IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නූතන තුරු හිස පිපී අකලට පරවුණු කවි කුසුම ’’බෝද්ලෙයා’’

French Corner - 9

 


 

‘’මට අනුව, ගරු කටයුතු සත්තාවන් තුනයි පවතින්නෙ. ඒ් තමයි  පූජකයා‍. හේවායා සහ කවියා. ඒ් මොකටද? හඟින්න, මරන්න සහ මවන්න.’’

මෙසේ පැවසූ ෂාල් බෝද්ලෙයා (Charles Baudelaire) වනාහී යුරෝපාකරයට අතිමහත් ලෙස බලපෑ පුරෝගාමී නූතනවාදී කාව්‍යක්කාරයා ය. ලේඛන ශෛලියෙන් මෙන්ම අන්තර්ගතයෙන් මෙන්ම අඩංගුවෙන් ඔහු ඒ බව සලකුණු කර ඇත. ඔහුගේ කාව්‍ය ප්‍රබන්ධ වූකලි කුපිතකරවනසුලු, පාරවනසුලු, පෙළඹවෙනසුලු දරාගනු නො⁣හෙන  සාකල්‍යයෙන්ම ප්‍රාකෘත හෙවත් මූලකෘතික එනම්, පැහැදිලි සිංහලයෙන් කියන්නේ නම්  ඔරිජිනලීය කාව්‍ය ප්‍රබන්ධයන් ය.

ඔහු පෙරටුව තබාගෙන පැමිණි පසුකාලීන කවීන්ගේ කාව්‍ය විශ්වය සහ පරිකල්පනය පුළුල් කරන්නට ඔහු මහත් සේ  ඉවහල් විය. ඔහුගේ ආභාසය හෙවත් බලපෑම ෆ්‍රන්සය මතු නොව සමස්ත ලෝක කාව්‍ය ව්‍යාපාරය කරාම විහිදී පැතිරුණකි.  අනුකාරකයකුට හෝ තමන්ගේම කියා ශෛලියක් හෝ අනන්‍යතාවක් නැත්තකු සිය භාවිතය මොන තරම් අතිරමණීය ලෙස කාව්‍යමයත්ව පවත්වා ගන්නට වෙර දැරුවද,  ඔහුට මහා කවියකු විය නොහැකි ය. මහා කවියකු වන්නට නම් කවරාකාර හෝ වේවා, මහා ජීවිතයක් ගත කළ යුතු ය.

බෝද්ලෙයාගේ කෘති සහ නිර්මාණ විසින් සංකේතවාදී කාව්‍ය ව්‍යාපාරයට මෙන්ම වෙනත් සෞන්දර්ය ව්‍යාපාරයන්ට  මඟපෙන්වනු ලැබිණ. විශේෂයෙන්, අධිතාත්විකවාදය හෙවත් අධියථාර්ථවාදය ලෙස නම් කෙරුණු සෞන්දර්ය ව්‍යාපාරය  පුරා හොල්මන් කරමින් පැවතියේද බෝද්ලෙයාගේ ආත්මයයි.

කලාවේ ස්වායත්තතාව හෙවත් ස්වාධිකාරය, නො එසේ නම් කලාවේ ස්වාධීනත්වය යනු බෝද්ලෙයා  විසින් යෝජනා කෙරුණු නූතනවාදී  ප්‍රවේශයේ දිශානතිය විය. කවි පමණක් නොව නූතනවාදය පිළිබඳ ඔහුගේ අදහස් අතිශය තීව්‍ර ඒ්වා විය. ඔහු කාව්‍ය ව්‍යාපාරය හරහා යෝජනා කළේ කලාකරුවකුගේ පරාරෝපණය මෙන්ම, මානව පැවැත්මේ අතාර්කිකත්වය, කාව්‍යමයත්වයේ බුද්ධිවාදය වැනි ගතිකයන් ය. එ මෙන් ම බෝද්ලෙයා සුන්දරත්වය පිළිබඳ එතෙක් තිබූ ඇදැහිල්ලේ සීමා පුපුරුවා හැරියේ ය. එ මෙන් ම අතිශය සෘජු ප්‍රවේශයකින් ලිංගිකත්ව පිළිබඳ වූ නූතනවාදී සෞන්දර්යයන්ගේ කේන්ද්‍රිය ධාරණාවන් ඔහුගේ කවියෙහි අන්තර්ගත විය. 

