"හදවත් වලින් ආදරය කරන්නට කලියෙන් ම දෙදෙනෙක් ආදරයෙන් බැඳෙන විදිහක් තියෙනවා. ඒ් තමයි පරිකල්පනය." යැයි ලියූ බරපතළ ෆ්‍රන්ස කිවිඳිය ලුයිස් කොලේ ගැන ඔබ දැන සිටියා ද ?
කොටින්ම, ලුයිස් කොලේ නම් නාමධාරී ෆ්‍රන්ස ස්ත්‍රීය ප්‍රකටව සිටින්නේ නොහොත් අප යන්තමින් හෝ ඇය ගැන දැනගෙන සිටියේ එමා බොවාරි නොහොත් මදාම් බොවාරි, ප්‍රබන්ධ ලෝකයට දායාද කළ ගුස්තාව් ෆ්ලොබෙයාර්ගේ ආදරවන්තිය නිසා බව ඇත්තකි. අට අවුරුද්දක් පුරා පැතිරුණු සුළි කුණාටුවක් බඳු ඒ ප්‍රේමය තුළ ඇත්තේ මදාම් බොවාරි නම් රමණීය ප්‍රබන්ධය සාහිත්‍ය සමාජයට උරුම වීමේ පදනම යි. මදාම් බොවාරි චරිතය පරිකල්පනය කරනු පිණිස ෆ්ලොබෙයාර්ට 'පරිකල්පන ආරම්මණය' වූයේද නිර්මාණ ආවේශය වූයේද ලුයිස් කොලේ නම් වන 'කිවිඳිය' බව ඉතිහාසය සාක්ෂි දරයි. ලුයිස් නැතත් ෆ්ලොබෙර්යා අතින් බොවාරි ලියවෙන්නට ඉඩ තිබිණ. නමුත් බොහෝවිට ඒ අප අද අත්දකින බොවාරි චරිතය නොවන්නට ඉඩ තිබිණ.
ගුස්ටාව් සහ ලුයීස් අතර පැවතියේ ශාරීරික සංචාරයන් පදනම් කරගත් සරල සහ සිල්ලර ප්‍රේමාලිංගනයක් නොවේ. දෙදෙනා උන්නේ දෙතැනක ය. ඉඳහිට භෞතිකව හමුවූ දෙදෙනා නිතිපතා එකිනෙකා හමුවූයේ බරපතළ ලියමන් මගිනි. ප්‍රේම ලියමන් ලෙස පහසුවෙන් නම් කරන්නට හැකි වෙතත්, ඒවා ඉන් එහා ගිය සංස්කෘතික වස්තූන් ය. මෙකී ප්‍රේම ලියමන්හි ෆ්ලොබෙයාර්ගේ පාර්ශ්වය නියෝජනය කරන ප්‍රේම ලියමන් 275 මහා ලේඛකයා ඇයට ලියූ 'එකතු කළ ලියමන්' කෘතියෙහි අන්තර්ගතව ඇත. මෙම ලියමන් ප්‍රේම සංදේශ සාහිත්‍ය ප්‍රවර්ගයට අයත් මිණිකැට පමණක් නොව බරපතළ ලේඛකයකුගේ ආඛ්‍යාන රීතිය සොයා පාදා ගත හැකි ගැඹුරු ලියැවිලිය. ලුයිස්ට ලියූ පෙම් හසුන් තුළ ඔහු තමාගේ ප්‍රබන්ධ ලියැවිලි තුළ එන සෞන්දර්ය ප්‍රවේශය, පාත්‍ර වර්ගයා නිරූපණය කිරීමේ සංකීර්ණකම, නිර්මාණවේදයේ අර්බුද ගැන පවා ලියයි.
නමුත් ප්‍රශ්නය පටන් ගන්නේ ද එතැනින් ය. එසේ නම් මදාම් බොවාරිට ආරම්මණය වූ ෆ්ලොබෙයාර්ගේ 'ආදර වස්තුව' ඔහුට ලියූ ලියමන් කවරාකාර වන්නේ ද? ඒ ලියමන් ආගිය අතක් නැත. ඒ ඉතිහාසය මකා දමනු පිණිස සිද්ධ කළ සවිඥානික ක්‍රියාවකි. එය ෆොබෙයාර්ගේ ලේලියක විසින් ගිනි තැබෙන්නට ඇතැයි ඇතැම් තැනක කියැවෙයි. නමුත්, පසුකාලීනව ලුයිස් කොලේගේ පුරාවෘත්තික ස්ත්‍රීත්වය ගැන කැණීම් සිද්ධ කළ සාහිත්‍ය කලා පුරා විද්‍යාඥයන් නොහොත් ඉතිහාසඥයන් මතු කරන තර්කය වන්නේ ෆ්ලොබෙයා විසින්ම සිය ආදරවන්තියගේ ලියමන් ඉතිහාසයෙන් අකාමකා දැමෙන්නට ඇති බවයි.
