IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


හැට දෙලක්‍ෂයේ විශ්වාසය භංග කිරීම

යහපත් වෙනසක් අලුත් ගමනක් අපේක්ෂාවෙන් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාටත් රනිල් වික්‍රමසිංහ මහතාටත් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දුන් හැට දෙලක්ෂයක් වූ ලාංකිකයන්ගේ විශ්වාසය මේ වන විට භංගවී ඇත. එයට මූලික හේතුව සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව තමන් දුන් පොරොන්දු අමතක කර දමා වෙනත් ව්‍යාපෘති හා වෙනත් අරමුණු වෙනුවෙන් පෙනී සිටීමය. 2018 පෙබරවාරි 10 වෙනි දා පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයෙන් එජාපයටත් ශ්‍රීලනිපයටත් අත් වූ දරුණු පරාජය මෙම විශ්වාසභංගත්වයේ ප්‍රතිඵලයක් මෙන්ම එහි සංකේතයයි. 

රාජපක්ෂවරුන්ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ශ්‍රිලපොප) පළාත් පාලන මැතිවරණය ජයගත්ත ද ඒ ජයග්‍රහණය පිටුපස සැඟවුණු සත්‍යයක් තිබේ. එනම් 2015 සිට මේ දක්වා රාජපක්ෂ පිළට ලැබූ ඡන්ද ප්‍රමාණයේ කිසිදු වැඩිවීමක් සිදු වී නැති බවය. ශ්‍රීලපො පෙරමුණ ජයග්‍රහණය කළේ තමන්ගේ ඡන්ද පදනම් දිය වී යාමට ඉඩ නොදී එය 2015 තිබූ මට්ටමට පවත්වා ගැනීමට හැකිවීම නිසා විනා අලුතින් ඡන්ද එකතු කර ගැනීම නිසා නොවේ. ආණ්ඩුව පරාජය වූයේ තමන්ගේ ඡන්ද පදනම රැක ගැනීමට එය අසමත් වූ නිසා විනා 2015 දී ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව රාජපක්ෂවරුන් වටා එක්රොක් වීම නිසා නොවේ. 

1987 සිට 2009 දක්වා දෙමළ දේශපාලනයේ තිබූ ප්‍රධාන පිල් බෙදීම වූයේ ඊළම්වාදය හා ඊළම් විරෝධය අතර හෝ කොටි සංවිධානයට පක්ෂවීම විරුද්ධවීම අතර නොවේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් කොටි නායකයාට පක්ෂ වීම හා විරුද්ධවීම අතරය. මේ හා සමාන පිල් බෙදීමක් 2009 න් පසු ලංකා දේශපාලනය තුළ ද මුල්බැසගෙන ඇත. එනම් රාජපක්ෂවාදය හා රාජපක්ෂ විරෝධයයි. 2010 දී මෙරට බහුතරයක් ජනතාව සිටියේ රාපක්ෂවාදී පිළේය. එහෙත් මෙය 2014 අග භාගය වන විට වෙනස් වී තිබුණි. රාජපක්ෂවරුන්ගේ සමාජ ආර්ථික හා දේශපාලනමය පිළිවෙත් පිළිබඳ කළකිරුණු බහුතරයක් ලාංකිකයෝ රාජපක්ෂ විරෝධී කුලකයට එක්වූවෝය. 2015 දී මහින්ද රාජපක්ෂ මහතාට පරාජය අත් වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. 

මේ පිල් බෙදීම තවමත් නොවෙනස්ව පවතින බව ගත වූ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යයි. 2015 හා සසඳන විට රාජපක්ෂ පිලේ වැඩිවීමක් සිදුව නැත. සිදුව ඇත්තේ රාජපක්ෂ විරෝධි පිල දුර්මුඛවීමත් මේ දුර්මුඛභාවයේ ප්‍රතිඵලයක් ලෙස ඉන් විශාල කොටසක් තම ඡන්දය භාවිත කිරීමෙන් වැළකීමෙන්ය. 

පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ඉගැන්වූ පාඩම ආණ්ඩුව අවබෝධ කර ගත්තා නම් කළ යුතුව තිබුණේ අභ්‍යන්තර කුළල් කා ගැනීම් අවම කොට 2015 දේශපාලන සමාජ ආර්ථික න්‍යාය පත්‍රය යළි පණගැන්වීමට ප්‍රමුඛත්වය දීමටය. පළාත් සභා 6ක මැතිවරණ තව මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත නිසා එජාපයටත් ශ්‍රීලනිපයටත් ඇති එකම ගැලවීම සමගියයි. එහෙත් මේ වන විට සිදු වනුයේ එහි විලෝමයයි. එනම් ආණ්ඩුවේ දෙපාර්ශ්වය දෙකට බෙදී ළදරු පාසල් ළමයින් මෙන් රණ්ඩු කිරීමකි. 

ශ්‍රීලපොපය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සාධාරණය. රාජපක්ෂවරුන්ගේ අරමුණ නම් තමන්ගේ පාලනයෙන් තොරව ලංකාවට පැවැත්මක් නැත යන මතය ජයග්‍රහණය කරවීමයි. මේ සඳහා ආණ්ඩුව මුළුමනින්ම අකර්මණ්‍ය කිරීමත් රට මුළුමනින්ම අස්ථාවර කිරීමත් අත්‍යාවශ්‍යයි. විශ්වාසභංගය එහි එක් පියවරක් පමණි. විශ්වාසභංගය ජය ගත හොත් වහාම මහා මැතිවරණයක් පැවැත්වීමේ සටන් පාඨය රාජපක්ෂ පිළ විසින් යළිත් කරළියට ගෙන එනු නිසැකය. මෙය අනුමානයක් නොවේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙය සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට පවසා ඇත. 

එබැවින් එජාපයේ වෙනයම් චරිතයක් අගමැති ධුරයට පත් කොට ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට හැකියැයි කවුරුන් හෝ සිතනවා නම් එය මිත්‍යාවකි. සිදු වනු ඇත්තේ වහාම මහාමැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් රාජපක්ෂවරුන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමයි. වත්මන් ශ්‍රීලනිප ඇමතිවරුන් බහුතරයක් ද ඊට සහාය දක්වනවායි අනුමාන කළ හැක. එපමණක් නොවේ අගමැති තනතුරට නම් කරන කවරකුට හෝ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට නොහැකි වනු නියතය.

එජාපයේ වික්‍රමසිංහවාදී මන්ත්‍රීවරුන් මෙන්ම  ශ්‍රීලනිපයේ රාජපක්ෂවාදී මන්ත්‍රීවරුනුත් ශ්‍රීලපො පෙරමුණේ මන්ත්‍රීවරුනුත් නව අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කරනුවා නිසැකය. කිසිදු අගමැති අපේක්ෂකයකුට පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමට නොහැකි නම් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ආණ්ඩුවත් රටත් අරාජිකත්වයට පියවරකින් ළංවීමය. ශ්‍රීලපොපයට අවශ්‍යත් එයයි. මන්ද එවිට ලංකාව පාලනය කළ හැක්කේ රාජපක්ෂවරුන්ට පමණකැයි යන මිත්‍යාව සැබෑවක් කිරීමට ඔවුන්ට හැකි වෙන බැවිනි. 

මහ බැංකු බැඳුම්කරණයට අදාළ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ බරපතළ ප්‍රශ්න තිබේ. අර්ජුන් මහේන්ද්‍රන් යනු අධ්‍යාපනය හා අත්දැකීම් අතින් මහ බැංකු අධිපති තනතුරට නුසුදුස්සෙක් නොවේ. ඔක්ස්ෆර්ඞ් සරසවියේ උපාධිධාරියෙකු වූ ඔහු මහ බැංකුවේ වසර ගණනාවක් සේවය කළ අයෙකි. බැඳුම්කර වංචාව පිළිබඳ පුවත් පළ වූ වහාම ඒ ගැන අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන්නටත් ඒ පරීක්ෂණය නිමාවෙන තුරුවත් මහේන්ද්‍රන් මහතාව මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමටවත් රනිල් වික්‍රමසිංහ මහතා  කටයුතු කළා නම් බැඳුම්කර වංචාව දේශපාලන අර්බුදයක් බවට පත්වන්නේ නැත. එහෙත් මහේන්ද්‍රන් මහතාගේ මුල් ධුර කාලය අවසන් වූ පසු ඔහු යළිත් එම තනතුරට පත් කිරීමට ද වික්‍රමසිංහ මහතා උත්සාහ කළේය. 

