IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සහල් හිඟය පුදුමයක්

යල හා මහ ලෙස ලංකාවේ වී වගා කරන කන්න දෙකකි. ඒ කන්න දෙකේ සමස්ත වී අස්වැන්නෙන් පහෙන් තුනකට අධික ප්‍රමාණයක් ලැබෙන්නේ මහ කන්නයේදීය. යල් කන්නයේදී ලැබෙන්නේ සමස්ත අස්වැන්නෙන් පහෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකි. දැන් මේ ගතවෙමින් පවතින්නේ මහ කන්නයේ අස්වනු ලැබෙමින් පවතින සමයයි. ඒ සමයේදී වෙළෙඳ පොළේ හාල් හිඟයක් ඇතිවිය නොහැකිය.

එහෙත් දැන් වෙළෙඳ පොළේ හාල් හිඟයක් පවතී. එය විය හැකි දෙයක්දැයි අප විමසුවේ බතලගොඩ පිහිටි වී පර්ෙ‌ය්ෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතාගෙනි. මේ අපගේ විමසුම සම්බන්ධයෙන් ඒ මහතා කළ විග්‍රහයයි.

පසුගිය 2019/ 20 මහ කන්නයේදී වගා කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 7,52,247 කි. ඉන් ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.19 කි. 2020 යල් කන්නයේදී ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.84 කි. ඒ දෙකෙහි එකතුව මෙට්‍රික් ටොන් මිලියන 5.03 කි. මා මේ කියන්නේ රටේ නිල සංඛ්‍යා ලේඛන වන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තය. ඒ සමස්ත අස්වැන්නෙන් ඉතා සුළු ප්‍රමාණයක් බීජ වී සඳහා වෙන් වෙයි. සාමාන්‍යයෙන් බීජ වී ලෙස ගන්නේ හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 102 කි. ඒ අනුව බීජ වී ලෙස යොදාගන්නේ ලොකු ප්‍රමාණයක් නොවේ. එය සමස්ත නිෂ්පාදනයෙන් සියයට එකකටත් අඩුය.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ වාර්ෂික හාල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4 කි. ලංකාවේ එක් පුද්ගලයකු වසරකට පරිභෝජනය කරන හාල් ප්‍රමාණය කිලෝ 107 කි. ඒ අනුව 2020 වසරේදී ලැබුණු අස්වැන්නේ තිබෙන්නේ අතිරික්තයකි. ඒ වී ප්‍රමාණය වසරේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිය. ඒ ලැබුණු අස්වැන්න මාස 17 කට ප්‍රමාණවත් බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මතයයි. ඒ අනුව 2020 දී ලැබුණු වී අස්වැන්න 2021 මැයි මාසය දක්වා ප්‍රමාණවත්ය. එහෙත් දැන් අප මේ සිටින්නේ 2021 මාර්තු මාසයේය. දැන් ඉහත කී 2020 අතිරික්ත වී නිෂ්පාදනය අතරට 2020/ 21 මහ කන්නය හෙවත් මෙවර මහ කන්නයේ අස්වැන්නද ලැබෙමින් පවතී. එසේ නම් හාල් හිඟයක් ඇතිවන්නේ කෙසේද?

2020 වී නිෂ්පාදනය 2017දී නිෂ්පාදනය කළ ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩිය. 2017 දී නිෂ්පාදනය කළ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.38 කි. එහෙත් 2020 සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5.03 කි. 2017 සිට 2020 දක්වා වූ කාලයේදී වැඩිම වී අස්වැන්නක් ලැබී තිබෙන්නේ 2020 දීය. ඒ වසරේදී ලැබුණු වී අස්වැන්න වසරේ අවශ්‍යතාවට වඩා වැඩිය. 2020/ 21 මහ කන්නය හෙවත් දැන් අස්වනු නෙළමින් පවතින මෙවර මහ කන්නයේදී වර්ෂාවද ප්‍රමාණවත් ලෙස ලැබිණි. විශාල භූමි ප්‍රදේශයක වී ද වගා කෙරිණි. මේ කන්නයේදී අස්වැන්න අඩුවීමට බලපාන මහා ගැටලුවක් හෝ උවදුරු ද වාර්තා නොවීය. මෙවර මහ කන්නයේද ඇතැම් දිස්ත්‍රික්කවල අස්වැන්න අඩු වූ අතර ඇතැම් දිස්ත්‍රික්කවලින් ලැබෙන අස්වැන්න වැඩි විය.

