IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හූල්-මහින්ද විරසකය ඡන්දයටත් රටටත් අගතියක් කළාද?

මාරාන්තික කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමුණ ද, එසේ ඇතිවූ බිය පහව ගොස් ඇති සෙයක් සහ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට එදිරිව පවතීයැයි පෙන්වාදුන් නෛතික බැමි අතුරුදන්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ.

වර්තමානය වන විට ජනතාව හමුවේ තරමක් අපකීර්තියට පත්ව සිටින මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු මැතිවරණය ලබන අගෝස්තු මස 5 වැනිදා, බදාදා දිනක, පැවැත්වෙන බව පසුගිය අගහරුවාදා නිවේදනය කළේ ය. එයත් සමග මැතිවරණය පැවැත්වීම හා ඇදී තිබුණු ආන්දෝලනය නිමාවට පත්විය. මුල් අවස්ථාවේ දී, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටින්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ ය.  එහෙත් ජනපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක් ඉදිරිපත් විය. අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට පළමු අවස්ථාවේ දින නියම කැරුණු පාර්ලිමේන්තු මැතිවරණය, ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ඒවායින් අභියෝගයට ලක් කැරිණ.  එපමණක් නොව, එම පෙත්සම් ඉදිරිපත් කළෝ, පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි ද, ඉල්ලා සිටියෝ ය. මෙම පෙත්සම් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒවා විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ඒකමතිකව තීරණය කළේ ය. මැතිවරණය අරබයා ජනපතිවරයා ගත් තීරණ ව්‍යවස්ථානුකූල බව ද, ශ්‍රේෂ්ඨාධිකරණය ගත් එම තීරණයෙන් ගම්‍ය වූ තවත් අදහසක් විය. පෙත්සම් ප්‍රතික්ෂේප කිරීම හමුවේ, මැතිවරණ දිනය කල් දැමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නීත්‍යානුකූල බව ද, ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තහවුරු ද, කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබෙනු ඇතැයි රටේ ජනතාවත් සිතාගෙන සිටි ජූනි මස 8 වැනිදා (සඳුදා) මැතිවරණ කොමිසම රැස්විය.

එහෙත් සාකච්ඡාව සිදුවූයේ වෙනත් කරුණු කාරණා සම්බන්ධයෙන්ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යොමුකර තිබූ මැතිවරණය පැවැත්වීමේ දී, අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන පිළිබඳ වාර්තාවක් එසේ අවධානය යොමු වූ එක් කාරණයක් වූ අතර, එම වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ගැසට් කරන ලෙස වෛද්‍ය ජාසිංහගෙන් ඉල්ලා සිටිය යුතුයැයි නිර්දේශයක් කොමිසමේ සාමාජිකයන් අතරින් ඉදිරිපත් විය. සාකච්ඡාවට බඳුන් වූ තවත් කාරණයක්, ආදර්ශ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වූ අතර, එවන් එක් මැතිවරණයක් කොමිසමේ සභාපති දේශප්‍රියගේ උපන්ගම වන අම්බලන්ගොඩ පැවැත්වීම පිළිබඳව අවධානය යොමු කැරිණ. මෙසේ ආදර්ශ මැතිවරණ පැවැත්වීමේ අරමුණ ඡන්ද දායකයකුට සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුගමනය කරමින් ඡන්දය භාවිතා කිරීමට කොපමණ කාලයක් වැයවනු ඇතිදැයි යන්න විමසුමට ලක් කිරීම විය. තව තවත් එවැනි ආදර්ශ මැතිවරණ පැවැත්වීමට කොමිසමේ සාමාජිකයන් කැමැත්ත පළකළ අතර, සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීමට සිදුවන නිසා මෙවර මැතිවරණයේ වැය පෙර අවස්ථාවලට වඩා ඉහළ අගයක් ගැනීමට තිබෙන ඉඩකඩ සම්බන්ධයෙන් ද, ඔවුන්ගේ අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමග රැස්වීමක් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් විය.

