IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හදිසිය ජීවන බරට සහනයක්ද?

සාමාන්‍යයෙන් මේ රටේ හදිසි නීති රෙගුලාසි හෝ සාමාන්‍ය ව්‍යවහාරය අනුව හදිසි නීතිය පැනවීම විශාල ආන්දෝලනයකට තුඩු දෙන කරුණකි. එහෙත් පසුගිය 30 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්‍යවශ්‍ය සේවා සැපැයීම සම්බන්ධයෙන් හදිසි නීතිය පැනවීමේදී එවැනි ආන්දෝලනයක් ඇති වූයේ නැත.

සාමාන්‍යයෙන් මේ රටේ මීට පෙර හදිසි නීතිය පනවනු ලැබූ සෑම අවස්ථාවකම පාහේ එය පසු දින පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය විය. එහෙත් මෙවර එය ප්‍රධාන ප්‍රවෘත්තියක් කොට ගත්තේ දෙමළ පුවත්පත් පමණි. සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් ඊට දී තිබුණේ සාමාන්‍ය පුවතකට දෙන වැදගත්කමකි.
ඊට හේතුව ලෙස සැලකිය හැක්කේ, මීට පෙර ආසන්න වශයෙන් සෑම අවස්ථාවකදීම හදිසි නීතිය පනවනු ලැබ ඇත්තේ ආරක්ෂාවට අදාළවය. ඒ අනුව, එම හදිසි නීති රෙගුලාසි ඍජුවම සාමාන්‍ය ජනතාවට ද බලපාන ඒවා විය. එසේ නැත්නම් යම් යම් නිශ්චිත සේවක අරගල මර්දනය කිරීම අරමුණු කරගෙන පනවනු ලැබූ ඒවා විය.

පසුගිය සඳුඳා පනවනු ලැබූ හදිසි නීති රෙගුලාසි යටතේ ද යම් යම් ක්ෂේත්‍රවල වැඩ වර්ජන රැකියා අහිමි වන ආකාරයේ වරදක් ලෙස සඳහන් කරනු ලැබ තිබුණ ද රටේ බඩු මිල ඉතා වේගයෙන් ඉහළ යන තත්ත්වය හා අත්‍යවශ්‍ය සේවා සපයන්නන් වැඩ වර්ජන කිරීමේ තත්ත්වයක් නැති හෙයින් කිසිදු වෘත්තීය සමිතියක් මෙය තමන් ඉලක්ක කරගෙන පනවනු ලැබූවක් ලෙස නොසැලකීම නිසා දෝ මෙම හදිසි නීතිය එතරම් ආන්දෝලනාත්මක නොවීය.

එසේ වුව ද අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපැයීමේ ගැටලුවක් මතු වී ඇත්නම් එය ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව හා දුර්වල කළමනාකාරීත්වය නිසා ඇතිවූවක් විනා මහජන ආරක්ෂක පනත උපයෝගි කරගෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නට තරම් කඩාකප්පල්කාරීත්වයක් රට තුළ නැතැයි සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා බදාදා නිකුත් කරන ලද නිවේදනයක සඳහන් විය.

එසේම, මෙය යහපත් චේතනාවෙන් නොව ජනතාවගේ මූලික අයිතීන් වැරැදි ආකාරයට සීමා කිරීමේ යටි අරමුණක් ඇතිව ආණ්ඩුව පනවා ඇතැයි පවසන මද්දුම බණ්ඩාර මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19 රෝගය ගෝලීය වසංගතයක් ලෙස නම් කොට මාස 18ක් ගත වී තිබියදීත් ශ්‍රී ලංකාව තුළ ආපදා කළමනාකරණ පනත යටතේ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා අසමත් වී ඇතැයි ද ඔහු සිය නිවේදනයෙන් කියා සිටී.

මෙම හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා ප්‍රකාශයක් කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා, මෙම රෙගුලාසිවලින් ජනාධිපතිවරයාට නීති සම්පාදන බලය ද ලැබෙන හෙයින්, එය භයානක තත්ත්වයකැයි සඳහන් කොට තිබිණි.