කුරුණෑගල අස්වැන්න වැඩි වූ දිස්ත්‍රික්කයකට උදාහණයකි. අනුරාධපුර, අස්වැන්න අඩු වූ දිස්ත්‍රික්කයකට උදාහරණයකි. එහෙත් ඒ අඩු වැඩිවීම් සමස්ත අස්වැන්න අඩුවීමට හේතු නොවීය. මෙවර මහ කන්නයේ සමස්ත අස්වැන්න පිළිබඳ නිල තොරතුරු තවමත් ප්‍රකාශයට පත්වී නැත. එහෙත් සංඛ්‍යා ලේඛන හා කෘෂිකර්ම දෙපාර්මේන්තුවල උපකල්පනය වී තිබෙන්නේ මෙවර එනම් 2020/ 21 මහ කන්නයේදී පසුගිය එනම් 2019/ 20 මහ කන්නයේදී ලැබුණු වී අස්වැන්නට සමාන හෝ ඊට වැඩි අස්වැන්නක් ලැබෙන බවය. පසුගිය මහ කන්නයේදී ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.19 කි. එලෙස දැනට අප අතේ තිබෙන තොරතුරු දෙස බැලූවිට වී අස්වැන්නේ අඩුවක් තිබෙන බවක් අපට නොපෙනෙයි.

යාපනය හා කිලිනොච්චි වැනි දිස්ත්‍රික්කවලින්ද මෙවර මහ කන්නයේදී අස්වැන්න අඩුවූ බවත් මටද වාර්තා විය. ඊට හේතුවී ඇත්තේ වී වගාවට අවශ්‍ය තරමට ආලෝකය නොලැබීමය. ගොයමේ මල් පිපෙන කාලයේදී ඒ මල් හේදී යන තරමට ඒ ප්‍රදේශවලට වැසි වැසීම ඊට හේතු විය. ඒ නිසා ඒ ප්‍රදේශවල අස්වැන්න යම් ප්‍රමාණයකින් අඩුවූ බව මගේ නිරීක්ෂණවලට ද හසුවිය. එහෙත් පෙබරවාරි හා මාර්තු මාසවලදී අස්වැන්න නෙලූ වගා ඒ ඉරණමට ගොදුරු වූයේ නැත. ඒ නිසා මෙවර මහ කන්නයේදී සමස්ත අස්වැන්නේ අඩුවක් බලාපොරොත්තු විය නොහැකිය. මා ඉහත කී ලෙසද මෙවර අප බලාපොරොත්තු වන්නේ පසුගිය මහ කන්නයේදී ලද අස්වැන්නට වඩා වැඩියකි, වර්ධනයකි. එහෙයින් වී අස්වැන්නේ අඩුවක් ඇතැයි අපට විශ්වාස කළ නොහැකිය.

පුරෝකතන අනුව මෙවර මහ කන්නයේදී වගා කර තිබෙන කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන දශම අටකට වැඩිය. ඉන් වී මෙට්‍රික් ටොන් 31,18,529 ක අස්වැන්නක් ලැබෙතැයි පුරෝකතනය කර තිබේ. එය එසේම වූයේ දැයි අපට දැන්ම කිව නොහැකිය. හේතුව කන්න තවමත් නිම වී නැති හෙයිනි. එහෙත් බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන්නේ පසුගිය මහ කන්නයේදී ලැබුණු අස්වැන්නට වැඩි අස්වැන්නක් මෙවර කන්නයේදී ලැබෙමින් පවතින බවය.