මැතිවරණය පැවැත්වෙන නවතම දිනය (අගෝස්තු 5 වැනිදා) ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී, දේශප්‍රිය මාධ්‍ය කෙරේ අතිශය කෝපයට පත්ව සිටි බව දැකගත හැකිවිය. මැතිවරණයට දින නියම කිරීම කොමිසමේ කාර්යභාරය වුවත්, මාධ්‍ය එම කාරිය ඔවුන්ගේ අතට ගෙන තිබෙන බවට ඔහු චෝදනා කළේ ය. කෙසේවුවත්, ඉදිරිපත්ව තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, දේශප්‍රිය උපුටා දක්වමින්, ලබන 8 වැනිදා කොමිසම රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරනු ඇතැයි  විවිධ රූපවාහිනී නාළිකාවන් වාර්තා කළේ ය. එහෙත් මැතිවරණ කොමිසමේ එම රැස්වීම අවසානවීමෙන් පසු දේශප්‍රිය පැවසුවේ මැතිවරණය පැවැත්වෙන දිනය එම සතිය අගභාගයේ දී පමණ නිවේදනය කරන බවය.

මාධ්‍ය හමුවේ දී, ඔහු මෙසේ පැවසුවේ ය.

මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ පවත්වන්නට. කෝවිඩ්-19 තත්ත්වය නිසා මැතිවරණය කල්දැමිය යුතුවන තැනට අපව තල්ලු වුණා. පළාත් පාලන ආයතන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට අප නොවෙයි වගකිව යුත්තේ. එම මැතිවරණ ප්‍රමාද වුණේ අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවුණු නිසා. එම අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ අය තමයි එයට වගකිවයුතු වන්නේ. පළාත් පාලන මැතිවරණය ගැන කියනවා නම්, අපි ඒවා 98ක් ගැසට් කර නොතිබුණා නම්, අද වන විට පවා එම මැතිවරණ පවත්වන්නට නොහැකි වන්නට තිබුණා. අපි මේ දක්වා අපේ උපරිමයෙන් වැඩකටයුතු කර තිබෙනවා. ඉදිරියටත් එසේමයි.

පසුගිය අගහරුවාදා මැතිවරණ කොමිසම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන්ගේ නම්, ඔවුන්ගේ මනාප අංක සහ ඡන්ද මධ්‍යස්ථාන ගැසට් කළේ ය. මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භවූ බවට එයින් සංඥා කැරිණ.

ඔහු හා කොමිසමේ තවත් සාමාජිකයකු වන රත්නජීවන් හූල් මහතා අතර ඇතිව තිබෙන විරසකය නොසලකා මහින්ද දේශප්‍රිය මාධ්‍ය හමුවේ නිර්භයව අදහස් දැක්වීමේ යෙදුණත්, එම විරසකය අද වන විට ජනප්‍රිය රහසක් බවට පත්වී  අවසානය. තමා හා හූල් අතර පවතින්නේ අදහස්මය වෙනසක් පමණක් බවට දේශප්‍රිය නැවත නැවතත් කරන සඳහන් අද වන විට තවදුරටත් වලංගු නොවේ. දෙදෙනා අතර පවතින ගැටුම මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රමාද කිරීමට ද, හේතුවක් වූ බව පසුව ක්‍රමයෙන් පැහැදිලි විය. මෙම කාරණය හූල් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශවලින් පමණක් නොව, මැතිවරණ කොමිසමේ සිය සගයන් දෙදෙනාගෙන් වෙන්ව වෙනම ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිත් කිරීමට කටයුතු කිරීමෙන් ද, තහවුරු වන්නකි.

නාමයෝජනා භාරගැනීමට කොමිසම තෝරාගත් දිනය රජයේ නිවාඩු දිනයක් යැයි ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥවරයා තර්ක කළේ ය. එහෙත් එම ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ නැත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ජනපති ලේකම් කාර්යාලය එම දිනය තෝරාගෙන තිබිණ. මැතිවරණ කොමිසමේ තමන්ගේ සභාපතිවරයා ගත් තීරණයක් එම කොමිසමේම සාමාජිකයෙක් නීතිය හමුවට ගෙන ගොස් තිබුණේ එලෙසය. මෙවන් තත්ත්වයක් හමුවේ මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභාවල භූමිකාව නැවත විවරණය කිරීමට රජය කටයුතු කළ යුතුවම ඇත. මැතිවරණ කොමිසම පමණක් නොව පොලිස් කොමිසම ද, ආන්දෝලනයට ලක්වූ අවස්ථා - විශේෂයෙන්ම දේශපාලන අණදීම්වලට යටත්ව නිලධාරීන් ස්ථානමාරු කර ඇති අවස්ථා එමට ඇත. මෙම කොමිසම් ක්‍රියාත්මක වන්නේ ඇත්තෙන්ම ස්වාධීනව ද, නැතහොත් විවිධ කාරණා ඉදිරියේ පීඩනයට පත්ව ද, යන්න ගැටලුවකි.

