ගිය වෙලාවේ දැක්කා කරන විනාශය. අපි ඡායාරූප සහිතව සවිත්සරාත්මකව යුනෙස්කෝවට සහ ලෝක බැංකුවට මේ විනාශය ගැන ඉදිරිපත් කරලා තියෙනවා. මේ සතියේ ලෝක බැංකුවෙන් අපේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න සිංහරාජයට යනවා කියා අපට දැනුම් දීලා තිබෙනවා. මේ විනාශයේ සියලුම පිඹුරුපත් ඔවුන්ට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ විනාශය නතර කළේ නැතිනම් අපි අධිකරණයට යන්නත් බලාපොරොත්තු වෙනවා”.

සිංහරාජය සුරැකීමේ ජන පවුර නමින් සංවිධානයක් පිහිටුවා ගත් පරිසරවේදීහු පිරිසක් පසුගිය කාලය පුරාවටම මෙම මාර්ගය ඉදි කිරීම නතර කරන ලෙස ඉල්ලමින් බලපෑම් කළහ. එම සංවිධානයේ කැඳවුම්කරු චමින්ද ජයසූරිය මහතා පැවසුවේ මේ ආකාරයට සිංහරාජය වැනසීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ ජනතාවට හුස්ම ගැනීමට අවශ්‍ය  ඔක්සිජන් කොළඹ කඩවලින් මිලදී ගන්නා තත්ත්වයක් ඇතිකිරීම විය හැකි බවයි.

“සිංහරාජයේ මාර්ගය ඉදි කරන තැන්වලට අපිත් ගියා. මේ සම්බන්ධයෙන් සංවිධානවලට එන්න කියලා මීට සති කිහිපයකට කලින් සාකච්ඡාවක් තිබ්බා. එතනදි බලධාරීන් පිළිගත්තා ඔවුන්ගේ සැලැස්ම වැරදියි කියලා. විරෝධතා නිසා ඒක පොඞ්ඩක් වෙනස් කරලා ආයෙත් මේක පටන් ගන්නවා නම් අපි ඊට විරුද්ධයි. දැනට කපලා තියන කොටස පරිසර හානිය අවම වෙන විදියට සංරක්ෂණය කළ යුතුයි. මේ විදියට වරින් වර සිංහරාජය විනාශ කිරීමේ අවසන් ප්‍රතිඵලය තවත් අවුරුදු දහයක් යද්දි මිනිස්සුන්ට හුස්ම ගන්න ඕනා ඔක්සිජන් කොළඹ කඩවලින් මිලදී ගන්නා තැනට පත්වීම වෙන්න පුඵවන්. ඒ නිසා මේ විනාශය කඩිනමින් නැවැත්විය යුතුයි.”

ලංකාවේ සිදුවන වංචා දූෂණ ආදී අපරාධ සියල්ලම පරයා ඉදිරියෙන් තිබෙනුයේ පාරිසරික අපරාධය. ජනාවාසකරණයට නූතන උපක්‍රම තිබියදී මන්නාරමේ වනාන්තර විනාශ කර ජනතාව පදිංචි කිරීම සිදු විය. බෝගස්වැව ඇතුළු ගම්මාන පහක් ඉදි කර වව්නියාවේ වනාන්තර විනාශ කෙරුණේද ඊට වෙනස් ලෙස නොවේ. රට වටා තවත් වනාන්තර රැසක් විවිධ අරමුණුවලින් විනාශ කර අවසන්ය. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේද නැත. පසුගිය ආණ්ඩු කාලයේ නකල්ස් ලෝක උරුමයේ ඉඩම් බදු දීමට සකසා තිබූ පිඹුරුපත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ජනමාධ්‍ය සහ පරිසර සංවිධාන ඒ ගැන පෙන්වාදෙමින් කළ බලපෑම් නිසාය. එහෙත් ඉන් පසු අත ගැසුවේ සිංහරාජයටය. ඒ වෑයම නම් තවම නතර කර නැත. පාරිසරික අපරාධ යනු ජාති ආගම් භේදයකින් තොරව විරෝධය පළ කළ යුතු දෑය. මන්දයත් පරිසරය විනාශ වුවහොත් සියලුම ජනවර්ගවල සියලු ජාතිකයන්ට ජීවත්වීමට රටක් ඉතුරු නොවන හෙයිනි.

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ



අදහස් (5)

සිංහරාජ සංහාරය

surath Wednesday, 29 January 2020 12:10 PM

පරිසර ඇමති හිටන්. දේශපාලනයෙන් අතුගා දමන්න ඕනෑ මෙවැනි පුද්ගලයින්..

:       0       45

දික්කුඹුරFriday, 31 January 2020 12:46 AM

සිංහරාජයේ සිටි අලින් එළවන්න මුලින්ම යෝජනා කළේ දැනට සිටින ඇමති කෙනෙක් හෝ රාජ්‍ය ඇමති කෙනෙක් කියලා මතකයක් තියෙනවා. එහෙම අලි එළවීමට කටයුතු කරලා මාර්ගයක් සකස් කරන්න යෝජනා කළෙත් ඔහුට ඡන්දය ගැනීමේ ක්‍රමයක් ලෙසටයි. මෙම වනාන්තරය හරහා නැවත මාර්ගය සැකසීම පටන්ගත්තෙත් ඔහුම කියලා සිතෙනවා.

:       0       1

DD Thursday, 30 January 2020 12:20 AM

අනවශ්‍ය පාරවල් වහල දාන එකයි මුලින් කළ යුත්තේ...

:       56       49

dilan Sunday, 02 February 2020 02:09 AM

මුලින්ම කරන්න ඕන දේශපාලනය ගැන විතරක් අපේ තියන උනන්දුව මේ වැසි වනාන්තරය රැක ගැනීමටත් යොමු කිරීමය.

:       0       11

Chandana F Sunday, 02 February 2020 05:03 PM

ඔය කියන්නේ දේශපාලකයින්ට වෙන දේ........

:       0       115

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 79 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1460 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 672 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 210 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4686 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 13020 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site