රටේ වාර්ෂික සමස්ත වී අස්වැන්නෙන් පහෙන් තුනකට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ මහ කන්නයේදීය. ඉතිරි පහෙන් දෙකකට ආසන්න ප්‍රමාණය ලැබෙන්නේ යල් කන්නයේදීය. මහ කන්නයේදී හෙක්ටයාර මිලියන දශම 7.5 ක පමණ වී වගා කෙරෙයි. යල් කන්නයේදී වගා කෙරෙන්නේ හෙක්ටයාර මිලියන දශම 4.5 ක් තරම් ප්‍රමාණයකය. මේ ඉලක්කම් ස්ථාවර ඒවා නොවේ. වසරින් වසර මේවා අඩු වැඩි වෙයි. එහෙත් ඒ දත්තවලින් අපට දල අදහසක් ලබා ගත හැකිය. ලංකාවේ ප්‍රධාන කන්නය මහය. අහස් වැස්සෙන් පවා වගා කරන්නේ මහ කන්නයේදීය. මහ කන්නයේදී වගා කරන කුඹුරු ප්‍රමාණය ඉහළ යන්නේ එහෙයිනි. යල් කන්නයේදී වගා කෙරෙන්නේ ස්ථීර වාරිමාර්ග ක්‍රම යටතේ වගා කරන කුඹුරුය. එසේම යල් කන්නයේ වගා නියඟයකට ගොදුරු වීමේ ප්‍රවණතාවක්ද තිබේ. එහෙයින් යල් කන්නයේ ගොවිතැන් කරන්නේ අඩුවෙනි. මෙවර මාස් කන්නයේදී නියඟයක් නොතිබුණු නිසාත් ගොයමට වැළඳෙන ලෙඩ රෝග රට පුරා නොපැතිරුණු නිසාත් අස්වැන්න අඩුවීමට හේතුවක් නැත. වී අස්වැන්න අඩු නොවූයේ නම් වෙළෙඳ පොළට ලැබිය යුතු හාල් ප්‍රමාණය අඩු වූයේ කෙසේද යන්න අපට සිතාගත නොහැකි ප්‍රශ්නයකි. අප මේ සිටින්නේ මෙවර මහ කන්නයේ ගොයම් නෙළන කාලයේය. වගා කළ කුඹුරුවලින් සියයට 70 ක පමණ අස්වනු දැනටත් නෙළා අවසන්ය. එහෙයින් දැනට මේ ඇතිවී තිබෙන හාල් හිඟයට හේතුව කුමක් දැයි අපට අදහාගත නොහැකිය.

මහ කන්නයක අස්වනු නෙළමින් පවතින සමයක හාල් හිඟයක් ඇතිවූ බවක් මින් පෙර අපි අසා නැත්තෙමු. සාමාන්‍යයෙන් හාල් හිඟයක් වාර්තා වන්නේ යල් කන්නය නිමවූ පසුවය. එහෙත් මෙවර එය වාර්තා වන්නේ මහ කන්නයක අස්වනු නෙළමින් සිටියදීය. එය අස්වාභාවිකය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අප අත තිබෙන සංඛ්‍යා ලේඛන දෙපාර්මේන්තුවේ නිල දත්ත මත නම් මෙවැනි හාල් හිඟයක් ඇතිවිය නොහැකිය. අප එසේ කියන්නේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න පසුගිය මහ කන්නයේදී ලැබුණු වී අස්වැන්නට සමාන හෝ වැඩි වන හෙයින් පමණක් නොව 2020 වසරේදී ලැබුණු සමස්ත වී අස්වැන්න ඒ වසරේ පාවිච්චියට අමතරව තවත් මාස පහකට එනම් මාස 17 කට ප්‍රමාණවත් වූ නිසාය.