මැතිවරණ කොමිසම සැලකීමේ දී, මෙය පැහැදිලිවම මෙතෙක් නොඇසූ විරූ තත්ත්වයකි. එහි සාමාජිකයකුට නීතිය හමුවට යෑමට අවස්ථාවක් නොමැති බවක් මෙයින් කිසිදු ලෙසකින්වත් අදහස් නොකෙරේ. එහෙත් එසේ කිරීම මහජනතාව අවබෝධ කරගත්තේ ඔහු හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර, බලය මුල්කරගත් ගැටුමක් ඇතිව තිබේයැයි ලෙසය. මෙය සභාපති දේශප්‍රිය මහත් වියවුලකට පත් කරන්නට ඇති බවට නිසැකය. ඒ මන්දයත්, මැතිවරණ කොමිසමේ නීති ප්‍රකාරව ඝණ පූරණය පැවැතීම සඳහා සාමාජිකයන් තිදෙනාගේම සහභාගීත්වය අනිවාර්ය වීමයි. එනිසාම, හූල් සමග සබඳතා බිඳ වැටීම මහින්ද දේශප්‍රියට පමණක් නොව සමස්ත රටටම අගතිදායකය. ඒ හමුවේ කිසිදු තීරණයක් ගැනීමට නොහැකි වනු ඇතිවා පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට ද, පවත්වේ. එය, හූල්ගේ අවි ගබඩාවේ වූ ප්‍රබල අවියක් විය.

ශ්‍රී ලංකා හා ඇමරිකා එක්සත් ජනපද ද්විත්ව පුරවැසියකු වන හූල් සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේ යැයි ඒ සම්බන්ධ වෙනත් කාරණා මධ්‍යයේ ඇතැම් මූලාශ්‍ර දේශප්‍රියට චෝදනා කරන්නේ ය. දෙදෙන අතර පවතින මෙම සීතල යුද්දය නිසා ප්‍රමාදවීම් පමණක් නොව නිසැක තීරණයක් ගතයුතු වූ අවස්ථාවල දී පවා ගැටුම් ඇතිවූ බව එම ආරංචි මාර්ග සදහන් කළේ ය. මේ නිසාම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ හූල් අතර විරසකය පොදු ජනතාව දක්වාම පැතිර ගියේ ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයේ නායකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ කොමිසම විවේචනය කළේ ය.
මැතිවරණ කොමිසම අරබයා රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලියුම්කරු විමසා සිටි අතර, එය මැතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට පෙර ගෙවුණු සමය විය. අගමැතිවරයා මෙවැනි පිළිතුරක් දුන්නේ ය.

එයට නියම හැටියට, ස්වාධීන ව්‍යුහයක් හැටියට, මැතිවරණ කොමිසම ක්‍රියාත්මකවීම පමණමයි අපට වුවමනා. මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් අපේ රජයේ සාමාජිකයන්ගෙන් වගේම ජනතාවගෙනුත් මට පැමිණිලි ලැබුණා. මේවා අවධානය යොමුකළ යුතු කාරණා. එහෙත් ඒවා මතු කරන්නට දැන් කාලය නොවෙයි. තවත් ප්‍රමාද නොකර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කරනු ඇතිය කියන එකයි අපි ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ.

අගෝස්තු මස 5 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය අන් මැතිවරණයට වඩා පැහැදිලි ලෙසම වෙනස්ය. පළමුව, මාරාන්තික කෝවිඩ්-19 වසංගත තත්ත්වය එයට ප්‍රබල බලපෑමක් එල්ල කර තිබීම සැලකිල්ලට ගත යුතුය. එක් දිස්ත්‍රික්කයක එකක් ලෙස මහා පරිමාණ ජන රැලි පැවැත්වීම සීමා කර තිබෙන අතර, ගෙයින් ගෙට ගොස් කරන මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට ද, පොකුරු රැස්වීම්වලට ද, යම් යම් සීමා පනවා තිබේ. මෙම තත්ත්වය මෙරට දේශපාලන පක්ෂ නායකයින්ට පැහැදිලි ලෙසම අවාසි සහගතය. ආසියා කලාපය සැලකීමේ දී, ජනතාව අතර ඉහළ පිළිගැනීමක් හිමි නායකයෝ, රැස්වීම්වලට ඉහළ ජනතාවක් කැඳවාගැනීමට පමණක් නොව ඒ හරහා ඉහළ මනාප සංඛ්‍යාවක් ලබාගැනීමට සමත්ය.