ඇමෙරිකාව වැනි කාව්‍යක්කරණයේ සක්‍රීය කවි කිවිඳියන් සිටි භූමිකාලාප හරහා නූතනවාදයේ මූලිකාංග පද්ධතීන් කවරාකාර දැයි ස්ථාපිත විනැයි තර්ක කළ හැකි වුව ද, බෝද්ලෙයා තමන් අබියස ඒ් තාක් පැවති කාව්‍යක්කරණ මූලධර්ම, මූලිකාංග, මනෝරටාව නොහොත් පරිපාටීන් සුරැකි සියලුම අනුකාව්‍ය ප්‍රවර්ග අභියෝගයට ලක් කළේ ය. ස්වකීය මනෝභාවයන්ට සමාන්තර වන සේ ස්වකීය කාව්‍යමය පඨිතයේ රිද්මය රඳවා ගැනීම හෙවත් විරිත, වෘත්ත, ඡන්දස ඈ වූ මාත්‍රා රටා කේන්ද්‍රීය කාව්‍ය සුලක්ෂණ, තමන්ගේ අභිවෘද්ධිය අනුව පවත්වා ගැනීමේ අනුලංඝනීය අයිතිය නූතනවාදී කාව්‍ය ව්‍යාපාරය තමන් සතු කරදීමට බෝද්ලෙයා ජීවිත භාවිතයෙන්ම කැප විය. ඒ් අපිරිමිත පරිකල්පන ලෝකයක් වෙත සහෘදයා කැඳවාගන්නට සමත් වූ අතිවිශාල කාව්‍යමය ශ්‍රමයක් ඔස්සේ ය.

ඔහුගේ ජීවන චර්යා පද්ධතිය මෙන්ම කලාව පිළිබඳව වූ අදහස් පද්ධතිය ද අතිශයනි බරපතළ වන්නා සේම විචිත්‍ර ය.  ඔහු නිර්මාණකරුවකු වන්නා සේ ම බරපතළ විචාරයකු ද වන්නේ ය.

‘’අනර්ථය, මලක් වගේ මෘදු වේශයකින් වුණත් එන්න පුළුවන්’’

ඒ් සුන්දරත්වයේ ගැඹුර ගැන ය. සමස්තයක් ලෙස කලාව ගැන ඔහු කියන්නේ කුමක්ද? මේ අසන්න.

‘’කලා කෘතියක්, අතිශය සූක්ෂම ලෙස සැලසුම් කළ  අපරාධයක් බඳු විය යතු යි’’

කවියකු වූ තෙමේම විචාරකයකු වූවා සේ ම ඔහු සකල විචාරයන් එක වැකියකට හකුළයි. මෙලෙසිනි. ‘’කලාව බහිවුණු ගර්භාෂයෙන්මයි විචාරය බිහිවුණේ.’’

ෂාල් බෝද්ලෙයා උපන්නේ 1821 අප්‍රේල් 9වැනි දා ය. ඒ් හරියට ම නැපොලෙඔන් බොනපාත්මිය ගියා දා ය.