නූතනවාදී ෆ්‍රන්ස සාහිත්‍යයේ එමා බොවාරි අධිනිශ්චය වීම නිසා ඊට පාදක වූ ලුයිස් කොලේ ඉතිහාසය තුළ සැඟව යාම හෝ නිසි තැන ඇයට අත්පත් නොවීම කවර සාධාරණයක් ගෙන දේද? කොටින්ම මේ ප්‍රේමාන්දරය සේම, ඇගේ ජීවන පුවත මත තබා වරනඟන තවත් ප්‍රේම හුටපට නිසා ඇය බරපතළ ෆ්‍රන්ස කිවිඳියක බව හැමෝටම අමතක වී යයි.
කොලේ යනු සම්මානනීය කිවිඳියකි. ස්ත්‍රීවාදී ජීවන ප්‍රවේශයේ පුරෝගාමිනියකි. ලිවීම විසින් ජීවිතය නඩත්තු කළ හැකි බව භාවිතය ඔප්පු කළ දහිරිය සම්පන්න ස්ත්‍රියකි. ගවේශනශීලි ප්‍රවේශයකින් සමාජ ප්‍රශ්න ග්‍රහණය කරගත් මාධ්‍යවේදිනියක් පමණක් ද නොවේ, ඇය, මාක්ස්වාදී සමාජ දේශපාලන දර්ශනය එනමින් භාවිතයට පැමිණෙන්නට පෙරම එහි ගුණය භාවිතයෙන් ඔප්පු කළ බරපතළ දේශපාලන ජීවියෙකි.
සැබැවින් ම ඇය කවුද?
ඇය උපන්නේ 1810දී, දකුණුදිග ෆ්‍රන්සයේ ‘එක්සොන් පොවෝන්ස්’ (Aix en Provence) නම් මධ්‍යධරණී මුහුදට යාබද මනරම් භූමි කලාපයේ ය. පැරිසියේ මතු වෙමින් තිබූ සංස්කෘතික උන්මාදය විසින් එතෙක් ගත කරමින් උන් ප්‍රාදේශික ජීවිතේ එපා කරවන ලද නිර්මාණාත්මක සාහිත්‍ය-කලා පරම්පරාවට ලුයීස් රෙව්වාල් (Louise Révoil) නම් තරුණිය ද ඇතුළත් ය.
වයස විසිහතරේදී, ඒනම් 1834දී, ඇය වස්දඬු පෙළහරපාන්නකු වූ ඇකඩමික සංගීතඥ ඉපොලීත් කොලේ (Hippolyte Colet) සමඟ විවාහ වූයේ ඔහු හා මහත් වූ ආදරයකින් බැඳීම හන්දා ම නොව, පැරීසියට සම්ප්‍රාප්ත වීමේ අභ්‍යන්තර කැඳවීම නිසාවෙනි. ඒ වනාහි සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් භෞතික ජීවිතය පරදුවට තැබීමකි. ඒ වනවිටත් ඇය කිවිඳියකි. කවර ලියන්නියකට අවස්ථා තිබුණේ පැරිසියේය. නමුත් , පැරීසියට යාමට අවස්ථාව ලැබුණේ එහෙමත් විටක ය. එහෙමත් කෙනෙකුන්ට ය. කෙසේ වතුදු, පැරීසියට යෑමට ඇයට පාර පෙන්නුවේ, ගලා හැළෙන සිතුවිල්ලෙන් යුතු ඇගේ කවීත්වය නොවේ; ගලා හැළෙන කැරලි කෙහෙරැල්ලෙන් යුතු සුකොමල, සුරතල් පෙනුම බව අප මතක තබා ගත යුතු ය.