මෙම තත්ත්වය යටතේ ඡන්ද දායකයන් ආමන්ත්‍රණය කිරීමට ඔවුන් වැඩි වශයෙන් රඳා පැවත තිබෙන්නේ සමාජ මාධ්‍ය මතය. කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙරට සමාජ මාධ්‍ය භාවිතයේ පැහැදිලි ඉහළයාමක් හදුනාගන්නට තිබෙන අතර, දැනටමත් තනි පුද්ගලයන් මෙන්ම සමාගම් ද, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඔවුන්ගේ සේවා ලබාදෙන බවට දැන්වීම් සමාජ මාධ්‍ය ජාල පුරා පළකර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව එහි සමස්ත ශක්තියෙන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක, මෙම ඉල්ලුම හා සැපයුම හමුවේ සමාජ මාධ්‍යවල භූමිකාව තවදුරටත් වර්ධනය වනු ඇත. එහෙත් මැතිවරණ කොමිසම ගැසට් කර තිබෙන මාධ්‍ය උපමානවල සමාජ මාධ්‍ය පිළිබඳ සදහනක් නොමැත. එය අදාළ කර තිබෙන්නේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට පමණකි. කරුණු මෙසේ හෙයින්, සමාජ මාධ්‍යය ද, මාධ්‍ය උපමානවලින් බැඳ දැමීමට නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ඔවුන්ට සිදුවනු ඇත. මෙය වැදගත් වන්නේ, දැනටමත් ඇතැම් රජයේ සහ විපක්ෂයේ කණ්ඩායම් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා සමාජ මාධ්‍ය යොදාගනිමින් සිටීම නිසාය.

මෙවර මැතිවරණයට ඉදිරිපත් වන විවිධ දේශපාලන පක්ෂවල ස්ථාවරය නිල වශයෙන් දැනගැනීමට හැකිවනු ඇත්තේ ඔවුන් තමතමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ප්‍රකාශයට පත්කළ පසුවය. ඒ අතරින් වඩාත් වැදගත් වනු ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. නව ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන බවට ඔවුන් දැනටමත් පොරොන්දු දී තිබේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එලෙසම පවත්වාගත යුතු ද, ප්‍රතිස්ඨාපනය කළ යුතු ද, නැතහොත් එහි සම්පාදන සංශෝධනය කළ යුතු ද, යන කාරණා මුල් කරගෙන එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරන කණ්ඩායම් නිර්මාණයව තිබෙන බව දැන් රහසක් නොවේ. මෙය වඩාත් වැදගත් කාරණයක්ව තිබෙන්නේ විපක්ෂයේ ප්‍රධාන දෙපාර්ශවය - එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අද වන විට නව ගැටලු ගොන්නක පැටලී තිබෙන නිසාවෙනි. මෙම තත්ත්වය හමුවේ ඔවුන් තවදුරටත් දුර්වලවීමට පැහැදිලි අවකාශයක් පවතින අතර, එයින් අනෙක් පසට ශක්තිමත් වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයයි. එය ඔවුන්ට අතිශය වාසි සහගත තත්ත්වයක් අත්කර දෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ අරබයා අදාළවන තවත් කාරණයක් වන්නේ ජනපතිවරයකු පත්කර ගැනීම සම්බන්ධව සිදුකළ යුතුව තිබෙන ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රූපවාහිනී වැඩසටහනක දී, පළකළ අදහස්ය. ඒ සම්බන්ධයෙන් ඔහු සන්ඩේ ටයිම්ස් හා මෙසේ අදහස් දැක්වූයේ ය.

අනාගත ජනපතිවරණයක් පැවැත්විය යුතුව තිබෙන්නේ ඡන්ද කොට්ඨාස පදනමේ සිට. මෙය බොහෝ දුරට ඇමරිකා එක්සත් ජනපදයේ භාවිතයට ගැනෙන ක්‍රමයට - මැතිවරණ කොලේජයෙන් ජනපතිවරයා සහ උප ජනපතිවරයා තෝරාගන්නා, සමානයි. මැතිවරණ කොලේජ ලෙස මැතිවරණ කොට්ඨාස භාවිතයට ගැනීමට අවැසි ක්‍රියාමාර්ග මේ අරබයා සකස් කළ යුතුව තිබෙනවා. එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනුණු පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවා පැවැත්විය යුතුව තිබෙන්නේ මේ හා සමාන පදනමක් යටතේ,


සිරිකොතේ ගැටුම

ඉදිරියේ එන මැතිවරණයක සෙවණැලි යට හිඳගෙන ගෙවුණු පසුගිය සතියේ සඳුදා දිනය එක්සත් ජාතික පක්ෂයට එතරම් යහපත් දිනයක් නොවීය. එදින එකක් පසු පස එකක් රැස්වීම් තුනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණ. පළමුවැන්න වූයේ මැතිවරණ මූලෝපාය සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ උපදේශක මණ්ඩල රැස්වීමකි. එය කෝට්ටේ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී, පැවැත්විණ. මුලසුන හොබවමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු එයට සහභාගීව සිටියහ. එය අවසන් වූ වහාම වෘත්තිය සමිති සංගම් නියෝජිතයන්ගේ රැස්වීමක්, ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සමග, පැවැත්විණ.