ඔහුගේ ද මතය වන්නේ රටේ අරක්ෂාවට තර්ජනයක් ඇත්නම් විනා මහජන ආරක්ෂක පනත යොදා ගැනීම පිළිගත නොහැකි බවයි. හදිසි සෞඛ්‍ය තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක කළ හැකි පනතක් රටේ තිබිය යුතු යැයි ද ආණ්ඩුව එවැන්නක් සකස් කිරීමට පියවර නොගත් හෙයින් තමන් එවැනි පනත් කෙටුම්පතක් සකස් කොට මාස කිහිපයකට පෙර පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ද සුමන්දිරන් මහතා තම ප්‍රකාශයෙන් පවසා තිබිණි.

තමන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පිළිගෙන සම්මත කිරීමට කටයුතු කරන බව ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කළ ද දැන් ඒ වෙනුවට රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූවා සේ හදිසි නීති රෙගුලාසි පනවා ඇතැයි ද ඒ මහතා චෝදනා කරයි.

සැබැවින්ම මෙම හදිසි නීති රෙගුලාසිවල ප්‍රකාශිත අරමුණ ඉතා යහපත් වුව ද මෙම රෙගුලාසි නැතිව දැනට පවතින ගැටලුවට මුහුණදීමට හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති නැතුවා නොවේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත හා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත මේ සඳහා ප්‍රමාණවත් නොවන්නේ ද යන ගැටලුව මෙහිදී මතු වේ.

මෙම හදිසි නීති රෙගුලාසිවලින් කියැවෙන්නේ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්නයි. එමගින් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට බාධාවන පුද්ගලයන් හෝ ආයතන මගින් කරනු ලැබිය හැකි වැරැදි හා ඒවා සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පෙන්වා දෙනු ලැබ ඇත. එදිනම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගැසට් නිවේදනයක් මඟින් අාඥාවක් ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එමඟින් අත්‍යවශ්‍ය සේවා වන්නේ මොනවා ද යන්න පෙන්වා දෙනු ලැබ ඇත.

එම ආඥාව අනුව වරාය, තෙල්, රේගුව, දුම්රිය, ලංගම, එම ආයතන නඩත්තුවට හා ඒවායේ ආරක්ෂාවට අදාළ කටයුතු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, එම ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිලධාරීන්, මහ බැංකුව ඇතුළු බැංකු, කසළ කළමනාකරණ කටයුතු, සතොස, ලංකා සතොස, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමුපකාර සමිති, වී අලෙවි මණ්ඩලය, ලංකා සීනි පුද්ගලික සමාගම යන ආයතන හා ඒවායේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ආයතන හා වැඩ, සෞඛ්‍ය සේවය, පළාත් සභා හා පළාත් පාලන ආයතන, තැපෑල යන සියල්ල අත්‍යවශ්‍ය සේවා වේ.

ආසන්න වශයෙන් සමස්ත රාජ්‍ය යන්ත්‍රයම මෙමගින් අත්‍යවශ්‍ය සේවා වේ. හදිසි නීති රෙගුලාසි යටතේ වැඩ වර්ජකයන් ඇතුළු මෙම සේවාවලට බාධා පමුණුවන්නන් වහාම සේවයෙන් නෙරපා දැමීමට හැකියාව තිබේ. එසේම, මේකට පෞද්ගලික ගබඩා, මෝල් හා වාහන ආදිය සේවා සැපැයීමට බාධාවන අයුරින් පවත්වාගෙන යන්නේ නම් ඒවා පවරා ගන්නටත්, අදාළ පුද්ගලයන්ගේ දේපළ රාජසන්තක කිරීමටත් බලධාරීන්ට හැකියාව තිබේ. ඒ, අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුවය.

මෙහි සඳහන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධාවන ආකාරයට මෑත කාලයේදී රජයේ ආයතන හෝ ඒවායේ වෘත්තීය සමිති හෝ කටයුතු කොට නැත. මෑත කාලයේ ප්‍රශ්න මතු වූයේ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ නිර්ලජ්ජිත සූරාකෑමේ පරමාර්ථ හා ඒ අනුව ඔවුන් නීතිය නොතකා භාණ්ඩ සැඟවීම වැනි උපක්‍රම ක්‍රියාවේ යෙදවීමත්, ඒවා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආයතන හා බලධාරීන් නිහඬව බලා සිටීමත් නිසාය.