කෙසේ හෝ විවාහ වූ විගස ඇය ඒ අවස්ථාව තමන් වෙත ළඟා කර ගත්තා ය. ෆ්‍රන්ස සම්ප්‍රදායට අනුව යමින් ඇය සැමියාගේ නම තමන්ගේ මුල් නම හා ඒකතු කරගනිම්නි ඒතැක් බටන් ලුයීස් කොලේ නමින් පෙනී සිටින්නට වූවා ය.
ඇය පැරීසිය පුරා වූ කලා සංස්කෘතික කව අතර ප්‍රකට වන්නට වූයේ ද පෙර කී පරමාකර්ශනය නිසා වන්නට පිළිවන. නමුත් ඒ් වන විටත් ඈ සතු කවි ගබඩාවක් විය. පැරීසියට ආ ඇගේ පරම ආරම්මණය වූයේ වහා ප්‍රකාශකයකු සොයා ගැනීම ය. මෙකී ඉලක්කය පහසුවෙන් සපුරා ගතහැකි මාවත හෙළි පෙහෙළි වූයේ 1835දී ෆ්‍රන්ස ඇකඩමි ත්‍යාගය හිමිවීමත් සමඟිනි. ඇය ලද ත්‍යාග මුදල ෆ්‍රැන්ක දෙදහසකි. ඇය ලත් ෆ්‍රන්ස ඇකඩමි ත්‍යාග හතරක පළමුවැන්න එය යි.
ආඛ්‍යාන ලීලාවෙන් ඉතා දීර්ඝව මෙන්ම දිගු කවි ලියන්නිකය ලෙස මතුවුණු ඇය පළමුව පළ කළ කාව්‍ය සමුච්චය ‘ෆ්ලර් දු මිදී - මද්‍යහ්න කුසුම් (Fleurs du midi) නමින් 1836දී එළි දැක්විණ. ඉක්බිති 1839දී ‘පොන්සෙරොසා’ ( Penserosa ) මෙන්ම ‘බිඳුණු හදවත්’ අරුත් දෙන ගද්‍ය කාව්‍යයක් වූ ‘ලෙ කර් බ්‍රීසේ’ (Les Coeurs Brisés) බඳු බරපතළ කෘති හරහා ඇය ඇගේ ගැඹුර සලකුණු කළා ය. ඒමෙන් ම ෆ්‍රන්ස කාව්‍ය ප්‍රවර්ගකරණයේ ‘පොඑම්’ ප්‍රවර්ගයට ඇතුළත් කාව්‍ය ආඛ්‍යානයන් බඳු දිගු කේවල කවි රැසක් ලුවීස් කොලේගේ කාව්‍ය ගිණුමේ තැන්පත්ව ඇත. ඒ්වා අතරින් ප්‍රකටම නිර්මාණ අතර ‘ෆිනෙරායි දු නැපොලියොං’ (Funérailles de Napoléon) ‘නැපොලියන්ගේ මළගම’, ‘ලු ම්‍යුසේ දු වර්සයි (Le Musée de Versailles) ‘වර්සායි කටුගෙය’, ‘ආ මා මේර්’ (À ma mère) ‘මගේ අම්මාට’, ‘ලු මොනියුමෝ දු මොලියේ (Le Monument de Molière) ‘මොලියේ ස්මාරකය’ ඈ වූ ගැඹුරු නිර්මාණ රාශියකි.
පැරිසියට ආ පසු සහෘද සමාජයේ ආකර්ෂණය දිනා ගත් ලුයිස් කොලේ කවිය පදනම් කරගත් 'සැලෝනයක්' පවත්වාගෙන ගියා ය. ‘සාහිත්‍ය සැලෝනය’ (Salon Littéraire) හෙවත් ‘සංවාද-සංලාප සැලෝනය’ එකල සාහිත්‍ය-කලා සංස්කෘතියේ එක් සුවිශේෂී අංගයක්ව පැවතිණ. ප්‍රිය සම්භාෂණ සෙයියාවෙන් ඔවුනොවුන්ගේ නිර්මාණ ද රතු වයින් ද නෙක කේජු ද බෙදාහදා ගත් ලුයිස් කොලේගේ සැලෝනයට එකල බැබළෙන කවි ලියූ වික්තොර් ඉඋගෝ (Victor Hugo), ෂාල් බෝදලෙයර් (Charles Baudelaire), අල්ෆ්‍රේ දු ම්‍යුසේ (Alfred de Musset), අල්ෆ්‍රේ දු විනී ( Alfred de Vigny) ආදීහු පවා යාවජීව වූහ. ෆ්ලොබෙයාර් නම් තරුණයා හමුවුණේද එහෙම ය.