ජාතික සේවක සංගමයේ සාමාජික සුනිල් සිල්වා මහතාගේ පිළිගැනීමේ කතාව අවසන් වූ වහාම නැගී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතාය. පළමු රැස්වීම පෙ.ව. 8.30ටත්, දෙවන රැස්වීම පෙ.ව. 9.30ටත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පෙ.ව. 10.30ටත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ බව ඔහු පැවසුවේ ය. උද්ගතව වූ තත්ත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සන්ඩේ ටයිම්ස් හා විස්තර කළේ මෙලෙසය.

මගේ කතාවේ භාගයක් පමණ වෙනකොට, පක්ෂ නායක වික්‍රමසිංහ, මහලේකම් කාරියවසම් සහ උප නායක රවී කරුණානායක ඇතුළට පැමිණෙනවා මම දුටුවා. කාරියවසම්ට සංඥාවක් කළ නායකතුමා කාමරයෙන් පිටතට ගියා. නායකතුමා කාරියවසම්ට එම සංඥාව කළේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පවත්වන්නට කාමරය සූදානම් කරන්නටය බව කියා මම දැනගත්තේ පසුව.
මගේ අදහස් දැක්වීමෙන් පස්සේ වික්‍රමසිංහ කතා කළා. එයින් පසුව රැස්වීම අවසන් වුණා. නායකතුමා වේදිකාවෙන් බැස ආ පසුව පක්ෂයේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත මහතා ස්තූති කතාව සිදුකළා. වික්‍රමසිංහ කාමරයෙන් පිටව යන්නට සැරසෙන විට, වෘත්තිය සමිති නායකයන් කිහිපදෙනෙක් - අපි සිතනවා ඔවුන් බීමතින් සිටියාය කියා, පක්ෂ නායකයා සමග රැස්වීමක් පවත්වන්නට වුවමනාය කියමින් හඬ නගන්නට ගත්තා. නායකතුමා එයට එකඟවුණා. එළැඹෙන දිනයේ, එනම් ජූනි 9වන අඟහරුවාදා පස්වරු 4ට පක්ෂ මූලස්ථානයේ දී, තමන් හමුවන ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

එයින් පසුව වෘත්තීය සමිති සාමාජිකයන් කෑගසමින්, ඔවුන් බොහෝ කාලයක් පුරාවට එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව සිටි බවත්, නමුත් ඔවුන්ගේ ගැටලු කිසිවෙකට විසඳුම් නොලැබුණු බවත් කියමින් හඩනගන්නට ගත්තා. ඔවුන් සමග නායකතුමා කිසිදු දවසක කතාකර නොමැති බව ඔවුන් කීවා. වෘත්තීය සමිති සාමාජිකයන් සහ අනෙක් අය අතර ගැටුමක් ඇතිවූයේ එයත් සමග.

වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්විය යුතුයැයි ඇතැම් වෘත්තීය සමිති සාමාජිකයන් හඬනගන්නට ගත්බව සිද්ධිය ඇසින් දුටු ඇතැමෙක් පැවසුවේ ය.

රංගෙ බණ්ඩාර පැවසූ ආකාරයේ සිදුවීමක් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිදුවූ බව පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් ද, පිළිගත්තේ ය. එහෙත් එය සුළු ගැටුමක් බව ඔහු අවධාරණය කළේ ය.

විරෝධය දැක්වූ වෘත්තිය සමිති සාමාජිකයන් සමගි ජනබලවේගය නියෝජනය කරන අය බවට අපි විශ්වාස කරනවා, කාරියවසම් කීවේ ය.

දැන් සියලු බැණුම් බැරවෙමින් තිබෙන්නේ සමගි ජනබලවේගයේ ගිණුමටය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛතම වෘත්තීය සමති සංවිධානය ද, පක්ෂය මෙන්ම බෙදී වෙන්ව තිබෙන බව නොදන්නා කාරණයක් නොවන මුත් මෙවන් ගැටුමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිදුවනු ඇතැයි කිසිවකුත් අපේක්ෂා කළේ නැත. ගැටුමින් පසුව ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති සාමාජිකයන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග රැස්වීමක් පවත්වා ඇත. එය එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කිසිසේත්ම යහපත් නොවේ.


