හෙටින් ඇරැඹෙන සැප්තැම්බරය නම්ව ඇත්තේ සාහිත්‍ය මාසය ලෙසයි. වෙනත් වසරවල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, සාහිත්‍ය සම්මානෝත්සව, සම්මන්ත්‍රණ ආදී නොයෙකුත් සාහිත්‍ය ක්‍රියාකාරකම් සිදු කෙරුණත් මේ වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට හුදෙකලාව කාලය ගෙවන්නට සිදුවී තිබේ. මෙබඳු හුදෙකලා තත්ත්වයක වුවත් මානසික ඒකාග්‍රතාව වෙනුවෙන් පොත පතට යොමු වීමේ අගයක් රටක් හැටියට සංස්කෘතික මැදිහත්වීම්වල අවශ්‍යතාවත් ඉදිරියේදී ඊට මුහුණ දිය හැක්කේ කෙසේද යන්නත් ගැඹුරින් විමසා බැලිය යුතු කාරණා කීපයකි.
ප්‍රවීණ ලේඛකයකු, විචාරකයකු වන සාහිත්‍යසූරී, අධිනීතිඥ, ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා සමඟ මේ සම්බන්ධයෙන් අප විසින් පවත්වන ලද සංවාදයක සටහනකි මේ.
• අපේ රටේ වෙනදා සැප්තැම්බරය එනම් සාහිත්‍ය මාසය ක්‍රියාකාරකම් රැසක එකතුවක්. ඒත් මේ වසරේ අපි හුදෙකලා වෙලා. මේ අයහපත් තත්ත්වය අපේ රටේ සාහිත්‍ය කලා ඇතුළු සංස්කෘතික ක්ෂේත්‍ර වෙත කෙසේ බලපායිද?
මේ ප්‍රශ්නයට පිළිතුරුදීමට පෙර අප රටේ බොහෝ සාහිත්‍යධරයන් අතර පවතින දුර්මතයක් ගැන සඳහන් කරන්නට මම කැමැතියි. බොහෝ සාහිත්‍යධරයන් සිතන්නේ අර්බුදකාරී, අභාග්‍යසම්පන්න කාලයක් සාහිත්‍ය නිර්මාණයට හොඳ අවධියක් කියලයි. ඒත් සිංහල සාහිත්‍යයක් ගැන සිතන විට නම් එය දුර්මතයක්. අපගේ මහා කාව්‍ය ඇතුළු උසස් සාහිත්‍ය නිර්මාණ බහුතරය බිහිවී ඇත්තේ රටේ සාමකාමී සෞභාග්‍යවත් අවධියේ.
සාහිත්‍යකරුවන්ට සන්සුන් මනසකින් යුතුව ජීවිතයත්, ලෝකයත් දෙස බලන්නට හැකි වන්නේ එවන් වාතාවරණයක. නිර්මාණ උල්පත් මතුවන්නේත් එවන් පසුබිමක. ඇතැම්විට රුසියාවේ සාර් යුගයේ බිහිවුණු උසස් සාහිත්‍යය ගැන සිතන විට ඔබ මේ අදහස සමඟ එකඟ නොවන්නත් පුළුවනි. ඒත් ඒ යුගයේ බිහිවුණු ලියෝ තොල්ස්තෝයි, පියදෝර් දස්තයෙවුස්කි, ඇන්ටන් චෙකොෆ් ආදී කොටගත් මහා ලේඛකයන් ඊට පෙර රුසියාවේ ඇතිවූ බහුවිධ අධ්‍යාපනයේත් බුද්ධි සම්ප්‍රදායේත් ප්‍රතිඵලයක්. ඒ මහා සම්ප්‍රදායේ මූලබීජය ඇත්තේ මහා පීටර් සමය තුළ. ඒ බුද්ධි ප්‍රබෝධය ආත්ම කොටගෙන ඊළඟ යුගයේදී බිහි වූ ලේඛක පරපුර තමන්ගේ අවධිය දෙස විවේචනාත්මක බැල්මක් හෙළුවා.