‘රිවොලි පාරේ නාටකය’ (Un Drame dans la rue de Rivoli) සහ ‘සොල්දාදුවකුගේ කතාව’ (Une Histoire de soldats) 2014 දී නැවත පළකරන්නට යෙදීමත් එක්කම ලුයීස් පිළිබඳ සංවාදය අලුත් වටයකින් ඇරඹිණ. ෆ්‍රන්ස ජාතික පුස්තකාලය විසින් ඇය 1859දී පළකළ ‘ලුයි’ (Lui) හෙවත් ‘ඔහු’ නවකතාව යළි 2021 දී පළකෙරුණි. ඒ්ත් සමඟම 2022දී ක්ලෙයා තොන්සංගේ (Claire Tencin) මැදිහත්වීමෙන් එළි දැක්වූ ලුයීස් කොලේගේ දේශපාලන ලියැවිලි දෙකක් නිසා ඇය පිළිබඳ අධිනිෂ්චය වී තිබූ අදහස මුළුමනින්ම ඛණ්ඩනය වන්නට විය. පුරුෂ මුලික ෆ්‍රන්ස ඉතිහාසය විසින් ඇය නම් කෙරී ඇත්තේ සාහිත්‍ය-කලා මෙන් ම දාර්ශනික පිරිමින් වසඟයට ගත් ලෛංගිකාර්ෂණී, ලාලසී, සරාගී කාමිනියක ලෙස මෙන් ම ෆොබෙයාර්ගේ කෝපාවේශවන්තී අනියම් ආදරවන්තිය ලෙස වුවත් මෙම තොන්සං ගෙනා අලුත් සංවාදය හරහා ඇය පිළිබඳ වඩා ගවේශනශීලි අනාවරණ රැසක් මතුවෙන්නට පටන් ගැනිණ. ෆ්ලොබෙයාර් සිය පෙම් හසුන් හරහා මෙන්ම බොවාරි මැතිණිය හරහා අවධාරණය කරන්නා සේ සෙන්ටිමෙන්ටලීය ස්ත්‍රියක් නොවේ. ඇතැම් විට ඇගේ සංකීර්ණත්වය වටහා ගන්නට තරම් ෆ්ලොබෙයා ළාබාල වුවා වන්නට ද බැරි නැත. ෆ්ලොබෙයාර් හමුවන විට ඇය 36හැවිරිදි වුවද මහා ලේඛකයාට අවුරුදු 25ක කොල්ලෙකි.
ඇය සමකාලීන දේශපාලන චලනයන් ගැන මෙන් ම දේශපාලන ව්‍යාපාර ගැන පවා ඉතා ගැඹුරු ලෙස අවබෝධකරගත්, එමෙන් ම ඒ්වා තියුණු ලෙස විශ්ලේෂණය කළ හැකි සමාජ දේශපාලන දැනුමකින් සන්නද්ධ බරපතළ ලියන්නියක බව අවධාරණය කළ යුතුයැයි අලුත් සංවාදයක් ෆ්‍රන්සය පුරා බුද්ධිමය ස්ථරය තුළ මතුව තිබේ. විශේෂයෙන්ම සමකාලීන සාහිත්‍යික මෙන්ම සමාජ ක්‍රියාකාරී භූමිකා හොබවන ස්ත්‍රී ප්‍රජාව, ‘සාහිත්‍ය යථාර්ථවාදය’ විසින් ලුයීස් කොලේ ගෙන් අහිමි කරන ලද ඉතිහාසය ඇයට අත්පත් කර දීම වෙනුවෙන් අඛණ්ඩ මැදිහත් වීමක යෙදෙයි. ක්ලෙයා පොන්සං අවධාරණයෙන් කියා සිටින්නේ ලූයීස් අවබෝධකරගන්නට නම් ඇගේ සාහිත්‍ය ව්‍යාපරය මුළුමනින්මඅධ්‍යයනය කළ යතු බවයි. ලූවීස් වනාහි තමන්ගේ ජීවිතයෙන්ම සහ තමන්ගේ ලිවීමේ ක්‍රියාවලිය හරහා පිරිමින් විසින් ස්ත්‍රීන් අවමානයට පාත්‍ර කිරීම, නින්දාවට, නිග්‍රහයට, පිළිකුළට භාජනය කිරීම සංකීර්ණ ප්‍රවේශයකින් හෙළා දැක තිබේ.