වී නිෂ්පාදනයෙන් ලංකාව සිටින්නේ ස්වයංපෝෂිත තත්ත්වයකය.   ලෝක ආහාර සංවිධානයේ 2019 දත්ත අනුව දකුණු ආසියාවේ රටවල් අතරින් හෙක්ටයාරයකින් වැඩිම වී අස්වැන්නක් ලබාගන්නේ ලංකාවය.
වගා කරන කුඹුරු ප්‍රමාණය අඩු වුවත් හෙක්ටයාරයකින් ඉහළ අස්වැන්නක් ලබන්නේ ලංකාවය. ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට වඩා ලංකාවේ හෙක්ටයාරයකින් ලබන අස්වැන්න ඉහළය. ලංකාවේ හෙක්ටයාරයක අස්වැන්න මෙට්‍රික් ටොන් 4.55 කි. අපට පහළින් සිටින්නේ බංග්ලාදේශයයි. එරට හෙක්ටයාරයකින් ලබන අස්වැන්න ලංකාවටත් වඩා අඩුය. ඉන්දියාව, පකිස්තානය, නේපාලය වැනි රටවල් සිටින්නේ බංග්ලාදේශයටද පහළිනි.

බිස්කට් හා බියර් නිපදවීමටද හාල් උපයෝගී කරගන්නා බැවින් ඇතිවී තිබෙන මේ හාල් හිඟයට එයද හේතුවක් ලෙස ඇතැමුන් හුවා දක්වන බවක් ජනමාධ්‍ය වාර්තාවලින් අනාවරණය වෙයි. බිස්කට් නිෂ්පාදනය සඳහා හාල් ලබාගන්නා දේශීය සමාගම තම නිෂ්පාදන සඳහා ලබා ගන්නේ බත් සඳහා භාවිත කරන හාල් වර්ග නොවේ. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ වෙනම හාල් වර්ගයකි. එසේම ඒ හාල් ඔවුන් ලබාගන්නේ වගාවට පෙර ගොවීන් සමඟ ගිවිසුම්වලට එළඹීමෙනි. ඒ ගිවිසුම්වලට එළඹෙන ගොවියෝ ඒ වී වර්ග වගා කර එහි අස්වැන්න අදාළ සමාගමටම ලබා දෙති. ඒ වී බත් සඳහා නොගනියි.

ඒ නිසා පවතින හාල් හිඟයට බිස්කට් නිෂ්පාදන සඳහා හාල් උපයෝගී කර ගැනීමෙන් බලපෑමක් ඇති නොවෙයි. බියර් නිෂ්පාදනය සඳහා හාල් ගැනීමද තහනම් කර තිබෙන බවක් මම ජනමාධ්‍යවලින් දැක්කෙමි. මගේ දැනුමේ හා අවබෝධයේ හැටියට එවැනි නිෂ්පාදන හා සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වී භාවිතා කිරීමට රජයෙන් අවසර ලැබෙන්නේ ද නැත.

හාල් ගැන කතා කරනවිට අපට වී අස්වැන්න පිළිබඳව ද කතා කිරීමට සිදුවෙයි. පසුගිය කාලයේ වී වගා කරන කුඹුරු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය නොවූවත් අක්කරයකින් හෝ හෙක්ටයාරයකින් ලබන වී අස්වැන්න අඛණ්ඩව වර්ධනය වී තිබේ. අස්වැන්න වර්ධනය වීම පසුගිය වසර 50 දීම සිදුවී තිබෙන බව කිව යුතුමය. එහෙත් දැනට ලබන අස්වැන්න අනාගතයට ප්‍රමාණවත් නොවේ. රටේ ජනගහනය ක්‍රමයෙන් වැඩිවෙයි. වගා කරන කුඹුරු ප්‍රමාණයද අඩුවෙයි. ඵලදාව අඩු ඉඩම්වල වගා කිරීමද නිෂ්ප්‍රයෝජනය. ඒ නිසා ඉදිරි කන්න හතරේදී හෙක්ටයාරයකින් ලබන වී අස්වැන්න සියයට 10 කින් වැඩි කිරීමට අප දැනටත් ක්‍රියාත්මකය. එය දිවයින පුරා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. ඒ සඳහා අප පැකේජ කීපයක්ම සකසා තිබේ. සුළු වාරිමාර්ග, මහා වාරිමාර්ග, වියළි කලාප, අතරමැදි කලාප, තෙත් කලාප යනාදී සියලු කලාප සඳහා යෝග්‍ය පැකේජ වර්ග හයක් දැනටත් හඳුන්වා දී තිබේ. ඉන් අප බලාපොරොත්තු වන්නේ ඉදිරි කන්න හතරේදී හෙක්ටයාරයකින් ලැබෙන වී අස්වැන්න සියයට 10 කින් වැඩිකර ගැනීමටය.

