ජයතිලක ද සිල්වා
දේශපාලන නිදහසින් පසු අප රට පාලනය කෙළේ දක්ෂිණාංශික හෝ දකුණට බර මැදි මාවතක් ගත් දේශපාලන පක්ෂ විසිනි. වඩා නිශ්චිතව කිවහොත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. පසුව කී පක්ෂය සාමාන්‍ය ව්‍යවහාරයෙහි වමට බර පක්ෂයක් සේ හැඳින්වුව ද එය නිවැරැදි ම නො වේ. ශ්‍රීලනිපය හැමවිටම ක්‍රියා කෙළේ දක්ෂිණාංශික ප්‍රතිපත්තිවලට වමේ සහාය ලබා ගැනීමට ය. එය සමඟ සන්ධානගත වූ වමේ පක්ෂ ද සිය ස්වාධීනත්වය රැක ගන්නට අසමත් වූවා පමණක් නොව බොහෝ අවස්ථාවල සිය අනන්‍යතාව ද නැති කැරැ ගත්තේය. එම සන්ධාන බොහෝ විට බිඳ වැටුණේ වමේ පක්ෂ නෙරපා දැමීමෙනි. පසු ව එක්සත් ජාතික පක්ෂය ද සිය ශක්තිය ප්‍රවර්ධනයට වමේ සහාය පැතී ය.
කිසිදා පූර්ණ දේශපාලන බලයක් හිමි නොවුව ද මෙරට සමාජ සංවර්ධනයට වම සැපැයූ දායකත්වය අනල්ප ය. නිදහස් අරගලයට වම ඉටු කළ මෙහෙවර එහි හතුරෝ පවා පිළිගනිත්.
එසේම පසුගිය සියවස මුල දී නැඟී ආ වෘත්තීය සමිති ව්‍යාපාරය ජව සම්පන්න හා සටන්කාමී තත්ත්වයකට දියුණු කෙළේ ද වාම පක්ෂ විසිනි. එම ව්‍යාපාරයෙහි සියලු ජයග්‍රහණ පිටුපසම පාහේ වම සිටියේය. පැය අට වැඩ දිනය, අර්ථසාධක අරමුදල, වැඩකරන ජනයාට වන්දි ගෙවීම, නිවාස උපරිම හිමිකම් පනත, කුඹුරු පනත හා අඳ ගොවි අයිතිය ආදිය නිදසුන් කිහිපයෙකි. ඇතැම් ජයග්‍රණ පසුව නෛතිකව උදුරා ගැනුණ ද එය වෙනම කතාවකි. වමට හෙණ වැදුණේ හිඟන්නාගේ තුවාලය මෙන් පැවැති අසමගිය හේතුවෙනි. පළමු බෙදීම බාහිර හේතු පදනම්ව හටගත්තකි. මෙරට පළමු වැනි සමාජවාදී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය එදා බෙදුණේ සෝවියට් දේශයෙහි කොමියුනිස්ට් පක්ෂයෙහි බෙදීමකට සමාන්තර ව ය. එරට පිළිබඳ ප්‍රතිපත්තිය අරබයා ය. එම බෙදීමෙන් වමෙහි බලය තරමක් දුබල වුව ද 1947 මැතිවරණ ප්‍රතිඵල අනුව සමගි වී නම් ආණ්ඩුවක් පිහිටුවන ඉමට පැමිණීමට වම සමත් වූවේය. එහෙත් පාෂාණිභූත න්‍යායාත්මක අගති හේතුවෙන් එම අවස්ථාව වමට සහ රටට අහිමි විය. එහෙයින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය.