මෙම මහා රුසියානු ලේඛක පරපුර අයත්වන අවුරුදු සියයකට ආසන්න කාල පරිච්ඡේදය මා නම් සිතන්නේ ඉතිහාසයේ අබග්ගයක් හැටියට. ඒත් ඒ අබග්ගය මනුෂ්‍ය ප්‍රජාවට මහා සාහිත්‍ය සම්ප්‍රදායක් ප්‍රදානය කළ යුගයක් නිර්මාණය කළා.
ඒත් සාමාන්‍ය තත්ත්වය ඊට වඩා වෙනස්. භාරතයේ කාලිදාසලා එංගලන්තයේ ශේක්ෂ්පියර්ලා බිහිවුණේ සමාජය යහපත්ව තරමක්වත් සන්සුන්ව පැවැති කාලවලදී. අපේම දෙවැනි පැරකුම්බාවන්, ශ්‍රී රාහුල හිමි, වෑත්තෑවේ හිමි, ගුරුළුගෝමි, විද්‍යා චක්‍රවර්තී වැනි මහා ලේඛකයන් පහළවුණෙත් සමාජයේ යහපත් කාලවලදී.
ඉතින් ලෝක මට්ටමේ භයානක වසංගතයක් තුළ ගිලිලා, වෙළිලා ඉන්න මේ අවස්ථාවේදී සාහිත්‍ය නිර්මාණයක යෙදෙන්නැයි අපේ ලේඛක පරපුරට විධාන කරන්නට පුළුවන්ද? එහෙම පොත් ලියන්න, නිර්මාණ කරන්න බෑ. හැබැයි ඉතින් සාහිත්‍යය කියන ලේබලය අලවපු සිල්ලර පහේ වැඩ නම් කරන්න පුළුවන්. එහෙම සිල්ලර වැඩ මම දැකලා තියනවා.
• හැබැයි නිර්මාණකරුවන්ට අත්දැකීම් ලබන්න මෙය හොඳ කාලයක් බව සමහර අය පෙන්වා දෙනවා නේද?
‘දැන් හොඳ විවේකයක් තියනවා. ඉතින් පොත් ලියන්න බැරියැ’ කියලා සමහරු අපටත් කතා කරලා කියනවා. මට නම් ඔවුන් ගැන ඇති වෙන්නේ තදබල කේන්තියක්. එහෙම පොත් ලියන්න බෑ.
අනික් අතින් අපි මේ ගෙවන්නෙ සාහිත්‍ය නිර්මාණයේ අතිශය දුර්භාග්‍ය සම්පන්න කාලකණ්ණි අවධියක්. සාහිත්‍යකරුවන් වන අප වටකර ගෙන ඇති අන්ධකාරය තමයි අපේ සන්තානය ඇතුළටත් ගලාගෙන එන්නේ. ඉතින් මොන සාහිත්‍යයක්ද? හැබැයි මේ අත්දැකීම අප හැම දෙනාම විඳවන විඳවීම අනාගතයේ බිහිවන හොඳ සාහිත්‍ය නිර්මාණවලට සාරවත් පොහොරක්. මේ කාලෙ කතා කරනවා වාගෙ හොඳ කාබනික පොහොරක්. ඒ අත්දැකීම්වලින් සාහිත්‍ය නිර්මාණ බිහිවෙන්නෙ අනාතගයෙදීයි. එහෙත් අපට ඉවසගෙන ඉන්න සිදුවෙනවා.