වෘත්තීයෛන් ගුරුවරයකුව හිඳ පසුව,  රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කරන ලදි. ෆොන්සුවා බොද්ලෙයා  සහ ඔහුගේ අලුත ගෙනා තරුණ බිරිඳ වූ කැරොලින් දොෆයීට (Caroline Defayis) දාව උපන් ෂාල් බෝද්ලෙයා ඉපැදිණ. තාත්තා මිය යන්නේ ෂාල් සය හැවිරිදි වියේ සිටිය දී ය‍.  ඔහුගේ අම්මාගේ මීළඟ වල්ලභයා වුයේ ද අධිරාජ්‍යවාදී හමුදාවේ උද්යෝගීමත් සටන්කරුවකු ලෙස විශාල චරිතයක් රඟදැක්වූ,  පසුකාලීනව කොන්ස්තන්තිනෝපෝලයේ, ලන්ඩනයේ සහ මැද්රීදයේ ෆ්‍රන්ස නිල නියෝජිත ඇම්බෙසඩර්වරයා ලෙස පත්කරනු ලැබූ ජනරාල් ෂාක් ඔපික් (Jacques  Aupick) ය.  ෂාල්ගේ අධ්‍යාපනයට හෙතෙම  උදව් කළ අතර ෂාල් ලියොන් නගරයේ මුලින්ද, පසුව පැරිස් නගරයේ ද උසස් අධ්‍යපාන කටයුතුවල නිරත විය.  මේ මහා කවියා  කවි ලියන්නට පටන් ගත්තේ පාසල්  සමයේදී ම ය. ඔහු ලියූ දෑ දුටු ඔහුට ඉගැන්වූ ගුරුවරුන්ට අනුව ෂල් යනු පාපී සිතිවිලි ගහන අකලට  පැහිච්ච උඩඟු ළමයෙක් විය. ඔහු පසුකාලීනව කී ලෙස මෙකී වකවානුවේ ඔහුට දැනෙමින් තිබුණේ තමන්ගේ වේදිතයන් අතිශය තීව්‍රලෙස මොලොන්කොලිකභාවය වෙත නැඹුරුවෙමින් පැවති බවත් තමා වේගයෙන් බාහිර සමාජ පැවැත්ම තුළ දරුණු හුදෙකලාවකට ඇද වැටෙමින් පැවැති බවත් ය.

 

 

අධ්‍යාපනයෙහි අවසන් සමයෙහි ඔහු නාමමාත්‍රික නීති ශිෂ්‍යයකු වූ අතර ගෙදර සම්බන්ධකම්වලින් මිදුණු නිදහස් ජීවිතයක් වෙත එළැඹෙන්ට තීන්දු කළේ ය. මේ නිශ්චිත වකාවානුවේදී ම ඔහු පැරීසි අභිසරුලියක වූ සාරා ලා ලුෂෙත් (Sarah la Louchette) සමඟ ප්‍රේමාලිංගන සපිරි උණුසුම් ජීවිතයකට අවතීර්ණ වූ අතර ජීවිතයේ පස්වැනි දශකය සම්පූර්ණ කරන්නට ද පෙරම ජීවිතය හැර යන්නට පවා සිදුවූ සමාජ රෝගයන්ට ඔහු ගොදුරු වූයේ ද මෙම සර්ව නිදහස් ජීවන භාවිතය නිසාම ය. කෙසේවතුදු ඔහුගේ මුල්කාලීන කවි අතර වන අතිශය ප්‍රකට සානුකම්පිත කවි සාරා වෙනුවෙන් ලියැවිණ.

ෂාල් ඇබ්බැහිවෙමින් සිටි සංකීර්ණ ජීවිතයෙන් ඔහු මුදවාලන්නට සිතූ බාප්පා ෂාක් ඔිපික් ඔහු සතුව තිබූ සමාජ බලය උපයෝගී කරගනිමින් නව යොවුන් කවියා ව ඉන්දියාවට යවන්නට තීරණය කළේ ය. 1841 ජූනි මාසයයි. මෙකී පිටුවහල් ගමනේ දී මුරුසි දිවයිනේදී නැවෙන් පැන ගන්නා ඔහු යළි 1842 පෙබරවාරියේ සිය නිජ බිම වන පැරීසියට සේන්දු වූ අතර එහිදී පොතපත, චිත්‍ර මූර්ති ඇසුරේ මෙන්ම දිව ළඳුන්, දිව බොජුන්, නානා මුද්‍රික පාන මතු නොව හෂීස් ද  ඉන් නොනැවතී ඔිපියුම් දක්වා ද බුක්ති විඳිමින් නූතන ලෞකික ජීවිතයට ඇබ්බැහි විය.