ඒ අඥාන උත්සාහය තහවුරු වූයේත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා මහ බැංකු අධිපති ධුරයට පත් වූයේත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම හේතුවෙනි. 

වික්‍රමසිංහ මහතා දිගින් දිගටම මහේන්ද්‍රන් මහතා රැකීම කෙතරම් නම් වරදක් දැයි සනාථ වනුයේ බැඳුම්කර වංචා නඩුව තුළ මහේන්ද්‍රන් මහතාගේ ක්‍රියාකාරිත්වය සලකා බලන කලය. මහේන්ද්‍රන් මහතා කළ යුතුව තිබුණේ ස්ව කැමැත්තෙන් පැමිණ අධිකරණයට පෙනී සිටීමය. එසේ නොකිරීම නිසා ඔහු තමන් වැරදිකරුවකුය යන්න සමාජය ඉදිරියේ ඔප්පු කළා පමණක් නොවේ ඔහුව ආරක්ෂා කළ අගමැතිවරයාගේ ප්‍රතිරූපයට ද මරු පහරක් එල්ල කළේය.

ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් හේතුවෙන් ඩුබායි හිදී අත් අඩංගුවට ගැනුන රාජපක්ෂ ඥාති සොහොයුරු උදයංග වීරතුංග මහතා මෙන්ම මහේන්ද්‍රන් මහතාව ද කෙහේදී හෝ කවරදා හෝ අත්අඩංගුවට ගැනෙනු නියතය. එවිට ඔහුට ලංකාවට පැමිණීමට සිදු වනුයේ සිරකරුවකු ලෙසය. බැඳුම්කර වංචාව හෙළිදරව් වූ වහාම මහේන්ද්‍රන් මහතා තනතුරින් ඉවත් කිරීමටත් වංචාව පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අගමැතිවරයා කටයුතු කළේ නම් විශ්වාසභංගය වටා නිර්මාණය කෙරෙන වත්මන් දේශපාලන අර්බුදය හට නොගැනීමට ඉඩ තිබුණි. 

මහේන්ද්‍රන් සිද්ධිය සලකා බලන විට මහ බැංකුව යළින් මුදල් අමාත්‍යාංශය යටතට පත් කිරිමට ජනපතිවරයා ගත් තීරණය නිවැරැදි බව පැහැදිලිය. ඉතිහාසය පුරාම මහ බැංකුව පැවතුණේ මුදල් අමාත්‍යාංශය යටතේය. එය අගමැතිවරයා විසින් පවරාගැනීම නොකළ යුතුව තිබුණි. ඒ ක්‍රියාවෙන් මහ බැංකුවටත් අගමැතිවරයාටත් වූ සෙතක් නොමැත. 

ජනපතිවරයා විසින් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීම ද නිවැරදි ක්‍රියාවකි. අගමැතිවරයාගේ නිල නායකත්වය හා මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ නොනිල නායකත්වය යටතේ පාලනය වූ මෙම කමිටුවෙන් සිදුවූයේ ලංකාව චීනයේ ආර්ථික කොළනියක් බවට පත් කිරීමේ රාජපක්ෂ ගමන තවත් වේගවත්ව ඉදිරියට ගෙන යාම පමණි. මෙවර සන්ඬේ ටයිම්ස් පුවත් පතේ වාර්තාවන පරිදි කොමිටිය ක්‍රියා කර ඇත්තේ බොහෝ විට කැබිනට් මණ්ඩලයටත් ඉහළින් ඇති සුපිරි ආයතනයක් ලෙසය. එවැනි ක්‍රියාකාරීත්වයක් ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම යහපාලන පොරොන්දුවට ද මුළුමනින්ම පටහැනිය. 

අගමැතිවරයා සිදු කළ වැරදි නිවැරදි කිරීමට ජනපතිවරයා ක්‍රියාකිරිම නිවැරදිය. දැන් ඔහු කළ යුත්තේ 2015 පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ ගමන යළි ඇරඹීම සඳහා නායක්වය දීමය. 