අන්ත අසරණව දුක්විඳින මනුෂ්‍ය ආත්මභවයේ වේදනාව, සියලුම වර්ණවල දේශපාලන මුග්ධභාවය, ආගම්වලට මුවාවී කෙරෙන අයහපත් කටයුතු, ධනපති පන්තියේ සටකපට කම්, ඇතැම් මාධ්‍යවල හැසිරීම් යන මේ කාරණා පාදක කොටගෙන අනාගතයේදී බිහිවිය හැකි හොඳ නිර්මාණ පද්ධතියකට නම් අප මේ ගෙවන ගෝතකරුමය හොඳ තෝතැන්නක්. අනාගතයේ යම් දවසක සිංහල ගොගොල් කෙනෙක් බිහිවෙලා ‘මළ මිනිස්සු’ ගැනත් පාවාඩ එළා ඔවුන්ට මරණය කැඳවාගෙන ආ සැටි ගැනත් පොත් ලියවෙන්න බැරි නෑ. මතු දවසක සිංහල ‘කැමූ’ කෙනෙක්, සිංහල ‘මාකේස්’ කෙනෙක් බිහිවුණොත් ඒක අපි මේ ගෙවන කරුමයට නිසි ප්‍රතිලාභයක් වේවි.
• මේ කොරෝනා වසංගතය නිමාවීමෙන් පසු පශ්චාත් කොරෝනා සමයක අර්බුද ජයගැනීමට නම් උසස් චින්තනයකින් හෙබි විනය ගරුක සංස්කෘතික මිනිසුන් සහිත සමාජයක් අපට අවශ්‍ය බව බොහෝ දෙනා පෙන්වා දෙනවා. ඒ සඳහා පදනම දැමීමට නම් අපට කෙබඳු වැඩපිළිවෙළක්ද අවශ්‍ය වන්නේ?
‘පශ්චාත් කොරෝනා සමය’ තවම ඇවිත් නැහැනේ. මගේ ප්‍රාර්ථනය ඒ සමය හැකි විගස පැමිණේවා කියලයි. ඒ අවධිය වන විට අප සමඟ ඉන්නවා ඇත්තෙ ආධ්‍යාත්මික වශයෙන් දුර්මුඛවුණ සාහිත්‍යකාමීන් කැලතක්, අන්ද මන්දවූ තරුණ පරපුරක්. ඔවුන් අතරින් තමයි මෙකී ධෛර්යවත් ප්‍රබුද්ධ සංස්කෘතික ප්‍රාණියා බිහිකරගත යුත්තේ. මුල්ම කාර්යය තමයි මෙතුවක් වහගෙන සිටි සංස්කෘතික ජීවිතය මුළු මහත් ජනකාය උදෙසාම විවෘත කිරීම, එහෙම නැතුව පාලකයන්ට ප්‍රශස්ති ලියා, කියා පලක් ඇත්තෙ නැහැ. පාලකයන්ගේත් මාධ්‍යයේත් වගකීම තමයි වියෝවුණු නෑ සියන් ගැන දුක් වෙමින් සිටින ජන කැලතකගේ සිත් සතන් සුවපත් කිරීම. එතැනට අවශ්‍ය වන්නේ පුළුල් සංස්කෘතික කාර්ය සාධනයකි.
• මේ පවත්නා තත්ත්වය ලෝක අර්බුදයක් නිසා පශ්චාත් කොරෝනා සමයක නව චින්තන පෙරැළියක් සහ නව සාහිත්‍යයක් බිහිවිය හැකි බවට ඇතැම් විද්වතුන් මත පළකරනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
එහෙම වෙන්න පුළුවනි. අනෙක් අතට එය කාලීන අවශ්‍යතාවක්. එය මුළු මහත් මනුෂ්‍ය ප්‍රජාවටම බලපෑම් කරන්නක්. ඒත් මොකද්ද ඒ චින්තන පෙරළිය? මා නම් සිතන්නේ විය යුතු, විය හැකි ඒ චින්තන පෙරළිය ඉතා ප්‍රබල විශ්ව ව්‍යාප්ත මානව හිතවාදයක්ය කියලයි. ජාති, ආගම් භේද, වර්ග භේද, මහාද්වීපික භේද යන මේ සියල්ලම ඉක්මවා සිටින මානව බන්ධූත්වය පිළිබඳ චින්තන විප්ලවයකටයි මඟ හසර තැනිය යුත්තේ.