ඔහුට ජෙආන් දුවාල් (Jeanne Duval) නම් ‘හයිටි’ මූලයන් සහිත නළඟන මුණගැහෙන්නේ මේ ජීවිතය අතරතුර දී ය. මුල් සමයේ ඔහු, සැඟවුණු ආලිංගනයක්ව පවත්වාගෙන ගිය මෙම සම්බන්ධය, ක්‍රමයෙන් තමන් මත බලපවත්වන තරමට ම, තමන්ගේ ජීවිතය ඇගේ දෝත මත තැබීම දක්වා විකාශය විය. සම්බන්ධයේ ස්වභාවය කවරක් වුව, බෝද්ලෙයා ලියූ දරුණුතම ශෘංගාරමත් පෙම්කවි පිණිස නිර්මාණාවේශය වූයේ ඇය යි; ඒ්වා ලියැවුණේ ඇයට යි; කොටින්ම බෝද්ලෙයාගේ ‘ආදර වස්තුව’ වූයේ ‘කාල වර්ණ වීනස්’ ලෙස ප්‍රකටව සිටි අපූර්ව මුහුලසකින් යුතු මෙකී ෆ්‍රන්ස නළඟනයි.

වසර 20කක පමණ කාලයක් ඇගේ වශීකෘත අඩස්සිය යටතේ ජීවත් වූ නමුත් මේ අතරතුර කාලයේදී ඔහු ඇතැම් කවි වෙනුවෙන් ආදර වස්තුව ලෙස ඇපොලොනී සබතියේ (Apollonie Sabatier) මෙන්ම තව විටෙක කෙටි ප්‍රේම පලහිලව් පැවැත්වූ මරී දෝබෘන් (Marie Daubrun) සිය ලියවිලි තුළ සතපා තැබී ය. මා මේ කරුණු සැකෙවින් හෝ ලියා තබන්නේ ඔහුගේ දිවි පෙවෙතේ දිග පළල පිළිබඳ යම් තරමක හෝ අදහසක් පාඨක සහෘද ඔබ වෙත මුදාහරිනු පිණිස ය.

බරපතළ කවියකු විය යුතුය යන බරපතළ හැඟීම බෝද්ලෙයා තුළ පහළ වූයේ ඉන්දියාවට නොගොසින් යළි පැරිසියාට ආ විගස ය. ඔහුගේ මහා කාව්‍යය මැදිහත්වීම ලෙස සැලකෙන ‘Les Fleurs du mal  - ලෙ ෆ්ල දු මල්’ කෘතිය පළ කෙරෙන 1857 දක්වා කාලය තුළ ඔහු ගත කළේ කවියෙහි ම මත්වෙමිනි. 19 වැනි සියවසේ වඩාත්ම බලපෑම් සහගත යුරෝපීය කවි සමුච්ඡය ලෙස අවිවාදිතව අඛණ්ඩව තවදුරටත් වරනැඟෙන, එ මෙන් ම, සමස්ත යුරෝපීය මෙන්ම ලෝක ව්‍යාප්ත  නූතනවාදී කවියට මෙන්ම පසුකාලීන අතිමහත් කවීනට නිර්මාණ ආවේශයක් වූ මෙම කෘතිය ගැන වෙනම රචනාවක් කියවන්නට,  මීළඟ කලාපයකදී ඔබට හැකිවනු ඇත.

 ‘ලෙ ෆ්ල දු මල්’ පැමිණෙන්නට පෙර 1845දී  “Les Lesbiennes - ලෙ ලෙස්බියෙන්” (ලෙස්බියානියන්)  සහ  “Les Limbes - ලෙ ලම්බ්” (ලිම්බෝව) නම් බරපතළ නිර්මාණ පළකරමින් තමන්ගේ කාව්‍ය වපසරිය තහවුරු කර ගත්තේ ය.  එසේම  ‘ෆ්ල දු මල්’ නම් අසමසම කෘතියෙන් ඉක්බිති ‘පොස් පොයෙම්‍’ හෙවත් ගද්‍යමය කාව්‍යය, වෙත වැඩි බරක් තැබූ බොද්ලෙයා ඒ් වෙනුවෙන් බරපතළ ශ්‍රමයක් දැරී ය.  