අනවශ්‍ය ලෙස පොහොර භාවිතය අඩු කිරීම, රසායනික තෙල් භාවිතය අඩු කිරීම, ගැඹුරට සී සෑම වැළැක්වීම, කුඹුරු ඉඩම්වල ලියදි විශාල කිරීම, පස් පරීක්ෂා කර පොහොර යෙදීම, පාංශු සංරක්ෂණය ඉහළ නැංවීම යනාදී උපක්‍රම මගින් ඒ ඉලක්කයට යාමට අපේක්‍ෂිතය. ඒවා කළ හැකි දේවල් මිස කළ නොහැකි දේවල් නොවේ.

අපේ ගොවිතැනට හා ගොවීන්ට තිබෙන බරපතළ චෝදනාවක් වන්නේ රසායනික පොහොර හා රසායනික තෙල් වුවමනාවට වඩා භාවිත කරන බවය. එහෙයින් අවශ්‍ය ප්‍රමාණයට පොහොර හා කෘෂි රසායනික තෙල් යෙදවීමට ගොවීන් මෙහෙයවීමට අපේක්‍ෂිතය. එසේම වී වගාවේ අස්වනු හානියක් ගැන වාර්තා වූ වහාම තාක්ෂණික කණ්ඩායම් යවා බේරාගත හැකි සෑම වගාවක්ම බේරා ගැනීමට කටයුතු කිරීමටද අපේක්‍ෂිතය. ගංවතුර හා නියඟයෙන් කුඹුරු බේරා ගැනීම අපහසුය. එහෙත් පලිබෝධ හානිවලින් වන විනාශයන් වළක්වා ගත හැකිය. ඒ සියල්ල සාර්ථක වුවහොත් දැනට හෙක්ටයාරයකින් ලබන මෙට්‍රික් ටෙ​ාන් 4.55 අස්වැන්න මෙට්‍රික් ටොන් පහකට ආසන්න ගණනකට ඔසවා තැබීමට අපේක්‍ෂිතය. එය ඉදිරි කන්න හතරකදී සපුරා ගැනීම අපේ ඉලක්කයයි. ඒ ඉලක්ක සපුරා ගැනීමට ගුණාත්මක බිත්තර වී භාවිතය ඉහළ නැංවීමට අපේක්‍ෂිතය. එසේම වැඩි දියුණු කළ වී වර්ග භාවිත කිරීමටද අපේක්‍ෂා කරමු. කාබනික පොහොර යෙදීම ඉහළ නංැවීමද ඒ වැඩසටහනේ ඇතුළත්ය.

2020 හා 2021 වසර දෙකේදී අපි වැඩි අස්වැන්නක් ලැබෙන නව වී ප්‍රබේද වර්ග පහක් හඳුන්වා දුන්නෙමු. ඉන් එක ප්‍රබේදයක් හෙවත් වර්ගයක් නියඟයට ඔරොත්තු දෙන වර්ගයකි. අවශ්‍යතාව මත අදාළ තැන්වලට ඒ වී වර්ග යෙදවීමටද අපේක්‍ෂිතය. ඒ සියල්ලේ අරමුණ අස්වැන්න වැඩිකර ගැනීමය. නව වී වර්ග හඳුන්වාදීම දිගටම කරගෙන යාම අපේ අපේක්‍ෂාවයි. ඊට හේතුව හෙක්ටයාරයකින් ලැබෙන වී අස්වැන්න සියයට දහයකින් ඉහළ දමා එතැනින් එහාට යමක් නොකර සිටීමට නොහැකි නිසාය. රටේ ජනගහනය ක්‍රමයෙන් වැඩි වෙයි. එසේම වී වගාව සඳහා යොදා ගන්නා කුඹුරු ප්‍රමාණයද අඩුවෙයි. එහෙයින් හෙක්ටයාරයකින් ලැබෙන අස්වැන්න තව තවත් වැඩි කිරීමට සිදුවෙයි. වී වගාවේදී වැඩිම වියදමක් වන්නේ වල් මර්දන කටයුතුවලටය. වල් හා වල් වී වර්ග දැන් ලොකුම අභියෝගයකි. එහි තිබෙන බරපතළ හානිය වන්නේ වී අස්වැන්න නෙළීමට පෙර ඒ වල් හා වල් වී වර්ගවල ඇට වැටීමය.