1876දී ජීවිතයෙන් සමුගත්ත ද, ඇය අවසන් වසර ගණනාවම ගතකර ඇත්තේ අතිශය සටන්කාමී ස්ත්‍රියක ලෙස ය. 1871දී මාසේයි හිදී ඇය දහස් සංඛ්‍යාත ෆ්‍රන්ස පීඩිත ස්ත්‍රීන් අබියස කළ ඵෙතිහාසික දේශනය පවා මතුව එන්නේ දැන් දැන් ය. ඇය මෙකී ස්ත්‍රීන් පොදුවේ ‘සහෝදරියන්’ ලෙස ආමන්ත්‍රණය කළ අයුරු ඉතිහාසයේ ලියැවී ඇත. ලුයීස් කොලේගේ කවි නැවති කියැවීම දැන් ෆ්‍රන්සය පුරා මෙන්ම කාව්‍ය ලෝලී වෙනත් රටවලද උනන්දුවක් ඇති වී තිබේ. සැබැවින්ම ඇය පිරිමි හෙවණැල්ලෙන් ගලවා සැමරිය යුතු ස්ත්‍රීයකි. හදවත් දෙකක් ආදරයෙන් බැඳෙන්නට පෙර ආදරය පරිකල්පනය කෙරෙන අයුරු ලියූ ලූයිස් කිවිදිය
පිරිමින්ගේ පීඩාවන්ගෙන් හෙම්බත් වූ පසු කලෙක ප්‍රේමය ගැන මෙසේ ලිවී ය.
''වාතවෙවී අඩමානෙට, බගෙවිට බාගෙට ආදරේ කරනවට වඩා හොඳයි ආදරේ නොකර අරින එක''
ෆ්‍රන්ස විප්ලව සමයේ ගිලටීනගත කොට මරා දැමුණු ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier) යනු, කොටින්ම, අද දක්වා ෆ්‍රන්ස කාව්‍ය ඉතිහාසයේ අතිශය අනන්‍ය, විශිෂ්ට මෙන්ම අද්විතී
අටසිය පනස් හත ෆ්‍රන්ස සාහිත්‍යයට මෙන් ම ලෝක සාහිත්‍යයට අතිශය වැදගත් වසරක් වන හේතු දෙකක් ඇත. පළමුවැන්න තාත්විකවාදී සාහිත්‍යයේ මහා පරාවර්ථනය වූ ‘මදාම්
‘’මට අනුව, ගරු කටයුතු සත්තාවන් තුනයි පවතින්නෙ. ඒ් තමයි පූජකයා. හේවායා සහ කවියා. ඒ් මොකටද? හඟින්න, මරන්න සහ මවන්න.’’
වික්තෝරිඋගෝගේ කාව්‍යම පෞරුෂය ගැන මා ලියූ රචනාව කියවූ බොහෝ දෙනකු මෙම මහා කවියගේ කවියක් සිංහලෙන් කියැවීමේ වුවමනාව පළ කළ බැවින් ඔහුගේ වඩාලාත් ප්‍රකට ම ක
වික්තොර් ඉඋගෝ නොහොත් ඉංග්‍රීසි උච්ඡාරණයට අනුව වික්ටර් හියුගෝ ලෙසින් නම් කරන ලද මහා ෆ්‍රන්ස පෞරුෂය සිංහලෙන් සාහිත්‍ය කලාව රසවිඳින ශ්‍රී ලාංකික හදවත්
’’හදවත් වලින් ආදරය කරන්නට කලියෙන් ම දෙදෙනෙක් ආදරයෙන් බැඳෙන විදිහක් තියෙනවා. ඒ් තමයි පරිකල්පනය.’’ යැයි ලියූ බරපතළ ෆ්‍රන්ස කිවිඳිය ලුයිස් කොලේ ගැන ඔබ දැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ෆ්ලොබෙයාර්ගේ ආදරවන්ත සාරාගී කිවිලියගේ ඉරණම