උදාහරණයක් වශයෙන් පසුගිය වසරේදී ආණ්ඩුව සහල් මිල හා සීනි මිල නියම කොට ගැසට් නිවේදන නිකුත් කොට තිබිණි. එහෙත් ඒවා තුට්ටුවකටවත් නොතකා ව්‍යාපාරිකයෝ සහල් හා සීනි මිල ඉහළ දැමූහ. එහෙත් ඒ කිසිදු අවස්ථාවකදී බලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත හෝ  පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත හෝ යොදාගෙන මිල පාලනයට කටයුතු කළේ නැත.

මෙහිදී ජනතාවට අසන්නට ප්‍රශ්න දෙකක් මතු වේ. එකක් නම්, ක්‍රියාත්මක කරන්නට නොහැකි නම් ආණ්ඩුව මෙම භාණ්ඩවලට මිලක් නියම කළේ කුමට ද යන්නයි. දෙවැන්න, මිලක් නියම කළේ නම් එය ක්‍රියාත්මක කරන්නට නීති තිබියදීත් ඒවා ක්‍රියාත්මක නොකළේ මන්ද යන්නයි.

මෑතකදී කිරිපිටි හා ගෑස් හිඟයක් ඇති විය. එවිට වෙළෙඳ ඇමැතිවරයා පැවැසුවේ මෙම භාණ්ඩ ආනයනකරුවන් මිල වැඩි කළ යුතු යැයි පවසන බවයි. එයින් කියවෙන්නේ භාණ්ඩ හිඟය සිතාමතා ඇති කළ එකක් බවය. ඉන් පසු එක් ගෑස් සමාගමකට ගෑස් මිල වැඩි කිරීමට ඉඩ දුන්විට ගෑස් හිඟය බෙහෝ දුරට අවසන් විය. මෙය සිතාමතා හිඟයක් ඇති කොට වැඩි මිලට හෝ ගන්නා තැනට ජනතාව පත් කොට ටික දිනකින් භාණ්ඩ මිල වැඩි කිරීමේ මානසික උපක්‍රමයකි.

සීනි මිල වැඩි කිරීම සිදු වූයේ මහා දවල් දෙනෝ දාහක් බලා සිටියදී කරන සාහසික කොල්ලකෑමක ආකාරයෙනි. රුපියල් සියයකට පමණ සීනි කිලෝව විකිණෙද්දී පසුගිය නොවැම්බර් මාසයේදී ආණ්ඩුව එවකට සීනි සඳහා වූ තීරු ගාස්තුව කිලෝවකට රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කොට රුපියල් 85ක් ලෙස සීනි කිලෝවක මිල නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළේය. එය තීරු බද්ද මුළුමනින්ම ඉවත් කිරීමකි. ආණ්ඩුව නියම කළ මිල අසාධාරණ නොවේ යැයි කිසිවකු පැවැසුවේ නැත.

එහෙත් සිදු වූයේ එම රුපියල් 49.75ක බදු සහනය ද ලබාගෙන ව්‍යාපාරිකයන් ගැසට් පත්‍රය නොසලකා සීනි මිල වැඩි කිරීමයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත අනුව “නියම කරන ලද මිලකට හෝ ලකුණු කරන ලද මිලකට වඩා භාණ්ඩ විකිණීම” විෂමාචාරයකි. එම අධිකාරියේ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි “වෙළෙඳ විෂමචාර හා වැරැදි වෙළෙඳ පිළිවෙත්හි නිරත වෙමින් කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන ලබා දී ඇත.”