ගද්‍යයෙන් ලියූ නොපවතී යැයි විය පිළිබඳව වන සංවාද මණ්ඩපවල ප්‍රශ්න කෙරෙන බැවින් ‘පොස් පොයෙම්’ නොහොත් නූතනවාදී  ගද්‍යමය කවියක් වන බෝද්ලියාගේ සුප්‍රකට ‘Enivrez-vous - ඔනිව්රේ වූ’ (වෙරි වෙන්න) කවිය සිංහලට නඟා මෙහි තබමි.  මෙය, මුලින්  ‘Le Spleen de Paris - Petits poèmes en prose  - 'ල ස්ප්ලීන් ද පරී - පෙතිත් යොයෙම් ඔන් පෝස්’ (නුරුස්නා පැරීසිය - ගද්‍යමය ‘කවි පොඩි’) යන කාව්‍ය සමුච්ඡය තුළ අඩංගු වූවකි. කවිය මෙයාකාර ය.

හැම නිතර වෙරිමතින් සිටිය යුතු.‍  වැදගත් ම අතශ්‍යවශ්‍යම කරුණ, එපමණකි. 

උරබාහු බිඳදමා බිඳ පොළොව මත ඇදදමන ගතව යන කාලයේ පිළිකුල්ම

 භයංකර හිසරදය නොදැනෙන්න නම් තිර ලෙසම අඛණ්ඩව  වෙරිමතින් සිටිය යුතු.

නමුත් ඒ් මත්වීම කුමකින් ද? මුද්‍රිකපානයෙන්, කාව්‍යයෙන් හෝ සදාචරයෙන් ඔබ කැමති දෙයකින්. කැමැත්ත තීන්දුව ඔබේ ය. නමුත් ඔබ වෙරි විය යුතු.

ඇතැම් විට, මන්දිරයක ද්වාරමණ්ඩලයෙහි, ඇළ ඉවුරක තණ බිස්සක, දුක්මුසු හුදෙකලාවෙහි ඇලුණු ඔබේම කුටියෙහි, ඔබ අවදිවන කල්හි , ඔබ අඩමතින් හෝ වෙරි හිඳී සිටින්නට පිළිවන.

පවනැල්ලෙන් අසන්න, දිය රළින්, තාරුකාවෙන්, විහඟුන්ගෙන්, හෝරා යන්ත්‍රයෙන් අසන්න. පලායන සියල්ලෙන්,  කෙඳරිගානා, පෙරළෙනා, ගී ගයනා, තෙපලනා සියල්ලෙන් අසන්න, වේලාව;

සුළඟ ද, දියරළ ද, තාරුකාව ද , විහඟ ද, හෝරා යන්ත්‍රය‍ ද පිළිවදන් දෙනු ඇත. ‘මේ වෙරිවිය යුතු ම වේලාවයි’’

ගතව යන කාලයට දිවිපුදන වහල්ලුන් නොවිය යුතු. වෙරිවෙන්න. මත්වෙන්න‍, අඛණ්ඩව මත්වෙන්න. සුරාවෙන්, සුචරිතෙන් , කවියෙන්, කුමක් හෝ ඔබ කැමති දෙයකින් වෙරි වෙන්න.

දශක ගණනාවක් පුරා අඛණ්ඩව සිදුවුණු කාර්මීකරණයත්, නාගරීකරණයත් විනිවිදිමින් මතුවන නූතනකරණය නොහොත් නූතන සමාජය තුළ කාලය විසින් අත්පත් කර දෙන අති භයංකරවූත්, පිළිකුල්මසහගතවූත්, අත්දැකීම්වලට සවිඥානකව නොසිටින්නට නම් මත්වීම අත්‍යවශ්‍ය බව ඔහු යෝජනා කරයි. එය නිශ්චිතවම මත්වීමට භෞතිවකව කැඳවන්නේ යැයි අධිනිශ්චි ද මුද්‍රිකපානයෙන් පමණක් නොවේ. තමන් කැමති ඔිනෑම මළදානයක් විය හැකි ය. එය කවිය මතු නොව සදාචරාය හෝ විය හැකි ය. කෙතරම් කාව්‍යමය උත්ප්‍රාසයක් ද? මන්දයත් ගතවෙමින් පැවතියේ සිහින නගරයක් ඉදිකිරීම වෙනුවෙන් පැවති යාන්ත්‍රණය තුළ තමනුත් නොදැනීම මරණය අත්පත් කර දෙන කාලයකි. උරහිස් බිඳ දමා පොළොව මත ඇද දමනවා යන්නෙන් ඔහු කාව්‍යමය ලෙස පරිකල්පනය කරන්නේ තමන්ද නොදන්නා මොහොතක මරණය පවා අත්පත් විය හැකි මොහොතක් උදා වී ඇති බව ය. ඔහු පුරෝකතනය කළ දෙය භෞතිකවම භුක්ති විඳි කවියෙකි.