එහෙත් මේ වන විට ජනපතිවරයා අතින් සිදු වන සේ පෙනෙනුයේ අනෙකකි. විශ්වාසභංගය පිළිබඳ රටට තම මතය ප්‍රකාශ කිරීම රටේ මෙන්ම ආණ්ඩුවේද නායකයා ලෙස ඔහුගේ වගකීමයි. එපමණක් නොවේ. ඔහු ජනපති තනතුරට පත් කිරීම සඳහා තම ඡන්දයෙන් මෙන්ම වෙහෙස මහන්සියෙන්ද දායක වූයේ එක්සත් ජාතික පාක්ෂිකයෝය එබැවින් එජාප නායකයා ද වන අගමැතිවරයාට එරෙහි රාජපක්ෂවරුන් ඉදිරිපත් කළ විශ්වාසයභංගය පිළිබඳව තම මතය පැහැලිව එක්සත් ජාතික පාක්ෂිකයින්ට පැවසීම ජනපතිවරයාගේ යුතුකමකි. 

ඒ යුතුකම මේ ලියන මොහොත දක්වා ජනපතිවරයා අතින් සිදු වී නොමැත. ඒ වෙනුවට ශ්‍රීලනිපයේ ඇමතිවරු කිහිප දෙනෙක් විශ්වාසභංගයට පක්ෂව කතා කරමින් එය පක්ෂයේ මතකයැයි කියා සිටිති. මේ සියලු දෙනා 2015 ජනපතිවරණයේදී වැඩ කළේත් ඡන්දය භාවිත කළේත් මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව වීම විශේෂත්වයකි. 

විශ්වාසභංගය හරහා ගොඩනැගෙමින් පවතින දේශපාලන අවස්ථාවරත්වයට මූලික හේතුව සිරිසේන මහතාගේ නිහැඬියාවයි. මේ නිහැඬියාව තුළින් පිළිබිඹු වනුයේ ශක්තිමත් බව අවංක බව හෝ නිර්භය බව නොව එහි විලෝමයයි. ජනපතිවරයාගේ මෙම නිහඬතාව දේශපාලන උපක්‍රමයක් නම් එය වැඩි කල් නොයා ඔහුටම පාරා වළල්ලක් වනවා නිසැකය. අරාජිකත්වය ජනිත කිරීම පහසුය. එහෙත් එය පාලනය කිරීම හා නතර කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. 

විශ්වාසභංගයෙන් ශ්‍රීලනිපය ජයගත හොත් ඒ පරාජයේ ගොදුරු බවට පත් වන්නේ අගමැතිවරයා පමණක් නොවේ. එය එජාපයටත් ආණ්ඩුවටත් ජනපතිවරයාටත් රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපෘතියටත් දරුණු ප්‍රතිඵල ගෙන දෙනු ඇත. එහි මුල් ප්‍රතිඵලය වනු ඇත්තේ එජාපය දෙකඩවීමයි. එහි වාසිය යනු ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ ඔහුගේ ශ්‍රීලනිපයට නොව රාජපක්ෂවරුන්ටය. 

එහි දෙවැනි ප්‍රතිඵලය වනු ඇත්තේ නව අගමැතිවරයෙකු පත් කිරීමට නොහැකිවීමෙන් පාර්ලිමේන්තුවත් ආණ්ඩුවත් දරුණු අර්බුදයකට යාමයි. එහි දේශපාලන වාසිය අත් වනු ඇත්තේත් රාජපක්ෂ පිලටය. එහි තෙවන ප්‍රතිඵලය දෙයාකාරයකට විස්ථාපනය විය හැක. එකක් නම් පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඡන්දය භාවිත කිරීමයි. හදිසි මහා මැතිවරණය පැවැත්වීමේ ශ්‍රීලනිපොප අරමුණ ඉන් ඉටුවනු ඇත. තමන්ගේ ඡන්ද ගොඩ වැඩි නොවුවද රාජපක්ෂ විරෝධී පිලේ අපේක්ෂාභංගත්වය නිසා මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට ශ්‍රීලපොපයට හැකි වනු ඇත.