සමරවීර වෘතාන්තය
අනෙක් පසින්, සමගි ජනබලවේගයට එහි අභ්‍යන්තරයෙන් මතුව දැන් ක්‍රමයෙන් පුළුල් වෙමින් තිබෙන බෙදීම්වලට ද, මුහුණදීමට සිදුව තිබේ. එවන් බෙදීම්වලට හේතුවී තිබෙන ඇතැම් ගැටලු සහ කරුණු කාරණා කරළියට පැමිණියේ මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සිටි මංගල සමරවීර මහතා සිය අපේක්ෂකත්වය ඉවත්කරගන්නා බව නිවේදනය කිරීමත් සමගය. සමරවීර විරෝධියෝ ඒහාම කියන්නට ගත්තේ, ඔහු එවැනි තීරණයක් ගත්තේ නිසැක පරාජයක් උරුමයැයි දන්නා නිසා බවය. පෙර අවස්ථාවල මෙන් නොව ගෙවුණු සමයේ සමරවීර තමන්ව බැහැදැකීමට පැමිණියේ නැතැයි ඔහුගේ ඡන්ද දායකයන් බහුතරයක් නගමින් සිටින චෝදනා මෙයට යම් පදනමක් සපයන බව සත්‍යයකි. එහෙත් පසුගිය රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුට පැවරුණු රාජකාරි හමුවේ සමරවීරට වෙනත් කටයුතුවලට යෙදවීමට තිබුණු කාලය ඉතාම අවම විය. එපමණක් නොව, පසුගිය මාස කිහිපය මුළුල්ලේම ඔහු තමන්ව ස්වයං හුදකලාවක සිරකරගෙන සිටීම, ඔහුගේ ප්‍රතිරූපය තවදුරටත් පළුදු කිරීමට හේතුවක් විය.

සමරවීරගේ පසුබැසීමේ ආරම්භය ඔහු පසුගිය වසරේ කළ ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොවේය යන ප්‍රකාශය හා බැඳී තිබෙන්නකි. ඒ හමුවේ බෞද්ධ හිමිවරු අතිශය කෝපයට පත්වූහ. පසුව මෑතක දී, ඔහු නැවත වතාවක් මෙරට බෞද්ධ හිමිවරුන්ව කෝපයට පත්කරමින්, උන්වහන්සේලාව විවේචනය කළේ ය. සිය අදහස් දැක්වීම වෙනුවෙන් පෙනී සිටි සමරවීර කියා සිටියේ බුදුන්ගේ සමයේ පවා උන්වහන්සේට විරුද්ධ වූ පිරිස් සිටි බවය. මංගලගේ හිටපු අමාත්‍ය සගයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද, ඔහුගේ එම අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමරවීරව විවේචනය කළ අතර, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සම්බන්ධව සිට වර්තමානයේ සමගි ජනබලවේගය සමග එක්ව සිටින අලුත් සාමාජිකයකු ද, එවැනිම විවේචනයක් සිදුකළේ ය. මෙසේ සමගි ජනබලවේගය ඇතුළත සමරවීර විරෝධී කණ්ඩායමක් නිර්මාණයව ඇත. ඔවුහු ඔහුව හඳුන්වාදෙමින් සිටින්නේ බෞද්ධ විරෝධියකු ලෙසය.

සමරවීර හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පැවැත්වී තිබෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයකි. විටෙක ඉතා උණුසුම් අයුරින් ද, තවත් විටෙක ඉතා නිවුණු ස්වරයෙන් ද, පැවැත්වුණු මෙම හමුවේ දී, සමගි ජනබලවේගය හමුවේ තමන් මුහුණදෙමින් සිටින ගැටලු පිළිබඳව සමරවීර විස්තර කර ඇත. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ දැක්මෙන් ශීඝ්‍රයෙන් බැහැරට යමින් ජාතිවාදී කණ්ඩායමක් බවට පත්වෙමින් තිබෙන බවට ඔහු පැමිණිලි කර තිබේ. එවැනි කණ්ඩායමක සාමාජිකයෙක් වීමට වුවමනා පුද්ගලයෙක් වෙතොත්, ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හා එක්වූවා වැනි වන බව සමරවීර පවසා ඇත. එනිසා, තවත් ඩුප්ලිකේට් කණ්ඩායමක් පසුපස යාමේ වුවමනාවක් නොමැති බව ඔහු කියා තිබේ. මේ සම්බන්ධයෙන් විමසූ විට, සමරවීර අදහස් දැක්වූයේ සැර බාල කරය.  