එහෙත් එම නීති ක්‍රියාත්මක කොට පාරිභෝගිකයන්ට රුපියල් 85කට සීනි ලබාදීම වෙනුවට එම නීති ක්‍රියාත්මක කිරීමට පදනම වන “නියම කරන ලද මිල” සඳහන් ගැසට් නිවේදනය ආණ්ඩුව විසින් අප්‍රේල් මාසයේදී ඉවත් කරගත්තේය. එදා ගෙන්වන ලද සීනි, එදා දෙන ලද තීරු බදු සහනය ද ලබාගනිමින්ම වෙළෙන්දෝ රුපියල් 85කට විකිණිය යුතු සීනි පසුගිය 30 වැනිදා වනවිටත් රුපියල් 220 කට 230කට විකුණූහ. මෙය කිලෝවකින් රුපියල් 140ක් පමණ ලාභයක් ලැබීමකි.

අවසානයේදී ජනමාධ්‍ය ආයතන මැදිහත් වී සීනි සැඟවූ තැන් සොයා ගන්නා තෙක් අදාළ බලධාරීන් මැදිහත් වූයේ නැත. ඇත්ත වශයෙන්ම වෙළෙඳුන් සීනී සැඟවීමට අවශ්‍යතාවක් තිබුණේ නැත. මන්දයත් කිලෝවක් රුපියල් 220ක්ව තිබියදීත් සීනි හිඟයක් ඇතැයි කිසිවකු කිව්වේවත්, ඒ ගැන සොයන්නට කිසිදු බලධාරියකු මැදිහත් වූවේවත් නැති හෙයිනි.

දැන් සීනි සමාගමේ සීනි සහ වෙළෙඳුන් සඟවාගෙන සිටියදී සොයා ගන්නා ලද සීනි කිලෝව රුපියල් 130ට ලංකා සතොස මඟින් බෙදාහරින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. මේ සීනි පසුගිය නොවැම්බර් මස ගෙන්වූ සීනිමය. ඊට ආණ්ඩුව නියම කළ මිල කිලෝවට රුපියල් 85කි. එසේ නම් තමන්ගේම මිල නොසලකා ආණ්ඩුවේ ආයතනයක් රුපියල් 130ට සීනි විකුණන්නේ ඇයිදැයි නොවැටහේ.

සීනි වැඩි වූයේ සීනි හිඟයක් නිසා හෝ සීනි සැඟවීමක් නිසා හෝ නොව වෙළෙඳුන් නීතිය නොතකා මිල වැඩි කිරීම නිසාය. උදා: බලධාරීන් එය නොවැළැක්වූයේ අකාර්යක්ෂමතාව නිසා නැත්නම් වෙළෙඳුන්ගෙන් ‘කොටහ’ ලැබීම නිසා ද නැත්නම් වෙනත් හේතුවක් නිසා ද යන්න පැහැදිලි නැත.

සහල්වල තත්ත්වය ද මීට දෙවැනි නොවේ. පසුගිය වසරේ කිලෝව රුපියල් 100ට 120ට විකුණනු ලැබූ ඇතැම් සහල් වර්ග මේ වනවිට රුපියල් 220, 230 ආදී වශයෙන් විකිණේ. ව්‍යාපාරිකයන් සහල් සඟවා ඇතැයි කියමින් ඇමැතිවරු පසුගිය කාලයේදී විදේශවලින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන බව කීහ. සැඟවූ සහල් සොයාගත නොහැකි ද? ඒවා සඟවන්නේ ඝන කැලෑවල නොවේ.

අතරමැදි මාෆියාවක් එළවළු මිල නංවන බවත්, ඒ නිසා රජය මැදිහත් වී එළවළු මිලට ගෙන සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට විකුණන්නට කටයුතු කරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සති කිහිපයකට පෙර පැවැසීය. එවැන්නක් දැන් ක්‍රියාත්මක වන්නේදැයි නොදනිමු.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මෙසේ ඉහළ යන්නේ කොරෝනා රෝගය නිසා සාමාන්‍ය ජනයාගේ ආදායම විශාල වශයෙන් කඩා වැටී ඇති තත්ත්වයකය. හදිසි නීතිය ඔවුන් මේ තත්ත්වයෙන් යම් තරමකට හෝ මුදාගනු ඇත් ද යන්න සති කිහිපයකින් බලාගත හැකිවනු ඇත.

ඡායාරූපය - අන්තර්ජාලය ඇසුරෙනි

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

හදිසිය ජීවන බරට සහනයක්ද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 89 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 404 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1030 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1521 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 246 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 457 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site