IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පැරීසියෙන් හමා ආ ‘අනර්ථයේ මල්’ සුවඳ

French Corner -10

 

 

 


 

අටසිය පනස් හත ෆ්‍රන්ස සාහිත්‍යයට මෙන් ම ලෝක සාහිත්‍යයට අතිශය වැදගත් වසරක් වන හේතු දෙකක් ඇත. පළමුවැන්න තාත්විකවාදී සාහිත්‍යයේ මහා පරාවර්ථනය වූ ‘මදාම් බොවාරි’ කැටුව  ගුස්ටාව්  ෆ්ලොබෙයා සම්ප්‍රාප්ත වීමයි. එමා බොවාරිගේ ජීවන චාරිකාව සිංහලෙන් කියවූ සාහිත්‍ය සහෘද ප්‍රජාව මෙම සංසිද්ධිය කරුණක් ලෙස දැන සිටිනවා වන්නට පිළිවන.

නමුත් නූතනවාදයේ ගැඹුරුතර සම්ප්‍රාප්තිය සලකුණු කරමින් Charles Baudelaire - ෂාල් බෝද්ලෙයා  Les Fleurs du Mal  - ලෙ ෆලර් දු මල් (අනර්ථයේ මල්) රැගෙන බර අඩි තියමින් පැමිණි අයුරු බහුතර සිංහල සහෘද ප්‍රජාව එතරමින් ම දැන නො ඉන්නට ඉඩ ඇත. අනර්ථයේ මල් ගැනත්, ඒ මල් රැගෙන ආ නූතනවාදෙයේ මහා බලකණුවක් වන් ෆ්‍රන්ස කවියා ගැනත් අප ඉකුත් කලාපයේ ගෙනහැර පෑයේ එබැවිනි.  

ෆ්ලොබෙයාගේ සහ බෝද්ලෙයාගේ කෘති දෙකම සම්මත සදාචාර විශ්වය තුළ අශ්ලීලත්වය පිළිබඳ සාහිත්‍යමය පිරික්සුම් ය. එමා බොවාරි නවකතාවක හැඩතල ගනිමින්  කිසියම් ලිහිල් සාහිත්‍යයික පඨිතයක රැඳවුණු බැවින් එය විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙමින් ලෝකය පුරා වඩාත් සංසරණය වීම සහේතුක ය.

බෝද්ලෙයාගේ ‘අශිෂ්ට’ කෘතිය ගැන පොදුවේ අධිනිශ්චය වුණු අදහස මුලින් ලිව්ව යුතු ය.  ෆ්‍රන්ස කවිය ගැඹුරින් හදාරන බුද්ධිමය සමාජය මෙකී ‘මල් සුවඳ’ විඳ ගන්නා ආකාර ය කිව්ව යුතු ය. ඔහු විසින්  මේ හරහා සිද්ධ කෙරුණේ, ‘කාව්‍යමයත්වය’ යැයි සැලකිය හැකි, එහෙත් මා ‘කාව්‍යස්මිතාව’ යැයි හඳුන්වන්නට කැමති ‘’කවියක එහිම ආත්මීයත්වය’’, සංකීර්ණ සංවේදීතාවක් සහිත නූතනත්ව තේමාවන් කාව්‍යමය තාක්ෂණයේ ප්‍රතිභානයෙන්, සම්භාව්‍ය ව්‍යුහයක රඳවා සාහිත්‍ය ලෝකයට පිරිනෑමීම යි.

ෆ්‍රන්ස බසින්  ‘Mal - මල්’ යනු සිංහලෙන් මල් නොවේ,  අනර්ථයයි. නො එසේ නම් ඊට සමාන්තර තේරුම් ඇති දුෂ්ටත්වයයි; නපුර යි; අයහපත යි. අකුසලය යි. කොටින් ම ඒ වනාහී පාපය යි. කාව්‍යකරණයේ අැටුවන් බැස තිබි සම්භාව්‍යවාදී ප්‍රවණතාවන් හෝ රොමාන්තිකවාදී ප්‍රවණතාවන් තුළ විකසිත වන කුසුම් වහනය කරන හැඟුම්කාරක සමඟ අනර්ථය හෝ පාපය ගෙන දෙන හැඟුම්කාරකය බැලූ බැල්මට ම පෑහෙන්නේ නැත. යා දෙක නොරත රත සමඟ පෑහීමක් නැත බඳු ය. මෙකී ශීර්ෂකරණය ම,  පැවැත්ම සහ සෞන්දර්ය පිළිබඳ ප්‍රතිවිරෝධයකි. මෙම මහා ෆ්‍රන්ස කවියා - බෝද්ලෙයා - පොත අරින්නට පෙරම ධ්වනිත කරන්නේ ආගමිකත්වය සහ අධ්‍යාත්මිකත්වය සාහිත්‍යයික සහ දාර්ශනික ගැඹුරකින් ස්පර්ශ කෙරෙන ප්‍රබන්ධ ලෝකයකට ඇතුළු වන්නට කරන ඇරියුමක් බඳු හැඟුමකි.