• මේ වසංගත තත්ත්වය රටට අයහපත් එකක් වුණත් මේ හුදෙකලාව ගත කරන කාලය පොත පතට යොමු කිරීමට හොඳ අවස්ථාවක් බව එක් පැත්තකින් පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වය යහපත් ලෙස යොදාගත හැක්කේ කොහොමද?
මේ හුදෙකලාව පොත් කියවන්න නම් හොඳයි තමයි. මගේ පෞද්ගලික අත්දැකීමත් ඒකයි. ලියන්න හරිම කුසීතකමක් දැනෙනවා. ඒත් කියවන්න නම් පුළුවනි. මඟහැරුණු පොත්පත් රාශියක්ම පහුගිය දවස්වල කියවන්නට මට පුළුවන් වුණා. අපේ තරුණ පරපුර ජංගම දුරකතනයෙන් සහ රූපවාහිනියෙන් ඈත් කරගෙන පොත පතට යොමු කරන්නට හොඳම වෙලාවක් මේක. ඒ පිළිබඳ මාධ්‍යයෙන් දැනුවත් කිරීම මැනැවැයි හිතෙනවා.
● දරුවන්ගේ ජංගම දුරකතන භාවිතය ගැන ඔබ සඳහන් කළා. එය එක්තරා ඇබ්බැහියක් බවට පත්වීම ගැනත් ඒ නිසාම සිදුවන ඛේදවාචක ගැනත් මෑත කාලයේ අපට අසන්නට ලැබුණා. ඔබ කිව්වා වගේ දරුවන් උසස් රසවින්දනයකට හා පොතපතට යොමු කරන මීට වඩා විධිමත් ක්‍රමයක් මේ වෙලාවේ අපිට නැද්ද?
මේ වනවිට අපේ ළමයින්ට ජංගම දුරකතනය විනයක් වෙලා. එය කොඩි විනයක් වෙන දවස වැඩි ඈතක නොවෙයි. වසංගත තත්ත්වය නිසා ජංගම දුරකතනය මුළු මහත් ශිෂ්‍ය පරපුරටම නැතිව බැරි මෙවලමක් වෙලා. ඔබ කියනවා වගේ මේක මහා ඛේදවාචකයක්. මුහුණු පොතෙන්, පරිගණකයෙන්, අන්තර්ජාලයෙන් සාහිත්‍ය රසවින්දනය ලබාදීම හීනයක් විතරයි. ඒක සිල්ලර මට්ටමේ ව්‍යායාමයක්. තාවකාලිකව කාලය කාදමන වැඩක්. එය මොන තාක්ෂණික මෙවලම් ආවත් අන්තිමට පොතටම එන්න වෙනවා.
මම හිතන්නෙ ජංගම දුරකතනයේ හානිය ඊට වඩා බරපතළයි. අපේ මිනිස්සු ඉතා අමාරුවෙන් හරිහම්බ කරගන්නා රුපියල් ශත කොපමණ ප්‍රමාණයක් මේ සඳහා වැය වන්නේද? සමස්ත මානව වර්ගයාම මේ උගුලට අහුවෙලයි ඉන්නේ. ඒ ආර්ථිකය පැත්තෙන්. සෞඛ්‍ය පැත්ත ගැන අපි වැඩිපුර හිතන්නේම නැති තරම්. හැම තත්ත්පරයක් පාසාම මනුෂ්‍ය වර්ගයාගේ මොළ කුහර තුළට ගලාගෙන එන විද්‍යුත් තරංගවලින් හැදෙන ලෙඩ රෝගවලට මේ වනවිටත් කිසියම් බහු ජාතික සමාගමක් බෙහෙතක් හදමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. කොවිඩ්වලට පස්සෙ එන ලෝක මට්ටමේ සෞඛ්‍ය වසංගතය එය වෙන්න බැරිද?