ඉනික්බිති ස්වාධීන රාජ්‍යයක් වශයෙන් රටෙහි ඉදිරි ගමනෙහි දී දේශීය ධනේශ්වරයෙහි කාර්යභාරය සහ එක්සත් පෙරමුණු පිළිබඳ ව වූ ව්‍යවහාරික සහ න්‍යායාත්මක මතභේද අනුව වම යළි බෙදිණි. මෙම වෙනස්කම් පිටුපස යථාර්ථයෙහි වූ වාස්තවික සාධක මෙන් ම නායකත්වයන්හි දැනුම, අවබෝධය සහ රුචි අරුචි අනුව පැවැති මනෝමූල සාධක ද පැවැතියේ ය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ පසුගිය සියවසෙහි හයවන සහ හත්වන දශකවල උපත ලද නව වමකි. එවක හටගත් ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදී සහ වැඩකරන ජනතා ව්‍යාපාරයෙහි චීන - සෝවියට් බෙදීම එයට ආසන්න උත්තේජනයක් සැපැයුවේය. අද නව වමට ද වසර 40-50ක අතීතයක් ඇති අතර සාම්ප්‍රදායයික සහ නව වම අතර බෙදුම් රේඛාව ද අඳුරු වෙමින් පවතී. වම විදාරණයෙහි ඇමීබා ලක්ෂණය තවමත් නිම ව නැති සේ ය.
බහුජන අරගලයට වඩා පාර්ලිමේන්තු අරගලයට ප්‍රමුඛත්වය දීමෙහි සහ පූර්වෝක්තය අපරෝක්තයට අවනත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතිවාදය නමැති පිළිලය වමට ද පැතිරිණි. ජාතික ප්‍රශ්නය උග්‍රවීම හේතුවෙන් සහ 1983 දෙමළ විරෝධී කළු ජූලිය ඇවෑමෙන් ඇති වූ තිස් හැවිරිදි යුද්ධයෙහි දී පාලකයන් ක්‍රියාත්මක කළ ජාතිවාදී දෘෂ්ටිමය අධිකාරය හමුවෙහි වමේ පක්ෂ ද ඒ සමඟ එක්කෝ පෑහුණේය. නැතහොත් එයට යටත් ව නිසොල්මන් වූවේය.
ඒ අතර බලයට ඒමට ඇති තදියම නිසා දෝ ඇතැම් නව වමෙහි බලවේග ද ජාතිවාදයට නැඹුරු වන්නට විය. එය අවසානයෙහි වම කුඩා කණ්ඩායම් දක්වා කැබැලි වන්නට හේතුකාරක වූ බව කිව යුතු ය.
වම දුබල වීමට එහිම මායා හා දුර්මත ඉවහල් වූ බව පෙනේ. නිදසුනක් වශයෙන්, සාම්ප්‍රදායයික වම සහ එහි අනුගාමිකයන් බහුතරයක් තවමත් සිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික දේශපාලන පක්ෂයක් බව ය. එසේම ඔවුහු එහි අනුප්‍රාප්තික පිටපතක් බඳු පොදු ජන පෙරමුණ තක්සේරු කරන්නේ ද එලෙස ම ය. ඊට වඩා මුළාවක් පැවැතිය නොහැකි ය. එම සංවිධාන දෙකෙහිම ධජ පතාකය වන්නේ නව ලිබරල්වාදය වන අතර ජාතිවාදය ඒවායේ මුඛ්‍ය ලක්ෂණයකි. අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ බලය ලබා ගැනීමට උපයෝගී කැරැ ගන්නා ප්‍රයෝගයකි. එම පක්ෂවල සර්වසාම්‍ය ස්වභාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් ඒවා අතර ඔබ මොබ පනින පහසුවෙන්ම පැහැදිලි ය. බලයෙහි සිටි කල ජේම්ස් පැකර්ලා මෙහි බින්න බැස්ස වීමටත් ඇමෙරිකන් යුද භටයන්ට මෙරට විවේක ගැනීමෙහි පහසුකම් සැපැයීමටත් ශ්‍රීලනිප ආණ්ඩු ක්‍රියා කිරීමෙන්ම ඔවුන්ගේ ව්‍යාජ අධිරාජ්‍ය විරෝධය හෙළිදරවු වී ඇත. තව ද, වරක් මෙරටින් පිටුවහල් කරන ලද සහ විවාදාත්මක ඇමෙරිකානු සාම හමුදාවට යළි පැමිණෙන ලෙස යහපාලන ආණ්ඩුව ආරාධනා කෙළේ ද ශ්‍රීලනිපයෙහි පූර්ණ අනුග්‍රහය සහිත ව ය.
