IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


හූල් කී කතා නොකී කතා

මැතිවරණවලට තරග කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් (Code of Conduct) ජාතික මැතිවරණ කොමිසම පසුගිය 3 වැනිදා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

එහි ඇතුළත් ඇතැම් වගන්ති අනුව එය ප්‍රකාශයට පත් කළ යුතුව තිබුණේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් නාම යෝජනා භාර දීමට පෙරය. එහෙත් කොවිඩ් 19 තර්ජනය නිසාදෝ එය ප්‍රකාශයට පත්වී ඇත්තේ නාම යෝජනා භාරදෙනු ලැබීමෙන් මාස දෙකහමාරකට පසුවය.

එසේම පසුගිය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබී දින නියමයක් නැතිව කල් තබනු ලැබ පසුව ජුනි 20 වැනිදාට නියමිතව තිබූ මැතිවරණය ද අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පසුගිය බදාදා නිවේදනය කළේය.
මැතිවරණය සඳහා දින නියම කිරීම ඇතුළු මැතිවරණයට අදාළ ඇතැම් කාරණා සම්බන්ධයෙන් වලංගු නීතියක් නැති තත්ත්වයක් කොවිඩ් 19  වසංගතය විසින් ඇති කරනු ලැබ තිබේ. සාමාන්‍යයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසු අසවල් දින ගණනකින් නාමයෝජනා  භාර ගැනෙනු ඇතැයි ද අසුවල් දින සීමා ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු යැයි ද අසවල් දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතු යැයි ද නීතිය අනුව නියම කෙරේ. එහෙත් මෙවර ඒ කිසිවක් වලංගු නැත.

මාර්තු 2 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ මේ දින සියල්ල නිශ්චය කරනු ලැබ තිබිණි. එසේ නිශ්චය කළ යුතු යැයි නීතියේ ද සඳහන්ව ඇත. එහෙත් ඒ අනුව කටයුතු සිදුවූයේ නාමයෝජනා භාරදීම පමණි.
නාම යෝජනා භාර ගත් අවසන් දිනයේම මැතිවරණ කොමිසම මහ මැතිවරණය දින නියමයක් නැතිව කල් දැමීය. නීතිය අනුව දින නියමයක් නැතිව එසේ මැතිවරණය කල් දැමිය නොහැකි වුවද මැතිවරණ කොමිසමට අන් කළ හැකි දෙයක් නොවූයේ කොරෝනා වයිරස් තර්ජනය නිසාය.

එතෙක් ඉක්මනින් මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනමාධ්‍ය ඔස්සේ කළ බලපෑම අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැතිවරණ කටයුතු ආරම්භ කරන්නට අවසර දීමෙන් දින 60ත් 70ත් අතර දිනෙක මැතිවරණය පැවැත්වෙන බවයි. මෙය ද නීතියේ ඇති දෙයක් නොවේ. එය කොමිසමට කළ හැකි දේයි.

අනෙක් අතට සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට එම අවසරය දුන්නේ ද නීතිමය පදනමක් අනුව නොව පසුගිය මාසයකට වැඩි කාලයක් නිරෝධායනය වන පිරිසට පිටින් කිසිවකුට කොරෝනා වයිරසය ආසාදනය නොවීම නිසා දැන් තත්ත්වය යහපත්ය යන පදනමිනි. ඊට ද නීතිමය පදනමක් නැත.

යම් විධියකින් දැන් යළිත් සාමාන්‍ය සමාජයෙන් වයිරස් ආසාදිතයන් සොයාගනු ලැබුවහොත් යළිත් මැතිවරණය අගෝස්තු 5 වැනිදායින් ඔබ්බට ද කල් තබනු ලැබීමට ඉඩ තිබේ. ඊට ද නීතිමය පදනමක් නැත.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තැබීමෙන් මාස තුනක් ඉක්ම යන්නට පෙර මහ මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවනු ලැබිය යුතුය. එනම් ජූනි 2 වැනිදාට පෙරය. එම දිනය පසුවී ඇත. ඒ අනුව දැන් කළ යුත්තේ කුමක්දැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේ නැත්නම් නව පාර්ලිමේන්තුව ද කැඳවිය යුතු වන්නේ කිසිදු නීතියකට අනුව නොව අදාළ අයට හැකි දිනකය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා කැමැති දිනකය.