කප්පරක් නිවාස, හෝටල කාමර, ලැගුම්හල් ඈ වූ තැන් තැන්වල බොහිමියානු දිවිපෙවෙතක් ගත කළ බෝද්ලෙයා,  පැරීසි ‘නූතන ජීවිතයේ’ ආර්ථිකමය වශයෙන් නට්ටංව,  1864 බෙල්ජියමේ බ්‍රෙසල්ස් නුවරට සම්ප්‍රාප්තවන්නේ තමන්ගේ සියලුම නිර්මාණ අඩංගු වන, එකතුකළ කෘතියක් පළකරවා ගැනීමේ පරමාර්ථයෙනි; ප්‍රකාශයකු සොයා ගනු පිණිස ය. ඔහුගේ උත්සාහයන් දිගින් දිගටම ව්‍යර්ථ වන අතර 1866 ගිම්හාන සෘතුවේදී බෙල්ජියමේ නමූර් නගරයේ දේවස්ථානයක් තුළ ඇද වැටී අාඝාතයට මෙන්ම ගොළුභාවයට පත්වන බෝද්ලෙයා, තමන් තුළ නිධන්ගතව තිබි සිපිලිස් රෝගයේ ආනුභාවයට මුළුමනින්ම යටත්වන්නට සිදු වී, 46හැවිරිදි වියේදී පැරීසියේදී මිය යනතුරුම මෙකී සකළ ශාරීරික අබග්ගයෙන්  ගොඩ ආයේම නැත.

මිය යනවිටත් පළ කර නොතිබුණු නිර්මාණ රාශියක් මුද්‍රණය කෙරුණේ ඔහුගේ මරණින් මතුව ය. මුද්‍රණය නොකෙරුණු අත්පිටපත් තවමත් තිබේ. නූතනවාදී කාව්‍යය ක්‍රියාන්විතයේ අනුශාංගික බරපතළ ප්‍රවර්ග වූ සංකේතවාදී කාව්‍ය ව්‍යාපාරයේ මෙන්ම අධියථාර්ථවාදයේ පෙළහර පෑ කවීහු, බෝද්ලෙයාගේ මළගම දා තමන් මේ මහා කවියාගෙන් අනුප්‍රාණය ලත් ඔහුගේ අනුගාමිකයන් බව සහතික කළහ.

‘’හැම සුන්දරත්වයක් ඇතුළෙම තියෙන අත්‍යවශය රසකාරකය තමයි අමුතුබව’’ යැයි පැවසූ මේ මහා කවියාගේ මළගම පවා අමුතුබවින් අනූන විය.

‘’නූනත්වය කියන්නෙ අස්ථිර අනියත සේම අනිත්‍ය දෙයක්. එහි අඩක් කලාව. අනිත් අඩ සදාතනික තිරසාර පැවැත්මක්’’ යන්න පැවසූ බොද්ලෙයා එය භෞතිකවම ඔප්පු කරමින් නූතන මළගමක අසිරිය විඳගන්නට ඉඩදෙමින්ම නික්ම ගියේ ය.‘’අනර්ථය සිද්ධ වෙන්නෙ නිරුත්සාහකව, ඉබේම, දෛවයේ ක්‍රියාන්විතය තමයි ඒ්ක. සාධූත්වය හැම නිතරම කලාවේ නිෂ්පාදනයක්.‘’ ඔහුගේ ජීවන උපුටන ඔහුගේ ම අවසාන මොහොත දක්වාද, අද දක්වා ද සාහිත්‍ය යථාර්ථය සේම සමාජ යථාර්ථය සේ ද පවතී.