අද අප මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයෙහි දී ශක්තිමත් වමක් තිබිණි නම් අප මෙතරම් අසරණ නොවන බව, මෙතරම් අපේක්ෂා සුන් තත්ත්වයකට පත් නොවන බව බොහෝ දෙනා විශ්වාස කරත්. ඇත්තටම, තනි තනිව හෝ හවුලේ හෝ මෙරට පාලනය කළ සියලු පක්ෂ වර්තමාන අර්බුදයට වගකිවයුතු ය. දැන් මුහුණ දෙන ව්‍යවස්ථා අර්බුදය දිග්ගැස්සීමට ද දෙගොල්ලෝම වග කිව යුත්තෝය. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට ඔවුන් අසමත්ව ඇතිවා පමණක් නොව ඔවුන් ළඟ ඒවාට විසඳුම් ඇත්තේ ද නැත. ඒ ගැනට වඩා ඔවුන්ගේ වුවමනාව කෙසේ හෝ බලය ඩැහැගැනීම පමණකි. කිසිදු ප්‍රධාන ප්‍රශ්නයකට ඔවුනට ජාතික ප්‍රතිපත්තියක් නැත. ජාතික ප්‍රශ්නය ගත්ත ද, අධ්‍යාපන සේවාව ගත්ත ද, ප්‍රවාහනය ගත්ත ද තත්ත්වය එක සේ ශෝචනීය ය. බහුතරයක් වන ගොවි ජනතාවගේ දැවෙන ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙයි. රාජ්‍ය පරිපාලනය බිඳ වැටී ඇත. අල්ලස හා දූෂණය ඉහළ සිට පහළට මුළු සමාජ දේහය පුරාම පැතිර අවසාන ය. එය නොවැළැක්විය හැකි බවට භයානක විශ්වාසයක් පැතිරෙන අතර සංවර්ධනයක් වෙත් නම් අල්ලස පැවැතියාට කමක් නැතැ යි යන මතයක් ද වර්ධනය වෙයි.
මේ අතර පැරැණි වමේ ඇතැම් පිරිස් තවමත් සියලු ප්‍රශ්නවලට විසඳුම් දීමට සමත් මැජික් බලයක් සහිත ඉන්ද්‍රජාලිකයකු වන් ගැලැවුම්කරුවකු පසුපස හඹා යති. සිය ධනේශ්වර සගයන් මෙන්ම ඔවුන් ද වර්තමාන තත්ත්වය විග්‍රහ කරන්නේ මීළඟ මැතිවරණයෙහි දී ජය ගන්නා සන්ධානයකට එකතු වන අභිලාෂයෙනි.
ඒ කුමක් වුව ද දීර්ඝකාලීන සහ න්‍යායයික ප්‍රශ්න නිරාකරණය ඉදිරියට තබා ජනතා ප්‍රශ්නවලට, විශේෂයෙන්ම දුප්පතුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන ප්‍රායෝගික අරගලයක් සඳහා එක්වන්නට වමේ පක්ෂ හා කණ්ඩායම් අසමත්වීම අභාග්‍යයකි. එවන් න්‍යායයික මතභේද නිරාකරණය ජන අරගලයෙහි පොදු සමගියක පසුතලයෙහි වන සහ වසර කිහිපයක් වුව ගතවන ක්‍රියාදාමයක් තුළින්ම විසඳා ගැනීම වඩා ප්‍රඥාගෝචර වනු ඇත.
යමෙකුට නිවැරැදි ස්ටාලින් ද ට්‍රොට්ස්කි ද, නැතහොත් කොමියුනිස්ට්වාදය ආඥාදායත්වයක් ද ප්‍රජාතන්ත්‍රවාදයක් ද, නැතහොත් ගර්බචොව් විමුක්තිදායකයෙක් ද ද්‍රෝහියෙක් ද යනාදිය කල්පාන්තරයක් වුව සාකච්ඡා කළ හැකි ය. එහෙත් හදිසි ප්‍රශ්නය ජනතාවගේ අයිතීන් සහ අවශ්‍යතා වෙනුවෙන් කළ යුතු එක්සත් අරගලයක් සඳහා සමඟියක් ඇති කැරැ ගැනීම ය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරිපාරේ වම ආවානම් රට හරිතැන