පසුගිය අප්‍රේල් 24 වැනිදා ජනාධිපතිවරයා ආණ්ඩුවට හිතවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග පැවැත්වූ රැස්වීමේ දී ද පැවසුවේ හැකි දිනෙක මැතිවරණය පවත්වා හැකි දිනෙක නව පාර්ලිමේන්තුව රැස් කරන බවය.

මීට පෙර වයිරස් තර්ජනය තිබියදීම වුවද නීතිය අනුවම මැතිවරණයට හා නව පාර්ලිමේන්තුව රැස් කිරීමට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය විය. එහෙත් මැතිවරණ කොමිසම සිතුවේ ජූනි 2 වැනිදාට පෙර නව පාර්ලිමේන්තුව රැස් කිරීමට හැකි වන අයුරින් මැතිවරණය පැවැත්විය නොහැකි වනු ඇති බවයි.

ඒ අනුව කළ යුත්තේ කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය මාර්තු 31 වැනිදා ජනාධිපතිවරයාට ලිපියක් යැවීය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අප්‍රේල් 4 වැනිදා පිළිතුරු ලිපියක් යැවූ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මැයි 28 වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇති වේයැයි දැන්ම කිව නොහැකි යැයි සඳහන් කළේය.

මෙය මැයි 28 වැනිදාට හෝ මැතිවරණය පවත්වන ලෙසට  මැතිවරණ කොමිසමට කළ දැනුම්දීමක් මෙන් විය. ඒ අනුව කොමිසමේ  සභාපතිවරයා කොමිසමේ සාමාජිකයන් තිදෙනාගෙන් කෙනකු වන ඒ වනවිට යාපනයේ සිටින මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට මේ ගැන දන්වා ලිපියක් යැවීය. එහෙත් මැයි 28 වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැතැයි මහාචාර්ය හූල් ප්‍රකාශ කළෙන් එය වැළකී ගියේය. මහාචාර්ය හූල් ඊට හේතු වශයෙන් දැක්වූයේ පවතින කොවිඩ් 19 තර්ජනය හා සංවිධාන කටයුතු කර ගන්නට කාලය ප්‍රමාණවත් නොවේය යන්නයි. කෙසේ වෙතත් මෙය පොදුජන පෙරමුණේ නායකයන්ගේ නොසතුටට හේතු වූවාට සැක නැත.

ඊට පෙර සිටම පොදුජන පෙරමුණ මහාචාර්ය හූල් සම්බන්ධයෙන් දැක්වූයේ සුහද ආකල්පයක් නොවේ. 2018 සිටම ඔවුන් මහාචාර්ය හූල්ගේ ඇතැම් කටයුතු දුටුවේ නොමනා හැසිරීම් ලෙසය. මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත් කොට ඇත්තේ මේ පසුබිම තුළය. දැන් එක් අතකින් මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට හා  අපේක්ෂකයන්ට ආචාරධර්ම හා ප්‍රතිපත්ති අනුව කටයුතු කරන ලෙස දැනුම්දී ඇති අතර පොදුජන පෙරමුණ හා ඊට අනුබද්ධ පක්ෂ මැතිවරණ කොමිසමේ සාමාජිකයකුට ආචාරධර්ම හා පිළිගත් ප්‍රතිපත්ති අනුව කටයුතු කරන ලෙස කියති.

දෙපාර්ශ්වය අතර විරසකය ප්‍රකාශයට පත් වූයේ 2018  ඇතිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයත් සමගය. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත් කළේය. එහෙත් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති බව ඔප්පු කිරීමට නොහැකි වූයෙන් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මීට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වූ අතර ඉන් එකක් ඉදිරිපත් කොට තිබුණේ ඒ වනවිටත් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වූ මහාචාර්ය හූල් ය. පොදුජන පෙරමුණ ඊට ඒ දිනවල දැඩි විරෝධයක් පෑවේය.