එහෙයින් වල් හා වල් වී මර්දනයටත් දැඩි අවධානයක් යොමුකර තිබේ. එය කිරීමට බලාපොරොත්තු වන්නේ රසායනික ද්‍රව්‍ය තව තවත් වැඩියෙන් යොදා නොව දැනට යොදනවාට වඩා අඩුවෙන් යෙදීමෙනි. ඒ සඳහා දැන් අපේ පර්ෙ‌ය්ෂණවලදී ප්‍රමුඛතාවක් පිරිනමා තිබේ. අපේ නිලධාරීන් රට පුරා ව්‍යාප්ත කර ගොවීන් දැනුවත් කර ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. අප ඒ සියල්ල කරන්නේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ ව්‍යාප්ති හා බීජ අංශ වැනි අනෙක් අංශ සමග ඒකාබද්ධව මිස හුදෙකලාව නොවේ.


(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)

 



අදහස් (6)

සහල් හිඟය පුදුමයක්

කමල් Thursday, 25 March 2021 08:59 AM

අනේ හැබෑවට මෙහෙමත් මිනිස්සු...! සහල් හිඟයට හේතුව කුමක්දැයි අදහාගන්න බැරිලු! සහල්වලට නියම කර ඇති උපරිම මිල අඩු යැයි ඒ මිලට සහල් සැපයීම... සහල් සපයන්නන් විසින් කරනු නොලබන බව අදහාගන්න බැරි දෙයක්ද?

:       1       9

WCA Friday, 26 March 2021 04:42 PM

මාෆියාව හදුනාගන්න බැරිව තවම වටේ යනවා.හාල් ඕනෑතරම් තියෙනවා එත් ආණ්ඩුවේ පාලන මිලට තමයි නැත්තේ. ඕනෙම තොග වෙළෙන්දෙක්ගෙන් ඇහුවොත් කියන්නේ පාලන මිලට විකුණන්න බැරි හින්ද හාල් ගන්නේ නෑ කියලා.ඉතින් කොහොමත් සිල්ලරට විකුණන හාල් නෑ .නිකන්ම සතොසට ඔය මුදලාලිගෙන් ආණ්ඩුව කියන මිලට හාල් ඉල්ලපියව්කෝ දෙනවද කියල දෙන්නත්නම් අල්ලලා හිරේදාන්න පුළුවන්නේ .එහෙම කරන්නේ නෑ ඔක්කොම ඔය මාෆියාවේ කොටස් තමයි

:       0       1

sachith Saturday, 27 March 2021 05:26 AM

උත්තරේ බොහොම සරලයිනේ.. ගොවියෝ වී වගා කරලා අස්වැන්න නෙලලා තියෙනවා නම්, ඒවා ගොවියන්ගෙන් මිලදී අරගෙනත් තියෙනවා නම් ඒවා පාරිභෝගිකයාට නොදී ඉන්න බහිරවයෝ කවුද කියලා ඕනෙ කෙනෙකුට තේරෙනවා.