’’කලාව යනු කුමක්ද? වෛශ්‍යාකර්මයයි.’’ ඔහු නිර්භයව ලිවී ය. එ පමණක් ද නොව, ඔහු මිය යන තුරුම අඛණ්ඩව, සිපිලිස් රෝගයෙන් පරිපීඩිතව උන්නේ ය. මා කලින් ලීවා සේ ම ෂල් බොද්ලෙයා යනු මෙකී චර්යා පද්ධතියේ සේම , මෙකී අදහස් පද්ධතියේ ඓක්‍යයයි.



අදහස් (0)

නූතන තුරු හිස පිපී අකලට පරවුණු කවි කුසුම ’’බෝද්ලෙයා’’

ඔබේ අදහස් එවන්න

French Corner

ගිලටීනයට බිලිවූ පුරෝගාමී ෆ්‍රන්ස කවියා
2024 ජුලි මස 23 133 0

ෆ්‍රන්ස විප්ලව සමයේ ගිලටීනගත කොට මරා දැමුණු ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier) යනු, කොටින්ම, අද දක්වා ෆ්‍රන්ස කාව්‍ය ඉතිහාසයේ අතිශය අනන්‍ය, විශිෂ්ට මෙන්ම අද්විතී


පැරීසියෙන් හමා ආ ‘අනර්ථයේ මල්’ සුවඳ
2024 ජුනි මස 11 105 0

අටසිය පනස් හත ෆ්‍රන්ස සාහිත්‍යයට මෙන් ම ලෝක සාහිත්‍යයට අතිශය වැදගත් වසරක් වන හේතු දෙකක් ඇත. පළමුවැන්න තාත්විකවාදී සාහිත්‍යයේ මහා පරාවර්ථනය වූ ‘මදාම්


නූතන තුරු හිස පිපී අකලට පරවුණු කවි කුසුම ’’බෝද්ලෙයා’’
2024 ජුනි මස 04 153 0

‘’මට අනුව, ගරු කටයුතු සත්තාවන් තුනයි පවතින්නෙ. ඒ් තමයි පූජකයා‍. හේවායා සහ කවියා. ඒ් මොකටද? හඟින්න, මරන්න සහ මවන්න.’’


ලෙයෝපෝල්දින්ගේ වියෝවෙන් උපන් වෛතාලයේ කවිය
2024 මැයි මස 28 119 1

වික්තෝරිඋගෝගේ කාව්‍යම පෞරුෂය ගැන මා ලියූ රචනාව කියවූ බොහෝ දෙනකු මෙම මහා කවියගේ කවියක් සිංහලෙන් කියැවීමේ වුවමනාව පළ කළ බැවින් ඔහුගේ වඩාලාත් ප්‍රකට ම ක


මනුතාපයේ ගිලී (නො) ගිය මහා කවියා - වික්ටර් හියුගෝ
2024 මැයි මස 07 255 2

වික්තොර් ඉඋගෝ නොහොත් ඉංග්‍රීසි උච්ඡාරණයට අනුව වික්ටර් හියුගෝ ලෙසින් නම් කරන ලද මහා ෆ්‍රන්ස පෞරුෂය සිංහලෙන් සාහිත්‍ය කලාව රසවිඳින ශ්‍රී ලාංකික හදවත්


ෆ්ලොබෙයාර්ගේ ආදරවන්ත සාරාගී කිවිලියගේ ඉරණම
2024 අප්‍රේල් මස 23 342 0

’’හදවත් වලින් ආදරය කරන්නට කලියෙන් ම දෙදෙනෙක් ආදරයෙන් බැඳෙන විදිහක් තියෙනවා. ඒ් තමයි පරිකල්පනය.’’ යැයි ලියූ බරපතළ ෆ්‍රන්ස කිවිඳිය ලුයිස් කොලේ ගැන ඔබ දැ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site