එම පරණ තුවාලය යළිත් පෑරුණේ මහාචාර්ය හූල් මැයි 28 වැනිදාට පෙර මහ මැතිවරණය පැවත්වීමට එකඟ නොවීම නිසාය. මේ අතර පසුගිය මාසයේ දිනෙක මහාචාර්ය හූල් එක්සත් රාජධානියේ ඉගෙන ගන්නා තම දියණිය වන එලිලිනී සමග රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණියේය.

පොදුජන පෙරමුණේ දේශපාලනඥයෝ හා එම පක්ෂයට හිතවත් ජනමාධ්‍ය එවිට මහාචාර්ය හූල්ගේ දියණිය විදේශයක සිට පැමිණ නිරෝධායනය නොවී මැතිවරණ කාර්යාලයට පැමිණි බවට විශාල ඝෝෂාවක් කළහ. එහෙත් මහාචාර්යවරයා පැවසුවේ තම දියණිය නියමිත පරිදි නිරෝධායන වූ බවට කොවිඩ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති වන හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුත් සහතිකයක් ඇතිව තමන් සමග පැමිණි බවයි. නිරෝධායන මධ්‍යස්ථානයකින් පිට වන අය නිවෙස්වල ද දින 14ක් නිරෝධායනය විය යුතුයැයි ඇතැම් පිරිස් කී විට මහාචාර්යවරයා පැවසුවේ තම දියණියට එසේ කිසිවකු නියෝග කොට නැති බවයි.

දැන් දෙපිරිස තවත් කරුණක් සම්බන්ධයෙන් අලුත් විවාදයක් ආරම්භ කොට තිබේ. ඒ හූල් මහතා යාපනයේ සිට විකාශය කෙරෙන ඩෑන් ටී.වී. නම්වූ රූපවාහිනී නාලිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

පොදුජන පෙරමුණට ඡන්දය නොදිය යුතු යැයි මෙම සම්මුඛ සාකච්ඡාවේ දී මහාචාර්ය හූල් ප්‍රකාශ කළ බවට පොදුජන පෙරමුණේ නායකයෝ චෝදනා කරති. හූල් ඔහුගේ හිතවත්තු හා පොදුජන පෙරමුණට එරෙහි පිරිස් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරති. පොදුජන පෙරමුණේ යාපනයේ නායකයා වන අංගජන් රාමනාදන් මහතා යාපනයේ කච්චේරියේ පවත්වාගෙන ගිය කාර්යාලයක් එතැනින් ඉවත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ බවත් එය කළේ තමන්ගේ පැමිණිල්ලක් අනුව යැයි සිතා එම පෙරමුණ තමන්ට එරෙහිව විවිධ ප්‍රචාර කරන බවත් මහාචාර්ය හූල් පවසයි.

මේ විවාදයට ප්‍රසිද්ධියේ පැටලී සිටින පිරිසගෙන් මහාචාර්ය හූල් හා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහමඩ් අලි සබ්‍රි මහතා හැර අන් සියලු දෙනාම පාහේ සිංහල අයයි. මහාචාර්ය හූල් කළ ප්‍රකාශය යැයි කියමින් විවිධ ප්‍රකාශ සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වන හෙයින් එම පිරිස ඔහු ඇත්ත වශයෙන්ම කීවේ කුමක්දැයි සැක හැර නොදැන එකිනෙකා සමග වාද කරමින් සිටිති. ලක්ෂ පනහක් පමණ දෙමළ බස කතා කරන රටක නිවැරැදි පරිවර්තකයන් සොයා ගන්නට නොහැකිව ඔවුහු මෙසේ අන්දමන්ද වී සිටිති.

දෙපාර්ශ්වයටම අවශ්‍ය වී ඇත්තේ හූල්ගේ ප්‍රකාශයේ තම තමන්ගේ දේශපාලන අරමුණුවලට අනුකූල වූ පරිවර්තනයකි. එසේම දෙපාර්ශ්වයම  එසේ තමන්ට ගැළපෙන පරිවර්තන සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරති. ඒවා එකිනෙකට වෙනස්ය. මේ අතර පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මහාචාර්ය හූල්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ද කර ඇත.