සුන්දරත්වය සහ නපුර තනි රූපකයකට ගෙන ඒම හරහා බෝද්ලෙයා සිදුකරන්නේ  මතුපිට සුන්දරයත්වය විනිවිදිමින් එහි පතුලත වන ගූඪ, අඳුරු දුෂ්ටකම සහ අප්‍රසන්නකම සංවාදයට ගැනීම ය. සාහිත්‍ය නූතනවාදය තුළ නො එසේ නම් මෙම කාව්‍ය සමුච්ඡයේ ඔහු අනුදත් කාව්‍ය නූතනත්වය තුළ ඔහු ගවේෂණය කරන්නේ නූතත්වය විසින් හිමිකර දෙනු ලබන මනුෂ්‍ය ජීවිතය උත්ප්‍රාසාත්මකව විනිවිදිීමකි.

කෘතියේ ප්‍රකටම කවි වන ‘La Chevelure -  ලා ෂවර්ලර්’ (මුහුළස)

‘Hymne à la Beauté - ඉම් ආ ලා බිවුතේ’ (ගීතිකාවෙන් සුන්දරත්වය වෙත),‘Harmonie du Soir - ආමොනි දු සුවා’ (හැන්දෑ සංගතිය), ‘‘L’Invitation au Voyage - ලංවිටාස්යොං ඕ වොයාජ්’ ( සැරිසර ඇරියුම) බඳු ගැඹුරු නිර්මාණ එන්නේ ‘Spleen et Idéal - ස්ප්ලීන් එ ඊඩියාල් ‘(දොම්නස සහ පරමාදර්ශය)  ලෙස හඳුන්වා ඇති කොටසේ ය.

එම කොටසෙහි ම එන ‘Tableaux Parisiens - තබ්ලෝ පැරීසියෙන්’ (පැරිසියානු සිත්තම)  මුළුමනින්ම ජෝජ්-ඔජේන් උස්මාන්ගේ (Georges-Eugène Haussmann) පැරිසියේ නාගරිකරණ ව්‍යාපෘතිය වෙත ඔහු  තුළ වූ ප්‍රතිරෝධය නිර්භීතව හා නොවලහා ප්‍රකාශමාන වීමකි. එය සංක්‍රාන්තිකර සමයෙකි. සියල්ල කඩා බිඳ දමා, සුන්බුන් ගොඩ ගසා තබා, යළි ගොඩ නැඟෙන අවදියකි. ජීවිත වෙනුවට පෙනෙන්ට තිබුණෙ ඉදිවෙමින් පැවති  ‘බුල්වා’ නම් මහා වීදි, මං මාවත්,  ගොඩනැගිලි සහ ඒවා තැනීම වෙනුවෙන් තැන් තැන්වල ගොඩ ගැසූ පතරංග උපකරණ සහ ගොඩනැගිලි අමු ද්‍රවයයන් ය. ඒ වනාහී  අනාගතය විකසිත කරන්නට නියමිත විස්මිත පැරිසිය නොහොත්  ‘ප්‍රේමයේ නගරය’, ‘නොනිදන නගරය’, ‘ආලෝකයේ නගරය’ සිහිනයක් ලෙස පමණක් පරිකල්පනය කළ හැකි කැත කුණු මඩ වගුරු ගහන භූ චිත්‍රයකි.

‘අනර්ථයේ මල්’ කෘතියේ එන ‘Le Cygne - ලු සීඥය’  හෙවත් ‘හංසයා’ නම් කව වනාහී පැවති පරිසර පද්ධතිය මුළුමනින්ම විනාශ කරදැමීම බරපතළ ලෙස චිත්‍රනය කළ,  මහා හඬ නැඟීමක් බඳු කවියකි. තමන්ගේ ම භූමිය තුළ හංසායාට පිටුවහලෙක් වන්නට සිදුවීම හරහා බොද්ලෙයා සංකේතනය කරනුයේ,  භූමිය අන්සතුවීම නිසා පරාරෝපිතයකු වීමට සිදුවුණ පැරිසියානු පීඩිත අධ්‍යාත්මයයි. දියෙන් කිරි වෙන් කළ හැකි තරම් ඥානයක් සහිත හංසයා මතුවෙන්නේ දිය තටාකයකින් නොවේ; දුහුවිල්ලේ ඇතිල්ලෙමිනි. ස්වභාවිකත්වය වෙනුවට පවතින්නේ නාගරීකරණයේ නූතන අපවිත්‍රතාවයි.