එජාපයට දෙවනි තැන රැක ගැනීමට හැකි වුවද එවැනි මහා මැතිවරණයකින් තුන් වන තැනවත් රැක ගැනීමට සිරිසේන මහතාගේ ශ්‍රීලනිපයට නොහැකි වනු නියතය. තනතුරු ගිජුකමින් අද සිරිසේන මහතා සමඟ සිටින ශ්‍රීලනිප ඇමතිවරු අතිබහුතරය මහා මැතිවරණයකදී ශ්‍රීලපොපයට එක් වනු නියතය. මැතිවරණය අවසානයේ සිරිසේන මහතාට සිදුවනු ඇත්තේ බෝඞ් ලෑලි පක්ෂයකට නායකයකුගේ තත්ත්වයට පත් වීමය. නව අගමැතිවරයා ලෙස පත් වූ වහාම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛතාව වනු ඇත්තේ දෝෂාභියෝගයක් තුළින් සිරිසේන මහතා තනතුරින් ඉවත් කිරිමත් 20 වන සංශෝධනයක් හරහා 19 වන සංශෝධනය බල රහිත කිරීමක් තුළින් තමන්ට යළිත් ජනපති වීමට ඇති බාධක ඉවත් කිරීමත්ය. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ශ්‍රීලපොපය උත්සාහය අසාර්ථක වුවහොත් එහි ඊළඟ පියවර වනු ඇත්තේ ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමය. විශ්වාසභංගය නිසා කෝපයට හා කලකිරීමට පත් එජාප මැති ඇමතිවරුන් ගෙන් පිරිසක් සිරිසේන මහතාට එරෙහි දෝෂාභියෝගයකට සහාය දෙන බව නිසැකය. දෝෂාභියෝගය තුළින් රට තව තවත් අස්ථාවර කිරීමටත් රාජපක්ෂ පාලනය හැර වෙන අනාගතයක් ලංකාවට නැතය යන මිථ්‍යාව සත්‍යයක් බවට පත් කිරීමටත් ශ්‍රීලපොපයට හැකිවනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංගයට අත්සන් නොකිරිමට එක් හේතුවක් විය හැක්කේ අනාගත දෝෂාභියෝගයකට එජාපයේ කොටසකගේ සහාය දිනාගැනීමේ යටි අරමුණයි. 

රාජපක්ෂවරුන්ගේ මූලික හතුරා වික්‍රමසිංහ මහතා නොවේ. සිරිසේන මහතාය. රාජපක්ෂවරුන්ට බලය අහිමි වූයේ සිරිසේන මහතා තම ඇමති තනතුර අත්හැර දමා පොදු විපක්ෂය සමග එක් වී එහි ජනපති අපේක්ෂකයා වීම නිසාය. ඒ අතීතය සිරිසේන මහතාට අමතක වුවද එය රාජපක්ෂවරුන්ට නම් මතක තිබෙනවා නිසැකය. පෙරදා රෑ අරලිය ගහ මැදුරෙන් ආප්ප කා පසු දා විපක්ෂයට යාම රාජපක්ෂවරුන් දකිනු ඇත්තේ ආනන්තරිය පාප කර්මයකටත් වඩා බිහිසුණු වරදක් ලෙසය. එබැවින් රාජපක්ෂ පාලනයක් ඇතිවුවහොත් සිරිසේන මහතාට එදා කළ වරද අවනීතික දඬුවමක් විඳින්නට සිදුවෙනවා නිසැකය. 

රාජපක්ෂවරුන් විශ්වාසභංගය ගෙන ආවේ වික්‍රමසිංහ මහතාව එළවා තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීමට හෝ සිරිසේන මහතාට තමන්ට හිතැති අගමැතිවරයකු පත් කර ගැනීමට ඉඩ දීමට නොවේ. ජනාධිපති ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවම පෙරළීමටය.  4 වැනිදා විශ්වාසභංගයෙන් පොහොට්ටුව ජය ගත හොත් ඉන් හට ගන්නා ආණ්ඩුවේ කඩා වැටීම නිමා වනු ඇත්තේ දෝෂාභියෝගයක් හරහා සිරිසේන මහතාට ජනපති පුටුව අහිමි වීමෙනි. 