තමන් සියල්ලට පළමු අදාළ ප්‍රකාශයේ පරිවර්තනයක් ලබා ගෙන ඉන්පසු මහාචාර්ය හූල් ඇත්ත වශයෙන්ම ඉන් අදහස් කළේ කුමක්දැයි ඔහුගෙන්ම අසා දැනගත යුතුව ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය ජූනි 6 වැනිදා ජනමාධ්‍යයට පැවසීය. පොදුජන පෙරමුණට ඡන්දය නොදෙන ලෙස තමන් නොකී බව මහාචාර්ය හූල් දැනටමත් ප්‍රකාශ කොට ඇති තත්ත්වය යටතේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මෙම පිළිතුර සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ නොසතුටට පත්වනු නොඅනුමානය.

ප්‍රශ්නය විසඳීම සඳහා වූ කොමිසමේ සභාපතිවරයාගේ මෙම අදහස ඇතැම් විට මතභේදකාරී විය හැකිය. මන්දයත් වැරැදීමකින් හෝ මහාචාර්ය හූල් නොමනා ප්‍රකාශයක් කොට ඉන්පසු කොමිසමේ සභාපතිවරයා ඒ ගැන විමසීමේදී තමන් අදහස් කළේ වෙනෙකකැයි කිව හැකි යැයි යමකු සිතිය හැකි හෙයිනි.

ජනමාධ්‍යයට ලිවීමේදී හා කතා කිරීමේදී බොහෝ දෙනා අචේතනිකව බොහෝ වැරැදි කරති. ලේඛකයකුට තම වරදක් නිවැරැදි කර ගැනීමට අවස්ථාවක් හා කාලයක් තිබේ. පුවත්පත් කාර්යාලවල එසේ අදාළ ලේඛකයන්ම කරන නිවැරැදි කිරීම්වලට අමතරව එම කටයුත්ත සඳහාම විද්‍යුත් මාධ්‍යවලට කරන ප්‍රකාශ විශේෂයෙන්ම සජීවී විකාශනවල දී කරන ප්‍රකාශ නිවැරැදි කිරීමට අවස්ථාවක් නොලැබේ. අචේතනික වුවද පිට වූ වැරැදි වාක්‍යයක් තබා වචනයක් හෝ යළි ඇදගත නොහැකිය.

ඇත්ත වශයෙන්ම පොදුජන පෙරමුණේ පිරිස් පවසන ආකාරයට එම පෙරමුණට ඡන්දය නොදෙන ලෙස මහාචාර්ය හූල් ඍජු ඉල්ලීමක් කළේ නැත. එසේම ඔහු ආරක්ෂා කරන්නට ඉදිරිපත් වී සිටින පිරිස කියන ආකාරයට වංචනිකයන්ට ඡන්දය නොදෙන්නැයි ඔහු ඍජුව ඉල්ලා සිටියේ ද නැත. ඔහු කළ ප්‍රකාශය ඒ දෙක අතර වූ අදහසක් දෙන දෙපැත්තටම තර්ක කළ හැකි එහෙත් පොදුජන පෙරමුණට වඩා වාසිදායක ප්‍රකාශයකි. එහෙත් ඉන් සුළු මොහොතකට පසු සමස්ත ක්‍රමයම හොර දේශපාලනඥයන් ආරක්ෂා කරන ආකාරයට සකස්වී ඇති බවත් එවැනි පුද්ගලයකු තම නියෝජිතයා යැයි කියන්නට තමන් ලැජ්ජා වන බව ඔහු පවසයි.

එය එසේ තිබිය දී මැතිවරණ කොමිසම නිකුත්කොට ඇති ප්‍රතිපත්ති මාලාව ඉතා හොඳ ලියවිල්ලකි. එහෙත් එය ප්‍රායෝගිකත්වය අතින් එතරම් ප්‍රයෝජනවත් එකක් නොවන බව එය කියවන ඕනෑම අයකුට වැටහෙනු ඇත. උදාහරණයක් වශයෙන් තමන් තේරී පත්වී සිටින ව්‍යවස්ථාමය ආයතනවල අරමුණු ඉටු කිරීම මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අනාගත යහපත වෙනුවෙන් කැප විය හැකි වන්නාවූද තම මැතිවරණ ව්‍යාපාරය විනයානුකූලව හා විනීත ලෙස කරගෙන යන්නාවූද අපේක්ෂකයන් තෝරා ගන්න යනුවෙන් එහි එක් තැනක සඳහන් වේ.