හංසයා සඳහා වන වචනයේ ෆ්‍රන්ස උච්ඡාරණය මුළුමනින්ම පාහේ ‘නිමිත්ත’ හෝ ‘සංඥාව’ හඟවන ෆ්‍රන්ස වචනයේ උච්ඡාරණයට සමාන ය. මෙකී අර්ථ ඝට්ටනය බෝද්ලෙයාගේ අතිශය දැනුවත් ප්‍රවේශයකි.

ඔහු සියලු කවි හරහා ගොඩනඟන්නේ නූතනත්වය හිමිකර දෙන ආත්මීය පරිහානිය; ඉන්ද්‍රියයන් පිනවීම කේන්ද්‍රකරගත් සල්ලාලී වියවුල  නොහෝ විෂයාසක්තභාවය, මත්වීම කේන්ද්‍රකරගත් විසම චක්‍රය ඈ වූ නූතනත්වය විසින් හිමි කර දෙනු ලැබූ මානව ජීවිතයේ අති සංකීර්ණ අත්දැකීම් සමුදායයයි.  කොටින් ම මෙම බරපතළ කෘතිය හරහා බෝදෙලියාගේ නූතනාවදී කවිය ගවේෂණයෙහි යෙදෙන්නේ සුන්දරත්වය සහ අසුන්දත්වය අතර වන ආතතියයි.

බෝද්ලෙයා,  ‘මානභංග අනුරාගය’, ‘සාතන්වාදය’, මෙන්ම කලාවේශය පිණිස මත්ද්‍රව්‍ය භාවිතය සමාජය තුළ සාමාන්‍යකරණය කිරීමට මෙන්ම වඩාත් ප්‍රකට කිරීමට සවිඥානිකව කටයුතු කළ කවියෙකි.

මෙකී නූතනවාදී කෘතියේ ඇතැම් කවි සෘජුවම මෙම තේමාත්මක කලාප ආවරණය වෙනුවෙන් යොදාගෙන ඇත. ඔහුගේ පුරෝගාමීත්වයෙන් මෙබඳු ‘පූජනයන්’  ඇති නොවුණ ද ඒවා, ජාත්‍යන්තර සාහිත්‍යයික කතිකාවට ඈඳාලීම හරහා   බරපතළ ලෙස නූතනවාදී බුද්ධිමය වපසරිය තුළ සංකල්පීය හා භාෂාමය මුද්‍රාවක් තැබීමට බොද්ලයාට හැකිවිය. නමුත් මේ සියල්ල සිදුවූයේ පසුකාලීනව ය. ක්‍රමයෙනි; ක්‍රම ක්‍රමයෙනි. ඔහුගේ දුක්ඛදායක මරණයෙන් ඉක්බිතිව ය. ඔහුගේ කෙටිකාලීන දිවිසැරිය තුළ ඔහු කියවා ගත්තවුන් ඉතා අල්ප වූ අතර ඔහු තේරුම්ගත්තවුන් ඒ කියවූවන් අතරිනුත් ඉතාමත්ම අල්පයක් විය.

 කෘතියෙහි ගැඹුර මෙයාකාරව නූතනත්වය දෙස විවේචනශීලිව බැලූවක් ලෙස අධිනිශ්චය වූ අතර ඒ අනුව ෆ්‍රන්ස සන්දර්භය තුළ මෙන්ම නූතනත්වය තුළ මේ සියල්ල පිළිබඳ සංවාද කරන්නට හැකි ඉඩකඩක් පැවැතිණ.

නමුත්, ‘අනර්ථයේ මල්. හරහා සැබැවින්ම බෝද්ලෙයා යෝජනා කළේ එය ද?

කෘතිය විසින් යෝජනා කෙරන්නේ අප්‍රසන්නභාවය නොහොත් අනර්ථය ගැබ්කරගත් නූතනත්ව ව්‍යාපෘතියේ සුන්දරත්වය විඳගැනීම හෙවත් පැවැත්ම එයාකාරව බාර ගැනීමට යෝජනා කිරීම යැයි කෘතිය වඩාත් සමීපතමව කියවන්නට උත්සාහ කළ විචාරයකයන්ගේ මතයයි. ඒ වනාහි දුෂ්ටකමේ සෞන්දර්යය නොවේද?