4 වෙනිදා විශ්වාසභංගය ජය ගැනුණහොත් රාජපක්ෂවරුන්ගේ යළි ආගමනය නැවැත්විය නොහැකි වනු නිසැකය. වර්තමාන පාලනයේ වැරදි හා අඩුපාඩු නිසා 2020 දී ජාතික මැතිවරණවලින් ජයගෙන යළි බලයට පත්වීමට රාජපක්ෂවරුන්ට සැලකිය යුතු ඉඩ කඩක් තිබේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ චාරිත්‍ර ප්‍රකාර 2020 වන තෙක් බලා සිටීමට රාජපක්ෂවරුන් අකමැති වීමට මූලික හේතු දෙකක් තිබේ. 

එකක් නම් බලයට ඇබ්බැහි වූ ඔවුන්ට හා ඔවුන්ගේ ගෝල බාලයන්ට බලය නැතිව ජීවත් වීම අසීරුවීමයි. දෙවැන්න නම් රාජපක්ෂවරුන්ට එරෙහි මූලික චෝදනා කිහිපයක් සම්බන්ධ වූ ගවේෂණ ඒ මත පදනම් වූ නීතිමය පියවරක් තීරණාත්මක ස්ථානවලට අවතීර්ණ වෙමින් සිටීමයි. 

මෙයින් එක් සිදුවීමක් නම් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. වික්‍රමතුංග මහතා ඝාතනය කෙරුණේ දහවල් අධිආරක්ෂිත කලාපයකය. ඔහු පසු පසින් හඹා ගිය ඝාතකයෝ මස් පිණිස සතුන් මැරීමට යොදා ගන්නා උපකරණයකින් ඔහුගේ හිසට පහර දී ඔහු මරා දැමුණේය. 

මාර්තු 28 දා ඬේලි මිරර් පත්‍රයේ පළ වූ වාර්තාවකට අනුව තමන් හඹා ආ මාරක යතුරු පැදි දෙකේ ලියාපදිංචි අංක තම සටහන් පොතේ ලිවීමට වික්‍රමතුංග මහතා සමත්ව තිබේ. මෙම සටහන් පොත මෙන්ම යතුරුපැදි  අයිතිකරුවන්ගේ නම් ඇතුළත් වූ බරපතළ අපරාධ තොරතුරු පොලිස් පොත ද සිද්ධිය පිළිබඳ මුල් පරීක්ෂණ සිදු කළ ගල්කිස්සේ අපරාධ පරීක්ෂක ටී. සුගතපාල මහතා විසින් තම ප්‍රධානීන්ට බාර දුන් විට මෙම තොරතුරු සඟවන්නැයි නියෝජ්‍ය පොලිස්පති නානායක්කාර මහතා ඔහුට නියෝග කර ඇත. මෙම නීති විරෝධී නියෝගය පිළිබඳව සුගතපාල මහතා

තම අකමැත්ත ප්‍රකාශ කළ විට නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා ඇත්තේ තමන් මෙසේ කරනුයේ ඉහළින් ආ නියෝගයක් මත බවය. මිනීමරුවන් පිළිබඳ වූ මෙම සාක්කිය විනාශ කරන ලෙස පොලිස්පතිවරයා තමාට නියෝග කළ බවත් සුගතපාල මහතා මෙම නියෝගය නොපිළිපදින්නේ නම් ඔහුද ඝාතනයට ලක් විය හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා ඇත. මේ අතර ලසන්ත ඝාතන නඩුවේ පළමු සැකකරු වූ හමුදා බුද්ධි අංශ නිලධාරී ප්‍රේමානන්ද උදලාගම මහතා ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන් විසින් ජර්මනියේ ලංකා තානාපති කාර්යාලයට පත් කර ඇත. ඔහුට වෙනම නිවහනක් මෙන්ම ආහාර පානාදිය සපයා ඇත්තේ ලංකා රජයේ වියදමිනි. 

රාජපක්ෂ සමයේ සිදු වූ වංචා දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුවේ මූලික පොරොන්දුවක් විය. එහෙත් පොරොන්දුව ඉටු වන බවක් නොපෙනීමත් ආණ්ඩුවේම ඇතමුන් රාජපක්ෂවරුන් රකිනවාය යන මතයත් ආණ්ඩුව පිළිබඳ ජනතා කලකිරිම මුවහත් කිරිමට හේතු විය. 