සමරවීරගේ මෙම චෝදනාව එල්ල වන්නේ වර්තමානයේ සමගි ජනබලවේගය හා එක්ව සිටින තවත් දේශපාලන පක්ෂයක නායකයකු වෙතටය. මෙම පුද්ගලයාගේ මාධ්‍ය කළමනාකරුවා ලෙස කටයුතු කරන්නේ ආන්දෝලනාත්මක චරිතයක් වන අතර, ප්‍රේමදාස පමණක් නොව සමගි ජනබලවේගය ද, දෙවැනි තැනට වැටෙන පන්නයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බවට ඔහුට දැනටමත් චෝදනා නැගී ඇත. මෙම කණ්ඩායමේ සිටින තවත් සාමාජිකයන් තිදෙනෙකි. ඔවුහු දෙදෙනෙක් හිටපු පළාත් සභා සාමාජිකයෝය. අනෙක් තැනැත්තා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායක මහතාය. නායක වික්‍රමසිංහ සමග පැවැති ගැටලු නිසා අත්තනායක පක්ෂයෙන් වෙන්ව එවක ජනපති මහින්ද රාජපක්ෂ එක්ව ඇමති පදවියක් ද, ලබාගත්තේ ය. ඒ, 2015 ජනපතිවරණය ආසන්නයේය.

මාස කිහිපයක සිටම සමරවීර පසෙකට කර දමා තිබෙන බව රහසක් නොවේ. ඔහු සමගි ජනබලවේගයට අවදානමක් සහ සන්ධානයේ බෞද්ධ ඡන්ද පදනම දුර්වලවීමට හේතුවක් යැයි ප්‍රේමදාසගේ අදහස වේ. සමරවීර සැලකීමේ දී, ඔහුට සිදුව තිබෙන්නේ ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වැනි දෙයක්ය. වරක් වික්‍රමසිංහගේ අතිශය සමීප හිතවතෙකු වූ මලික් සමරවික්‍රම මහතා හා එක්ව, එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාසව එසවූයේ - එහි ප්‍රතිඵලයක් ලෙස සමගි ජනබලවේගයේ උපතට දායකත්වය ලබාදුන්නේ, මංගල සමරවීරය. වික්‍රමසිංහ සිය අත දී දේශපාලනයට හඳුන්වාදුන්, නමුත් පසුව ඔහුටම ද්‍රෝහීවූ කණ්ඩායමක් ඔවුන්ගේ සහයට සිටියේ ය.

ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සමරවීරගේ සහ සමරවික්‍රමගේ අතට භාරදී තිබුණේ මේ නිසාය. එහෙත් යථාර්ථය නම්, ඔවුන් දෙදෙනම, දේශපාලනයේ ඔවුන්ගේ සගයන් මෙන්ම පවුලේ සාමාජිකයන් අතරින් ද, වෙන්කොට සලකනු ලැබූ, මැතිවරණ කටයුතු වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ කටයුතුවලදී ද, දෙවැනි තැනට ඇද දැමුණු, රැස්වීම් සංවිධානය කිරීමේ කටයුතුවල දී, අමතක කර දැමුණු, දෙදෙනෙක් බවය. උද්ගතව තිබෙන තත්ත්වය පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් අදහස් දක්වමින්, වර්තමානයේ නුවර වාසය කරමින් සිටින සමරවික්‍රම හා සම්බන්ධවූ සමගි ජනබලවේගයේ පිරිසක් වහාම කොළඹට පැමිණ ගැටලු නිරාකරණය කර දෙන ලෙසට ඔහුව පීඩනය එල්ල කළ බව පැවසුවේ ය. එම ආරංචි මාර්ගයට අනුව, තමා දේශපාලනයෙන් දුරස්ව සිටින බව සමරවික්‍රම එම පිරිසට පවසා තිබේ. ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමට පවා සමගි ජනබලවේගය කැමැත්ත පළකර ඇතත්, සමරවික්‍රම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන්නේ මේ නිසාය. සමගි ජනබලවේගයේ අනාගතය වෙනුවෙන් සුභපැතුම් එක්කර තිබෙන ඔහු, ඔහු ඇතුළු සියලුදෙනා පෙනී සිටි අදහස් හා දැක්ම ඉදිරියට ගෙනයාමේ වගකීම දැන් පැවරී තිබෙන්නේ සමගි ජනබලවේගයේ නායකයන්ට බව පවසා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට පසුගිය සෙනසුරාදා සමරවීර සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැත.