● පොතපත දරුවන්ට සමීප කිරීමේ වැදගත්කම ඔබ පෙන්වා දුන්නා. ඒත් මුද්‍රණද්වාරයෙන් පිටවන සෑම පොතක්ම ජීවිතයට එළිය දෙන හොඳ පොතකැයි කියන්න අමාරුයි. රසවින්දනය ගොඩ නඟන සාර්ථක පොත් පත් තෝරාගැනීමට නිසි මඟපෙන්වීමක් මේ වෙලාවේ අවශ්‍ය වන්නේ ඇයි?
ඇත්තනෙ. මුද්‍රණයෙන් එළියට එන හැම කසළ ගොඩක්ම සාහිත්‍යය නෙවෙයිනෙ. හොඳ පොතපතක් නෙවෙයිනෙ. හැබැයි මේ දවස්වල තිබෙන සීමා හේතු කොටගෙන මුද්‍රණයෙන් පිටවන කුණු කන්දල් ප්‍රමාණය නම් අඩුයි. ඒත් හොඳ පොතපතට මඟපෙන්වීමක් අවශ්‍යයි. මේ කටයුත්තේදී විශ්වවිද්‍යාලවලට, මාධ්‍යයට වගේම ගුරුවරුන්ටත් ලොකු වගකීමක් පැවරෙනවා. විද්‍යුත් මාධ්‍යයට නම් ඒ ගැන වගේ විත්තියක් ඇති බවක් පෙනෙන්නට නැහැ.
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොඳ පොත් පළවෙන්නේ ටිකයි. අනිත් ඔක්කොම කසළ ගොඩවල්
Samitha Tuesday, 31 August 2021 01:04 PM
ලංකාවේ ආචාර්ය, මහාචාර්ය කියාගන්නා මේ වගේ බහුතරයක් බොහෝ විට කුහකයි. තමන් පමණක් උසස්, තමන්ට පමණක් හැකි අනෙක් සියල්ලන් නූගත්, අනෙක් සියල්ලන්ගේ කෘතීන් බාලයි කියන ස්ථාවරයේ ඉන්න එක තමයි මෙයාලාගේ සම්ප්‍රදාය. ඇත්ත කතාව මෙයාලාගේ කෘතියක් කියවලා තේරුම් ගන්න.. රස විඳින්න සාමාන්‍ය මනුස්සයෙකුට බැහැ. ඒ නිසා මෙතුමන්ලා පසේ බුදුවරු වගේ.. දැනුම තිබුණත් කාටවත් ඉන් ඵලක් නෑ. අඩුම තරමින් නවක ලේඛකයකුගේ පොතක් පතක්වත් නොකියවන මෙතුමන්ලා කොහොමද ඒ පොත්වලට කුණු ගොඩවල් කියන්නේ... සියල්ලටම කළින් ඔබතුමන්ගේ පොත් ගැන මැදිහත් පිරිසකගෙන් විවේචනයක් කරගන්න...
ජනිත්Friday, 03 September 2021 06:41 PM
වැදගත් වන්නේ එම පොත්පත් කියවා තේරුම් ගත හැකි තත්ත්වයට තමා උසස් වීම මිස තමාට ගැළපෙන කවර හෝ නිර්මාණයක් ලේඛකයෙකුගෙන් බලාපොරොත්තු නොවීමයි...
සිරි Tuesday, 31 August 2021 04:30 PM
මෙතුමා කියන දේ ගැන එකඟ වෙන්න වෙනවා. මෙවරත් එක්තරා සම්මාන උළෙලක අවසන් පූර්ව වටයට පොත් 12ක් තෝරලා තිබෙනු දකින්නට තියෙනවා. ඒ අතර හොඳයි කියල හිතෙන පොත් කීපයක් තිබුනත් සම්මාන ලැබිය යුතුයි කියල හිතෙන පොත් ඇත්තෙම නැති තරම්. ඒ කියන්නෙ 2020 වසරෙ විශිෂ්ට නිර්මාණ කෙරිල නැහැ වගේ. 2021ත් ඒ වගේ වෙන්න ඉඩ තියෙනවා.