මෙම ආචාරධර්ම කරුණට දේශපාලනඥයන් අනුකූල වනු ඇතැයි අහිංසක ලෙස කෙනකු සිතුවද මෙම ලේඛනය නිකුත් වූයේ අපේක්ෂකයන් තෝරා ගැනීමෙන් පසුවය. දේශපාලනඥයන් ඊට අනුකූල වන්නේද නැත.

අතීත ප්‍රතික්‍රියාකාරකම්, යහපත් හැසිරීම්, නීතියට දක්වන ගරුත්වය, අධිකරණය හමුවේ වරදකරුවන් නොවීම, සමාජයට සේවය කිරීම සඳහා වූ කැපවීම ආදිය පදනම් කරගෙන අපේක්ෂකයන් තෝරා ගන්න. සමාජයට අහිතකර වන අයුරින් තම ධනය හා සමාජ තත්ත්වය යොදා ගන්නා පුද්ගලයන් අත්හැර දමන්න යනුවෙන් එහි තවත් වගන්තියකින් කියවේ.

මේවා කියවාගෙන යන ඕනෑම අයකුගේ දෑස් ඉදිරියේ 2018 දී පාර්ලිමේන්තුව තුළ දී මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කරමින් ගුටි බැට හුවමාරු කර ගනිමින් හැසුරුණු ආකාරය මැවී පෙනෙනු ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු සිහියට නැගෙනු ඇත.

පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය අධීක්ෂණය සහ ජනතා නියෝජනය කළ හැකි මන්ත්‍රීවරුන් බවත් පසුගිය පාර්ලිමේන්තුවේ එවන් මන්ත්‍රීවරුන් සිටියේ අතළොස්සක් බවත් කෝප් කමිටුවේ හිටපු සභාපති හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා දින කිහිපයකට ඉහත දී පවසා තිබිණි.
එහෙත් පසුගිය පාර්ලිමේන්තුවේ සිටි එම මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරයක් මෙවරද විවිධ පක්ෂවලින් මැතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලැබ සිටිති.

මෙම ප්‍රතිපත්ති මාලාව සමග අපට සිහිපත් කරන්නේ මාර්තු 12 ප්‍රකාශය යනුවෙන් රටේ සියලු දේශපාලන පක්ෂවල නායකයන් අත්සන් කරන ලද ප්‍රකාශනයේ තිබූ මෙවැනිම උසස් පරමාර්ථවලට අත්වූ ඉරණමයි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (3)

හූල් කී කතා නොකී කතා

සරත් Sunday, 14 June 2020 10:58 AM

මිනිහෙක් වුණාම මොලයක් තියෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවා නොවැ... උගත් කමක් තිබුණු පලියට සමහර දේවල් කරන බැව් මෑතකදී ලංකාවාසීන්ට පෙනෙන්නේ බොහෝ කලාතුරකිනි.

:       9       113

Nadeera Tuesday, 16 June 2020 02:40 AM

රෙදි නැතිව කඩේ යන ලියවිල්ලක්.

:       68       171

Kumara Tuesday, 16 June 2020 05:46 AM

මිචිගන් සරසවියේ ඉන්න කාලේ ඡන්දවලින් දෙමළ කොටි ගෙනැල්ලා නටපු නාඩගම් නිසා හිරගෙදර ඉන්න ඕනෙ කෙනෙක්. ලංකාවේ රජයේ ඉහළ තනතුරකට පත්කරපු ශ්‍රී ලාංකිකයින්ට උත්තමාචාරය...

:       33       89

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 211 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 123 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 184 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 508 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 141 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 46 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 235 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 69 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1095 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site