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ ආකාරය මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව විසින් පොලිසිය ලවා පරීක්ෂණ නතර කරවා ඝාතකයන් රැක ගත් ආකාරයත් මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ. මෙය රාජපක්ෂ පවුලේ ඉමහත් බය සංකාවට හේතුවනවා නොඅනුමානය. 2006 සිදු වූ මිග් ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ ද මෙලෙසම තීරණාත්මක අවධියකට පැමිණ තිබේ. ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් මත රාජපක්ෂ ඥාති සොහොයුරු උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට පත්ව ඇත්තේ මේ සම්බන්ධයෙනි. 

මාර්තු 18 දා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මිග් ගනුදෙනුවට අදාළ පරීක්ෂණ බොහෝ දුරට නිමා කර ඇත. රාජපක්ෂ පාලනය කීවේ මිග් ගනුදෙනුව ලංකාවට හා යුක්රේන රාජ්‍ය අතර සිදු වූ රාජ්‍ය ගනුදෙනුවක් බවය. එය මුසාවකි. එවකට ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ කොන්ත්‍රාත්තුව පවා ව්‍යාජයක් විනා  කොන්ත්‍රාත්තුවක් නොවේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට මෙන්ම මිග් ගනුදෙනුවට ද සම්බන්ධ සැකකරුවන් අතර අනාගත ජනපති තනතුර අපේක්ෂාවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ද වේ. බලය යළි ලබා ගැනීමට 2020 දක්වා බලා සිටිමට රාජපක්ෂවරුන්ට නොහැකිවීම පුදුමයක්ද? 

විශ්වාසභංගයටත් ඒ තුළින් මේ ආණ්ඩුව මෙන්ම රට ද අස්ථාවර කිරීමටත් රාජපක්ෂවරුන් දරන උත්සාහයට මූලික හේතුවක් වනුයේ තම පවුලේ සාමාජිකයන් නීතියේ රැහැනට හසුවීම වළක්වා ගැනීමයි. 

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූයේ වත්මන් ආණ්ඩුව යටතේය. ඒ පිළිබඳ පරීක්ෂණ සිදු වූයේත් සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේත් මහේන්ද්‍රන් මහතාට එරෙහි රතු වරෙන්තුවක් නිකුත් වනුයේත් වත්මන් පාලනය යටතේමය. 
මෙලෙස ආණ්ඩුවෙන් වූ වරදක් ආණ්ඩුවේ කාලය තුළදීම නීතිය ඉදිරියට පැමිණීමට හැකි වූයේ 2018 බල පෙරැළියෙන් යම් තරමකට හෝ සිදු වූ සාධනීය වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙසය. 

ලසන්ත ඝාතනයේ සැකකරුවන් රැකීමට රාජපක්ෂ ආණ්ඩුව ද සම්බන්ධවීමෙන් පෙනී යනුයේ රාජපක්ෂ සමය තුළ නීතිය පාලකයන්ගේ සෙල්ලම් බඩුවක් වූ බවය. විශ්වාසභංගයේ සැබෑ අරමුණ ඒ අවනීතික අතීතය යළිත් ප්‍රතිනිර්මාණය කිරීමයි. 

විශ්වාසභංගය පරාජය කිරීමට අගමැතිවරයාට හැකිවුවද ඉන් ආණ්ඩුව රැකීමට හෝ යහපාලන ව්‍යාපෘතිය පණ ගැන්වීමට හැකිවේද යන්නට සහතිකයක් නොමැත. අවසන් මොහොතේ හෝ විශ්වාස භංගයට එරෙහිව කතා කිරීමට තරම් ජනාධිපතිවරයා බුද්ධිමත් හා නිර්භය වුව හොත් ඔහුටත් ආණ්ඩුවටත් යහපාලන ව්‍යාපාරයටත් අනාගතයක් තිබිය හැක. එහෙත් ජනපතිවරයා තම නිහඬතාව පවත්වාගෙන ගියහොත් හෝ විශ්වාසභංගයට පක්ෂ වුව හොත් අගමැතිවරයා පමණක් නොව ආණ්ඩුවත් ජනපතිවරයාටත් අනාරක්ෂිත වනු ඇත. 