:       3       2

Pradeep Saturday, 27 March 2021 12:33 PM

ශ්‍රී ලංකාව යනු එක්තරා ආකාරයකට මහා පුදුමාකාර රටකි. එහි පාලක පන්තිය සිතා සිටින්නේ සාමාන්‍ය ජනතාව යනු අමුමඅමු ගොබ්බයින් පිරිසක් ලෙසටයි. එක් අතකින් එහි වරදක්ද නැත. ඒ මන්දයත් පාලකයන් ජනතාවට මොන දේ කළත් අවසානයේ ජනතාව නැවතත් ඔවුන්ටම බලය පවරන බැවිනි. මෙතුමා දක්වන අදහස්වල ආකාරයට ගෙනහැර පාන සංඛ්‍යා ලේඛනවල හැටියට මේ වනවිට අප රටේ තිබිය යුත්තේ සහල් අතිරික්තයකි. නමුත් ඒවා සංඛ්‍යා ලේඛනවල පමණි. ප්‍රායෝගිකව සහල්මිල අහස උසට නැගලාය. මේ වනවිට මා ජීවත්වන්නේ මාලදිවයින් රාජ්‍යයෙහිය. මෙහි අඩුම තරමින් ගොයම් ගසක්වත් පැලවෙන්නේ නැත. එමනිසා මෙරටට අවශ්‍ය සහල් 100% ම ආනයනය කරනු ලබයි. නමුත් මිළ.. කිලෝ එකක් ලංකා මුදලින් රු. 60.0ක් පමණි. (සාමාන්‍ය සහල්) වරද කොතනද..?

:       3       6

sarath Sunday, 28 March 2021 06:27 AM

දැන් දැන් ගොවින් ලාභ ගැනීමට කීරි සම්බා වගාකිරීමට පුරුදු වී සිටි.කළ යුත්තේ කිරිසම්බා වලට ඇති වී ගැනීමේ පාලන මිලෙන් රජය ඉවත්වී කීරි සම්බා වලට දෙන පොහොර සහනාදරය කපා දැමීමය .එවිට කිරිසම්බා වලින් ගොවියන් අනෙක් සම්බා ,සුදු ,රතු කැකුළු වලට නිකන්ම යොමුවවී. දැන් වී ඇත්තේ ගොවින් ලගයි ඒවා ගොවින් වැඩි ලාභ ගැනීමට ලබා දෙන්නේ මුදලාලි .මුදලාලි කරන්නේ ගොවීන්ගෙන් ඔවුන්ට අවශ්‍ය කරන තොග එදිනෙදා මිලදී ගැනීමය .මුදලාලි දන්නවා කවදාවත් ඔය හල්ටික පාලන මිලට ආණ්ඩුවට දෙන්නේ නැ කියල .දැන් වෙලාතියෙන්නේ මුදලාලිගේ ගබඩා වලට පැන හාල් හෙව්වාට වැඩක් නැත.ගොවියෝ සහ මුදලාලිලා දැන් එක පැත්තේය ඕක තේරුම් ගන්න බැරි පාලකයෝ හැමදාම හාල් මාෆියාව කිය කිය ඉදියි පරිබෝගිකයෝ වැඩි ගානට බත් කයි .

:       0       0

chathura Tuesday, 30 March 2021 10:08 AM

හැමදාම මේ ප්‍රශ්නය විසඳගන්න බැරි කවුරුවත් නිවැරැදි දත්ත නොදන්නා නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි කියලා මම හිතන්නේ... ලංකාවේ තියෙන වී වගා කරන්න පුළුවන් සහ ඕනෑම වෙලාවක වගා කල ඉඩම් ප්‍රමාණයන් නිවැරැදිව දන්නවද?. වෙළඳපලේ සහල් භාවිතා කරන වර්ගවල ප්‍රමාණයන් දන්නවද?. අස්වනු මිල දී ගැනීමට අනුමත සහල් මෝල් හිමියන් පමණක් මිලදී ගන්නවද?. සහල් ගබඩා කිරීමට අනුමත ගබඩා සහ ප්‍රමාණයන් දන්නවාද? දෛනික නිෂ්පාදන ප්‍රමාණයන් ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරීන් දන්නවාද?.. මේවා පිළිබඳ නිවැරැදිව දත්ත නැතිව කොළඹ කාර්යාලේ නිලධාරීන් තීරණ අරගෙන මාධ්‍ය දැනුවත් කරා කියලා පාලනයක් කරන්න බැහැ. වගා ප්‍රමාණයන් හා නිෂ්පාදනයන් පරිගණක ගත කළොත් මේවා විසඳන එක ප්‍රශ්ණයක් නොවේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 950 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 468 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 149 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4372 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12785 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 712 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site