19වැනි සියවසේ පහළ වූ බලපෑම් සහගතම ෆ්‍රන්ස කවියා බොද්ලෙයා බවත් නූතනවාදයේ අතිවිශාල ආනුභාවයක් සහිත කාව්‍ය අග්‍රකෘතිය ‘ලෙ ෆ්ල දු මල්’ බවත් පිළිගැනීම ඉතිහාසයට සාක්ෂි දැරීමකි.

මෙම අග්‍ර කෘතියෙහි එන ගද්‍ය කාව්‍යාවලියේ ‘’ Les paradis artificiels - ලෙ පරාදී ආතිෆිසියෙල්’’ (කෘත්‍රීමකර පරාදීස) කවියේ දී බෝද්ලෙයා මෙසේ කියයි.

‘’කිසියම් මනුෂ්‍යයෙක් තමන් කෙරෙහි බලපවත්නා ජීවන කොන්දේසි ඒත්තු නොගන්නේ නම් ඔහු ස්වකීය ආත්මය විකුණා දමයි’’



අදහස් (0)

පැරීසියෙන් හමා ආ ‘අනර්ථයේ මල්’ සුවඳ

ඔබේ අදහස් එවන්න

French Corner

ගිලටීනයට බිලිවූ පුරෝගාමී ෆ්‍රන්ස කවියා
2024 ජුලි මස 23 133 0

ෆ්‍රන්ස විප්ලව සමයේ ගිලටීනගත කොට මරා දැමුණු ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier) යනු, කොටින්ම, අද දක්වා ෆ්‍රන්ස කාව්‍ය ඉතිහාසයේ අතිශය අනන්‍ය, විශිෂ්ට මෙන්ම අද්විතී


පැරීසියෙන් හමා ආ ‘අනර්ථයේ මල්’ සුවඳ
2024 ජුනි මස 11 105 0

අටසිය පනස් හත ෆ්‍රන්ස සාහිත්‍යයට මෙන් ම ලෝක සාහිත්‍යයට අතිශය වැදගත් වසරක් වන හේතු දෙකක් ඇත. පළමුවැන්න තාත්විකවාදී සාහිත්‍යයේ මහා පරාවර්ථනය වූ ‘මදාම්


නූතන තුරු හිස පිපී අකලට පරවුණු කවි කුසුම ’’බෝද්ලෙයා’’
2024 ජුනි මස 04 153 0

‘’මට අනුව, ගරු කටයුතු සත්තාවන් තුනයි පවතින්නෙ. ඒ් තමයි පූජකයා‍. හේවායා සහ කවියා. ඒ් මොකටද? හඟින්න, මරන්න සහ මවන්න.’’


ලෙයෝපෝල්දින්ගේ වියෝවෙන් උපන් වෛතාලයේ කවිය
2024 මැයි මස 28 119 1

වික්තෝරිඋගෝගේ කාව්‍යම පෞරුෂය ගැන මා ලියූ රචනාව කියවූ බොහෝ දෙනකු මෙම මහා කවියගේ කවියක් සිංහලෙන් කියැවීමේ වුවමනාව පළ කළ බැවින් ඔහුගේ වඩාලාත් ප්‍රකට ම ක


මනුතාපයේ ගිලී (නො) ගිය මහා කවියා - වික්ටර් හියුගෝ
2024 මැයි මස 07 255 2

වික්තොර් ඉඋගෝ නොහොත් ඉංග්‍රීසි උච්ඡාරණයට අනුව වික්ටර් හියුගෝ ලෙසින් නම් කරන ලද මහා ෆ්‍රන්ස පෞරුෂය සිංහලෙන් සාහිත්‍ය කලාව රසවිඳින ශ්‍රී ලාංකික හදවත්


ෆ්ලොබෙයාර්ගේ ආදරවන්ත සාරාගී කිවිලියගේ ඉරණම
2024 අප්‍රේල් මස 23 342 0

’’හදවත් වලින් ආදරය කරන්නට කලියෙන් ම දෙදෙනෙක් ආදරයෙන් බැඳෙන විදිහක් තියෙනවා. ඒ් තමයි පරිකල්පනය.’’ යැයි ලියූ බරපතළ ෆ්‍රන්ස කිවිඳිය ලුයිස් කොලේ ගැන ඔබ දැ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site