2015 ජයග්‍රහණය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ තනි හපන්කමක් නොවේ. එය තනි එජාප ආණ්ඩුවක් හැදීමට හෝ තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීමට හෝ රාජපක්ෂවරුන් සමග හවුල්වීමට හෝ සිදු කළ වෙනසක් ද නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක ජනහිතවාදී අලුත් ගමනක් අරමුණ කර ගත් ජයග්‍රහණයකි. 
බැඳුම්කර වංචනිකයන් රැකීමෙන් අගමැතිවරයා ඒ ජයග්‍රහණය පාවා දුන්නේය. රාජපක්ෂ පාලනයේ බල ව්‍යාපෘතියේ පියවරක් වන විශ්වාසභංගයට අනියමින් සහාය දීමෙන් ජනපතිවරයා කරනුයේ ද ජයග්‍රහණය පාවා දීමකි. 

2018 පළාත් පාලන මැතිවරණයත් පරාජය වීමට ආණ්ඩුවට සිදුවූයේ 2015 ජන වරම නොතකා කටයුතු කිරීම නිසාය.  තමන්ට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් වූ ජනතාවගේ විශ්වාසය රැකෙන ආකාරයට නොව එය කඩවන ආකාරයට දිගින් දිගටම ජනපතිවරයාත් අගමැතිවරයාත් ආණ්ඩුවත් කටයුතු කළ හොත් ඉතිහාසයෙන් ඔවුන්ට සමාවක් නොලැබෙනු ඇත. 

තිසරණී ගුණසේකර



අදහස් (5)

හැට දෙලක්‍ෂයේ විශ්වාසය භංග කිරීම

rama Saturday, 07 April 2018 10:09 AM

මෙම ලිපියෙහි පෙනෙන මූලික අරමුණ රාජපක්ෂවරුන්ට මඩ ගැසීම සහ ලියුම්කරු එජාපයට කඩේ යන්නකු බව ඔප්පු වීමයි.

:       1       32

Bamunuarachchi Saturday, 07 April 2018 05:39 PM

මේ ලියුම්කරු ගණිතය අසමත් කෙනෙක් බවපෙනේ. 62 විස්වාස කලාට 57 අවිස්වාසකලා 2015 දී. යහපාලක්යින්ව බලයට ගන්න තව වැඩිපුර 2 ලක්ෂ පනස්දාහක් කොටළුවෝ විස්වාස කරලා මුළුරටම අගාදයේ දැම්මා. යහපාලකයින්ව අවිස්වාස කරන අය අද ඊට බොහොම වැඩී 2020 දී යහපාලකයින්ට දුවන්න අලුතෙන් අදිවේග හදන්නවෙනවා

:       1       7

rocky Sunday, 08 April 2018 02:02 AM

රාමගේ සටහනෙහි අරමුණ ඔහු රාජපක්සවරුන්ට කඩේ යන්නකු බව මෙන්ම අනුන්ගේ මත නොඉවසන්නකු බව ඔප්පුවීමයි!

:       0       18

BamunuarachchiWednesday, 11 April 2018 10:57 AM

එ්ක රාමගේ පමණක් නොවෙයි, මුලුරටේම අවශ්‍යතාවය වෙලා. දැන් කොටළුවෝත් යහපාලනයට විරුද්ධයි.

:       0       0

saththaya Monday, 09 April 2018 01:36 PM

යහපාලනය පැත්තකට දාලා පක්ෂය ගොඩගන්න ගිහින් අමාරුවේ වැටුනේ ඡන්දය දුන් මහජනතාවයි. ජනාධිපතිතුමාව ඉහළම පුටුවට ගෙනියන්න එතුමාගේ පක්ෂ සහයෝගය දුන්නද? නැත. දැන් උපදෙස් දෙන්නේ එතුමාට ඡන්දය නොදුන් පිරිසයි. එ්කයි මෙතන තියෙන විහිළුව. මැච් එක ගහද්දී නායකයා තමන්ගේ කණ්ඩායම රැකගෙන හොඳට සෙල්ලම් කරන්න ඕනේ නේද? ඒ නිසා පරාද වූ එතුමාව විශ්වාස කරලා ඡන්දය දුන් පිරිසයි. දැන් රටම යන්නේ අවීචි මහා නරකාදියටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 278 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 21 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 154 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 188 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 135 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 195 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site