කෙසේ වුවද නැවත වරක් එක්සත් ජාතික පක්ෂය හා එක්වීමේ අදහස ද, ඔහු බැහැර කර නැත. තමාව පක්ෂයේ නෙරපා හැරීම හෝ එසේ නොකිරීම කෙසේවෙතත්, තමා හදවතින් එක්සත් ජාතික පාක්ෂිකයකු බව ඔහු සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය. ඔහුට පක්ෂය හා එක්වන ලෙස ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂයට එයම හේතුවක් විය හැකිය. සමාන අදහස් දරන පුද්ගලයන් පක්ෂය හා එකතු කරගැනීමට ඔවුහු ද, අපේක්ෂා කරති.

එහෙයින්, එක්සත් ජාතික පක්ෂය හා වර්තමානයේ එහි වඩා ශක්තිමත් ස්වරූපය වන සමගි ජනබලවේගය මෙන්ම මංගල සමරවීර ද, ශ්‍රී ලංකා දේශපාලනයේ තවදුරටත් රැඳෙනු ඇත. කෙසේවුවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද වන විට මහා මාර ගසක් මෙන් ඔවුන් වසාගෙන නැගී සිටී. එහි සෙවණැල්ල කොපමණ දුරකට විහිදී ඇතිදැයි යන්න අගෝස්තු මස 5 වැනිදා පැවැත්වෙන මැතිවරණයෙන් පැහැදිලි ලෙසම අනාවරණය වනු ඇත. ඒ සමගම, වඩා වැදගත් කාරණය වන, දෙපිල බෙදී ගැටුම්වල පැටලී සිටින එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ඉරණම ද, ඒ හමුවේ දිගහැරෙනු ඇත.


සමගි ජනබලවේගය පිහිටුවීම සම්බන්ධයෙන්
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී, මම, මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් සන්ධානය ගොඩනැගීම සඳහා වූ සූත්‍රය ඉදිරිපත් කළා. එය, එක්සත් ජාතික පක්ෂය වික්‍රමසිංහගේ නායකත්වය යටතේ තවදුරටත් පවතින බව සහ ප්‍රේමදාස නව සන්ධානයකට නායකත්වය දෙමින් එහි අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව යන කරුණු දෙකම මනාව තුලනය කෙරුණු සූත්‍රයක්. එහිදී මේ සන්ධානය වෙනම ව්‍යුහයක් ගොඩනැගීමක් අප කිසිදු ලෙසකින්වත් අපේක්ෂා කළේ නැහැ.
මංගල එක්සත් ජාතික පක්ෂය සමග නැවත එක්වීම සම්බන්ධයෙන් මෙසේ කියයි.

එක්සත් ජාතික පාක්ෂිකයකු කියන්නේ එහි සාමාජිකත්වය ලබා තිබීමෙන් හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමෙන් උරුම වන දෙයක් නොවෙයි. මම සදහටම හදවතින් එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් මම දිගටම සටන් කරනවා.


සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි
(*** පරිවර්තනය: කෝවිද ගුණසේකර)



අදහස් (2)

හූල්-මහින්ද විරසකය ඡන්දයටත් රටටත් අගතියක් කළාද?

කමල් Thursday, 18 June 2020 02:09 PM

එක්කෙනෙක් මුලු ජීවිත කාලයම ඡන්ද කටයුතු ගැන අත්දැකීම් ලැබූ ජේෂ්ඨ නිලධාරීයෙක්. අනික් එක්කෙනා වෙනත් ක්ෂේත්‍රයක සුදුසුකම් තිබුණත් මැතිවරණ ගැන පලපුරුද්දෙන් අඩු අයෙක්. ඡන්ද සම්බන්ධ කාරණා වලදී ප්‍රශ්න ඇති වන්නේ මේ නිසා. සුදුසු පුද්ගලයන් පත් නොකිරීම ගැන රජය සොයා බලන්න වටිනවා.

:       59       57

maheel Friday, 19 June 2020 03:25 AM

ඩබල් සිටිසන් තියෙන කෙනෙක් ස්වාධීන කොමිසමක් වගෙ එකකට දාන්න පුළුවන්ද.? ගිය ආණ්ඩුව ඔක්කොම චොර කලා. සිංගප්පූරුවේ කෙනෙක් මහ බැංකුවට දාල ඒක කෑවා. දැන් මේක.

:       0       26

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 67 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1396 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 649 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4637 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12972 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site